පිළිකා කාරක අඩංගු පොල්තෙල් කිලෝ මිලියන 1.8 ක් ප්‍රතිඅපනයනයට

පිළිකා කාරක අඩංගු පොල්තෙල් කිලෝ මිලියන 1.8 ක් ප්‍රතිඅපනයනයට

*********************************************

පිළිකා කාරක අඩංගු පොල්තෙල් කිලෝ මිලියන 1.8 ක් ප්‍රතිඅපනයනයට

(29.03.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala)

ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට 2 වන වරටත් තහවුරු වූ පිරිපහදු නොකළ පොල් තෙල් කිලෝග්‍රෑම් මිලියන 1.8 ක් කඩිනමින් ප්‍රතිඅපනයනයට පියවර ගන්නා බව රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවීප්‍රිය මහතා ප්‍රකාශ කළා.

ප්‍රශ්නගත පොල් තෙල් තොගය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කල අනාවරණය හමුවේ සමාජය තුල ඒ පිළිබඳව ඇති වූයේ දැඩි කතාබහක්. ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (29) කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රේගු අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළා.

එම මාධ්‍ය හමුවට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න ද එක්ව සිටියා.

එහිදී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ මින් ඉදිරියට ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් අවසන් සාම්පල් පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් එම ආහාර ද්‍රව්‍ය ආනයනික සමාගම් වල ගබඩා වෙත මුදා හැරීම සිදු නොකරන බවයි.

සමාගම් 3 ක් මගින් මෙරටට ගෙන්වූ පොල්තෙල් තොග වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අඩංගු බැවින් ඒවා ප්‍රතිඅපනයනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය නිර්දේශ කරනු ලැබුවේ පසුගිය 4 වනදායි.

කෙසේ වෙතත් ඒ වන විටත් අදාළ පොල්තෙල් තොග ආනයනික සමාගම් වල ගබඩා වෙත මුදා හැර තිබුණා. ඒ, තත්ත්ව පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් වෙළඳ පොලට නිකුත් නොකිරීමේ කොන්දේසිය මතයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් ප්‍රමිතියෙන් තොර බවට තහවුරු කර තිබියදී ආනයනික සමාගම් සිදුකල අභියාචනා මත ප්‍රශ්නගත පොල්තෙල් තොගයේ සාම්පල 2 වන වරටත් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු කලා.

ඒ අනුවයි සමාගම් 3 ක් ආනයනය කල පිරිපහදු නොකල තෙල් තොග වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකන් අඩංගු බව නැවත වරටත් සනාථ වුනේ.

මෙම පොල්තෙල් වෙළඳපොලට නිකුත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිස්ත්‍රික්ක 24 ම ආවරණය වන පරිදි අහඹු සාම්පල ලබා ගැනීම පසුගියදා ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත්, මතුව ඇති මෙම අර්බුදකාරී තත්වය හමුවේ උත්සව සමයේදී පොල්තෙල් මිල ඉහළ යනු ඇති බවට ජනතාව බිය පල කරනවා.

මේ අතර, විෂ සහිත ආහාර ද්‍රව්‍ය මෙරටට රැගෙන එන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් පැමිණවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

+++++++++++++

(29.03.2021 – 20:20 +0530 – hirunews.lk/sinhala)

මේ අතර ආනයනික පොල් තෙල් අර්බුදය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(29.03.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂීම් සමඟ උතුරු – නැගෙනහිර යුද සමයේ අවසන් කාලයේ සිට සබඳතා පැවැත්වූ සියළු පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳව ද පුළුල් විමර්ශනයක් සිදුකළ යුතු බව පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබද අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව පවසනවා.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කොළඹ සහයක රදගුරුවරුන් සහ අදාළ කමිටුවේ සාමාජිකයින්ගේ අත්සන් සහිතව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පාස්කු කොමිසම් වාර්තාවෙන් නම් කර නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට නිර්දේශ කර ඇති දේශපාලන නායකයින් සහ නිලධාරීන්ට එරෙහිව කඩිනමින් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

එසේම ප්‍රහාරයට සම්බන්ධවූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සියළු නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ වගකීම බව සිහිපත් කරන අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව, මෙම ක්‍රියාවලිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීම අඩාල කරන කිසිදු ආකාරයක දේශපාලන බලපෑමක් නොකරන ලෙස රජයේ මෙන්ම විපක්ෂයේ සියළු දේශාපලන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටිනවා.

******************************************

(29.03.2021 – 20:32 +0530 – hirunews.lk/sinhala)

යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ට දිවි ඇති තෙක් වැටුප් ලබාදීමට ආණ්ඩුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමසීම සඳහා

මියගිය රණවිරු යැපෙන්නන්ගේ එකමුතුව අද (29) ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියා.

ඔවුන් අමාත්‍යාංශයට පිවිසීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.

ත්‍රිවිධ හමුදා, පොලිසියේ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ගේ එකමුතුව කොළඹ කොටුවේ සිට ආරක්ෂක අමාත්‍යාංශය වෙත අද පා ගමනින් පැමිණියේ තමන්ට හිමිවන වැටුප දිවි ඇති තෙක් ලබාගැනීමේ ඉල්ලීම වෙනුවෙන්.

ඔවුන් පැවසුවේ මීට පෙර ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් අදාළ වැටුප ලබාදෙන බවට පොරොන්දු වූ බවයි.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් ආරක්ෂක අමාත්‍යාංශයට ඇතුළුවීමට යාමේදි පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

අනතුරුව විරෝධතාකරුවන්ගෙන් 6 දෙනෙකුට ආරක්ෂක අමාත්‍යාංශයෙන් සාකච්ඡාවක් හිමි වූ අතර පිටතට පැමිණි විරෝධතාකරුවන් පැවසුවේ ඉන් විසඳුමක් හිමි නොවූ බවයි.

විරෝධතාකරුවන් තවත් සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය අතර එහිදීද විසඳුමක් හිමි වී නැහැ.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් විසිර ගියේ දින 10 කින් ගැටලුවට විසඳුමක් නොලැබුණහොත් නැවතත් විරෝධතාවයේ නිරතවන බව පවසමින්.

******************************************

(29.03.2021 – 20:51 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නිසා යටපත්ව තිබුණත් ඩෙංගු, නම ඈසූ පමණින් බොහෝ දෙනෙකු තවමත් භීතියට පත්වන රෝගයක්.

නිෂ්චිත ඖෂධයක් නොමැතිවීම නිසා රෝග පාලනයට ඇති එකම විසඳුම වන්නේ රෝග ව්‍යාප්තියට හේතුවන මදුරුවන් තුරන් කිරීමයි.

දීර්ඝ කාලීන පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ඩෙංගු රෝගය මෙරටින් තුරන් කිරීමට වඩාත් සුබදායී ඉදිරි පියවරක් තැබීමට මෙරට සෞඛ්‍ය අංශවලට හැකිවී තිබෙනවා.

වෛරසයක් මගින් බෝවන ඩෙංගු රෝගයේ වාහකයා ලෙස කටයුතු කරන්නේ ආසාදිත මදුරුවෙක්.

මෙරට සිටින 140 ක් පමණ වන මදුරු විශේෂ අතරින් ඩෙංගු රෝගයේ වාහක මදුරු විශේෂ ලෙස සැළකෙන්නේ රීඩිස් රීජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන විශේෂයි.

ඩෙංගු, මෙරට බෝවන රෝග අතර ඉදිරියෙන්ම තිබෙන රෝගයක් බවට ඩෙංගු පත්ව ඇත්තේ නිශ්චිත ඖෂධයක් හෝ එන්නතක් සොයා ගැනීමට තවමත් සෞඛ්‍ය අංශවලට නොහැකිවීම හේතුවෙන්.

සෞඛ්‍ය අංශ පවසන්නේ රෝගය පාලනය කළ හැකි එකම විසඳුම රෝග වාහන මදුරුවන් පාලනය කිරීම බවයි.

මේ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ අනුක වෛද්‍ය ඒකකයේ පිරිසක් වසර 5 ක් පුරා සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵල අනුව යම් කඩඉමකට පැමිණීමට හැකිව තිබෙනවා.

පරීක්ෂණාගාර තුළ ඇති කළ වන්ද්‍යාකරණය කරන ලද පිරිමි ඩෙංගි මදුරුවන් පරිසරයට මුදා හැරීමෙන් පසු එම ප්‍රදේශවල සිටින ගැහැණු මදුරුවන් සමඟ ප්‍රජනනය සිදු කරනු ලබනවා.

පර්යේෂකයින් පවසන්නේ අදාළ ගැහැණු මදුරුවන් දමන බිත්තර නිසරු බිත්තර වන අතර එම බිත්තරවලින් යලි මදුරුවන් ඇති නොවන බවයි.

එමෙන්ම එම පිරිමි මදුරුවන් මිනිස් රුධිරය උරා බීමක් සිදු නොකරන අතර ඩෙංගි හෝ වෙනත් රෝගයක් ඇති නොකරන බවද පර්යේෂකයින් පවසනවා.

වන්ද්‍යාකරණය කරන ලද පිරිමි මදුරුවන් පරිසරයට නිදහස් කිරීමේ නියමු වයාපෘතියේ පළමු අදියර ගම්පහ කිඩගම්මුල්ල ග්‍රාම නිලධාරී වසමේදී අද සිදු කෙරුණා.

******************************************

(29.03.2021 – 22:10 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජිං පින් මහත්වරුන් අතර අද (29) සවස දුරකථන සංවාදයක නිරතවූ බවත් එහිදී සෑම කේෂ්ත්‍රයකම අන්‍යොන ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමක් කොට වර්ධනය කිරීමට එකඟත්වය පළ කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට දිගටම උදව් කරන බවත්, බහුපාර්ශ්වික වේදිකාවලදී මුහුණපෑමට සිදුවන අයුක්තිසහගත බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථීර සාර ලෙස පෙනී සිටින බවද මෙහිදී චීන ජනාධිපතිතුමා සඳහන් කර ඇති බවටයි වාර්තා වන්නේ ෴

******************************************

(29.03.2021 – 22:24 +0530 – hirunews.lk/sinhala)

පොදු මහජන අපේක්ෂා සැලකිල්ලට ගෙන නව ව්‍යවස්ථාවක් සම්මත කරන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දමන ලෙස මහා සංඝරත්නය ඉල්ලීමක් කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කරමින් මහා සංඝරත්නය සදහන් කර ඇත්තේ පැරණි පළාත් සභා ක්‍රමය නැවත ස්ථාපිත කිරිම සඳහා කඩිනමින් මැතිවරණයක් පැවැත්වීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවයි.

කරුණු 6 ක් මුල්කර ගනිමින් පූජ්‍ය ඕමාරේ කස්සප අනු නා හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නය විසින් මෙම ලිපිය ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය පිණිස යොමු කර තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ මහජන අපේක්ෂා අනුව සහ මැතිවරණයට පෙර ලබාදුන් පොරොන්දු අනුව නව ව්‍යවස්ථාව සම්මත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවයි.

නව ව්‍යවස්ථාව පිළිබඳ සැළකිල්ලක් නොදක්වා මහජන අපේක්ෂාවට පිටුපාමින් පළාත් සභා මැතිවරණය පැවැත්වුවද මහජනතාවගේ දෙවන අපේක්ෂා වවන මනාප ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා නව පළාත් සභා පනතක් අවශ්‍යවන බව එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

මහා සංඝරත්නය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වය තවදුරටත් පවතින තත්ත්වයක් යටතේ සහ භයානක තුන්වන රැල්ලක් මතුවීමේ අවදානමක් තිබියදී අත්‍යවශ්‍ය නොවන මැතිවරණයක් දේශපාලන වුවමනාවක් මත පැවැත්වීම මගින් පවතින ආණ්ඩුව මහජන අප්‍රසාදයට පත්විය හැකි බවයි.

රට ආර්ථික අර්බුදයක ගිලී පවතින තත්ත්වයක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා රුපියල් කෝටි 500 ක් වැනි මුදලක් වැය කිරීම යෝග්‍ය නොවන බවද මහා සංඝරත්නය යොමු කළ අදාළ ලිපියේ වැඩිදුරටත් සදහන්.

******************************************

(30.03.2021 – 06:43 +0530 – hirunews.lk/sinhala)

ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය සහ ගිනිකොණදිග අරාබි මුහුද ආශ්‍රිතව පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 48 තුළ අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි.

එම පද්ධතිය ඊසාන දෙසට ගමන් කිරීමේදී ගැඹුරු මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බව කාලගුණ විද්‍යා නිවේදනයේ සදහන්.

ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ද ඉදිරි පැය 24 තුළ අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව සඳහන්.

මේ හේතුවෙන් ඉදිරි පැය 72 තුළ බෙංගාලබොක්ක – උතුරු අන්දමන් මුහුද සහ දකුණු අන්දමන් මුහුද ඇතුළු ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කෙරෙනවා.

එමෙන්ම, ඉදිරි පැය 24 තුළ ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස දැනුම් දෙනවා.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ වැසි ඇද හැලීම හේතුවෙන් කොළඹ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, පැල්මඩුල්ල සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා පළමු මට්ටමේ නාය යාමේ අවදානමක් නිකුත් කරන බවයි.

එමෙන්ම, පසුගිය පැය 24 තුළ මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇද හැලුණු ඇහැලියගොඩ ප්‍රදේශයට දෙවන මට්ටමේ නාය යාමේ අවදානමක් නිකුත් කර තිබෙනවා ෴

******************************************

(30.03.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

පාස්කු කොමිෂන් වාර්තාවේ නිර්දේශ සලකා බැලීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව හෙට (31) ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.

පසුගිය 15 වනදා අදාළ අනු කමිටු වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට නියමිතව තිබුණ ද ඔවුන් තීරණය කළේ තවත් සති 2 ක කාලයක් ලබාගෙන වාර්තාව අවසන් කිරීමටයි.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම අමාත්‍ය අනුකමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිළ, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුයි.

මේ අතර, පාස්කු ඉරු දින ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන අයෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් හමුවේ මෝසමක් ගොනු කරමින් ඊයේ (29) කියා සිටියා.

අදාළ පුද්ගලයා ‘මොහොමඩ් අයුක් මොහොමඩ් ෆස්ඛාන්’ නමැත්තෙක්.

මීට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින තවත් අයෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අධිකරණය ඊයේ (29) අවසර ලබා දුන්නා ෴

******************************************

විෂ පොල්තෙල්වලට කලින් ගෙන ආ විෂ මිරිස්

(28.03.2021 – 19:37 +0530 – sinhala.adaderana.lk)

ආහාර ආනයනය කිරීමේ දී ඒවායේ සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා නිසි වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දියයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ එවන් නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම තුළින් ශරීරයට අහිතකර බොහෝ ආහාර ද්‍රව්‍ය ජනතාවට පරිභෝජනය කිරීමට සිදුව ඇති බවය.

මේ අතර ආනයනික පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවූ පළමු අවස්ථාව මෙය නොවන අතර කිරිපිටි හා වියළි මිරිස් සම්බන්ධයෙන්ද මෙවැනිම සිදුවීම් මීට පෙර වාර්තා වුණි.

2019 වසරේ සැප්තැම්බර් මසදී සමාගම් 17 ක් විසින් මෙරටට ආනයනය කළ ඇෆලටොක්සීන් අඩංගු වියළි මිරිස් මෙට්‍රික්ටොන් 200 කට අධික ප්‍රමාණයක් වෙළෙඳපොළට නිදහස්වීම දැඩි කතාබහට ලක්වුණි.

රසායනාගාර පර්යේෂණ වාර්තා ලැබීමට පෙර ඒවා මුදාහැරීම සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවට අභ්‍යන්තර නඩු කටයුත්තක් ආරම්භ කිරීමටත් සිදුව තිබුණි.

ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් ආනයනය කිරීමෙන් පසු ඒවායේ තත්ත්ව වාර්තා ලැබීම ප්‍රමාදවීම හා එතෙක් සමාගම්වල ගබඩා වෙත බහාලුම් නිදහස් කිරීම යන කරුණු සම්බන්ධයෙන් රජය යළි සලකා බැලීම මෙහිදී අත්‍යවශ්‍ය කරුණකි.

ඒ අනුව රාසායනාගාරවලින් ශරීරයට අහිතකර බවට තහවුරුකර තිබියදීත් ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත්වීමට හේතුව බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.

“ජනතා සෞඛ්‍යට වඩා ව්‍යාපාරික අවශ්‍යතාවයන් සැපිරෙනව ද කියලා කරුණක් අපිට මතු වෙනවා. මීට කලින් මිරිස් ගෙන්වීමේදීත් මෙවැනිම තත්ත්වයක් ඇති වුණා. නමුත් ඒවා යටගිය කාරණා බවට පත්වුණා. දැන් පොල්තෙල් සම්බන්ධයෙනුත් ඇතිවෙලා තියෙන තත්ත්වය හමුවේ, මේවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙනවා.”

******************************************

ජයනාත් කොළඹගේ ඇතුළු ‘පාත් ෆයින්ඩරයන්’ අමෙරිකානු උවමනාවට අනුව රට මෙහෙයවීමට උත්සහා ගන්නවා – දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බංඩාර

(29.03.2021 – 20:23 +0530 – lankaleadnews.com)

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් මෙන්ම ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික වෛද්‍ය වසන්ත බංඩාර මහතා ‘ටෘත් විත් චමුදිත’ වැඩසටහනට සහභාගි වෙමින් පවසා සිටියේ, විදේශ කටයුතු ලේකම් ජයනාත් කොළඹගේ ප්‍රමුඛ ‘පාත් ෆයින්ඩරයන්’ අටවා තිබූ ජිනීවා මර උගුලට පය නොතැබීමට විදේශ අමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතාට පෞරෂයක් තිබෙන බව තමන් ඇතුළු ජාතිකවාදී පිරිස් මුල සිටම දැන සිටි බවත්, සමහරුන් පවසන පරිදි මංගල සමරවීර වැනි ජාතිය පාවා දෙන්නන්ගේ භූමිකාව රඟ දැක්වීම දිනේෂ් ගුණවර්ධන අමාත්‍යයවරයා කිසි ලෙසකින්වත් නොකරන බවත් පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ ‘පාත් ෆයින්ඩර්’ නම් සංවිධානයේ ප්‍රබල භූමිකාවක් ඉටුකරන මිලින්ද මොරගොඩ වැන්නවුන් බොහෝ දෙනෙක් ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙන්ම ආණ්ඩුවට බාහිරින් සිටිමින් අමෙරිකානු වුවමනාව අනුව ආණ්ඩුවේ ගමන පීලි පැන්නවීමට කටයුතු කරමින් සිටින බවයි.

තමන් ඇතුළු ජාතිකවාදීන් පෙනී සිටින්නේ 69 ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවන් ජයග්‍රහනය කරවීම වෙනුවෙන් බවත් එය ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යට යහපත් බව තමන් විශ්වාස කරන බවත් පවසා සිටියේය.

‘පාත් ෆයින්ඩර්’ සහ ‘බෝන් අගේන්’ සතුරන් ගෙන් මව්බිම බේරා ගනිමු !

@@@@@@@@@@@@@@

(29.03.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

මාර්තු මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් යාපනය දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 300 ට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා සඳහන් කළේ විවිධ කාණ්ඩ ඉලක්ක කරගෙන කොරෝනා පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙන බවයි.

පවතින අවදානම සැලකිල්ලට ගෙන යාපනය නගරයේ කොටසකට සහ තිරුනෙල්වේලි ප්‍රදේශයේ කොටසකට ද සංචරණ සීමා පනවා තිබෙනවා.

ඊයේ (28) වැඩිම ආසාදිතයින් පිරිසක් තුන්වන (3) දිනටත් වාර්තා වූයේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යව 63ක්.

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද (29) සිට සතියක් වසා දැමීමට ද බලධාරීන් පියවර ගත්තා.

යාපනය දිස්ත්‍රික්කයේ සිට වෙනත් දිස්ත්‍රික්ක වෙත ගමන් කරන මගී ජනතාවට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

මේ අතර, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුලු මන්ත්‍රීවරුන් 7දෙනෙකු, සහ කාර්ය මණඩලයේ 20 දෙදෙනෙකුට මෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයින් ඇතුළු 29 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වී තිබෙනවා.

එමෙන්ම, බස්නාහිර පළාතේ සියලු ශ්‍රේණි වල අධ්‍යන කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේෂ යටතේ අද (29) ආරම්භ කෙරුණා. ඒ අනුව පළාතේ පාසල් වල සියලු ශ්‍රේණි වල සිසු සිසුවියන් පැමිණිම ප්‍රශස්ථ මට්ටමක පැවති බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා සඳහන් කළේ.

+++++++++++++++++++++

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 05 ක් අද (29) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 566 ක් දක්වා ඉහළ ගියා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 71 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා ෴

++++++++++++++++++++

ඉන්ෆ්ලුඑන්සා එකවරම කොරෝනා වුන හැටි – ආචාර්ය සූරිය ගුණසේකර‍ සමග නෙම්සිරි ජයතිලක (29.03.2021)

++++++++++++++++++

ක්ෂුද්‍ර සහ ලීසිං ණය උගුලේ වැටී ඇති ජනතාව පාරට වැටෙත්දී මුදල් අමාත්‍යාංශයේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරුවන් මර නින්දේ

(30.03.2021 – 14:55 +0530 – lankaleadnews.com)

අද වනවිට මෙරට වැසියන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ක්ෂුද්‍ර ණය සහ ලීසිං ණය උගුලේ වැටී ඇති බව රහසක් නොවේ.

මින් ව්ඩාත්ම පීඩාවට පත්ව ඇති පිරිසක් වන්නේ සංචාරක කර්මාන්තයේ යෙදී සිටි සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්ය. ඔවුන්ට අද සිදුවී ඇති සෝචනීය ඉරණම සහ ප්‍රකාශිත ලීසිං සහන පවා ඔවුනට මරාලයක් වී ඇති බවත් ඔවුන් නොකළ වරදකට ඔවුන් අද වන්දි ගෙවමින් සිටින බවත් සෑම තැනකින්ම අසන්නට ලැබේ.

මේ වීඩියෝවෙන් කියවෙන්නේ එම අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ දුන් එක් පුද්ගලයෙකුගේ පමණක් වන කඳුලු කතාවක් වන අතර මේ සඳහා ජනතාවගේ බදු මුදලින් පඩි ගන්නා මුදල් අමාත්‍යාංශයේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරුවන්ගේ සහ අදාල දේශපාළකයින්ගේ අවධානය වහ වහා යොමු විය යුතුය.

(මෙහි පලවන්නේ මෙම ඉරණමට පාත්‍රවූ වසන්ත මැදගොඩ මහතාගේ මුහුණු පොතෙන් උපුටාගත් වීඩියෝවකි)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ disabled Veterans. Their demands must be met. Stop buying and importing super luxury vehicles to MPs and top level government officials. If these veterans have been put on the firing line to safeguard the country and nation from enemies, they justly deserve a life long decent pension. Putting politikkos on pedestals and giving them all the luxuries they could think of is despicable, while Veterans starve. Stop this folly and pay back the veterans.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *