මුහුදු මගින් කුඩු ඇද්ද ශ්‍රී ලාංකිකයන් 25 ක් ඉන්දියාවේදී කොටුවෙයි

මුහුදු මගින් කුඩු ඇද්ද ශ්‍රී ලාංකිකයන් 25 ක් ඉන්දියාවේදී කොටුවෙයි

*********************************************

මුහුදු මගින් කුඩු ඇද්ද ශ්‍රී ලාංකිකයන් 25 ක් ඉන්දියාවේදී කොටුවෙයි

(01.04.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාර්තු මාසයේ අවස්ථා දෙකකදී (2) ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් සිදුකරන ලද මෙහෙයුම් වලදී ‘හෙරොයින්’ වර්ගයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම වැටලීම් දෙකම සිදු කර ඇත්තේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මිනිකොයි (minicoy) දූපත ආසන්නයේදීය.

මේ අතුරින් පළමු වැටලීම සිදුකර ඇත්තේ මාර්තු මස පස් වැනිදා (05) යී.

එදින හලාවත ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පරීක්ෂා කල ඉන්දීය වෙරළාරක්ෂක බලකාය එහි සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම සිදුකරන අවස්ථාවේ යාත්‍රාවේ තිබූ කිලෝග්‍රෑම් දෙසීයකට (200) අධික හෙරොයින් වර්ගය මත්ද්‍රව්‍ය මුහුදට දමා ඇති බවත් වාර්තා වුණා.

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් දෙවැනි (2) වැටලීම සිදුකර ඇත්තේ මාර්තු මස 15 වැනිදායි.

එම වැටලීමත් කේරළයේ මිනිකොයි දූපත ආසන්නයේදී සිදු කෙරුනක්.

එදින ශ්‍රී ලංකාවේ දකුණු දිගින් මුහුදු ගිය ධීවර යාත්‍රා තුනක් (3) ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නිරීක්ෂණයට ලක්වී තිබෙනවා.

පසුව ඔවුන් එම යාත්‍රා 3 පරික්ෂා කිරීමේදී ඒ අතර තිබූ රවිහංසි නම් ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් සහ ස්වයංක්‍රීය ගිනි අවි 5 ක් ඇතුළු ඊට යොදන උණ්ඩ දහසකට (1000) ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත්තා.

මෙම වැටලීමේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 19 ක්.

මෙම ධීවර යාත්‍රා තංගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා බවටයි වාර්තා වන්නේ.

මේ අනුව අවස්ථා දෙකක (2) දී ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා හතරක් (4) සහ ශ්‍රී ලාංකිකයන් විසිපස් දෙනෙකු (25) ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී හෙරොයින් වර්ගය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනා යටතේයි.

මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහන ජාලයේ සුලමුල සොයා ගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය, ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මීට අමතරව මෙරට රාජ්‍ය බුද්ධි සේවාව සහ ජාත්‍යන්තර පොලිසියේ සහායත් මේ සඳහා ලබා ගැනීමට නියමිතයි.

මේ වන විට මෙරටට ලැබෙන මත්ද්‍රව්‍ය තොග මුහුදු මාර්ග ඔස්සේ පැමිණෙන බව හඳුනාගෙන ඇති බවත් මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානීන් කවුද යන්න පිළිබඳව සොයා ගැනීමට තවදුරටත් අඛණ්ඩ පරීක්ෂණ කටයුතු මෙහෙයවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියා ෴

******************************************

(31.03.2021 – 22:19 +0530 – hirunews.lk/sinhala)

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව අද (31) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදී තිබෙනවා.

කමිටු නිර්දේශ ඇතුලත් වාර්තාව ඉංජිනේරු රොහාන් සෙනවිරත්න සභාපතිවරයා විසිනුයි ජනාධිපතිවරයා වෙත භාරදී ඇත්තේ.

කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කිරීම වෙනුවෙන් ජනාධිපතිවයරාගේ උපදෙස් පරිදි සාමාජිකයන් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය වසරේ ජුලි මාසයේදී පත්කරනු ලැබුවා.

විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳ පූර්ණ පසු විපරමක නිරතවීමේ වැදහත්කම ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

කසල කළමනාකරණයේදී බාහිර පරිසර සාධක පිළිබඳව සැලකිලිමත් නොවීම හේතුවෙන් ජනතා විරෝධතා ඇති බව ඔහු සඳහන් කළ අතර මැසි මදුරු උවදුර මෙන්ම දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කම ද අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ ෴

******************************************

(31.03.2021 – 22:54 +0530 – hirunews.lk/sinhala)

මේ අතර ආනයනික පොල් තෙල් අර්බුදය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(01.04.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරකය අඩංගු දැයි අනාවරණ කර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලබා දුන් පොල්තෙල් සාම්පලවල ප්‍රතිඵල අද (01) ලබාදිය හැකිවනු ඇතැයි කාර්මික තාක්ෂණ ආයතනය ප්‍රකාශ කළා.

එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ එම සාම්පල වාර්තා සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

ආනයනික පොල්තෙල් බහලුම් 13 ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරකය අඩංගු බවට අනාවරණ වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් එම පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කළයුතු බවට නිර්දේශ කළා.

අනතුරුව අදාළ පොල්තෙල් වෙළදපොළට නිකුත් නොවන බවට තවදුරටත් තහවුරු කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය අදාළ පොල්තෙල් ආනයනය කළ සමාගම් තුනෙහි (3) ගබඩා මුද්‍රා තැබීමටයි පියවර ගනු ලැබුවේ.

එසේම, සැක සහිත ආනයනික පොල්තෙල් සාම්පල් සියල්ලේම ඇෆ්ලටොක්සීන් නම් පිළිකාකාරකය අන්තර්ගත වී ඇති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය රේගු දෙපාර්තමේන්තුව වෙත වාර්තාවක් ලබාදෙමින් සඳහන් කළා.

මෙම පොල්තෙල් වෙළඳපොලට නිකුත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිස්ත්‍රික්ක 24 ම ආවරණය වන පරිදි අහඹු සාම්පල ලබා ගැනීමට පසුගියදා ආරම්භ කළා.

ඒ අනුව එම සාම්පලවල ප්‍රතිඵල මෙලෙස අද නිකුත් කෙරෙනු ඇති.

මේ අතර, දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක තිබී පොලීසිය පසුගිය 29 වැනිදා සොයාගත් ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් ලීටර 55,000 අඩංගු බවුසර් දෙක (2) වැඩිදුර පරීක්ෂණ සඳහා ඊයේ (31) රේගු දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබුවා.

ඒ අනුව අදාළ බවුසර් දෙකෙන් (2) ලබාගත් පොල්තෙල් සාම්පල අද (01) රජයේ රස පරීක්ෂකවරයාට සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට භාරදීමට නියමිතයි ෴

******************************************

(01.04.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (01) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කර ඇති කැඳවීමට හේතුව තමන් නොදන්නා බවයි මන්ත්‍රීවරයා සිය මුහුනුපොත ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව තමන් අද (01) එහි නොයන බවත් ඔහු කැඳවීමට හේතු විමසීම සදහා ඔහුගේ නීතිඥයන් උදෑසන 09:00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යන බවත් අදාළ සටහන මගින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

******************************************

(01.04.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදාවට සමගාමීව පොලීසිය ක්‍රියාත්මක කරන ආරක්ෂක වැඩපිළිවලට සහයෝගය දක්වන ලෙස යුද හමුදා මූලස්ථානය සියළු ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව තම බල ප්‍රදේශවල ආරක්ෂාව පිළිබඳව අධ්‍යයනයක් සිදු කර පොලීසිය සමඟ ඒකාබද්ධව කටයුතු කරන ලෙස ඔවුන්ට දැනුම් දී ඇති බවයි යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා කියා සිටියේ.

මෙහිදී අවශ්‍යතාවය පිළිබඳව විග්‍රහයක් කර ඒ ඒ ප්‍රදේශ වල පිහිටි කතෝලික දේවස්ථාන වෙත මෙලෙස ආරක්ෂාව සැපයෙනු ඇති. මෙවර පාස්කු ඉරිදාව ලබන 4 වනදාට යෙදී තිබෙනවා ෴

******************************************

(01.04.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී නඩත්තු කටයුත්තක් අතරතුර විදුලි සේවකයෙකු මරණයට පත්වූ බවට වාර්තා වූ සිද්ධිය ඝාතනයක් බව හෙළිවී තිබෙනවා.

පොලිසිය පවසන්නේ අම්බලන්ගොඩ ‘කැපූ ඇළ’ ප්‍රදේශයේ නිවසකදී සිදුව ඇති ඝාතනය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මියගිය පුද්ගලයා ලංකා විදුලිබල මණ්ඩලයේ වතුගෙදර, සීනිගොඩ උප කාර්යාලයට අනුයුක්තව සිටි කළුතර, දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රියදර්ශන පුෂ්පකුමාර නැමති 24 හැවිරිදි අයෙක්.

ඌරගස්මන්හංදිය, වල්ඉඟුරුකැටිය ප්‍රදේශයේ විදුලි රැහැන් පරීක්ෂාවකට ගොස් සිටියදී එම ස්ථානයේ ඇති වූ හදිසි පිපිරීමකින් තුවාල ලැබූ බව පවසමින් විදුලි සේවකයන් පිරිසක් ඔහුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේවෙතත්, එහිදි ඔහු මියගොස් තිබෙනවා.

අම්බලන්ගොඩ කැපූ ඇළ ප්‍රදේශයේ නිවසකදී මෙම විදුලි සේවකයාට පසුගිය 30 වැනිදා පෙරවරුවේයි වෙඩි වැදී ඇති බවටයි කරුණු හෙළිකරගෙන තිබෙන්නේ.

වෙඩි වැදීම සිදුවී ඇත්තේ නිවසේ සාලයේ අසුන්ගෙන සිටි සේවකයාගේ දකුණු උරහිස ප්‍රදේශයටයි.

මෙම මරණයට හේතු වී ඇත්තේ ඔහු තවත් සේවකයන් පිරිසක් සමඟ කිසියම් කටයුත්තකට අම්බලන්ගොඩ කැපූ ඇළ ප්‍රදේශයේ පදිංචි තවත් විදුලි සේවකයෙකුගේ අදාළ නිවසට ගිය අවස්ථාවක ඇති වූ සිද්ධියක්.

පොලිසිය පවසන්නේ වෙඩි ප්‍රහාරය එල්ල වූ ගිනි අවිය එම නිවස ආසන්නයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකුගේ බවයි.

වෙඩි වැදීම සිදුවන අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයා නිවසේ සිට නොමැති අතර සිද්ධිය සැල වූ වහා පැමිණි ඔහු ගිනි අවිය සැඟවීමටත් කටයුතු කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා (2) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවුණා.

මියගිය තරුණයාගේ මව අප සමග සඳහන් කළේ තම පුත්‍රයා තමන්ට තර්ජන ඇති බවට මිට පෙර අවස්ථාවකදීද ප්‍රකාශ කර තිබූ බවයි.

******************************************

(01.04.2021 – 09:06 +0530 – hirunews.lk/sinhala)

මේ අතර පොලිස් ඇපමත මුදාහැරීමෙන් අනතුරුව රෝහල්ගත වූ කළුබෝවිල ප්‍රදේශයේ පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇප මත මුදාහැරුණු මෙම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබුණා.

පොලීසිය සිදුකළ පහරදීමකින් තම සැමියා මියගිය බවට ඔහුගේ බිරිඳ ඊයේ (31) චෝදනා කළා.

පසුගිය 18 වනදා ගල්කිස්ස පොලීසිය විසින් රත්මලාන ප්‍රදේශයේදී 49 හැවිරිදි තම සැමියා අත්අඩංගුවට ගෙන පහරදුන් බවටයි එම කාන්තාව කියා සිටියේ.

පසුව ඇප ලබා නිවසට පැමිණීමෙන් අනතුරුව, හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් පෙරේදා තම සැමියා ජීවිතක්ෂයට පත්වූ බවයි එම කාන්තාව ප්‍රකාශ කළේ ෴

+++++++++++++

******************************************

(01.04.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය බාහිර ආයතනයකට ලබාදෙන බවට සමාජ මාධ්‍ය තුළ පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ තම දෙපාර්තමේන්තුව විසින් පවත්වන විභාගවල ප්‍රතිඵල පරිගණක ගත කිරීම සිදුවන්නේ එහි අභ්‍යන්තර කාර්ය මණ්ඩලය විසින් බවයි.

එම කටයුතු සඳහා කිසිදු පෞද්ගලික ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් සම්බන්ධ කරගැනීමක් සිදු නොවන බව අදාල නිවේදනයේ සඳහන්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය යටතේ සිදුකරන වැඩසටහන්ද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කරන බවයි ෴

******************************************

(01.04.2021 – 09:16 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ධීවරයින් සඳහා මෙරට උතුර හා නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සීමාසහිතව මසුන් ඇල්ලීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඒ සඳහා මුදල් අයකර ඉන්දීය ධීවරයන්ට බලපත්‍රයක් නිකුත් කිරීමටද යෝජනා වී ඇති බවයි ෴

******************************************

(01.04.2021 – 10:07 +0530 – hirunews.lk/sinhala)

මරදාන – ලොක්ගේට් ප්‍රදේශයේ පාළු නිවසක තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සොයාගෙන තිබෙනවා.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද (01) අලුයම මෙම මත්කුඩු තොගය සොයාගෙන ඇති අතර, ඒවායේ බර කිලෝ 1 යි ග්‍රෑම් 78 ක් බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

පැකට් 6 ක මෙම මත්කුඩු අසුරා තිබී ඇති අතර, බස් රථ උපයෝගී කරගනිමින් කොළඹින් බැහැර ප්‍රදේශවලට මේවා ප්‍රවාහනය කිරීම සඳහා අසුරා තබන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.

කෙසේ වෙතත් අදාළ මත්කුඩු තොගය මෙම නිවස වෙත රැගෙන ආ පුද්ගලයා කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනාගෙන නැහැ.

මේ අතර පසුගියදා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් මත්කුඩු කිලෝග්‍රෑම් 300 ක් සමඟ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් 6 දෙනා සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ සමඟ එක්ව විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කළා.

එසේම තවත් යාත්‍රා තුනක සිටි පුද්ගලයින් 19 දෙනෙකු සම්බන්ධයෙන්ද එලෙස විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

******************************************

(01.04.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

සහන මිලට සහල් ලබාදීමේ වැඩපිලිවෙල අද (01) සිට ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර, අත්‍යාවශ්‍ය භාණ්ඩ 12 ක් ඇතුළත් අලුත් අවුරුදු සහන මල්ලක් රුපියල් දහසක (1000) මුදලකට සතොස අලෙවිසැල් හරහා අද (01) සිට ජනතාවට මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා ෴

******************************************

(01.04.2021 – 10:57 +0530 – hirunews.lk/sinhala)

ලෙබනනයේ රැකියාවට ගොස් විවිධ හිරිහැරවලට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 177 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ අද (01) අලුයම 03:45 ට පමණ ඔවුන් ලෙබනනයේ සිට ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූ.එල්. 554 දරණ යානයෙන් මෙරටට පැමිණි බවයි.

මෙම පිරිස අතර වැඩි දෙනෙකු ලෙබනනයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි කාන්තාවන් වනවා ෴

******************************************

(01.04.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala)

මීගමුව කළපුවේ රොන් මඩ සහිත පස් තොගයෙන් වැලි ඉවත් කරගැනීමේ හැකියාව පිළිබඳව කඩිනමින් සොයා බැලීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍යාංශය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ (31) භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට උපදෙස් ලබාදී ඇත්තේ ඊට අදාළ පියවර කඩිනමින් ගෙන තමන්ට වාර්තා කරන ලෙසයි.

මීගමුව කළපුවේ රොන් මඩ සහිත පස් තොගයෙන් වැලි ඉවත් කරගැනීම සම්බන්ධයෙන් පසුගියදා ගම්පහ සංවර්ධන කමිටු රැස්වීමේදී අවධානයට යොමු කෙරුණා ෴

******************************************

(01.04.2021 – 11:44 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමය ආරම්භයත් සමඟ යාපනය අර්ධද්වීපයේ ගොවීන් තම එළවළු අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් රැගෙන ඒමත් සමග ඉහළ ගොස් තිබූ එළවළු මිල පහත වැටී තිබෙනවා.

යාපනයේ ගොවීන් වගා කරන ලද අර්තාපල්, බීට්රූට්, මාළුමිරිස්, රතු ලූනු, වට්ටට්ටක්කා, අමුමිරිස් ඇතුළු එළවළුවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිරී ගොස් ඇති බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ.

යාපනයේ ප්‍රදේශ කිහිපයකයින් පැමිණි ගොවීන් කියා සිටියේ මෙවර යාපනයේ එළවළු අස්වැන්නට දඹුල්ලේ දී සාධාරණ මිලක් ලැබෙන නිසා තම අස්වනු දඹුල්ලට රැගෙන විත් අලෙවි කිරීම සිදු කරන බවයි.

විශාල වශයෙන් ඉහළ ගිය එළවළු මිල යාපනයේ ගොවීන් නිසා පහළ වැටීම හේතුවෙන් අනෙකුත් ගොවින්ටද තම එළවළු අලෙවි කිරීමට පහසු වී ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන අනෙකුත් ගොවින් සඳහන් කළා ෴

******************************************

(01.04.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර නිවට ප්‍රතිපත්තියක සිටිමින් ජිනීවා හිදී රට පාවාදීමට කටයුතු කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ 30/1 යෝජනාව පිළිබඳව හිටපු අමාත්‍ය මංගල සමරවීර ඊයේ (31) සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

******************************************

(01.04.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොළෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 55 ක පිළිකාකාරක අඩංගු නොවන බවට තහවුරු වී ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.

මේ අතර, ප්‍රශ්නගත පොල්තෙල් තොගය සම්බන්ධයෙන් කාර්මික තාක්ෂණ ආයතනය සිදුකළ පරීක්ෂණ සම්බන්ධ වාර්තාව පාරිභෝගික අධිකාරියට ලබාදී තිබෙනවා.

මෙරටට ආනයනය කළ පිරිපහදු නොකළ පොල්තෙල් තොගයක ඇෆ්ලටොක්සීන් නම් පිළිකාකාරකය අඩංගු බව පසුගියදා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව එම තෙල් තොග නැවත අදාළ රට වෙත හරවා යවන ලෙස ශ්‍රී ලංකා රේගුව ආනයනකරුවන්ට නියෝග කළා.

එම තෙල් තොග ගබඩා කර තිබූ ආයනයකරුවන්ගේ පෞද්ගලික ගුදම් මුද්‍ර තබා පාරිභෝගික අධිකාරියද එහි සම්පල ලබා ගත් අතර ඒවා පරික්ෂාව සඳහා යොමු කෙරුණේ කාර්මික තාක්ෂණ ආයතනයටයි.

එම වාර්තාව අද (01) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබා දුන් බවයි කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රාධිකා සමරසේකර මහත්මිය හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ.

මේ අතර පිළිකාකාරක අඩංගු පොල්තෙල් වෙළඳපොලට නිකුත් වී ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දින කිහිපය පුරා දිවයිනම ආවරණය වන පරිදි සාම්පල ලබා ගත්තා.

කෙසේ වෙතත් මෙතෙක් එම සාම්පල පරික්ෂා කිරීම සඳහා කිසිදු ආයතනයක් වෙත යොමු කර නොතිබීම විශේෂත්වයක්.

එවන් පසුබිමක් තුළ ඇෆ්ලටොක්සීන් අඩංගු බවට සැකකෙරෙන තෙල් බවුසර 2 ක් දංකොටුව ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිසිය සොයා ගත්තේ පසුගිය අඟහරුවාදායි.

එම බවුසර දෙක (2) ඊයේ (31) රේගු නිවාරණ අංශය වෙත භාර දෙනු ලැබුවා.

එහි සම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

මේ අතර අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් දේශිය පොල්තෙල් නිෂ්පාදකයන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටිනවා.

මහාපරිමාණ සැපයුම්කරුවන් තෙල් ආනයකරුවන් සමග එක්ව කෘතිමව මෙම මිල ඉහළ දැමීම සිදුකර ඇති බවටයි ඔවුන්චෝදනා කරන්නේ.

******************************************

(01.04.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

චීනයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු සිනොෆාම් කොරෝනා එන්නත ඉදිරි සතියේදී කොළඹ, මහනුවර, හම්බන්තොට සහ පුත්තලම ප්‍රදේශවලදී මෙරට සිටින චීන ජාතිකයින්ට ලබාදෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ ඉන් අනතුරුව විශේෂඥ කමිටුවල නිර්දේශය මත මෙරට ජනතාවට එම එන්නත ලබාදීම සිදුකරන බවයි.

එසේම, මෙරට එන්නත්කරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් 9,19,753 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර, රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් ෆයිව්’ කොරෝනා එන්නතේ මාත්‍රා ලක්ෂ 70 ක් මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රුසියාවේ ගැමීලියා ආයතනය සමඟ ගිවිසුම්ගත වී තිබෙනවා.

එම එන්නත් මිලදී ගැනීම සඳහා පසුගියදා කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිවුණා.

ඊයේ (31) දිනයේදී මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 264 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 59 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 52 ක්.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 92,706 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 2,887 ක් පමණයි. 89,251 ක් මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

@@@@@@@@@@@@@@

(01.04.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රභේද හඳුනා ගැනීම සඳහා පරීක්ෂා කිරීම් මේ වනවිට ආරම්භ කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා ප්‍රකාශ කළා.

ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සාම්පල ලැබී ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ඊයේ (31) නව ආසාදිතයන් 264 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයත් සංඛ්‍යාව 92,706 ක් දක්වා ඉහළ ගියා.

හඳුනාගත් නව ආසාදිතයන්ගෙන් විසි දෙනෙකු (20) විදේශයන් හි සිට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2,887 ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 89,251 ක්.

නව මරණ දෙකක් (2) ඊයේ (31) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 568 ක් දක්වා ඉහළ ගියා.

වත්තල ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි කාන්තාවක් සහ මඩකලපුව – එරාවූර් පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *