කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

*********************************************

කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

(01.04.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් 01 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුල කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පවසනවා ෴

******************************************

(01.04.2021 – 19:04 +0530 – hirunews.lk/sinhala)

යාල ජාතික වනෝද්‍යානයේ වාසය කරන සැන්ඩෝ නම් හස්තියා පසුපස හඹා යමින් පීඩාකාරී ලෙසට හැසිරුණු සෆාරි ජිප් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ පටයකිනුයි අදාළ රියදුරා හඳුනාගෙන තිබුණේ.

ඇතාට පීඩාකාරී ලෙසට හැසිරෙමින් සිටියදී ඇතා ජිප් රථය පසුපස එලවාගෙන එන දර්ශනයක් එහි සටහන්ව තිබුණා.

ඒ අනුව එම ජිප් රථයේ රියදුරා හම්බන්තොට වනජීවී කලාප සහකාර අධ්‍යක්ෂවරයාගේ උපදෙස් අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබු බවයි අප වාර්තාකරු කියාසිටියේ.

අනතරුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය මගින් සැකකාර රියදුරාට රුපියල් විසිදහසක (20,000) දඩයක් නියමකර තිබෙනවා.

******************************************

(01.04.2021 – 20:05 +0530 – hirunews.lk/sinhala)

වෙන්නප්පුව ප්‍රදේශය භාරව සිටි සහකාර පෙලිස් අධිකාරි එරික් පෙරේරා මහතා ගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.

කොළඹදි අද (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් අදාළ සහකාර පොලිස් අධිකාරීවරයාගේ වැරදි ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකර ස්ථාන මාරුවීමක් ලබාදෙන ලෙස පමණක් ඉල්ලා සිටි බවයි.

වෙන්නප්පුව ප්‍රදේශය භාරව සිටි සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ස්ථන මාරු කිරිම, සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඒ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට යොමු කළ බව කියැවෙන ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණයවීමත් සමඟින්.

2020 වසරේ දෙසැම්බර් මස 03 වැනි දින යොමු කර ඇති අදාළ ලිපියෙන් වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරිවරයාට අල්ලස් ලබා ගැනීම්, හෙරොයින් සහ පාතාල සාමාජිකයන් සමඟ සමීප සබඳතා පැවැත්වීම යන චෝදනා එල්ල කර තිබෙනවා.

මෙම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ අදාළ සහකාර පොලිස් අධිකාරීවරයා සහ තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකර හලාවත මැතිවරණ කොට්ඨාසයෙන් බැහැරට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙසයි.

එම සහකාර පොලිස් අධිකාරීවරයා පසුගිය මාර්තු මස 29 වැනිදා මීගමුව කොට්ඨාසයට ස්ථාන මාර කර තිබුණා.

එම සිද්ධීන් මාලාව අතරතුර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සහ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා අතර 2020 පෙබරවාරි මාසයේදි වෙන්නප්පුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ඇති වූ කතාබහක හඬ පටයක් ද කරළියට පැමිණියා.

තමන්ට එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදීමට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

සහකාර පොලිස් අධිකාරී එරික් ප්‍රනාන්දු මහතා වෙන්නප්පුව ප්‍රදේශයෙන් මාරු කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පළ කළේ මෙවන් අදහසක්.

******************************************

(01.04.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala)

වීසා නොමැතිව වසර 5 කට අදාළ කාලයක් මෙරට රැදී සිටි පලස්තීන ජාතිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

48 හැවිරිදි වියේ පසුවූ මොහු 2016 වසරේදී මෙරටට පැමිණ ඇති බවටයි සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරු මෙරට රැදී සිටින කාලය තුල කුමක් සිදුකළේද, කා සමඟ සම්බන්ධතා පැවැත්වුවේ ද යන්න පිළිබඳව විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, සැකකාර පලස්තීන ජාතිකයා කොටුව මහේස්ත්‍රාත් හමුවට අද (01) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 ක දඩ මුදලක් ද ගෙවන ලෙස නියෝග කර ඇති බව සඳහන්.

එමෙන්ම, ඔහු රටින් පිටුවහල් කිරීම සඳහා මිරිහාන විදෙස් ජාතිකයින් රඳවා තබන මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙසටයි කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කර ඇත්තේ ෴

******************************************

(01.04.2021 – 20:37 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ගබඩාවක තිබූ පොල්තෙල් ලීටර් 20,000 ක් අඩංගු සැක කටයුතු කන්ටේනරයක් සමඟ එහි රියදුරු සහ ගබඩා භාරකරු පොලිස් භාරයට ගෙන ඇති බව දඹුල්ල නගරාධිපති පවසනවා ෴

******************************************

(01.04.2021 – 21:21 +0530 – hirunews.lk/sinhala)

පිළිකාකාරක අඩංගු බවට දෙවරක් (2) තහවුරු වූ ආනයනික පොල්තෙල්වල, ඇෆ්ලටොක්සීන් නම් අදාල රසායනිකය අඩංගු බව, කාර්මික තාක්ෂණ ආයතනයද තහවුරු කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා ෴

******************************************

(01.04.2021 – 22:29 +0530 – hirunews.lk/sinhala)

ආනයනික තෙල් සමඟ වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම නවතාලමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබාදී තිබේනවා.

2016 වසරේදී ආනයනික තෙල් වර්ගවලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට අවසර දෙමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසද ඒ අනුව ඔහු උපදෙස් දී ඇති බවයි අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

******************************************

(02.04.2021 – 06:47 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය, ශිවපුරම් ප්‍රදේශයේදී ඊයේ (01) ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳ ඝාතනය වී, ස්වාමිපුරුෂයාද සියදිවි හානි කර ගැනීමේ සිදුවීමක් වාර්තාවන බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ පවුල් ආරවුලක් මත අදාළ ඝාතනය හා සියදිවි හානි කර ගැනීම සිදුව ඇති බවට සැක කරන බවයි.

සිදුවීමෙන් 36 හැවිරිදි තිදරු මවක් හා 38 හැවිරිදි පුදගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසූවේ මියගිය දෙදෙනාගේ (2) සිරුරු සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ ඊයේ (01) සවස සිදුකළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

******************************************

(01.04.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිදුවන මාර්ග අනතුරුවලදී යතුරු පැදිකරුවන් සහ පසු පැදි කරුවන් බහුල වශයෙන් මිය යාම හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසිය යතුරු පැදිකරුවන් ඉලක්ක කර සිවුදින මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළා.

පසුගිය තිස් එක් වෙනිදා (31) ආරම්භ කෙරුණු මෙම මෙහෙයුමේ පළමු පැය 24 තුළ දී යතුරුපැදිකරුවන් විසින් සිදු කරනු ලද විවිධ වැරදි 4511 ක් හසුකර ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඒ අතරින් බීමත්ව යතුරුපැදි පැද වූ පුද්ගලයින් එකසිය විසි දෙදෙනෙක් (122) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව ආරක්ෂක හිස්වැසුම් නොමැතිව ගමන් කල යතුරු පැදි කරුවන් 651 දෙනෙකුත්, විවිධ මාර්ග නීති උල්ලංඝනය කළ යතුරුපැදිකරුවන් 1121 දෙනෙකු මෙම මෙහෙයුමේ දී හඳුනා ගැනුණා.

ලබන තුන් වෙනිදා (03) දක්වා අඛණ්ඩව සිදු කෙරෙන මෙම මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ දිනකට දළ වශයෙන් මහමග මියයන පස්දෙනෙකු (5) පමණ වන යතුරුපැදි කරුවන්ගේ ජීවිත ගලවා ගැනීම බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

නානුඔය සිට නුවරඑළියට කේබල් කාර්

(02.04.2021 – mawbima.lk)

නානුඔය දුම්රිය ස්ථානයේ සිට නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා කුළුණු 23 කින් සමන්විත නැවතුම්පොළ තුනකින් (3) යුත් කේබල් කාර් ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

නුවරඑළිය නගරය තුළ විශේෂයෙන් ග්‍රෙගරි වැව අවට ප්‍රදේශයේ සංචාරක කටයුතු ඉහළ නැංවීම සඳහා විවිධ උපාය මාර්ගික හා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ගොඩනැංවීම, හිමිකාරිත්වය මෙහෙයවීම සහ පැවරීම මත පෞද්ගලික ආයෝජකයෙකු හරහා මෙය ක්‍රියාත්මක කෙරේ.

එහි ඍජු විදේශීය ආයෝජනය ඩොලර් මිලියන 55 කි.

ස්විට්සර්ලන්තයේ Outdoor Engineers AG Invesment Company ආයතනය මූල්‍ය පහසුකම් සලසන මෙය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියකි.

මෙම කේබල් කාර් ව්‍යාපෘතියේ දුර කි.මී. 3.75 කි.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති මෙම කේබල් කාර් ව්‍යාපෘතිය පරිසරයට අවම බලපෑමක් සහිතව ක්‍රියාත්මක කෙරෙන තිරසර ප්‍රවාහන පහසුකමක් වන අතර එමගින් පරිසරයට කාබන් මුදාහැරීම සැලකිය යුතු ලෙස අඩුවන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

වසර 30 ක කාලයකින් පසු මෙය ශ්‍රී ලංකා රජය සතු වන බව ද ඇමැතිවරයා පවසයි.

(File Photo)

******************************************

ඉදිරියේදී අලෙවි කළ හැක්කේ බෝතල් කළ පොල් තෙල් පමණයි

(02.04.2021 – mawbima.lk)

ඉදිරියේදී බෝතල්වල ඇසුරුම් කරන ලද පොල් තෙල් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවත් ඊට අදාළ නීතිමය සහ නියාමන තත්ත්වයන් දැනට සකස් කරමින් පවතින බවත් පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ‘මව්බිම’ට ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, මෙම නීතිය ක්‍රියාත්මක වූ සැණින් කිසිදු වෙළෙඳසලකින් බෝතල්වල ඇසුරුම් කර මුද්‍රා තැබූ පොල්තෙල්වලට අමතරව වෙනත් ආකාරවලට පොල් තෙල් ලබාගැනීමට නොහැකි බව ද රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු විසින් පෙන්වා දෙයි.

එවිට නිවසින් ගෙන යන ලද හිස් බෝතල්වලට පොල්තෙල් ලබාදීමේ ක්‍රියාවලිය තහනම් වනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

වෙළෙඳසල්වල පොල් තෙල් ගබඩා කර තැබීමේදී ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් යම් යම් ප්‍රායෝගික ගැටලු ඇති වන බවත් ඇසුරුම් කර සීල් කරන ලද පොල් තෙල් මිලදී ගැනීමේදී එහි නිෂ්පාදකයා සහ එම පොල්තෙල්වල අඩංගු ද්‍රව්‍ය පිළිබඳව පාරිභෝගිකයාට හොඳ අවබෝධයක් ලබාගත හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

වෙළෙඳසල්වල පොල් තෙල් ගබඩා කර තබන බැරල්වල තිබෙන්නේ කුමන නිෂ්පාදකයාගේ පොල්තෙල් ද කියා සොයා ගැනීමට නොහැකි බවත් විවිධ නිෂ්පාදකයන්ගේ පොල් තෙල් එම බැරල්වලට විටින්විට එකතු වන බවත් අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.

මේ අනුව ඉදිරියේදී බෝතලය, බෝතල් භාගය, බෝතල් කාල යන වර්ග යටතේ ඇසුරුම් කරන ලද මුද්‍රා තැබූ පොල් තෙල් වෙළෙඳසල්වලින් ලබාගැනීමට හැකිවන බව ද රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

@@@@@@@@@@@@@

(01.04.2021 – 20:49 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (01) පැවති මාධ්‍ය හමුවේදීයී මහජන සෞඛ්‍ය සේවා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය මේ බව කියා සිටියේ.

එමෙන්ම සීමාවන්ට යටත්ව අලුත් අවුරුදු උත්සව පැවැත්වීමට අවස්ථාව ලබා දෙන බවද ඇය එහිදී ප්‍රකාශ කළා.

අද (01) දිනයේ මේ දක්වා අළුතින් ආසාදිතයන් 125 දෙනෙකු වාර්තා වී ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරට සමස්ථ ආසාදිත සංඛ්‍යාව 92,831 ක් ලෙසයි දැක්වෙන්නේ.

අදත් (01) ආසාදිතයන් 156 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 89,407 දක්වා ඉහළ ගියා.

මේ අතර මගී ප්‍රවාහන සේවයේ නියුතු පුද්ගලයින් හට කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සිදුවූ දුෂ්කරතා සහ සීමා පැනවීම් සැළකිල්ලට ගනිමින් ඔවුන් විසින් ලබා ගෙන ඇති කල්බදු පහසුකම් සඳහා සහනයක් සැලසා දීමට මහබැංකුව පියවර ගෙන තිබෙනවා.

බලපත්‍රලාභී වාණිජ බැංකු මූල්‍ය සමාගම් හා විශේෂිත කල්බදු සමාගම් වෙත ඒ බව දැනුම් දී ඇති බවයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කළේ. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි මාස 6ක් හෝ ඊට අඩු කාලසීමාවක් සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ඇති.

මෙම ණය සහන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලබන්නේ පොදු මගී ප්‍රවාහන සේවා, පාසල් සිසුන් ප්‍රවාහන සේවා, කාර්යාල මගී ප්‍රවාහන සේවා, ත්‍රිරෝද රථ, පුද්ගලික මගී ප්‍රවාහන සේවා සහ සංචාරක ක්ෂේත්‍රය සඳහා මගී ප්‍රවාහන සේවා සපයන්නන්.

අදාළ ණය සහන වෙනුවෙන් ලිඛිතව හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ නියමිත මූල්‍ය ආයතනය වෙත අප්‍රේල් 19 වන දින හෝ ඊට පෙර ඉල්ලීමක් කළ යුතු බවයි ශ්‍රී ලංකා මහබැංකුව දැනුම් දෙන්නේ ෴

අද (01) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 72 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් අද දිනයේ වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 197 ක් ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 03 ක් අද (01) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 571 ක් දක්වා ඉහළ ගියා.

+++++++++++++++++++++

(02.04.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද (02) නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඊට අදාළ විශේෂ සංකච්ඡාවක්ද පවත්වා ඇති අතර, එහිදී ඉදිරිපත් වී ඇති යෝජනා වැඩිදුරටත් සංවාදයට බඳුන් වනු ඇති.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළේ සීමාවන්ට යටත්ව මෙවර අලුත් අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවස්ථාව ලබා දෙන බවයි.

එමෙන්ම, අලුත් අවුරුදු සමයේ කොළඹින් පිටවන වෙළඳ කලාප හා ආර්ථික ප්‍රවර්ධන කලාපවල රැකියාවල නියුතු පිරිස් ඉලක්ක කර කොරෝනා පරීක්ෂණ සිදුකරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ (01) දිනයේදීත් මෙරටින් කොරෝනා ආසාදිතයින් 211 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 92,917 ක් දක්වා ඉහළ ගියා.

තව දුරටත් දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 2939 ක් ප්‍රතිකාර ලබන අතර සුවය ලැබු ආසාදිතයින් ගණන 89,407 ක්.

ඊයේ (01) දිනයේදි කොරෝනා මරණ 03 ක් වාර්තා වීමත් සමඟ මෙරට සිදු මුළු මරණ සංඛ්‍යාව 571 ක් දක්වා ඉහළ ගියා.

80 හැවිරිදි වියේ පසු වු ඇහැළියගොඩ ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකු සහ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති අතර අනෙක් මියගිය පුද්ගලයා 85 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර නව සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර සාකච්ඡාවක් ඊයේ (01) පැවැත්වුණා.

නව ව්‍යාපෘතිය යටතේ රත්නපුර ශික්ෂණ රෝහලේ හෘද ඒකකයක් පිහිටුවීම, යාපනය ශික්ෂණ රෝහලේ මාතෘ වාට්ටු සංකීර්ණය ඉදිකිරීම ඇතුලු තවත් රෝහල් කිහිපයක සංවර්ධන කටයුතු සිදු කෙරෙනු ඇති.

මේ අතර, සිංහල – දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන 06 වැනිදා ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.

වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ සංචරණ සීමා පනවා නොමැති බැවින් අවුරුදු සමයේදී ප්‍රවාහන පහසුකම් සැලසීමට විශේෂ සැලැස්මක් සකස් කිරීමට එම සාකච්ඡාවේදී කටයුතු කරන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *