පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවට

පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවට

*********************************************

පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවට

(08.04.2021 – 12:24 +0530 – hirunews.lk/sinhala)

අද (08) උදෑසන කොළඹ කොටුව ප්‍රදේශයේ පැවතී උද්ඝෝෂණයක් අතරතුර විරෝධතාකරුවන් විසින් කොටුව පොලිසියට අයත් ජීප් රථයකට පහරදීමක් සිදුකර තිබෙනවා.

පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන කොටුව පොලීසිය මෙම විරෝධතාවට එක්වසිටි පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++

අත්අඩංගුවට ගත් ජඹුරේවෙල හිමි හෙට (09) අධිකරණයට

(08.04.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

‘රණවිරු බිරින්දෑවරුන්ගේ විරෝධතා ව්‍යාපාරයක්’ අතරතුර කොටුව පොලිසියට අයත් ජීප් රථයකට පහරදී අලාභහානි සිදුකිරීමේ සහ අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීමේ චෝදනා යටතේ කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් හෙට (09) කොටුව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

+++++++++++++

+++++++++++++

++++++++

[ සේයාරූ ]

++++++++++

(08.04.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

පොලිස් ජිප් රථයකට පහරදී අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිංහලේ අපි ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පොලිස් ඇප මත නිදහස් කර තිබෙනවා ෴

******************************************

යාපනය නගරයේ ආරක්ෂාවට අමුතු ඒකකයක් – නිල ඇදුම ගැනත් පරීක්ෂණ

(08.04.2021 – 12:49 +0530 – hirunews.lk/sinhala)

යාපනය මහ නගර සභාව ‘නගර ආරක්ෂණය’ සඳහා පිහිටුවා ඇති බව කියන නව ඒකකය සහ එහි ‘නිළ ඇඳුම’ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඒ අනුව මේ වන විටත් නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස්වරයා ඇතුළු පාර්ශව කිහිපයකින් ප්‍රකාශ ලබා ගැනීමටයි යාපනය පොලීසිය පියවර ගෙන ඇත්තේ.

යාපනය නගරයේ අවිධිමත් ලෙස කසල බැහැර කිරීම් ඇතුළු නගරය අපවිත්‍ර කිරීම් සම්බන්ධයෙන් පියවර ගැනීමටයි පසුගිය දා යාපනය මහ නගර සභාව මගින් මෙම ඒකකය ඇති කරනු ලැබුවේ.

එම ඒකකයට ප්‍රධාන නිලධාරීන් ලෙස පුද්ගලයන් 5 දෙනෙකු බඳවාගෙන තිබෙනවා.

නිල් පැහැති කමිසයක් සහ තද නිල් පැහැති කලිසමක් නිළ ඇදුම සඳහා ඔවුන්ට ලබාදී ඇති අතර, දකුණු අතෙහි නගර සභාවේ ලාංඡනය සටහන් කර තිබෙනවා.

අවිධිමත් ලෙස කසල බැහැර කිරීම ඇතුළු නගර අපවිත්‍ර කිරීම සම්බන්ධයෙන් රුපියල් 5000 සේ සිට 10,000 දක්වා දඩ නියම කිරීමට ද මහ නගර සභාව තීරණය කර තිබෙනවා.

මෙම ඒකකයට ලබාදී ඇති නිළ ඇදුම සම්බන්ධයෙන් සැක මතු කරමින් පාර්ශව කිහිපයක් යාපනය පොලීසියට පැමිණිලි කර තිබුණා.

ඒ අනුවයි මෙලෙස පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ.

******************************************

(08.04.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට පිහිටි ඖෂධ අලෙවිසැලක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකාය, එහි තිබී මත්පෙති 3000 ක් පමණ සොයාගෙන තිබෙනවා.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (07) මෙම වැටලීම සිදුකර ඇත්තේ කඩවත – රුප්පාගොඩ ප්‍රදේශයෙන් මත්පෙති 140 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබාදුන් තොරතුරක් මතයි.

ඒ අනුව කළ වැටලීමේදී අදාළ ඖෂධ අලෙවිසැලේ තිබී මෙම මත්පෙති තොගය සොයා ගැනුණු අතර, එමගින් දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත නීතිවිරෝධී ලෙස මත්පෙති බෙදා හැර ඇති බව හෙළි වුණා.

ඒ සම්බන්ධයෙන් ඖෂධ අලෙවිසැලේ හිමිකරු සහ රුප්පාගොඩ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන සඳහා කඩවත පොලීසිය වෙත භාර දී තිබෙනවා.

******************************************

(08.04.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 35 ක වියදමින් අළුත්වැඩියා කෙරුණු කොළඹ බැස්ටියන් මාවත පාවෙන වෙළඳ සංකීර්ණය යළි ඊයේ (07) පස්වරුවේ විවෘත කෙරුණා.

කෙසේ වෙතත්, එම ස්ථානයට පැමිණ සිටි ව්‍යාපාරිකයින් පිරිසක් චෝදනා කළේ ව්‍යාපාරික ස්ථාන සඳහා මුදල් ලබාදුන් තමන්ට වෙළඳසැල් ලබානොදී වෙනත් පුද්ගලයින්ට ඒවා ලබාදී ඇති බවටයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේදී ඉදිකෙරුණු පාවෙන වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරුණේ 2014 වසරේ අගෝස්තු මස 25 වැනිදායි.

වෙළඳසැල් 103 කින් සමන්විත මෙම ව්‍යාපෘතිය සඳහා වැයකර තිබූ මුදල රුපියල් මිලියන 312 ක්.

වෙනස් වන කොළඹ සංකල්පය යටතේ ඉදිකෙරුණු මෙම වෙළඳ සංකීර්ණය පසුගිය යහපාලන රජය සමයේදී නඩත්තු නොකිරීම හේතුවෙන් විනාශයට පත්වුණා.

ව්‍යාපාරිකයින් සහ මහජනතාව චෝදනා කළේ පාළුවට සහ විනාශයට යමින් පැවති එම ස්ථානය විවිධ විෂමාචාරයන් සඳහාද භාවිත වන බවටයි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි යළිත් පාවෙන වෙළඳ සංකීර්ණය නවීකරණය කෙරුණා.

එලෙස නවීකරණය කෙරුණු පාවෙන වෙළඳ සංකීර්ණය ඊයේ (07) පස්වරුවේ මහජනතාව වෙනුවෙන් විවෘත කෙරුණේ මැති ඇමතිවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන්.

කෙසේ වෙතත්, එම ස්ථානයට පැමිණ සිටි වෙළඳුන් පිරිසක් චෝදනා කළේ මෙම වෙළඳසැල් සඳහා ගෙවිය යුතු මුදලින් කොටසක් ගෙවා තිබියදීත් ඒවා වෙනත් වෙළඳුන් සඳහා ලබාදී ඇති බවයි.

අප මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ බදු ගිවිසුම උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස ඔවුන්ගෙන් යළි කඩ පවරා ගත් බවයි ෴

******************************************

(08.04.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්මාන්තය මුවාවෙන් රජයේ රක්ෂිත විනාශ කිරීමට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසනවා.

කුච්චවේලි ප්‍රදේශයේ පැවති විරෝධතාවකට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව කියා සිටියා.

ත්‍රිකුණාමලයේ පිහිටි රජයේ රක්ෂිතවලට ඇතුළුවීම වළක්වාලමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සවිකර ඇති දැන්වීම් පුවරු ඉවත් කරන ලෙස ඉල්ලමින් කුච්චවේලි ප්‍රදේශයේ පිරිසක් විරෝධතාවක නිරත වුණා.

1967 වසරේ සිට තමන්ට අදාළ ඉඩම් අයත්ව තිබූ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, යුද සමයේදී එම ඉඩම්වලින් තමන් තාවකාලිකව ඉවත් වූ බවයි මෙහිදී විරෝධතාකරුවන් කියා සිටියේ.

මෙම විරෝධතාව පැවති ස්ථානයෙන් ගමන්ගත් පළාත් ආණ්ඩුකාරවරියගේ රථය අවහිර කළ ප්‍රදේශවාසීන් තම ගැටළුවට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා.

ආණ්ඩුකාරවරිය එහිදී කියා සිටියේ ඉඩම් අයිතිය පිළිබඳ නීත්‍යානුකූලභාවය සනාථ කිරීමෙන් පසු ඒවායේ ගොවිතැන් කටයුතු සිදුකළ හැකි බවයි ෴

******************************************

(08.04.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (08) ඉතිහාසයේ අඩුම අගය සලකුණු කළා. මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල මේ වන විට සටහන් වී ඇත්තේ රුපියල් 203.50 ක් ලෙසයි ෴

******************************************

දංකොටුවේ බවුසර් වල පරික්ෂණ අවසන් අදියරේ

(08.04.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

පිළිකාකාරක අඩංගු බවට සැක කෙරෙන දංකොටුව ප්‍රදේශයෙන් සොයාගත් පොල්තෙල් බවුසර් වල පරික්ෂණ අවසන් අදියරට පැමිණ තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පරීක්ෂණ ප්‍රතිඵල වාර්තා ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

+++++++++++

දංකොටුවේදී පොලිස් භාරයට ගත් පොල්තෙල් බවුසර් දෙකෙහි (2), පිළිකාකාරක අඩංගු බව තහවුරු වෙයි

(08.04.2021 – 15:53 +0530 – hirunews.lk/sinhala)

දංකොටුව ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගන්නා ලද සැක සහිත පොල්තෙල් බවුසර් දෙකෙහි (2) අඩංගු පොල්තෙල්වල පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් අඩංගු බව තහවුරු වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදුකළ පරීක්ෂණය අනුවයි.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය වෙත යොමුකළ අදාළ පොල්තෙල් සාම්පල වල වාර්තා ද අපේක්ෂාවෙන් සිටින බව රේගුව ප්‍රකාශ කළා.

දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක තිබී පසුගිය 28 වනදා මෙම පොල්තෙල් අඩංගු බවුසර් දෙක (2) සොයාගත් අතර ඒවායේ පොල්තෙල් ලීටර් 55,000 අඩංගු වුණා ෴

******************************************

(08.04.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

හිසට සෙවනක් නොමැතිව සිය වෙළෙඳාම් කටයුතු බොහෝ දුෂ්කරතා මධ්‍යයේ සිදුකරන සතිපොළක් දැරණියගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එහි වෙළෙඳුන් හා පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ බලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි.

******************************************

(08.04.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

ජීවිතයේ එල්ල වන නොයෙකුත් අභියෝගවලට මුහුණ දීමට අපට සෑම අවස්ථාවකදීම සිදුවනවා.

එවන් අභියෝගයකට අභීතව මුහුණ දෙන දිරිය දරුවෙකු පිළිබඳව මේ පුවත වාර්තා වන්නේ ඇල්පිටිය, ඇත්කඳුර ප්‍රදේශයෙන්.

******************************************

ලෝක විවාහක රූ රැජිණ පොලිස් අත්අඩංගුවේ

(08.04.2021 – 14:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයේ හටගත් උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුකළ විමර්ශන අනුව, ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ ප්‍රවීණ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.

විවාහක රූ රැජිණ අවසන් තරඟයේදී පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බනධයෙන් ඇය කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළා.

ඒ, පසුගිය 06 වැනිදා යි.

එම පැමිණිල්ල විභාග කිරීම සඳහා අද (08) දෙපාර්ශවයටම පෙරවරු 10:30 ට කුරුඳුවත්ත පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

කුරුඳුවත්ත පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලින් අනතුරුව, ශාපරාධී බලහත්කාරකම් සහ සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි සහ සුපිරි නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ හිස පැළැඳි කිරුළ ‘කැරො සහ චූ’ බලහත්කාරයෙන් ඉවත් කරගත් හැටි

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයේ හටගත් උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව, කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ ප්‍රවීණ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර දෙදෙනා (2) අලුත් කඩේ අධිකරණයට ඉදිරිපත් කරන බව කුරුඳුවත්ත පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා ෴

+++++++++++

‘කැරො සහ චූ’

++++++++++

කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ ප්‍රවීණ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර දෙදෙනා (2), බැඳුම්කරයකට අත්සන් ලබා ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

ලබන 19 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ඔවුන්ට දැනුම් දී ඇත්තේ ෴

+++++++++++

+++++++++++

එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා

++++++++++++++

08-04-2021

******************************************

(08.04.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 5000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ, රත්මලාන ප්‍රාදේශීය කාර්යාල සේවකයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් බස් රථයක් සඳහා වාර්ෂික අවසර පත්‍රය කඩිනමින් ලබාදීමට ඔහු මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව සඳහන් ෴

******************************************

(08.04.2021 – 18:23 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 7 ක් පමණ වටිනා මත් පෙති සහ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට ගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *