අවුරුදු සමයේ හදිසි අනතුරු ඉහළට

අවුරුදු සමයේ හදිසි අනතුරු ඉහළට

*********************************************

අවුරුදු සමයේ හදිසි අනතුරු ඉහළට

(14.04.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා විශේෂ රථ වාහන මෙහෙයුමක් පොලීසිය විසින් මේ වනවිට ක්‍රියාවට නංවා තිබෙනවා.

අද (14) උදෑසන 9 ට එය ආරම්භ කෙරුණු අතර, හෙට (15) උදෑසන 6 දක්වා එය ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සඳහන් කළේ.

බීමත් රියදුරන් සහ රථ වාහන නීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම මෙම මෙහෙයුමේ අරමුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

මේ අතර, පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමය තුල හදිසි අනතුරු සියයට 47 කින් වැඩිවී ඇති බව කොළඹ ජාතික රෝහල පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා සඳහන් කළේ මේ දක්වා අනතුරු 132 ක් වාර්තා වී ඇති අතර, ඉන් 40 ක් මහා මාර්ගයේ සිදුවූ අනතුරු බවයි. එමෙන්ම, වැටීම් අනතුරු 49 ක් ද වාර්තා වී තිබෙනවා.

නිවසේ සිදුවූ අනතුරු 21 ක්, පහරකෑම් 19 ක් සහ ගිනිකෙලි වලින් සිදුවූ අනතුරු 3 ක් ද වාර්තා වී ඇති බවයි ඔහු කියා සිටියේ.

පසුගිය දෙදින (2) තුල සිදුවූ මාරක රිය අනතුරු වලින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

එබැවින් අලුත් අවුරුදු සමයේ මාර්ග භාවිත කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ ෴

******************************************

(14.04.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 08 වනදා සිට 11 වනදා දක්වා ගත වූ දින 4 ක් තුල අධිවේගී මාර්ගවල ගමන් ගත් රථ වාහනවලින් රුපියල් මිලියන 135 කට අධික ආදායමක් උපයා තිබෙනවා.

අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්රික් මහතා සඳහන් කළේ පසුගිය 10 වනදා පමණක් මිලියන 38 ක ආදායමක් ඉපයීමට හැකිවූ බවයි.

පසුගිය 10 වනදා පමණක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති මුළු රථ වාහන සංඛ්‍යාව 1,41,187 ක්.

******************************************

(14.04.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගි කරගෙන ඩුබායි ඔස්සේ කැනඩාව වෙත පලායාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු අද (14) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව – ආරම්පති ප්‍රදේශයේ පදිංචි මොහු 24 හැවිරිදි තරුණයෙකු බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

අද (14) අලුයම 03:15 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පිටත්ව යාමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයක් වෙත පිවිසීම සඳහා මොහු ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණා.

පසුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් සිදුකළ තාක්ෂණික පරීක්ෂාවන් වලදී අදාළ කැනේඩියානු වීසා බලපත්‍රය ව්‍යාජ ලෙස සකස් කර ඇති බවටයි තහවුරු වී ඇත්තේ ෴

******************************************

(14.04.2021 – 15:38 +0530 – hirunews.lk/sinhala)

අසල්වාසි පුද්ගලයෙකුට සහ ඔහුගේ 12 හැවිරිදි පුතාට පහරදිම සම්බන්ධයෙන් හක්මන දෙනගම පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ සහෝදරයෙකු අත් අඩංගුවට ගත් බව හක්මන පොලිසිය පවසනවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හක්මන දෙනගම පදිංචි කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ රාජකාරි කරනු ලබන කොස්තාපල්වරයෙක් සහ ඔහුගේ සහෝදරයෙක්.

මෙම කොස්තාපල්වරයා නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදි අසල්වැසි පුද්ගලයෙකු සමග පැරණි ආරවුලක් මත බහින් බස් විමක් සිදුව ඇති අතර එහිදි කොස්තාපල්වරයා සහ ඔහුගේ සහෝදරයා අසල්වැසි පුද්ගලයාටත් ඔහුගේ 12 හැවිරිදි පුතාටත් පහරදි තිබෙනවා.

තුවාල ලැබු පිය පුතු දෙදෙනා තංගල්ල මුලික් රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකාර කොස්තාපල්වරයා සහ සහෝදරයා අද දෙයියන්දර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි ෴

******************************************

(14.04.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම – ඉලුප්පකඩවෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කහ කිලෝ ග්‍රෑම් 2000 කට ආසන්න ප්‍රමාණයක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනයේ සිට මන්නාරමට අදාළ කහතොගය කැබ් රථයකින් රැගෙන යමින් තිබියදීයි ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

******************************************

(14.04.2021 – 16:16 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය නොවන සංවිධාන 38 ක් සම්බන්ධයෙන් රජය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ රාජා ගුණරත්න මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මෙම විමර්ශනය සිදුකරන බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තවාදයට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11 ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (13) නිකුත් කෙරුණා.

එලෙස තහනම් වූ සංවිධාන අතර, රාජ්‍ය නොවන සංවිධාන 3 ක් ද පවතින බවයි රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ රාජා ගුණරත්න මහතා කියා සිටියේ.

අදාළ ගැසට් පත්‍රය පහතින් :

2223/03 – 2021-04-13 – Ministry of Defence – The Prevention of Terrorism (Temporary Provisions Act No. 48 of 1979 Prevention of Terrorism Proscription of Extremist Organizations Regulations No. 2 of 2021 (pdf files)

[Sinhala][English]

++++++++++++

******************************************

(14.04.2021 – 17:51 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් චීනය ශ්‍රී ලංකාව වෙත සුබ පැතුම් එක් කර තිබෙනවා.

මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ උදා වූ අලුත් අවුරුද්ද දෙරටේ මිත්‍රත්වයට නව ආරම්භයක් වන බවයි.

චීන – ශ්‍රී ලංකා උපාය මාර්ගික සහයෝගීත්වය තවත් ඉහළ නංවාලමින් එක්ව කටයුතු කිරීම තුලින් දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබාදීම අපේක්ෂාව බව ද එහි වැඩිදුරටත් දැක්වෙනවා.

ගෙවීගිය වසර චීනය හා ශ්‍රී ලංකාව අතර දේශපාලන විශ්වාසය තවදුරටත් තහවුරු වූ වසරක් බවයි චීන තානාපති කාර්යාලය අදාළ නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත්තේ ෴

******************************************

(14.04.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන්, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද සුබ පැතුමක් එකතු කර තිබුණා.

ඒ, සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්. එම සටහන පහතින් :

******************************************

(14.04.2021 – 19:18 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ද සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක් කරමින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් එක් කර තිබෙනවා.

එමෙන්ම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සංකේතවත් කරමින් ඉන්දීය නාවික හමුදාවට අයත් රාජ්පුත් පන්තියේ පස්වන නෞකාව වන රන්විජේ නෞකාව අද (14) කොළඹ වරායට පැමිණියා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ මෙරට ජනතාවට අලුත් අවුරුදු දා සහයෝගය සහ සමගියේ පණිවුඩය රැගෙන රාජ්පුත් නෞකාව දිවයිනට පැමිණි බවයි ෴

******************************************

(14.04.2021 – 18:22 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හාලිඇළ, අඹවක ප්‍රදේශයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන කටයුතු පැය දෙකක (2) කාලයක් අඩාල වුණා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පැවතුනා.

******************************************

(14.04.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

යෝජිත වන අලි රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා වල්සපුගල ගොවීන් ඇරඹූ සත්‍යග්‍රහය අතරතුර අද (14) ඔවුන් ලු‍ණු කැඳ පිස ආහාරයට ගනිමින් අවුරුදු නැකැත් සැමරීම සිදුකළා.

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා සූරියවැව – වල්සපුගල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ පසුගිය ජනවාරි මාසයේයි.

දේශපාලනඥයින් වරින් වර පැමිණ ගොවීන් සමඟ සාකච්ඡා කළද සත්‍යග්‍රහය අද 88 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

එවන් පසුබිමක යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය පෙරේදා (12) දින ගැසට් කළත් අද (14) දිනයේත් එම ගොවීන් සත්‍යග්‍රහයේ නිරත වන්නේ අදාළ ගැසට් නිවේදනයේ අන්තර්ගත කරුණු පිළිබඳ ගොවීන් වෙත පැහැදිලි කිරීමක් අවශ්‍ය බව පවසමින්.

මේ අතර අලි මිනිස් ගැටලු‍වට විසඳුම් ඉල්ලා සහ වල්සපුගල ගොවි උපවාසයට සහය පළකරමින් දින 29 ක් පුරා මහියංගන නගරයේදී සත්‍යග්‍රහයේ නිරත වන ගොවීන්ද එම ස්ථානයේදී අද (14) අවුරුදු සැමරූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

******************************************

(14.04.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්දට ගම්බිම් ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සදහා හෙට (15) සිට විශේෂ ප්‍රවාහන සේවා යලි ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා හිරු ප්‍රවෘත්තී අංශයට ප්‍රකාශ කළේ අතිරේක බස් රථ 200 ක ප්‍රමාණයක් ලබන 20 වනදා දක්වා යොදවා ඇති බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද දුර ගමන් සේවා බස් රථ සීමිත ප්‍රමාණයක් යෙදවීමට කටයුතු යොදා ඇති බව ප්‍රකාශ කළා ෴

කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් හෙට (15) සිට දුර ගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා කියා සිටියේ ලබන සඳුදා (19) සිට සියලු දුම්රිය ගමන් වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බවයි ෴

******************************************

(14.04.2021 – 20:13 +0530 – hirunews.lk/sinhala)

අන්තවාදයට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11 ක් තහනම් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කිරීමත් සමඟ තමිල්නාඩුවේ ආරක්ෂාව තර කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ අදාළ සංවිධාන නියෝජනය කරන සාමාජිකයන් ඉන්දියාවට පලා යාමට උත්සාහ කිරීමට ඉඩ ඇති බැවින්.

මුහුදු මාර්ගයෙන් හෝ ගුවන් මගින් ඔවුන් පැමිණීමට ඉඩ ඇති නිසා තමිල්නාඩු පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ සංවිධාන තහනම් වීමත් සමඟ ශ්‍රී ලංකාව තුල රැදී සිටීමට සහ සිය මෙහෙයුම් සිදුකිරීමට මෙම කණ්ඩායම්වලට ගැටලු මතුවිය හැකි බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තවාදයට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11 ක් තහනම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (13) නිකුත් කෙරුණා.

ඒ ඊට නීතිපති දප්පුල ද ලිවේරාගේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුවයි.

මේ අතර, රාජ්‍ය නොවන සංවිධාන 38 ක් සම්බන්ධයෙන් රජය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ රාජා ගුණරත්න මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අදාල විමර්ශන සිදුකරන බවයි ෴

******************************************

(14.04.2021 – 20:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දනාධිපති ‘හිරු ටී.වී.’ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුවහසක් ප්‍රේක්ෂකයින් වෙත තිලිණ කරන ‘සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ අවුරුදු’ සජීවි වැඩසටහනේ හිරුගේ සංගීත සිරිය මීට සුළු මොහොතකට පෙර නිමා වුණා.

ඒ ජනකාන්ත ගී තරු රැසක් පිරිවරා ගනිමින්.

හිරු මංගල්‍යයේ ‘හිරු අවුරුදු කුමරා, කුමරිය’ තේරීම ආරම්භ වන්නේ අද (14) රාත්‍රි 09:00 ටයි.

සුපුරුදු පරිදි මෙවරත් හිරු ටී.වී. සංවිධාන කළ ‘සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ අවුරුදු’ සජීව වැඩසටහන ආරම්භ වූයේ අද (14) අළුයම 05:00 ටයි.

ඒ, බොල්ගොඩ වයිට් ලෝටස් පරිශ්‍රයේදීයි.

ප්‍රවීණ සහ ජනප්‍රිය ප්‍රතිභාපූර්ණ කලා ශිල්පීන් රැසක් එක්වූ ‘සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ අවුරුදු’ සජීවි වැඩසටහන නැටුම් ගැයුම් රැඟුම්වලින් මෙන්ම ජන ක්‍රීඩාවලින් ද වර්ණවත් වුණා.

එසේම, ප්‍රේක්ෂක නෙත්, සවන් පිනවන අතරතුර ශාස්ත්‍රීය සාකච්ඡා කිහිපයක්ද පැවති අතර, ඊට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා සහ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

අද (14) පස්වරුවේ හිරු සිඟිති අවුරුදු කුමරා, කුමරිය තේරීම ද සිදුවුණා.

******************************************

(14.04.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 15 ක් එකිනෙක ගැටී අද (14) දහවල් සිදුවූ අනතුරු වලින් එක් (1) පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ගැලනිගම සහ දොඩංගොඩ අතර, ප්‍රදේශයන්හි මෙම අනතුරු සිදුව තිබුණා.

පොලීසිය සඳහන් කළේ කිලෝමීටර් 19 කණුව අසල සහ 30 වන කිලෝමීටර් කණුව අසල මෙම අනතුරු සිදුව ඇති බවයි.

වාහන අතර, නියමිත දුර පරතරය තබා නොගැනීම මෙම අනතුරුවලට ප්‍රධාන හේතුවී තිබෙනවා.

අද (14) දිනයේදී අවුරුදු සැමරුම් සඳහා ගමන් බිමන් බලා යමින් සිටි පිරිස් රැගත් විශාල වාහන සංඛ්‍යාවක් කොළඹ සිට මාතර දෙසට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගනිමින් තිබුණා.

අනතුරු හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට දැඩි රථ වාහන තදබදයක් හට ගත් අතර එය කිලෝමීටර් 10 ක් පමණ දුරට විහිද ගොස් තිබූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා පැය 2 කට වැඩි කාලයක් ගත වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී වාහන අතර නියමිත දුර පරතරය සහ ඉදිරිය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසට තමන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි.

+++++++++++

******************************************

(14.04.2021 – 20:38 +0530 – hirunews.lk/sinhala)

කිරි උතුරවා අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව රුහුණු කතරගම මහා දේවාලයේ අවුරුදු මංගල්‍යයේ කටයුතු අද පස්වරුවේ ආරම්භ වූ අතර රාත්‍රී 07:45 ට යෙදෙන සුබ නැකතින් කතරගම දෙවියන් වැඩමවා ගත් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි.

මේ වන විටත් රුහුණු කතරගම මහා දේවාලයේ අවුරුදු මංගල්‍යය සදහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණ සිටින බවයි කතරගම හිරු වාර්තාකරු කේ.ඩී. දේවප්‍රිය මහතා සඳහන් කළේ.

මේ මහනුවර ජනතාව අලුත් අවුරුද්ද සමරන ආකාරය පිළිබදව තොරතුරු ගෙන එමින් අප වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක මහතා කියා සිටියේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ද සැලකිය යුතු බැතිමතුන් පිරිසක් පැමිණෙමින් සිටින බවයි.

උතුරේ ජනතාවද මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව ආගමානුකූලව සමරන බවයි හිරු වාර්තාකරු මාධව කුලසූරිය මහතා කියා සිටියේ.

උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ජනතාව මේ වනවිටත් සමරමින් සිටින්නේ හෙළ චාරිත්‍ර වලට මුල්තැන දෙමින්.

අද (14) පූර්වභාග 02:33 ට අලුත් අවුරුදු උදාව සිදුවූ අතර, ඊයේ (13) අපරභාග 08:07 ට උදාවූ පුන්‍ය කාලය හෙවත් නොනගතය අද (14) පූර්ව භාග 08:57 ට අවසන් වුණා.

ආහාර පිසීමේ සුබ නැකත පූර්ව භාග 06:17 ට යෙදී තිබූ අතර වැඩ ඇල්ලීම, ගණු දෙණු කිරීම සහ ආහාර අනුභවය සිදු කෙරුණේ පූර්ව භාග 07:41 ටයි.

කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද මෙවර අලුත් අවුරුද්ද ජනතාව වැඩි උනන්දුවකින් සමරන ආකාරයක් දක්නට ලැබෙන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

******************************************

(14.04.2021 – 20:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අර්බුදය හමුවේ තිරසාර සංවර්ධනයේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලොව අනෙකුත් සංවිධාන සමඟ එක්ව ප්‍රමුඛතාව ලබාදී කටයුතු කල යුතු බවට එහි වාර්ෂික ඇගයීම් වාර්තාවෙන් යෝජනා කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ ස්වාධීන ඇගයීම් දෙපාර්තමේන්තුව 2021 වසරට අදාළ වාර්ෂික ඇගයීම් අදාළ වාර්තාවෙන් සමාලෝචනය කර ඇති බව සඳහන්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ආසියානු කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් මූල්‍ය ස්ථායිකරණයේදී පසුගාමී වී ඇති අතර එම අර්බුදයෙන් මිදීම සඳහා අදාළ රටවලට සහය ලබාදිය යුතු බවයි ෴

@@@@@@@@@@@@@@@

(14.04.2021 – 15:43 +0530 – hirunews.lk/sinhala)

තවත් ආසාදිතයින් 225 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 92,151 දක්වා ඉහල ගියා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ආසාදිතයින් 2867 දෙනකු ප්‍රතිකාර ලබන අතර, මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පවතින්නේ 95,620 ක් ලෙසටයි ෴

තවත් කොරෝනා ආසාදිතයින් 99 දෙනෙකු අද දිනයේ හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 95,719 ක් ලෙසටයි.

මේ අතර, ආසාදිතයින් 225 දෙනෙකු සුවය ලබා අද (14) රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 92,151 දක්වා ඉහල ගියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *