හිමිනමකගෙන් ලක්ෂ 25 ක කප්පම් ගැනීමට ගිය දෙදෙනෙක් (2) පොලිස් දැලේ

හිමිනමකගෙන් ලක්ෂ 25 ක කප්පම් ගැනීමට ගිය දෙදෙනෙක් (2) පොලිස් දැලේ

*********************************************

හිමිනමකගෙන් ලක්ෂ 25 ක කප්පම් ගැනීමට ගිය දෙදෙනෙක් (2) පොලිස් දැලේ

(07.04.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (06) දිනයේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන ලද මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 25 ක කප්පම් ඉල්ලා සිටි පුද්ගලයින් දෙදෙනකු (2) අත්අඩංගුවට ගැනීමට සමත්වුණා.

මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුනු මෙම කප්පම්කරුවන් ලක්ෂ 25 ක කප්පම් මුදල ඉල්ලා ඇත්තේ එම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන හිමිනමකගෙන්.

එම කප්පම් මුදලින් රුපියල් ලක්ෂ පහක (5) මුදලක් ලබා ගැනීමට ඊයේ (06) විහාරස්ථානයට මෙම පුද්ගලයින් දෙදෙනා (2) පැමිණි අවස්ථාවේදී එහි රැක සිටි කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් විසින් මේ අය අත්අඩංගුවට ගැනුනා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ ෴

******************************************

(07.04.2021 – 06:53 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව, මුණ්ඩිමුරිප්පුව ප්‍රදේශයේ නිවසකට ඊයේ (06) පස්වරුවේ පැමිණි කණ්ඩායක් විසින්, පහරදීමක් සිදු කර තිබෙනවා.

සුදු පැහැති වෑන් රථයකින් අදාළ නිවසට පැමිණි කණ්ඩායම නිවසේ සිටි පිරිසට ද පහර දී දේපලවලට ද හානි කර පලාගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය කළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදු කර ඇති බවටයි.

%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

******************************************

(07.04.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස ගාලුපාර ප්‍රදේශයේ නිවසක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිතව මියගොස් සිටි තරුණයෙකු පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අද (07) අලුයම 1 ට පමණ ලැබුණු තොරතුරකට අනුවයි පොලිසිය මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචි අවුරුදු 22 ක තරුණයෙක්.

මෘත ශරීරය කලුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ අද (07) පැවැත්වීමට නියමිතයි.

සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ෴

******************************************

(07.04.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින තත්ත්වය හමුවේ ගායක ගායිකාවන් ඇතුළු සංගීත ක්ෂේත්‍රයේ විශාල පිරිසක් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි.

සිංහල, දෙමළ අලුත් අවුරුදු සමයේදී වැඩි වශයෙන් ප්‍රසංග සංවිධාන වන අතර, සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් ප්‍රසංග සඳහා අවසර ලබා නොදීම හේතුවෙන් කර්මාන්තයේ නිරත පිරිස දැඩි දුෂ්කරතාවලට ලක්ව ඇති බව වාර්තාවනවා.

එළිමහන් ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මේ වනවිට වසර දෙකක (2) පමණ කාලයක් සිය වෘත්තිය කර ගැනීමට නොහැකිවී ඇති බවයි.

ශ්‍රී ලංකා ප්‍රසංග සම්බන්ධීකාරක, සැණකෙළි උපාංග සම්පාදක, කලා හා සංස්කෘතික සංගමයේ සභාපති ජීවා කස්තුරිරත්න මහතා කියා සිටියේ මේ වනවිට සැණකෙළි සහ ප්‍රසංග කලා ආශ්‍රිතව කර්මාන්තයේ නිරත පුද්ගලයින්ගේ ආදායම් මාර්ග අහිමිව ඇති බවයි.

මේ අතර සෞඛ්‍ය උපදෙස් මත සංගීත සංදර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන බවයි තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ෴

******************************************

(07.04.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

‘එකතු කළ අගය මත බද්ද’ හෙවත් ‘වැට් බද්ද’ ඇතුලු අංශ කිහිපයක පරිපාලන කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර මහා භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් වෙත පැවරීමට රජය කටයුතු කරමින් සිටින බව දේශීය ආදායම් සේවා සංගමය පවසනවා.

එහි සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

******************************************

(07.04.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ඇෆ්ලටොක්සීන් පිළිකාකාරකය අඩංගු බවට තහවුරු වූ පොල්තෙල් අඩංගු කන්ටේනර් හයම (6) ලබන 13 වනදා මලයාසියාව බලා නැව්ගත කරන බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.

මෙලෙස අපනයනය කළ පොල්තෙල් තොගයේ වටිනාකම රුපියල් තුන්සිය හත්කෝටි පනස් හතර ලක්ෂයකට (307,54,00,000) අධිකයි.

මෙට්‍රික් ටොන් 105 ක් බර අදාළ පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය සඳහා සූදානම් කර ඊයේ (06) පස්වරුවේ කොළඹ වරායේ පිටත්වීමේ පර්යන්තය වෙත රැගෙන ආවා.

මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න පසුගියදා හිරු ප්‍රවෘත්ති සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළවනවා.

සම්මුඛ සාකච්ඡාවේදී ඇය ප්‍රකාශ කර තිබුණේ ‘සමාගම් කඩාවැටෙන බැවින් පිළිකාකාරක අඩංගු තවත් ආහාර සම්බන්ධයෙන් හෙළි කළ නොහැකි’ බවයි.

******************************************

(07.04.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

මාතර මාලිම්බඩ ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු (1) මියගොස් තිබෙනවා. ඊයේ (06) සවස 5 ට පමණ කුඹුරු යායක සිටි මී ගවයන් රැගෙන යමින් සිටියදී මෙම පුද්ගලයාට අකුණුසැර වැදී ඇති බවටයි හෙළිවී ඇත්තේ. ඔහු සුල්තානාගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්. මෘත ශරීරය මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර මාලිම්බඩ පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

මේ අතර ඇහැලියගොඩ බදුවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි තරුණයෙකු (1) විදුලිසැර වැදීමෙන් මරණයට පත්ව තිබෙනවා. ඉදිකිරීම්වල නිරතව සිටි දෙදෙනෙකුට (2) විදුලිසැර වැදී ඇති අතර ඇහැලියගොඩ රෝහලට ඇතුලත් කිරීමේදීයි එක් අයෙක් (1) මියගොස් ඇත්තේ. මියගිය තරුණයා රත්නපුර ගොලුවාවිල පදිංචි 19 හැවිරිදි අයෙක්. මෘත ශරීරය ඇහැලියගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර ඇහැලියගොඩ පොලිසිය පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

මහපොළට රුපියල් කෝටි 164 ක පාඩුවක්

(07.04.2021 – 04:50 +0530 – lankadeepa.lk)

මහපොළ භාරකාර අරමුදල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සීමිත සමාගම (SLIIT) සමඟ 2003 වර්ෂයේදී එළැඹි ගිවිසුම අනුව එම අරමුදලට රුපියල් කෝටි 164 කට වැඩි ප්‍රතිලාභයක් ලැබීමට නියමිතව තිබුණත් එවකට එහි භාරකාර මණ්ඩලය ගත් වැරදි තීරණ නිසා එම ප්‍රතිලාභ අහිමි වී ඇතැයි මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවට ඊයේ (6) ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙයි.

එම ප්‍රතිලාභ අහිමිවීම සම්බන්ධයෙන් එවකට කළමනාකාරීත්ව වගකිව යුතු බව විගණකාධිපතිවරයා සඳහන් කර ඇතැයි කෝප් කමිටු සභාපතිවරයා මේ වාර්තාව ඉදිරිපත් කිරීමේන් පසුව පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවසීය.

මහපොළ පනතේ තුන්වැනි (3) වගන්තියට ප්‍රකාරව මහපොළ අරමුදල පිලිබඳව පරිපාලනය කළමනාකාරය හා පාලනය එහි භාරකාර මණ්ඩලයට පැවරී තිබුණද එම මණ්ඩලය 2003 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වූ කාලයේදී අරමුදලට වාසිදායික ලෙස හා පළපුරුදු ලෙස තීරණ නොගැනීමත් පැවරී තිබූ අධීකාරී බලය ඉක්මවා කටයුතු කිරීමත් හේතුවෙන් එයට බරපතල මූල්‍ය හා මූල්‍ය නොවන පාඩු සිදු වී ඇතැයිද එම වාර්තාව නිගමනය කර ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික ළාභයෙන් 50% ක ලාභ කොටසක් මහපොළභාර අරමුදලට ප්‍රේෂණය කළ යුතු වුවද රුපියල් පනස් එක් කෝටි හැටහතර ලක්ෂ තිස්හයදාස් දෙසිය පනස් හතක් (51,64,36,257) අඩුවෙන් ප්‍රේෂණය කර ඇති බවත් අරමුදලට හිමි එම මූල්‍ය කොටස් ලබා නොගැනීමට එවකට කළමනාකාරීත්වය වගකිව යුතු බවත් වාර්තාවේ සදහන්ව ඇත.

මේ අතර මාර්ගගත ලොතරැයි ක්‍රියාත්මක කිරීම සඳහා විදිමත් ක්‍රියාපටිපාටියෙන් බැහැරව ලොතරැයිකරුවෙකු තෝරා ගැනීම නිසා අරමුදලට රුපියල් හැටහත්කෝටි තිස්නව ලක්ෂ දහතුන්දාස් හතලිස් තුනක (67,39,13,043) මුදලක් අහිමිවී ඇතැයිද එම වාර්ථාවේ සඳහන් වෙයි ෴

******************************************

(07.04.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කර නොමැති ජංගම දුරකථන අලෙවිසැල් වැටලීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ප්‍රකාශ කළා.

මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ මූල්‍ය වංචා සිදුකරමින් පවත්වාගෙන ගිය ජංගම දුරකථන අලෙවිසැලක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලද තොරතුරක් මත ඊයේ (06) සිදුකල වැටලීමකට අදාළවයි.

එහිදී අදාල අලවිසැල පවත්වාගෙන ගිය පුද්ගලයන් අධික මිල ගණන් යටතේ පවතින ජංගම දුරකථන ඉතා අඩු මිලට ලබා දෙන බවට පවසමින් මුදල් ලබා ගෙන පාරිභෝගිකයන්ට ජංගම දුරකථන ලබා දී නොමැති බවටයි අනාවරණය වී ඇත්තේ.

මුදල් ලබා දීමෙන් දින 20 කට පසුව ජංගම දුරකථනය ලබා දෙන බවට වන කොන්දේසියක් යටතේ අලවිකරුවන්, පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබා ගෙන තිබෙනවා.

කෙසේවෙතත් මුදල් ලබා දී තමන්ට දින 20 කට පසුව ද ජංගම දුරකථන හිමි නොවූ බවටයි විවිධ පුද්ගලයන් පාරිභෝගික සේවා අධිකාරිය වෙත පැමිණිලි කර ඇත්තේ.

ඒ අනුව සිදු කල මූලික විමර්ශනවලදී අදාල ජංගම දුරකථන අලවිකරුවන්ගේ ගිණුම් වල තිබී රුපියල් කෝටි 30 ක මුදලක් හමුවූ බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා.

විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කර නොමැති මෙම අලෙවිසැල පවත්වාගෙන ගොස් ඇත්තේ අවුරුදු 20 ත් 30 ත් අතර වයස් වල පසුවන තරුණයින් හතර (4) දෙනෙකු විසින් ෴

******************************************

(07.04.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

යළි විවාහක රූ රැජිණ කිරුළ හිමිවූ පුෂ්පිකාද සිල්වා මහත්මිය පොලීසිය වෙත කළ පැමිණිල්ලේ විමර්ශනවලට අදාළව වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ කිරුළ බලහත්කාරයෙන් ඇයගේ හිසෙන් ඉවත් කිරීමේදී තුවාල සිදු වූවා යැයි කියන සිද්ධිය තහවුරු කර ගැනීම සඳහා එම වෛද්‍ය වාර්තා ලබා ගන්නා බවයි.

පැමිණිල්ලට අදාලව ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ හිමි කර ගත් කැරොලයින් ජූරි ඇතුළු 8 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

පසුගිය 4 වන දා පැවති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය කිරුළ පැළද සුළු මොහොතකට පසු පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ හිමි කර ගත් කැරොලයින් ජූරි විසින් එය ඇයගේ හිසෙන් බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබුවා.

ඒ, ඇය දික්කසාද කාන්තාවක් බව ප්‍රකාශ කරමින්.

කෙසේ වෙතත් ඒ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය නොවීම හේතුවෙන් ඊයේ (06) දිනයේදී නැවත පුෂ්පිකාද සිල්වා මහත්මියට කිරුළ ලබා දී තිබූ අතර ඇය මාධ්‍ය හමුවකටද සහභාගී වුණා ෴

++++++++++++++

කැරොලයින් සමාව ගත යුතුයි. කිරුළ ගැලෙව්වේ බීමතින්ද – රෝසි සේනානායක – Truth with Chamuditha (07.04.2021)

******************************************

(07.04.2021 – 08:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයත් සමග දිවයින පුරා විසිරී සිටින මල් සහ විසිතුරු පැළ වගාකරුවන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිනවා.

ඔවුන් කියා සිටියේ පෙර පැවති මල් ප්‍රදර්ශන නොපැවැත්වීම, පාරිභෝගිකයන් පෙර මෙන් මල් සහ විසිතුරු පැළ මිලදී ගැනීමට නොපැමිණීම මෙම කර්මාන්තය කඩා වැටීමට හේතු වී ඇති බවයි.

සිංහල අලුත් අවුරුදු සමයේ බොහෝ පාරිභෝගිකයන් පැල මිලදී ගැනීමට පැමිණිය ද මෙවර අලුත් අවුරුදු සමයේ එවැන්නක් දක්නට නොලැබෙන බව මල් වගාකරුවන්ගේ සංගමය පවසනවා ෴

******************************************

(07.04.2021 – 09:29 +0530 – hirunews.lk/sinhala)

අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධීක්ෂණ කටයුතු ද සිදු කරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

මේ සඳහා සියලු සේවා සපයන ආයතන මේවන විට ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කර ඇති බවත් එම සැලසුම් නැවත සලකා බැලීමකින් අනතුරුව ලබන සතියේ සිට ඒවා ක්‍රියාවට නැංවීමේ හැකියාව සොයා බලන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට මෙම සතිය තුල හැකිවනු ඇති බව එසේ වුවහොත් ලබන සතියේ සිට ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් අඛණ්ඩව ලබාදීමට හැකිවනු ඇති බවටයි ඔහු විශ්වාසය පළකළේ.

කෙසේවෙතත් මෙම පහසුකම් සැපයෙන පැකේජ මෙතෙක් එළිදක්වා නැහැ ෴

******************************************

(07.04.2021 – 09:53 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝග මත විනාශ කිරීම සඳහා කොච්චිකඩේ – ඔවිටියාවත්ත කසල අංගනයට රැගෙන ගිය කසළ තේ තොගයක්, යළි ජාවාරම්කරුවන් පිරිසක් අතට පත් කිරීමේ චෝදනා එල්ල වූ පස්දෙනෙකුට (5) ඇප ලබාදීම මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත ප්‍රතික්ෂේප කළා.

ඊයේ (06) මෙම නඩුව කැදවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉතිරි සැකකරුවන් දෙදෙනා (2) ඇප මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

මෙලෙස ඇප ප්‍රතික්ෂේප වී ලබන 20 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ජාඇල, ගුරුතලාව, අත්තනකඩවල, කැළණිය සහ රාගම ප්‍රදේශවල පදිංචිකරුවන් 5 දෙනෙකුයි.

පසුගිය ජනවාරි 14 වනදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ජාඇල – කොටුගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩාවක තිබී කසළ තේ කිලෝග්‍රෑම් 27,000 ක් සොයාගත්තා.

ඒවා මුද්‍රා තබා අදාළ ගබඩාවේම රඳවා තැබූ අතර, පසුව වරද පිළිගත් සැකකරුවන්ට දඩ නියම කළ අධිකරණය, කසළ තේ තොගය විනාශ කරන ලෙසයි නියෝග කළේ.

ඒ අනුව පසුගිය මාර්තු 3 වනදා ලොරි රථ 5 කින් එම කසළ තේ විනාශකිරීම සඳහා කොච්චිකඩේ – ඕවිටියාවත්ත කසළ අංගනය වෙත ගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත්, වත්තල ප්‍රදේශයේ ගබඩාවක තිබී කසල තේ තොගයක් පසුගිය දා විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගැනුණු අතර පසුව හෙළි වුණේ මේවා ඕවිටියාවත්ත කසල අංගනයට විනාශ කිරීම සඳහා කොටුගොඩ ගබඩාවේ සිට රැගෙන ගිය කසල තේ බවයි ෴

@@@@@@@@@@@@@@@

(07.04.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයන් 177 දෙනෙකු ඊයේ (06) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 93,772 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (06) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 158 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර ඉතිරි 19 දෙනා විදේශයන් හි සිට පැමිණි අය වනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 2476 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 90,708 ක්.

එමෙන්ම, ඊයේ (06) කොරෝනා මරණ දෙකක් (2) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 588 ක් දක්වා ඉහළ ගියා.

බිබිල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු සහ අම්පාර – මහඔය පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර, ද්විත්ව පුරවැසියන්ට, ශ්‍රී ලාංකිකයින්ගේ විදේශික කාලාත්‍රයන් හා අවිවාහක දරුවන් මෙන්ම ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට මෙරටට ඇතුළු වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය අවශ්‍ය නොවන බව විදේශ අමාත්‍යාංශය ඊයේ (06) දැනුම් දුන්නා.

කෙසේ වෙතත් එක් ගුවන් වාරයකදී ශ්‍රී ලාංකිකයින් 75 දෙනෙකු පමණක් රැගෙන ඒමට හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා කියා සිටියා ෴

+++++++++++++++++

(07.04.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සුවය ලබන පිරිසෙන් සියයට 30 කට වැඩි ප්‍රතිශතයකට මානසික හෝ ස්නායු ආබාධ ඇති වීමේ අවදානමක් පවතින බව නවතම පර්යේෂණයක් මගින් අනාවරණ වී තිබෙනවා.

වෛරසය ආසාදනය වී සුවය ලැබූවන් 2,30,000 ක පිරිසක් සහභාගි කර ගනිමින් සිදුකළ පර්යේෂණයකිනුයි මේ බව හෙළි වී ඇත්තේ.

රෝගය සුව වී මාස 6 කට පමණ පසුව මෙම අතුරු ආබාධ මතු විය හැකි බව එම පර්යේෂණය මගින් තවදුරටත් අනාවරණ කරගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *