කොරෝනා පරීක්ෂාවට ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් නව ක්‍රමවේදයක් – මහාචාර්ය නිලීකා මලවිගේත් පර්යේෂණ කණ්ඩායමේ

කොරෝනා පරීක්ෂාවට ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් නව ක්‍රමවේදයක් – මහාචාර්ය නිලීකා මලවිගේත් පර්යේෂණ කණ්ඩායමේ

*********************************************

කොරෝනා පරීක්ෂාවට ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් නව ක්‍රමවේදයක් – මහාචාර්ය නිලීකා මලවිගේත් පර්යේෂණ කණ්ඩායමේ

(30.03.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක්, මෙරට මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ද ඇතුළත් ඔක්ස්ෆර්ඩ් සරසවි විශේෂඥ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.

කොරෝනා වෛරස් ප්‍රතිදේහ පරීක්ෂා කෙරෙන මෙම පරීක්ෂණය ඇඟිලි තුඩකින් ලබා ගන්නා රුධිර බිඳුවකින් සිදුකිරීමට හැකිවීම විශේෂත්වයක්.

එය ඉක්මන් හා භාවිතයට ඉතා පහසු ක්‍රමවේදයක් බවයි පර්යේෂකයින් පවසන්නේ.

මෙම පරීක්ෂණය සඳහා ශ්‍රි ලංකාව, තායිවානය, ඉන්දියාව, තායිලන්තය සහ ප්‍රංශය යන රටවල විද්‍යාඥයින් මෙන්ම බ්‍රිතාන්‍යයේ පර්යේෂකයින් කණ්ඩායමක් ද එක්ව සිටියා.

මූලික අත්හදා බැලීම් වලදි ඉතා සාර්ථක ප්‍රතිපල පෙන්වූ මෙම පරීක්ෂණය සාර්ථකව ප්‍රතිදේහ ජනනය කළ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා භාවිත කිරීමට හැකි බවයි එහි පර්යේෂකයින් පවසන්නේ.

මෙම පරීක්ෂණය හරහා විශාල පර්යේෂකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ප්‍රජාව තුළ ආරක්ෂිත ප්‍රතිශක්තිය පිළිබඳ මට්ටම් වඩාත් පහසුවෙන් සොයාගත හැකි වනවා.

කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ තිබේද යන්න හඳුනාගත හැකි වාණිජ පරීක්ෂණ කිහිපයක් දැනටමත් ඇති නමුත් ඒවා මිල අධික වන අතර එම පරීක්ෂණ විශ්ලේෂණය සඳහා පහසුකම් සහිත රසායනාගාර ද අවශ්‍ය වනවා.

මෙය විශේෂයෙන් අඩු ආදායම් ලබන රටවලට ගැටලුවක්ව පවතිනවා.

මේ අතර මෙම පර්යේෂණය සඳහා මෙරටින් එක්වූ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ මෙම ප්‍රථිපල ලබා ගැනීම සඳහා නියැඳි 3000 ට වඩා පරීක්ෂා කළ බවයි.

++++++++++++++++++++

(30.03.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් (6) හෙට (31) රාත්‍රියේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

එම එන්නත් මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වුණා.

එමෙන්ම, අදාළ එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමත කිරීම පිළිබදව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

චීන සිනොෆාම් කොරෝනා එන්නත් මේ වන විට ලොව රටවල් රැසක් භාවිත කරන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භාවිතයෙන් සියයට 86 ක ශක්‍යතාවක් පෙන්නුම් කළා.

එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ නිෂ්පාදනය කිරීමට ද පියවර ගනිමින් සිටිනවා.

ජල්ෆාර් හෙවත් ගල්ෆ් ඖෂධ කර්මාන්ත ආයතනය ප්‍රකාශ කළේ අබුඩාබි හිදී ලබන මාසයේ සිට එම එන්නත නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බවයි.

මේ අතර, මාත්‍රා දෙකකින් (2) සමන්විත චීන සිනොෆාම් එන්නතට අතිරේක වර්ධක මාත්‍රාවක් ලබාදිය යුතු ද යන්න පිළිබදව සිනොෆාම් ආයතනය පර්යේෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

විශේෂයෙන් කොරෝනා එන්නතේ විකෘති මාදිලිවලට එරෙහිව එවැනි වර්ධකයක් ලබාදීම වැදගත් වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

මේ අතර, ඊයේ (29) දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 215 ක් හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම මරණ 05 ක් ද ඊයේ (29) දිනයේ වාර්තා වූ අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 566 දක්වා ඉහළ ගියා.

යාපනය දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම ඊයේ (29) දිනයේත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (29) දිනයේදී පමණක් යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 26 ක් වාර්තා වී ඇති බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආරුමුගම් කේදීස්වරන් මහතා සදහන් කළේ ෴

+++++++++++++++++++++

(30.03.2021 – 09:19 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු ෆයිසර් – බයෝඑන්ටෙක් සහ මොඩර්නා කොරෝනා එන්නත් පළමු මාත්‍රාව ලබා දීමෙන් පසු වෛරසය ආසාදනය වීම සියයට 80 කින් වළක්වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

එමෙන්ම, එහි දෙවන (2) මාත්‍රාව ලබාදීමෙන් සියයට 90 ක රැකවරණයක් සැලසෙන බවයි සී.ඩී.සී හෙවත් අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය ප්‍රකාශ කළේ.

මෙම අධ්‍යයනය සඳහා එම එන්නත් ලබාදුන් 4000 ක් පමණ යොදාගෙන තිබෙනවා.

මේ අතර, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත වයස අවුරුදු 55 ට අඩු පුද්ගලයන්ට ලබාදීම කැනඩාව විසින් අත්හිටුවා තිබෙනවා.

ඒ, එන්නත ලබාදුන් පුද්ගලයන්ට රුධිර කැටිති ඇතිවීම පිළිබදව වෙනත් රටවලින් වාර්තා වූ සිද්ධීන් සැලකිල්ලට ගනිමින්.

ඊට පෙර කැනඩාව වයස අවුරුදු 18 ඉක්ම වූ සියළු පුද්ගලයන්ට ඔක්ස්ෆර්ඩ් එන්නත ලබාදීම නිර්දේශ කර තිබුණා ෴

@@@@@@@@@@@@@

(30.03.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

ගෙවී ගිය පැය 24 ක කාලය තුළදී යතුරුපැදි තුනක් (3) සහ ත්‍රීරෝද රථ හතරක් (4) සොරකම් කිරීම පිළිබඳ සිද්ධීන් වාර්තා වන බව පොලීසිය පවසනවා.

මෙම පැහැර ගැනීම් වාර්තා වී ඇත්තේ ත්‍රිකුණාමලය, බොරැල්ල, කොළඹ, දෙමටගොඩ, පුත්තලම, අතුරුගිරිය, කඳාන සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවලින්.

එලඹෙන සිංහල අලුත් අවුරුදු සමයත් සමඟ යම් යම් සංවිධානාත්මක කල්ලි හා කණ්ඩායම් විසින් මෙවැනි සොරකම් සිදුකිරීමේ ප්‍රවණතාවක් මතුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ.

එබැවින් තමයි සාප්පු සවාරි සහ අනෙකුත් ගමන් බිමන් යාමේදී තමන්ගේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ නවතා තැබීමේදී වැඩි සැලකිල්ලක් දක්වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටිනවා.

මෙවැනි සිද්ධීන් පාලනය කිරීමට වාහන අංගන සහ රථවාහන බහුල වශයෙන් ගාල් කරනු ලබන ස්ථානවල සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදීමටත් පොලිසිය බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියා ෴

******************************************

(30.03.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

පරිසරය විනාශ කිරීමේ කටයුතුවල නිරත වන්නන්ට රුපියල් ලක්ෂයකට අධික දඩ පැනවීම සදහා වන යෝජනාවක් නව පරිසර කෙටුම්පතට ඇතුලත් කර ඇති බව පරිසර අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ පරිසර පනත සංශෝධනයට අදාල නව කෙටුම්පත කඩිනමින් කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර, වර්තමාන විදුලි ජනන සැලසුම් සහ සිදුවන අඩුපාඩු අවම කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඩීසල් හා දැවි තෙල් බලාගාර පවත්වා ගත යුතු ආකාරය පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ අමාත්‍ය අනුකාරක සභාවේ දී සාකච්ඡා වී තිබෙනවා.

පරිසර හිතකාමී කාර්යක්ෂම විදුලි සැපයුමක් ලබා දීම සදහා වන නිර්දේශ ඉදිරිපත් කරන ලෙස දන්වමින් මෙම අනුකාරක සභාව පත් කර තිබූ අතර, ඊයේ (29) එය රැස්වූයේ එහි සාමාජිකයින් වන අමාත්‍ය වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන සහ වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්.

වසර 2025 වන විට මෙරට ඩීසල් හා දැවි තෙල් භාවිතය සියයට 5 දක්වා අවම කිරීමට සැලසුම් සකස් කිරීම ද මෙහි ප්‍රධාන අරමුණක්.

අනුකාරක සභාවේ නිර්දේශ ඉදිරි සති 02 ඇතුලත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි මෙම හමුවෙන් අනතුරුව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ෴

******************************************

(30.03.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

රසායනාගාර සීමිත ගණනක් තිබුණ ද පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් පිළිකා කාරක අඩංගු බවට පරීක්ෂණ සිදුකළ හැක්කේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පමණක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එම නිසා ප්‍රථමයෙන් කළ යුත්තේ කඩිනමින් අදාළ ගැටළුව විසදීමට බලධාරීන් කටයුතු කිරීම බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

******************************************

(30.03.2021 – 08:52 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබදව අවසන් තීන්දුවට, පක්ෂ නායක රැස්වීමකින් අනතුරුව එළඹීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාව පළ කර තිබෙනවා.

එහෙත්, කැබිනට් අමාත්‍යවරුන් වැඩිදෙනෙකුගේ කැමැත්ත කොට්ඨාශ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම බවයි ඊයේ (29) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේ.

දිගින් දිගටම කල් දැමෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ විකල්ප යෝජනා 02 ක් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය දා අමාත්‍ය මණ්ඩලයට වෙත ඉදිරිපත් කර තිබුණා ෴

******************************************

(30.03.2021 – 09:37 +0530 – hirunews.lk/sinhala)

ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 04 ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

හෙට (31) දිනයේ සිට අදාළ නිෂ්පාදන මෙරට භාවිතය තහනම් වන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ඒ අනුව එක්වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල්, මයික්‍රෝණ 20 ට අඩු ලන්ච් සීට්, සැෂේ පැකට් (ආහාර හා ඖෂධ නොවන), කොට්න් බඩ් හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ද ඊට අයත්.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධව ඊයේ (29) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, ඉහත සඳහන් කළ ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය කිරීම හෙට (31) සිට තහනම් කර ඇති බවයි.

සමාගම් කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම් සළකා බලමින් දැනට නිපදවා අවසන් කර ඇති අදාළ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා මාස තුනක් (3) වැනි කෙටි කාලයක් ලබා දෙන බව ද අවධාරණය කර ඇති අමාත්‍යවරයා එම නිෂ්පාදන අපනයනය සඳහා කිසිදු බාධාවක් පනවා නොමැති බව ද අවධාරණය කර සිටියා.

******************************************

(30.03.2021 – 09:40 +0530 – hirunews.lk/sinhala)

හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් හෙට (31) පස්වරු 10 සිට අප්‍රේල් 01 වනදා පස්වරු 04 දක්වා පැය 18 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව වනවාසල, ඔලියමුල්ල, වත්තල මීගමුව පාර, ඇවරියවත්ත පාර, තෙලගපාත, මීගහවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇලකන්ද යන ප්‍රදේශ සහ හැදල පාර කොටසක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

******************************************

(30.03.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala)

රථවාහන තදබදය අවම කිරීම සඳහා කොළඹ නගර සීමාව තුළ කුළුණු මත දිවෙන දුම්රිය මාර්ග 04 ක් ඉදිකිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රක්ත, හරිත, නීල හා දම් ලෙස එම දුම්රිය මාර්ග නම් කර ඇති බවයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ෴

******************************************

(30.03.2021 – 10:49 +0530 – hirunews.lk/sinhala)

රාජාංගනය ප්‍රදේශයේදී මෝටර් රථයක් ඇළකට පෙරලීමෙන් අද (30) අලුයම සිදුවූ අනතුරකින් අට (8) හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එකම පවුලේ පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එම අවස්ථාවේ එහි පස්දෙනෙකු (5) සිට ඇති බවයි රාජාංගනය පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ එම පවුලේ බාල දියණියයි.

එම පවුලේ මව, පියා සහ දියණියන් තිදෙනා (3) බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි හිතවතෙකුගේ නිවසකට ගොස් නැවත රාජාංගනය, අඩම්පනේ පිහිටි සිය නිවස කරා පැමිණෙමින් සිටින අවස්ථවේ ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වර්තා වන්නේ.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

******************************************

(30.03.2021 – 12:00 +0530 – hirunews.lk/sinhala)

සීගිරිය නව නගරය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ තිබී පුද්ගල මළ සිරුරක් අද (30) අලුයම සීගිරිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

තියුණු ආයුධයකින් ගෙල කපා දැමීමෙන් මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවයි පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබලෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනයට යොදාගත් ආයුධය ද සමඟ අද (30) අලුයම සීගිරිය පොලිසියට පැමිණ භාරවී ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්ව ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි තිදරු (3) පියෙකු වන අතර ඔහු කලක සිට හමුදා සෙබළාගේ බිරිඳ සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවෙන් මැල්සිරිපුර ප්‍රදේශයේ සිට ගුවන් හමුදා සෙබලා නිවසක් කුලියට ගෙන බිරිඳ සහ දරුවන් දෙදෙනා (2) ද සමඟ සීගිරිය ප්‍රදේශයට පදිංචියට පැමිණ ඇති බවටයි කරුණු අනවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් දිගින් දිගටම තමන්ට මෙම පුද්ගලයා කරදර කිරීම් හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවයි පොලිසියට භාර වූ ගුවන් හමුදා සෙබලා සහ ඔහුගේ බිරිඳ පොලිසියට පවසා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

(30.03.2021 – 12:33 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරිකයෙකු ගෙන් අල්ලස් ලබා ගත් වැලිවේරිය පොලිස් ස්ථානයේ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ව්‍යාපාරිකයාගෙන් රුපියල් දස දහසක (10,000) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත්තේ ඔහුට විරුද්ධව ලොරි රථ ආරවුලක් සම්බන්ධයෙන් ඇති පැමිණිල්ලකට නීත්‍යානුකූලව කටයුතු නොකිරීම සඳහායි.

ඒ අනුව අදාළ අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් අතර එම අවස්ථාවේදී ඔහු අල්ලස් ගත් මුදල ගිල දමා ඇති බව සඳහන්.

පසුව සැකකරු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ ෴

******************************************

(30.03.2021 – 12:49 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් පනත යටතේ දූෂණ චෝදනාවක් එල්ල වී සිටි හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තුන් දෙනා (3) නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළා.

ඒ, එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ අද (30) කැදවූ අවස්ථාවේදියි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිණී සේනානායක අධිකරණය හමුවේ දැනුම් දුන්නේ විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගන්නා බවයි.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ විත්තිකරුවන් ලෙස නම් කර ඇති හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩූ නිදොස් කොට නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මොහාන් පීරිස්, නීතිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ලෙකෝ සමාගමට ඉඩමක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් එම සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරින්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරීම වැළැක්වීම සඳහා අයුතුසහගත ලෙස නීතිපති වාර්තාවක් ලබාදුන් බව පවසමින් අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *