දැනට වෙළෙඳපොළේ ඇති පොල්තෙල් පරිභෝජනය ඉතා භයානකයි – විජයදාස රාජපක්ෂගෙන් පැහැදිලි කිරීමක්..

දැනට වෙළෙඳපොළේ ඇති පොල්තෙල් පරිභෝජනය ඉතා භයානකයි – විජයදාස රාජපක්ෂගෙන් පැහැදිලි කිරීමක්..

*********************************************

දැනට වෙළෙඳපොළේ ඇති පොල්තෙල් පරිභෝජනය ඉතා භයානකයි – විජයදාස රාජපක්ෂගෙන් පැහැදිලි කිරීමක්..

(02.04.2021 – 22:12 +0530 – newsfirst.lk/sinhala)

විෂ කාරක පොල්තෙල් සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔහු පවසන්නේ , 2021 මාර්තු 25 වැනි සහ 26 යන දිනවලදී මෙරට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණයවන පරිදි පාරිභෝගික සේවා අධිකාරිය පොල්තෙල් සාම්පල 55 ක් ලබාගෙන ඇති බවයි.

ඒ අතුරින් සාම්පල 8 ක හැර අනෙක් සියල්ලේම ඇෆ්ලටොක්සීන් අන්තර්ගතව ඇති බව එම නිවේදනයේ සඳහන් ය.

එයින් සාම්පල 14 ක විෂ කාරක අගය 5 සිට 10 දක්වා තිබී ඇති අතර තවත් සාම්පල 6 ක ඇෆ්ලටොක්සීන් අගය 10 ඉක්මවා අන්තර්ගත වී ඇති බව ද මෙහි දැක්වේ.

මෙම සාම්පල සියල්ලම සාමාන්‍ය වෙළෙඳපොළෙන් ලබාගත් ඒවා බැවින්, දැනට වෙළෙඳපොළේ ඇති පොල්තෙල් පරිභෝජනය ඉතා භයානක හා අනතුරුදායක බව ද විජයදාස රාජපක්ෂ මහතා මෙම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

ඔහු පවසන්නේ, පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එල්. ඩී. නිරෝෂන මහතා අප්‍රේල් 01 වැනිදා පැවසූ පරිදි අදාළ සාම්පලවල මිනිස් සිරුරට අහිතකර ඇෆ්ලටොක්සීන් නොමැති බවට කළ ප්‍රකාශය ඉතා බරපතල අසත්‍යයක් බවයි.

එමගින් හිතමතාම පිළිකා කාරක අඩංගු පොල්තෙල් මහජනතාවට පරිභෝජනයට පොළඹවා මහජනතාවගේ ජීවිත විනාශ කිරීමට තැත් කිරීමක් බවත් ආචාර්ය විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අවධාරණය කරයි ෴

******************************************

ආණ්ඩුව නිසි මගට ගැනීමට ආණ්ඩුව තුළම සිටිමින් දැවැන්ත අරගලයක් – උදය ගම්මන්පිල

(03.04.2021 – 05:24+0530 – lankaleadnews.com)

අවිස්සාවේල්ලේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේ ආණ්ඩුව රැක ගැනීම සඳහා වන දැවැන්ත අරගලයක ආණ්ඩුව තුළම සිටිමින් යෙදී සිටින බවයි.

20 සංශෝධනය තිබූ සමහර කරුණු ජනවරමට පටහැනි බවත් ජනවරම සුරකින්නේ නම් විසිවෙනි සංශෝධනය ඒ ආකාරයෙන් ඉදිරිපත් වීමට නොහැකි බවත් පෙන්වා දුන් ඇමැතිවරයා ජනවරම සුරකින්නේ නම් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීම සඳහා වන සංකල්පයක් වත් පහළ විය නොහැකි බව ද ප්‍රකාශ කළේය.

69 ලක්‍ෂයක ජනවරම රැක ගැනීමටත් ඒ විශ්වාසය ඉදිරියටත් පවත්වාගෙන යාමටත් එම අරගලය සිදුකරන බවද ඇමතිවරයා පැවසීය.

******************************************

දක්ෂිණ අධිවේගයේ දී බසයක් ලොරියක පිටුපස හැපේ

(02.04.2021 – 21:42 +0530 – lankadeepa.lk)

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් හා ලොරියක් ගැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි දක්‍ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කළේය.

කොට්ටාව මාකුඹුර සිට මාතර බලා ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක් හා මාතර දෙසටම ධාවනය වු ලොරියක් ගැටීමෙන් 17.4 කිලෝමීටරය ආසන්න ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබුවන් අතර කාන්තාවන්ද සිටින බව දක්‍ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේදී සුඛෝපභෝගී බස් රථයේ මාතර බලා මඟීන් 40 ක් පමණ ගමන් කරමින් සිට ඇති බව මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මාතර දෙසට ධාවන වු සුඛෝපභෝගී බස් රථය 17.4 කිලෝමීටරය ආසන්න මිල්ලනිය ප්‍රදේශයේදී අධිවේගී මාර්ගය මැද පිහිටා ඇති ආරක්‍ෂිත වැටේ ගැටී ඇති බවත් යළි මාර්ගය දෙසට විසී වු බස් රථය ඒ වන විට මාතර දෙසටම ධාවනය වු ලොරියක පිටුපසු ප්‍රදේශයේ ගැටී අති බවත් සඳහන් කරන පොලිසිය අනතුරුව මාර්ගයේ වම් පස ආරක්‍ෂිත වැටේ ද ගැටී එයද කඩාගෙන බෑවුමට පෙරළි ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ලොරි රථය උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් රැගෙන මැදමුලන ප්‍රදේශය බලා ධාවනය වෙමින් තිබු බවද පොලිසය සඳහන් කරයි.

අනතුරින් තුවාල ලැබුවන්ට එහි පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබලුන් විසින් ඒ ස්ථානයේදීම ප්‍රතිකාර කළ බවත් ඉන් අනතුරුව ඔවුන් රෝහල් කරා යොමු කිරීමට පියවර ගත් බවත් සඳහන් කළ පොලිසිය අනතුරින් සුඛෝපභෝගී බස් රථයටද ලොරි රථයටද දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්‍ෂිත වැටටද දැඩි හානි සිදුවී ඇති බවද සඳහන් කළේය ෴

******************************************

පිරිසිදු පොල් තෙල් දිවියට ඔසුවක්

(02.04.2021 – 17:19 +0530 – lankadeepa.lk)

හෘදරෝග, අංශ භාගය, ප්‍රතිශක්තී කරණය වැඩිකිරීම, ස්නායු පද්ධතිය, හම, දත්, හා නිය ආරක්ෂා කිරීම සඳහා පිරිසිදු කලවම් නොකළ පොල්තෙල් ඔෂධීය ආහාරයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ලෝකයේ සුපිරි ආහාරයක් ලෙසට ඉතා පිරිසිදු පොල් තෙල් හදුන්වනු ලබන අතර නෙදර්ලන්තය ජර්මනිය වැනි රටවල් වැඩි වශයෙන් පොල්තෙල් පරිභෝජනය කරනු ලබන බවද වෛද්‍ය පාදෙණිය මහතා පවසයි.

පාරම්පරික සිංහල හාලේ බත පොල් සම්බෝලය හා කතුරුමුරුංගා කිරිහොද්ද ඉතා අඩු මිලකට පිළියෙල කර ගත හැකි ඉතාම සමබර ආහාරයක් බවද ඒ මහතා සඳහන් කරයි ෴

******************************************

මහරගම පොලිස් නිලධාරියාගෙන් පහර කෑ රියදුරා සියල්ල හෙළිකරයි – Talk with Sudaththa (31.03.2021)

“ඔය ඩ්‍රැයිවර් මල්ලිට තව පොඩ්ඩක් මිස් වෙලා මිනිහ යට උනානම් ඔය කතා ඔක්කොම වෙනස් වෙනවා. යකෝ නිදිමත නම් නිදියපියව් ලොරිය නවත්තල. මිනිස්සු මරන්නෙ නැතුව.”
“නිදිමතේ වාහන පදවන්න එපා !”

++++++++++++++

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කළ හැකි ආකාරය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් පැහැදිලි කිරීමක්

(03.04.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරියෙකු විසින් යම් පුද්ගලයෙකුට හේතුවක් නොමැතිව සිදුකරන පහරදීමකදී හෝ බලය පාවිච්චි කිරීමක් සිදුවුවහොත් එම පුද්ගලයාට පොලීසියට, පොලිස් මූලස්ථානයට, පොලීසියේ ඉහළ නිලධාරීන්ට, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

එසේ නොමැතිව ‘නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරීන්ට එරෙහිව බලය පාවිච්චි කිරීමට හැකියාවක් නොමැති’ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

සමාජ ජාල මාධ්‍ය හරහා හුවමාරු වෙමින්, මේ වනවිට සමාජ ගතවෙමින් ඇති සාවද්‍ය තොරතුරු සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

මේ අතර පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීම පිළිබඳ නිර්ණායක දණ්ඩ නීති සංග්‍රහයේ 89 සිට 99 දක්වා වගන්තිවල ඇති බවත් විශේෂයෙන් 92 සහ 93 වගන්තිවල ඇති ප්‍රතිපාදන අනුව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කළ යුතු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙනවා දෙන්නේ.

ඒ අනුව 92, 93 සහ 96 වගන්තිවල එම කරුණු ඇතුළත් බවත් කිසිම අවස්ථාවක ‘රජයේ සේවකයෙකු තමාගේ නිලයේ නාමයෙන් බලය පාවිච්චි කිරීමේදී එවැනි ක්‍රියාවකට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කළ නොහැක්කේය’ යනුවෙන් අදාළ වගන්තියේ සඳහන් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ.

එය වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ‘නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරීන්ට පහරදිය හැකි’ බවට සඳහන් ඇතැම් තොරතුරු සමාජ ජාල මාධ්‍ය හරහා සංසරණය වෙමින් ඇති බවත් එය සම්පූර්ණ වැරදි අර්ථකථනයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා ෴

******************************************

(03.04.2021 – 11:04 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල, ලෙනදොර, තිස්අටේ කණුව ප්‍රදේශයේදී ගංජා වගා කර ඒවා අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි කාන්තාවක් ගංජා කිලෝ 04 යි ග්‍රෑම් 200 ක් සමඟ දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තම ගෙවත්තේ මඤ්ඤොක්කා වගාව අතරේ ඉතා රහසිගතව මෙම කාන්තාව ගංජා වගා කර ඇති අතර, ඉන් ලබා ගත් පළමු අස්වැන්න වියළා අලෙවි කිරීමට යාමේදී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ.

මෙම ජාවාරම සඳහා ඇයගේ සැමියාගේ සහයද ලැබී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට පත් කාන්තාව සහ ගංජා තොගය දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දඹුල්ල පොලිසිය විසින් පවත්වනු ලබනවා ෴

******************************************

(03.04.2021 – 11:14 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ග්‍රෑම් 335 කට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වැලිගම – මිදිගම, අරඹෙගෙදරවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොක්මාදූව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ (02) සිදුකළ වැටලීමකදියි.

39 හැවිරිදි එම පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා වැලිගම පොලීසිය වෙත භාරදී තිබෙනවා ෴

******************************************

(03.04.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළ ආකාරයට පරිභෝජනයට ගන්නා තෙල් වර්ගවලට කිසිදු ද්‍රව්‍යයක් මිශ්‍ර කිරීම තහනම් වන ආකාරයෙන් ගැසට් නිවේදනයක් මෙතෙක් නිකුත් වී නොමැති බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් එහි ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා මෙම අදහස් පළ කළා.

මේ අතර පොල් සංවර්ධන අධිකාරිය විසින් ලබාගත් පොල් තෙල් සාම්පල 56 ක් තම ආයතනය වෙත ලැබීමට නියමිත බව කාර්මික තාක්ෂණ ආයතනය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රාධිකා සමරසේකර මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තම ආයතනයට මේ වනතෙක් ලැබුණේ පොල්තෙල් සාම්පල හතරක් බවයි.

ඒවායේ ප්‍රතිඵල මේ වනවිට පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලබාදී තිබෙනවා.

ඇෆ්ලටොක්සින් නැමති පිළිකා කාරකය පරීක්ෂා කිරීමේ උපරිම තාක්ෂණය පවතින එකම රජයේ ආයතනය තම ආයතනය බවද ඇය සඳහන් කළා.

කෙසේ වෙතත් පාරිභෝගික සේවා අධිකාරිය වෙළඳසැල්වලින් ලබාගත් සාම්පල කිසිවක් මේ වනතෙක් කාර්මික තාක්ෂණ ආයතනය වෙත එවා නැහැ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් පිළිකා කාරක අඩංගු බැවින් ප්‍රතිඅපනයනය කරන ලෙස නිර්දේශ කර තිබියදී ආනයනකරුවන්ගේ ගබඩා වෙත අදාළ පොල්තෙල් මුදා හැර ඇති බවට හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයත් සමඟ පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජය තුළ මේ වනවිට දැඩි කථාබහක් ඇතිව තිබෙනවා ෴

******************************************

(03.04.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

ගම සමඟ පිළිසඳර වැඩසටහනේ 17 අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, වව්නියාව – වෙඩිවෛත්‍යකල්ලු බෝගස්වැව මහා විද්‍යාලයේදී මේ වනවිට පැවැත්වෙනවා.

******************************************

(03.04.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

අසාර්ථක අලිවැට ඉදිකිරීම වෙනුවට විකල්ප ක්‍රමවේදයකට යායුතු බව සත්ව චර්යා අධ්‍යයන කටයුතු වල නිරත හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා ප්‍රකාශ කළා.

අලි, ගැටුම් ඇති කර ගැනීමට එතරම් කැමැත්තක් නොදක්වන සත්ව කොට්ඨාශයක් බවට සිදු කරන ලද අධ්‍යයන වලින් තහවුරු වී ඇතත් මෙලෙස ගැටුම් ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අසාර්ථක අලිවැටවල් ඉදිකිරීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(03.04.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් එල්ලවන විවිධ චෝදනා සහ සිදු වෙතැයි සැළකෙන දූෂිත ක්‍රියා හා අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම් හා වාර්තා කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම යම් වැදගත් කරුණු ඉදිරිපත් කරන ලෙස පුද්ගලයින්ට හා සංවිධාන වෙත ඇරයුම් කර සිටිනවා.

එම කරුණු සියල්ල ලබන 30 වනදා හෝ ඊට පෙර කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බවයි එම කොමිෂන් සභාව නිවේදනය කළේ.

පසුගිය පෙබරවාරි විසි හතරවනදා (24) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම විශේෂ ජනාධිපති කොමිසම පත් කළ අතර, ඊට සාමාජිකයන් 06 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකා රේගුව කලාපයේ හොඳම රේගුව බවට පත් කිරීම සඳහා දූෂිත ක්‍රියා, අක්‍රමිකතා සහ පරිපාලන බලය අයුතු ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා වහා ගත යුතු කෙටිකාලීන ක්‍රියාමාර්ග මෙන්ම මධ්‍යම හා දිගුකාලීන ආයතනික ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම එම කොමිසමේ ප්‍රමුඛ කාර්යයක් වනවා.

රේගු වෘත්තිය සංගම් විසින් ඉදිරිපත් කර ඇති සියලු යෝජනා සමාලෝචනය කිරීම ද ඊට අයත්වන කාර්ය භාරයක් ෴

******************************************

කන්තලේ ගෙවල් බිඳීම – ජනපති තුමනි අපේ නිජබිම අපට ඕනා – ‘ටෝක් විත් සුදත්ත’ (03.04.2021)

මහා සිංහලයේ සිංහල අනාථ කඳවුර

******************************************

(03.04.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

පිළිකාකාරක පොල් තෙල් අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින්ද විවිධ අදහස් පළ කළා.

******************************************

(03.04.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවනවා.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා නව පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුයේ මීට සති දෙකකට පමණ පෙරයි.

ඒ අනුවයි පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර මැතිවරණ ක්‍රමයට පැවැත්වීමට අවසන් වරට රැස්වු කැබිනට් මණ්ඩලය එකඟතාව පළවුයේ.

පනතේ පවතින ඇතැම් ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කර අවසන් තීරණයකට පැමිණිම සදහා ආණ්ඩු පක්ෂ රැස්වීමක් කැඳවීමටද එහිදි තීරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, ආණ්ඩුපක්ෂ කිහිපයක නියෝජිතයින් කිහිපදෙනකුගෙන් අප කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දීමක් සිදුකර නොමැති බවයි ෴

******************************************

(03.04.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ධීවරයින්ට මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමට අවසර ලබාදීමට තීරණයක් ගෙන නැති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල නව පොලිස් ස්ථාන දෙකක් (2) විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

******************************************

(03.04.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීම සඳහා මේ මොහොතේ අවසර ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු මේ වසර අවසන් භාගයේදී ඒ පිළිබඳ නිශ්චිත තීරණයකට එළඹෙන බවයි ෴

******************************************

(03.04.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූවන්ට සාධාරණය ඉටුකිරීම සම්බන්ධයෙන් දේශපාලඥයින් අදහස් පළ කළා.

******************************************

(03.04.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

බීරලු රේන්ද කර්මාන්තය යනු දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ අවධානයකට ලක් වූ කර්මාන්තයක්. කෙසේ වෙතත් මාතර – වැලිගම බීරලු රේන්ද නිෂ්පාදකයින්ට මේ වන විට ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුව තිබෙනවා.

හස්ත කර්මාන්තය රටක ආර්ථික ක්‍රියාවලියට පමණක් නොව රටේ අනන්‍යතාවය සමගද සම්බන්ධ වන්නක්. කුවේණියගේ කාලයේ සිටම පැවතගෙන එන බීරලු රේන්ද කර්මාන්තය ඊට කදිම නිදසුනක් සපයනවා.

මේ මාතර – වැලිගම – කප්පරතොට ප්‍රදේශයේ පිහිටා ඇති බීරලු රේන්ද අත්කම් නිෂ්පාදන මධ්‍යස්ථානයයි.

2013 වර්ෂයේ එවක ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් මෙම අත්කම් ප්‍රදර්ශනාගාරය හා නිෂ්පාදන මධ්‍යස්ථානය ඉදිකර තිබෙනවා.

වසර ගණනාවක සිට දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගනිමින් මෙම පිරිස තම නිෂ්පාදන කටයුතුවල නියැලුනද මේ වන විට එම ස්ථානයෙන් ඔවුන්ට ඉවත්වන ලෙස වැලිගම නගර සභාව දන්වා තිබෙනවා.

නිෂ්පාදන මධ්‍යස්ථානයේ කොටසක මේ වන විටත් ධීවර පරීක්ෂක කාර්යාලයක් පවත්වාගෙන යන අතර බීරලු රෙන්ද නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සිදුව ඇත්තේ එම ස්ථානයේ පිවිසුම් ගේට්ටුව හා වැට භාවිතා කරමිනුයි.

******************************************

(03.04.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – පිහිටිවැව – නුවරගල ප්‍රදේශයේ මවක සහ පුත්‍රයෙකු විෂශරීර ගත විමකින් ඊයේ (02) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ 06 හැවිරිදි පිරිමි දරුවෙකු සහ 28 හැවිරිදි දෙදරු මවක බවයි.

ඇයගේ තුන් හැවිරිදි (3) පුතුටද විෂ ශරීර ගත වී ඇද්ද යන සැකය මත දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම සිදුවීම දිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@@@

(03.04.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නතේ දෙවැනි (2) මාත්‍රාව අප්‍රේල් 19 වනදා සිට ජුනි 30 දක්වා කාලය තුල ලබාදීමේ හැකියාව පවතින බව විෂයභාර රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

ඊයේ (02) දිනයේ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම පිරිස වන 35 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදියින් 30 දෙනෙකු සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඊයේ (02) දිනයේ ආසාදිතයින් 211 දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබූ අතර ඉන් 28 දෙනෙකු විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්.

මේ අතර, අද (03) උදෑසනින් අවසන් වූ පැය විසි හතර (24) තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 89,129 ක් වාර්තාවී තිබෙනවා.

එය, පසුගිය සැප්තැම්බර් විසිවනදායින් පසු වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවයි.

ඉන්දියාවේ වැඩිම කොරෝනා ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන්.

මෙලෙස ආසාදිතයන් සංඛ්‍යාව අඛන්ඩව වැඩිවීම හේතුවෙන් ප්‍රාන්තය මුළුමනින්ම වසා දැමීමට සිදුවිය හැකි බවට එහි ප්‍රධාන අමාත්‍ය උධාව් තකෙරේ අනතුරු ඇඟවීමක් කළා.

+++++++++++++++++++++

(03.04.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 04 ක් වාර්තා වී තිබෙනවා. මෙම මරණ 04 ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 575 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (02) මෙලෙස මියගොස් ඇත්තේ 86 හැවිරිදි කාන්තාවක් සහ 67, 87 සහ 90 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *