මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අවුරුදු 27 ක තරුණයෙක් අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අවුරුදු 27 ක තරුණයෙක් අත්අඩංගුවට

*********************************************

මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අවුරුදු 27 ක තරුණයෙක් අත්අඩංගුවට

(08.04.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දී අවුරුදු 27 ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ යි.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන බැංකු ගිනුමකට උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන එකසිය තිස් අටක් (138,000,000) ලැබී තිබෙනවා.

අදාළ මුදල් මේ වනවිට විදෙස් රටක වාසය කරන සංවිධානාත්මක අපරාධ කරුවකු වන ‘ධර්මසිරි පෙරේරා’ගේ බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක කරන්න.

මීට පෙරත් ‘ධර්මසිරි පෙරේරා’ නැමැති පාතාල අපරාධකරු විසින් මෙරට සිටි තවත් පුද්ගලයෙකුගේ ගිණුමකට රුපියල් කෝටි 49 ක (490,000,000) මුදලක් එවා තිබුණා.

එම පුද්ගලයා මීට මාස තුනකට (3) පෙර අත්අඩංගුවට ගැනුණු අතර ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා .

අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (08) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේය ෴

******************************************

(08.04.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක තිබී පසුගියදා සොයාගත් ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් බවුසර් දෙකේ (2) අඩංගු තෙල් සාම්පල ආයතන 3 ක් වෙත පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, නීති කටයුතු පිළිබඳ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත ද සිල්වා මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්ෂණ ඒකකයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට මෙම සාම්පල යොමුකර ඇති බවයි.

පසුගිය මස 28 වැනිදා ලීටර 55,000 අඩංගු බවුසර් දෙකක් (2) දංකොටුව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ඒවා පසුගිය 31 වැනිදා රේගු දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබුවා.

ඒ, විශේෂ පොලිස් ආරක්ෂාව යටතේයි.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අද (08) හෝ හෙට (09) අදාළ ආයතනවලට යොමුකළ සාම්පලවල වාර්තා ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඒ අනුව මෙම පොල්තෙල්වල පිළිකාකාරක අඩංගුද නැද්ද යන්න පිළිබඳව තහවුරු කරගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙරටට ගෙන්වූ පිළිකා කාරක සහිත පොල්තෙල්වලින් කොටසක් මලයාසියාවට ප්‍රතිඅපනයනය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා ෴

******************************************

(08.04.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය අහෝසි වීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමගි ජනබලවේගය, රට තුළ වැරදි මතවාදයක් සමාජගත කිරීමට උත්සාහ කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66-ඊ වගන්තිය යටතේ රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට කටයුතු කර ඇති බවයි.

එම වගන්තියට අනුව මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ අවසරය කලින් නොලබා නොකඩවා මාස 03 ක් පාර්ලිමේන්තු රැස්වීම්වලට නොපැමිණීමෙන් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව එහි සඳහන්.

කෙසේ වෙතත්, රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය අහෝසි වූයේ 66-ඈ වගන්තිය අනුව බව කතානායකවරයා පෙන්වා දෙනවා.

එම වගන්තියට අනුව මන්ත්‍රීවරයෙකු 89 වැනි ව්‍යවස්ථාවේ හෝ 91 ව්‍යවස්ථාවේ සඳහන් යම් ආකාරයකින් නුසුදුස්සෙකු වීමෙන් මන්ත්‍රී ධූරය අහෝසි වනු ඇති.

89 වැනි ව්‍යවස්ථාවෙන් හෝ 91 ව්‍යවස්ථාවෙන් කවර හෝ අධිකරණයකින් වරදකරු වීමෙන් මන්ත්‍රී ධූරය අහෝසි වන බව ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙනවා.

එබැවින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේදී සමාජගත කිරීමට උත්සාහ කරන මතය සම්පූර්ණයෙන්ම වැරදි සහගත බවත්, එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත්, කතානායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් ෴

******************************************

(08.04.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් දියත් වුවහොත් ඊට නීතිමය වශයෙන් මුහුණදීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන බව පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

නිදහස් පක්ෂයේ නව ව්‍යවස්ථා යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉදිරියේදී අගරදගුරු හිමිපාණන් හමුවීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙහිදී සඳහන් කළා ෴

******************************************

(08.04.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද (08) අසනීප නිවාඩු වාර්තා කරමින් කොළඹදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතයි.

ඒ, වසර 03 කට වරක් සිදුවන වැටුප් වැඩිවීම මෙවර ක්‍රියාත්මක නොවීමට විරෝධය පළ කරමින්.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ එලෙස වැටුප් වැඩිකිරීමට අදාළ ගිවිසුමකට විදුලි සේවකයින් මෙවර අත්සන් කර නොමැති බවයි.

මේ අතර, ‘ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය’ උපාධි ප්‍රදානය කරන ආයතනයක් බවට පත් කිරීමට රජය විසින් පියවර ගත යුතු බව ‘අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව’ පවසනවා.

එහි කැඳවුම්කරු තරිඳු ප්‍රසාද් මේ බව කියා සිටියේ කොළඹදී ඊයේ (07) මාධ්‍ය හමුවක් කැඳවමින් ෴

******************************************

(08.04.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

අනාගතය දෙස අවධානය යොමුකළ සංවර්ධන වැඩපිලිවෙලක් රට තුළ ක්‍රියාත්මක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය හමුවේ අවධාරණය කළා.

ඒ, ඊයේ (07) මහනුවරට ගොස් දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුවයි.

ගැටළු නිරාකරණය කරගනිමින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනා ඒකාවන්ව අත්වැල් බැඳගත යුතු බව එහිදී මහා සංඝරත්නය ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

දළඳා සමිඳුන් වැඳ පුදාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියන් බැහැ දුටුවා.

එම අවස්ථාවට බදුලු මුතියංගන රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන නාහිමියන්ද වැඩම කර සිටි අතර, ගමින් ගමට චාරිකා කරමින් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිලිවෙල උන්වහන්සේගේ පැසසුමට ලක්වුණා.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ගම දියුණු කිරීමට නම් ග්‍රාමීය ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් උදාකළ යුතු බවයි.

කොවිඩ් අර්බුදයට සාර්ථකව මුහුණදීමට හැකිවූයේ රජය ගෙන ගිය නිවැරදි වැඩපිලිවෙල නිසා බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

අනතුරුව මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් මෙන්ම මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්ද බැහැදුටු ජනාධිපතිවරයා ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ද බැහැදැක තිබෙනවා.

අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී නාහිමියන් බැහැදුටු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උන්වහන්සේ ආශීර්වාද කළේ බාධක හමුවේ ඉදිරි මග සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමින්.

එසේම, අස්ගිරි පාර්ශවයේ අනුනානායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි අනුනාහිමියන් මෙන්ම මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන්ද මෙහිදී ජනාධිපතිවරයා විසින් බැහැදුටු බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ෴

******************************************

(08.04.2021 – 08:53 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව ප්‍රදේශයේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක අද (08) අලුයම ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ ගින්න නිවීම සඳහා රථ 8 ක් යොදවා එය සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වූ බවයි. දෙමහල් වෙළදසැලක් වන මෙහි භාණ්ඩ රැසකටම ගින්නෙන් හානි සිදුව තිබෙනවා ෴

******************************************

(08.04.2021 – 09:57 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳින රන්ජන් රාමනායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට අජිත් මාන්නපෙරුමගේ නම මැතිවරණ කොමිසමට ලැබී තිබෙනවා.

අජිත් මාන්නපෙරුම

එහි සභාපති නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ එම නම අද (08) ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවන බවයි.

සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය හිස්ව ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ෴

රන්ජන් රාමනායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා ගම්පහ දිස්තික්යේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අජිත් මාන්නප්පෙරුම පත් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා ෴

******************************************

(08.04.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala)

පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

කොළඹ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වනවිට හිමිව ඇති බවයි ෴

******************************************

(08.04.2021 – 10:41 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 1,200 ක් ගනේමුල්ල – දකුණු ගලහිටියාව ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.

ඊයේ (07) මෙම කහ තොගය සමඟ 22 හැවිරිදි බැලුම්මහර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴

******************************************

(08.04.2021 – 10:43 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර ඇති වූ වචන හුවමාරුවත් සමඟ මතුවූ උණුසුම් තත්ත්වය මත පාර්ලිමේන්තුව මිනිත්තු 5 කට කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළා.

ඒ අනුව පෙරවරු 10:35 ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු කල් තැබුණා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳින රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සංවාදයට ලක්වූ අතර, ඒ අතරතුරදියි අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා අතර මෙම වාග්සංග්‍රාමය ඇති වුණේ.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

++++++++++

(08.04.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳින රන්ජන් රාමනායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට අජිත් මාන්නපෙරුමගේ නම මැතිවරණ කොමිසමට ලැබී තිබෙනවා.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ එම නම අද (08) ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවන බවයි.

සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය හිස්ව ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (07) සිදුකළ චෝදනාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, අද (08) සභාව ආරම්භයේදී පැහැදිලි කිරීමක් සිදුකළා.

ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ රන්ජන් රාමනායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කථානායකවරයා සිදුකළ දැනුම්දීම පිළිබද තමා අතින් අතපසු වී යම් කරුණු සභාව හමුවේ ඉදිරිපත් වූ බවයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සභාව තුළ සංවාදාත්මක තත්ත්වයක් ඇති වූ අතර විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කළු පටි පැළද සභා ගර්භයට පැමිණි සිටි බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළේ.

අදාළ සංවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර වචන හුවමාරුවක් ඇතිවීමත් සමඟ සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාව විනාඩි 5 කට කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළා.

මේ අතර, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේනතු ආරම්භයට ප්‍රථම පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබුණා.

ඒ, අද (08) පැවැත්වීමට නියමිතව තිබූ දේශපාලන කොමිසම සම්බන්ධව විවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

කෙසේ වෙතත් එහිදී උණුසුම් සංවාදයක් ඇතිවූ අතර එකගත්වයෙන් තොරව එම සාකච්ඡාව අවසන් වී තිබෙනවා ෴

++++++++++++

******************************************

(08.04.2021 – 10:57 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සිරිපුර රත්මල් කන්ඩිය ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (08) අලුයම වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තිදරු පියෙකු වන ඔහු වන අලි ප්‍රහාරයෙන් අනතුරුව දෙහිඅත්තකණ්ඩිය රෝහල කරා රැගෙන යමින් සිටියදීයි මරුමුවට පත්ව තිබෙන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ අංක 163 රත්මල් කන්ඩිය ලිපිනයේ පදිංචි ප්‍රේමරත්න නමැති 52 හැවිරිදි ගොවි මහතෙක්.

අවමංගලය උත්සවයකට සහභාගී වී නැවත නිවස කරා පැමිණෙමින් සිටියදී මොහු වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සිරිපුර පොලිසිය සඳහන් කළා.

සිරිපුර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරණු ලබනවා ෴

******************************************

(08.04.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 06 වන දා සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසියකදී ත්‍රිරෝද රථ 4 ක් නාවික හමුදාව පරීක්ෂාවට ලක්කළා.

එම ත්‍රීරෝද රථවල සිටි 20 දෙනාම නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටින් සංක්‍රමණය වීම සඳහා සූදානම්ව සිටි බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර පිරිමි පුද්ගලයින් 14 දෙනෙකු, කාන්තාවන් 04 දෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු (02) ද සිට තිබෙනවා.

ඔවුන් මන්නාරම, වාලච්චේන, වත්තල සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

@@@@@@@@@@@@@@@@

(08.04.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයින් 221 ක් හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93,993 ක් දක්වා ඉහළ ගියා.

වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 178 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරේ 12 දෙනෙකු ද ඒ අතර වනවා.

විදේශයන් හි සිට පැමිණි 31 දෙනෙකු නව ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව තවදුරටත් 2485 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 90,917 ක්.

එසේම, ඊයේ (07) දිනයේදී කොරෝනා මරණ 03 ක්ද වාර්තා වීමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 591 ක් දක්වා ඉහළ ගියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *