බ්‍රිතාන්‍යය, කැනඩාව පදනම් කරගත් දෙමළ සංවිධාන රැසක් තහනම් කෙරේ – පුද්ගලයින් 388 කුත් තහනම් ලැයිස්තුවට

බ්‍රිතාන්‍යය, කැනඩාව පදනම් කරගත් දෙමළ සංවිධාන රැසක් තහනම් කෙරේ – පුද්ගලයින් 388කුත් තහනම් ලැයිස්තුවට

*********************************************

බ්‍රිතාන්‍යය, කැනඩාව පදනම් කරගත් දෙමළ සංවිධාන රැසක් තහනම් කෙරේ – පුද්ගලයින් 388 කුත් තහනම් ලැයිස්තුවට

(29.03.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුලු රටවල් කිහිපයක් පදනම් කරගනිමින් ක්‍රියාත්මක දෙමළ ඩයස්පෝරා සංවිධාන හතක් (7) සහ පුද්ගලයින් 388 දෙනෙකු තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

පෙබරවාරි 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තහනම පැනවීමටයි ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඕස්ට්‍ර්ලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ තරුණ සංවිධානය සහ ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව එලෙස තහනම් කළ සංවිධාන වනවා.

2014 වසරේදී දෙමළ සංවිධාන 16 ක් සහ පුද්ගලයින් 424 දෙනෙකු තහනම් සංවිධාන හා පුද්ගලයින් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, එහි සඳහන්ව තිබූ සංවිධාන අටක් (8) සහ පුද්ගලයින් 269 දෙනෙකුගේ නම් ඉවත් කරමින් පසුගිය රජය 2016 වසරේදී යළි ගැසට් නිවේදනයක් නිකුත් කළා.

කෙසේ වෙතත් පෙබරවාරි 25 වනදා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයට ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් ඇතුලු පුද්ගලයින් 388 දෙනෙකු ද ඇතුළත් කර තිබෙනවා.

ඒ අතර බ්‍රිතාන්‍යය, තායිලන්තය, නවසීලන්තය, බෙල්ජියම, ස්විට්සර්ලන්තය, කැනඩාව, ඩෙන්මාර්කය, පින්ලන්තය සහ ප්‍රංශය ඇතුලු රටවල් රැසක වෙසෙන පුද්ගලයින්ද රජය විසින් මෙම තහනම් ලැයිස්තුවට ඇතුළත් කර තිබීම විශේෂත්වයක් ෴

******************************************

(29.03.2021 – 12:05 +0530 – hirunews.lk/sinhala)

පසුගිය අඟහරුවාදා සිට සූවස් ඇළේ සිරවී තිබූ ‘එවර් ගිවන්’ නෞකාව මුදා ගත් බව ප්‍රකාශ වීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඩොලරයකින් පහළ ගියා.

ඒ, අනුව බ්‍රෙන්ට් තෙල් බැරලයක නව මිල සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 63.67 ක් වශයෙන්.

සූවස් ඇළේ මෙම නෞකාව සිරවී තිබීම හේතුවෙන් ලෝක වෙළඳපොළට දෛනිකව අමෙරිකානු ඩොලර් බිලියනකට ආසන්න අලාභයක් විඳින්නට සිදුවුණා.

මේ අතර සූවස් ඇළේ යාත්‍රා කටයුතු අඩාල වීම නිසා නැව් 369 ක් පමණ මුහුදු මාර්ග ඔස්සේ නවතා තිබුණා.

එලෙස නැවත තිබූ ඇතැම් නෞකා සත්ත්වයින් දහස් ගණනක් රැගෙන යන නෞකාවන අතර, මියයාමේ අවදානමක් මතුව සිටි එම සත්වයින්ගේ අවදානම නෞකාව මුදාගැනීමත් සමඟ යම්තාක් දුරට පහව ගොස් තිබෙනවා ෴

******************************************

(29.03.2021 – 12:42 +0530 – hirunews.lk/sinhala)

ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ දරුවන් තමන් සේවය කරන පාසල් වෙත ඇතුළත් කිරීමට ලබාදී තිබූ පහසුකම ඉවත් කර ඇති බවට චෝදනා කරමින් ලංකා ගුරු සේවා සංගමය මේ වනවිට නිහඬ විරෝධතාවක නිරතවනවා.

ඒ, බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදියි.

මේ අතර කැළණිය විශ්වවිද්‍යාලයේ සී.සී.ටී.වී. ඉවත් කිරීමේ සිද්ධියට අදාළව සිසුන් කිහිපදෙනෙකුගේ පන්ති තහනම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණ තිබෙනවා.

මේ අතර ජල යෝජනා ක්‍රමය කඩිනම් කර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අද (29) පෙරවරුවේ මහනුවර – අංකෙළිපිටියේ සිට තලාතුඔය නගරය දක්වා විරෝධතා පා ගමනක නිරතවුණා ෴

******************************************

(29.03.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශන ඇතුළත් වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වෙත යොමුකර තිබෙනවා.

අදාළ වාර්තාවේ දැක්වෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් පොලිස් නිලධාරීන් විසිදෙනෙකු (20) සහ සිවිල් පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම 34 දෙනා අතරින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු සහ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු (5) සහ සිවිල් පුද්ගලයින් 9 දෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව අදාළ විමර්ශන වාර්තාවේ දක්වා තිබෙනවා.

එසේම මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කළ ‘බඩෝවිට ලොකූ’ හෙවත් ‘රජිත අසංක’ සහ ‘උදාර සම්පත්’ යන දෙදෙනා (2) මේ වනවිට රටින් පලාගොස් ඇති බැවින් අධිකරණයෙන් ලබාගත් වරෙන්තු නියෝග අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවේ සඳහන් ෴

******************************************

(29.03.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව නාවික හා බහුදින ධීවර යාත්‍රාවල ධීවරයන් අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 ත් අතර 70 ත් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායු ගෝලයේ කැළඹිලි තත්වය හේතුවෙන්ද එම ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 55 ත් 65 ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මේ අතර සබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන් ෴

******************************************

(29.03.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

පොල් තෙල් අර්බුදය පිළිබඳව මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් :

******************************************

(29.03.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

බඹරකන්ද දියඇල්ල නැරඹීමට ගොස් අතරමංව සිටි කණ්ඩායම ඊයේ (28) පස්වරුවේ සොයාගැනුණා.

මෙම පිරිසට පැමිණි මග සොයා ගැනීම අසීරු වී තිබුණේ එම ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණයත් සමඟයි.

බදුල්ල දිස්ත්‍රික්කයට අයත් බඹරකන්ද දියඇල්ල නැරඹීයට ගොස් මග සොයා ගැනීමට නොහැකිව මෙලෙස අතරමංව සිටියේ ගල්කිස්ස ප්‍රදේශයේ සිට පැමිණි 11 දෙනෙකුගෙන් යුත් තරුණයින් පිරිසක්.

බඹරකන්ද, වන්ගෙඩිගල ප්‍රදේශයේ රාත්‍රිය ගතකර ඇති ඔවුන් ඊයේ (28) පස්වරුවේ නැවත සිය නිවෙස් කරා යාමේ අරමුණින් පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම පිරිස මාර්ගය සොයා ගැනීමේ ගැටලුවකට මුහුණ දී ඇත්තේ ඊයේ පස්වරුවේ එම ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාවත් සමග බඹරකන්ද දිය ඇල්ලේ ජල මට්ටම ඉහළ යාම සහ මීදුම් තතත්වය අධික වීම හේතුවෙන්.

අනතුරුව ඔවුන් මේ පිළිබඳව හල්දුම්මුල්ල පොලීසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය, එම ප්‍රදේශයේ ජනතාවගේද සහය ඇතිව සිදු කළ මෙහෙයුමකදී අදාළ තරුණයින් 11 දෙනා සොයාගැනීමට හැකි වී තිබෙනවා.

******************************************

(29.03.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

සුන්දර පරිසර පද්ධතියකට හිමිකම් කියන පස්සර – කහටරුප්ප – කොහොනාවල ගම්මානයයි මේ.

කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය කරගත් මෙහි ජනතාව බහුතරයක් බඩවියත රැකගන්නේ නොයෙකුත් දුක්ගැහැටවලට මුහුණදෙමින් ඒ අතරින් ප්‍රධානතම ගැටලුව වන්නේ පස්සර – කහටරුප්ප සිට කීනිගම, ඌරුමීතැන්න, ඉලුක්ගොල්ල, පල්ලේගම, පේරපිටිය හරහා කොහොනාවල ගම්මානය තෙක් වැටී ඇති මාර්ගයේ පවතින අබලන් තත්ත්වයයි.

කිලෝමීටර් 7 ක පමණ දුරකින් යුත් මෙම මාර්ගයේ අබලන් තත්ත්වය හේතුවෙන් අදාළ ගම්මානවල පවුල් 300 කට වැඩි පිරිසකට දැඩි අපහසුතාවලට මුහුණදීමට සිදුව තිබෙනවා.

ගම්වැසියන් චෝදනා කරන්නේ මේ පිළිබඳව අවස්ථා රැසකදී බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නැති බවයි.

අධිවේගී මාර්ග ඇතුළු හොඳ මාර්ග පද්ධතියක් සහිත රටක පස්සර – කහටරුප්ප – කොහොනාවල ජනතාවට ලැබී ඇති කුඩම්මාගේ සැලකිලි යථාතත්ත්වයට පත් කරන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

@@@@@@@@@@@@

(29.03.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා – සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් මස 19 වනදා සිට ලබාදෙන බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග ප්‍රමාණවත්ව පවතින බවයි.

එමෙන්ම චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් (6) ලබන 31 වනදා රාත්‍රියේදී මෙරටට ලැබීමට නියමිත බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා.

මේ අතර කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ගේ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය සාර්ථක මට්ටමක පවතින බව අනාවරණ වී තිබෙනවා.

ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය සිදුකළ පරීක්ෂණවලදියි.

(29.03.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (28) මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 249 දෙනාගෙන් 12 දෙනෙකු විදේශ ගතව සිට පැමිණි අය වන අතර, සෙසු 237 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින්.

ඊයේ (28) දිනයේද වැඩිම ආසාදිතයන් පිරිසක් එනම්, 63 දෙනෙකු වාර්තාවී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන්.

ඒ අනුව දෛනිකව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් අඛණ්ඩව යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ තුන්වන (3) අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මේ අතර දින විසි එකක් (21) වයසැති කොරෝනා ආසාදිතව මියගිය තම බිළිදු දියණිය ආදාහනය කිරීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ඇගේ දෙමාපියන් විසින් ගොනුකළ පෙත්සම සළකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ අද (29) ඉවත්වුණා.

පෞද්ගලික හේතුවක් මත තමන් නඩු විභාගයෙන් ඉවත්වන බව විනිසුරුවරයා සඳහන් කළේ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම අද (29) සළකා බැලුනු අවස්ථාවේයි.

මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ අද (29) සිට ඕස්ට්‍රේලියාව බ්‍රිස්බන් නුවර දින 03 කට වසා දමා තිබෙනවා.

බ්‍රිස්බන් නුවරින් මේ දක්වා ආසාදිතයින් 07 දෙනෙකු වාර්තා වී ඇති අතර තවදුරටත් වෛරසය පැතිර යාම අවම කිරීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ ෴

++++++++++++++++++

(29.03.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා දෙවන (2) රැල්ල ආරම්භ වී මාස 05 කට පසු අද (29) ආරම්භ වූ බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි සඳහා සිසුන්ගේ පැමිණීම ප්‍රශස්ථ මට්ටමක පවතින බව බස්නාහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව අධ්‍යයන කටයුතු සියලු පාසල්වල සිදු කෙරෙමින් පවතින බවයි.

දෙවන කොරෝනා රැල්ලත් සමඟ දිවයිනේ සියලු පාසල් වසා දැමුණු අතර පසුව ක්‍රමානුකූලව පාසල් ආරම්භ කෙරුණා.

නමුත් බස්නාහිර පළාතේ පැවති කොරෝනා අවධානම හේතුවෙන් බස්නාහිර පලාතේ පාසල් විවෘත කෙරුණේ නැහැ.

ඒ අනුව එහි මූලික අදියර ලෙස 5 සිට 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පසුගිය 15 වන දා ආරම්භ කෙරුණා.

ඉන් අනතුරුවයි ඉතිරි ශ්‍රේණි අද (29) විවෘත කරන බව ප්‍රකාශ කළේ.

පන්ති කාමරයක් තුළ සිටින සිසුන් සංඛ්‍යාව අනුව කණ්ඩායම් වශයෙන් බෙදා අධ්‍යයන කටයුතු සිදුකරන ලෙසට විශේෂ චක්‍රලේඛයක් මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබූ අතර ඒ අනුව ළමයින් කණ්ඩායම් වශයෙන් පාසල්වලට ගෙන්වා තිබුණා.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ සිසුන් පාසල් වෙත එවීමට කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසයි.

කෙසේ වෙතත් සිසුන් කොටස් වශයෙන් පාසල් වලට ගෙන්වීමට කටයුතු කිරීම නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි පාසල් වෑන් රථ සහ බස් රථ කර්මාන්තයේ යෙදෙන්නන් පවසනවා.

අද (29) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 95 ක් වාර්තා වී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *