භාවිතයෙන් පසු පැළවෙන – අද (29) එළියට ආ අලුත්ම පෑන

භාවිතයෙන් පසු පැළවෙන – අද (29) එළියට ආ අලුත්ම පෑන

*********************************************

භාවිතයෙන් පසු පැළවෙන – අද (29) එළියට ආ අලුත්ම පෑන

(29.03.2021 – 16:58 +0530 – hirunews.lk/sinhala)

මහනුවර විද්‍යාලයක ශිෂ්‍යාවක් පරිසර හිතකාමී පෑනක් නිර්මාණය කර තිබෙනවා.

මෙම නිර්මාණය කළ සිසුවිය පේනවා දෙන්නේ එම පෑන භාවිතයෙන් පසු පැල කිරීමට හැකියාවක් ඇති බවයි.

අද (29) එම පෑන කොළොඹදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පිළිගන්වනු ලැබුවා.

+++++++++++++

******************************************

(29.03.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)

යුද්ධයේදී මිය ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් හා දෙමව්පියන්ට දිවි ඇති තෙක් වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා යුද්ධයේදී මිය ගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ගේ සංසදය අද (29) කොළඹ දී විරෝධතාවක නිරත වුණා.

පසුව ඔවුන් සාකච්ඡාවක් සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත කැදවාගෙන ගිය ද ඊට අවස්ථාව ලබා නොදීමත් සමඟ ආරක්ෂක නිලධාරීන් සමග උණුසුම් තත්ත්වයක් හට ගත් බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

ඉන් අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත විරෝධතාකරුවන්ගෙන් පිරිසක් රැගෙන ගොස් ඇත්තේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් එහි නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ලබාදෙන පොරොන්දුව සමඟයි ෴

******************************************

(29.03.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

වත්මන් විදුලි ජනන සැළසුම් සහ සිදුවිය හැකි අඩුපාඩු අවම කිරීම සඳහා යෝජිත ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය අනුකාරක සභාවක් පත් කර ඇති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

වාසුදේව නානායක්කාර, ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ වෛද්‍ය රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත මෙම අනුකාරක සභාවේ නිර්දේශ සති දෙකක් (2) ඇතුළත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු අතර එහි පළමු රැස්වීම අද (29) පස්වරු 03:00 ට පැවැත්වීමට නියමිතයි.

2025 වනවිට ඩීසල් හා දැවි තෙල් භාවිතය සියයට 5 ක් දක්වා අවම කිරීමටත් 2030 දී එය සියයට එකක් (1) දක්වා සීමා කිරීමටත් විදුලිබල අමාත්‍යාංශයේ අරමුණ වී තිබෙනවා ෴

******************************************

(29.03.2021 – 14:38 +0530 – hirunews.lk/sinhala)

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී පසුගිය 25 වනදා සොයාගත් කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තහවුරුකරගත් බව තලවකැලේ පොලිසිය පවසනවා.

මුලදී සැකකළ ආකාරයට මෙය සියදිවි හානිකරගැනීමක් නොවන බවත් අදාල කාන්තාවගේ සැමියා විසින් ඇයව ඝාතනය කර පසුව සිරුර රැගෙනවිත් ඉහළ කොත්මලේ ජලාශයට දමා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ආගරපතන, ටොරිංටන් වතුයායේ පදිංචිව සිටි 28 හැවිරිදි දෙදරු මවක් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

සැමියා සමඟ නිවසේදී ඇතිවූ ආරවුලක් අතර තුර සැමියා විසින් මැයට පොල්ලකින් පහර දී ඝාතනය කිරීමෙන් අනතුරුව පසුගිය 24 වන දින රාත්‍රියේ වෑන් රථයකින් සිරුර රැගෙන ගොස් ඉහළ කොත්මලේ ජලාශයට ගෙනවිත් දමා ඇති බවටයි හෙළිව ඇත්තේ.

සැකකාර සැමියා ආගරපතන නගරයේ වෑන් රථයක රියදුරෙක් වශයෙන් කටයුතු කරන අතර ඔහු පසුගිය 24 වන දින රාත්‍රියේ වෑන් රථයේ අයිතිකරුගෙන් ඉල්ලාගෙන රථය තම නිවස වෙත රැගෙනවිත් මියගිය බිරිඳගේ සිරුර එහි දමාගෙන රැගෙන ගොස් ඇති බවට දැනට කරන ලද මූලික පරික්ෂණ වලදි අනාවරණය වී තිබෙනවා.

සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ අපරාධය සම්බන්ධව පාපොච්චාරණය කර තිබෙනවා.

මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ සහ ආගරපතන පොලිසිය පරීක්ෂණ මෙහෙයවනවා ෴

******************************************

(29.03.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල බන්ධනාගාරයට ජංගම දුරකථන ඇතුළු නීතිවිරෝධී ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් (2) විසිකර තිබියදී එහි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ බන්ධනාගාරයට යාබද සිර ගෙදර පටු මාවතේ සිට ඊයේ (28) රාත්‍රියේ මෙම පාර්සල් දෙක (2) විසි කරන්නට ඇති බවට දැනට සැක පළ කරන බවයි.

පාර්සල් දෙකෙහි (2) තිබී ජංගම දුරකථන 4 ක්, දුරකථන ආරෝපණ 3 ක් සහ හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු කුඩා පැකට් 4 ක් ද සොයාගෙන තිබෙනවා ෴

******************************************

(29.03.2021 – 15:23 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයට යූ ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය දෙදෙනෙකු (2) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන ඒකකය සඳහන් කලේ මිට පෙර අවස්ථා ගණනාවකදීම මේ පිළිබඳව තොරතුරු ගණනාවක් වාර්තා වූ බවයි.

එම කොට්ඨාශය විසින් මේ පිළිබඳව අන්තර්ජාල සහ සයිබර් ගවේෂණයක් සිදු කිරීමෙන් අනතුරුව යාපනය නගරයේ නාවරල් වීදියේ පවත්වාගෙන ගිය මෙම වෙබ් අඩවිය සහ යූ ටියුබ් නාලිකාව වටලා දෙනෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක් සහ 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ෴

******************************************

(29.03.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම කමිටුව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි සති දෙක (2) තුළ රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ෴

+++++++++

1996 අංක 947/13 දරන ගැසට් පත්‍රය මගින් මුතුරාජවෙල අභයභූමියක් ලෙස ගැසට් කර තිබුණද එම අභයභූමියේ මායිම් ලකුණු කිරිමක් මේ දක්වා සිදු නොවීම පිලිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා කමිටුවේ දැඩි අවධානයට යොමු වී තිබෙනවා.

එම ගැසට් පත්‍රයෙන්ම මුතුරාජවෙල පරිසර පද්ධතිය මධ්‍යම පරිසර අධිකාරිය විසින් හෙක්ටයාර 2569 ක් ලෙස හඳුනාගෙන තිබුණද මේ වන විට ඉන් හෙක්ටයාර 1285 ක් පමණක් අභයභූමිය ලෙස සැලකීමට හේතු කවරේද යන්න පිලිබඳවත් මෙහිදී විමසීමට ලක් වුනා.

තවද හෙක්ටයාර 6000 ට අධික මුතුරාජවෙල පරිසර පද්ධතියට අයත් සමස්ත ඉඩම් ප්‍රමාණය සහ එතුල පවත්නා රජයේ සහ පුද්ගලික ඉඩම් ප්‍රමාණයන් තවමත් නිසි හඳුනා ගැනීමක් කිරීමට අදාල ආයතන අසමත් වීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

ඊට අමතරව මුතුරාජවෙල සිදුකරන සමීක්ෂණ හා පර්යේෂණ ප්‍රතිඵල, අදාල සියලුම අංශ අතර යාවත්කාලීන කිරීම හා ශ්‍රී ලංකාවට ආවේනික ශාක වාණිජකරණය නැවැත්වීමට මෙන්ම ජාන මංකොල්ලයන් නැවැත්වීමට විශේෂ සම්බන්ධිකරණ ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මෙහිදී රම්සා තෙත් බිම් කලාපයක් වන මුතුරාජවෙල ආරක්ෂා කර ගැනීමට වගකිවයුතු සියළු පාර්ශවයන්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමටත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තීරණය කලා ෴

******************************************

(29.03.2021 – 16:16 +0530 – hirunews.lk/sinhala)

අද (29) කිලිනොච්චිය කොකාවිල් ප්‍රදේශයේදී සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් ගසක ගැටීමෙන් එම රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය සඳහන් කළා.

පොලිසිය පැවසූවේ සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයේ පසුපස සවි කර තිබූ කන්ටේනර් පෙට්ටිය ගසක වැදීමෙන් එය දෙකඩ වී ඇති බවයි.

මෙම අනතුරින් රියදුරු බරපතල තුවාල ලබා ඇති අතර තුවාලකරු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය සඳහන් කළා.

ලොරි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

******************************************

(29.03.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

වන සංරක්ෂණ හා වනජීවි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු විසින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අදාලව මෑතකදී නිකුත් කර ඇති චක්‍රලේඛයක් බලරහිත කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය අද (29) අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කළා.

මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ රාජ්‍ය ආයතන විසින් සිදුකරනු ලබන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබදවයි.

ඒ සඳහා තම අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු බව අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ යැයි ඔවුන් සිය පෙත්සමෙන් පෙන්වා දෙනවා.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක, වනජිවි හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට තිබෙනවා ෴

******************************************

(29.03.2021 – 17:52 +0530 – hirunews.lk/sinhala)

දික්ඕවිට ධීවර වරායේ බෝට්ටුවක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා. එහිදී පොලීසිය සඳහන් කලේ හත් දෙනකු (7) තුවාල ලබා රෝහල්වලට ඇතුලත් කර ඇති බවයි ෴

******************************************

(29.03.2021 – 17:59 +0530 – hirunews.lk/sinhala)

මෙරට ප්‍රථම වායුසමනය කරන ලද ‘M Stop’ බස් නැවතුම බත්තරමුල්ල දියත උයන අභියස පසුගිය දින විවෘත කර තිබෙනවා.

මෙම බස්නැවතුම නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින්.

මෙහි කුඩා වෙළඳසැලක්, ATM යන්ත්‍රයක් සහ WiFi පහසුකම් හා දුරකථන ආරෝපණය කීරීමටද පහසුකම් සලසා ඇත ෴

******************************************

(29.03.2021 – 18:34 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීයකු විසින් සිවිල් වැසියෙකුට පහර දෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතිනවා

රථ වාහන අංශයේ පොලිස් නිලධාරීයෙකු විසින් මාර්ග මැද පුද්ගලයෙකුට ඉතා දරුණු ලෙස පහර ආකාරයකුයි එහි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සිදු වන ස්ථානය සම්බන්ධයෙන් මේ දක්වා තොරතුරක් ලැබි නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මෙම සිදුවීම සත්‍ය නම් ඊට අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

+++++++++++++

+++++++++++++

(29.03.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරන රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු මාර්ගයකදී අමානුෂික අන්දමින් පුද්ගලයෙකුට පහර දෙන දර්ශනයට අදාළ තොරතුරු පොලිස් මූලස්ථානය විසින් හෙළි කරගෙන තිබෙනවා.

ඒ අනුව හයිලෙවල් මාර්ගයේ මහරගම – පන්නිපිටිය ප්‍රදේශයේදී මෙලෙස පහරකෑමට ලක්වන්නේ ලොරි රථ රියදුරෙකු වන අතර පහර දෙන පොලිස් කොස්තාපල්වරයා මහරගම පොලීසියට අනුයුක්ත අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

අදාළ පොලිස් නිලධාරියා, රියදුරුට පහර දී බිම හෙළන අතර අනතුරුව රියදුරුගේ ශරීරය මතට වැරෙන් පනිනු දක්නට ලැබෙනවා.

මහරගම පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීම හේතුවෙන් අදාළ පොලිස් නිලධාරියා මෙම පහරදීම සිදුකර ඇති බවට හෙළි වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

කෙසේ වෙතත්, සිද්ධියට අදාළව ලොරි රථ රියදුරාට පහරදීම සිදුකළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට උපදෙස් දුන් බවයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ෴

++++++++++++

+++++++++++++

(30.03.2021 – 06:22 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍යයේ සඳහන්වූ, පන්නිපිටිය ප්‍රදේශයේදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අද (30) දින නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++

@@@@@@@@@@@@@@@

(29.03.2021 – 18:53 +0530 – hirunews.lk/sinhala)

තවත් ආසාදිතයින් 291 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ සමඟ මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 88,914 දක්වා ඉහළ ගියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *