රජයේ ඇතැම් ප්‍රධානීන් ඉස්ලාම් අන්තවාදීන්ට නතු වෙලා

රජයේ ඇතැම් ප්‍රධානීන් ඉස්ලාම් අන්තවාදීන්ට නතු වෙලා

*********************************************

රජයේ ඇතැම් ප්‍රධානීන් ඉස්ලාම් අන්තවාදීන්ට නතු වෙලා

(13.04.2021 – aruna.lk)

රාජ්‍ය ආයතන මුල්පුටුවල සිටින ඇතැම් ප්‍රධාන නිලධාරීන් ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලට නතු වී කටයුතු කරන බව රාජ්‍ය බුද්ධි අංශ විමර්ශනයකින් අනාවරණය වී තිබේ.

මෙම සංවිධාන සම්බන්ධයෙන් රජය ගන්නා තීන්දු තීරණ මෙම නිලධාරීන් මගින් එම සංවිධානවලට ලැබෙන බවට ද තොරතුරු හෙළි වී ඇත.

මහ බැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව, වරාය, ගුවන්තොටුපොළ, සෞඛ්‍ය අමාත්‍යාංශ ආදී ආයතන ඇතුළු රාජ්‍ය ආයතනවල සිටින ඉහළ නිලධාරීන් සැලසුම් සහගතව එම සංවිධානවල මතයන්ට නතුකරගෙන ඇතැයි ද තොරතුරු ලැබී තිබේ. ඒ අතරට මහාචාර්යවරුන්, ඉංජිනේරුවරුන්, පරිගණක විද්‍යාඥයන් ඇතුළු ඉහළ තනතුරු හොබවන පුද්ගලයන් ඇතුළත් බව ද සඳහන්ය.

මෙසේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි තැන් හා එම මරමස්ථානවල ඉහළ තනතුරු දරන පුද්ගලයන් සම්බන්ධව රාජ්‍ය ඔත්තු සේවාව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්යාංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

තිස්ස රවින්ද්‍ර පෙරේරා

******************************************

සිටි සේවය සඳහා නව බස් රථ දෙසීයක් (200)

(13.04.2021 – aruna.lk)

‘සිටිබස්’ සේවය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ දෙසීයක් (200) මිලදී ගැනීමට තීරණය කළ බව ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා ‘අරුණ’ ට ඊයේ (11) පැවැසීය.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාවකට තමා අත්සන් යෙදූ බවත් එහි ප්‍රසම්පාදන ක්‍රියාවලියද ආරම්භ කර ඇති බවත් ඉදිරි මාස කිහිපය තුළ මෙම බස් රථ මිලදී ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ගමනාරම්භයත්, ගමනාන්තයත් කරගමින් මේ වනවිට ක්‍රියාත්මක ‘සිටිබස්’ සේවය සඳහා පෞද්ගලික අංශයේ බස් රථ 25 ක් යොදවා ඇත.

මෙකී සේවය සඳහා තවත් බස් රථ දෙසීයක් (200) මිලදී ගන්නා බවත් මාකුඹුරට අමතරව මොරටුව, පිළියන්දල, කඩුවෙල, කඩවත, ජාඇල, අතුරුගිරිය ප්‍රදේශවල තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන හයක් (6) ඉදිවන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත් ඒ. අල්විස් මහතා ‘අරුණ’ කළ විමසුමකදී සඳහන් කළේය.

කොළඹ නගරයට පිවිසෙන වාහන අවම කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මෙම සේවයේ ආදායම දිනෙන් දින ඉහළ යමින් පවතී ෴

++++++++++++++

‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ සිටි බස් සේවාව ව්‍යාප්ත කෙරේ

(13.04.2021 – 21:30 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලබාදීමට හඳුන්වාදුන් ‘පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස්’ සේවාව ඉදිරි සති කිහිපයේ දී පිළියන්දල 120 බස් මාර්ගයට සහ ගාලු පාරේ, මොරටුව – කොළඹ බස් මාර්ගයට මෙන්ම දිවයිනේ තවත් ප්‍රධාන නගර කිහිපයකටම ව්‍යාප්ත කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම්කර තිබේ.

දැනට කොළඹ ආශ්‍රිත බස් මාර්ග 4 ක පමණක් ධාවනයට යොදවා ඇති ‘සිටි බස්’ රථවලින් සැලකිය යුතු ආදායම් ඉපයීමක්ද සිදුවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේය.

‘පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස්’ සේවාව ඉකුත් ජනවාරි 15 වනදා නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර දැනට එම බස් සේවාව කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට 138, 174, 112 සහ 115 යන බස් මාර්ගවල ධාවනයට යොදවා තිබේ.

මගීන්ට සිය පුද්ගලික රථයෙන් පැමිණ එම බස් රථ සේවාවට අදාළව ස්ථාපිත කර ඇති රථගාල්වල සිය රථය නවතා ‘සිටි බස්’ රථයට ගොඩවිය හැකිය.

මෙහි විශේෂත්වය වන්නේ එම බස් රථ සේවාවටම නිර්මාණය කෙරුණු ‘සිටි බස්’ ඇප් එක හෙවත් ජංගම දුරකථන යෙදවුමෙන් බස් රථ ඇති ස්ථාන, ඊළඟට පැමිණෙන බස් රථය කුමක්ද යන්න ඇතුළු තොරතුරු රැසක්ම මාර්ගයේ රස්තියාදු නොවී දැනගැනීමට මගීන් අවස්ථාව හිමිවීමය.

සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එකහමාරක මුදලක් ‘සිටි බස්’ රථයේ අය කෙරෙන අතර ගෙවුණු මාස තුන හමාරක (3½) කාලය තුළ ඉන් සැලකිය යුතු ආදායමක් උපයා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

******************************************

(13.04.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන් ඇතුළු තෝරා ගත් කාණ්ඩ කිහිපයකට රුපියල් 5000 සේ දීමනාව ලබාදීම අද (13) දිනයේදීත් සිදු කෙරෙනවා.

එම කටයුතු ඊයේ (12) ආරම්භ වූ අතර, එහිදී පවුල් ඒකක ලක්ෂ 11 කට වැඩි ප්‍රතිලාභීන් පිරිසකට අදාළ දීමනාව ලබාදීමට හැකිවූ බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් අදාළ දීමනාව ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ප්‍රමාද වීම හා එම දීමනාව ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන නිලධාරීන්ගේ ඇතැම් වෘත්තිය සමිති ඊට සහය ලබා නොදීම හේතුවෙන් ඊයේ ඇතැම් ප්‍රදේශවල මේ සඳහා බාධා මතුව තිබුණා.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා තවදුරටත් කියා සිටියේ අද (13) දිනයේදීත් පන්දහසේ දීමනාව ලබාදීමට කටයුතු කරන බවයි ෴

******************************************

(13.04.2021 – 09:05 +0530 – hirunews.lk/sinhala)

ජාඇල සහ සපුගස්කන්ද ප්‍රදේශවලින් සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 125 ට අමතරව තවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙරටට අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300 කට ආසන්න ප්‍රමාණයක් ගෙන්වා ඇති බවයි.

පෙරේදා (11) සහ ඊයේ (12) ජාඇළ සහ සපුගස්කන්ද ප්‍රදේශවලින් සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 125, විදේශ රටවල් දෙකක (2) රැඳී සිටින රූබන් සහ කුඩු ලාල් නැමැත්තන්ට අයත් බවට හෙළිවුණා.

දැනට ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින නිපුණ නැමැත්තෙකු විසින් ඒවා මුහුදු මාර්ගයෙන් මෙරටට එවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් ඊයේ (12) ජාඇළ – නිවන්දන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 15 ක් සමඟ එකම පවුලේ හයදෙනෙකු (6) අත්අඩංගුවට ගත් අතර, අනතුරුව ලද තොරතුරුවලට අනුව ඊයේ (12) සපුගස්කන්ද – රග්ගහවත්ත ප්‍රදේශයේ නිවසක තිබී අනෙක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 110 සොයා ගනු ලැබුවා.

මේවායේ වටිනාකම රුපියල් කෝටි 100 ඉක්මවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

******************************************

පොල් ක්ෂ්‍රේත්‍රය සංවර්ධනය කිරීමට ධම්මික පෙරේරා දුන් සැලැස්ම (09.04.2021)

******************************************

‘SLS සිද්ධිකා’ හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න.. – GMOA හෙලි කරයි..

(13.04.2021 – 12:40 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ​සමන්ත ආනන්ද මහතා සඳහන් කරන්නේ ප්‍රමිති ආයතන ප්‍රධානීන්ගේ වත්කම් සොයා බැලීමට කටයුතු කළ යුතු බවයි.

මෙම ආයතන වල ප්‍රධානීන් තම රැකියාවෙන් විශ්‍රාම ගත් පසු ඊළඟට සේවය කිරීමට යන්නේ තමන් උදව් කළ පෞද්ගලික ආයතන වලට බවද ඔහු කියා සිටී.

මෙරට වෙළඳ පොළේ ඇති කිරිපිටි වල පාම් තෙල් ඇති බවද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ප්‍රමිති ආයතනය විසින් හෙළි නොකරන ලද විෂ සහිත ආහාර ලැයිස්තුවක්ද ඔහු මෙහිදී හෙළිදරව් කළේය.

******************************************

(13.04.2021 – 09:29 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ඉතා සුපරික්ෂාකාරී වන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පොලීසිය සඳහන් කළේ අන්තර්ජාලයෙන් අලෙවි කරන ඇතැම් භාණ්ඩ කිසියම් පුද්ගලයෙකුගෙන් සොරකම් කරන ලද හෝ කොල්ලකන ලද ඒවා බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

එවැනි වටිනා ජංගම දුරකථන, ස්වර්ණාභරණ, සුවඳ විලවුන්, වීදුරු උපකරණ ආදී භාණ්ඩ අඩුමිලට ලබාදෙන බවට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කර භාණ්ඩ අලෙවිය සිදුකරනවා.

කෙසේ වෙතත් එම ආයතනවල භාණ්ඩ විකුණන පුද්ගලයින් භාණ්ඩ හුවමාරු කිරීමේ ස්ථාන ලෙස ජනයා වැඩිපුර නොගැවසෙන සහ සී.සී.ටී.වී. කැමරා නොමැති ස්ථානයක් තෝරාගනු ලබන අතර, එහිදී ඔවුන් භාණ්ඩ විකුණා ක්‍ෂණිකව අතුරුදන්වීමට කටයුතු කරන බවටයි දැනට පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ ෴

******************************************

(13.04.2021 – 10:02 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක අනාරක්ෂිත අයුරින් ගමන් කර පොලීසිය මගහැර සිටි තරුණයින් 4 දෙනා අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අකුරණ ප්‍රදේශයේ පදිංචි 18 සහ 20 අතර වයස් වල පසුවන තරුණයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

කොළඹ සිට ගාල්ල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ධාවනය කරන මෝටර් රථයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පිළිබදව පසුගියදා හිරු ප්‍රවෘත්ති තුළින් අනාවරණ කළා.

ලා නිල් පැහැති අදාළ මෝටර් රථයේ ගමන් ගන්නා තරුණයින් 4 දෙනෙකු එහි වීදුරු පහත් කොට ශරීරය රථයෙන් පිටතට සිටින සේ වාඩිවී අනාරක්ෂිතව ගමන් කරන අකාරයයි එහි දැක්වුණේ.

පසුව, අදාළ මෝටර් රථයේ ගමන් ගත් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ කණ්ඩායමක් යොදවනු ලැබුවා.

ඒ අනුවයි, ඊයේ (12) පස්වරුවේ අදාළ මෝටර් රථය පොලිස් භාරයට ගෙන එය පැදවූ 20 හැවිරිදි තරුණයා අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ.

පසුව සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක අනාරක්ෂිත අයුරින් ගමන් කර පොලීසිය මගහැර සිටියදී අත්අඩංගුවට ගත් තරුණයින් 4 දෙනාද මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ති ද සිල්වා හමුවට අද (13) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් තරුණයින් අකුරණ ප්‍රදේශයේ පදිංචි 18 සහ 20 අතර වයස් වල පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

කොළඹ සිට ගාල්ල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ධාවනය කරන මෝටර් රථයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පිළිබදව පසුගියදා හිරු ප්‍රවෘත්ති තුළින් අනාවරණ කළා.

සිද්ධියට අදාළව ඊයේ (12) දිනයේදී මෝටර් රථය පොලිස් භාරයට ගෙන එය පැදවූ 20 හැවිරිදි තරුණයාද අත්අඩංගුවට ගෙන මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴

******************************************

(13.04.2021 – 11:24 +0530 – hirunews.lk/sinhala)

මුරුතගොඩ, ලබුහේන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට, යාබද නිවසේ පුද්ගලයා විසින් පිහියකින් ඇන ඊයේ (12) රාත්‍රියේ ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 59 හැවිරිදි කාන්තාවක්.

පිහි අනුමෙන් බරපතල තුවාල ලැබූ අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ අනියම් සම්බන්ධයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.

මිද්දෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනවා ෴

******************************************

(13.04.2021 – 11:38 +0530 – hirunews.lk/sinhala)

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා.

කොම්පඤ්ඤවීදිය පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය, පැලන්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදීයි.

ඒ පාරිභෝගික සේවා අධිකාරිය විසින් මීට වසර දෙකකට (2) පමණ පෙර රාජකාරියට බාධා කිරීමේ චෝදනා එල්ල කරමින් ඔහුට එරෙහිව ගොනුකළ නඩුවකට අදාලවයි.

අදාල නඩුව පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනට පසු දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිත තිබූ අතර පාස්කු ප්‍රහාරයත් සමඟ රටේ ඇති වූ තත්ත්වය හේතුවෙන් එය කල් දමා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නඩුවට පෙනී නොසිටීම නිසා අසේල සම්පත් මහතා සිට ඇත්තේ විවෘත්ත වරෙන්තු යටත්තේයි.

කොම්පඤ්ඤවීදිය පොලිසිය අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගනු ලබනේ එම වරෙන්තුව ක්‍රියාත්මක කරමින්.

******************************************

(13.04.2021 – 11:48 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (13) දහවල් සිට ලබන 18 වනදා දක්වා දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වසා තැබෙන බව දඹුල්ල වෙළඳ සංගමය පවසනවා.

එහි සභාපති යූ.බී. ඒකනායක මහතා ප්‍රකාශ කළේ ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු සියලු එළවළු තොග ඊයේ (12) අලෙවි වී අවසන් වූ බවයි.

ඊයේ (12) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝග්‍රෑම් ලක්ෂ 60 කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@

(13.04.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකළහොත් අලුත් අවුරුද්දෙන් පසුව බොහෝ දෙනෙකුට නිරෝධායනය වීමට හෝ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යාමට සිදුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

කොරෝනා වෛරස් වසංගතය වැළැක්වීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ජනයා පසුගිය දින කිහිපය තුළ ප්‍රධාන නගරවල අවුරුදු සාප්පු සවාරියේ යෙදෙන අයුරු දක්නට ලැබුණා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මාර්ගෝපදේශ නොතකමින් කටයුතු නොකළහොත් යළිත් කොරෝනා අවදානමක් මතුවිය හැකි බවයි.

මේ අතර ඊයේ (12) නව ආසාදිතයින් 263 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 95,394 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 203 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර, බන්ධනාගාර පොකුරේ ආශ්‍රිතයින් 22 ක් ද වාර්තා වනවා.

විදේශයන් හි සිට පැමිණි 38 දෙනෙකු ද කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව ආසාදිතයින් 3021 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 91,775 ක්.

ඊයේ (12) දිනයේ කිසිදු මරණයක් වාර්තා වී නොමැති අතර ඒ අනුව මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 598 ක් ලෙසයි ෴

එමෙන්ම, විදේශ රැකියා සදහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි පිරිස් ගෙන්වා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නොමිලේ නිරෝධායනය කිරීමේ වැඩසටහනේ පළමු කණ්ඩායම ලෙස 149 දෙනෙකු ඊයේ රාත්‍රියේ කුවේට් හි සිට ශ්‍රී ලංකාවට පැමිණියා ෴

+++++++++++++++++

(13.04.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්දට සමගාමීව පැවැත්වෙන අවුරුදු උත්සව සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලීසියේ අවසරය ලබා ගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා යළිත් අවධාරණය කරනවා.

එසේ නොමැති වුවහොත් නිරෝධායන නීති රීතිවලට අනුව කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි ඔහු කියා සිටියේ ෴

+++++++++++++++++

(13.04.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්දට සමගාමීව පැවැත්වෙන අවුරුදු උත්සව සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලීසියේ අවසරය ලබා ගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා යළිත් අවධාරණය කරනවා. එසේ නොමැති වුවහොත් නිරෝධායන නීති රීතිවලට අනුව කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි ඔහු කියා සිටියේ ෴

+++++++++++++++++

(13.04.2021 – 11:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යාමත් සමඟ විදෙස් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබෙනවා.

සතියක කාලයක් සඳහා හෙට (14) සිට මෙලෙස ගුවන් ගමන් නවතා දමන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් ගුවන් ගමන් 500 කට අධික පිරිසක් අවලංගු වන බව ද එරට මාධ්‍ය වාර්තා කළා.

බංගලාදේශයේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මියගිය මුළු පුද්ගලයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 9822 ක් ලෙසයි.

ආසාදිතයින් 6,91,957 ක් එරටින් වාර්තා වනවා ෴

++++++++++++++++++

(13.04.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

නව මරණ 4 ක් අද වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 600 ඉක්මවූවා. ඒ අනුව නව මරණ සංඛ්‍යාව දැක්වේනේ 602 ක් ලෙසයි.

ගාල්ල, නාරාහේන්පිට, අකුරැස්ස සහ මහරගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 45 ත් 76 ත් අතර වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු (2) මෙලෙස මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *