මහජනතාවගේ මුදල් වංචා කිරීමේ ජාවාරමක් ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ මුදල් වංචා කිරීමේ ජාවාරමක් ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම් දීමක්

*********************************************

මහජනතාවගේ මුදල් වංචා කිරීමේ ජාවාරමක් ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම් දීමක්

(09.04.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මාසිකව සිදුකරනු ලබන දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයෙකු වී ඇති බවත් එම ත්‍යාග මුදල ලබා ගැනීම සඳහා කිසියම් මුදලක් බදු වශයෙන් ගෙවිය යුතු බවටත් දන්වමින් මහජනතාවගේ මුදල් වංචා කිරීමේ පුද්ගල කණ්ඩායමක් පිළිබඳ පැමිණිලි වාර්තා වෙමින් පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඉහත ආකාරයේ දිනුම් ඇදීම් හෝ වෙනත් කිසිදු ආකාරයක මුදල් ලබා ගැනීමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හෝ විමර්ශන නිලධාරීන් විසින් සිදුනොකරන බවයි එම අධිකාරිය මහජනතාව වෙත දන්වා සිටින්නේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නමින් හෝ එහි විමර්ශන නිලධාරීන් යැයි පවසමින් ඔබගෙන් මුදල් ඉල්ලා සිටින්නේ නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි ෴

******************************************

(09.04.2021 – 15:53 +0530 – hirunews.lk/sinhala)

පාරිසරික වැරදි සම්බන්ධයෙන් දිවයිනම ආවරණය වන පරිදි පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 323 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ එහිදී වැටලීම් 327 ක් සිදුකර ඇති බවයි.

ඉන් වැඩිම වැටලීම් සංඛ්‍යාවක් වන වැටලීම් 64 ක් සිදුකර ඇත්තේ දකුණු පළාතෙන් වන අතර, එහිදි අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 43 ක්.

වැඩිම සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ උතුරුමැද පළාත තුළ සිදුකළ වැටලීම්වලදියි.

මෙම වැටලීම්වලදී වාහන 77 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

******************************************

(09.04.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

කතානායකවරයා පාර්ලිමේන්තුව තුල පක්ෂග්‍රාහී ලෙස හැසිරෙන බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාටම ලිපියක් යොමු කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 ක් අත්සන් යොදා ඇති මෙම ලිපියෙන් කතානායකවරයා පක්ෂග්‍රාහී ලෙස හැසිරුණු අවස්ථා ගණනාවක් සිහිකැදවා ඇති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ විපක්ෂ මන්ත්‍රී වරුන් ලෙස තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසයි.

******************************************

(09.04.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් අදත් (09) හදිසි වර්ජනයක් ක්‍රියාත්මක කළා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ තුලින්ම නව සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කිරීමට ගෙන ඇති තිරණයට විරෝධය පළ කිරීම එහි අරමුණ බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, පස්වරුවේ ඔවුන් වර්ජනය අවසන් කර තිබූ අතර, දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වූ බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

වැඩිදුර තොරතුරු විමසීමට දුම්රිය රියදුරු සහ නියාමකවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී අප උත්සාහ කළත් ඔවුන් දුරකථන වලට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

පෙර දැනුවත් කිරීමකින් තොරව හදිසියේ ආරම්භ කර නොකියාම අවසන් කරන මෙවැනි වර්ජනය හේතුවෙන් සතියේ වැඩ කරන අවසන් දිනය මෙන්ම අලුත් අවුරුද්ද වෙනුවෙන් ද ගම්බිම් බලා යන ජනතාව දැඩි අපහසුතාවයකට පත්වුණා.

******************************************

(09.04.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ආපන ශාලාවලින් රැඳවූවන්ට ආහාර ලබාදීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙවර අප්‍රේල් 13 සහ 14 දෙදින සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිරකරුවන් බැලීමට ඥාතීන්ට අවස්ථාව ලබාදුන්න ද නිවසින් රැගෙන එන කිසිදු ආහාරයක් ඔවුන්ට ලබාදීමට අවස්ථාව නොලැබෙන බවයි.

ඒ හේතුවෙන් විශේෂ වරප්‍රසාදයක් ලෙසට සිරකරුවන්ට අවශ්‍ය පිසින ලද ආහාර කෙටි ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාගැනීමට නිවැසියන් විසින් රුපියල් 1000 ක මුදලක් බන්ධනාගාර ආපන ශාලාවේ තැන්පත් කළ යුතු වනවා.

ඒ සඳහා පසුගිය 8 වනදා සිට ලබන 14 වනදා දක්වා අවස්ථාව පවතිනවා.

මෙලෙසින් බන්ධනාගාර රැඳවූවන්ට ආහාර ආපන ශාලාව තුලින් ලබාදීමට තීරණය කර ඇත්තේ බන්ධනාගාර තුළට ඇතුලුවී ඇති කොවිඩ්-19 වසංගත තත්වය පාලනය කර ඇති බැවින් එය යළිත් බන්ධනාගාර තුලට ඇතුලුවීම පාලනය කිරීමේ අරමුණින් ෴

******************************************

ලබන සඳුදා (12) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

(09.04.2021 – 18:36 +0530 – hirunews.lk/sinhala)

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 12 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර තිබෙනවා ෴

******************************************

(09.04.2021 – 18:50 +0530 – hirunews.lk/sinhala)

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසට මොහාන් සමරනායක මහතා පත්කර තිබෙනවා ෴

******************************************

(09.04.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

2020 ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි අද (09) සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් ලෝක රූ රැජිණ කිරුළ යළි භාරදීමට තීරණය කළ බව සදහන් කළා.

ඒල පසුගිය ඉරිදා විවාහක රූ රැජිණ තරගයේදී තේරී පත් වූ රූ රැජිණගේ කිරුළ ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතු වූ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේයි.

මෙම සිදුවීමට මුල් වුණේ පසුගියදා ලෝක රූ රැජිණ තරගය සඳහා මෙරට නියෝජනය තෝරා පත්කර ගැනීමට පැවති තරගයේ ඇති වූ සිදුවීමයි.

එහිදී මෙරට 2020 විවාහක රූ රැජිණ ලෙස තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ සුදුසුකම් සම්බන්ධයෙන් කැරොලයින් ජූරි මෙලෙස ප්‍රකාශයක් සිදුකළා.

එහිදී ඉවත් කෙරුණු පුෂ්පිකා මහත්මියගේ රූ රැජිණ කිරුළ යළි ඇයටම හිමි වූ අතර කැරොලයින් ජූරි ඊයේ (08) පොලිස් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණා.

******************************************

(09.04.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් යාපනය මහ නගර සභාවේ සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් ගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. පොලිස් භටයින් භාවිත කළ ඇඳුමට සමාන නිල ඇඳුමක් පුද්ගලයින් පස් දෙනෙකුට (5) ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණට යාපනය මහ නගර සභාවේ බලය හිමිව ඇති අතර, යාපනය නගරයේ විශේෂ රාජකාරී සඳහා නගරාධිපතිවරයා විසින් පසුගියදා විශේෂ ඒකකයක් පිහිටුවා තිබෙනවා.

එහි මෙහෙයුම් සඳහා පුද්ගලයින් පස් දෙනෙකු (5) බඳවාගෙන තිබූ අතර, ඔවුන්ගේ නිල ඇඳුම ලෙසයි මෙම ගැටළුකාරී ඇඳුම ලබාදී ඇත්තේ.

ඒ අනුව සිදුකළ විමර්ශනයට අනුවයි ඒ සම්බන්ධයෙන් යාපනය නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේ.

ත්‍රස්ත ක්‍රියා විමර්ශණ කොට්ඨාශය මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අත්අඩංගුවට ගත් යාපනය මහ නගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවනන් ඇප මත නිදහස් කර තිබෙනවා.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ නගරාධිපතිවරයා රුපියල් ලක්ෂ දෙක (2) බැගින් වූ පුද්ගලික ඇප දෙකක් (2) මත නිදහස් කිරීමටයි.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. පොලිස් භටයින් භාවිත කළ ඇඳුමට සමාන නිල ඇඳුමක් පුද්ගලයින් පස් දෙනෙකුට (5) ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ.

******************************************

(09.04.2021 – 21:23 +0530 – hirunews.lk/sinhala)

‘ගම සමග පිළිසඳර’ වැඩසටහනෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම හා ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස මෙහෙයවීම සහ පසු විපරම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා.

‘ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය’ ලෙසටයි එය නම් කර ඇත්තේ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධක බලකායට රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර සිටිනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සා, දිලුම් අමුණුගම, කංචන විජේසේකර, සීතා අරඹේපොළ, මහාචාර්ය චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, කපිල අතුකෝරල, සංජීව එදිරිමාන්න, නිපුන රණවක, චාමර සම්පත් දසනායක, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, චින්තක අමල් මායාදුන්නේ සහ ජයන්ත වීරසිංහ යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයන්.

‘ගම සමග පිළිසඳර’ ග්‍රාමීය සංවර්ධන කාර්යයන් හා සම්බන්ධිත අවශ්‍ය සියලු තොරතුරු සම්පාදනය හා සම්බන්ධීකරණය භාරව සිටින්නේ ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මහත්මියයි.

‘ගම සමග පිළිසඳර’ වැඩසටහනේ දී ජනතාව ඉදිරිපත් කරන ප්‍රශ්න හා ගැටලු විසඳීම වෙනුවෙන් ජනාධිපතිවරයා දෙන උපදෙස් හා නියෝග කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් සහ වෙනත් සියලුම ආයතන ප්‍රධානීන් ද ඇතුළුව ප්‍රාදේශීය මට්ටමේ සියලු නිලධාරීන් සේවා අවශ්‍යතාව මත මෙහෙයවීම කාර්ය සාධක බලකායේ මූලික වගකීමක්.

ප්‍රාදේශීය සභා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවල ජාතික මට්ටමේ රාජ්‍ය ආයතන මගින් 2021 – 2023 අය වැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන මාර්ග, පානීය ජල සම්පාදන, විදුලිය, දුරකථන සන්නිවේදන, ක්‍රීඩා පිටි, පාසල්, රෝහල්, වෘත්තීය අධ්‍යාපන ආයතන, නාගරික විශ්ව විද්‍යාල, ඉඩම් පැවරීම්, බැංකු හා මූල්‍ය පහසුකම්, වෙළෙඳ පොළ, ගබඩා හා යටිතල පහසුකම් ව්‍යාපෘති කඩිනම් කිරීම බලකායට පවරා තිබෙනවා.

රාජ්‍ය ආයෝජන වැඩපිළිවෙළ යටතේ දේශීය හා විදේශීය අරමුදල් ඇතිව ක්‍රියාත්මක සියලුම ව්‍යාපෘති ඉලක්කගත කාලසීමාව තුළ ප්‍රමිතියෙන් යුතුව කඩිනම් කරවීම කාර්ය සාධක බලකායෙන් අපේක්ෂා කෙරෙනවා.

කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, සංස්ථාවක හෝ එබඳු ආයතනයක නිලධාරියෙකු කාර්ය සාධක බලකාය පවරන රාජකාරී ඉටු කිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ අවස්ථා තමාට වාර්තා කරන ලෙසටයි ජනාධිපතිවරයා කාර්ය සාධක බලකායට නියම කොට විධාන කර ඇත්තේ ෴

******************************************

නූතන තාක්ෂණයේ අහිතකර ප්‍රතිඵල

(09.04.2021 – 22:51 +0530 – hirunews.lk/sinhala)

නූතන තාක්ෂණයේ ලෝකයට උරුම කර දී ඇති දේ බොහෝයි. කෙසේ වෙතත් එහි යහපත් ප්‍රතිඵල මෙන්ම අයහපත් ප්‍රතිඵලද අත්විඳින්නට සමාජයට සිදුව තිබෙනවා.

මේ තාක්ෂණයේ ප්‍රතිඵලයක් වී ඇති කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් පුද්ගල චරිතවලට අපහාසවන අන්දමේ වීඩියෝ පට නිර්මාණයට ඇතැමුන් යොමු වී ඇති ආකාරයයි.

******************************************

(09.04.2021 – 23:05 +0530 – hirunews.lk/sinhala)

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් පුරප්පාඩු වූ එම අසුන සඳහා අජිත් මාන්නප්පෙරුම මහතා අද (09) පෙරවරුවේ කථානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.

මේ අතරල පාස්කු වාර්තාව පිළිබඳ විවාදයේ අවසාන දිනය වූ අද එම විවාදයට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ, 2015 ට පෙර සහරාන් හෝ ඔහුගේ අනුගාමිකයන් කිසිවෙකුට රජයෙන් වැටුප් හෝ දීමනා ලබාදී ඇති බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

@@@@@@@@@@@@@

(09.04.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිත කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (09) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

ඒ, රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පෙරමුණේ සභාපති ලුවිස් බෙනඩික් ඇතුළු තුන්දෙනෙකු (3) විසින්.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා ඇතුළු 24 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

සිනොෆාම් එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නිසි පරිදි ලැබී නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කාර පාර්ශවය අනුමැතියකින් තොරව මෙම එන්නත භාවිතයට ගැනීමෙන් දැඩි අගතියක් සිදුවිය හැකි බවයි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර, අද (09) දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 112 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

අද (09) දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 228 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිත අතර, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 91,272 ක් ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 71 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 94,519 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *