පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනකරුවන්ට නීතිය උපරිමයෙන්

පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනකරුවන්ට නීතිය උපරිමයෙන්

*********************************************

පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනකරුවන්ට නීතිය උපරිමයෙන්

(02.04.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

පිළිකා කාරක අඩංගු බවට තුන්වරක්ම (3) තහවුරු වූ පොල්තෙල් තොගය ආනයනය කළ පුද්ගලයින්ට එරෙහිව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් පිළිකා කාරක අඩංගු බැවින් ප්‍රතිඅපනයනය කරන ලෙස නිර්දේශ කර තිබියදී ආනයනකරුවන්ගේ ගබඩා වෙත අදාළ පොල්තෙල් මුදා හැර ඇති බවට හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයත් සමඟ පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් මතුවුණා.

එම පසුබිම හමුවේ ප්‍රශ්නගත පොල්තෙල් වෙළඳපොලට නිකුත් වී ඇති බවට ද පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් චෝදනා කළ අතර, ඒ අනුව පාරිභෝගික අධිකාරිය මගින් දිවයින පුරා පොල්තෙල් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට සාම්පල ලබා ගත්තා.

එලෙස ලබා ගත් සාම්පල අතරින් 55 ක වාර්තා ඊයේ (01) ලැබී තිබූ අතර එහිදී තහවුරු වුණේ එම පොල්තෙල් වල පිළිකා කාරක අඩංගු නොවන බවටයි.

ඒ පිළිබඳව සහ පොල්තෙල් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහායි අද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවේ.

එම මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියේ ප්‍රශ්න ගත පොල්තෙල් ආනයනය කළ එක් සමාගමක් ඉදිරි දින කිහිපය තුල තම පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කරන බවට දැනුම් දී ඇති බවයි.

රේගුවෙන් නිදහස් කළ පොල්තෙල් ප්‍රමාණයම අදාළ ගබඩා තුල ඇද්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදීමේදී රාජ්‍ය අමාත්‍යවරයා සහ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ වැටලීම් අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා ද එක්වුණා.

මේ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසලින් ඊයේ (01) සොයා ගැණුනු සැක කටයුතු පොල්තෙල් කන්ටේනරයේ සාම්පල කාර්මික තාක්ෂණ ආයතනයට යොමුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (02) දඹුල්ල පොලීසියට සහ මහනගර සභාවට නියෝග කළා.

දඹුල්ල මහනගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා සඳහන් කළේ ලබන සඳුදා (05) එම සාම්පල කාර්මික තාක්ෂණ ආයතනයට යොමුකරන බවයි.

පිලිකා කාරක අඩංගු පොල්තෙල් ගෙන්වූ සමාගමකට අයත් පොල්තෙල් බවුසර් දෙකක් (2) පසුගිය අඟහරුවාදා දංකොටුව ප්‍රදේශයෙන් හමුවූ අතර එහි තිබූ පොල්තෙල් ලීටර් ප්‍රමාණය 55,000 ක්.

******************************************

(02.04.2021 – 17:52 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන තුරු පත් කෙරෙන පංච පුද්ගල (5) කළමණාකරන කමිටුවේ සාමාජිකයින් අද (02) ප්‍රකාශයට පත් කෙරුනා. ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුනේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින්.

අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පත්කර ඇති අතර ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පත්කර තිබෙනවා.

එහි සෙසු සාමාජිකයින් ලෙස පත් කර ඇත්තේ සුජීව මුදලිගේ, නීතීඥ උචිත වික්‍රමසිංහ සහ අමල් එදිරිසූරීය යන මහත්වරුයි.

එසේම ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන ලබන මැයි 20 වන දා දක්වා සැලසුම් කර ඇති සංවර්ධන කාර්යයන් සඳහා පමණක් වන වියදම් හා අත්‍යාවශ්‍ය පරිපාලනමය වියදම් හැර වෙනත් කිසිදු වියදමක් දැරීමට අදාල කමිටුවට බලය නෙමැති බව ද ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

එවැනි යම් අවශ්‍යතාවක් වේ නම් අමාත්‍යංශ ලේකම්වරයාගේ පූර්ණ ලිඛිත අනුමැතිය ලබා ගත යුතු බවයි ක්‍රිඩා අමාත්‍යවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

******************************************

(02.04.2021 – 18:54 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල, මාදොල ප්‍රදේශයේ යකඩ වැඩපොළක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ගෑස් ටැංකියක් පිපිරීමෙන් අනතුරක් සිදුව ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

අවිස්සාවේල්ල – මාදොල ප්‍රදේශයේ අබිලි ද්‍රව්‍ය ගබඩාවක ඊයේ (02) සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම අනතුරෙන් තවත් තිදෙනෙකු (3) තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසියට සඳහන් කළේ.

අදාල පුද්ගලයා යම් අබිලි ද්‍රව්‍යක් ගෑස් ලාම්පුවක් ආධාරයෙන් කැපීමට උත්සහ කිරීමේදී මෙම පිපිරීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

රජයේ රස පරීක්ෂකවරයා විසින් අද (03) දිනයේ අදාල ස්ථානය පරික්ෂා කිරීමට නියමිත අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

(02.04.2021 – 18:57 +0530 – hirunews.lk/sinhala)

පිළිකා කාරක අඩංගු ආනයනය කරන ලද පොල්තෙල්, වෙළඳපොලට නිකුත් වී ඇත්තේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ අනුදැනුම මත බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

ඔහු මේ බව කියා සිටියේ වැලිගම නගරයේ අද (02) පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට එක්වෙමින්.

එම පොල්තෙල් ආනයනය කළ සමාගම් ආරක්ෂා කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළා.

******************************************

(02.04.2021 – 21:11 +0530 – hirunews.lk/sinhala)

ඉඩම් ජාවාරම් කරුවන්ගේ කූට උපක්‍රමවලට හසුවීමෙන් මෙරට බොහෝ පිරිස් තම මුදල් රුපියල් කෝටි ගණනින් අහිමි කර ගන්නවා.

එහි ආසන්නතම සිදුවීම වාර්තාවන්නේ කුරුණෑගල – බැවිලිගමුව ප්‍රදේශයෙන්. අද (02) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා බැවිලිගමුව ප්‍රදේශයේ පිහිටා ඇති පර්චස් 20 ක් පමණ වන මෙම ඉඩම රුපියල් කෝටියකට අලෙවි කරන බවට තැරැව්කරුවෙකු හරහා දැන ගැනීමත් සමගින්.

ව්‍යාපාරිකයෙකු එය මිලදී ගැනීමට ඉදිරිපත්ව තිබෙනවා.

ඔහු නීතීඥයෙකුගේ මාර්ගයෙන් අදාල ඉඩමේ පත් ඉරු නිරවුල් දැයි පරීක්ෂා කර තිබුනේ කුරුණෑගල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන්.

******************************************

(02.04.2021 – 23:02 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ චුන්නක්කාඩු රක්ෂිතයේ තාවකාලිකව පදිංචිව සිටියදී වන සංරක්ෂණ නිලධාරීන් විසින් ඉවත් කරන ලද ජනතාව දින 12 ක් තිස්සේ කන්තලේ විහාරගල රජමහා විහාරයේ නවාතැන්ගෙන සිටිනවා.

ඔවුන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා ‘සිංහලේ ජාතික සංවිධානයේ’ සහ ‘නව සිංහල රාවය’ සංවිධානයේ භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් අද (02) එම ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක්වුණා.

මීට මාස 3 කට පමණ පෙර පිරිසක් කන්තලේ චුන්නක්කාඩු රක්ෂිතයේ පදිංචියට පැමිණියේ තමන් යුද සමයට පෙර මෙම භූමියේ පදිංචිව සිටි බව පවසමින්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එම ජනතාව සහ නිලධාරීන් අතර අවස්ථා කිහිපයකදීම ගැටලුකාරී තත්ත්වයන් ඇතිවූ අතර පසුව එහි පැමිණි වනසංරක්ෂණ නිලධාරීන් අදාළ රක්ෂිත භූමියෙන් ඉවත්වන ලෙසට ජනතාවට දැනුම්දුන්නා.

ඒ, ඔවුන් පදිංචිව සිටි තාවකාලික නිවාසද කඩා ඉවත්කර දමමින්.

සිය නිවාස අහිමිවූ ජනතාව මේවන විට දින 12 ක පමණ කාලයක් කන්තලේ විහාරගල රජමහා විහාර භූමියේ කඳවුරුවල රැඳී සිටින අතරල ඔවුන් මුණගැසීමට ‘සිංහලේ ජාතික සංවිධානයේ’ සහ ‘නව සිංහල රාවය’ සංවිධානයේ භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් අද (02) එහි පැමිණියා.

එහිදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මියව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනුණා.

අනතුරුව එම නියෝජිත පිරිස අමාත්‍ය මහින්ද අමරවීර මහතාටද දුරකථන ඇමතුමක් ලබාගත්තා.

******************************************

(03.04.2021 – 06:58 +0530 – hirunews.lk/sinhala)

පසු ගිය මස 31 වනදා සිට පොලිසිය විසින් යතුරුපැදි සම්බන්ධ විශේෂ මෙහෙයුමක් දිවයින පුරා ආරම්භ කරනු ලැබුවා.

මෙම මෙහෙයුමේදී පසුගිය 31 වනදා සහ පසුගිය පළමු වනදා අතර පැය 48 ක කාලය තුල යතුරුපැදි වැරදි 8957 ක් සම්බධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මෙම මෙහෙයුමේදී යතුරුපැදි 295 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ 1298 ක් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

යතුරුපැදි සම්බන්ධ මෙම විශේෂ මෙහෙයුම අද (03) දිනයේත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි ෴

******************************************

(03.04.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුරගමන් සේවා සඳහා අමතර බස් රථ 200 ක් අද (03) සිට යොදවා තිබෙනවා.

මේ අතර එළඹෙන අලුත් අවුරුදු උත්සවය සමයේ ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ දුම්රිය 21 ක් ධාවනයට යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා කියා සිටියේ ලබන 09 වනදා සිට එම විශේෂ දුම්රිය ධාවනය සිදු කෙරෙන බවයි.

මීට අමතරව සාමාන්‍ය පරිදි ධාවනය වන සියලු දුරගමන් සේවා දුම්රිය එලෙසම ධාවනය කෙරෙන බවද වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළා ෴

******************************************

(03.04.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

ජනපති ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේ 17 අදියර අද වව්නියාව – වෙඩිවෛත්‍යකල්ලු ප්‍රදේශයේ බෝගස්වැව මහා විද්‍යාලයේදී පැවැත්වෙනවා.

වෙඩිවෛත්‍යකල්ලු හා අවට ගම්මානවල ජනතාව දිගු කලක සිට පොදු ප්‍රශ්න සහ අධ්‍යාපන සහ සෞඛ්‍ය ගැටලු පිළිබඳව එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු කෙරෙනු ඇති.

එමෙන්ම, සංවර්ධනය නොවූ මාර්ග, නිවාස, විදුලිය, ඇතුළු යටිතල පහසුකම් ඌණතා, පානීය සහ වගා ජල හිඟය මෙන්ම වන අලි තර්ජනවලට ප්‍රදේශවාසීන් දීර්ඝ කාලයක සිට මුහුණපාන අතර ඒ සඳහා මෙහිදී විසඳුම් ලබාදීමට අපේක්ෂිතයි.

කෘෂිකර්මය මත පපදනම් වූ ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනැගීම සෞභාග්‍යයේ දැක්ම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් ගම සමඟ පිළිසඳර වැඩසටහන ආරම්භ කෙරුණා.

ඒ අනුව මාතලේ, රත්නපුර, අනුරාධපුර, අම්පාර, පොළොන්නරුව, කළුතර සහ මොනරාගල මෙන්ම, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මාතර දිස්ත්‍රික්කය ආවරණය පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා ෴

******************************************

(03.04.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

හෙටට (04) යෙදී ඇති පාස්කු ඉරිදා වෙනුවෙන් දිවයින පුරා සියලුම දේවස්ථානවල ආරක්ෂාව තර කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ සාමාජිකයින් 12,047 ක් යොදවා ඇති බවයි ෴

******************************************

(03.04.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය පරිපාලන සේවයේ දැනට පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විභාග කිහිපයක ප්‍රතිඵල පමාවීම හේතුවෙන් පරිපාලන සේවයේ තුන්වන (3) ශ්‍රේණියේ පුරප්පාඩු 400 ක් පමණ දීර්ඝ කාලයක් තිස්සේ පවතින බවයි.

කෙසේ වෙතත්, සමස්තයක් ලෙස ප්‍රාදේශීය ලේකම් තනතුරුවල පුරප්පාඩු නොපවතින බව ද ලේකම්වරයා සඳහන් කළා.

ඒ අනුව, දැනට පුරප්පාඩු පවතින්නේ අමාත්‍යාංශ කිහිපයක තුන්වන (3) ශ්‍රේණියේ නිලධාරි තනතුරු වල පමණක් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(03.04.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

ලොව ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පරතරය අනුව රටවල් 156 ක් අතරින් ශ්‍රී ලංකාව 116 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ ලෝක ආර්ථික සමුළුවේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ 2021 වාර්තාවට අනුවයි.

එහි කාණ්ඩ කිහිපයක් යටතේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පරතරය අනුව රටවල් ස්ථාන ගත කර තිබෙනවා.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය අනුව ආර්ථිකමය අවස්ථා හිමිවීම අතින් ශ්‍රී ලංකාව 132 වන ස්ථානයේ පසුවනවා.

අධ්‍යාපනික අවස්ථා හිමිවීම අතින් 88 වන ස්ථානයේත් සෞඛ්‍ය අතින් 30 වන ස්ථානයේත් පසුවනවා.

එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය අනුව දේශපාලන බලගැන්වීම් අතින් ශ්‍රී ලංකාව පසුවන්නේ 90 වන ස්ථානයේයී.

කෙසේ වෙතත් දකුණු ආසියාතික රටවල් අතර ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පරතරය අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ 03 වන ස්ථානයේයි.

බංග්ලාදේශය දකුණු ආසියාවේ එම පරතරය අවම රට ලෙස පළමු තැන පසුවන අතර නේපාලය එහි 2 වන ස්ථානයේ පසු වනවා.

අසල්වැසි ඉන්දියාව දකුණු ආසියාතික රටවල් අතර 06 වන ස්ථානයේත් පාකිස්ථානය 07 වන ස්ථානයේත් පසුවන අතර එහි අවසන් තැන පසු වන්නේ ඇෆ්ගනිස්ථානයයි.

ලොව ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පරතරය අනුව රටවල් 156 ක් අතරින් පළමු තැනට පත්ව සිටින්නේ අයිස්ලන්තය වන අතර අවසන් ස්ථානයේ එනම් 156 වන තැන රැඳී සිටින්නේ ඇෆ්ගනිස්ථානයයි ෴

******************************************

සෞඛ්‍ය අමාත්‍යංශය ගැන, ප්‍රමිති ආයතනයට ගැටලුවක්

(03.04.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

ආනයනික පොල් තෙල්වල පිළිකාකාරක අඩංගු වීමේ සිද්ධියේ විමර්ශන සම්බන්ධයෙන් වන සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අදහස් පල කළා. මේ එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශය සමග ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස්.

මේ අතර පිළිකා කාරක අඩංගු බවට තුන්වරක්ම (3) තහවුරු වූ පොල්තෙල් තොගය ආනයනය කළ පුද්ගලයින්ට එරෙහිව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (02) ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් පිළිකා කාරක අඩංගු බැවින් ප්‍රතිඅපනයනය කරන ලෙස නිර්දේශ කර තිබියදී ආනයනකරුවන්ගේ ගබඩා වෙත අදාළ පොල්තෙල් මුදා හැර ඇති බවට හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයත් සමඟ පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් මතුවුණා ෴

******************************************

(03.04.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං කිලෝ 17 ක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 20 ඉක්මවන අතර, ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ අද (03) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි ෴

******************************************

(03.04.2021 – 09:53 +0530 – hirunews.lk/sinhala)

අන්තරජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ගණිකා වෘත්තියේ නියැලුණු තරුණියක් වාද්දූව පොලිසිය විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සේවාව ලබාගන්නා මුවාවෙන් උපාය දූතයෙකු යොදවා සිදුකළ මෙහෙයුමකදී පානදුර, වලාන ප්‍රදේශයේදී මෙම තරුණිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාරිය මහනුවර, පූජාපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන්නියක්.

සැකකාරිය ඊයේ (02) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 05ක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් අය සොයා වාද්දූව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

@@@@@@@@@@@

(02.04.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හෙට (03) නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළේ සීමාවන්ට යටත්ව මෙවර අලුත් අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවස්ථාව ඉන් ලබා දෙන බවයි.

මේ අතර, වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සහ අවදානම් කාණ්ඩවලට අයත් පුද්ගලයින්ට අත්හිටුවීමකින් තොරව තවදුරටත් කොරෝනා එන්නත්කරණ කටයුතු සිදුකරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද (02) පස්වරුවේ ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා ලබාදෙන කොවිඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාවේ එන්නත්කරණය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය මීට පෙර ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඒ සම්බන්ධයෙන් අද (02) පස්වරුවේ මෙලෙස පැහැදිලි කිරීමක් කළා.

අද (02) දිනයේදී ආසාදිතයින් 120 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 93,000 ඉක්මවනු ලැබුවා.

ඒ අනුව, මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 93,037 ක් වනවා.

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 294 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 89,701 ක් වනවා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 63 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 93,100 ක් ලෙසටයි ෴

මේ අතර ඊයේ (02) දිනයේදී ආසාදිතයින් 211 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 93,000 ඉක්මවනු ලැබුවා.

ඒ අනුව වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 93,128 ක් ෴

+++++++++++++++++

(02.04.2021 – 21:03 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අඩාල වූ ක්ෂේත්‍ර බොහොමයක්ම මේ වනවිට යළි ක්‍රියාත්මක වෙමින් තිබීම සතුටට කරුණක්. සංගීත සංදර්ශනවල නිරත කලාකරුවන්ට එම තත්ත්වය තවමත් උදාවී නැත්තේ ඇයි ?

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ පිළිබදව ප්‍රශ්න කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *