පාස්කු ප්‍රහාරකයින් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරකයින් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා අත්අඩංගුවට

*********************************************

පාස්කු ප්‍රහාරකයින් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා අත්අඩංගුවට

(01.04.2021 – colombotoday.com)

පාස්කු ප්‍රහාරය එල්ල කර පැය ගණනකට පසුව සහරාන් හෂීම් විසින් පුද්ගලයින් පිරිසක් සමඟ යම් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝ ව අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයා ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (31) දින ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබු අතර ඉන් එක් අයෙක් විසින් එම වීඩියෝ ව හා ඡායාරූපය අන්තර්ජාලයට මුදාහැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එක් සැකකරුවෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර, අනෙක් පුද්ගලයා 32 හැවිරිදි තිහාරියේ පදිංචි අයෙකි.

සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාදයන් අන්තර්ජාලය හරහා විකාශනය කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට පත්ව ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“මොවුන් විසින් ‘වන් උම්මා’ නමින් ‘වට්ස්ඇප්’ කණ්ඩායමක් නිර්මාණය කරමින් අන්තවාදී මතවාද කටාර් රාජ්‍යයේ සිට විවිධ ආකාරයෙන් ප්‍රචාරය කර තිබෙන බවට වාර්තා වෙනවා. මේ පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් කටාර් රාජ්‍යයේ රැකියා කරමින් සිට තිබෙනවා. පසුව අප විසින් කරන ලද දැනුම්දීමක් අනුව නොවැම්බර් 21 වන දින ඔවුන් කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කර ලංකාවට එවා තිබුණා.”

2018 වසරේ අවසන් කාලයේ දී මූතූර් ප්‍රදේශයේ දී අන්තවාදී පන්ති පවත්වාගෙන යෑමට පහසුකම් ලබාදීමේ චෝදනාව මත ඊයේ (31) දිනයේ දී තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) ත්‍රස්තක්‍රියා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මූතූර් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි හා 38 හැවිරිදි පුද්ගලයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් විසින් 2018 දී සාමාන්‍ය පෙළ අවසන් කළ මුස්ලිම් දරුවන් සඳහා එලෙස පන්ති පවත්වා ඇති බවට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයින් සිව්දෙනා (4) ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය ෴

+++++++++++++

******************************************

ෆීලික්ස් ඩයස් නිසා 77 සමගි පෙරමුණ බිද වැටී ආසන 08 ට බැස්සා.. අදත් උද්දච්ච ෆීලික්ස් ඩයස්ලා සිටිය හැකියි.. – කර්මාන්ත ඇමති විමල් වීරවංශ

(31.03.2021 – 13:20 +0530 – lankacnews.com)

දේශීය නිෂ්පාදකයා සුන්නද්ධූලි කරමින් විදේශ නිෂ්පාදකයාට වෙළඳපොළ අත්පත් කර ගැනීමට හැකි ලෙස ජූනියස් රිචඩ් ජයවර්ධන ජනාධිපතිවරයාට රටට අහිතකර විනාශකාරී ගමනක් නිර්මාණය කිරීමට පාර කැපුවේ එවකට පැවති සමගි පෙරමුණු ආණ්ඩුවේ සමගිය බිඳ දැමූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක බවත් නූතන දේශපාලනයේ ද එවැනි ජුනියස් රිචඩ්ලා සහ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකලා ඇති බවත් එය නිවැරැදිව හඳුනාගෙන ගමන ගියොත් පමණක් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ ස්වදේශීය නිෂ්පාදකයා බලගැන්වීමේ වැඩපිළිවෙළ ජයග්‍රාහී අනාගතයක් කරා රැගෙන යාමට මේ ආණ්ඩුවට හැකි වනු ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි .

ඊයේ (30) කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටල් පරිශ්‍රයේ පැවැති ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ප්‍රදානය කිරීමේ දෙවන (2) අදියර වැඩසටහනට සහභාගී වෙමින් ඒ මහතා එසේ පෙන්වා දුන්නේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා :

“මේඩ් ඉන් ශ්‍රී ලංකා, සන්නාමය 2020 දෙසැම්බර් 15 වැනි දා අප ජනගත කරනු ලැබුවේ අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ දේශීය නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන සඳහා ජාතිකවත් ජාත්‍යන්තරවත් අවශ්‍ය කරන වෙළෙඳපොළ අවකාශය ලබා දීම සඳහායි. මහා පරිමාණ දේශීය නිෂ්පාදකයන්ට වඩා සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට මෙම සන්නාමය මුල් අදියර යටතේ ලබා දීම අපේ බලාපොරොත්තුව වූවා. ඒ අනුව තමයි අදත් සුළු හා මධ්‍ය පරිමාණ දේශීය නිෂ්පාදකයන් 25 කට මෙසේ ඔවුන්ගේ දේශීය නිෂ්පාදන සඳහා මෙම සන්නාමය ලබා දෙන්නේ.

madeinsrilanka.org

එම සන්නාමය වඩා ජයග්‍රාහීව ඉදිරියට යාම සිදුවනු ඇත්තේ මේ වසරේ මැද භාගය වන විට madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය සක්‍රීයව ක්‍රියාත්මක වීමත් සමගයි. එසේම අපේ බලාපොරොත්තුව මේ වසර තුළ මේ පුණ්‍ය භූමියෙහි ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමයට හිමිකම් කියන සුවිශාල දේශීය නිෂ්පාදන ප්‍රමාණයක් හඳුන්වා දීමයි. 1977 ට පෙර අපේ රටේ දේශීය නිෂ්පාදකයන්ට ඉතා ඉහළ අගයක් සහ වටිනාකමක් ලැබී තිබුණා. උපාලි විජේවර්ධන මහත්මයාගේ උපාලි ෆියට් කාර් එක, යුනික් රේඩියෝව, වෙනත් දේශීය නිෂ්පාදකයන් අතින් බිහි වූ කෘෂිකර්මාන්තයට යොදාගත් ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර සුත්‍ර ඒ වකවානුවේදී බිහිවුණා. ‘සිය රට දේ සිරි සැප දේ’ යන තේමා පාඨය ඒ වකවානුවේ ජීවත් වූ බොහෝදෙනා තුළ රැව් පිළිරැව් දුන් තේමා පාඨයක් වුණා. නමුත් ඒ ස්වදේශික නිෂ්පාදන බලගන්වමින් යන ගමන 1977 දී අවාසනාවන්ත ලෙස බිඳ වැටෙනවා.

1977 ආපු මසුරන් වැස්ස

ඒ බිඳ වැටීම තේරුම් ගැනීම රටේ ස්වදේශික නිෂ්පාදන බලගැන්වීමට කල්පනා කරන අපි සියලුදෙනාගේම වැදගත් අවශ්‍යතාවක් ලෙස මා දකිනවා. කාලගුණය දේශපාලනයටත් අදාළයි. දේශපාලන ලෝකයේ කාලගුණ තත්වය අනුව තමයි ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ නිෂ්පාදන බලගැන්වෙනවාද, නැද්ද කියා තීරණය වන්නේ. සමහරුන්ට අනුව අර්ථකථනය කරන්න පුළුවන් 1970 – 77 වකවානුවේ පැවතියේ වියළි දේශපාලන කාලගුණයක් කියා. ඒ කාලයේ පැල වුණේ ස්වදේශික නිෂ්පාදකයාගේ නිෂ්පාදන පමණයි. ඉහත අර්ථකථනය තුළ එම වකවානුව සිතූ සිතූ සම්පත් ලබා නොදෙන වකවානුවක්. ඊට පස්සේ මේ රටට අවශ්‍ය වුණා, ඒ වියළි කාල පරිච්ඡේදය වෙනුවට හොඳට වහින කාල පරිච්ඡේදයක්. ඒක ‘මසුරන් වැස්ස නොනවත්වා වහින කාල පරිච්ඡේදයක්’ ලෙසයි අර්ථකථනය වුණේ.

දාස මුදලාලිලා ගසාගෙන ගිය සුළඟ

1977 දී බලයට ආපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා රටේ දේශපාලන තත්ත්වය වෙනස් කළේ ඉහත කී ‘මසුරන් වැස්ස’ නොනවත්වා වහින කාලගුණ තත්ත්වයකටයි. ලෝකයේ බොහෝ රටවලින් ණය අරගෙන, ඒ ණය වියදම් කරලා සංවර්ධන කටයුතු කරන ගමන් ලැබෙන අමතර ප්‍රතිලාභ යටිමඩි ගහන සංස්කෘතියක් එමඟින් හැදුනා. එතෙක් බොහෝ දුරට ගරු කටයුතු තත්වයක තිබුණු රටේ දේශපාලනය සහ රාජ්‍ය අංශය මුදල පසුපස හඹා යන තරගයකට එමඟින් තල්ලු කෙරුණා. ඔබට මතක ඇති අපේ රටේ විවෘත ආර්ථිකයට දොරටු විවර කළේ කිසිදු සීමා කිරීමකින් නොවෙයි. විවෘත ආර්ථික සුළඟට එදා එන්න ඉඩ හැරියේ අපේ ඇඳිවත පවා ගලවා ගෙන යා හැකි අන්දමටයි. ජපානය වැනි රටක් පවා විවෘත ආර්ථික පිළිවෙත සමඟ යම් ආරක්ෂණවාදී පියවර ගන්නවා. අදටත් එරට කෘෂිකර්මාන්තය බිඳ නොවැටී පවත්වා ගැනීමට සහල් ආනයනයට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. නමුත් අපේ රටට විවෘත ආර්ථික සුළඟ හැමුවේ දාස මුදලාලිලා එමගින් ගහගෙන යන විදිහට, යුනික් රේඩියෝව පැත්ත පළාතක තබා ගැනීමට නොහැකි වන අන්දමට හා අවසානයේ සියලු දේශීය නිෂ්පාදන කඩා වැටෙන අන්දමටයි. විදේශ නිෂ්පාදන ගෙනැවිත් පරිභෝජනය කිරීම, අලෙවි කිරීම එකම ක්‍රමය වන විදිහට රටේ දේශපාලන කාලගුණ තත්ත්වය වෙනස් වුණා.

ආස්වාදය ගසාගෙන ගිහිල්ලා

විවෘත ආර්ථිකයේ මුල් කාලය ඉතා ආස්වාදජනක ලෙස පෙනුනාට දැන් ඇවිත් තිබෙන්නේ අමාරු කාලයයි. දැන් අපට රටක් ලෙස ගෙවීමට තිබෙනවා, රුපියල් බිලියන ගණනාවක ණය වාරිකයක්. අද එම ණය ගෙවීමට නැවත නැවත පොලියට ණය ගැනීමට සිදුව තිබෙනවා. රුපියල ඩොලරයට සාපේක්ෂව අර්බුදයට ගොස් තිබෙනවා. විදේශ විනිමය අවශෝෂණය කරගත හැකි ක්‍රමවේද ඇහිරී තිබෙනවා. දැරිය නොහැකි විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදී යනවා. ‘මසුරන් වැස්ස’ වැහැපු මුල් කාලයේ තිබුණු ආස්වාදය ගසාගෙන යන අවසන් කාල පරිච්ඡේදයට අපි රටක් ලෙස මුහුණ දී සිටිනවා.

තියුණු කඩඉම

ඒ නිසා මේ අවස්ථාවේදී දී හෝ ස්වදේශීය නිෂ්පාදන බලගන්වමින් පිටරටට ඇදී යන මුදල් ප්‍රමාණය අවම කළ යුතුයි. ඒ වගේම විදේශ වෙළෙඳපොළ කරා යන ගුණාත්මක බවින් යුතු, නිමාවෙන් ජාත්‍යන්තර නිපැයුම් සමග තරග කළ හැකි නිෂ්පාදන අප බිහි කළ යුතුයි. ඒවාට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය දක්වමින්, ඒවා දිරි ගන්වමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ලෝක පරිණාමයෙන් ජනගත කළ යුතුයි. එසේ නොකළහොත් අපට රටක් ලෙස මේ තියුණු කඩඉම පසු කිරීමට බැහැ. අපි තවමත් තිරිඟුපිටිවලට වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් වැය කරනවා. ඒත් මඤ්ඤොක්කා පිටිවලින් පාන් ගෙඩියක් හදන බේකරියක් අපිට තවම හදා ගන්න බැරි වුණා. මයිසූර් පරිප්පුවලට කෝටි ගණන් වැය කළාට බඩ ඉරිඟු කරල පැහෙන්න කලින් එමගින් මයිසූර් පරිප්පුවලට වඩා රස කරියක් හදන හැටි අපේ සූපවේදීන් අපට කියා දී නැහැ. බහුජාතික සමාගම්වල ශරීරයට අහිතකර රසකාරක තරගයට දමන සූපවේදීන් අපට අද රූපවාහිනි නාලිකාවලින් දැකගත හැකියි. ඒ අය හදන ආහාර අත්හදා බලලා අපේ අනාගත පරපුරේ ආයු කාලයත් අඩු වෙලා තිබෙනවා. පසුගියදා මම පුවත්පතක දුටුවා, ‘නූතන පරම්පරාවේ ආහාර සංස්කෘතිය විසින් ඔවුන්ගේ ආයු කාලය වසර 35 දක්වා අඩු කර ගෙන තිබෙනවා’ යන කරුණ.

රසකාරක පිරුණු කෙටි කෑම සංස්කෘතියක්

කොවිඩ් වසංගතයෙන් මේ තරම් අඩු මරණ අනුපාතිකයකට අපි උරුමකම් කියන්නේ ඇයි ? අපේ නිදහස් සෞඛ්‍ය සේවය නිසා වගේම අවුරුදු 4 – 5 – 6 මව්කිරි දීපු අපේ ‘ගෙදර බුදුන් අම්මා’ සංස්කෘතියට පිංසිදු වෙන්න. අපේ දියුණු ආහාර සංස්කෘතිය හා ජීවන රටාවන් කණපිට හරවලා අද අපි රැගෙන යනවා මැක්ඩොනල්ඩ් හා වෙනත් රසකාරක පිරුණු කෙටි කෑම සහිත ජීවන සංස්කෘතියකට. මේ සියල්ල අපේ ඥානාන්විත පරපුර අපට අහිමි කරන්නක්. යුද්ධයකින් මිනිස්සු එකවර මරනවා. නමුත් මේ පුරුදු කරගෙන යන්නේ සැමවිටම අපි නොමරා මරන ආහාර සංස්කෘතියකට.

පාම් ඔයිල් කළ හදිය

පිළිකා කාරක සහිත පොල් තෙල් ගැන අද සංවාදයක් මතුව තිබෙනවා. නමුත් පිළිකා කාරක සහිත පොල් තෙල් වෙළඳපොළට එන්න කලින් පිළිකා කාරක සහිත පාම් ඔයිල් වෙළඳපොලේ තිබුණා. පාම් ඔයිල් බෝතලේ එළවළු තිබෙන පින්තූරේ ගහලා ‘එළවළු තෙල්’ කියා විකුණුවාට එහි ඇති එළවළුවක් නැහැ . මේ රටේ පොල් තෙල් කර්මාන්තය බිඳ වැටුණා. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය හීන වුණා. කර්මාන්ත ශාලා වැසී ගියා. ඊට පසුව පිටරටින් පාම් ඔයිල් ගෙනැවිත් දරුවන්ට කවලා මේ රට බෝ නොවන රෝගීන් බහුල රටක් බවට පත්කර තිබෙනවා. දැනටමත් අපි අපේ අක්මුල් මත ගොඩනැගුණු ජීවන රටාව සොයා ගෙන යා යුතුයි. අපි සාමූහිකව ඊට වෙහෙස විය යුතු යි. එසේ නොවුනහොත් අපි සාමූහිකව ජාතියක මිනී වල කණින්නන් බවට පත් වේවි. එතනින් එළියට එන්න නම් ඉතා නිවැරදි අධිෂ්ඨානයකින් යුතුව අපි ‘අපේකම’ බල ගැන්විය යුතුයි.

යුරෝපයේ තරුණයා ‘පබ්’ එකට, ක්ලබ් එකට යාමට උද්ඝෝෂණය කළාට කොරෝනා සමයේ අපේ තරුණයා එසේ කළේ නහැ. ඒ සමාජ සබඳතා යුරෝපයේ තරුණයාට අවශ්‍යයි. අපේ තරුණයාගේ පවුල් සබඳතාව සමාජ සබඳතාවට වඩා ප්‍රබල යි. ඒ නිසා ඔහුට මාස 03-04 ක් වුවත් තම පවුල සමඟ සමීපව ගත කළ හැකියි. අපි වැඩිහිටි, තරුණ, ළමා පරම්පරාවන් ලෙස අප සතු වූ දියුණු සංස්කෘතික ලක්ෂණ සමාලෝචනය කර ඒවා අපේ වත්මන් ජීවන රටාවට එක්කර ගත යුතුයි. පැරණි ආහාර රටාව, ජීවන රටාව අපිව ආරක්ෂා කර තිබෙනවා. එවැනි සමාලෝචනයකින් පසුව එන නිගමන මත කටයුතු නොකළහොත් අපට ඉදිරියක් නැහැ.

එසේ නොමැතිව කිරිපිටි නැති, ඌරු තෙල් තිබෙන පිටි වර්ග ගෙනැවිත් දරුවන් හදමින්, පිළිකා කාරක සහිත පාම් ඔයිල් ගෙනැවිත් දරුවන්ට කවමින් ගියොත් අපට සියල්ල අහිමි වේවි. දැන් පොල් තෙල්වල පිලිකා කාරක ඇති බවට ලොකුවට හඬ නගන්නේ පාම් ඔයිල් මෙරටට ගෙන්වූ පිරිසයි. මෙලෙස කටයුතු කරන්නේ අපි ආණ්ඩුවක් ලෙස පාම් ඔයිල්වලට වැට බැන්ද නිසයි. මේ පිරිස තමයි අද පොල් තෙල් පිළිබඳව භීතිකාවක් ඇති කරන්නේ. මේ සියල්ල පිටුපස වෙළඳ න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඒ වෙළඳ න්‍යාය පත්‍රය නිවැරදිව කියවා ගන්න බැරි නම් අපි සමාජයක් ලෙස ඇද වැටෙන්නේ විශාල විපතකට.

පොල් තෙල් පිළිබඳව තවදුරටත් කතා කළහොත් අද ගුණාත්මක බවින් වැඩිම පොල්තෙල් නිෂ්පාදනය කෙරෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති 100% ක්ම රාජ්‍ය සමාගමක් වූ ‘බීසීසී ආයතනය’ මගිනුයි. අපේ ගුණාත්මක බවින් යුතු නිෂ්පාදන පරිභෝජනය කරන සමාජයක් අද අපට උවමනායි. අපේ දරුවන්ගේ ජීවිත ගැන හිතලා ගුණාත්මක බවින් යුතු නිෂ්පාදන සිදු කරන සංස්කෘතියක් අපට උවමනායි. අද අපි කර්මාන්ත අමාත්‍යාංශය ලෙස පුරෝගාමිත්වය දෙන්නෙ දේශීය නිෂ්පාදකයා බලගැන්වීමට පමණක් නෙවෙයි, අපේ ජීවන රටාව ජාතියට හිතකර දිසවට පරිවර්තනය කිරීම සඳහායි. සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුව යමින් සිටින්නේ එවැනි ගමනක්.

යළිත් කාලගුණ වෙනසට…

මම මීට ඉහත දී කීවා දේශපාලනයේ කාලගුණික වෙනස්කම් පිළිබඳව. එම කතාවේ ඉතිරි ටික කියලා මගේ කතාව අවසන් කරන්නම්. 1977 ඒ ආර්ථික සුළි කුණාටුව ආවේ කොහොමද? 1970-77 කාලයේ තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුවක්. දේශීය නිෂ්පාදකයන් බලගන්වන ආණ්ඩුවක්; ස්වදේශිකත්වයට පණ දුන් ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ සිටියා ‘ෆීලික්ස් ඩයස්’ කියා කෙනෙක්. ඒ මහත්තයා කල්පනා කළා ‘වමේ පක්ෂ පන්නා දමලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි පාලනයක් පවත්වා ගෙන යන්න පුළුවන් වේවි’ කියා. ඒ අනුව ඔහු ලංකා සමසමාජ පක්ෂය එළියට වැට්ටුවා. ඊට පසුව කොමියුනිස්ට් පක්ෂය එළියට වැට්ටුවා. අන්තිමේ 1977 දී ‘ජූනියස් රිචඩ් ජයවර්ධන’ ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 08 ට බැස්සා. එතෙක් තිබුණු ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ ගමන වෙනුවට, ‘බල්ලො මරලා හරි සල්ලි හොයමු! පිටරටින් දේවල් ගෙනල්ලා කාලා බීලා ජීවත් වෙමු!’ කියන කෙටි චූන් ගමන ආරම්භ වුණා.

ෆීලික්ස් ඩයස්ගේ උද්දච්ච මනස

ඒ ගමන ආරම්භ වීමට හේතුවක් වුණා ෆීලික්ස් ඩයස්ගේ උද්දච්ච මනස. එදා ෆීලික්ස් ඩයස්ගේ නොමේරූ මනස ඉවහල් වුණා ජූනියස් රිචඩ්ට මේ රටට අහිතකර විනාශකාරී පාරක් නිර්මාණය කිරීමට. එදා ෆීලික්ස් ඩයස්ට ඒ උද්දච්ච අසනීපය නොහැදුණානම්, සමගි පෙරමුණු ආණ්ඩුවේ සමගිය රැකුණානම්, ජූනියස් රිචඩ් පරිච්ඡේදයක් මේ රටේ ආරම්භ වන්නේ නැහැ. ඒ නිසා ජූනියස් රිචඩ් පරිච්චේදයට පාර කැපුවේ වෙන කවුරුවත් නොවෙයි ෆීලික්ස් ඩයස්, ඔහුගේ උද්දච්ච මනස. ඒ දේශපාලනය තමයි අවසානයේ ‘දාස මුදලාලිලාට’ හෙණයක් වුණේ. ඒ දේශපාලනය තමයි ස්වදේශික නිෂ්පාදකයා සුන්නද්ධූලි කරලා විදේශ නිෂ්පාදන මේ රටේ වෙළඳපොළ අත්පත් කර ගන්නේ. ඒ දේශපාලන වරද නිසා තමයි, කිසිදු පාලනයකින් තොර නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් මේ රටට කඩා වැදුණේ, දේශීයත්වය නැත්තටම නැති වුණේ. ‘ආත්මාර්ථකාමී, බල පෙරේතකමින්’ තොර දියුණු මනසක් ෆීලික්ස් ඩයස්ට තිබුණානම් මොන නිදහස් වෙළෙඳපොළ සුළඟ ආවත් ඔරොත්තු දෙන දේශීය නිෂ්පාදන ගස් ටිකක් මේ පොළොවේ පැල වී තිබෙනවා. එතැනට යන්න බැරි වුණේ ජූනියස් රිචඩ් ජයවර්ධන නිසා පමණක් නොවෙයි, එතැනට පාර කැපූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකලාත් නිසයි.

නූතන ෆීලික්ස් ඩයස්ලා

නූතන දේශපාලනයේ ජූනියස් රිචඩ් ජයවර්ධනලා වගේම ෆීලික්ස් ඩයස්ලාත් ඇති. ඒ අය හරියට හඳුනාගෙන ගමන ගියොත් පමණයි ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ ජයග්‍රාහී අනාගතයක් කරා ගෙන යා හැක්කේ. ඒ සඳහා ඔබ සැමගේ පරිකල්පනය අවදි කිරීමට ධෛර්යය හා ශක්තිය පතනවා. ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ යුගය අප නිසැක වශයෙන්ම ජයග්‍රාහීව බලගන්වන බව සපථ කරනවා.”

මෙම අවස්ථාවට වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද පතිරාජ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

++++++++++++

[ https://www.madeinsrilanka.org/ ]

******************************************

වෙන්නප්පුව ASP මාරු කලේ අරුන්දිකගේ ඉල්ලීමකට.. ලිපිය පොලිස්පති කාර්යාලයෙන් මාධ්‍යට ගිය බව පේනවා.. පොලිසිය පාලනය කරන්නේ ‘සුදු පුතා’ හා ‘කළු පුතා’ යැයි චෝදනා තිබෙනවා..

(01.04.2021 – 14:10 +0530 – lankacnews.com)

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ස්ථාන මාරුවක් කළේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ ඉල්ලීමකට බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

අදාළ ඉල්ලීම් ලිපිය සමාජ මාධ්‍යයට නිකුත් වූයේ කෙසේදැයි සොයා බැලිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එම ලිපිය පොලිස්පති කාර්යාලයෙන් නිකුත් වී තිබෙන බවක් පෙනෙන්නට ඇතැයිද ඔහු පවසයි.

පොලිසිය පාලනය කරන්නේ ‘සුදු පුතා’ හා ‘කළු පුතා’ යැයි සඳහන් දෙදෙනකු (2) බවටත් චෝදනා එල්ල වෙමින් ඇතැයි ද කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමිනි.

******************************************

කවුද මේ රටම කතා වෙන එරික් පෙරේරා …

(29.03.2021 – FB : wennappuwaofficial)

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අදිකාරී එරික් පෙරේරා මහතාගේ ජීවිත කතාවෙන් බිඳකුයි මේ …

චන්ද්‍රිකා ආණ්ඩුවේ බලය බිඳ දමා 2001 වසරේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ 2002 වසරේදී නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් එල්.ටී.ටී.ඊ.ය සමග සටන් විරාම අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්නේ යුද්ධය නිමාකර සාමකාමීව පරිසරයක් රට තුළ ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිවය. දීර්ඝ කාලීන සාමයකට අත දිගුකිරීමක් සදහා රජයේ හමුදාවන් කඳවුරුවලට සීමාකිරීමට එම ගිවිසුමට අනුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පියවර ගන්නා විට එල්.ටී.ටී.ඊ.ය අමු අමුවේ ගිවිසුම කඩකරමින් හැසිරෙන්නට වූයේ අපේ වීරෝදාර හමුදාවන්ට සිය පශ්චාත් භාගය පවා විදහා පාමිනි. එයින් සීමා නොවූ එල්.ටී.ටී.ඊ.ය අපේ හමුදා විරුවන්ගේ ඉවසීම බියගුළුකමක් සේ සලකා කඳවුරුවලට ගල්මුල් ප්‍රහාර පවා එල්ලකරන්නට ගත්තේය. ඒ හමුදා කඳවුරු සිය ගම්බිම්වලින් ඉවත්කර ගන්නා ලෙසට සිවිල් ජනතාව පළිහක් ලෙස යොදා ගෙන උද්ඝෝෂණ සහ විරෝධතාද සංවිධානය කරමිනි. ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට ආරක්ෂක අංශවලට ඉඩක් නොවන්නේ ඉහළ නියෝග අතපය බැඳ දමා තිබුණු බැවිනි.

පස්ස පෙන්නූ කොටින්ගේ පස්සටම වෙඩි තියයි

අම්පාරේ කාන්චන්කුඩි විශේෂ කාර්ය බළකා කඳවුර ඉදිරිපිටද මේ ආකාරයේම උද්ඝෝෂණයක් පැවැත්වෙන්නේ කඳවුරු භූමියට ගල්මුල් ප්‍රහාරයක්ද එල්ලකරමිනි. කඳවුරු භූමියේ ස්ථාපිත කර තිබුණු බුදු පිළිම වහන්සේට පවා එම ගල්මුල්වලින් දැඩි හානි සිදුවූවත් ඉහළ නියෝගයන්ට අනුව විශේෂ කාර්ය බළකායේ සෙබලු ඉවසාගෙන සිටියහ. මෙම උද්ඝෝෂණය මෙහෙයැවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ සැලසුම වූයේ කඳවුරට පහරදීමය. ඒ එම කඳවුර එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා ලෙසට කළ බලපෑම් අසාර්ථක වූ තැනය. මේ උද්ඝෝෂකයන් අතර සන්නද්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් කිහිප දෙනෙක්ද සිටියහ.

එදා කාන්චන්කුඩි කඳවුරේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ පොලිස් පරීක්ෂක එරික් පෙරේරාය. ඔහු ඒ මොහොතේ ඉහළ අණ පිළිගනිමින් නිවටයෙක් ලෙස සිය සෙබලුන් සමග පසුබසින්නට සූදානම් වූයේ නැත. කඳවුරු භුමියට එක අඩියක් නොතබන ලෙසට උද්ඝෝෂකයන්ට සහ ඒ අතර සිටි එල්.ටී.ටී.ඊ.යේ සන්නද්ධ ක්‍රියාකාරීකයන්ට දැනුම් දුන්නේය. එරික්ගේ අණට ඔවුන් අවනත නොවීය. කඳවුරේ කම්බි වැට බිඳගෙන කඳවුරු භුමියට කඩාවැදුණේය. ඒ අයගේ ඉලක්කය වූයේ කඳවුරට ගිනි තබා හානි කිරීමය. ඒ බව ඉවෙන් මෙන් වටහාගත් එරික් කඳවුරු භුමියේ ආරක්ෂාව වෙනුවෙන් සිය සෙබලුන්ට වෙඩි තැබීමට අණ දුන්නේය. ඒ කඳවුරු භූමියට ඇතුළුවී සිටි හඳුනාගත් සන්නද්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ඉලක්ක කරමින එදා ඒ ප්‍රහාරයෙන් සන්නද්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිහිප දෙනෙක්ම කඳවුරු භූමියේ මැරී වැටී සිටියේ ගිනි අවිද අතැතිවය. බොහෝ දෙනා සිතුවේ සාම ගිවිසුම එතැනින් හමාර වෙතැයි කියාය. එහෙත් එය එසේ නොවීය. ඒ සන්නද්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් කඳවුරු භුමියකට කඩාවැදී වෙඩි තැබූ බැවින් ප්‍රතිප්‍රහාර එල්ල කළ බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට එරික් පෙරේරාට හැකියාව ලැබුණු බැවිනි.

එම සිදුවීමෙන් ටික කලකට පසු බුද්ධි අංශ අනතුරු හඟවන්නේ එරික් පෙරේරා ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ලකිරීමට බෝම්බකරුවන් පස් දෙනෙකුම (5) යොදවා ඇති බවටය. එම බෝම්බකරුවන්ගෙන් කිහිප දෙනෙක්ම පසුව ආරක්ෂක අංශ අත්අඩංගුවටද පත්විය. ඒ අතර බෝම්බකාරියන්ද වූවාය.

ශ්‍රී ලංකා පොලීසියේ සිටි අති දක්ෂ ත්‍රස්ත විමර්ශකයෙක් වූ පොලිස් පරීක්ෂක නිලාබ්දීන්ගෙන් පසු පොලිස් නිලධාරියෙක් වෙනුවෙන් මෙතරම් බෝම්බකරුවන් පිරිසක් වෙන කිසිදු පොලිස් නිලධාරියෙකු වෙනුවෙන් එල්.ටී.ටී.ඊ.ය යොදවා තිබුණේ නැත. නිලාබ්දීන්ට වරක් ගල්කිස්ස පොලීසිය ඉදිරිපිටදී බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයක් එල්ලවූවත් තුවාල ලබා ඔහු දිවි ගලවාගත්තේ ජාතියේ වාසනාවකටය. අනතුරුව ඔහුව ඉලක්ක කර ඔහු සේවයේ නිරතව සිටි ගල්කිස්ස පොලීසියම පුපුරවා හරින්නට සුදානම් කළ බෝම්බ ලොරියක් පවා ආරක්ෂක අංශ සොයාගත්තේය. කෙසේ වෙතත් සාමයේ මුවාවෙන් එල්.ටී.ටී.ඊ.ය ශක්තිමත් වෙමින් බුද්ධි අංශ නිලධාරීන්ව දඩයම් කිරීමට පටන් ගැනීමත් සමග නිලාබ්දීන් රට හැර යන්නේ නිසි ආරක්ෂාවක් ඔහුට සපයන්නට බලධාරීන් අපොහොසත් වූ බැවිනි.

එවන් තත්වයක් මත එරික් පෙරේරාගේ ජීවිතය පිළිබදවද ඇතිවන්නේ අවදානමකි. ඒ අවදානම ඔහු එතරම් නොතැකුවත් පොලිස් ප්‍රධානීන් තීරණය කරන්නේ ඔහුව විශේෂ කාර්ය බළකායෙන් ඉවත්කර කෙටි කලක් සඟවා තබන්නටය. ඒ අනුව එරික් පෙරේරා එකවරම විශේෂ කාර්ය බළකායෙන් අතුරුදන් විය. වසර කිහිපයකට පසුව ඔහු එකවරම මතුවන්නේ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙසිනි. ඒ වන විට පවතින්නේ යුද්ධය දරුණු අවධියකය. ගුවන්තොටුපොළ පොලිස් ස්ථානාධිපති ලෙස එරික් නිහඬ සේවයක් ඉටුකරන්නේ ගුවනින් එන යන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හඳුනාගනිමින් ඒ අය කොටුකර ගැනීමට ආරක්ෂක අංශ වෙත සහය දක්වමිනි.

යුද්ධය අවසන් වන තුරුම ඔහු ගුවන්තොටුපොළ පොලීසියේ සේවය කරනු ලැබීය. අනතුරුව එරික් මතුවන්නේ මීරිගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසිනි. දේශපාලකයන් ඉදිරියේ නොනැමෙන කොන්දක් ඇති නිලධාරියෙක් ලෙස ප්‍රසිද්ධ එරික් නීතිය ගරුකොට සැලකූවෙකි. වංචාව පගාව හොර මැරකම්වලට එරික්ගෙන් ඉඩක් නැත. පොලීසියේ සිටින ආදර්ශමත් චරිත අතර එරික්ද ඉදිරියෙන්ම සිටියේය. දේශපාලන හයි හත්තිය ඇතිව මීරිගම පැත්තේ සිදුවූ වන විනාශයන් සහ පස් සහ වැලි ජාවාරම්වලට නැවතීමේ තිත තැබෙන්නේද එරික් නිසාය. ඒ නිසාම එරික් සමග දේශපාලනඥයන් ගැටුණු වාර ගණන අපමණය. ඒ නිසාම එරික් වත්තල පැත්තට විසිවිය. වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසද එරික් නීතිය අකුරටම ක්‍රියාවට නැගුවේය. කසිප්පු සහ මත්කුඩු එරික්ට පේන්නට බැරිය. ඔහු කෙටි කාලයක් තුළ වත්තල පැත්තේ කසිප්පු ජාවාරම මෙන්ම මත්කුඩු ජාවාරමටද වැට බැන්ඳේය. යහපාලන ආණ්ඩුව බිහිවන්නේ මේ කාලය තුළදීය. එම ආණ්ඩුවේ ප්‍රබලතම ඇමතිවරයෙක් ජීවත්වූයේද ඒ පැත්තේය. පොලීසිය භාර ඇමතිවරයා ලෙසද ඔහු කලක් කටයුතු කළේය. එම ඇමතිවරයාත් එරික් පෙරේරාත් ගැටෙන්නේ කසිප්පු ජාවාරම සම්බන්ධයෙනි. ඇමතිවරයා පොලීසිය භාරව සිටියත් එරික් වැරදි නියෝග සහ උපදෙස් පිළිපදින්නට ගියේ නැත. ප්‍රසිද්ධ රැස්වීමකදී නිරපරාදේ පොලීසියට එම ඇමතිවරයා දෝෂාරෝපණය කරද්දී පවා ඔහු පොලීසියේ ගෞරවය වෙනුවෙන් ඇමතිවරයාට ප්‍රතිචාරය දක්වන්නේ ඇමතිවරයා පවසන්නේ කසිප්පුකාරයන් ආරක්ෂා කරන්නදැයි කියා එම රැස්වීමේදීම ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරමිනි. ඒ ඉහළ පොලිස් නිලධාරීන්ට නැති කොන්දක් ඔහුට තිබුණු බැවිනි.

වත්තල පිහිටි ඇවිදින මංතීරුවකට එකී ඇමතිවරයාගේ ආනුභාවයෙන් සංවිධානාත්මකව හානි කරන්නේද එකලය. ඒ අවස්ථාවේදී පවා එම ඇවිදින මන්තීරුවට හානිකළ අය අල්ලා කූඩුවට දමා නීතිපතිවරයාට ලිපිගොනු යවා නීතිය ක්‍රියාත්මක කරන්නට පවා එරික් පෙරේරා එඩිතර වන්නේ ඇමතිවරයාගෙන් එල්ලවූ දැඩි බලපෑම් හමුවේය. නීතිය දේවත්වයෙන් සලකා නීති විරෝධි ක්‍රියාවන්ට අනුබල නොදීම හේතුවෙන්ම ඇමතිවරයාට පවා එරික්ගේ එක මයිල් ගහකට හානියක් කරන්නට ඉඩක් නොවීය. ජාතික පොලිස් කොමිසම පවා එකල සිටියේ එරික්ගේ හයියටය. අවසානයේදී එරික් වත්තල පොලිස් ස්ථානාධිපති ධුරයට සමුදෙන්නේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීමක් ලබාය. කෙටි කලක් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස සේවය කළ එරික්ට වෙන්නප්පුව හා දංකොටුව පැත්ත භාරදෙන්නේ ඒ ප්‍රදේශයේ ඇති කසිප්පු ජාවාරමත් මත්කුඩු ජාවාරමත් මැඩලන්නටය. එරික් දක්ෂ ලෙස සිය නිලධාරීන් මෙහෙයවා වෙන්නප්පුවත් දංකොටුවත් ශුද්ධ කරනු ලැබුවේ කසිප්පු ජාවාරම්කරුවන්ට හිස ඔසවන්නට ඉඩක් නොදීය.

එරික්ගේ මේ හැසිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රබල රාජ්‍ය ඇමතිවරයෙකුට එතරම් රිස්සුවේ නැත. ඔහු දිගින් දිගටම එරික්ට බලපෑම් කරන්නට වූයේ කසිප්පු වැටලීම් නතර කරන ලෙසය. ඒ එම ඇමතිවරයාගේ ආනුභාවයෙන් නැවතත් කසිප්පු ජාවාරම වෙන්නප්පුවේත් දංකොටුවේත් හිස ඔසවන්නට ගත්තද එරික්ගෙන් බුරුලක් නොවූ තැනය.

බලපෑම් කළා යැයි කියා එරික්ව නතර කිරීමට රාජ්‍ය ඇමතිවරයාට හැකියාවක් නොවීය. මේ තත්වය මත එරික්ව වෙන්නප්පුවෙන් සහ දංකොටුවෙන් එළවා දැමීම හැර කසිප්පුකාරයන් වෙනුවෙන් කළ හැකි වෙනත් විකල්පයක් රාජ්‍ය ඇමතිවරයාට නොවීය. ඒ අනුව ඔහු එරික්ව වෙනත් පැත්තකට මාරු කර යවන ලෙස කියන්නට හැකි සෑම අයෙකුටම කීවේය. එරික් කවුරුන්දැයි ඒ සෑම අයෙක්ම දැන සිටි බැවින් ඒ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොවීය. කසිප්පුකාරයන් ඉදිරියේ දේශපාලනඥයා ඒත් එක්කම පීචන් විය. මේ තත්වය මත ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්වීමකදී රාජ්‍ය ඇමතිවරයා දැඩිව දෝෂාරෝපණය කරන්නට වූයේ මහා පරිමාණයේ කසිප්පුකාරයන් අල්ලන්නේ නොමැතිව අහිංසකයින් පමණක් අල්ලන බවටය. පොඩි මිනිහට පොලීසිය හිරිහැර කරන බවට චෝදනා පවා කරන්නට ගත්තේ මහා පරිමාණයේ කසිප්පුකාරයන්ගෙන් පොලීසිය පගා ගන්නා බවට මතයක් ගොඩ නගමිනි.

ඒ අවස්ථාවේ එම සංවර්ධන කමිටු රැස්වීමේ රැඳී සිටි එරික් කටපියාගෙන සිටියේ නැත. ඇමතිවරයාගේ කනේ ඇඟිලි ගහ ගන්නටම කියන්නට ඇති දේ කීවේ කසිප්පුකාරයන්ගේ සාක්කුවේ සිටින්නේ කවුරුන්දැයි කියාය. ඒත් එක්කම එරික්ට අත්පොළසන් නාදයක් එල්ලවන්නේ ඇමතිවරයා තවත් පීචන් කරමිනි. තමාගේ ආත්ම ගරුත්වය වෙනුවෙන් ඔහු දැඩි තීන්දුවක් ගන්නේ ඒත් එක්කමය. ඒ සිය නිවසේදී 28 දෙනෙක් සමග පවත්වන සාකච්ඡාවකින් අනතුරුවය. ඒ අනුව ඇමතිවරයා ඉහළ දේශපාලන බල අධිකාරියකට දැනුම් දෙන්නේ එරික් පෙරේරා තවදුරටත් වෙන්නප්පුවේ සහ දංකොටුවේ තබා ගන්නේ නම් තමා දේශපාලනයෙන් සමුගන්නා බවටය. මේ අවස්ථාවේදී රටේ පවතින දේශපාලන වටාපිටාව හමුවේ එරික්ට වඩා දේශපාලන බල අධිකාරියට එකී දේශපාලනඥයාගේ සේවය අති මහත්ය. එබැවින් එරික්ට සිදුවන්නේ දේශපාලන උදහසට හසුවී පොලිස් මූලස්ථානයට ස්ථානමාරු වන්නටය. ඒ ඉකුත් සතියේදීය. එය එතැනින් හමාර වන්නේ නැත. එරික්ට හයියක් වෙමින් කසිප්පු ජාවාරම්කරුවන් හඹා ගිය දූෂණ මර්දන ඒකකයේ තරුණ නිලධාරීන් හය හත්දෙනාටද උතුරටම මාරුවීම් දුන්නේය. ඒ මතට තිත තියනවා වෙනුවට තිතට මත තැබීමටය.

මමත් ඔහුගෙන් ඉගෙනගත් දේ අතර සත්‍යවාදී බවත් එඩිතර බවත් එලෙසම පවතී.. ඔබ හැදුනු වැඩුනු වෙන්නප්පුව ට කල සේවයට මේ ලිපිය උපහාරයක් වේවා..

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *