අඩුපාඩුකම් රැසක් මැද දහම් අධ්‍යාපනය හදාරන දරු දැරියන්

අඩුපාඩුකම් රැසක් මැද දහම් අධ්‍යාපනය හදාරන දරු දැරියන්

*********************************************

අඩුපාඩුකම් රැසක් මැද දහම් අධ්‍යාපනය හදාරන දරු දැරියන්

(28.03.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

අඩුපාඩුකම් රැසක් මැද දහම් අධ්‍යාපනය හදාරන දරු දැරියන් පිරිසක් පිළිබඳව බිබිල පිටකුඹුර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එමෙන්ම අධ්‍යාපනය හැදෑරීමට ගොඩනැගිලි පහසුකම් නොමැතිව පීඩා විඳින ස්වාමින් වහන්සේ පිරිසක් පිළිබඳ අපට වාර්තා වුණේ අම්බලන්ගොඩ විහාරස්ථානයකින්.

ආහාර, ඇඳුම්, නිවාස මෙන්ම අධ්‍යාපනයද ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයක්.

දැනුමෙන් සේම විනයෙන් පරිපූර්ණ දරුවෙක් නිර්මාණයට දහම් අධ්‍යාපනය අනිවාර්යයි.

ඒ වෙනුවෙන් අඩුපාඩුකම් රැසක් මැද දහම් අධ්‍යාපනය ලබන දරු පිරිසක් පිලිබඳව අපට බිබිල පිටකුඹුර ප්‍රදේශයේ දහම් පාසලකින් වාර්තා වුණා.

ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල ආරම්භය සනිටුහන් වන්නේ 1978 වර්ෂයේ ජුනි මාසයේ දහ අටවැනිදා (18) ලෙසයි.

ළමුන් හත් දෙනෙකුගෙන් (7) පමණ ඇරඹි මෙහි අද වන විට ළමුන් 475 දෙනෙකු අධ්‍යාපනය ලබනවා.

දහම් පාසලට ඇති එකම ගොඩනැගිල්ල මෙය වන අතර එහි පහසුකම් නොමැති නිසා තවත් පිරිසක් අධ්‍යාපනය ලබන්නේ තුරු සෙවණේයි.

දෙමව්යන් චෝදනා කරන්නේ මේ පිළිබඳ බලධාරීන්ට දැන්වුවද මේ වන තෙක් කිසිදු පිලිතුරක් නොමැති බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක පිහිටා ඇති නාගරවැව ශ්‍රී සුබෝධාරාම බොදු රජ මහා පිරිවෙණ සාමනේර හිමිවරු ඇතුළු 75 නමකට දහම් අධ්‍යාපනය ලබාදෙන විහාරස්ථානයක්.

මේ පිරිවෙනෙන් දැනුම ලබාගත් ස්වාමීන්වහන්සේ 13 නමක් මේ වන විට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටිනවා.

අඩු පාඩුකම් මැද වුවද මෙම සාමනේර හිමිවරුන්ගේ අධ්‍යාපන කටයුතු හැකි උපරිම අයුරින් පවත්වාගෙන යාමට විහාරාධිපති පූජ්‍ය පාණමුරේ සුනන්ද හිමියන් කටයුතු කර තිබෙනවා.

අධ්‍යාපන කටයුතු හැදෑරීමට ප්‍රමාණවත් ගොඩනැගිලි විහාරස්තානයේ නොමැතිවීම හේතුවෙන් ඇතම් පන්ති එළිමහනේ පැවැත්වීමට සිදුව තිබෙනවා.

කෙසේ නමුත් විවිධ පුද්ගලයින්ගේ ආධාර මත විහාරස්ථානයේ ගොඩනැගිලි කිහිපයක් මේවන විට සකස් කරගෙන තිබෙන අතර ඒ සදහා ශ්‍රම දායකත්වය ස්වාමීන්වහන්සේ විසින්ම ලබාදෙනවා.

******************************************

(28.03.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

මැදවච්චිය – ඇටවීරගොල්ලැව සිට දුටුවැව – ලෝලුගස්වැව දක්වා මාර්ගයේ කිලෝමීටර් 5.2 ක ප්‍රමාණයක් පිළිසකර කිරීමට අවස්ථා දෙකකදී මුදල් වෙන් කෙරුණා.

රුපියල් අටකෝටි අසූලක්ෂයකට (8,80,00,000) අධික මුදලක් ඇස්තමේන්තු කෙරෙමින් පසුගිය රජය සමයේ ආරම්භ වන මෙම ව්‍යාපෘතිය මේවන විට අතරමග නවතා දමා තිබෙන්නේ මෙම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා ජනතාවද දැඩි අසීරුතාවකට පත්කරමින්.

උතුරුමැද පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ වැඩ 2019 වසරේ නොවැම්බර් මාසයේ අවසන් වීමට තිබුණත් මාර්ගයේ කිසිදු ප්‍රතිසංස්කරණයක් නොකොට නවතා දමා මේවන විට වසරකට අධික කාලයක් ගතවනවා.

ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ දැනට වැඩ අවසන් කර ඇති කොටසද අදාළ කොන්ත්‍රාත් සමාගම කිසිදු ප්‍රමිතියකින් තොරව නිමකර ඇති බවටයි.

ජලය බැසයාමට සකස්කර ඇති බෝක්කුද මේවන විට ප්‍රදේශයේ වැසියන්ට මාරකයක් බවට පත්ව තිබෙනවා.

රුපියල් කෝටි 8 කට අධික මහජන මුදල් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා උතුරුමැද පළාත් සභාවෙන් වෙන්වුවද මෙම මාර්ගය නිසි ලෙස පිළිසකර කෙරෙන්නේ කවදාද ?

මේ අතර පසුගිය රජය සමයේ තුලාන ප්‍රදේශයේ ඉදිකරන ලද පණ්ඩුකාභයපුර උදා ගම්මාන ව්‍යාපෘතියේ ඉදිකරන ලද නිවාස අක්‍රමවත් අන්දමින් බෙදාදී ඇති බවට එම ග්‍රාම නිලධාරී වසමේ ජනතාව චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ තමනට පාරම්පරිකව හිමිවූ භූමියේ ගොවිතැන් කටයුතු සිදුකිරීමටද මේවන විට බලධාරීන් ඉඩ ලබා නොදෙන බවයි.

තුලාන පණ්ඩුකාභයපුර ජනතාවට බලාපොරොත්තු ඇතිකරවමින් ඉදිකරන ලද මෙම නිවාස ක්‍රමවත් අන්දමින් ජනතා අයිතියට පත්කරන තෙක් ‘හිරු රතු මිනිත්තුව’ අවධානයෙන්.

******************************************

(28.03.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීති සංශෝධනය සම්බන්ධයෙන් හෙට (29) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවසන් තීන්දුවක් ගැනීමට නියමිතයි.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ පසුගිය සතියේ පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යවරයා පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ විකල්ප යෝජනා දෙක සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඇති බවයි.

මීට සති කිහිපයකට ඉහතදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් අදහස් පළවුණා.

ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම අතරද සාකච්ඡාවක් පැවති අතර, එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය බාධාවන් සකස් කිරීමට පියවර ගන්නා බවයි.

ඉන් අනතුරුව පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා.

ඉන් අනතුරුවයි පළාත්පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිවරණය පැවැත්වීම පිළිබඳ විකල්ප යෝජනා දෙකක් පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ. ඉන් එක් යෝජනාවක් වූයේ පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති නව පනත අහෝසි කර පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමයි.

අනෙක් යෝජනාව වූයේ නව පනත සංශෝධනය කර මිශ්‍ර ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමයි.

කෙසේ නමුත් ලබන අප්‍රේල් 06 වනදා පාර්ලිමේන්තුව රැස්වූ පසු මැතිවරණ නීති ඇගයීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අපේක්ෂිතයි.

ඊට අදාළ යෝජනාව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරනු ඇති බවටයි සති අන්ත පුවත්පත් වාර්තා කළේ.

ඒ අනුව ජනාධිපතිවරණ පාර්ලිමේන්තු මැතිවරණ මෙන්ම පළාත් සභා සහ පළාත්පාලන මැතිවරණයට අදාළ නීති අදාළ තේරීම් කමිටු සභාව මගින් ඇගයීමට ලක් කරනු ඇති.

එසේ වුවහොත් පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් යා හැකි බවයි විශ්වාස කෙරෙන්නේ ෴

******************************************

(28.03.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

නිට්ටඹුව – කළගෙඩිහේන හන්දිය අසළදී සිදුවූ රිය අනතුරකින් ගම්පහ දිසා රථවාහන කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ පොලිස් නිලධාරියා ධාවනය කළ යතුරුපැදිය මාර්ගයේ අනාරක්ෂිතව නවතා තිබු බවුසරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බවුසරයේ රියදුරු මේ වන විට අත්ඩංගුවට ගෙන ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබු පොලිස් පරීක්ෂකවරයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

36 හැවිරිදි ඔහු නුගදෙණිය – ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

******************************************

‘හිරු CIA’ මග හෙළිකළ කූරගල බෞද්ධ පුනරුදය

(28.03.2021 – 14:39 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානය විවිධ අන්තවාදී ආගම් කල්ලිවල ග්‍රහණයට නතුව විනාශ මුඛයට පත්ව තිබියදී ‘හිරු CIA’ හරහා සිදු කළ හෙළිදරව් කිරීම් හේතුවෙන් මෙරට බෞද්ධ ජනතාවගේත් අදාළ බලධාරීන්ගේත් අවධානය ඊට යොමුවුනා.

ඒ හරහා දීර්ඝ කලක් පැවති ඉඩම් ගැටලු සීමා මායිම් නිර්ණ ගැටලු මේවන විට බොහෝ දුරට විසඳී අවසන්.

අද (28) දින කූරගල විහාරස්ථානය නැවතත් කසාවතින් සිල් සුවඳින් බැබලුනේ මේ අයුරින්.

මේ පිංකමට මග හෙළි පෙහෙළි කරන්නට වෙර දැරූ ‘ඒ බී සී මාධ්‍ය ජාලය’ මේ මොහොත විඳින්නේ දැහමි සිතින්.

කූරගල වසා තිබූ අවිදු අඳුර දුරලන්නට හිරු දැරූ වෑයම පණ පෙවී ඇති බව මෙනෙහි කරන්නේ පිං සිතින්.

මේ අතර කූරගල ඒකාලෝක කරමින් පැතිර යන බෞද්ධ පුනරුදය පිළිබඳ සිත් පහන් කරගත් මල්වතු අස්ගිරි ඇතුලු සියලු මහනායක හිමිවරුන් මේ වෙර වෑයම පසසා තිබුණේ මෙලෙසින් :

******************************************

(28.03.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් නිළවරණය පැවැත්වෙන තෙක් වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනුවට පංච (5) පුද්ගල කළමනාකරණ කමිටුවක් පත් කිරීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබුණු බව ක්‍රිඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ හෙට (29) වන විට එම කමිටුව පත් කෙරෙනු ඇති බවයි ෴

******************************************

(28.03.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala)

පවුල් ආරවුලක් හේතුවෙන්, බිරිඳ විසින් තම සැමියාව නිදි යහන මතදීම ඝාතනය කළ පුවතක් දංකොටුව, කොස්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (27) රාත්‍රීයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි අප කළ විමසීමකදී කොස්වත්ත පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ රජවත්ත, බටහිර, කිරිමැටියාන පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනය වූ පුද්ගලයා සහ සැකකාර කාන්තාව අතර නිරන්තරයෙන්ම පවුල් ආරවුල් තිබී ඇති බවයි පොලිස් පරීක්ෂවලදී හෙළි වී ඇත්තේ.

ඔවුන්ගේ පවුල් ආරවුල් පිළිබඳව පැමිණිලි 30 කට වැඩි ප්‍රමාණයක්, කොස්වත්ත පොලිසියට පසුගිය කාලය තුළ ලැබී ඇති බවද පොලිසිය සඳහන් කළා.

27 වැනිදා රාත්‍රීයේදී දෙදෙනා අතර නැවත පවුල් ආරවුලක් ඇති වී තිබෙන බවත්, එම අවස්ථාවේදී නිදි යහනේ සිටි සැමියාව බිරිඳ විසින් රෙදි කඩකින් මුහුණ තද කර ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

ඝාතනය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර කොස්වත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴

@@@@@@@@@@@@@@@@

(28.03.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා කොරෝනා එන්නත් සැපයුම ඉහළ මට්ටමකට පැමිණි විට මෙරට පෞද්ගලික අංශයටද කොරෝනා එන්නත්කරණය සඳහා එක්විය හැකි බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ වනතුරුම එන්නත් නිෂ්පාදන සමාගම් ප්‍රමුඛත්වය ලබාදෙන්නේ රජයන් වෙත එන්නත් සැපයීමට බවයි.

ලොව පුරා ඉල්ලුමට සරිලන කොරෝනා එන්නත් නිෂ්පාදනය නොවීම ඊට හේතුවයි.

කෙසේ නමුත් ඉදිරි මාස එකහමාරක (1½) කාලය තුළ එම තත්වය සමනය විය හැකියි. එවැනි තත්වයකදී මෙරට පෞද්ගලික අංශය, රජය සමඟ සාකච්ඡා කොට කොරෝනා එන්නත් ආනයනය කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා විශ්වාසය පළ කළා.

එලෙස පෞද්ගලික අංශය මගින් කොරෝනා එන්නත්කරණය සිදු කරන්නේ නම් එය රජයේ අධීක්ෂණය යටතේ සිදුවනු ඇති බවයි ඔහු අවධාරණය කළේ.

ඉන්දියාවේ පූනේ හි සීරම් ආයතනය මගින් නිෂ්පාදනය කෙරෙන කොවිෂීල්ඩ් කොරෝනා එන්නත් මාත්‍රා නවලක්ෂයක් පමණ මේ වනවිට ශ්‍රී ලාංකිකයන්ට ලබාදී තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව ඇණවුම් කළ තවත් කොරෝනා එන්නත් මිලියනයක් උපරිම වශයෙන් මැයි මාසයේ මුල වනවිට දිවයිනට පැමිණෙනු ඇති බවයි ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා කියා සිටියේ.

චීනයෙන් සයිනොෆාම් එන්නත් හය (6) ලක්ෂයක් මේ මස 31 වනදා වනවිට දිවයිනට පැමිණෙන අතර, රුසියානු ස්පුට්නික් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 13 ක්ද ඇණවුම් කර ඇති බවයි ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ගතවූ පැය විසි හතරේ (24) දිවයිනෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 88 ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඉන් අනතුරුව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 29 ක්.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 28 දෙනෙකු වාර්තාවී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇත්තේ රෝගීන් 26 දෙනෙකු පමණයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද රෝගීන් 20 දෙනෙකු වාර්තාවී තිබීම විශේෂත්වයක්.

යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ කොරෝනා රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ චුන්නාකම් ප්‍රදේශයෙන් වන අතර, එම සංඛ්‍යාව 29 ක්.

එසේම යාපනයෙන් සහ මනිපායි නගරවලින් රෝගීන් 23 දෙනෙකු බැගින්ද වාර්තාවී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *