නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් වැළැක්වීමට ඩ්‍රෝන තාක්ෂණය

නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් වැළැක්වීමට ඩ්‍රෝන තාක්ෂණය

*********************************************

නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් වැළැක්වීමට ඩ්‍රෝන තාක්ෂණය

(15.04.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට සිදුකරන නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් වැළැක්වීමට ඩ්‍රෝන තාක්ෂණයේ සහය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් දැන් ශ්‍රී ලංකා පොලිසිය සතුව තිබෙනවා.

ඒ ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ විශේෂ ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් සිදු කිරීමට ඕස්ට්‍ර්ලියානු දේශ සීමා මෙහෙයුම් පිළිබඳ නියෝජිත ආයතනය අධි තාක්ෂණික නවීන ඩ්‍රෝන යාත්‍රා 05 ක් මෙරට පරිත්‍යාග කිරීමත් සමඟයි.

මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා සිදු කෙරුණු මෙම පරිත්‍යාගයත් සමඟ මෙම ඩ්‍රෝන යාත්‍රා මෙහයවිමට අදාළ පුහුණුවක් ද ලබා දීමට නියමිතයි.

අන්තර්ජාලය ඔස්සේ පසුගිය 8 වනදා පැවැත්වූ උත්සවයකදී නීති විරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් වැළැක්විමට මෙරට ආරක්ෂක අංශ සිදු කෙරන කාර්රය භාරය විශේෂ පැසසුමකට ලක් වුණා ෴

******************************************

(15.04.2021 – 06:38 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ බිමත් රියැදුරන් 758 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

ඊයේ (14) දිනය තුළ අධිවේගී මාර්ග සහ අනෙකුත් මාර්ගවල රිය අනතුරු 121 ක් පමණ සිදුව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙම අනතුරු වලින් මරණ 10 ක් පමණ සිදුව ඇති බවයි.

එමෙන්ම මෙම අනතුරු වලින් 74 දෙනෙක් පමණ තුවාළ ලබා තිබෙනවා ෴

******************************************

(15.04.2021 – 07:04 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් අනතුරු සිදුවීමට ඇති ඉඩකඩද එමෙන්ම ඉහළ යා හැකි බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඊයේ දින අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරට හේතුව ලෙස මාර්ගයේ රථ වාහන දෙකක් අතර නිසි පරතරය තබා නොගැනීම ප්‍රධාන හේතුවක් ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔහු පැවසුවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ හේතුවෙන් අද (15) දිනයේ අධිවේගී මාර්ගයේ රිය ධාවනය සම්බන්ධයෙන් විශේෂ නිරීක්ෂණ රාජකාරි සිදු කෙරෙන බවයි.

එබැවින් ඔහු අධිවේගී මග භාවිතා කරන්නන් ගෙන් ඉල්ලා සිටින්නේ රිය ධාවනයේ දී වාහන දෙකක් අතර නියමිත පරතරය තබා ගෙන යම් අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ අවම කර ගැනීමට උත්සාහ දරන ලෙසයි ෴

******************************************

(15.04.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (14)පොල්පිතිගම තලාදපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු (2) අතර සිදු වූ ආරවුලකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

බහින් බස් වීමක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකු ගලකින් සිදු කළ ප්‍රහාරයක් නිසා මෙම මරණය සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ මෙම දෙදෙනා (2) අතර පැරණි අමනාපයක් හේතුවෙන් මෙම සිදුවීම සිදුවඇති බවයි ෴

******************************************

(15.04.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (14) දිනයේ චාවකච්චේරිය චන්ද්‍රපුරම් ප්‍රදේශයේදී කුඩා දරුවෙකු විසින් පණ ගැන්වූ යතුරුපැදියකට යටවී වයස අවුරුදු එකහමාරක (1½) කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වුණා.

යතුරුපැදියේ හිමිකරු බැහැරක ගොස් නැවත පැමිණ යතුරුපැදිය නවතා එහි යතුරු කටෙහි යතුර රඳවා තබා ගොස් තිබෙනවා.

මෙහිදී නිවසේ සිටි දස හැවිරිදි (10) කුඩා දරුවකු යතුරුපැදිය පණ ගැන්වීමට උත්සහ දරා ඇති අතර හදිසියේ පණ ගැන්වුණු යතුරුපැදිය ධාවනය වී ඔහුගේ ඉදිරියේ සිටි වයස අවුරුදු එකහමාරක් (1½) වන කුඩා නැගණිය අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරට ලක් වූ දැරිය වහාම චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද රෝහල් ගත කරන විටත් ඇය මිය ගොස් සිටි බවටයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ කුඩා දරුවන් සිටින නිවෙස් වල රථවාහන නවතා යාමේදී මෙවැනි අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ වළක්වා ගැනීමට හැකි උපරිම අයුරින් කටයුතු කරන ලෙසයි.

රථවාහන නවතා තැබීමෙදී එහි යතුර ඉවත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කරනවා ෴

******************************************

(15.04.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දනාධිපති ‘හිරු ටී.වී.’ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුවහසක් ප්‍රේක්ෂකයින් වෙත තිලිණ කරන ‘සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ අවුරුදු’ සජීව වැඩසටහනේ ‘හිරු අවුරුදු කුමරා සහ කුමරිය’ තේරීම ඊයේ (14) රාත්‍රියේ සිදු කෙරුණා.

ඒ අනුව හිරු අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබුවේ අංක එකෙන් තරග වැදුණු ඉෂාර දිල්ෂාන් මහතා යි.

මෙවර හිරු අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවේ අංක හතෙන් තරග වැදුනු සිතුමිණී ප්‍රනාන්දු මෙනවිය යි.

අලුත් අවුරුදු උදාව වෙනුවෙන් හිරු ටී.වී. සංවිධාන කළ ‘සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ අවුරුදු’ සජීව වැඩසටහන ඊයේ (14) පැවැත්වුනේ බොල්ගොඩ වයිට් ලෝටස් පරිශ්‍රයේදී යි.

ප්‍රවීණ සහ ජනප්‍රිය ප්‍රතිභාපූර්ණ කලා ශිල්පීන් රැසක් එක්වූ ‘සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ අවුරුදු’ සජීවි වැඩසටහන නැටුම් ගැයුම් රැඟුම්වලින් මෙන්ම ජන ක්‍රීඩාවලින් ද වර්ණවත් වුණා.

******************************************

(15.04.2021 – 09:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලට ඊයේ (14) සහ පෙරේදා (13) දින දෙකෙහි (2) හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගතකළ සංඛ්‍යාව 309 ක් බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා ප්‍රකාශ කළා.

එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 39 ක වැඩිවීමක් බවයි ඔහු කියා සිටියේ.

පසුගිය වසරේ එම දින දෙකෙහි (2) වාර්තාවී ඇත්තේ හදිසි අනතුරු 188 ක් පමණයි.

මේ අතර මෙවර වාර්තාවූ හදිසි අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් මහමග සිදුවූ රිය අනතුරු වන අතර, එම සංඛ්‍යාව 77 ක්.

එමෙන්ම වැටීම් අනතුරු 73 ක් සහ හිංසන ක්‍රියා මෙන්ම පහරකෑම් 38 ක් වාර්තාවී තිබෙනවා.

කෙසේ වෙතත් ගිණිකෙළි අනතුරු වාර්තාවී ඇත්තේ හතරක් පමණක් වන අතර, එම සිදුවීම් හතරම නොසැළකිල්ල හේතුවෙන් සිදුව ඇති බවයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා කියා සිටියේ ෴

******************************************

(15.04.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ බලපෑමට ලක්වූ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබාදීම යළිත් අද (15) ආරම්භ කෙරුණා.

මේ වනවිට පුද්ගලයින් ලක්ෂ 18 කට පමණ එම දීමනාව ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා.

හඳුනාගත් ප්‍රතිලාභීන්ගෙන් සියයට 75 කට පමණ එම දීමනාව ලබාදී ඇති අතර, ඉතිරි ප්‍රතිලාභීන්ට ඉදිරි දින කිහිපය තුළ ලබාදී අවසන් කෙරෙනු ඇති ෴

******************************************

(15.04.2021 – 12:06 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින සියළුම නේවාසික නේවාසිකාවන් සදහා කිරිබත්, කැවුම්, කොකිස්, කේක් හා කෙසෙල් ඇතුළුව විශේෂ අවුරුදු සංග්‍රහයක් සිදු කෙරුනා.

වැලිකඩ බන්ධනාගාර අධ්කාරිවරයාගේ සංකල්පයකට අනුව සිරකරු සුභසාධක සංගමයේ වැලිකඩ උප කමිටුවේ දායකත්වයෙන් සහ පුනරුත්ථාපන අංශයේ පූර්ණ අධීක්ෂණයෙන් මෙම කටයුත්ත සිදු කෙරුනා.

මෙයට අමතරව නේවාසිකයින්ගේ සංගීත රසාස්වාදනය තවදුරටත් ඔප් නැංවීම සඳහා වැලිකඩ නේවාසික සංගීත කණ්ඩායම මගින් සංගීත වැඩසටහනක් ද පසුගිය දෙදින තුල පැවැත්වුවා ෴

******************************************

පැහැර ගත් මෝටර් රථයක් කැළෑබද ප්‍රදේශයකින් හමුවේ

(15.04.2021 – 11:47 +0530 – sinhala.adaderana.lk)

පැහැර ගැණුනු මෝටර් රථයක් කැළෑබද ප්‍රදේශයක දමාගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

ප්‍රවාහන පහසුකම් අවශ්‍ය බවට පවසා ඊයේ (14) දිනයේදී අදාළ මෝටර් රථය ගෙන්වාගෙන එහි රියදුරුට පහරදී රථය පැහැරගෙන තිබේ.

පසුව, අදාළ මෝටර් රථය පලෙයි පොලීසිය විසින් සොයාගෙන තිබුණේ කිලිනොච්චිය, පලෙයි අයියකච්චි ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයකදීය.

කොළඹ සිට රථයේ පැමිණ ඇති සැකකරුවන් රන්දෙණිගල ප්‍රදේශයේදී පැහැර ගැනීම සිදුකර ඇත.

එම මෝටර් රථය කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් එකක් බවද පොලීසිය පැවසීය.

මෝටර් රථය පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පොලීසිය පැවසුවේ 25 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු (2) විසින් අදාළ මෝටර් රථය කුලී පදනම මත ලබාගෙන තිබූ බවය.

ඔවුන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය ෴

******************************************

වනඅලි නිසා අලුත් අවුරුද්ද අහිමි වූ ගම්වාසීන්

(14.04.2021 – 19:49 +0530 – sinhala.adaderana.lk)

වනඅලි තර්ජන හේතුවෙන් අලුත් අවුරුද්ද අහිමි වූ ගම්වැසියන් පිරිසක් පිළිබඳව අද (14) මහියංගනයෙන් වාර්තා වුණි.

එලෙස අලුත් අවුරුදු දින වනඅලි ගැටලුවෙන් ගම්මානයක් පීඩා විඳින්නේ වනඅලි ගැටලුවට විසඳුම් ඉල්ලා ප්‍රදේශ දෙකක සත්‍යග්‍රහ පැවැත්වෙන පසුබිමකය.

එවන් වාතාවරණයක මහියංගනය, දෙහිගොල්ල රඹුක්යාය ගම්මානයට ඊයේ (13) රාත්‍රියේ වනඅලියෙකු කඩා වැදී තිබුණි.

එහිදී වනඅලියා සිදුකළ පහරදීමෙන් නිවාස කිහිපයකට දැඩි හානි සිදුව තිබුණි.

ප්‍රදේශවාසීන් පවසන්නේ මේ පිළිබඳව කොතෙක් බලධාරීන් දැනුවත් කළද ඵලක් නොවූ බවය.

“අපේ බඩුමුට්ටු ඔක්කොම විනාශ කළා. දරුවා බේර ගත්තෙත් බොහොම අමාරුවෙන්. දැන් මේ වෙනකොට ගෙවල් 10 ක් විතර කඩලා දාලා තියෙනවා,” යනුවෙන් ද ගම්වාසීන් පැවසීය.

ව‍නඅලි ගැටලුවට විසඳුම් ලෙස හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් සූරියවැව වල්සපුගල ප්‍රදේශවාසීන් දියත් කළ සත්‍යග්‍රහය අද 88 වන දිනටත් ක්‍රියාත්මක විය.

වනඅලි ගැටලුවට විසඳුම් ඉල්ලමින් මහියංගනය නගරයේදී ගොවීන් පිරිසක් ආරම්භකර ඇති සත්‍යග්‍රහයට ද අද (14) ට දින 29 කි.

******************************************

බන්ධනාගාරයේදී අසේල සම්පත් ජීවිත අවදානමක.. ඇමති බන්දුලගේ සංවාදයක් සමග පොලිස්පතිට පැමිණිල්ලක්…

(15.04.2021 – 10:40 +0530 – lankacnews.com)

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහජන අයිතීන් සුරැකීමේ පදනම සභාපති අසේල සම්පත් මහතාගේ ජීවිතය අවදානමක බව එම සංවිධානය විසින් පොලිස්පතිවරයා පැමිණිල්ලක් කරයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග කරන ලද දුරකතන සංවාදයක්ද සිහිපත් කරමින් එම සංවිධානයේ මාධ්‍ය අධ්‍යක්ෂක චිරන්ත අමරසිංහ මහතා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති පැමිණිල්ල මෙසේ ය :

පොලිස්පතිවරයා,
ශ්‍රී ලංකා පොලිසිය,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

ගරු පොලිස්පතිතුමනි,

අසේල සම්පත් යන අයගේ ජීවිතයට ඇති තර්ජනයක් සම්බන්ධයෙන් පැමිණිල්ලයි

මා හිත මිත්‍ර සහෝදර සිවිල් ක්‍රියාකාරී අසේල සම්පත් මහතා කොම්පඤ්ඤවීදිය පොලිස් අත්අඩංගුවට පත්ව, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2021 අප්‍රේල් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පැරණි වරෙන්තුවක් මත අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගත් බවට ඒ මොහොතේ ප්‍රකාශ වුන ද, එය එක් කාරනාවක් පමණක් බවට මේ වන විට පෙනී ගොස් ඇත.

අසේල සම්පත් මහතා ලංකා සතොස විසින් ලබා දෙන බඩු මල්ලේ නිශ්පාදන කීපයක් පිළිබඳව ප්‍රශ්න කිරීම් සිදුකල මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ 2021 අප්‍රේල් මස 7 වනදා කරුණු දැක්වූ අතර, එහිදී ඔහු අසේල සම්පත් යන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු බවට හැඟෙන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කලේ ය.

2012 වසරට ආසන්න කාලේ පටන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා අසේල සම්පත් යන අය අතර මත ගැටුම් තිබී ඇති බවත්, ඒවා හේතුවෙන් අමාත්‍යවාරයා නිරුත්තර වී ඇති බවක් නිරීක්ෂණය වේ.

2021 අප්‍රේල් මස 7 වනදා ප්‍රකාශය සම්බන්ධයෙන් 2021 අප්‍රේල් මස 7 වනදා රාත්‍රී 9.43 ට පමණ මා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන එම ප්‍රකාශය අසේල සම්පත් යන අයට එරෙහිව කරන ලද ප්‍රකාශයක් ද යන්නට තහවුරු කර ගැනීමට කරුණු විමසීමක් සුදු කලේ ය. එහිදී බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය අසේල සම්පත් යන අයට එරෙහිව සිදු කරන ලද්දක් බවට තහවුරු වීය (හඬපටය මේ සමඟ ඉදිරිපත් කරමි).

තවද, එම දුරකථන සංවාදය තුල අදාළ අමාත්‍යවරයා අසේල සම්පත් යන අය සමග දැඩි වෛරයකින් සිටිනා බවට මා හට තේරුම් ගියේය. මන්ද, ඇමතිවරයා අසේල සම්පත්ට ඉතා පහත් ලෙස බැණ වැදුණි.

එමෙන්ම, එම දුරකථන සංවාදය තුල “රස්තියාදු කාරයන්ට රටක් මෙහෙම කරන්න දෙන්න පුළුවන් ද? අපි මේකට ගිහිල්ලා ඉවරවෙලා, මම මේ කරන්න පුළුවන් උපරිම දේ කරනවා” යන්නෙන් තර්ජනාත්මක ප්‍රකාශයක් මා සමඟ සිදු කලේ ය. ඊට සන්සුන්ව මා ප්‍රතිචාර දැක්වූ විට ඇමතිවරයාට තවත් කේන්ති ගොස්, මා සමග ද කේන්තියෙන් ඇමතුම විසන්ධි කලේ ය.

කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම් හා ඒවායේ නවීන ස්වරුපය රට ඉදිරියේ හෙළිදරව් කරමින් ඒවාට එරෙහිව සමාජයේ ඍජුව හඬ නැගූ හා සමාජයේ අනෙකුත් බරපතළ කාරණාවන්ට එරෙහිව සමාජයේ ඍජුව හඬ නැගූ අසේල සම්පත් වැනි පුද්ගලයෙක් අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන අයගේ තර්ජනාත්මක ප්‍රකාශ සහිත පසුබිමක රක්ෂිත බන්ධනාගාර ගත වීම තුල, එකී රක්ෂිත බන්ධනාගාර පද්ධතිය තුල ඔහු ඉලක්ක වීමේ හා ඔහුගේ ජීවිතයට දැඩි අවධානමක් ඇතිවීමේ සම්භාවිතාවක් ඇති බවට මා හට සැකයක් ඇති වේ.

ප්‍රසිද්ධියේ සතිපතා මාධ්‍ය ඉදිරියේ පෙනීසිටී අසේල සම්පත් යන අයට එරෙහිව විශාල කාලයක් වරෙන්තුවක් ක්‍රියාත්මක නොවීම, හා අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ තර්ජනාත්මක ප්‍රකාශයන් වලින් පසු කොම්පඤ්ඤවීදිය පොලිසියේ හදිසි ක්‍රියාකලාපය අසේල සම්පත් මහතාගේ ජීවිතයට ඇති තර්ජනය සම්බන්ධයෙන් උක්ත කී මාගේ සැකයට දායක වන අතර, ඒ තුල ගැටලු සහගත ප්‍රශ්න කීපයක් නිර්මාණය කරයි.

අසේල සම්පත් මහතා පැය 24 ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් නොකල බවට මා හා අනෙකුත් සහෝදර සිවිල් ක්‍රියාකාරීන් නිරීක්ෂණය කර ඇත.

2021 මාර්තු මස 15 වනදා අසේල සම්පත් මහතා හදිසි වැටිමකට ලක්වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබුණි. එහි දී ඔහුගේ ඉල ඇට කීපයක් බිදි ඇති බවට වාර්තා විය. එයට ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහුට රෝහලෙන් සිදුවු පීඩාකාරී තත්ත්වය හේතු කර ගෙන, ඔහු පිටවී ගොස් තිබීම හේතුවෙන් අදාළ වෛද්‍ය වාර්තා ලබා ගැනීමට නොහැකි වී ඇත. අදාළ ඉලඇට බිදීම සම්බන්ධයෙන් ඔහු ප්‍රතිකාර ගනිමින් සිට ඇත.

මේ හේතුවෙන් උක්ත කරුණු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙසත්, නීතිමය රාමුව තුල අසේල සම්පත් මහතාගේ ජීවිතයේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මා ඔබෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි,
මෙයට විශ්වාසී,

චිරන්ත අමරසිංහ,
මාධ්‍ය අධ්‍යක්ෂක
මහජන අයිතීන් සුරැකීමේ පදනම

******************************************

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන ගත්තද ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකළේ ජනතාව බියට පත්වන නිසා – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන

(15.04.2021 – 11:00 +0530 – lankaleadnews.com)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටින්නේ වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන ගත්තද ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකළේ ජනතාව බියට පත්වන නිසා බව සඳහන් කරයි.

එහිදී ඔහුගේ ප්‍රකාශය පුවත් පත වාර්තා කර තිබුණේ,

“මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා නම් ඔවුන් බියට පත්වෙනවා. නමුත් අපි කළේ වඩාත් නිවැරැදි ක්‍රමයක්. ඒ තමයි අදාළ පිළිකාකාරක නිෂ්පාදනයන් වෙළෙඳපොළෙන් වහාම ඉවත් කළා‍. අදාළ නිෂ්පාදිතයන් සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා නියෝග කළා. එහෙම කරලා ඔවුන්ගේ නිෂ්පාදන වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒ නිෂ්පාදනයන් වෙළෙඳපොළට නිකුත් කරන්න කලින් අපි කීප වරක්ම රසායනාගාර පරීක්ෂාවන් කරලා එහි සෞඛ්‍යට අහිතකර කිසිවක් අන්තර්ගතවෙලා නැහැ කියලා තහවුරු වීමෙන් පසුව තමයි වෙළෙඳපොළ අලෙවිය සඳහා නිකුත් කළේ. ඔබ කියන පරිදි මුලින්ම ජනතාව දැනුවත් කළා නම් ‍ඔවුන් තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් මතුවෙනවා.” යනුවෙනි.

කෙසේ වුවද ජාතික සංවිධාන සහ වෙනත් පාරිභෝගික අයිතීන් සුරකින සංවිධාන පවසා සිටින්නේ මෙලෙස පිළිකාකාරක ද්‍රව්‍යය අඩංගු ආහාර ද්‍රව්‍යය වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නේ බහු ජාතික සමාගම් වලට අයත් ආහාර නිෂ්පාදන සමාගම් බවයි.

කෙසේ වුවද තිරිඟු පිටි ආශ්‍රිත ආහාර ද්‍රව්‍යය නිෂ්පාදනය කරන දේශීය ව්‍යවසායකයන් අමු ද්‍රව්‍යය ලෙස පාම් තෙල් සහ වෙනත් දෑ ලබාගන්නේ බහුජාතික සහ වෙනත් මහා පරිමාණ ආනයනික සමාගම් වලින් බැවින් ඔවුන්ගේ නිෂ්පාදන තුළද පිළිකා කාරක අඩංගු වීමට බොහෝ ඉඩකඩ ඇති බව වෛද්‍යවරු මත ඉදිරිපත් කරති ෴

******************************************

මං නැතිදාට මේ දරුවො මහපාරට – කිරුළු නොපතන සැබෑ රැජිනගේ ඇත්ත පැත්ත (08.04.2021)

++++++++++

[ මුල් විඩියෝව ]

******************************************

(15.04.2021 – 12:32 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (15) සිට ක්‍රියාත්මකයි.

ඒ සඳහා අතිරේක බස්රථ 400 ක් ලබන 20 වැනිදා දක්වා ක්‍රියාත්මක අතර, විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව යළි කොලඹට පැමිණීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

නිලන්ත ඒකනායක–සභාපති-උතුරුමැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මේ අතර දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවේ දුම්රිය මගීන් සඳහාද විශේෂ දුම්රිය සේවා ආරම්භ කර ඇති බවයි.

******************************************

(15.04.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමකින් යුත් කොකේන් ග්‍රෑම් 436 ක් සමඟ දෙදෙනෙකු (2) වැලිගම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ ලද තොරතුරක් මත ඊයේ (14) රාත්‍රීයේ වැලිගම සංචාරක හෝටලයක් ඉදිරිපිට නවතා තිබු මෝටර් රථයක තිබි මෙම කොකෙන් තොගය සොයා ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිගම සහ පැනැටියන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

@@@@@@@@@@@@@@

(15.04.2021 – 06:48 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 02 ක් ඊයේ (14) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 604 ක් දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++

(15.04.2021 – 11:04 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (14) හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 117 දෙනා අතරින් 26 ක් වූ වැඩිම ආසාදිතයින් පිරිස යාපනය දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 19 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අනෙකුත් ආසාදිතයින් 33 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ ෴

+++++++++++++++++

(15.04.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ නෑගම් සහ විනෝද චාරිකාවල නිරතවන ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතු බව පොලිසිය පවසනවා.

මේ අතර, ගෙවුණු දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 117 දෙනෙකු මෙරටින් හඳුනාගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 95,737 ක් දක්වා ඉහළ ගියා.

ගෙවුණු දිනයේ මෙරටින් හඳුනාගැණුනු කොවිඩ් ආසාදිතයින් 117 දෙනා අතුරින් 99 දෙනෙකු දේශීය හඳුනාගත් ආසාදිතයින් වන අතර, සෙසු පුද්ගලයින් 18 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයයි.

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වූයේ යාපනය දිස්ත්‍රික්කයෙන්. එම ගණන 26 ක්.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 දෙනෙකු සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වනවා.

ගෙවුණු දිනයේ තවත් කොවිඩ් මරණ දෙකක් (2) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 604 ක් ලෙසයි.

හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

මේ අතර, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 2982 කු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 92,150 ක්.

මේ අතර, මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 925,242 කුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

කෙසේ වෙතත් පසුගිය 11 වැනිදා සිට එන්නත් ලබාදීම සිදු නොකෙරුණු බවයි එම ඒකකය වාර්තා කළේ. මේ අතර, අලුත් අවුරුදු උත්සව සමයේ නුවරඑළිය නගරයට විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙමින් සිටින බව නුවරඑළිය මහනගර සභාවේ සභාපති චන්දන ලාල් කරුණාරත්න මහතා පවසනවා.

මේ හේතුවෙන් නුවරඑළිය නගරයේ පිහිටි නවාතැන් ලබාගැනීමේ ස්ථාන ද පිරීගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එම නිසා නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි නුවරඑළිය මහනගර සභාව සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් යාමේදී කුඩා දරුවන් සහ වැඩිහිටියන් සිටින නිවෙස්වල සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල්තැන දී කටයුතු කරන ලෙස සේඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, කොවිඩ්-19 ව්‍යාප්තිය සමග අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් ලබාදෙන රුපියල් 5000 දීමනාව අද (15) සිට යළි ලබාදීම ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මේවන විට පවුල් ඒකක ලක්ෂ 18 කට පමණ එම දිමනාව ලබාදීමට රජය කටයුතු කර ඇති බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *