පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු, නවුෆර් මවුලවි බව ඇමති සරත් වීරසේකර කියයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු, නවුෆර් මවුලවි බව ඇමති සරත් වීරසේකර කියයි

*********************************************

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු, නවුෆර් මවුලවි බව ඇමති සරත් වීරසේකර කියයි

(06.04.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස පුද්ගලයින් දෙදෙනෙකු (2) හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරනවා.

ඒ පාස්කු කොමිෂන් වාර්තාවේ නිර්දේශ සළකා බැලීම සඳහා පත්කළ අමාත්‍ය අනුකමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරුණා.

******************************************

(06.04.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොළේ විෂ පොල්තෙල් ඇති බවට පතුරුවන අසත්‍ය ප්‍රචාර පිටුපස සිටින්නේ පාම් තෙල් ආනයනය කරන මහා පරිමාණ සමාගම් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඒ පිළිබඳ තොරතුරු සමගින් දැන් මැතිසබය විශේෂාංගය :

******************************************

(06.04.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

පැවති යහපාලන රජය සමයේ ආනයනය කර තිබූ සහල් තොගයක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සත්ත්ව ආහාර සඳහා විකිණීම තුළින් මෙරට සහල් අර්බුදයක් නිර්මාණය වූ බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ‘හිරු ටී.වී. සලකුණ’ වැඩසටහනට එක්වෙමින්.

+++++++++++++

******************************************

(06.04.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලකරගනිමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති ඒකාබද්ධව උද්ඝෝෂණ පාගමනක් සහ විරෝධතාවක් බදුල්ල නගරයේදී අද (06) පෙරවරුවේ පැවැත්වුවා.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ පාසල්වල අධ්‍යයන කටයුතු මුළුමනින්ම අඩාල වී තිබුණා.

******************************************

(06.04.2021 – 16:20 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ස්ථානවල පවතින කනිෂ්ඨ සේවක හිඟයට පාලනාධිකාරිය මෙතෙක් විසඳුමක් ලබා නොදීම හේතුවෙන් හෙට (07) සිට දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

දුම්රිය ස්ථානයක සේවකයින් හයදෙනෙකු (6) සේවයේ යෙදිය යුතු වුවත් බොහෝ දුම්රිය ස්ථානවල එක් (1) සේවකයෙකු පමණක් රාජකාරිවලට අනුයුක්ත කර ඇති බවයි එම සංගමයේ ලේකම් කසුන් ජයසේකර මහතා කියා සිටියේ.

මෙම ගැටළුවට විසඳුම් ලබාදීමට පසුගිය වසරේ පෙබරවාරි 18 වනදා පාලනාධිකාරිය පොරොන්දු වුවත් මෙතෙක් එකදු සේවකයෙකු හෝ බඳවාගෙන නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

(06.04.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල සිට පුබ්බෝගම දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තෙලදින්නන්වැව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළී අද (06) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි පොලීසිය සඳහන් කළේ ෴

******************************************

(06.04.2021 – 17:18 +0530 – hirunews.lk/sinhala)

‘ආමි සුරංග’ ඝාතනට අදාලව, පොලිස් පරීක්ෂක ලසන්ත රත්නායක, උප පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සහ කොස්තාපල් ප්‍රේමකුමාර යන අය අත්අඩංගුවට ගන්නා ලෙස, නීතිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා ෴

නීතිපති දප්පුල ද ලිවේරා

******************************************

(06.04.2021 – 17:19 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය තුළට පිටතින් විසි කරන ලද තහනම් ද්‍රව්‍ය පාර්සල් තුනක් (3) බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

එම පාර්සල් තුළ තිබී ජංගම දුරකථන 9 ක්, සිම් පත් පහක් (5), දුරකථන බැටරි 14 ක්, චාජර් අටක් (8), දුම්කොළ 10 ක්, බුලත් කොළ, ඊයම් කොළ සහ ගිනිපෙට්ටි සොයාගෙන ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

******************************************

(06.04.2021 – 18:02 +0530 – hirunews.lk/sinhala)

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේදී නිල වශයෙන් කිරුළ හිමිවූ පුෂ්පිකා ද සිල්වා මහත්මිට යළිත් කිරුළ පැළඳවීම අද (06) සිදු කෙරුණා.

ඇය කිරුළ පැළඳ කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයකදී මාධ්‍ය හමුවක්ද කැඳවමින් හැඟීම්බරව කරුණු පැහැදිළි කිරිමක් සිදුකළා.

එහිදී ඇය කියා සිටියේ තමන් තවදුරටත් විවාහක කාන්තාවක් බවයි.

මෙතෙක් තමන් දික්කසාද වී නොමැති බවද ඇය එහිදී අවධාරණය කළා.

එසේම තමාට අපහාස කළ සියලුදෙනාට සමාව දෙන බවත් එහිදී ඇය ප්‍රකාශ කළා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තමන් පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා ඉල්ලු බව විවාහක රූ රැජිණ කිරුළ දිනු පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසනවා.

කෙසේ වෙතත්, තමන්ට නාමයෝජනා නොලැබුණ බවත්, ඉදිරියේදී දේශපාලනයට පැමිණෙන බවත් ඇය කියා සිටියා.

කොළඹ අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් ඇය එම මාධ්‍ය හමුවේදී සංවේදීවෙමින් අදහස් පළ කළේ මෙලෙසින් :

+++++++++++++++

https://www.youtube.com/watch?v=ReVOdKonFrw

+++++++++++++++

******************************************

ප්‍රමිතියෙන් තොර ආහාර හා ආයතන ගැන ලැයිස්තුව අදත් (06) නැහැ

(06.04.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

ඇෆ්ලටොක්සීන් පිළිකාකාරකය අඩංගු බවට තහවුරු වී ඇති පොල්තෙල් අඩංගු කන්ටේනර් හයක් (6) ශ්‍රී ලංකා රේගුව විසින් අද (06) ප්‍රති අපනයනය සඳහා වරාය අධිකාරිය වෙත රැගෙන ආවා.

රේගුව සඳහන් කළේ ඒවා, පිළිකාකාරක අඩංගු ආනයනික පොල්තෙල් ගෙන්වන ලද ආයතන තුනෙන් (3) එකකට (1) අයත් තෙල් තොග බවයි.

මේ අතර, ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

‘සමාගම් කඩාවැටෙන බැවින් පිළිකාකාරක අඩංගු තවත් ආහාර සම්බන්ධයෙන් හෙළි කළ නොහැකි’ බවයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න හිරු ප්‍රවෘත්ති සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පසුගියදා සඳහන් කළේ.

මේ අතර ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහිව පාර්ශව කිහිපයක් අද (06) විවිධ ආයතන වෙත පැමිණිලි ඉදිරිපත් කළා. ඊට අදාළව නව ‘සිංහල රාවය’ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියට විරුද්ධව ‘එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාර සංගමය’ ද අද (06) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ජනතාවට අහිතකර ආකාරයෙන් ආහාර නිෂ්පාදනය කරන සමාගම් වෙනුවෙන් පෙනී සිටීමෙන් සමස්ත ජනතාවගේම මානව අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින් ‘සමාජවාදී තරුණ සංගමය’ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර පිළිකාකාරක අඩංගු නිෂ්පාදන සහ අදාළ සමාගම් සම්බන්ධයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා ‘සිංහලේ සංවිධානය’ ඇතුලු සංවිධාන කිහිපයක් ඊයේ (05) ප්‍රමිති ආයතනයට පැමිණි අතර එහිදී එම ආයතනයේ නිලධාරින් පොරොන්දු වූයේ ඒ පිළිබඳව අද (06) තොරතුරු ලබාදෙන බවටයි.

ඒ අනුව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා සංවිධාන කිහිපයක නියෝජිතයින් අදත් (06) එම ආයතනයට පැමිණි අතර ඔවුන්ට ආයතන පරිශ්‍රයට ඇතුළු විමට ඉඩ ලබා නොදීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

කෙසේ වෙතත් පසුව පිරිස ප්‍රමිති ආයතන පරිශ්‍රයට ඇතුළු වූ අතර පොරොන්දු වූ පරිදි අදාළ වාර්තාව අදත් හිමි වූයේ නැහැ.

එසේම එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක්ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැමිණියා. ඒ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ විෂ සහිත ආහාර ගෙන්වන සමාගම්වල ලැයිස්තුවක් ලබා දෙන ලෙස ඉල්ලමින්.

මේ අතර පාම් තෙල් ආනයනය කිරීම තහනම් කිරීම පිළිබඳ යළි සලකා බලන්නැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාම් තෙල් තහනම ක්‍රියාත්මක වුවහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන හා විවිධ රසකැවිලි වල මිල ගණන් ඉහල දැමීමට සිදු වනු ඇති බවයි.

මේ අතර පාම් තෙල් ආනයනය අත්හිටුවන බවට සහ කටුපොල් වගාව ක්‍රමයෙන් ගළවා ඉවත් කරන බවට නිවේදනය කිරීමත් සමඟ කොටස් වෙළඳපොලේ පාම් තෙල් නිෂ්පාදනය, අලෙවි කිරීම සහ කටුපොල් වගාව සිදුකරන සමාගම්වල කොටස් මිල අද (06) පහත බැසීමක් ද දක්නට ලැබුණා.

******************************************

(06.04.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala)

2016 වසරෙන් පසු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව සමගි ජන බලවේගය අද (06) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා.

එමෙන්ම, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඩුවම් නියමවූ රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කළ අතර එහිදී සභාගර්භයේ ඇතිවුයේ සංවාදාත්මක තත්ත්වයක්.

******************************************

(06.04.2021 – 20:56 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනීමින් බදුල්ල දිස්ත්‍රික්කයේ ගුරු විදුහල්පතිවරු බදුල්ල නගරයේදි විරෝධතාවයක නිරත වුණා. ගුරුවරුන් මෙම විරෝධතාවයට එක්ව සිටියේ අසනීප නිවාඩු වාර්තාකරමින්.

බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල්වල බොහෝ ගුරුවරුන් අද (06) දින පාසල් වෙත වාර්තාකර තිබුණේ නැහැ. පාසල් සිසුන්ගේ පැමිණිමේද අඩුවක් පැවතියා. පාසල් වෙත පැමිණි සිසුන් ගුරුවරු නොමැති වීම හේතුවෙන් යළි නිවෙස්වෙත පිටව ගිය අයුරුයි මේ.

අද (06) උදෑසන බදුල්ල තැපැල් කාර්යාලය වෙත පැමිණි ගුරුවන් පිරිසක් අසනීප නිවාඩු වාර්තාකිරීමට කටයුතු කරන අයුරුද දක්නට ලැබුණා.

අනතුරුව බදුල්ල නගරයට එක්වූ ගුරුවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් ඌව පළාත් සභා කාර්යාලය ඉදිරිපිටට පැමිණියා. විරෝධතාව හේතුවෙන් බදුල්ල නගරයේ රථවාහන ගමනා ගමනයටද බාධා එල්ල වුණා.

පසුව විරෝධතාකරුවන් බස්නැවතුම්පළ ඉදිරිපිටදී සිය විරෝධය පලකරේ මෙලෙසින් :

******************************************

(07.04.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

හග්ගල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරට සම්බන්ධ ලොරියේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය පළමුවනදා මෙම අනතුර සිදුවුනේ ලොරියක් ත්‍රී රෝද රථයක් මතට පෙරළීමෙන්. අනතුරින් පසු ලොරියේ රියදුරා පළාගොස් තිබුණා.

එම අනතුරින් කාන්තාවන් තුන්දෙනෙකු (3) මියගිය අතර ත්‍රී රෝද රථයේ රියදුරා බරපතල තුවාල ලබා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පළාගිය රියදුරා සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර ඊයේ (06) ඔහු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

පෞද්ගලික සමාගමක කන්ටේනර් රථ රියැදුරකු වන මොහු එම සමාගමට ව්‍යාජ ජීවදත්ත තොරතුරු ලබාදීම හේතුවෙන් ඔහු පිළිබඳ හෝඩුවාවක් ලබා ගැනීමට ප්‍රමාද වූ බව ද ඔහු සඳහන් කළා.

සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මේ අතර ඊයේ (06) දිනයේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් මිනිස් ජීවිත පහක් (5) අහිමි වී ඇති බව වාර්තා වනවා.

ඊයේ (06) දිනයේදී දඹුල්ල ගල්කිරියාගම ප්‍රදේශයේදී සිදු වූ තවත් අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලැබුවා.

පොදු මගී ප්‍රවාහන බස් රථයක් මෙසේ අනතුරට ලක් වූ අතර තුවාල ලැබූ පුද්ගලයින් දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අලුත් අවුරුදු සමයේ රිය අනතුරු මෙන්ම කොරෝනා වෛරසයෙන් ද ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසටයි ෴

******************************************

(07.04.2021 – 06:29 +0530 – hirunews.lk/sinhala)

බම්බලපිටිය ලෝරිස් පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සූදු පොළක් වටලා චීන ජාතිකයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙවා.

ඒ අතර චීන ජාතික කාන්තාවක් ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

කොල්ලුපිටිය සහ බම්බලපිටිය පොලිසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සූදු පිටියේ තිබී රුපියල් 1,088,500 මුදලක් සහ චීන යුවාන් 2600 ක මුදලක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ ෴

******************************************

(07.04.2021 – 06:46 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ මුල් මාස තුන (3) ඇතුලත පමනක් පොලිස් නිලධාරීන් 14 දෙනෙක් මහමග අනතුරු හේතුවෙන් මියගොස් තිබෙනවා.

එම කාලය තුළ රිය අනතුරුවලින් බරපතළ තුවාල ලැබූ නිලධාරීන් ගණන 22 ක්.

සුළු තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 74 ක්.

පසුගිය වසරේ මහමග සිදුවූ රිය අනතුරුවලින් පොලිස් නිලධාරීන් 39 දෙනෙක් මියගොස් තවත් 394 ක් බරපතළ සහ සුළු තුවාල ලැබූවා.

එමෙන්ම 2019 වසරේදී මහමග පොලිස් නිලධාරීන් 38 දෙනෙක් මියගියා අතර තුවාල ලැබූවන් ගණන 292 ක්.

සංඛ්‍යා දත්තයන්ට අනුව වැඩිම පොලිස් නිලධාරීන් පිරිසක් මග මරුවාට බිලිවී ඇත්තේ 2018 වසරේදීයි.

එම වසරේදී පොලිස් නිලධාරීන් 44 දෙනෙක් මහමග අනතුරු නිසා මියගොස් ඇති අතර තවත් 321 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මේ හැරුණු විට රිය අනතුරු හේතුවෙන් දිනකට දළවශයෙන් මහමග කෙලවර වන ජීවිත ගනන 08 ක්.

එම ගණන වසරකට දළවශයෙන් මරණ 3000 කට ආසන්න සංඛ්‍යාවක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ රිය අනතුරුවල යම් වැඩි වීමක් මේ වන විට දක්නට ඇති බවයි.

අප්‍රේල් උත්සව මාසයේ සාමාන්‍යයෙන් රිය අනතුරුවල සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ඇති බැවින් ඒ ගැන වඩාත් සැලකිලිමත් වන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා ෴

@@@@@@@@@@@@@@

(06.04.2021 – 16:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් 145 දෙනෙකු අද (06) දිනයේදී සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 90,708 දක්වා ඉහළ ගිය බවයි ෴

+++++++++++++++++++

(06.04.2021 – 17:06 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ උපකාරක පන්ති අප්‍රේල් මස 12 වනදායින් පසුව ආරම්භ කිරීමට අවසර හිමිවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඇය කියා සිටියේ වරකට සිසුන් 100 ක උපරිමයකට යටත්ව උපකාරක පන්ති පැවැත්විය හැකි බවයි.

මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල අලුත් අවුරුද්දෙන් පසු ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළා ෴

අද (06) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 95 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

තවත් කොරෝනා මරණ දෙකක් අද (06) වාර්තා වුණා. ඒ අනුව මේ වන විට මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 588 ක් ලෙසයි ෴

අද (06) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 63 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් අද (06) දිනයේ වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 158 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *