දංකොටුවෙන් සොයා ගත් පොල්තෙල් බවුසර් අධිකරණ නියෝග නොකතා රේගුවට භාරදීම ගැන විමර්ශන

දංකොටුවෙන් සොයා ගත් පොල්තෙල් බවුසර් අධිකරණ නියෝග නොකතා රේගුවට භාරදීම ගැන විමර්ශන

*********************************************

දංකොටුවෙන් සොයා ගත් පොල්තෙල් බවුසර් අධිකරණ නියෝග නොකතා රේගුවට භාරදීම ගැන විමර්ශන

(31.03.2021 – 18:33 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝග නොතකමින් පිලිකාකාරක අඩංගු බවට සැක කෙරෙන පොල්තෙල් බවුසර් දංකොටුව පොලිසිය විසින් රේගුවට භාරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ පොලිස්පතිවරයාට නියෝග කළා.

අද (31) මෙම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා දංකොටුව පොලිසියටද දැඩි ලෙස අවවාද කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

පෙරේදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම බවුසර් දෙක (2) සම්බන්ධයෙන් ඊයේ (30) පස්වරුවේ දංකොටුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මෙම බවුසර් අධිකරණ භාරයේ තබා රස පරීක්ෂක වාර්තාව කැඳවන ලෙසයි.

එහෙත් පොලිසිය අද (31) පෙරවරුවේ පොලිස් ආරක්ෂාව සහිතව මෙම බවුසර් දෙක (2) රේගුවට භාරදුන් අතර, පස්වරුවේ යළි නඩුව කැඳවමින් මාරවිල මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මේ අතර, විමර්ශන භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිවාරණ නිලධාරියා වෙත මෙම බවුසර් භාරදුන් බවයි. පසුව අදාළ බවුසර් දෙකෙන් (2) ලබාගන්නා පොල්තෙල් සාම්පල හෙට (01) දිනයේදී රජයේ රස පරීක්ෂකවරයාට සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට භාරදීමට නියමිතයි.

මෙම බවුසර් දෙකෙහි (2) සිය දෙපාර්තමේන්තුවේ මුද්‍රාව නොතිබුණු බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා ප්‍රකාශ කළා. ඒ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

පසුගියදා පිළිකා කාරක අඩංගු බවට හෙළිවූ බවුසර 13 න් බහුතරයක්ම මෙම පොල්තෙල් ගෙන්වූ සමාගමට අයත් බවට හෙලි වුණා. මෙම රථවලට මුද්‍රා තබා ඇති අතර, ඒවා දංකොටුව ප්‍රදේශයට රැගෙනවිත් ඇත්තේ සැඟවීමටද යන්න සම්බන්ධයෙන් ද පොලීසිය විමර්ශන පවත්වනවා.

මේ අතර, ඇෆ්ලටොක්සීන් නැමති පිළිකා කාරක අඩංගු වියලි මිරිස් කිලෝග්‍රෑම් විසි දහසක් (20,000) පමණ ප්‍රතිඅපනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂක ඒකකය නියෝග කර තිබෙනවා.

මීට මසකට පමණ පෙර මෙරටට ගෙන්වා ඇති මෙම මිරිස් තොගය අඩංගු බහලුම සම්බන්ධයෙන් සිදුකළ පළමු පරීක්ෂාවේදී නියමිත ප්‍රමාණය ඉක්මවා ඒවායේ ඇෆ්ලටොක්සීන් පිළිකාකාරකය අඩංගු ව තිබී ඇති අතර, ඊයේ (30) සිදුකළ දෙවන පරීක්ෂාවේදීද ඒ බව තහවුරු වීමෙන් පසුවයි මෙලෙස ප්‍රති අපයනය කිරීමට නියෝග කර ඇත්තේ.

එම වියලි මිරිස් ඉන්දියාවේ සිට මෙරට ව්‍යාපාරිකයෙකු විසින් දිවයිනට ආනයනය කර තිබෙනවා ෴

+++++++++++++++

පොල් තෙල් බවුසර් දෙකට (2) මුද්‍රා තැබුවේ කවුද ?

(31.03.2021 – 18:41 +0530 – sinhala.adaderana.lk)

දංකොටුව ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් මුද්‍රා තබන ලද පොල් තෙල් බවුසර් දෙක ට මුද්‍රා තබන ලද්දේ රේගුව නොවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පවසයි.

වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් අදාළ පොල් තෙල් තොගය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක අඩංගු බවට සැකපිට ඊයේ (30) පොලිස් භාරයට ගනු ලැබීය.

පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ එම බවුසර් මුද්‍රා තබා තිබුණු අතර පොලීසිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රේගුව විසින් එහි මුද්‍රා තබා ඇති බවය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා එම බවුසර් අද (31) පෙරවරුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

අදාළ බවුසර් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා :

“ඇෆ්ලටොක්සින් නැමැති විෂ රාසායනික ද්‍රව්‍ය අඩංගු පොල් තෙල් ආනයනය කිරීමක් සිදුවෙලා තියෙනවා. ඒවා පරික්ෂා කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් දන්වා තිබෙනවා එම පොල් තෙල් තුළ ඇෆ්ලටොක්සින් විෂ කාරක ද්‍රව්‍ය අඩංගුයි කියලා. මේ සිද්ධිය මේ ආකාරයට වන අතරතුර ඊයේ (30) උදේ අපට දංකොටුව පොලීසියෙන් දන්වනු ලැබුවා මුද්‍රාතබන ලද පොල් තෙල් සහිත බවුසර් දෙකක් (2) යම් ස්ථානයක සඟවා තිබිලා ඔවුන්ගේ අත්අඩංගුවට පත්වුණා කියලා. මෙම බවුසර් දෙක මුද්‍රා තබලා තියෙන්නේ රේගුවෙන් නොවේ. මගේ අතේ තියෙන්නේ ශ්‍රී ලංකා රේගුව භාවිතා කරන මුද්‍රා. එම බවුසර්වල තිබෙන මුද්‍රා මීට වඩා ගොඩක් වෙනස්. දැන් මේ වනවිට රේගු නිවාරණ අංශයේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වෙනවා අද දින (31) දංකොටුවේ සිට මෙම බවුසර් දෙක (2) පොලිස් ආරක්ෂාව යටතේ ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශය වෙත ලැබෙන්නට සැලැස්සුවා. නිවාරණ අංශය විසින් මේ වන විට මේ ලොරි රථ රියදුරන් මීට සම්බන්ධ සියලුම පාර්ශවකරුවන් ගෙනැවිත් විමර්ශනය මේ වනවිට කරගෙන යනවා. තවමත් අපිමේ බවුසර් විවෘත කළේ නැහැ. මේ විමර්ශනය අවසානයේදී නීත්‍යානුකූලව බවුසර් අපි විවෘත කරලා බලනවා.”

බවුසර දෙක (2) කොළඹ රේගු නිවාරණ අංශය වෙත අද (31) උදෑසන රැගෙන එනු ලැබුවේ පොලිස් ආරක්ෂාව යටතේ ය.

ඒ අනුව එම බවුසරවල අඩංගු තෙල්වල සාම්පල ලබාගැනීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් අද (31) පස්වරුවේ කටයුතු කළේය.

පිළිකා කාරක පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා වෙළෙඳසැල්වලින් සාම්පල ලබාගැනීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තවදුරටත් සිදුකරනු ලබයි.

පාරිභෝගික අධිකාරිය මඟින් මීට පෙර වෙළෙඳපොළෙන් ලබාගත් පොල්තෙල් සාම්පල කිහිපයක වාර්තා අද (31) ලැබීමට නියමිත බව එම අධිකාරිය සඳහන් කළේය.

මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ පදනමේ නියෝජිතයින් අද (31) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණ තිබුණේ පිළිකා කාරක පොල්තෙල් සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ය.

මෙහිදී ඔවුන් 1980 අංක 26 දරන ආහාර පනතේ පිටපතක්ද පුළුස්සමින් සිය විරෝධය පළකළේය.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ භික්ෂූන් වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකරමින් සඳහන් කළේ, එම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය බවය.

******************************************

(31.03.2021 – 15:34 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමය වෙනුවෙන් අඩු මිලට සහල් ලබාදීමේ වැඩපිළිවෙළ හෙට (01) සිට ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මෙවර සහල් මාෆියාව නතර කිරීමට හැකියාව ලැබුණු බවයි.

******************************************

(31.03.2021 – 15:36 +0530 – hirunews.lk/sinhala)

පාස්කු කොමිෂන් වාර්තාවේ නිර්දේශ සලකා බැලීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීම ලබන සඳුදා (05) දක්වා කල් දමා තිබෙනවා.

අදාළ වාර්තාව අද (31) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතව තිබුණ ද ඒ සඳහා ජනාධිපතිවරයා ලබන සඳුදා (05) දින ලබා දුන් බවයි කමිටුවේ ලේකම්, ජනාධිපති කාර්යාලයේ නීති පිළිබද අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, අදාළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව මේ වනවිට සම්පූර්ණයෙන්ම සකස් කර අවසන් බව ද ඔහු ප්‍රකාශ කළා ෴

******************************************

(31.03.2021 – 16:16 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය භාණ්ඩ 12 ක් ඇතුළත් අලුත් අවුරුදු සහන මල්ලක් රුපියල් දහසක (1000) මුදලකට හෙට (01) සිට සතොස අලෙවිසැල් හරහා ජනතාවට මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ සහන මල්ලට, පොල්තෙල් අඩංගු නැද්ද යන්නයි.

එහිදී අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම අනුව, පොල්තෙල් ද ඊට ඇතුළත් කිරීමට පියවර ගත්තා.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ හෙට (01) සිට සහන මිලට සහල් ද ලබාදීමට පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ මැදකොළඹ ප්‍රදේශවාසීන් සමඟ එක්ව අද (31) පස්වරුවේ මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ විරෝධතාවක නිරත වූයේ බඩු මිල ඉහළ ගොස් ඇති බවට පවසමින් ෴

******************************************

(31.03.2021 – 16:25 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ග්‍රෑම් 504 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (2) යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ චාවකච්චේරි සහ පේදුරු තුඩුව සුරාබදු නිලධාරින් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදීයි.

මේ අතර, හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 750 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී ගාල්ල මහමෝදර රෝහල ආසන්නයේදී අත්අඩංගුවට ගත් කාන්තාවක ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අක්මීමන වලහන්දූව – මොරගලවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තැනැත්තියක බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

******************************************

(31.03.2021 – 16:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට ත්‍රස්තවාදය පරාජය කිරීමේ සිට සෑම ආපදා අවස්ථාවකදීම සහයට පැමිණි පාකිස්ථානය සමඟ ඉදිරියටත් සහයෝගිතාව වර්ධනය කර ගැනීමට සූදානම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පාකිස්ථාන යුද හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව දින 14 ක් පුරා පැවැත්වූ ඒකාබද්ධ යුද අභ්‍යාසයේ සමාප්ති උත්සවයට එක්වෙමින්.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සහයෝගිතාව වර්ධනය කර ගැනීම මෙන්ම දෙරටේ යුදමය දැනුම හුවමාරු කර ගැනීමේ අරමුණින් මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය ක්‍රියාත්මක කෙරුණා.

දින 14 ක් පුරා අනුරාධපුර – සාලියපුර යුද හමුදා ගජබා රෙජිමේන්තුවේදී පැවැති යුද අභ්‍යාසයේ සමාප්ති උත්සවය පැවැත්වුණේ ඊයේ (30) පස්වරුවේයි.

ඒ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ පාකිස්ථාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් කත්තක් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

******************************************

(31.03.2021 – 16:46 +0530 – hirunews.lk/sinhala)

පාස්කු සතිය ඉළක්ක කර ගනිමින් දිවයිනේ ප්‍රධාන දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල් ඇතුළු හඳුනා ගත් තවත් ස්ථාන රැසක විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසනවා.

මෙම විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙල පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව පාස්කු සතිය පුරා ක්‍රියාතමක කරන බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේ.

මෙම ආරක්ෂක වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අදාළ උපදෙස් සහ නියෝග මේ වන විටත් පොලිස්පතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපති වරුන් වෙත ලබා දී ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා වැඩි දුරටත් කියා සිටියා ෴

******************************************

(31.03.2021 – 17:58 +0530 – hirunews.lk/sinhala)

කැකිරාවේ හේන් යායකදී රේවත ඇතාට විදුලිසැර වද්දා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව විශේෂ විමර්ශනයක් පැවැත්වීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය අද (31) පොලීසියට නියෝග කළා.

කැකිරාව මහේස්ත්‍රාත් සමන් කාරියවසම් මෙම නියෝගය කර ඇත්තේ කැකිරාව පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්.

රේවත ඇතාට විදුලිසැර වද්දා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ විමර්ශන යොමුකරන්නැයි නීතිපතිවරයා ද පොලීසියට දන්වා තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනු අතර ඔහු පසුව ඇප මත මුදා හැරුණා ෴

******************************************

(31.03.2021 – 18:36 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස පොලිසිය සිදුකළ පහරදීමකින් තම සැමියා මියගිය බවට කළුබෝවිල ප්‍රදේශයේ කාන්තාවක් චෝදනා කරනවා. මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි දෙදරු පියෙක්.

කළුබෝවිල – පාසල් මාවතේ පදිංචි පුද්ගලයෙක් පසුගිය 18 වැනිදා ගල්කිස්ස පොලිසිය විසින් රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාවකටයි.

ඔහු පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරි අතර ඉන් පසු පොලීසිය විසින් පහර දුන් බව පවසමින් කලුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

ඉන් සුවය ලබා නිවසට පැමිණි ඔහු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (30) අලුයම් කාලයේදී නැවත රෝහල් ගත කළා.

පසුව අද (31) දා උදෑසන දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වුණා.

ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය අද (31) සවස රෝහලට පැමිණ මෘතදේහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයක්

සිදුකරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළා.

පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (01) සිදු කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පශ්චාත් මරණ පරීක්ෂණයේ තීරණය අනුව ඉදිරි විමර්ශන සිදු කෙරෙන බවයි.

******************************************

(31.03.2021 – 19:01 +0530 – hirunews.lk/sinhala)

ගල්කිරියාගම හබරත්තාවල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පැරණි චෛත්‍යයක සහ ගොඩනැගිල්ලක නටබුන් හාරා නිදහන් සෙවීමේ සිද්ධියක් අද (31) දින පෙරවරුවේ ගල්කිරියාගම පොලිසිය විසින් සොයා ගත්තා.

ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමක් මත ගල්කිරියාගම පොලිසිය උතුරු මැද පළාත් පුරාවිද්‍යා පොලිස් ඒකකය හා එක්ව මෙම ස්ථානය නිරික්ෂණය කලා.

එහිදී භුමියේ ස්ථාන දෙකක (2) විශාල පුරාවිද්‍යා ස්මාරක රැසක් විනාශ කොට ඇති අයුරු නිරීක්ෂණය වී ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.

කැලයෙන් වැසී තිබූ මෙම ඉඩමට ඇතුළු වූ සංවිධානාත්මක කණ්ඩායමක් සූක්ෂම ලෙස දින ගණනාවක් තිස්සේ මෙම ස්ථානයේ තිබූ චෛත්‍යය හා ඉපැරණි ගොඩනැගිලි කඩා කැනීම් කර තිබෙනවා.

ගල්කිරියාගම පොලිසියේ නිලධාරීන් මෙම ස්ථානය පරික්ෂා කරමින් සිටින අවස්ථාවේදී ඒ අසල පිහිටි නිවසක යම්කිසි යකඩ භාණ්ඩ කිහිපයක් පෙරළෙන ශබ්දය ඇසී කල පරික්ෂාවකදී පස් ඇදීම සදහා යොදාගන්නා තාච්චි දෙකක් (2) ඇතුළු උපකරණ කිහිපයක් සමග පුද්ගලයෙක් පොලිස් භාරයට ගැනුනා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

******************************************

(31.03.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

ඌරගස්මංහන්දිය – වල්ඉඟුරුකැටිය ප්‍රදේශයේදී විදුලි සේවකයෙකු වෙඩි වැදීමකින් ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ විදුලි සේවකයා රැහැන් පරීක්ෂාවකට ගොස් සිටියදී හදිසි පිපිරීමකින් තුවාල ලැබූ බවට පවසා රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු ජිවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, පසුව සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම විදුලි සේවකයාට පොලිස් නිලධාරියෙකුට අයත් ගිනි අවියකින් වෙඩි වැදී ඇති බවටයි.

විදුලි සේවකයා සහ ඔහු සමඟ සිටි තවත් සේවකයින් කිහිපදෙනෙකු මිතුරු පොලිස් නිලධාරියෙකුට අයත් නිවසකට පැමිණි අවස්ථාවේදී එහි තිබූ අදාළ ගිනි අවිය පරීක්ෂා කරමින් සිටියදී වෙඩි වැදීම සිදුව ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා ඇතුළු 6 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(31.03.2021 – 21:46 +0530 – hirunews.lk/sinhala)

අපවත්වීවදාල පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ දයාබර මෑණියන් වන, චාලට් නෝනා වීරතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

******************************************

වෙන්නප්පුවේ ASP එරික් පෙරේරාගේ ස්ථාන මාරුව ට හේතුව

(31.03.2021 – 19:12 +0530 – sinhala.adaderana.lk)

වෙන්නප්පුව ප්‍රදේශය භාරව සිටි සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට ලබාදී ඇති ස්ථාන මාරුව සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ සහ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබේ.

එම කතාබහ වඩාත් තීව්‍ර වූයේ එම ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යැවූ ලිපියක් සහ දෙදෙනා අතර ඇති වූ සංවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමත් සමගය.

වෙන්නප්පුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් මැඩලීම සඳහා ඔහු පිහිටුවා තිබූ විශේෂ ඒකකයේ නිලධාරීන්ට ද ස්ථාන මාරු ලබාදීම පිළිබඳ සමාජ මාධ්‍ය පුරා දක්නට ලැබුණේ දැඩි විරෝධයකි.

වෙන්නප්පුව ජනතාව ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළකර තිබුණේ එරික් පෙරේරා මහතා මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් ඇතුළු දූෂණ මර්දනය සඳහා අවංකව කැපවුණු නිලධාරියෙකු බවය.

වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ‘රණමඟ ඔස්සේ නන්දිකඩාල්’ ග්‍රන්ථයේ ද එරික් පෙරේරා මහතා පිළිබඳව ඇගයීමක් කර තිබුණි.

ඒ 2002 සටන් විරාමය අතරතුර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් අම්පාර කච්චාන්කුඩා පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර රැකගන්නට ගත් උත්සාහය සම්බන්ධයෙනි.

මීරිගම සහ වත්තල යන ප්‍රදේශවල සේවය කරමින් නීතිවිරෝධී මත්පැන් ජාවාරම් මැඩලීමට ක්‍රියාකළ සහකාර පොලිස් අධිකාරීවරයාගේ රාජකාරී පිළිබඳ එම ප්‍රදේශවල ජනතාව තුළ තිබී ඇත්තේ ප්‍රසාදයකි.

එරික් පෙරේරා මහතා වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී ලෙස 2019 දී රාජකාරී අරඹන අතර දිගු කලක් තිස්සේ එම ප්‍රදේශයේ වධකාගාරයක් පවත්වාගෙන ගිය ‘ඕළු මරා’ නමැත්තා ව අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු රාජකාරී අරඹා දින කිහිපයක් තුළය.

මෙවන් පසුබිමක් මත සහකාර පොලිස් අධිකාරිවරයාට ස්ථාන මාරුවක් ලැබීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට සමාජ මාධ්‍ය තුළ විවේචන එල්ල වුණි.

******************************************

(31.03.2021 – 20:00 +0530 – sinhala.adaderana.lk)

මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් හරහා තමාට අගතියක් සිදුවූ බව බවසමින් ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රංජන් රාමනායකට එරෙහිව ගොනු කර තිබූ නඩුව ඉල්ලා අස්කරගැනීමට අමාත්‍යවරයා අද (31) පියවර ගත්තේය.

2016 දී මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රි නිවාස සංකීර්ණයේදී පැවැත්වූ මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම නඩුව ගොනු කර තිබුණි.

එම චෝදනාව සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2016 වසරේ දී එම ප්‍රකාශයෙන් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් රන්ජන් රාමනායක ගෙන් රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් ඉල්ලමින් ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කළේය.

සිව් වසරක් පුරා විභාගයට ගැනෙන එම නඩුව ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (31) යළි කැඳවනු ලැබීය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මේ වනවිට බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක ද නඩු කටයුත්තට පැමිණ සිටි බව මහින්දානන්ද අලුත්ගම මහතා පැවසීය.

එහිදී අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා :

“මම මේ නඩුව ඉල්ලා අස්කරගත්තා. මම දැක්ක රංජන් අහිංසක මනුස්සයෙක්. ඔහුව නොමඟ යැව්වා. රන්ජන් දැන් අසරණ වෙලා ඉන්නේ. ජනපති කිව්වා පළිගන්න එපා කියලා. රන්ජන් වැඩියෙන්ම මඩ ගහපු කෙනා රංජන්ට සමාව දුන්නා. රන්ජන් ගැන මම කනගාටු වෙනවා. රන්ජන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි.”

@@@@@@@@@@@@@

(31.03.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ ආසාදිතයන් 161 දෙනෙකු අද (31) දිනයේ දී සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 89,250 ක් ලෙසයි ෴

අද (31) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 156 ක් වාර්තා වී තිබෙනවා ෴

මේ අතර, නව කොරෝනා ආසාදිතයන් 156 අද (31) හඳුනා ගැනිමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 92,598 ක් දක්වා ඉහළ ගියා.

අද (31) දිනයේදි ආසාදිතයින් 161 සුවය ලැබිමත් සමඟ සමස්ත සුවය ලැබු සංඛ්‍යාව 89,251 වන බවයි වසංගත විද්‍යා ඒකකය සඳහන් කළේ ෴

අද (31) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 88 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද (31) දිනයේ මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 244 ක් ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය දෙකක් අද (31) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 568 ක් දක්වා ඉහළ ගියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *