බස්නාහිර පාසල්වල සියලු ශ්‍රේණි අද (29) සිට ඇරඹෙයි

බස්නාහිර පාසල්වල සියලු ශ්‍රේණි අද (29) සිට ඇරඹෙයි

*********************************************

බස්නාහිර පාසල්වල සියලු ශ්‍රේණි අද (29) සිට ඇරඹෙයි

(29.03.2021 – 06:12 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (29) විවෘත වනවා.

විශේෂ චක්‍රලේකයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දුන්නේ පංති කාමරයක් තුළ සිටින සිසුන් සංඛ්‍යාව අනුව කණ්ඩායම් වශයෙන් බෙදා අධ්‍යයන කටයුතු සිදුකරන ලෙසයි.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයට පසුවයි බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි අද (29) ආරම්භ වන්නේ.

කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පසුගිය 15 වනදා ආරම්භ කෙරුණා.

අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවසර ලබාදීමත් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ අද (29) දිනයේ සිට එම පාසල් ආරම්භ කිරීමටයි.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත්කළ විශේෂ චක්‍රලේකයේ දැක්වෙන්නේ සිසුන් 15 ක් දක්වා සිටින පංති සෑම සතියේ දිනකම පැවැත්විය යුතු අතර සිසුන් 16 ත් 30 ත් අතර සිටින පංති කණ්ඩායම් දෙකකට (2) බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතු බවයි.

සිසුන් 30 ට වැඩි පංති කණ්ඩායම් තුනකට (3) බෙදා සමාන දින සංඛ්‍යාවක් වනසේ පැවැත්විය යුතු බවට එහි තව දුරටත් දැක්වෙනවා.

එමෙන්ම බස්නාහිර පළාතේ ඇන්ග්ලිකන් සභාවට අයත් සියළු පාසල්වල අධ්‍යයන කටයුතු අද (29) ආරම්භ කරන බව ඇන්ග්ලිකන් සභාව නිවේදනය කළා.

මේ අතර, සෞඛ්‍ය නීති ආරක්ෂා කරමින් පාසල් දරුවන් ප්‍රවාහනය නොකරන රියදුරන් හා සහයකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මේ අතර කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් යාපනය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද (29) සිට සතියක් වසා තැබෙන බව දිස්ත්‍රික් ලේකම් ගනපති පිල්ලෙයි මගේෂන් මහතා ඊයේ (28) සඳහන් කළා.

+++++++++++++++++

(29.03.2021 – 08:42 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයන් 249 දෙනෙකු ඊයේ (28) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 92,088 ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා මරණ 02 ක් ඊයේ (28) වාර්තා වූ අතර, මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් (2).

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 561 ක් ලෙසයි.

තවදුරටත් ආසාදිතයන් 2,904 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 88,623 ක් ෴

++++++++++++++++++

(29.03.2021 – 08:42 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයන් 249 දෙනෙකු ඊයේ (28) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 92,088 ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා මරණ 02 ක් ඊයේ වාර්තා වූ අතර, මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් (2).

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 561 ක් ලෙසයි.

තවදුරටත් ආසාදිතයන් 2,904 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 88,623 ක් ෴

++++++++++++++++++

(29.03.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

මෙරට ප්‍රධාන අභ්‍යන්තර ගුවන් ගමන් සමාගමක් වන ‘සිනමන් එයාර්’ හි අභ්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් අප්‍රේල් 01 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ, කොරෝනා වෛරස් වසංගත තත්වයත් සමඟ අභ්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීමෙන් මාස ගණනාවකට පසුවයි.

ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුවල, රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් මෙම මෙහෙයුම් සිදු කෙරෙන අතර, ත්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට, තංගල්ල, කොග්ගල, සීගිරිය, යාපනය, අනුරාධපුර ඇතුලු ගමනාන්ත රැසකට අභ්‍යන්තර ගුවන් සේවා පහසුකම් සළසා ගැනීමට හැකියාව ලැබෙනු ඇති ෴

++++++++++++++++++++

(29.03.2021 – 10:32 +0530 – hirunews.lk/sinhala)

අද (29) උදෑසන 08:30 න් අවසන් වූ පැය විසි හතර (24) තුළ ගුවන් මගීන් 1,766 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණ තිබෙනවා.

එම කාලය තුළ භාණ්ඩ ප්‍රවාහන යානා 17 ක් මෙහෙයුම් කටයුතු සිදුකර ඇති බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

එමෙන්ම ගුවන් මගීන් 741 දෙනෙකු ගුවන් යානා 12 කින් කටාර් සහ එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

විදේශීය සංචාරකයන් 148 දෙනෙකුද පසුගිය පැය 24 තුළ කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ ඇති බව සඳහන් ෴

@@@@@@@@@@@@@

(29.03.2021 – 06:32 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයත් සමඟ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීමේවල ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

ඊයේ (28) දිනයේදී ද ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීම් 04 ක් වාර්තා වන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

බගවන්තලාව, මට්ටක්කුලිය, කුරුණෑගල සහ පුරවාසම්කුලම් යන ප්‍රදේශ වලින් මෙම සොරකම් කිරීම් වාර්තා වනවා ෴

******************************************

(29.03.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට සමාජයේ පිළිකා කාරක අඩංගු බවට පැවසෙන පොල්තෙල් අලෙවි වන බවට වාර්තා පළ වීමත් සමඟ ඉදිරියේදී පොල්තෙල්වල මිල ගණන් ද ඉහළ යා හැකි බවයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

මීට අමතරව උත්සව සමයේදී රට තුළ පොල්තෙල් හිඟයක් ද ඇති විය හැකි බවටයි පොල්තෙල් ආනයනකරුවන් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ආනයනික පොල්තෙල් බහලුම් 13 ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරකය අඩංගු බවට අනාවරණ වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් එම පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කළයුතු බවට පසුගියදා නිර්දේශ කළා.

අනතුරුව අදාළ පොල්තෙල් වෙළදපොළට නිකුත් නොවන බවට තවදුරටත් තහවුරු කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය අදාළ පොල්තෙල් ආනයනය කළ සමාගම් තුනෙහි (3) ගබඩා මුද්‍රා තැබීමටයි පියවර ගනු ලැබුවේ.

මෙම තත්ත්වය හමුවේ ආනයනික පොල්තෙල් වෙළදපොළට නිකුත් කිරීම අඩාල වී තිබෙනවා.

එම තත්ත්වයන් සලකා බැලීමේදී උත්සව සමයත් සමඟ පොල්තෙල්වල මිල ගණන් ඉහළ යා හැකි බවටයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ෴

******************************************

(29.03.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (28) පෙරවරු 07 සිට පස්වරු 05 දක්වා කාලය තුල බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 418 ක් ඇතුළු සැකකරුවන් 1120 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා ෴

******************************************

(29.03.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (29) රැස්වන කැබිනට් මණ්ඩලයේ දී ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට පවත්වන්නේ ද නැතහොත් නව කොට්ඨාස ක්‍රමයට පවත්වන්නේ ද යන්න තීරණය කෙරෙනු ඇති.

දිගින් දිගටම කල් දැමෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ විකල්ප යෝජනා 02 ක් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය දා අමාත්‍ය මණ්ඩලයට වෙත ඉදිරිපත් කර තිබුණා.

ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව අමාත්‍යවරුන් පිරිසක් ප්‍රකාශ කිරීම හේතුවෙන් එම සාකච්ඡාව සතියකින් කල් දැමුණු අතර, ඒ අනුවයි අද (29) එය යළි සාකච්ජාවට බදුන් වන්නේ.

මැතිවරණය පැරණි ක්‍රමයට පත්වන්නේ නම් මේ වනවිට සම්මත කර ඇති පළාත් සභා ඡන්ද විමසීමට අදාළ රෙගුලාසි අහෝසි කර පැරණි පනත බලාත්මක කිරීම එක් යෝජනාවක් වනවා.

එමෙන්ම, මැතිවරණය අනුපාත හා කොට්ඨාස මිශ්‍ර ක්‍රමයට පවත්වන්නේ නම් කොට්ඨාස මට්ටමෙන් සියයට 70 ක්ද අනුපාත ක්‍රමය යටතේ සියයට 30 ක් වශයෙන් මන්ත්‍රීවරුන් පත් කළ හැකි වන ලෙස නව පනත සංශෝධනය කිරීම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති දෙවන යෝජනාවයි.

කෙසේ වෙතත්, සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේ රජය පළාත් සභා මැතිවරණය කල් දැමීමට උත්සාහ කරන බවයි.

මැතිවරණය පවත්වන ක්‍රමවේදය නොව වැදගත් වන්නේ ඡන්දය පැවැත්වීම බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද පළාත් සභා මැතිවරණය පිළිබදව පක්ෂ ස්ථාවරය පැහැදිළි කරමින් කියා සිටියේ ඡන්දය මනාප ක්‍රමයට නොපැවැත්විය යුතු බවයි ෴

******************************************

(29.03.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

උඩවලව ජලාශය හා වනෝද්‍යානය ආශ්‍රිතව රැදී සිටින ජනතාවගේ ආකර්ශනයට ලක්වූ ‘රම්බෝ’ නැමති වන අලියා එම ප්‍රදේශයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යාමට වනජීවි නිලධාරීන් මේ වන විට කටයුතු කරන බවට පරිසරවේදීන් හා සත්ත්ව අවිහිංසාවාදී සංවිධාන චෝදනා කරනවා.

උඩවලවේ උපන් වයස අවුරුදු 50 ක් පමණ වන රම්බෝ ජනතා ආකර්ශනයට ලක්ව ඇත්තේ උඩවලව ජලාශය ආශ්‍රිතව නිරන්තරයෙන් රැදී සිටිමින් ජනතාව ලබාදෙන පළතුරු ආහාරයට ගැනීම හේතුවෙන්.

වසර 50 ක පමණ කාලයක් රම්බෝ මෙම ප්‍රදේශයේ ජීවත් වුවද මේ දක්වා කිසිවෙකුට හෝ දේපළකට හානියක් සිදුකර නොමැති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත්, ප්‍රදේශයේ උක් වගාවන්ට රම්බෝ නිරන්තරයෙන් හානි සිදුකරන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

ප්‍රදේශවාසීන්ගේ එම චෝදනා හමුවේ රම්බෝ උඩවලවෙන් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට වනජීවි නිලධාරීන් කටයුතු කර ඇති අතර, මීට පෙර එවැනි ආකාරයෙන් වන අලි වෙනත් ප්‍රදේශවලට රැගෙන යාම තුළ එම සතුන්ගේ ජීවිතවලට තර්ජන එල්ලවූ අවස්ථා බහුලව වාර්තා වුණා ෴

******************************************

(29.03.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala)

සුනඛයින් 16 දෙනෙක් සහ බළලුන් හය (6) දෙනෙක් ඉතාමත් ආදරයෙන් රැක බලාගන්නා පන්සලක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයේ කතා බහට ලක්වනවා.

කෙසේ වෙතත් මෙම අසරණ සතුන්ට වගේම පන්සලේ වැඩ වසන ස්වාමීන් වහන්සේලාටද, අව්වෙන් වැස්සෙන් ආරක්ෂාවීමට ස්ථිර ගොඩනැගිල්ලක් නොමැති බවයි වාර්තා වන්නේ.

කෙතරම් අග හිඟකම් තිබුනත් මෙම අසරණ සතුන්ට නිසි වේලාවට ආහාර ටික ලබාදීමට නම් ස්වාමීන් වහන්සේලා අමතක කරන්නේ නැහැ.

මෙම තත්ත්වයේ වුවත් “මෙතන අසරණ සතෙක් ඉන්නවා, කන්න බොන්න දීලා හදාවඩාගන්න එකෙක් නෑ භාරගන්න” කියලා, දිනකට දුරකථන ඇමතුම් ගණනාවක් පන්සලේ වැඩවසන ස්වාමීන් වහන්සේලාට ලැබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

බොහෝ අග හිඟකම් මැද උන් වහන්සේලාට සහ මෙම අසරණ සතුන්ට ඉන්න කටු මැටි බිත්තියෙන් කුඩා ගොඩනැගිල්ලක් මේ දිනවල ඉදිකරගෙන යන බවයි සමාජ මාධ්‍යවල වාර්තා වුනේ.

පූජ්‍ය මාබෝදල ධම්මපවර හාමුදුරුවෝ තමයි මේ වැඩේට මූලිකත්වය අරගෙන ඉන්නේ.

මේ සත්ක්‍රියාවට දායකවෙන්න පින් සිත් පහළවෙන කෙනෙක් ඉන්නවා නම් පන්නල – මානිංගමුවේ, පූජ්‍ය මාබෝදල ධම්මපවර හාමුදුරුවන් එක්ක සම්බන්ධවෙලා ඒ සත්කාරය කරන්න පුලුවන්.

[ සේයාරූ ]

******************************************

(29.03.2021 – 09:48 +0530 – hirunews.lk/sinhala)

පසුගිය අඟහරුවාදා සිට සූවස් ඇළ මාර්ගය අවහිර කරමින් සිර වී තිබූ එවර් ගිවන් නෞකාව මුදා ගැනීමට මෙහෙයුමේ නිරතව සිටින කණ්ඩායමට හැකි වී තිබෙනවා.

මුදා ගැනීමේ කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ තවත් පැයක පමණ කාලයකින් පසු නෞකාව නියමිත ගමන් මාර්ගයට යොමු කර ගත හැකි වනු ඇති බවයි.

හදිසි අවස්ථා ගලවා ගැනීමේ ටග් යාත්‍රා 12 ක් සහ වැලි ඉවත් කිරීමට යොදාගත් යන්ත්‍රෝපකරණ 08 ක් එක්ව පුරා පැය 156 ක් සිදුකළ මෙම මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නට මෙහෙයුම් කණ්ඩායමට අද (29) අලුයම හැකි වුණා.

මෙම නෞකාව මෙලෙස සිරවී තිබීම හේතුවෙන් නෞකා විශාල ප්‍රමාණයක ගමනාගමන කටයුතු ඇණහිටියා.

නැව මුදවා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටි ටග් යාත්‍රාවක කපිතාන්වරයෙක් නෞකාව නැවත නිසි මාර්ගයට යොමු කිරීමේ අවස්ථාව සමරුවේ මෙලෙසින්.

******************************************

(29.03.2021 – 10:15 +0530 – hirunews.lk/sinhala)

පිළිකාකාරක අඩංගු බවට වාර්තාවීමෙන් පසු ආනයනික පොල්තෙල් සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනය සිදුකළ පරීක්ෂණවල වාර්තා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදී තිබෙනවා.

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ වාර්තා තමන් විසින් රේගු අධක්ෂ ජනරාල්වරයා වෙත මෙලෙස භාරදුන් බවයි ෴

******************************************

(29.03.2021 – 10:35 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, සඳගලතැන්න ප්‍රදේශයේ දී වන අලියෙකුගේ ප්‍රහාරයකට ලක්වූ මවක් සහ පුතෙකු තුවාල ලබා අද (29) උදෑසන දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද (29) උදෑසන 06:45 ට පමණ පාසල් ගේට්ටුව ආසන්නයේදී මොවුන් දෙදෙනා (2) වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ සඳගලතැන්න විද්‍යාලයේ දෙවන (2) ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙක් සහ ඔහුගේ 25 හැවිරිදි මවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරලගංවිල පොලිසිය මඟින් සිදුකරනු ලබනවා ෴

******************************************

(29.03.2021 – 11:17 +0530 – hirunews.lk/sinhala)

ගොඩකවෙල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු (2) දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළොන්න වෙලේවතුගොඩ දිගනවෙල ඇල්ලේ ඊයේ (28) දහවල් දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකුයි (2) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

පසුව සිදුකළ සෝදිසියකදි තරුණයන් දෙදෙනාගේ (2) මළසිරුරු හමුවී තිබෙනවා.

කොළොන්න පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴

******************************************

(29.03.2021 – 11:23 +0530 – hirunews.lk/sinhala)

සැක සහිත ආනයනික පොල්තෙල් සාම්පල් සියල්ලේම ‘ඇෆ්ලටොක්සීන්’ නම් පිළිකාකාරකය අන්තර්ගතවී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ බව අනාවරණය කර ඇත්තේ සමාගම් තුනකින් (3) ආනයනය කරන ලද පොල්තෙල් සාම්පල් පරික්ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය රේගු දෙපාර්තමේන්තුව වෙත අද (29) පෙරවරුවේ ලබාදුන් වාර්තාව මගින්.

ඒ අනුව අදාළ ප්‍රමිතියෙන් තොර බහාලුම් සියල්ල වහාම යළි හරවා යැවීමට තීරණය කළ බවයි පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ.

ආනයනික පොල්තෙල් තොගයක ‘ඇෆ්ලටොක්සීන්’ නම් පිළිකා කාරකය අඩංගු බවට තහවුරු වූයේ මේ මස හතරවනදා (04) යි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් ආනයනික පොල්තෙල් බහාලුම් 13 ක මෙලෙස පිළිකාකාරකය අඩංගු බවට හදුනා ගැනුනා.

ඒ අනුව අදාළ සාම්පල ප්‍රතිඅපනයන කිරීමටයි එම ඒකකය නිර්දේශ කළේ.

පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රශ්න ගත පොල් තෙල් සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනය පරීක්ෂණයක් ආරම්භ කරන අතර එහි අවසන් වාර්තාව නිකුත් වන තුරු සැක සහිත පොල්තෙල් තොග ගුදම්වල බහා තැබීමටයි පියවර ගැනුනේ.

පරිභෝජනයට නුසුදුසු මෙම පොල් තෙල් අවසන් වාර්තාවලින් පසු යළි හරවා යැවීම සිදුකරන තුරු ආනයනික සමාගම්වලට අයත් ගබඩා වලට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කළා.

මෙවැනි තත්ත්වයක පවතිත් දී සමස්ථ ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදිකයන් සඳහන් කළේ උත්සව සමයේ පොල් තෙල් හිඟයක් මෙන්ම මිල ඉහළ යාමක්ද සිදුවිය හැකි බවයි.

මෙරට වාර්ශික පොල් තෙල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් එක් ලක්ෂ අසූ දහසක් (1,80,000) ඉන් එක් ලක්ෂ තිස් දහසක්ම (1,30,000) ආනයනය කරනු ලබනවා.

+++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *