අවුරුදු සමයේ හොරා පොලිසියෙන් ප්‍රවේසම්වන්න – පොලිසියෙන් ම පණිවිඩයක්

අවුරුදු සමයේ හොරා පොලිසියෙන් ප්‍රවේසම්වන්න – පොලිසියෙන් ම පණිවිඩයක්

*********************************************

අවුරුදු සමයේ හොරා පොලිසියෙන් ප්‍රවේසම්වන්න – පොලිසියෙන් ම පණිවිඩයක්

(06.04.2021 – 07:11 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන උත්සව සමයේ දී ව්‍යාජ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙලෙස ව්‍යාජ පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් මුදල් කොල්ලකෑම් සිදු කරන කණ්ඩායම් පිළිබඳ නිරන්තරයෙන් වාර්තා වන අතර ඊයෙත් (05) එවැනි සිදුවීමක් වව්නියාව මයිලන්කුලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මයිලන්කුලම ප්‍රදේශයේ නිවසකට මෙලෙස පොලිසියෙන් බව අඟවා ඇතුළු වූ සොර කණ්ඩායමක් එම නිවසින් රුපියල් 108,000 කට අධික මුදලක් පැහැර ගෙන තිබෙනවා.

එමෙන්ම වව්නියාව තම්පනේ පුලියන්කුලම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ තවත් එවැනිම කණ්ඩායමක් එම නිවසින් රුපියල් ලක්ෂ 3 කට අධික මුදල් සහ භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

එළඹෙන උත්සව සමයේ මෙවැනි ක්‍රියාකාරකම් රට පුරා වැඩි වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින ලෙසටයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

යම් අවස්ථාවක ඔබගේ නිවසට නිල ඇඳුමෙන් හෝ සිවිල් ඇඳුමෙන් සැරසී පැමිණෙන පොලිස් නිලධාරීන් සතුව පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුනුම්පත අනිවාර්යෙන්ම තිබිය යුතු බවත්, එම හැදුනුම්පතෙහි අදාළ පොලිස් නිලධාරියාගේ ඡායාරූපය තනතුර සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ලාංඡනය ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ එලෙස පැමිණෙන සෑම පුද්ගලයෙක්ගෙන්ම නිල හැඳුනුම්පත පරීක්ෂාකර බැලීම සඳහා ඉල්ලා සිටීමට සිවිල් වැසියන්ට අයිතියක් ඇති බවයි.

එබැවින් මෙවැනි සැකකටයුතු පුද්ගලයින් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, එවැනි සැකකටයුතු සිදුවීමක් හෝ එවැනි සැකකටයුතු පුද්ගලයකු පිළිබඳ සැකයක් ඇති වුවහොත් වහාම පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා ෴

******************************************

(06.04.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා ඡන්ද විමසීමේ ක්‍රමවේදය පිළිබදව විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් ඊයේ (05) පැවති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී ද එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබෙනවා.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට අමාත්‍යවරුන් වන විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා එක්ව නොසිටි අතර, විමල් වීරවංශ අමාත්‍යවරයා නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සහභාගි වුණා.

එහිදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර ඇති එක් කොට්ඨාශයකින් අපේක්ෂකයින් 3 දෙනෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට විරෝධය පල කරමින් පෙන්වා දී ඇත්තේ එකම පක්ෂයකින් කොට්ඨාශයක් සඳහා එලෙස අපේක්ෂකයින් තුන්දෙනෙකු (3) ඉදිරිපත් වුවහොත් ගැටුම් ඇතිවිය හැකි බවයි.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා ද ඊට සමාන අදහසක් දක්වනු ලැබුවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අදාල යෝජනාවට පක්ෂව අදහස් දක්වා තිබෙනවා.

මෙහිදි ඊ.පී.ඩී.පී නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පෙන්වා දී ඇත්තේ පවතින ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්විය යුතු බව තම පක්ෂයේ මතය බවයි.

පළාත් සහා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ කැබිනට් පත්‍රිකාව ඉකුත් අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් වු අවස්ථාවේදී ඊට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල විරෝධය පළවුණා.

ඒ අනුවයි එය ආණ්ඩු පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ.

මේ අතර, පළාත් සභා මැතිවරණ පැවත්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

ඒ, දැනට පවතින මැතිවරණ නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් හඳුනා ගැනීමටත්, ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරිමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබීම හේතුවෙන්.

ඊට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මැදිහත් වුණා.

මේ අතර, පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබදව අවසන් තීරණයක් ගැනීමට සැලසුම් කර ඇති පක්ෂ නායක රැස්වීම ලබන 19 වන දා පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චමින්ද විජේසිරිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (05) අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේදියි.

මේ අතර, ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස, අවුරුදු 63 දක්වා ඉහළ දමන කැබිනට් පත්‍රිකාව වහා අනුමත කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ, මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ෴

******************************************

(06.04.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)

මතභේදයට තුඩු දුන් කඩවත – මීරිගම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගම්පහ – දාරලුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවට ආවේණික ඉපැරණි ‘කෲඩියා සෙලනිකා’ ශාඛය ඉවත් නොකර මාර්ගය ඉදිකරන්නේ නම්, කුඩා ප්‍රමාණයේ කෲඩියා සෙලනිකා ශාඛ 5 ක් පමණ ඉවත් වීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා.

මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්. පේමසිරි මහතා කියා සිටියේ මතභේදයට තුඩු දුන් කෲඩියා සෙලනිකා ශාඛය ඉවත් නොකොට මාර්ගය ශාඛයේ සිට වම් පසට වන්නට ඉදිකිරීමට සැලසුම් කරන්නේ නම් කුඩා ප්‍රමාණයේ කෲඩියා සෙලනිකා ශාඛ 5 ක් පමණ ඉවත් කිරීමට සිදුවන බවයි.

එසේ නොමැති නම් මාර්ගය දකුණු පසට වෙනස් කරමින් ඉදිකරන්නේ නම් ආසන්නයේ පවතින දුම්රිය මාර්ගයේ ඉදිකිරීම්වලට හානියක් වන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

ඒ අනුව අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මතභේදයට තුඩු දුන් කෲඩියා සෙලනිකා ශාඛයට කුමක් කරන්නේ ද යන්න පිළිබදව පරිසරවේදීන් සහ වෙනත් වගකිව යුතු පාර්ශව සමග සාකච්ඡා කෙරෙනවා.

ඒ අනුව අවසන් තීරණයකට එළඹෙන බවයි මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්. පේමසිරි මහතා කියා සිටියේ ෴

******************************************

(06.04.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

පස්සර මාරක බස් අනතුර සිදුවූ මාර්ගයේ ප්‍රමිතිය පිළිබඳව එල්ලවන චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල (3) කමිටුවේ නිගමනය වී ඇත්තේ එම අනතුරට මාර්ගයේ පැවති තත්ත්වය හේතුවක් වී නොමැති බවටයි.

පසුගිය මස 20 වන දා එම අනතුර සිදුවූ අතර, ඊට පසු දිනයේදී අදාළ ත්‍රිපුද්ගල කමිටුව එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.

කෙසේ වෙතත්, මෙම අනතුරට මූලික වශයෙන් වගකිව යුත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය බවත්, ට්‍රක් රථයේ රියදුරා මෙන්ම බස් රථයේ රියදුරු යන තුන් පාර්ශවයම වගකිව යුතු බවත් මාර්ග ආරක්ෂාව පිළිබද පුහුණුකරුවෙකු වන ඩබ්ලිව්.ඒ. වීරතුංග මහතා ප්‍රකාශ කළා.

ඒ, මීට පෙර අවස්ථාවකදී හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, මහා මාර්ග අමාත්‍යාංශය පවසන්නේ ඇතැම් පාර්ශව එලෙස අදහස් පළ කළ ද මාර්ග සංවර්ධන අධිකාරිය ඊට වගකිව යුතු නොමැති බවටයි.

පස්සර මාරක බස් අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා ෴

******************************************

(06.04.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ මහමග සිදුවූ රිය අනතුරු හේතුවෙන් තවත් පුද්ගල ජීවිත 11 ක් අහිමි වී තිබෙනවා.

ඔවුන් අතරෙන් නව දෙනෙකු (9) ඊයේ දින සිදු වූ අනතුරුවලින් මිය ගොස් ඇති අතර තවත් දෙදෙනෙකු (2) ඊට පෙර සිදු වූ අනතුරුවලින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින්.

මෙලෙස මහමග අනතුරුවලින් ඊයේ (05) දිනයේ දී මියගියේ යතුරුපැදිකරුවන් සිව්දෙනෙක් (4), ත්‍රිරෝද රථවල ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙක් (2), සහ පදිකයින් දෙදෙනෙක් (2).

එළඹෙන උත්සව සමයේ දී මහමග අනතුරු අඩු කර ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

යම් අවස්ථාවක බීමත් පුද්ගලයෙකු රිය ධාවනයේ යෙදෙනවා නම්, රිය ධාවනය සඳහා පෙළඹෙනවා නම්, ඉන් ඔහු වැළැක්වීමට මහජනතාවට අයිතියක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

එමෙන්ම එළඹෙන උත්සව සමයේ බීමත් රියදුරන් සොයා අප්‍රේල් 10 වැනිදා සිට රට පුරා දැවැන්ත පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ෴

******************************************

(06.04.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ මිය ගොස් තිබෙනවා.

වාරියපොළ බන්ධනාගාරයේ රදවා සිටි ඔහු ඊයේ (05) රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මිය ගිය බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ.

මෙලෙස මිය ගිය ඉන්දියානු ජාතිකයා 45 හැවිරිදි දිලීප් කුමාර් නැමැත්තෙක්.

වාරියපොළ පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මොහු අසනීප තත්ත්වයෙන් පසුවූ බවයි.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය වාරියපොළ රෝහලේදී පැවැත්වෙන අතර කොරෝනා පරීක්ෂණ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.

කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය මාර්තු මස 19 වනදා මොහු පොලිසිය අත්අඩංගුවට ගත්තා ෴

******************************************

පොල් තෙල් ප්‍රතිඅපනයනයට තවත් සති දෙකක් (2) – රසායනික යොදා පිරිසිදු කළ කොත්තමල්ලි ගැනත් තොරතුරු

(06.04.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

විෂ රසායනික අඩංගු බවට තහවුරු වීම හේතුවෙන් ප්‍රති අපනයනය සඳහා උපදෙස් ලබාදුන් පොල්තෙල් අඩංගු කන්ටේනර් බහලුම් 95 ප්‍රතිඅපනයනය කිරීම සඳහා තවත් සති 2 ක පමණ කාලයක් ගත වනු ඇති බව රේගුව පවසනවා.

අදාළ පොල්තෙල් ගෙන්වූ ආයතන හරහා යළිත් එම රටවල්වලට යොමු කිරීමට අවශ්‍ය දැනුම්දීම් සිදුකර ඇතත් ප්‍රතිඅපනයනයට අවශ්‍ය නැව් හරහා ඒවා යැවිය යුතුයි.

ඒ හේතුවෙන් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි රේගුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මේ අතර, වෙළඳපලට නිකුත් වී ඇති පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු ආහාර මොනවාද යන්න සහ එම සමාගම් පිළිබඳ තොරතුරු අද (06) දිනයේ ලබාදෙන බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, අදාළ සමාගම් සම්බන්ධයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා ‘සිංහලේ සංවිධානය’ ඇතුලු සංවිධාන කිහිපයක් ඊයේ (05) ප්‍රමිති ආයතනයට ගිය අවස්ථාවේදියි.

හිරු ප්‍රවෘත්ති අංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්දිකා සේනාරත්න සමග පසුගියදා පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවේදී ඇය කියා සිටියේ ‘සමාගම් බිඳ වැටෙන බැවින් විෂ සහිත ආහාර ආනයනය කළ සමාගම්වල නම් ප්‍රකාශ කළ නොහැකි’ බවයි.

ඇයගේ මෙම ප්‍රකාශයට මේ වන විට දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර, ඒ පිළිබදව සමාජ මාධ්‍යය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

ඊයේ (05) දිනයේ ‘සිංහලේ ජාතික සංවිධානය’ ඇතුලු සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ගොනු කළේ ඊට එරෙහිවයි.

පොල්තෙල් පිළිබද එවන් කතාබහක් පවතින පසුබිමක ‘පරිභෝජනයට නුසුදුසු කොත්තමල්ලි’ මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය යොදා පිරිසිදු කොට යළිත් වෙළදපොළට නිකුත් කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

කල්මුණේ ප්‍රදේශයේ අදාළ ජාවාරම ක්‍රියාත්මක වන බවටයි දැනට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

පසුගිය කාලසීමාවේදී කොරෝනා වසංගතයට කොත්තමල්ලි පානය සුදුසු බවට පළ වූ ඇතැම් වාර්තා ද සැලකිල්ලට ගනිමින් මෙම කොත්තමල්ලි වෙළදපොළට නිකුත් කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා ෴

******************************************

(06.04.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රැජිණ සංවිධායකයන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් සදහන් කර ඇත්තේ වර්තමාන විවාහක ලෝක රූ රැජිණ වන ශ්‍රී ලංකාවේ කැරොලින් ජූරි එම අවස්ථාවේදී හැසිරුණු ආකාරය පිළිබදව තම සංවිධානය කණස්සල්ල පළ කරන බවයි.

එමෙන්ම, සිද්ධිය පිළිබඳ ඇගයීමකින් පසු අවශ්‍ය පියවර ගන්නා බව ද එමගින් අවධාරණය කළා.

එසේම ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා සංවිධායකයින් විසින් විවාහක ලෝක රූ රැජිණ තරගාවලිය සඳහා නීත්‍යානුකූලව විවාහක කාන්තාවක ඉදිරිපත් කරන්නේ නම් ඇය ඒ සඳහා පිළිගන්නා බවයි.

මේ අතර, විවාහක රූ රැජිණ තරඟයේ කිරුළ දිනා ගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය කුරුඳුවත්ත පොලීසිය වෙත පසුගිය දා සිදුකළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ලෝක විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරි අද (06) කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණියා.

ඇය මේ වන විටත් එහි රැදී සිටින බවයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

එම නිවේදනය පහතින් :

විවාහක රූ රැජින තරඟයේ අවසන් තරඟය සඳහා තරගකාරියන් 20 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණේ ජාත්‍යන්තර තරගාවලියේදී සළකා බැලෙන සුදුසුකම් යටතේ බවයි සංවිධායකයින් සඳහන් කළේ.

ජාතත්‍යන්තර තරගාවලියේ ප්‍රධාන තරග කොන්දේසි වන්නේ තරගකාරිය තරඟාවලියට අයදුම් කරන අවස්ථාව වන විට විවාහක තැනැත්තියක් වීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීම, සහ තමන් තරගාවලිය නියෝජනය කරන රටේ පදිංචිකාරියක වීමයි.

ඒ අනුව රූ රැජිණ තේරීමේ තරගයේ අවසන් තරගකාරියන් බවට පත්ව සිටියේ අංක 17 යටතේ තරග වැදුණු අයේෂා බස්නායක සහ අංක 20 යටතේ තරග වැදුණු පුෂ්පිකාද සිල්වා යන අයයි.

එහිදී කිරුළේ ජයග්‍රාහිකාව නිවේදනය කෙරුණේ මෙලෙසින්.

ඒ අනුව පුෂ්පිකා ද සිල්වා මහත්මියට කිරුළ පළදවනු ලැබුවේ 2020 ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළ හිමිකරගත් කැරොලයින් ජුරි යි.

නමුත් ඊට ටික වේලාවකට පසු ජයග්‍රාහිකාවට කිරුළ පැළදීමට එක්වූ කැරොලින් ජූරි විශේෂ නිවේදනයක් කළා.

ඒ අනුව පුෂ්පිකා ද සිල්වා මහත්මියට පැළදවූ කිරුළ ඇගෙන් ඉවත්කර දෙවන ස්ථානයට පත්වූ රූ රැජිනට පැළඳවූවා.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය හිරු ප්‍රවෘත්ති වෙත සදහන් කළේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේදී හිසට තුවාල සිදුවීම හේතුවෙන් තමා රෝහල් ගත වූ බවයි.

මේ අතර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය ප්‍රකාශ කළේ ලංකාවේ පමණක් නොව ලෝක රූ රැජිණ ඉතිහාසයේද පළමු වරට මෙලෙස අපහාසාත්මකව සියල්ලන් ඉදිරියේ කිරුළ උදුරා ගැනුනත් තමන් පෙර සේම අභිමානයෙන් සිටින බවයි.

ඇය පෙන්වා දෙන්නේ තමන් තරගාවලියට නුසුදුසුනම් ආරම්භයේදීම සංවිධානයකින්ට තමන් ඉවත් කිරීමට හැකියාව තිබූ බවයි.

එම නිසා අදාළ සිදුවීම් පිළිබඳ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයයුතු කරමින් සිටින බවත් තමන් දික්කසාද වී නොමැති බවත් ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන මගින් අවධාරණය කර තිබෙනවා.

අදාළ සිදුවීම පිළිබඳ පුෂ්පිකා ද සිල්වා මහත්මිය කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර ඇති අතර අද (06) පස්වරුවේ ප්‍රකාශයක් ලබා ගැනීමට ඇයට පොලිසිය වෙත පැමිණෙන ලෙසද දැනුම් දී තිබුණා.

අදාළ සිදුවීම් පිළිබඳ මෙරට පළමු විවාහක රූ රැජිණ බවට පත්වෙමින් ජගත් කීර්තියක් ගෙන දුන් රෝසි සේනානායක මහත්මියද අදහස් පළ කළා.

කෙසේ වෙතත් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ දෙවැනි ජයග්‍රාහිකාවට පැළඳීමට කටයුතු කළ 2020 ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි ගෙන්ද මෙමම සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට අප අවස්ථා කිහිපයකදී උත්සාහ කළද ඇය දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

මේ අතර තරග සංවිධායකින් පැවසුවේ නිල වශයෙන් කිරුළ හිමිවූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද (06) දිනයේ යළිත් කිරුළ පැළඳීමට අපේක්ෂා කරන බවයි.

++++++++++++++

කිරුලට ඇත්තටම මොකද උනේ ? – චන්දිමාල්ගේ හිටපු අධ්‍යක්ෂක සියල්ල හෙලිකරයි ! (05.04.2021)

[ https://www.youtube.com/watch?v=VXvsrLOLHIM ]

******************************************

(06.04.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala).

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබද අංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබද ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින්, ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ නිර්දේශ 78 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තා දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි.

ඊයේ (05) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත එම කැබිනට් අනු කමිටුවේ අවසන් වාර්තාව භාරදුන් අතර, අදාළ නිර්දේශ 78 ක්‍රියාත්මක කරන්නේ කෙසේද හා ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න වාර්තාවට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපනය සම්බන්ධ කරුණු අධ්‍යාපන අමාත්‍යාංශය වෙතත්, ආගමික සිද්ධස්ථාන සම්බන්ධ කරුණු ආගමික කටයුතු අමාත්‍යාංශය වෙතත් පැවරිය යුතු බවටයි කමිටුව හඳුනාගෙන ඇත්තේ.

එසේම, අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධ කරුණු අදාළ කොමිසම වෙත යොමු කළ යුතු බවට ද කැබිනට් අනු කමිටුව හඳුනාගෙන තිබෙනවා.

මීට අදාළ නීතිමය කාරණ පිළිබද නිර්දේශ ජනාධිපතිවරයා විසින් මීට පෙර නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබුවා.

මේ අතර, පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන සභාව කල් තැබීමේ විවාදය 04 වන දිනටත් හෙට (07) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි ෴

******************************************

(06.04.2021 – 09:33 +0530 – hirunews.lk/sinhala)

සුනිත්‍ය බලශක්ති උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන වින්ඩ්ෆෝස් සමාගම ඉදිරිපත් කළ මහජන කොටස් නිකුතුව උතුරා ගොස් තිබෙනවා.

එමගින් රුපියල් 16 බැගින් වූ කොටස් මිලියන 202.6 ක් ඉදිරිපත් කළ අතර, ඒ සඳහා ලැබුණු ඉල්ලුම එමෙන් 8 ගුණයක්.

ඒ අනුව අපේක්ෂිත රුපියල් බිලියන 3.2 ක නිකුතුව සඳහා ලැබී ඇති අයදුම් ප්‍රමාණය රුපියල් බිලියන 25.7 ක් බවයි සමාගම කොටස් වෙළදපොළට ඉදිරිපත් කර ඇති අතුරු වාර්තාවේ දැක්වෙන්නේ.

වින්ඩ්ෆෝස් සමාගම දැනට බලාගාර 27 ක් ක්‍රියාත්මක කරන අතර, ඊට සුළං බලාගාර 7 ක්, සූර්ය බලශක්ති බලාගාර 10 ක් සහ කුඩා ජල විදුලි බලාගාර 10 ක් ඇතුළත්.

ඉන් බහුතරයක් ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති අතර, පාකිස්තානය, උගන්ඩාව සහ යුක්රේනයේ ද එහි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

******************************************

(06.04.2021 – 09:56 +0530 – hirunews.lk/sinhala)

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘කීර්ති තාරක පෙරේරා විජේසේකර’ හෙවත් ‘කොස්ගොඩ තාරක’ ඇතුළු සිව් දෙනෙකුට (4) ඩෙංගු වැළදී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

සැකකරුවන්ට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බවද වාර්තා වනවා.

එමෙන්ම, ‘කොස්ගොඩ තාරක’ ඇතුළු සැකකරුවන් පිරිසකට මීට පෙර කොරෝනා වෛරසය ද ආසාදනය වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා ෴

******************************************

සිද්දිකාට වැඩ වරදීද ? – රජයෙන් පරීක්ෂණයක්

(06.04.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සාකච්ඡාවේදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්නට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

පසුගිය දා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය සිද්ධිකා සේනාරත්න ප්‍රකාශ කර තිබුණේ සමාගම් කඩා වැටෙන බැවින් පිළිකා කාරක අඩංගු තවත් ආහාර සම්බන්ධයෙන් හෙළි කළ නොහැකි බවයි.

මේ අතර, පාම් තෙල් ආනයනය තහනම් කිරීමට ගත් තීරණයට බේකරි හිමියන් විරෝධය පළ කරනවා.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියා සිටියේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා පාම් තෙල් යොදා ගන්නා බවයි.

පිළිකාකාරක අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය හිරු ප්‍රවෘත්ති සමග පැවැත්වු සම්මුඛ සාකච්ඡාවේදී කළ ප්‍රකාශය මේ වනවිට රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

ඊයේ (05) දිනයේද පාර්ශ්ව කිහිපයක් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය හිරු ප්‍රවෘත්ති සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවේ දේශීය සමාගම් කඩාවැටෙන බැවින් පිළිකාකාරක අඩංගු ආහාර සම්බන්ධයෙන් හෙළි කළ නොහැකි බවයි.

රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස ඇය කළ මෙම ප්‍රකාශයට සමාජයෙන් එල්ල වූයේ දැඩි විවේචනයක් සහ විරෝධයක්.

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ක්‍රියාකලාපය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද දැඩිව විවේචනය කළා.

අදාළ ප්‍රකාශය පදනම් කරගනිමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය, ලක්මවට හඬක් සංවිධානය සහ ජනබල පවුර සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා.

පිළිකාකාරක අඩංගු ආහාර නිෂ්පාදන සමාගම් රකිමින් ජනතාව විනාශ කිරීමට ප්‍රමිති ආයතනයේ නිලධාරීන් කටයුතු කර ඇති බව එම පැමිණිලි මගින් පෙන්වා දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ (05) දිනයේ අප ගෙන ආ වාර්තාව පහතින් :

******************************************

(06.04.2021 – 11:08 +0530 – hirunews.lk/sinhala)

වන විනාශයන් සිදුවන බවට මෑත කාලයේ පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට සහ අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා නීතිපති වරයා විසින් වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ව සහ එම දෙපාර්තමේන්තුවේ අනෙක් නිලධාරීන්ව අද (06) සාකච්ජාවකට කැඳවා තිබේනවා ෴

******************************************

(06.04.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala)

මුන්දලම පාලසෝලේ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිඳ, ඇයගේ සොහොයුරා, අනියම් බිරිඳගේ සොහොයුරාගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් විසින් 37 හැවිරිදි පුද්ගලයෙකු පහරදී ඝාතනය කර පසුව ඔහු ගෙළවැලලාගෙන මරණයට පත්වූ බවට හැඟවෙන අයුරින් මළ සිරුර එල්ලා ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ කොහු මෝලක කම්කරුවකු ලෙස සේවයක කරමින් සිටි අයෙකු බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වු පුද්ගලයා අදාළ සැකකාර කාන්තාවගේ තුන්වන (3) සැමියා බවත් මොවුන් නිත්‍යානුකුලව විවාහවී නොමැති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එම කාන්තාව සහ මියගොස් ඇති පුද්ගලයා කොහු මෝල තුළ පදිංචිව සිට ඇති අතර මාස කිහිපයක් තිස්සේ ඔවුන් අතර කිසිදු කතාබහක් සිදුව නොමැති බවයි සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ.

අනතුරුව ඝාතනයට ලක්වූ දිනයේ මියගොස් ඇති පුද්ගලයා බීමතින් පැමිණ ඔවුන් සමඟ ආරවුලක් ඇතිකරගෙන පසුව එහිදී සිදුවූ පහරදීමකින් ඔහු මියගොස් ඇති බවද අනාවරණ වී තිබෙනවා.

එහිදී සැකකරුවන් විසින් මියගොස් ඇති පුද්ගලයා ගෙළවැලලාගෙන මරණයට පත්වූ බවට හැඟවෙන අයුරින් මළ සිරුර එල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

මුන්දල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

******************************************

(06.04.2021 – 12:29 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවූවා.

චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමග පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම සහ නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශීල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ යන මහත්ම මහත්මිහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා ෴

******************************************

(06.04.2021 – 12:49 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් 1000 සේ දෛනික වැටුප මේ මාසයේ සිටම වතු කම්කරුවන්ට ලබාදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදි අද (06) ප්‍රකාශ කළා.

ඒ, සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි ෴

******************************************

(06.04.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

හෙක්ටයාරයකට තේ නැවත වගා කිරීම සඳහා ලබාදෙන සහනාධාරය රුපියල් ලක්ෂ 4 රේ සිට ලක්ෂ 5 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2025 වර්ෂය වන විට මෙරට තේ කිලෝග්‍රෑම් මිලියන 360 ක් නිෂ්පාදනය කිරීමේ අරමුණ ඇතිවයි අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ ෴

‘හිරු ටී.වී.’ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙන්ම පිළිකාකාරක පොල්තෙල් ගැටලුව පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් අදත් අතර අදහස් පළ කළා.

‘හිරු ටී.වී.’ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙන්ම පිළිකාකාරක පොල්තෙල් ගැටලුව පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් අදත් අතර අදහස් පළ කළා.

@@@@@@@@@@@@@@@

(06.04.2021 – 09:30 +0530 – hirunews.lk/sinhala)

විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට පැමිණීමේදී, විදේශ අමාත්‍යාංශයේ අවසර ලබාගැනීම මින් ඉදිරියට අවශ්‍ය නොවන බව, යුධ හමුදාපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබෙනවා ෴

++++++++++++++++

(06.04.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 6 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

පසුගිය මාර්තු 23 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 7 ක් මිලදී ගැනීමට අනුමැතිය හිමි වූ අතර, එක් එන්නතක් සඳහා වැය කරන මුදල ඇමරිකානු ඩොලර් 9.95 ක්.

ඒ අනුව එම එන්නත් ප්‍රමාණයට අමතරව තවත් එන්නත් මාත්‍රා මිලියන 6 ක් මිලට ගන්නා අතර ඒ අනුව මේ දක්වා මිලට ගැනීමට තීරණය කර ඇති ස්පුට්නික් එන්නත් සංඛ්‍යාව මිලියන 13 ක් පමණ වනවා.

මේ අතර, හෙක්ටයාරයකට තේ නැවත වගා කිරීම සඳහා ලබාදෙන සහනාධාරය රුපියල් ලක්ෂ 4 රේ සිට ලක්ෂ 5 දක්වා වැඩි කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

2025 වර්ෂය වන විට මෙරට තේ කිලෝග්‍රෑම් මිලියන 360 ක් නිෂ්පාදනය කිරීමේ ඉලක්කය අනුවයි අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ ෴

+++++++++++++++++++

(06.04.2021 – 12:40 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (06) පැවති උත්සවයකින් අනතුරුවයි යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ.

විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සඳහා මින් ඉදිරියට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය අවශ්‍ය නොවන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රුසියාවෙන් තවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 6 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

පසුගිය මාර්තු 23 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 7 ක් මිලදී ගැනීමට අනුමැතිය හිමි වූ අතර, ඒ අනුව රුසියාවෙන් මිලදී ගන්නා එන්නත් සංඛ්‍යාව මිලියන 13 ක්.

එක් එන්නතක් සඳහා වැය කරන මුදල ඇමරිකානු ඩොලර් 9.95 ක් වනවා.

මේ අතර, කොරෝනා මර්දනය සඳහා එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් අද (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගෙන් ප්‍රශ්න කළ අතර, ඔහු කියා සිටියේ සියළු විකල්ප තවදුරටත් සලකා බලන බවයි.

මේ අතර, ඊයේ (05) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 137 දෙනා අතරින් වැඩිම පිරිස වන 56 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. රත්නපුර දිස්ත්‍රික්කයෙන් 31 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර, සමස්ත ලංකා සුව සේවා සංගමය අද (06) උදෑසන 8 සිට දහවල් 12 දක්වා පැය 4 ක කාලයක් සේවයෙන් ඉවත් වී රෝහල් තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූයේ තම ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට රජය මේ දක්වා කටයුතු කර නොමැති බව පවසමින්.

එමෙන්ම, ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ද අද (06) දහවල් බදුල්ල නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ, කොරෝනා වසංගතයට මුවා වී විදුහල්පති හා අධ්‍යාපන පරිපාලනය යන සේවාවන්ට දේශපාලන පත්වීම් සිදුකර ඇති බවට චෝදනා කරමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *