බිත්තර වී සපයා ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින ගොවීන්

බිත්තර වී සපයා ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින ගොවීන්

*********************************************

බිත්තර වී සපයා ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින ගොවීන්

(15.04.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

යල කන්නයේ වී වගා කිරීම සඳහා බිත්තර වී සපයා ගැනීමට නොහැකිවීමෙන් පොළොන්නරුව ගිරිතලේ ගොවිජනපද ව්‍යාපාරයේ ගොවීන් දැඩිදුෂ්කරතාවයට පත්ව සිටිනවා.

පොළොන්නරුව – ගිරිතලේ ගොවිජනපද ව්‍යාපාරයේ ගෝවීන් 300 කට ආසන්න ප්‍රමාණයක්මෙවර යල කන්නයේ අක්කර 7500 ක පමණ වී වගා කිරීමට සූදානමින් පසුවනවා.

එහෙත් වගා බිම් සඳහා යල කන්නය යටතේ ජලය නියමිත කාලයට පෙර නිකුත් කිරීම හේතුවෙන් තමන්ට අවශ්‍ය බිත්තර වී සපයා ගැනීමට නොහැකි වී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

බිත්තර වීවල පැලවීමේ ප්‍රතිශතය 85% ට වැඩි විය යුතු වුවද පසුගිය මහ කන්නයේ අස්වනුවලින් සපයා ගන්නා ලද බිත්තර වී වල පැලවීමේ ප්‍රතිශතය 65% – 70% දක්වා අඩු වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

ගොවීන් පවසන්නේ මෙවැනි තත්ත්වයක් තුළ යල කන්නයේ වගාවන් සඳහා බිත්තර වී ප්‍රමාණවත් නොවන බවයි.

ගිරිතලේ ගොවිජනපද ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන නිලධාරීන් බිම් මට්ටමේ ගොවින්ගෙන් නොඅසා ඒකමතිකව ගන්නා ලද තීරණ හමුවේ මෙවර යල කන්නයේ වී වගා කටයුතු නිසි ආකාරව සිදුකරගැනීමට නොහැකි වන බවට ගොවීන් චෝදනා කරනවා.

මෙම ගොවීන් පෙන්වා දෙන්නේ ඉදිරි කන්නවලදී ජලය නිකුත් කිරීමේදී ගොවීන්ගේද අදහස් ලබාගෙන තීන්දු තීරණ ගන්නේ නම් තමන් මෙවැනි අවදානමකට ලක්නොවන බවයි.

******************************************

(15.04.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

යමෙකුට සිය රාජකාරිය කරන අතරතුර තවත් සමාජ මෙහෙවරක් සිදුකළ හැකිනම් එය අගය කළයුතු සුවිශේෂී තත්ත්වයක්.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අසරණ වූ බොහෝ අයටත් කදිම ආදර්ශයක් වන එවන් ක්‍රියාවක නිරත වූ පිරිසක් පිළිබඳවයි මේ තොරතුරු.

මේ පෑලියගොඩ පිහිටි බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ උඩුමහලට පැමිණි විට දැක ගත හැකි දර්ශනයයි.

මීට මාස 5 කට පෙර කිසිඳු ප්‍රයෝජනයක් නොගත් වර්ග අඩි 3800 ක භූමි ප්‍රමාණයක් මේ වන විට අපූරු වගාබිමක් බවට පත්වෙලා. මේ වගා ව්‍යාපෘතියට පණ පෙව්වේ කවුද කියලා අප සොයා බැලුවා.

අපරාධ මඬින්න , දූෂණ ක්‍රියා වළක්වන්න, සාමය ස්ථාපිත කරන්න තමයි පොලිස් නිලධාරීන් කටයුතු කරන්නේ .

එත් ඔවුන් මේ සිදු කර ඇති සමාජ මෙහෙවර සුළුපටු නැහැ ? කොවිඩ් වසංගතයත් සමඟ පැන නැගුණු ආහාර අර්බුදයටත් මෙය කඳිම පිළියමක්. මාස 5 කාලයක් තුළ සිදුකළ මේ අපූරු වගාවේ ප්‍රතිඵලය නම් සුළුපටු නැහැ.

එක් වතාවකට එළවළු කිලෝ 20 ක් බැඟින් මේ වන විට 15 ස් වතාවක් එළවළු එලදාව නෙලා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. පොලිස් නිලධාරීන් අතරේ පමණක් නොව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා ද ඒවා පරිත්‍යාග කිරීම විශේෂත්වයක්.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පැමිණෙන ආහාර අර්බුදය ගැන මැසිවිලි නගමින් සිටිනවාට වඩා මෙම නිලධාරීන් මුල්වී සිදුකරන මෙම කටයුත්ත සැබෑවටම අගය කළ යුතු නොවේද?

කොතරම් කාර්යබහුල වෘත්තිමය රාජකාරි අතරේ වුවද ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් එකමුතුව සිදුකරන ලද හරිත ඵලදා ව්‍යාපෘතිය ශ්‍රී ලාංකික පුරවැසියන්වන සැමට ආදර්ශයක්.

******************************************

(15.04.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

මාර්ග සංවර්ධනයට ජනතා බදු මුදලින් විශාල කොටසක් වෙන් කළද මැතිවරණ සමයේදී පමණක් බලධාරීන්ගේ අවධානයට යොමුවන මාර්ග රැසක් මෙරට තුළ තවමත් පවතිනවා.

අද (15) ‘හිරු රතු මිනිත්තුව’ අවධානය යොමුවන්නේ ඡන්ද පොරොන්දුවකට පමණක් සීමා වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එවන් අබලන් මාර්ගයක් පිළිබඳවයි.

මේ වසර 50 කට පමණ පෙර මෙරට ගොවිජන පද ආරම්භයත් සමඟ බිහි වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අත්තනකඩවල ජයසිරිපුර ගම්මානයයි.

මෙම ගම්මානයට ඇති ප්‍රධාන ප්‍රවේශ මාර්ගය වන්නේ බකමූණ ජයසිරිපුර හරහා පොළොන්නරුවට දිවෙන මාර්ගයයි.

අදාළ මාර්ගයේ බිංගෙය හංදියේ සිට ජයසිරිපුර දක්වා කිලෝ මීටර් 10 ක පමණ දුර ඉතා අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

මාර්ගය ඉදිවීමෙන් පසු කිසිදු අලුත්වැඩියාවක් සිදුකර නොමැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙම මාර්ගයේ බස් රථ 7 ක් 8 ක් පමණ මීට පෙර ධාවනය වුවද මාර්ගයේ දැඩි අබලන් තත්ත්වය හේතුවෙන් මේ වන විට ධාවනය වන්නේ එක් (1) බස් රථයක් පමණයි.

කෘෂිකර්මාන්තය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය බවට පත්ව ඇත. කෘෂිභෝග ප්‍රවාහනයේදී ජනතාව ගැටලු රැසකට මුහුණ දෙනවා.

ත්‍රිරෝද රථයක් හෝ යතුරු පැදියක් පවා ඉතා අසීරුවෙන් ගමන් කරන මෙම මාර්ගය භාවිත කරමින් අත්තනකඩවල මහා විද්‍යාලය සහ බකමූන මහා විද්‍යාලය දක්වා අධ්‍යාපනය ලැබීමට යන දරුවන් පත්ව ඇත්තේද දැඩි දුෂ්කරතාවකටයි.

මැතිවරණ සමය ආසන්නවන විට ජනතාව තුළ බලාපොරොත්තු ඇතිකරමින් මාර්ගය අලුත් වැඩියාවට සූදානම් වුවද මැතිවරණය අවසන්වීමත් සමග ඒවා පොරොන්දුවකට පමණක් සීමාවන බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

පවුල් 3000 ක් පමණ දෛනිකව භාවිත කරන මෙම මාර්ගය පිළිසකර කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවන තුරු ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

******************************************

(15.04.2021 – 14:54 +0530 – hirunews.lk/sinhala)

චීන සංවර්ධන බැංකුවෙන් රජය ඉල්ලා සිටි ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදල අද (15) මෙරටට ලබාදී තිබෙනවා.

මෙය පසුගිය වසරේ මාර්තු මස 18 වනදින අත්සන් කරන ලද 2020 විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමේ කොටසක් වන අතර, චීනය විසින් අදාළ ණය පහසුකම ලබාදී ඇත්තේ මෙරට සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

******************************************

(15.04.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් හාලිඇළ දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමට ලක්ව තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ අද (15) පෙරවරුවේ මෙම දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති අතර, එය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවයි.

මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ෴

******************************************

(15.04.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

හෙටට (16) යෙදෙන පැළ සිටුවීමේ නැකතට රෝපණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුදු සඳුන් පැළයක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කාල්ටන් නිවසේදී අද (15) ප්‍රදානය කළා.

සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රයේ පැළ සිටුවීම හෙට (16) පූර්වභාග 06:40 ට නැගෙනහිර බලා සිදුකළ යුතු බව දැක්වෙනවා.

පැළ සිටවීමේ නැකත් චාරිත්‍රයේ ප්‍රධාන උත්සවය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අගුණුකොළපැලැස්සේ පිහිටි නිවස කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

ඊට සමගාමීව රට පුරා පැළ සිටුවීමේ චාරිත්‍රය ඉටු කිරීමට නියමිතයි.

******************************************

(15.04.2021 – 15:16 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුරය – ගම්මිරිස්වැව ප්‍රදේශයේදී සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙකු (2) අකුණුසැරක් නිසා ඇති වූ කම්පනය හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ (14) පස්වරුවේ අධික වර්ෂාව සහ අකුණු සහිත කාලගුණ තත්ත්වයක් ප්‍රදේශයට බලපා ඇති අතර එහි ගොවිපොලක රැදී සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණපා ඇති බව සඳහන්.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

******************************************

(15.04.2021 – 16:52 +0530 – hirunews.lk/sinhala)

හල්දුම්මුල්ල – කළුපහන පාලම් දෙක (2) අතර වේලි ඔයේ දියනෑමට ගිය එකම පවුලේ 4 දෙනෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

එහිදී ප්‍රදේශවාසීන් එක්ව යුවලක් මුදාගෙන ඇති අතර, පියෙකු සහ පුතෙකු අතුරුදන්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මහරගම ප්‍රදේශයේ පදිංචි පිරිසක් අද (15) දහවල් වේලිඔයේ දියනෑමට ගොස් ඇති අතර, එහිදී ඔවුන් මෙම අනතුරට මුහුණපා තිබෙනවා.

වේලි ඔයේ ඉහළ ධාරා ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමඟ එක්වරම එහි ජලය වැඩි වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

******************************************

(15.04.2021 – 17:56 +0530 – hirunews.lk/sinhala)

මරදාන ප්‍රදේශයේදි ත්‍රීරෝද රථ රියදුරෙකුට යකඩ පොලු හා කඩුවලින් සන්නද්ධව පැමිණි පිරිසක් සිදුකල අමානුෂික පහරදිමක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

මරදාන මොහිදීන් මස්ජිඩ් මාවතේදී, අදාල ත්‍රීරෝද රථය පසුපසට ගැනීමේදි එහි ගැටුනු පුද්ගලයා සහ රියදුරා අතර බහින් බස්වීමක් සිදුව තිබුණේ පසුගිය 10 වැනිදා රාත්‍රියෙදියි.

පසුව ත්‍රීරෝද මස්ජීඩ් මාවතේ නවතා තිබු අවස්ථාවේ දි යකඩ පොලු හා කඩු රැගෙන එම ස්ථානයට පැමිණි පුද්ගලයින් පිරිසක් එක්වරම ඔහුට පහර දී ඇති අතර එය සී.සී.ටී.වී. කැමරා පද්ධතියකද සටහන්වි තිබෙනවා.

එම දර්ශණ වල දක්නට ලැබෙන්නේ ත්‍රිරෝද රථ රියදුරුට පහරදීමෙන් අනතුරුව එම පිරිස ත්‍රීරෝද රථයට දැඩිලෙස අලාභ හානි සිදුකර එය පෙරලා දැමීමට කටයුතු කරන අයුරුයි.

පහර දෙන අවස්ථාවේ ත්‍රීරෝද රථ රියදුරු සිය ජිවිතය බේරාගැනීම සදහා පළා යන අයුරුද සී.සී.ටී.වී දර්ශන වල දක්නට ලැබෙනවා.

බරපතල තුවාල ලැබු 22 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු (2) මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

@@@@@@@@@@@@@@@@

(15.04.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතයත් සමග බොහෝ පිරිසකට ජීවනෝපාය මාර්ග අහිමිවූ අතර ඔවුන්ට තවමත් එල්ලවී ඇති ආර්ථික බලපෑම අතිමහත්.

මේ මෙලෙස කොවිඩ් වසංගතය හේතුවෙන් සිය ජීවනෝපායට බලපෑම් එල්ල වූ නිර්මාණකරුවෙක් පිළිබඳ තොරතුරක්. මේ, දෙකටන – පැලහැල ගම්මානයේ පදිංචි 50 හැවිරිදි උපුල් අසේල මහතා.

වෘත්තියෙන් වඩු කාර්මිකයෙක් වුණු උපුල් මහතා වසර 8 ක සිට ලී සහ නූල් යොදා ගනිමින් විවිධ නිර්මාණ සිදුකරනවා. මෙහි විශේෂත්වය වන්නේ නිර්මාණ සඳහා යොදාගන්නා ආම්පන්නද ඔහු විසින්ම සකස්කර ගත් ඒවා වීමයි.

අසේල මහතාගේ නිර්මාණ සඳහා දෙස්-විදෙස් සංචාරකයින්ගේ දැඩි ඉල්ලුමක් පැවතියද පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ මේ වන විට ඔහුගේ ආදායම මුලුමනින්ම පාහේ අහිමි වී තිබෙනවා.

මෙවැනි නිර්මාණකරුවන්ට යළි වෙළෙඳපොළක අවස්ථා බිහිකරදීම බලධාරීන්ගේත් නිලධාරීන්ගේත් වගකීමක් වන්නේ එමගින් මෙරට ආර්ථිකයටද යහපත් හෙට දවක් අපේක්ෂා කළ හැකි බැවිනුයි.

+++++++++++++++++

(15.04.2021 – 15:36 +0530 – hirunews.lk/sinhala)

තවත් ආසාදිතයින් 157 දෙනෙකු සුවය ලබා අද (15) රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 92,308 දක්වා ඉහල ගියා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ආසාදිතයින් 2825 දෙනකු ප්‍රතිකාර ලබන අතර, මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 95,737 ක් ලෙසටයි ෴

තවත් කොරෝනා ආසාදිතයන් 127 ක් වාර්තා වෙයි ෴

තවත් කොරෝනා මරණ 4 ක් අද (15) දින වාර්තා වනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 608 ක් දක්වා ඉහල ගියා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 40 දෙනෙකු අද (15) දිනයේ හඳුනා ගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *