හග්ගල රිය අනතුරකින් කාන්තාවන් 3 ක් මරුට

හග්ගල රිය අනතුරකින් කාන්තාවන් 3 ක් මරුට

*********************************************

හග්ගල රිය අනතුරකින් කාන්තාවන් 3 ක් මරුට

(01.04.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඇල්ල සිට නුවරඑළිය බලා පැමිණි ත්‍රී රෝද රථයක් නැවත ඇල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

ඉදිරියෙන් ගමන් කළ පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහනය කරන කන්ටේනර් රථයක තිරිංග ක්‍රියා විරහිත වීම නිසා එය ත්‍රී රෝද රථය මතට පෙරලී ඇති බවටයි නුවරඑළිය පොලිසිය පවසන්නේ.

අනතුරින් ත්‍රී රෝද රථයේ පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවන් තුන්දෙනෙකු (3) මියගොස් ඇති අතර ත්‍රී රෝද රථය පැදවූ පුද්ගලයා බරපතල තුවාල ලබා නුවරඑළිය මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මියගිය අය අවුරුදු 51, 52 සහ 20 යන වයස්වල පසුවන්නන්.

[ සේයාරූ ]

++++++++++++++

++++++++++++++

Photos from mawbima.lk

******************************************

(01.04.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර වෙළඳපොලේ දේශීය මැණික් හා ස්වර්ණාභරණ සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇති බවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

ඒ, කොළඹ ඊයේ (31) පැවති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සාමාජික හමුවට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ ඉදිරි වසර තුන (3) ඇතුළත මෙරටට පැමිණෙන සංචාරකයින්ට මැණික් හා ස්වර්ණාභරණ සැපයීම තුළින් ඩොලර් බිලියනයක මුදලක් මෙරට ආර්ථිකයකට එක් කරගත හැකි බවයි.

ඔපදමන මැණික් අපනයනය වෙනුවට නිමකරන ලද ස්වර්ණාභරණ නිෂ්පාදනය වැඩි කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා ෴

******************************************

(01.04.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

සහල් වර්ග කිහිපයක් පාලන මිලට ලබාදීමේ රජයේ වැඩසටහන අද (01) ආරම්භ වුණා.

මීට අමතරව සතොස හරහා රුපියල් 1000 ක සහනදායී භාණ්ඩ මල්ලක්ද අද (01) සිට අලෙවි කෙරෙනවා.

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබුණද එම මිල ඉක්මවා සහල් මිල ගණන් ඉහළ යාමෙන් පසුගිය දිනවල පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණදුන්නා.

පසුව කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේ අද (01) සිට සහල් වර්ග කිහිපයක් පාලන මිලට ලබාදීමටයි.

ඒ අනුව අද (01) සිට නාඩු සහල් කිලෝවක් රුපියල් 97 ක් සුදු සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 93 කටත් පාරිභෝගිකයන්ට ලබාදෙනවා.

දිවයින පුරා පිහිටි සමූපකාර සමිති 2500 කින්ද සතොස වෙළඳ සැල් 417 කින් සහ ෆුඩ් සිටි, කාගිල්ස්, ලාෆ්ස්, ආර්පිකෝ යන සුපිරි වෙළඳසැල්වලින් පාලන මිලට සහල් මිලදී ගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

එම වෙළඳසැල්වල අදාළ මිල ගණන්වලට සහල් මිලදී ගැනීමට ඇත්දැයි අප සොයා බැලුවා.

******************************************

(01.04.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මෙරට සංචාරයකට පැමිණීමට උත්සාහ කළ ලෙබනන් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (01) අලුයම මොහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපලට පැමිණියා.

එහිදී නිශ්කාශන කටයුතු සිදුකිරීම සඳහා මොහුගෙන් ගුවන් ගමන් බලපත්‍රය ආගමන විගමන නිලධාරින් ඉල්ලූ අවස්ථාවේදී ඉදිරිපත් කර ඇත්තේ මෙක්සිකෝ ජාතිකයෙකුගේ ගුවන් ගමන් බලපත්‍රයක්.

එය පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ අදාළ ගුවන් බලපත්‍රය ජාත්‍යන්තර පොලිසියේ දත්ත පද්ධතිය මගින් නතර කර ඇති බවයි.

පසුව ඔහුගේ ගමන් මළුවල තිබී ලෙබනන් ජාතික ගුවන් බලපත්‍රය ද සොයා ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ යුරෝපය, උතුරු ඇමරිකානු, අග්නිදිග ආසියානු සහ දකුණු ආසියානු රටවල ඔහු සංචාරය කර ඇති බවයි.

ඒ අනුව සැකකරු එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් යළි ඩුබායි වෙත පිටුවහල් කර තිබෙනවා ෴

******************************************

(01.04.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මගී ප්‍රවාහන සේවයේ නියුතු වුවන්ට සිදුවූ දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, ඔවුන් විසින් මුල්‍ය ආයතන වෙතින් ලබා ගෙන ඇති ලීසිං පහසුකම් සඳහා 2021 අප්‍රේල් 01 දින සිට මාස 6 ක කාල සීමාවක් සඳහා ණය සහන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, වාණිජ බැංකු, විශේෂිත බැංකු, මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් වෙත දැනුම් දී තිබෙනවා.

මෙම පහසුකම සඳහා සුදුසුකම් ලබන්නන් වන්නේ පොදු මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාල මගී ප්‍රවාහන සේවා, ත්‍රි රෝද රථ ඇතුළු කුළී රථ සේවා, පුද්ගලික මගී ප්‍රවාහන සේවා සහ සංචාරක මගී ප්‍රවාහන පහසුකම් සපයන්නන්ය.

මෙම ණය සහන ලබා ගැනීමට අදාළ සුදුසුකම් ලත් අයවලුන් විසින් ඒ සඳහා ඉල්ලීමක් ලිඛිතව හෝ විද්‍යුත් ආකාරයෙන් අදාළ මූල්‍ය ආයතනය වෙත 2021 අප්‍රේල් 19 වැනි දින හෝ ඊට පෙර යොමුකල යුතු වනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ආයතන වෙත දන්වා ඇත්තේ සාධාරණ හේතු මත, මෙම දිනයට පසුව යොමු කරනු ලබන ඉල්ලීම් ද සලකා බලන ලෙසයි.

මෙලෙස ලබා දෙන ණය සහන සඳහා වන අමතර පොලිය කල් දමන ලද වාරික වල වටිනාකම මත පමණක් එකතු කල පොලී අනුපාතයක් යටතේ අය කරනු ඇත.

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් සඳහා මේ යටතේ අයකල හැකි උපරිම අමතර පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 11.5 නොඉක්මවන ලෙසත් මහ බැංකුව නියම කර තිබෙනවා.

මෙම යෝජනාක්‍රමයට ඇතුළත් කල්බදු පහසුකම් සඳහා කිසිදු දඩ පොලියක් අය නොකරන ලෙසටත් මූල්‍ය ආයතන දැනුවත් කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ෴

******************************************

(01.04.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

පිළිකාකාරක පොල්තෙල්, විෂ රසායන සහිත කිරිපිටි, ප්‍රමිතියෙන් තොර ඉන්ධන, කලින් කලට සමාජයේ කතාබහට ලක්වන මාතෘකා. පාරිභෝගිකයින්ට සෘජුව බලපාන මෙවැනි දේ දිගින් දිගටම වාර්තාවන්නේ ඇයි ? ඒ සම්බන්ධයෙන් සැබවින්ම අපට ගතහැකි ක්‍රියාමාර්ගයක් නැද්ද ?

මේ ඒ පිළිබඳව විමසා බැලීමක්..

වාහන අතරමග නතරවීමට හේතුවූ ප්‍රමිතියෙන් තොර ඉන්ධන පිළිබඳ මීට කල ඉහත අපට වාර්තා වුණා.

ඉන්පසු අවස්ථා ගණනාවකදී ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙරටට ගෙන්වීමේ සිද්ධීන් මෙන්ම ඒවා ප්‍රතික්ෂේප කිරීමත් සමග මතුවූ ඉන්ධන හිඟය නිසා ජනතාව අපහසුතාවට පත්වූ ආකාරයත් අප වාර්තා කළේ වරක් දෙවරක් නොවේ.

පරිභෝජනයට නුසුදුසු විවිධ ආහාරද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත් කිරීමට ගත් උත්සාහයන් සේම වෙළෙඳපොළට නිකුත් වී තිබූ එවැනි ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිරන්තරයෙන් වාර්තා වුණා.

එවැනි අවස්ථාවල අදාළ තැනැත්තන්ට නඩු පැවරීමට කටයුතු කෙරුණත් පාරිභෝගිකයින්ට අත්වූ සහනය කුමක්ද ?

******************************************

(01.04.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම ව්‍යූහයේ නීතිරීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

එළඹෙන පස්වනදා (05) සඳුදා අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ.

විශේෂ තේරීම්කාරක සභාව සඳහා සාමාජිකයින් 15 දෙනෙකු සිටින අතර, කතානායකවරයා විසින් එය පත් කිරීමෙන් පසු මාස 6 ක් ඇතුළත තම නිර්දේශ ඉදිරිපත් කළ යුතු බවට ද එම යෝජනාවේ සඳහන් ෴

******************************************

(01.04.2021 – 16:46 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල කන්නය සඳහා ගොවීන් වෙනුවෙන් පරාක්‍රම සමුද්‍රයේ දියවර නිකුත් කිරීම අද (01) ආරම්භ වුණා.

පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ. හේවාගම මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ වනවිට පරාක්‍රම සමුද්‍රයේ අක්කර අඩි 1,15,000 කට ආසන්න ප්‍රශස්ත ජල මට්ටමක් පවතින බවයි.

කුඹුරු අක්කර 25,000 කට වැඩි ප්‍රමාණයක් මෙවර පරාක්‍රම සමුද්‍රයේ ජලයෙන් වගා කිරීමට සැලසුම් කර තිබෙනවා ෴

******************************************

(01.04.2021 – 16:52 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 30 වැනිදා උදෑසන හබරණ ත්‍රීකුණාමල මාර්ගයේ සිදුවූ අනතුරක් හේතුවෙන් මියගිය පුද්ගලයාට සාධාරණය ඉල්ලා කප්පල්තුරෙයි ප්‍රදේශවාසීන් අද (01) ත්‍රිකුණාමලය කොළඹ ප්‍රධාන මාර්ගය පහේ කනුව ප්‍රදේශයෙන් අවහිර කර පැය 4 කට ආසන්න කාලයක් උද්ඝෝෂණයක නියැලුනා.

මේ හේතුවෙන් ත්‍රිකුණාමලය කොළඹ ප්‍රධාන මාර්ගය පැය ගණනාවක් සම්පූර්ණයෙන්ම අවහිර වුනා.

උද්ඝෝෂකයන් කියා සිටින්නේ මියගිය පුද්ගලයා හට සාධාරණය ඉටු නොවූ බවයි.

පසුගියදා සිදුවූ මෙම අනතුරෙන් ත්‍රිකුණාමලය කප්පල්තුරෙයි පදිංචි 49 හැවිරිදි දෙදරු පියකු එම ස්ථානයේදීම මියගියා.

කෙසේ වෙතත් අනතුර සිදුවී විනාඩි දහයක් (10) යන්නටත් ප්‍රථම පොලිසිය විසින් අනතුර සිදු කළ මෝටර් රථය එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර පසුව කල සොයා බැලීමකදී හෙළි වුයේ එම අවස්ථාවේ මෝටර් රථයේ ටෙලි නාට්‍ය රංගන ශිල්පීන් කිහිප දෙනෙකු ගමන් ගනිමින් සිට ඇති බවයි.

පසුව මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් හට චීන වරාය පොලීසිය මගින් රුපියල් 25,000 ක මුදලක් ලබා දීමට පැමිණ ඇත්තේ, එම මුදල අනතුර සිදුකර දැනට ඇප මත සිටින රියදුරුගෙන් ලද මුදලක් බව පවසමින්.

මෙලෙස මුදල් ලබා දීමට පොලිස් නිලධාරීන් මැදිහත් වීම සැක කටයුතු බව පවසමින් පවුලේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් එයට විරෝධය පළකර තිබෙනවා.

******************************************

(01.04.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

මෙරට සෞඛ්‍ය සංවර්ධන කටයුතු ඉහළ නැංවීමට අදාලව නව ව්‍යාපෘති යෝජනා කිහිපයක් සඳහා ඉන්දීය රජයේ සහයෝගය ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යෘංශය සඳහන් කළේ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ අතර හමුවක් අද (01) පැවැත්වුණු අතර එහිදී අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබදව සාකච්ඡා කර ඇති බවයි.

මෙහිදී රත්නපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකය පිහිටුවීම, යාපනය ශික්ෂණ රෝහලේ මාතෘ වාට්ටු සංකීර්ණය ඉදිකිරිම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

******************************************

(01.04.2021 – 17:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකළ පරීක්ෂණයකදී මැටි වලින් ක්‍රීම් වර්ග ඇතුළු ආලේපන සාදාගත හැකි බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසනවා.

මෙරටට අවශ්‍ය විදේශ මුදල් ලබා ගෙන ජාතික ආර්ථිකය නගා සිටුවීමට මෙමගින් හැකියාව ලැබෙන බව අමත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ

මෙරට සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට ගෝලීය ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම අවශ්‍ය බවත් නව නිර්මාණ සිදුකිරීම තුලින් ලෝකය ජයගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි ෴

******************************************

(01.04.2021 – 17:31 +0530 – hirunews.lk/sinhala)

උණුසුම් කාලගුණ තත්වයක් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එමගින් දක්වා ඇත්තේ හෙට (02) දිනයේදී දිස්ත්‍රික් කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි.

ඒ අනුව පොළාන්නරුව ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්වල ජනතාව මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු වනවා.

මෙම දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ උපදෙස්වලට අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් මාලාවක් ද නිකුත්කර තිබෙනවා.

ඒ අනුව වැඩ බිම් තුල ප්‍රමාණවත් ලෙසට ජලය පානය කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසටයි දැනුම්දෙන්නේ.

නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. වාහන තුල කුඩා ළමුන් තනිව රඳවා නොයන ලෙසට ද එම උපදෙස්වලට ඇතුලත්.

එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසට මෙන්ම ප්‍රමාණවත් ලෙසට ජලය පානය කරන ලෙසට දැනුම්දෙනවා.

උණුසුම් කාලගුණික තත්වය පවතින අදාළ ප්‍රදේශවල ජනතාව සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශකර ඇත්තේ.

මේ අතර බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව කියාසිටියේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් ද ඇතිවිය හැකි බවයි.

උතුර සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 40 පමණ දක්වා වන තරමක් තද සුළං ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා ෴

@@@@@@@@@@@@@@@@

(01.04.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ ආසාදිතයන් 156 දෙනෙකු අද (01) දිනයේ දී සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 89,407 ක් ලෙසයි ෴

අද (01) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 125 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 9283 ක් දක්වා ඉහල ගියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *