ගුවන්තොටුපල තීරු බදු රහිත සාප්පු සවාරි පහසුකම නැවතත්

ගුවන්තොටුපල තීරු බදු රහිත සාප්පු සවාරි පහසුකම නැවතත්

*********************************************

ගුවන්තොටුපල තීරු බදු රහිත සාප්පු සවාරි පහසුකම නැවතත්

(28.03.2021 – 09:20 +0530 – hirunews.lk/sinhala)

ගුවන්තොටුපල තීරු බදු රහිත සාප්පු සංකීර්ණය නැවතත් විවෘත කර ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය පවසනවා.

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන්නන් නිරෝධායන ක්‍රියාවලියට අදාළ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වීමෙන් ගුවන්තොටුපල තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සියලු සේවාවන් ලබාගත හැකි බවයි ඔවුන් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංකයක් ද ඔවුන් වෙන්කර තිබෙනවා.

එම දුරකථන අංකය සහ වෙබ් අඩවිය පහතින් :

TP No. : 011 226 3017
https://airport.lk/

******************************************

(28.03.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ පෙබරවාරි මාසයේ මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 22.38 දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 22 කින් වර්ධනය වී තිබෙනවා.

විශේෂයෙන් පහත රට තේ නිෂ්පාදනය සැළකූ විට සියයට 38 ක වර්ධනයක් වාර්තාවන බවයි තැරැව්කාර සමාගම් සඳහන් කළේ.

පහත රට තේ නිෂ්පාදනය පෙබරවාරි මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 14.2 ක් දක්වා වර්ධනය වීම විශේෂත්වයක්. වසරේ පළමු මාස 2 සැළකූ විට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 45.5 දක්වා සියයට 13.3 කින් වර්ධනය වී තිබෙනවා ෴

******************************************

ලොව වැඩිම අලි මරණ ශ්‍රී ලංකාවෙන්

(28.03.2021 – 09:15 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර තුළ අලි මිනිස් ගැටුම් හේතුවෙන් මෙරටට අහිමි වී ගොස් ඇති සද්දන්තයින් සංඛ්‍යාව 407 ක් බව වාර්තා වනවා.

මෙම මරණ සංඛ්‍යාව ඉන් පෙර වසරේ සිදුවු අලි මරණ සංඛ්‍යාව හා සංසන්දනය කරන විට කැපී පෙනෙන වැඩිවීමක් බවයි පරිසවේදීන් පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව පසුගියදා පැවති කෝපා පාර්ලිමේන්තු කාරක සභාවේදී පවා දැඩි ලෙස කතා බහට ලක් වුණා.

එමෙන්ම අලි මිනිස් ගැටුම් හේතුවෙන් සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාවේ ප්‍රතිශතාත්මකව ඉහළ යාමක් ද දක්නට ලැබෙනවා.

අලි මිනිස් ගැටුම හේතුවෙන් අහිමි වන මිනිස් ජීවිත ප්‍රමාණය ද සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙනවා.

දල වශයෙන් වසරකට 85 ක් පමණ තිබූ මිනිස් ජීවිත අහිමිවීම් 122 ක් දක්වා ඉහළ ගොස් තිබීම බරපතල කාරණයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙසේ මෙරට තුළ අලි මරණ වැඩි වීමට තවත් එක් හේතුවක් වී ඇත්තේ නිසි කළමනාකරණයකින් තොරව ඉව ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍යයි.

බොහෝ නගර සභා සහ ප්‍රාදේශිය සභා ආදියෙහි අපද්‍රව්‍ය ඉවතලන ස්ථානවල වන අලින් බහුලව ගැවසෙන දක්නට ලැබීම සුලභ දසුනක්.

මෙරට තුළ අලි මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා රජය විසින් පසුගිය වසරේ දී රුපියල් කෝටි 49 ක් වැය කර ඇති බව පාර්ලිමේන්තු කෝපා කාරක සභාවේ දී සාකච්ඡාවට ලක් වුණා.

කෙසේ වෙතත් එම මුදල් නිසි කළමනාකාරිත්වයකින් යුතුව භාවිත කර නොමැති බවටයි කෝපා පාර්ලිමේන්තු කමිටුවේ දී චෝදනා එල්ල කෙරුණේ.

මෙම මුදල් වැය කර ඉදි කරන ලද අලි වැට බොහොමයක් නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් සුදු අලියෙක් බවට පත්ව ඇති බවට එම කමිටුවේ දී චෝදනා කෙරුණා.

මෙරට අලි මිනිස් ගැටුම පාලනය කිරීමට ඉදිකර ඇති අලි වැට නඩත්තු කිරීම සදහා පමණක් ශ්‍රී ලංකා රජය වසරකට රුපියල් මිලියන 85 කට වැඩි ප්‍රමාණයක් වැය කරනවා.

කෙසේ වෙතත් ඉන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නොමැති බවටයි මෙම අලුත්ම වාර්තාවක් අනුව දැක්වෙන අලි මිනිස් ගැටුම් හේතුවෙන් සිදුවන පුද්ගල මරණ සහ අලි මරණ සංඛ්‍යාව ඉහළ යෑමෙන් පෙන්නුම් කරන්නේ ෴

++++++++++++++

(28.03.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය ඌවකුඩාඔය ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක පැටලීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

නිවසකින් විදුලිය ලබාගෙන මෙම විදුලි රැහැන ඇද ඇති අතර ඊයේ 27 ගම් වැදුනු මෙම වන අලියා එම විදුලි රැහැනේ පැටලී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඉතා හොඳින් වැඩී ඇති මෙම අලියා අවුරුදු 15 ත් 20 ත් අතර වයසක පසුවන බවට වනජීවී නිලධාරීන් පවසනවා.

මියගිය අලියාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) පැවැත්වීමට නියමිතයි.

විදුලි රැහැන අදිනු ලැබූ සැකකරු ඌවකුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඌවකුඩායඔය පොලිසිය සහ වැල්ලවාය වනජීවී නිලධාරීන් විමර්ශන සිදුකරනවා.

******************************************

(28.03.2021 – 10:13 +0530 – hirunews.lk/sinhala)

යාපනය, පුත්තූර් ප්‍රදේශයේදී අද (28) අලුයම පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ යාපනය, පුත්තූර් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 52 ක පුද්ගලයෙක්.

මාළු දැල් ආශ්‍රිත ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත්තේ.

දේහය මේ වන විට යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

ඉන්දුනීසියාවේ දේවස්ථානයක් අසල බෝම්බ පිපිරීමක්

(28.03.2021 – 10:41 +0530 – hirunews.lk/sinhala)

ඉන්දුනීසියාවේ මකස්සාර් ප්‍රදේශයේ කිතුණු දේවස්ථානයක් අසල බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.

ඉරිදා දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් බෝම්බය පුපුරුවාගෙන ඇති බවටයි හෙළිවී ඇත්තේ.

බෝම්බය පුපුරාගොස් ඇත්තේ මකස්සාර් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන දේවස්ථානයක් අසල වන අතර එම අවස්ථාවේ එහි ප්‍රධාන දේව මෙහෙය පැවැත්වෙමින් තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මරාගෙන මැරෙන බෝම්බකරු යතුරුපැදියකින් දේවස්ථානයට ඇතුලුවීමට උත්සාහ කර ඇති අතර එහි සේවයේ සිටි ආරක්ෂක නිලධාරියා විසින් එම පුද්ගලයා නතර කර තිබෙනවා.

එහිදී ඔහු බෝම්බය පුපුරුවාගෙන ඇතැයි සඳහන්.

පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු වගකීම භාරගෙන නැහැ.

මීට පෙර කතෝලික දේවස්ථානය ඉලක්ක කරගෙන මෙහි සිදුවූ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූයේ අයි.එස්. සංවිධානයේ ආභාෂය සහිත දේශීය අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමකටයි.

@@@@@@@@@@@@@@

(28.03.2021 – 09:52 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (27) රාත්‍රී 08:30 වන විට මෙරට පුද්ගලයන් 894,053 දෙනෙකුට කෙරෝනා එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඊයේ (27) දිනයේ පමණක් එන්නත් ලබාදී ඇති සංඛ්‍යාව 9889 ක්.

මෙරට කොරෝනා මර්දන එන්නත් ලබාදීම ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි මස 29 වනදායි.

එසේම ඊයේ (27) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 278 ක් අලුතින් හඳුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වන මුලු ආසාදිතයන් සංඛ්‍යාව 91,839 දක්වා ඉහළ ගියා.

එමෙන්ම ඊයේ (27) වාර්තාවූ තවත් කොරෝනා මරණයක් සමඟින් මෙරට කොරෝනා මරණ සංඛ්‍යාවද 559 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

++++++++++++++++++++

(28.03.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය විසි හතරේ (24) දිවයිනෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 88 ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඉන් අනතුරුව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 29 ක්.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 28 දෙනෙකු වාර්තාවී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇත්තේ රෝගීන් 26 දෙනෙකු පමණයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද රෝගීන් 20 දෙනෙකු වාර්තාවී තිබීම විශේෂත්වයක්.

යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ කොරෝනා රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ චුන්නාකම් ප්‍රදේශයෙන් වන අතර, එම සංඛ්‍යාව 29 ක්.

එසේම යාපනයෙන් සහ මනිපායි නගරවලින් රෝගීන් 23 දෙනෙකු බැගින්ද වාර්තාවී තිබෙනවා.

+++++++++++++++++++++

(28.03.2021 – 11:50 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමකින් තොරව පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථවල රියදුරන්ට මෙන්ම හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසනවා.

කොරෝනා අවදානම තවමත් පහවගොස් නොමැති බැවින් මේ සම්බන්ධයෙන් වැඩි අවදානයකින් කටයුතු කරන ලෙසටයි පාසල් ළමුන් ප්‍රවාහන රථවල රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පොලිසිය උපදෙස් දෙන්නේ.

සෑම විටකම සෞඛ්‍ය නීති උපරිම වශයෙන් ආරක්ෂාවන ලෙසට කටයුතු කරන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියා.

මුහුණු ආවරණ ඉවත් කර වාහනවල ගමන් කිරීමට ළමුන්ට ඉඩ ලබානොදෙන ලෙසට ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම්දෙනවා.

බස්නාහිර පළාතේ පාසල්වල මෙතෙක් ආරම්භ කර නොමැති ශ්‍රේණි හෙට (29) යළි ආරම්භ කෙරෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව එම කටයුතු සිදු කෙරෙන බවයි.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව සියලු සිසු සැරිය බස් රථ හෙට සිට ධාවනයේ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළා.

පාසල් සම්පූර්ණ ලෙස ආරම්භ කිරීම පිළිබඳව අදහස් දක්වමින් සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කලේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව තදබදයකින් තොරව සිසුන් ප්‍රවාහනය සදහා ධාවන කාලසටහන් සංශෝධනය කිරීමට බලධාරීන් විසින් පියවර ගත යුතු බවයි.

+++++++++++++++++++++

(28.03.2021 – 11:59 +0530 – hirunews.lk/sinhala)

මුහුණු ආවරණ නොපැළඳීමස හ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා කටයුතු කළ පුද්ගලයන් 3400 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

ගතවූ පැය 24 ක කාලය තුල පමණක් අදාළ චෝදනා මත පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

ඉදිරියේදී එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් සාප්පු සවාරි යාමේදී නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදුවලට අනුගතව කටයුතු කරන ලෙසට පොලිසිය ජනතාවට දැනුම්දෙනවා.

පොදු ස්ථානවලට යාමේදී මෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී මුහුණු ආවරණයක් පැළඳීම මෙන්ම නිතර අත් සේදීම ඇතුලු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *