බඹරකන්ද නැරඹීමට ගිය 11 දෙනෙකු අතරමං

බඹරකන්ද නැරඹීමට ගිය 11 දෙනෙකු අතරමං

*********************************************

බඹරකන්ද නැරඹීමට ගිය 11 දෙනෙකු අතරමං

(28.03.2021 – 16:11 +0530 – hirunews.lk/sinhala)

බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට ගිය පිරිසක් අතරමං වී ඇති බවට ලද තොරතුරකට අනුව ඔවුන් සොයා මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

හල්දුම්මුල්ල පොලීසිය සඳහන් කළේ කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කළ දැනුම් දීමකට අනුව ඔවුන් සොයා මෙලෙස මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

11 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විසින් බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට ගොස් ඇති අතර එහිදී ඔවුන් පවතින වර්ෂාව සහ මීදුම හේතුවෙන් අතරමං වී ඇති බවටයි වාර්තා වන්නේ ෴

බඹරකන්ද දිය ඇල්ල නැරඹීම ගොස් අතරමං වූ 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (28) පස්වරුවේ පොලීසිය සොයාගෙන තිබෙනවා.

මොවුන් ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සදහන් කළේ.

මීදුම අධිකවීම සහ දිය ඇල්ලේ සැඬ පහර වැඩි වීම හේතුවෙන් මෙම පිරිසට පහළට බැස ගැනීමට නොහැකි වී ඇති අතර, ඔවුන් ඒ සම්බන්ධයෙන් කොළඹ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුවයි හල්දුම්මුල්ල පොලීසිය වහා මැදිහත් වී මොවුන් සෙවීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ ෴

******************************************

(28.03.2021 – 15:49 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 1,63,00,000 ට වැඩි වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු මාළිගාවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථයකින් මේවා ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත ඔහු කුලී පදනම මත නැවතී සිටි නිවසේ තිබී විදේශීය දුම්වැටි 2,71,000 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ ෴

******************************************

(28.03.2021 – 16:42 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පලාත තුල අද (28) දින උදෑසන පහේ 5 සිට සවස 5 දක්වා ක්‍රියාත්මක කෙරෙන විශේෂ පොලිස් මෙහෙයුමකදී රුපියල් ලක්ෂ තිහකට (30) අධික වටිනාකමකින් යුත් හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 205 ක් සමග පෑලියගොඩ ප්‍රදේශයේ හෙරෝයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත වූ සැකකරුවෙකු පෑලියගොඩ දී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත්තා.

මෙසේ අත්අඩංගුවට ගත්තේ වයස අවුරුදු 30 ක දෙමටගොඩ කාලිපුල්ල වත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

ඔහු සතුව තිබී හෙරෝයින් වලට අමතරව ගංජා ග්‍රෑම් 306 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් හතලිස් අට දහසක් (48,000) ඇතුලු විද්‍යුත් තරාදියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමටගොඩ කාලිපුල්ලවත්තේ ‘සම්පත්’ නැමැත්තෙකු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බව මූලික විමර්ශන වලදී කරුණු හෙලි වී ඇතැයි පොලීසිය පවසයි.

සැකකරු හෙට (29) දින මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත්කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා ෴

******************************************

(28.03.2021 – 17:08 +0530 – hirunews.lk/sinhala)

බෙන්තර ගඟ ආශ්‍රිතව සිදුවන පරිසර හානියක් පිළිබඳව වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

ප්‍රදේශවාසින් පෙනවා දෙන්නේ පළාතේ ඇති කුණු අලුත්ගම නගර සභාව විසින් බෙන්තර ගඟ අසලට ගෙනවිත් ගිනි තබන බවයි.

එම වීඩියෝව පහතින් :

******************************************

(28.03.2021 – 18:00 +0530 – hirunews.lk/sinhala)

දරුවන් විසි දෙනෙකු (20) දැයට දායාද කළ ගලේවෙල කටුපොත ප්‍රදේශයේ පදිංචිව සිටිගොඩයලගේ ජිනදාස පියානන්ගේ අවසන් කටයුතු අද (28) ගලේවෙල කටුපොත ප්‍රදේශයේ දී සිදුකෙරුනා.

ඔහු මියයන විට වයස අවුරුදු 89 කුත් මාස 11 ක් වී තිබුනා.

ජිනදාස පියාණන් සහ එච් .ඒ . රොසලින් නෝනා (අවුරුදු 84 යි) මෑනියන් දරුවන් විසි දෙනෙකු (20) මෙලොවට බිහි කොට කවා පොවා ඇති දැඩිකිරීම සම්බන්ධයෙන් ජාතියේ උදාර පියා සහ මව ලෙස සම්මානයටද පාත්‍රවුනා.

ජිනදාස පියාණන්ට දරුවන් 20 ට අමතරව මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරමින් විසිරී සිටින මුනුබුරැ මිනිබිරියන් හාරසිය පනස් තුනක් (453) ද සිටිනවා.

ජිනදාස පියානන් අද (28) පස්වරුවේ දරු මුණුබුරු පරපුර මෙන්ම වයස අවුරුදු අසූ හතරක් (84) වූ තම ආදරනීය බිරිඳගෙන්ද සමුගෙන මිහිමත සැඟව යන්නට ගියා ෴

******************************************

(28.03.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

සීගිරි පර්වතය මතදී මධ්‍යම සංස්කෘතික අරමුදලට අනුයුක්ත ආරක්ෂක අංශ නිලධාරීන් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නේවාසික ව්‍යාපෘති කළමනාකරු අතර ඇතිවු ගැටුම සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ගැටුම සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් සීගිරි පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂක නිලධාරියෙකු සීගිරිය ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහු කියා සිටියේ අද (28) අලුයම 4 ට පමණ මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු (2) සිංහපාදය ආසන්නයෙන් ඉහළට ගමන් කරන අයුරු දුටු බවයි.

මින් එක් අයෙකු මධ්‍යම සංස්කෘතික අරමුදලේ නේවාසික ව්‍යාපෘති කළමනාකරු ලෙස හදුනා ගත් බව ද පහර කෑමට ලක්වූ ආරක්ෂක නිලධාරීවරයා සදහන් කළා.

මෙම ගැටුම සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදුකරන බවත්, ඒ පිළිබඳ මධ්‍යම සංස්කෘතික අරමුදලට ද දැන්වූ බවත්, සීගිරිය පොලීසිය අප කළ විමසීමකදී සඳහන් කළා ෴

******************************************

මානව හිමිකම් සමුළුවේදී සිදු වූවේ පරාජයකට වඩා ජයග්‍රහණයක් – දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර

(28.03.2021 – 11:37 +0530 – lankaleadnews.com)

නව ගෝලීය ප්‍රවනතාවයන් හමුවේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව යන මාතෘකාව යටතේ මාර්තු 25 දින රාත්‍රී සිරස නාළිකාවේ විකාශය වූ ‘මාවත’ වැඩ සටහනේදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සහ ජාතික සංවිධාන එකමුතුවේ ක්‍රියාකාරී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පසුගිය 22 දින මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව පිළිබඳව දැක්වූ අදහස් මානව හිමිකම් තොන්ඩුව සියතින් ගෙලට නොදමා ගැනීමට අවශ්‍යය දැක්ම සම්පාදනය කර ගැනීමට අතිශය වැදගත් බව ‘ලංකා ලීඩ්’ පුවත් අඩවියේ අදහස වන බැවින් මෙසේ පළ කර සිටිමු :

******************************************

කොටුගොඩ නාහිමිගේ ලේකම් හිමිගේ වාහනය කඩා බැංකු පොත් – ලිපි ලේඛන සොරාගෙන

(26.03.2021 – mawbima.lk)

අපවත්වීවදාල අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ශ්‍රී ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර නායක හිමියන්ගේ ලේකම් ධුරය හෙබවූ පූජ්‍ය බටපොළ මේධානන්ද හිමියන් වැඩම කළ වෑන් රථයේ වීදුරුව කඩා බැංකු පොත් සහ ලිපි ලේඛන රැසක් පෙරේරා (24දා) සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

පූජ්‍ය බටපොළ මේධානන්ද හිමියන්ට අයත් වෑන් රථයෙන් මිරිහාන, ගල්පොත්ත විහාරස්ථානයේ සිට ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට වැඩම කර ඇති අතර අනතුරුව වෑන් රථයේ රියැදුරු විසින් වෑන් රථය විහාරස්ථානය පිටුපස සංඝමිත්තා පාරේ ගාල්කර ඇතැයි පොලිසිය කියයි.

පැය කිහිපයකට පමණ පසු එම ස්ථානයට වෑන් රථය පැමිණීමේදී රියැදුරු අසුන අසල තිබෙන වීදුරුව කඩා තිබූ අයුරු දැක පූජ්‍ය බටපොළ හිමියන්ට ඒ බව දන්වා පරීක්‍ෂා කිරීමේදී එහි තිබූ බැංකු හා අනෙකුත් ලිපි ලේඛන සොරාගෙන ගොස් ඇති බවට දැනගෙන තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ගල්කිස්ස පොලිසිය පරීක්‍ෂණ පවත්වයි ෴

******************************************

අසාද් සාලි නිදහස් කරන ලෙස, ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු කල මුස්ලිම් කවුන්සිලය පොලිස්පතිට ලියයි

(28.03.2021 – colombotoday.com)

අසාත් සාලි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම පිළිබඳව ලෝක ත්‍රස්තවාදියෙකු වන යුසුෆ් අල්-කර්දාවී සමග සබඳතා පැවැත්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය (MCSL) පොලිස්පතිවරයාට ලිපියක් යවා ඇත.

එම ලිපිය මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අසාත් සාලි අත්අඩංගුවට ගෙන තිබීම මුස්ලිම් ප්‍රජාව කම්පනයට පත් කරන බව මුස්ලිම් කවුන්සිලය සඳහන් කර ඇත.

අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සාලි වැරදිකරු නොවන්නේ නම් නිදහස් කරන ලෙස මුස්ලිම් කවුන්සිලය පොලිස්පතිවරයාගෙන් අදාළ ලිපිය මගින් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය (MCSL) හී ප්‍රධානියා වන්නේ BBC හිටපු මාධ්‍යවේදී අසාම් අමීන්ගේ පියා වන එන්.එම් අමීන්ය.

මුස්ලිම් සහෝදරත්වය (Muslim Brotherhood) තහනම් ත්‍රස්ත සංවිධානයේ මෙහෙයුම්කරු යුස්ෆ් අල් කර්දාවී සමග සබදතා පැවැත්වීම පිළිබඳව එන්.එම් අමීන් පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ දක්වා ඇත.

එම වාර්තාවේ සිංහල පිටපතේ 55 වැනි පිටුවේ ඉනාමුල්ලා, නයිමුල්ලා (මධ්‍යම පළාත් සභාවේ හිටපු සාමාජික) සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම්. අමීන් යන තිදෙනා අල්-කර්දාවි සමග ඇසුරු කිරීම පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස නිර්දේශ කර ඇත.

යුස්ෆ් අල් කර්දාවි ආගම්වාදය අවුස්සමින් ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කර ඇති බවත් ඊජිප්තු අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කර ඇති බවත් රටවල් කිහිපයකම ත්‍රස්තවාදී ලැයිස්තුවේ ඔහුගේ නම තිබෙන බවත් එම වාර්තාවේ සඳහන්ව ඇත ෴

******************************************

රිෂාඩ් බදියුදීන් සමයේ පාරිභෝගික අධිකාරියේ අන්තවාදයට දොර ඇරුණු හැටි

(28.03.2021 – divaina.com)

සිය උරුම භූමියේදී සුළුජන වර්ගවාදය සඳහා අඛණ්ඩව පාත‍්‍ර වන එකම ජාතිය සිංහලයා බව දැන් අතිශයින්ම පැහැදිලිය. දශක ගණනාවක් තිස්සේ දෙමළ වර්ගවාදයෙන් බැට කෑ සිංහලයා වෙත දැන් මුස්ලිම් ජාතිය ද එළිපිටම බැට දෙන්නට පටන් ගෙන තිබේ. පාස්කු ප‍්‍රහාරය තෙක්ම, සිංහලයා වෙත එවැනි ආක‍්‍රමණයක් එල්ල වෙන බව බොහෝ දෙනා තේරුම් ගත්තේ නැත. වෛද්‍ය සාෆි ෂෙහාබ්දීන් සිදු කරන ලද සිංහල මව්වරුන්ගේ ගර්භාෂ වෙත අගුලු ලෑම ද තවමත් සමහරුන්ට ගොතන ලද කතාවකි. රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් ද දේශපාලන වාසි සලකා බලා, සමහරු දෙන අර්ථකතන බර වී ඇත්තේ බලය සඳහා ඇති මාවත ඔස්සේය. ලැබෙන සෑම අවස්ථාවක්ම සිංහලයාට සැලසුම් සහගත ලෙස වින කැටීම සඳහා සුළු ජනවර්ග අන්තවාදය විසින් යොදා ගන්නා අන්දම සඳහා පරීක්ෂණයකින් ද සනාථ වූ සිද්ධියක් මෙසේ සටහන් කරමි.

ආණ්ඩු සමග කේවල් කරමින්, තමන්ට ලැබුණු බලය, අභිබවා සිය වර්ගවාදය වෙනුවෙන් සේවය කිරීම සෑම සුළු ජනවර්ගයකම ස්වභාවයය. මේ සඳහා මුස්ලිම් අන්තයෙන් මුල පුරන ලද්දේ, ඒ.එච්.එම්. අෂ්රොෆ්ය. රිෂාඩ් අයත් වන්නේ ද එම පිලටමය. යහපාලන ආණ්ඩුවෙන් රිෂාඩ් හිමිකර ගන්නා ලද අමාත්‍ය ධුරය වූයේ කර්මාන්ත සහ වාණිජ කටයුතුය. මෙය ආර්ථිකය විෂයයෙහි ප‍්‍රබල ලෙස බලපෑම් කළ හැකි, එසේම එම බලපෑම් ජනතා ඇසට එකවර නොපෙනෙන අමාත්‍යංශයකි. අනික් අතට මේ පන්නයේ වර්ගවාදී මනස් සහිත දේශපාලන චරිත, තමනට වනිතා කටයුතු සහ ළමා යන අමාත්‍යාංශය හිමිවුවද සිය ඔද්දල් වූ මනසින් වර්ගවාදය කෙසේ හෝ පෝෂණය කිරීමට සමත්ය.

රිෂාඩ් සිය අමාත්‍යංශයේදී සිදු කරන ලද එවැනි ගනයේ බඳවා ගැනීමක් සම්බන්ධයෙන් වාර්තා වන්නේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙනි. අධිකාරිය සඳහා 2018 වර්ෂයේදී විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමේදී අක‍්‍රමිකතාවයක් සිදුව ඇතැයි, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පැමිණිල්ලක් සිදු කරනු ලබන්නේ, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝය. ඒ අනුව අමාත්‍ය ගුණවර්ධන මහතා විසින් එම පැමිණිල්ල විභාග කිරීමට ත‍්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී. විශ‍්‍රාමික පරිපාලන සේවා නිලධාරී එම්.කේ.ඩබ්ලිව්. වික‍්‍රමරත්න මහතා එහි සභාපති ලෙසත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරී, එස්.කේ.ඩී.ඒ. ප‍්‍රියංකර සහ කොළඹ මහ නගර සභාවේ හිටපු හදිස්සි වැටලීම් නිලධාරී ෂෙල්ටන් පෙරේරා යන මහත්වරු අදාළ කමිටුවේ සාමාජිකයෝ ලෙසත් කටයුතු කළහ.

විමර්ශන නිලධාරී යන තනතුර, පාරිභෝගික අධිකාරිය විෂයෙහි සුවිශේෂ වැදගත්භාවයක් දරයි. වැටලීම් සඳහා සහභාගී වෙමින්, අදාළ පැමිණිලි සහ පරීක්ෂා කිරීමේ කර්තව්‍යය භාරව සිටින්නේ, මෙකී විමර්ශන නිලධාරීන්ය. මෙම විමර්ශන නිලධාරීන් සිටිය යුත්තේ පාරිභෝගිකයා වෙනුවෙන් මිස එක් ජනවර්ගයක් වෙනුවෙන් නොවේ. මෙම විමර්ශන නිලධාරීන් එක ජන වර්ගයක් සඳහා ලඝු කරන්නට සැරසෙන්නේ, වර්ගවාදී වුවමනාවක් සඳහා මිස, පාරිභෝගිකයා වෙනුවෙන් සටන් කිරීමට නොවන බව, තොප්පිය හැරෙන, හැරෙන පැත්තට යන අයට මිස අන් සියලුදෙනාටම වැටහෙනවා ඇත. ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේදී තම හිමිකාරිත්වය සහිත ඇඳුම් සාප්පුවක සේවය සඳහා හෝ තම වර්ගයෙන් පිටත පිරිමින් බඳවා නොගන්නා තරමට, වර්ගවාදී මනසක් සහිත මේ ජනවර්ගය, යම් හෙයකින් විමර්ශන නිලධාරීන් ඒ ජනවර්ගයෙන්ම බඳවා ගැනීමට දත කන්නේ, අන් ජාතියක් නිපදවන භාණ්ඩ සඳහා නඩු පටලවා, එම ජාතියේ ආර්ථිකය අඩපණ කිරීමට බව උපකල්පනයකට සීමා නොකළ යුතු තරමට, මේ රටට අත්දැකීම් තිබේ.

පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් 226 ක් සඳහා පුරප්පාඩු ඇති හෙයින් ඒවා සපුරාලීමට, මීට පෙර ආකාරයෙන් අයදුම්පත‍්‍ර කැඳවිය යුතුව තිබුණි. වර්ගවාදය සඳහා පදනම සැකසෙන්නේ මේ ආරම්භයේ සිටමය. විමර්ශන නිලධාරී තනතුර සඳහා මූලික සුදුසුකම ලෙස පෙර සිටම තිබුණේ, ආර්ථික විද්‍යාව, කළමනාකරණය හෝ අලෙවිකරණය සම්බන්ධයෙන් පිළිගත් උපාධියක් තිබීමය. තමනට අවශ්‍ය ගැටය ගසා ගැනීම සඳහා මෙම සුදුසුකම් සීමාව එහා මෙහා කිරීම මුලින්ම සිදු කෙරුණි. රාජ්‍ය අංශයේ බඳවාගැනීම් පිළිබඳ සුදුසුකම් සකසනු ලබන්නේ, මුදල් අමාත්‍යංශය යටතේ ඇති, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසිනි. සිය අවශ්‍යතාවය සඳහා මූලික සුදුසුකම ලිහිල් කර ගැනීමට, කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ තිබූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඩී. ජීවනාදන් විසින් උපාධි විෂය පරාසය නීතිය, තොරතුරු තාක්ෂණය, විද්‍යාව, රසායන විද්‍යාව, සංඛ්‍යානය, භෞතික විද්‍යාව, කෘෂිකර්මය සහ ආහාර තාක්ෂණය යන විෂයන් ඇතුළත් කරන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමය. එම ඉල්ලීම ඉටුකිරීම සඳහා හෝ සාධාරණ හේතුවක් ඉල්ලා සිටිය යුතු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, සිදු කරන ලද්දේ, ඉල්ලීම ද අභිබවා යමින් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් පිළිගත් උපාධියක් යන ස්ථානය දක්වා ‘වැඩේ පහසු කරදීමය.’

මෙම වර්ගවාදී හැසිරීම සඳහා අත්‍යවශ්‍ය පදනම වැටෙන්නේ එතැනින්ය. මෙසේ විෂය බද්ධවූ ක්ෂේත‍්‍ර රැකියාවක් සඳහා, එම විෂයට අනුකූලව මිස, ඕනෑම උපාධියක් සුදුසුකමක් ලෙස නම් කිරීමට ‘කළමනාකරණ’ දෙපාර්තමේන්තුවක් අවශ්‍ය වන්නේ නැත. කළමනාකරණය යන වචනයම බිඳ දමමින් මෙවැනි වර්ගවාදී පදනමකට ප‍්‍රවේශවීමට, අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා, වහාම අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ යුතු බව අපගේ අදහසය. මේ සඳහා ඔහුට අල්ලසක් ලැබුණාද, නැතිනම් කාගෙන් හෝ බලපෑමක් එල්ලවීද, යනාදී ලෙස තරයේ ප‍්‍රශ්න කළහොත් වර්ගවාදයේ තවත් සැලසුම් ගණනාවක් ද ඒ සමග එළියට ගැනීමට හැකි වනු ඇත. එක දිගට වසර විසි පහක් එකම තැන රැඳී සිටිමින්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා, වෙනත් නිලධාරීන්ට නැති වරප‍්‍රසාදිත තත්ත්වයක් ඉසිලීමම, ප‍්‍රශ්නකාරීය. මේ කතාවේ පළමු චූදිත තත්ත්වය හිමි විය යුත්තේ ඔහුට සහ විසි පස් වසරක් තිස්සේ සහ තවමත් ඔහු ආරක්ෂා කරනා, මුදල් අමාත්‍යංශ ලේකම්වරුන්ටය.

සියල්ල අවසානයේදී ‘අවශ්‍ය පිළිවෙළට’ පාරිභෝගික අධිකාරිය සඳහා විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමේ ‘සම්මුඛ පරීක්ෂණය’ පැවැත්විණි. එය පරීක්ෂණ මණ්ඩල සහභාගිත්වය, අනුමත කිරීම ආදියේ සිටම අවුලෙන් අවුලට ගිය සම්මුඛ පරීක්ෂණයක් විය. ප‍්‍රතිපලය වූයේ ඉල්ලුම් කරන ලද සිංහල ජාතිකයන් 750 අතුරෙන් 103 දෙනෙකු තේරී පත්වීමය. දෙමළ ජනවර්ගයට අයත් 45 දෙනෙකු අතරින් 10 ක්ද, මුස්ලිම් ජනවර්ගයට අයත් 198 දෙනෙකු ඉල්ලූම් කර එයින් 101 දෙනෙකු ද අවසානයේ තේරී පත්ව තිබුණි. මෙය ඒ ඒ කාණ්ඩය අනුව ගත් විට, ඉල්ලූම්කරුවන් ප‍්‍රමාණය අනුව තෝරාගත් පිරිසේ ප‍්‍රතිශතයක් ලෙස සඳහන් කරන විට, මුස්ලිම් අයැදුම්කරුවන්ගෙන් 51% ද දෙමළ අයැදුම්කරුවන්ගෙන් 22% ක්ද සිංහල අයැදුම්කරුවන්ගෙන් 13.7% ක්ද අවසානයේ තෝරාගෙන තිබුණි.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුව සඳහන් කර ඇත්තේ ‘මුස්ලිම් ජාතිකයන්ට ප‍්‍රමුඛත්වය ලබාදී, විමර්ශන නිලධාරීන් වැඩි ප‍්‍රමාණයක් තෝරා පත්කරගෙන ඇති බව අනාවරණය වේ. මේ මගින් ද ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වශයෙන් හඳුන්වාදී ඇති ජාතිය, ආගම, කුලය, උපන් ස්ථානය, භාෂාව මත කිසිවකුට වෙනස්කමක් සිදු නොකළ යුතුය යන මූලික අයිතිය ඉහත තේරීමට ඉඩකඩ ඇති පිරිසගේ උල්ලංඝනය වී ඇති බව අනාවරණය විය’ ලෙසය.

මේ වර්ගවාදයේ පරිමාව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද ඉක්මවා ගොස් ඇති ආකාරය ය, සහරාන් හෂීම්ලාගේ අරමුණ සඳහා බෝම්බ නොමැතිව පිය නැගීම සඳහා රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා ලෙස මේ සඳහා නායකත්වය ලබා දී නොමැත්තේ නම් මෙවැනි කටයුත්තක් සිදු නොවන බව කිව හැකිය. ඒ සඳහා උපරිම අනුබලය ලබා දුන්නේ, එවකට පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන ලද ඩී. ජීවනාදන්ය. ඔහුගේ තරම කෙතරම් ද කිවහොත් මේ පිළිබඳව පවත්වන ලද පරීක්ෂණය සඳහා හෝ ඔහු අවස්ථා තුනකදී කැඳවන ලද්දේ මුත් ඔහු සහභාගී නොවීය. එදා ඔහු දරන ලද්දේ ජනරාල් තනතුරය. මෙවැනි ‘අපරාධ’ සිදු කිරීම සඳහා අනුබලය දුන් ඔහු අතිරේක ලේකම් ලෙස තවමත් වෙළඳ අමාත්‍යාංශයේම රැඳී සිටියි.

මුදල් අමාත්‍යංශයට අයත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් දෙන ලද අනගි ලිහිල හේතුවෙන්, සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත්ව ඇති අය 31 දෙනෙකු සඳහා ඇත්තේ ඉස්ලාම් දහම, අරාබි භාෂාව, වැනි දේ සඳහා උපාධින්ය. එය වැරදියට මුද්‍රණය කරන ලද කුරාන ඇල්ලීම සඳහා සුදුසුකමකි. පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් සඳහා සේවයට බැඳී ඔවුන් ලබා ඇති අධ්‍යාපනය අනුව වැටලිය හැක්කේ කුමක්ද යන්න, ඒ තත්ත්වය නිර්මාණය කිරීම සඳහා අවස්ථාව සලසා දුන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානි, එච්.ජී. සුමනසිංහ පැහැදිලි කර දිය යුතුය. මෙවැනි ගනයේ වරදක් සිදු කළ බවට විමර්ශනයකින් හෙළිව තිබියදී, වැඩ තහනමක් හෝ නොමැතිව තවම ඔහු සිය පුටුවේ රැඳී සිටීම පිළිබඳව, වෙනම කතා කළ යුතුය. එය සමහර විට ‘උඩ අසුනට’ මුට්ටි ඇල්ලීම සහ ‘අරවා මේවා’ සැපයීමේ ආනිශංස විය හැකිය.

මෙවැනි පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පැමිණිල්ලක් සිදුකිරීම වෙනුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ ඒ පිළිබඳව අනාවරණය කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලිපි ලේඛන ලබා ගත් පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමියන්, ජාතියේ වන්දනය හිමි විය යුතුය. මෙවැනි ප‍්‍රශ්න කාලයට අමතකවීම සඳහා යට ගසනා, අමාත්‍යවරු සිටිනා රටක කොන්ද පණ ඇතිව ඒ සඳහා කමිටුවක් පත් කරන ලද වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට ද, ඩී. ජීවානන්ද ගේ වැඩ තහනම් කිරීම සඳහා නීතිපති උපදෙස් විමසා, ඒ සඳහා පියවර ගැනීමට කටයුතු කරන පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනාරාල් (විශ‍්‍රාමික) ශාන්ත දිසානායක මහතාට ද රටක් ලෙස අප ස්තුතිවන්ත විය යුතුය මේ යහපාලනයේ අනුහසින් වර්ගවාදීන් දමන ලද එක් ‘වැඩක්’ පමණය. මේ තුළ දාමයක් මෙන් ඊළඟ වැඩ ද ඇමිණි තිබිය හැකිය. නැතිනම් පෙර එවැනි ‘වැඩ’ පිළිබඳව හෙළිදරව් සඳහා මේවායේ ‘අස්කොන්’ තිබිය හැකිය. ඒ නිසා සුළුපටු ලෙස නොව මහමෙරක් ලෙස මෙවැනි තත්ත්වයන් භාරගත යුතු බවට අවධාරණය කරමු.

මනෝජ් අබයදීර

******************************************

බස් රථවල ගමන් කරන තරුණියන්ට නිදි පෙති දී මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකාලා

(29.03.2021 – 09:32 +0530 – truenews.lk)

දුර ගමන් සේවා බස් රථවල ගමන් කරන තරුණියන් සමඟ ක්ෂණික ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන නිදි පෙති මිශ්‍ර කරන ලද කිසියම් ආහාරයක් ලබාදී ඔවුන්ගේ මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකෑමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු මීගමුව කොට්ඨාශ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කොට්ඨාශයට ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ කාලයක සිට සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුවයි සැකකරු ඊයේ (28) රාජාංගණය – වරාවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 50 ක පමණ මුදල් සහ ස්වර්ණාභරණ තොගයක් හමුවී තිබෙනවා.

එමෙන්ම මොහු පුවත්පත්වල පළවන මංගල දැන්වීම්වල සදහන් දුරකථන අංකවලට ද කතා කර මෙම කොල්ලකෑම් සිදු කර ඇති බවටද හෙළිව ඇතැයි පොලිසිය කියා සිටියා ෴

@@@@@@@@@@@@@@

(28.03.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

තවත් ආසාදිතයින් 235 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 88,623 දක්වා ඉහළ ගියා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 2657 දෙනෙකු පමණයි ෴

++++++++++++++++++++

(28.03.2021 – 16:19 +0530 – hirunews.lk/sinhala)

යාපනය අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් හෙට (29) සිට සතියක කාලයකට වසා තැබෙන බව දිස්ත්‍රික් ලේකම් කනපති පිල්ලෙයි මහේෂන් මහතා ප්‍රකාශ කළා.

යාපනය දිස්ත්‍රික්කයේ පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි ඔහු කියා සිටියේ.

ගත වූ පැය 24 තුළ වාර්තා වූ රෝගීන් අතරින් වැඩිම සංඛ්‍යාවක් එනම් 88 දෙනෙකු යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

යාපනය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2), රෝගීන් 6 දෙනෙකු හා රෝහල් සේවකයින් පිරිසක් ඇතුළු 19 දෙනෙකුද ඒ අතර වනවා ෴

++++++++++++++++++++++

(28.03.2021 – 16:30 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන්තොටුපළේ පී.සී.ආර්. රසායනාගාරය පෞද්ගලික අංශයට පැවරීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවට එක්තරා සෞඛ්‍ය වෘත්තීය සංවිධානයක් කරනු ලබන චෝදනාව ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සදහා විපක්ෂය සමාජ ගත කරමින් සිටින බොරු ප්‍රචාරවල තවත් කොටසක් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වූවක් බවයි.

කටුනායක ගුවන් තොටුපළේ පී.සි.ආර්. රසායනාගාරය පෞද්ගලික අංශයට පැවරීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවටත් ඊට විෂයභාර ඇමතිවරයා සම්බන්ධ බවට අදාළ වෘත්තීය සමිතිය කරනු ප්‍රකාශය හා ඊට සම්බන්ධ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තමාගේ අත්සනින් යුතු ලිපිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඇමතිවරයා මේ බව සදහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ කටුනායක ගුවන්තොටුපළේ අදාළ පී.සි.ආර්. පරීක්ෂණාගාරය ස්ථාපිත කෙරුණේ කොවිඩ් වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දමා තිබු කලයේ දී බවයි ෴

+++++++++++++++++++

අද (28) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 168 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 92,007 ක් ෴

+++++++++++++++++++

කොරෝනා අවදානම රට පුරා දැඩි අනාරක්ෂිත තත්වයක් ඇතිවී තිබෙනවා-වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

(29.03.2021 – 11:28 +0530 – lankaleadnews.com)

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ කොරෝනා අවදානමක් තිබියදී මහජනතාව සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකර ආගමික සිද්ධස්ථාන, සාප්පු සංකීර්ණ, වෙළෙඳ මධ්‍යස්ථාන ඇතුළු පොදු ස්ථානවලට සීමාවකින් තොරව ඒකරාශි වීමට පටන් ගෙන තිබීම හේතුවෙන් රට පුරා දැඩි අනාරක්ෂිතභාවයක් ඇති වී තිබෙන බව යි.

එහිදී වෛද්‍යය සුදත් සමරවීර මහතා පවසා සිටියේ පොදු ස්ථානවලට එක් රැස් විය හැකි පුද්ගලයන්ගේ සංඛ්‍යාව පිළිබඳ සීමාවන් ක‍්‍රියාත්මක වන බැවින් කොරෝනා වසංගත තත්ත්වයක් ඇතිවීම වළක්වාලීම සඳහා මෙම දිනවල එවැනි ස්ථානවලට විශාල වශයෙන් ඒකරාශි වීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ඊයේ (28 දා) රට පුරා විහාරස්ථානවල පැවති ආගමික වතාවත්වලට බොහෝ දෙනා සහභාගී වී ඇත්තේ නිසි පරිදි මුහුණු ආවරණයක් නොපැළඳ, සමාජ දුරස්ථභාවය නොරකිමින් බවට පෙනී ගිය බවත් සෙසු ආගමික මධ්‍යස්ථානවලට යෑමේදීත් බොහෝ දෙනා කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරන බවට වාර්තා වී ඇති බවත් අවධාරණය කළ වෛද්‍යය සුදත් සමරවීර මහතා මෙම තත්ත්වය ඉදිරියේදී කොරෝනා වසංගතයක් මතුවීමට හේතු විය හැකි බැවින් පොදු ස්ථානවලට එක්රැස් වීමේදී නිසි සෞඛ්‍යය ආරක්ෂණ ක්‍රමවේද අනුගමණය කරන ලෙස අවධාරණය කළේය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍යට පවසා සිටියේ යාපනය දිස්ත‍්‍රික්කයේ තැනින් තැන කොරෝනා පොකුරු මතුවීමට මුල් වී ඇත්තේ ඉකුත් මහා ශිවරාත‍්‍රී දින පැවති ආගමික වතාවත්වලට කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකර ජනතාව විශාල වශයෙන් ආගමික මධ්‍යස්ථානවලට එක්රොක් වීම නිසා බවයි.

මේ අනුව එළඹෙන උත්සව සමය වෙනුවෙන් කොරෝනා මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් මෙම දිනවල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරගෙන යන බවද වාර්තාවේ ෴

@@@@@@@@@@@@@@

ශ්‍රී ලංකාවේ රහුමාන් – දිනේෂ් සුබසිංහ – Talk with Sudaththa (27.03.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *