කඩු ගෙන්වූ හැටි සොයන්න විශේෂ සී.අයි.ඩී. කණ්ඩායම් දෙකක් (2)

කඩු ගෙන්වූ හැටි සොයන්න විශේෂ සී.අයි.ඩී. කණ්ඩායම් දෙකක් (2)

*********************************************

කඩු ගෙන්වූ හැටි සොයන්න විශේෂ සී.අයි.ඩී. කණ්ඩායම් දෙකක් (2)

(31.03.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6000 ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් (2) යොදවා තිබෙන බව නීතිපතිවරයා අද (31) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනු කරන ලද රිට් පෙත්සමක් අද කැදවනු ලැබූ අවස්ථාවේදීයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අවන්ති පෙරේරා මෙම දැනුම් දීම කරනු ලැබුවේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එය විධිමත් කිරීම සඳහා මෙම කණ්ඩායම් දෙක (2) පත්කර ඇති බවයි.

මේ බව තහවුරු කෙරෙන පොලිස්පතිවරයාගේ ලිපියක් ද ඇය අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ අනුව මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන කාරණය පිළිබඳව පෙත්සම්කරුගෙන් විමසා මැයි මස 06 වනදා අධිකරණයට දැනුම්වත් කරන ලෙස අභියාචනාධිකරණය පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනට දැනුම් දුන්නා.

පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව කිසියම් පිරිසක් මෙරටට කඩු 6000 ක් පමණ ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඉන් කඩු 600 ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඒවා ‘මොහොමඩ් සත්තාර්’ නමැත්තා විසින් ගෙන්වා ඇති බවටත් ඒවා පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කොට මියගිය ‘මොහොමඩ් ඉන්ෂාෆ්’ නැමැත්තාගේ අවශ්‍යතාවයකට ගෙන්වා තිබෙන බවටත් තොරතුරු හෙළිව තිබෙන බවද පෙත්සමේ දැක්වුණා.

මේ අතර සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිර දඬුවම් නියම වී සිටින රන්ජන් රාමනායක ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන්න තීන්දුව ප්‍රකාශ කිරීම ලබන මස 05 වනදා දක්වා කල් තබන බව අභියාචනාධිකරණය අද (31) දැනුම් දුන්නා.

මෙහි තීන්දුව අද (31) ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව තිබුණේ.

එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම නඩුවේ තීන්දුව මේ දක්වා සූදානම් කර නොමැති බවයි.

******************************************

(31.03.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

පිළිගත් දේශපාලන පක්ෂ හතරක් (4) 2019 වසරට අදාළව විගණන වාර්තා ලබාදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට එම දේශපාලන පක්ෂවල නියෝජිතයින් ලබන මස 22 වනදා කැඳවීමක් සිදුකර ඇති බවයි.

එදිනට අදාළ වාර්තා ලබාදීමට අපොහොසත් වුවහොත් එම දේශපාලන පක්ෂවල පිළිගැනීම අත්හිටුවීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා ෴

******************************************

(31.03.2021 – 11:04 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය වට්ටකච්චිලමයානූර් ප්‍රදේශයේ කැළෑවක යුධ සමයේ එල්.ටි.ටි.ඊ. කඳවුරක් පැවති ස්ථානයක නිධන් හෑරීමක් සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු (5) ඊයේ (30) ධර්මපුරම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ එල්.ටි.ටි.ඊ. සංවිධානය වළ දමා ඇති බවට සැක කරන රත්රන් සෙවීම සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු (5) එලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් සතුව තිබී පොළොව අභ්‍යන්තරයේ ඝන ද්‍රව්‍ය සෙවීමට භාවිතා කරන නවීන ස්කෑනර් යන්ත්‍රයක්, පූජා භාණ්ඩ, කැනීම් උපකරණ හා ජංගම දුරකථන හයක් (6) ද පොලිසිය සිය බාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් මැදිරිගිරිය, කොළඹ, කිරුළපන, හම්බන්තොට ප්‍රදේශයන්හි පදිංචි පුද්ගයින් බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

******************************************

(31.03.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ග්‍රෑම් 65 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 485 ක් ලග තබාගත් සැකකරුවන් හතර (4) දෙනෙකුට ඇප ලබා දීමට කොළඹ මහාධිකරණය දුන් නියෝගය අත්හිටුවන ලෙස නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා ෴

******************************************

(31.03.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ආනයනය කළ විෂ සහිත පොල් තෙල් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(31.03.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

වයඹ පළාතේ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ස්ථානභාර පරිවාස නිලධාරින් අද (31) රාජකාරිවලින් ඉවත්වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

ඒ ස්ථානභාර පරිවාස නිලධාරි තනතුර අනුමත තනතුරක් බවට පත් කරන ලෙසට ඉල්ලීම් කළ ද ඊට විසඳුමක් නොලැබීම හේතුවෙන්.

මේ අතර තැපැල් සේවකයන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිටත් ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ නිලධාරින් බඳවා ගැනීමේදී ඇති වන ගැටලු වලට විසඳුම් ඉල්ලා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

ගැටලුවලට විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට සිදුවන බව ඔහු කියා සිටියා ෴

******************************************

(31.03.2021 – 14:38 +0530 – hirunews.lk/sinhala)

ගිනි අවියක් සමඟ ‘පොඩි ලැසී’ ගේ සහායකයකු අහංගමදී එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(31.03.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala)

‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සංකල්පය සැබෑ කරගැනීමට නම් වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ සිටින පාර්ශ්වයන්ද නිසි ලෙස හඳුනා ගනිමින් ගමන් කිරීම අත්‍යවශ්‍ය බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

කොළඹ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් දියත් කරනු ලබන ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ යටතේ තෝරාගත් දේශීය නිපැයුම් ගණනාවකට ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය පිරිනැමීම කොළඹ දී සිදුකෙරුණේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්.

++++++++++++

+++++++++++++

******************************************

(31.03.2021 – 16:51 +0530 – sinhala.adaderana.lk)

නව ව්‍යවස්ථාවක් සම්මත කරනතුරු පළාත් සභා මැතිවරණය කල්දමන්නැයි භික්ෂූන් වහන්සේ දස නමක් (10) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරයාට යොමුකළ එම ලිපියේ පිටපත් සියලුම පාර්ලිමේන්තු මන්තීවරුන්ටද යොමුකර ඇත.

පුජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමි, පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනාහිමි, පූජ්‍ය කිරම විමලජෝති හිමි, මහාචාර්ය පූජ්‍ය ඉත්තෑදෙමලියේ ඉන්දසර හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි, පුජ්‍ය හෑගොඩ විපස්සි හිමි, පූජ්‍ය වැලිමිටියාවේ ඥාණරතන හිමි සහ ආචාර්ය පුජ්‍ය කපුගොල්ලෑව ආනන්දකිත්ති හිමියන්ගේ අස්සනින් යුතුව එම ලිපිය යොමුකර තිබේ.

(උපුටා ගැනීම)

‘පසුගිය දිනවල ඔබතුමා විසින් පළාත්සභා මැතිවරණය වහා පැවැත්විය යතු බව පැවසීම පිළිබඳව අපි සැම විමතියට පත්වූයෙමු. නමුත් අප එම ප්‍රකාශය විග්‍රහ කරනු ලැබුවේ ඒ වනවිට පැවැත්වීමට නියමිතව තිබූ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම ඉලක්ක කර ගනිමින් කරනු ලැබූ උපක්‍රමික දේශපාලන ප්‍රකාශයක් ලෙසය. ඊට අමතරව ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහායට ඉදිරිපත් නොවීම පිළිබඳව අපගේ අප්‍රසාදය ඉන්දියානු රජයට ප්‍රකාශ කළ යුතු බව අපගේ පිළිගැනීමයි. ඉන්දියානු විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටින අතර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට බලපෑම් සහගත ප්‍රකාශ නිකුත් කිරීම ද අපි දැඩි ලෙස හෙළා දකිමු. මහජන අපේක්ෂා අනුව සහ ඔබතුමා විසින් මැතිවරණයට පෙර ලබාදුන් පොරොන්දුව අනුව නව ව්‍යවස්ථාව සම්මත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමුඛතාවය දිය යුතු බව ඔබතුමා පිළිගන්නවා ඇත. ඒ අනුව පහත සඳහන් හේතු මත නව ව්‍යවස්ථාව සම්මත කරනතෙක් පළාත්සභා මැතිවරණය කල් දමන ලෙස අපි ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

  1. පැරණි පළාත්සභා ක්‍රමය නැවත ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සාධාරණීකරනය කළ නොහැක.
  2. ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් පසුව බිහිවන පළාත් සභා හෝ වෙනත් සභාවක ව්‍යුහය සහ බලතල අනුව නව පනතක් සකස් කිරීම වඩා තර්කානුකූල වේ.
  3. කෝවිඩ් වසංගත තත්වය තවදුරටත් පවතින තත්වයක් යටතේ සහ භයානක තුන්වන රැල්ලක් මතු වීමේ අවදානමක් තිබියදී අත්‍යවශ්‍ය නොවන මැතිවරණයක් දේශපාන වුවමනාවක් මත පැවැත්වීම මගින් පවතින ආණ්ඩුව මහජන අප්‍රසාදයට පත්විය හැක.
  4. පළාත්සභා මැතිවරණය කල් දැමීම සිදු වූයේ පසුගිය ආණ්ඩුව සමයේදීය. එවැනි තත්වයක් තුළ මැතිවරණ කල් දැමීම නැමති චෝදනාවට බිය වී කළබලකාරී ලෙස මැතිවරණය පැවැත්වීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක.
  5. පසුගිය වසර තුනක කාලය තුළ පළාත්සභා නොමැතිවීම පිළිබඳව කිසිදු මහජන උද්ඝෝෂණයක් පැන නැඟුණේ නැත.
  6. පළාත්සභා මැතිවරණය පැවැත්වීම සඳහා වැය කළ යුතු රු. කෝටි 500 ක පමණ මුදල හදිසි රාජ්‍ය පිරිවැය දැරීම සඳහා යොදා ගැනීම වඩා යෝග්‍ය වේ.’

(උපුටාගැනීම අවසන්)

@@@@@@@@@@@@@

(31.03.2021 – 11:41 +0530 – hirunews.lk/sinhala)

චීනයෙන් මෙරටට ලැබුණු සිනොෆාම් කොවිඩ් මර්ධන එන්නත් තොගය මීට ටික වෙලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට භාර දී තිබෙනවා.

මේ අවස්ථාව සඳහා වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ චීන තානාපති කී සෙන් හොන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම ආධාර වැඩ පිළිවල යටතේ සිනොෆාම් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ හයක් (6) මෙරටට ලැබී තිබෙනවා.

(31.03.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් (6) අද (31) පෙරවරුවේ දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඒ, චීනයේ බීජිං නුවර සිට කටුනායක ගුවන් තොටුපල වෙත ළඟාවූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්. 869 දරණ යානයෙන්.

ගුවන් තොටුපල හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ මෙරට චීන තානාපතිවරයා විසින් එම එන්නත් තොගය නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් බවයි.

මෙම එන්නත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් වසංගත රෝග විද්‍යා අංශයේ ඖෂධ ගබඩා වෙත රැගෙන යාමට නියමිතයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය මත එම එන්නත් පළමුව ලබාදෙන්නේ මෙරට සිටින චීන ජාතිකයින්ටයි.

එසේම, අදාළ එන්නත මෙරට හදිසි භාවිතය සඳහා මෙතෙක් අනුමත කර නැහැ.

චීන සිනොෆාම් කොරෝනා එන්නත් මේ වනවිට ලොව රටවල් රැසක් භාවිතා කරන අතර එය එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ භාවිතයෙදී සියයට 86 ක් ශක්‍යතාවයක් පෙන්නුම් කළා ෴

+++++++++++++++++

(31.03.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

මතබේදයට තුඩු දුන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අලුතින් පිහිටවන ලද කොවිඩ් පරීක්ෂණ රසායනාගාරය එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

ජනාධිපතිවරයා අදාළ දැනුම්දීම සිදු කර ඇත්තේ පසුගියදා පැවති කොවිඩ් නියාමන කමිටු රැස්වීමේදීයි.

අදාළ රසායනාගාරය එතැනින් ඉවත් කර එහි ඇති උපකරණ මිනුවන්ගොඩ රෝහලට ලබා දීමට කටයුතු කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලීමක්ද කර තිබුනා.

ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දැක්වූ සෞඛ්‍ය වෘත්තිකයන් ඉල්ලා සිටියේ ගුවන් තොටුපල හරහා යන මගීන් සියලු දෙනාගේ PCR පරීක්ෂණ මෙම රසායනාගාරයෙන් සිදු කිරීමට අවශ්‍ය පසුබිම සලසා දෙන ලෙසයි.

මේ සම්බන්දයෙන් අප රජයේ රසායනාගාර තාක්ෂණ වේදීන්ගේ සංගමයේ රවී කුමුදේශ් මහතා ගෙන් කල විසීමකදී ඔහු කියා සිටියේ අදාල තීරණය සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන නමුත් මේ දක්වා සිය සංගමය කල ඉල්ලීම් වලට තවමත් බලධාරින් ගෙන් නිසි පිළිතුරක් ලැබී නොමැති බවටයි.

මෙම රසායනාගාරය තවදුරටත් සුදු අලියකු බවට පත් නොකර ඒ හරහා මෙරටට ලබා ගත හැකි ප්‍රතිලාභ ලබා ගැනීමට බලධාරින් දැන්වත් කටයුතු කල යුතු බවටයි ඔහු වැඩි දුරටත් පවසුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *