සාම්පූර් ඉත්තිකුලම් වැවේ දිය නෑමට ගිය දරුවෙක් කිඹුලෙකුට ගොදුරු වෙයි

සාම්පූර් ඉත්තිකුලම් වැවේ දිය නෑමට ගිය දරුවෙක් කිඹුලෙකුට ගොදුරු වෙයි

*********************************************

සාම්පූර් ඉත්තිකුලම් වැවේ දිය නෑමට ගිය දරුවෙක් කිඹුලෙකුට ගොදුරු වෙයි

(28.03.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala)

සාම්පූර් ඉත්තිකුලම් වැවේ දිය නෑමට ගිය කුඩා දරුවෙකු කිඹුලෙකුට ගොදුරුවී තිබෙනවා.

ඊයේ (27) සවස දරුවන් තුන්දෙනෙකු (3) දිය නෑමට ගොස් ඇති අතර එක් දරුවෙක් (1) එක්වරම අතුරුදන්වී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

එක්වරම පැමිණි කිඹුලෙකු විසින් එම දරුවා රැගෙන ගිය බව එහි සිටි අනෙක් ළමුන් දෙදෙනා (2) ප්‍රකාශකර තිබෙනවා.

අතුරුදන්වී ඇති දරුවා මෙතෙක් සොයා ගැනීමට නොහැකිවී ඇති අතර සාම්පූර් පොලිසිය මෙහෙයුම් සිදුකරනවා.

මේ අතර ඊයේ (27) දිනයේදී හසලක ප්‍රදේශයේදී මහවැලි ගගේ දිය නෑමට ගිය 43 හැවිරිදි පියෙක් සහ ඔහුගේ 13 හැවිරිදි පුත්‍රයා දියේ ගිලී අතුරුදන්ව තිබුනා.

මේවන විට පුත්‍රයාගේ මළ සිරුර සොයාගෙන ඇති අතර පියාගේ සිරුර සොයා ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ.

පොලිසිය ජනතාවට උපදෙස් ලබාදෙන්නේ මෙම උත්සව සමයේ ගමන් බිමන් යාමේදී දිය නෑමට යාමේදී වඩාත් ප්‍රවේශම් වන ලෙසටයි.

දියේ ගිලීමට ලක්වීමේ අවදානම මෙන්ම කිඹුලන්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානම පවතින බැවින් නුපුරුදු ස්ථානවලින් දිය නෑමට නොයන ලෙසට සහ දිය නෑමට යන්නේ නම් ආරක්ෂිත ස්ථානයක් තෝරා ගන්නා ලෙසට ද පොලිසිය දැනුම් දෙනවා ෴

******************************************

(28.03.2021 – 06:36 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල වෙරලුපිටිය ප්‍රදේශයේදී මැණික් පතලක සිරවීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

ඊයේ (27) රාත්‍රී 7 ට පමණ පැවති වර්ෂාවත් සමග සිදුවූ විදුලි විසන්ධි වීමකින් අනතුරුව ඒ පිළිබඳ සොයා බැලීමට පතල තුලට ගිය අවස්ථාවේ ඔවුන් එහි සිරවී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මියගිය පුද්ගලයන් දෙදෙනාගේ (2) මළ සිරුරු අවිස්සාවේල්ල රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මෙම පතල ජාතික මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ අවසරය මත පවත්වාගෙන යන පතලක් බවට වාර්තා වුව ද ඒ පිළිබඳ විමර්ශණ සිදුකරන බවයි පොලිසිය කියාසිටියේ.

මියගිය පුද්ගලයන් දෙදෙනාගේ (2) මරණවලට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මක අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද (28) පැවැත්වීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ මෙලෙස මරණයට පත්වී ඇත්තේ දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 සහ 45 වයස්වල පසුවන දෙදෙනෙක් බවයි.

මේ අතර ඊයේ (27) පැවති දැඩි වර්ෂාවත් සමග අවිස්සාවේල්ල ප්‍රදේශයේ විශාල ජල පහරක් ගලාගිය ආකාරය එහි සිටි අයෙකු විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණා.

******************************************

(28.03.2021 – 06:55 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුල රිය අනතුරුවලින් සිදුවූ මරණ 11 ක් පමණ වාර්තාවන බව පොලිසිය පවසනවා.

ඉන් මරණ 8 ක්ම වාර්තාවී ඇත්තේ ඊයේ (27) දිනයේ සිදුවූ රිය අනතුරුවලින් වන අතර අනෙක් මරණ තුන (3) මීට පෙර සිදුවූ අනතුරුවලින් තුවාල ලබා සිටි පුද්ගලයන්.

එම මරණ 11 අතර මගීන් 4 දෙනෙකු පදිකයන් 3 දෙනෙකු සහ යතුරුපැදිකරුවන් 4 දෙනෙකු ද වනවා.

වැඩි වශයෙන් පදිකයන් සහ යතුරුපැදිකරුවන් අනතුරුවලට ලක්වීමේ ප්‍රවණතාවක් පවතින අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

කැකිරාවේ ඊයේ (27) සිදුවූ වෑන් රථ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු (2) මියගිය අතර එම අනතුරට හේතුව ලෙසට අනාවරණ වී ඇත්තේ රියදුරාට නින්ද යාමයි.

අදාළ අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ දිනවල සිදුවන අනතුරු විශ්ලේෂණය කිරීමේදී රියදුරන්ට නින්ද යාම, බීමත් රිය ධාවනය, අපරීක්ෂාකාරී රිය ධාවනය සහ මාර්ග පද්ධතිවල දෝෂ නොසලකා රිය ධාවනය වැනි කරුණු අනාවරණ වී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මෙම උත්සව සමයේදී විවිධ ගමන් බිමන් යාමේදී කිසිදු අවස්ථාවක රියදුරන්ට මත්පැන් පානයට අවස්ථාව ලබා නොදිය යුතු අතර වේගයෙන් ධාවනයට අවස්ථාව ලබා නොදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියා ෴

******************************************

(28.03.2021 – 07:13 +0530 – hirunews.lk/sinhala)

හැඳල ඇලකන්ද ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 54 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රී රෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ (27) පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසිනුයි.

සැකකරු මෝදර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.

මේ අතර තංගල්ල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය කතරගම සිදුකළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 152 ක් සමග 27 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ ඊයේ (27) දිනයේ කොළඹ නගරය සහ ඒ අවට මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් ග්‍රෑම් 64 ක පමණ ප්‍රමාණයක් හමුවී ඇති බවයි.

මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ කාලයක් තිස්සේ ත්‍රී රෝද රථයෙන් කුලී ගමන් යන මුවාවෙන් හෙරොයින් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටයි.

පානදුර ප්‍රදේශයේ පදිංචි අයෙකු විසින් මෙහෙයවා ඇතැයි ද සැකකරු හෙළිකර තිබෙනවා.

කතරගම සහ ඒ අවට හෙරොයින් අවශ්‍ය පුද්ගලයන් ප්‍රධාන ජාවාරම්කරුට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ගෙවීමෙන් පසු ඔහු විසින් මෙම සැකකාර ත්‍රී රෝද රථ රියදුරාට එම ගනුදෙණුව පිළිබඳ දැනුම්දී හෙරොයින් එම පුද්ගලයන් වෙත යවා ඇති බවටයි අනාවරණ කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු දෙදරු (2) පියෙක්.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් 1997 අංකයට දැනුම්දෙන ලෙසට ද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ෴

******************************************

(28.03.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

මෙරට පළමු ජාතික උරුම ලැයිස්තුව ලබන මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

ජාතික උරුම නම්කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

******************************************

කතාබහට ලක්වූ පොල්තෙල් සාම්පල කාර්මික තාක්ෂණ ආයතනයට

(28.03.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල කතාබහට ලක්ව ඇති පොල්තෙල් සාම්පල පිළිබඳ පරික්ෂණ වාර්තාව කඩිනමින් ලබාදීමට නියමිත බව කාර්මික තාක්ෂණ ආයතනය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රාධිකා සමරසේකර මහත්මිය කියා සිටියේ ඊයේ (27) දිනයේදී එම සාම්පල සිය ආයතනය වෙත ලැබුණු බවයි.

ආනයනය කළ පොල්තෙල් බහලුම් 13 ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් පසුගිය 04 වනදා තහවුරු කර තිබුණා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින්ද එම සාම්පල පරීක්ෂාවට ලක් කරන අතර, මේ වනවිට එක් ආනයනකරුවෙකුගේ පොල්තෙල් සාම්පල ප්‍රමිතියෙන් තොර බව සනාථ වී තිබෙනවා. අනෙක් ආනයනකරුවන්ගේ පොල්තෙල් සම්පාලවල පරීක්ෂණ ප්‍රතිඵලද කඩිනමින් නිකුත් කෙරෙනු ඇති.

කෙසේ වෙතත්, අදාළ පොල්තෙල් බහාලුම් ඒ වනවිටත් ඒවා ආනයනය කළ ආයතනවල ගබඩා වෙත මුදා හැර තිබූ බව සඳහන්.

රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ පොල්තෙල් ගබඩා කර තබා ගැනීමේ පහසුකම් නොමැති බැවින් සාම්පල පරීක්ෂාවේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඒවා වෙළඳපොලට නිකුත් නොකිරීමේ කොන්දේසි මත ආනයනික ආයතන වල ගබඩා වෙත මුදා හැරි බවයි.

අදාළ පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරු වීමෙන් පසුව එය ප්‍රතිඅපනයනය කෙරෙන තෙක් ප්‍රශ්නගත පොල්තෙල් ආනයන කළ ආයතන 3 හි ගබඩා මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ ප්‍රශ්නගත පොල්තෙල් වෙළඳපොලට නිකුත් නොවන බවට ජනතාවට සහිතක වීම සඳහායි.

ඊට අමතරව, එම පොල්තෙල් වෙළඳපොලට නිකුත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වෙළඳසැල් වලින් අහඹු සාම්පල් ලබා ගැනීමට පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

******************************************

(28.03.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ නව මහා නායක ධුරය පිරිනැමීමේ ඡන්දය මැයි මස පළමු සතිය තුළ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩ බලන මහානායක ලෙස අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි මහා නායක ස්වාමීන් වහන්සේ කටයුතු කරන බවයි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර අනුනායක හිමියන් සඳහන් කළේ ෴

******************************************

(28.03.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

ලොව කාර්යබහුලතම නෞකා මාර්ගයක් වන ඊජිප්තුවේ සූවස් ඇළ අවහිර කරමින් අක්‍රිය වූ දැවැන්ත බහලුම් නෞකාව යළි දියඹට එක් කිරීම සඳහා නව උත්සාහයක් ක්‍රියාත්මකයි.

සූවස් ඇළේ පාලනාධිකාරිය සඳහන් කළේ ටග් යාත්‍රා 14 ක් ඊයේ (27) වඩදිය අවස්ථාව උපයෝගී කරගනිමින් නෞකාව මුදාගැනීමට උත්සාහ කළ බවයි.

එමෙන්ම අද (28) දිනයේදීද තවත් ටග් යාත්‍රා එක්වී නෞකාව මුදාගැනීමට උත්සාහ කරනු ඇති.

‘එවර් ගිවන්’ නමැති මෙම නෞකාව සූවස් ඇළ අවහිර කරමින් පසුගිය අඟහරුවාදා අක්‍රිය වීමත් සමඟ නෞකා 300 කට අධික සංඛ්‍යාවක් ඇළ දෙපස පෙළ ගැසී ඇති බව සඳහන්.

ඇතැම් නෞකා දකුණු අප්‍රිකානු සුබ පැතීමේ තුඩුව හරහා යුරෝපය වෙත ගමන් කිරීමට කටයුතු යොදා තිබුණා.

සිකුරාදා රාත්‍රිය වනවිට නෞකාවේ ඉදිරි කොටස සිරවී ඇති වැලි ටොන් 20,000 ක් පමණ ඉවත් කරගත් අතර, නෞකාවේ භාණ්ඩ නොමැති විට බර රඳවාගැනීමට පුරවා තිබූ ජලය ටොන් 9,000 ක්ද ඊයේ ඉවත් කර ගැනුනා.

ඉන් පසු නැවේ අවර පෙති සහ සුක්කානම ක්‍රියාකාරී වී ඇති අතර, දැඩි සුළං සහ උදම් රළ හේතුවෙන් නෞකාව මුදාගැනීමේ මෙහෙයුම සාර්ථක වූයේ නැහැ.

දැන් ක්‍රියාත්මක උත්සාහය අසාර්ථක වුවහොත් මීළඟ පියවර වන්නේ නෞකාවේ බහලුම් යම් ප්‍රමාණයක් ඉවත් කර එය සැහැල්ලු කිරීමයි.

මීටර 400 ක් දිගැති ටොන් දෙලක්ෂයක් බර ලොව මෙතෙක් නිපදවූ විශාලතම බහලුම් නෞකාවක් වන ‘එවර් ගිවන්’ තායිවාන එවර්ග්‍රීන් මැරීන් සමාගමට අයත්.

එම සමාගමේ හිමිකාරත්වය දරන්නේ ජපානයේ ෂොයි කිසන් සමූහයයි.

එහි සභාපති යුකිටෝ හිගාකි ඊයේ (27) ටෝකියෝ නුවරදී ප්‍රකාශ කළේ නෞකාව කඩිනමින් දියඹට එක් කිරීමට හැකිවනු ඇති බවයි. එමෙන්ම ඉන්පසු ඊට සාමාන්‍ය පරිදි යාත්‍රා කිරීමට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

නෞකාව මුදාගැනීමේ මෙහෙයුමට අමතර උපකරණ සහ යාත්‍රා අද (28) දිනයේ ළඟාවනු ඇති බව ඊට එක්ව සිටින බ්‍රිතාන්‍යය නාවුක මණ්ඩලය සඳහන් කළා.

ඇමරිකා එක්සත් ජනපදයද ඒ සඳහා එක්වීමට කැමැත්ත පළ කර තිබෙනවා.

ගෝලීය වෙළඳාමෙන් සියයට 12 ක් කිලෝමීටර 193 ක් දිගැති සූවස් ඇළ හරහා ගමන් කරනවා.

මධ්‍යධරණී මුහුදේ සිට රතු මුහුද දක්වා දිවෙන මෙම ඇළ මාර්ගය ආසියාව සහ යුරෝපය අතර කෙටිම නාවුක සම්බන්ධතාවද වනවා. ඇළ මාර්ගය අවහිරවීමෙන් දිනකට ඊජිප්තුවට ඩොලර් මිලියන 14 ක් අහිමිවන බව පාලනාධිකාරිය සඳහන් කළා.

සූවස් ඇළ මාර්ගය අවහිර වීම ශ්‍රී ලංකාවට ඍජුවම බලපෑමක් ඇති නොකළද ආනයන, අපනයන පමාවීම සහ ඉන්ධන මිල ඉහළ යාම තුළින් එමඟින් වක්‍රාකාර බලපෑමක් ඇතිවිය හැකියි.

@@@@@@@@@@@@@@

(28.03.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන උත්සව සමයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සංචරණ සීමා පැනවීම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළේ උත්සව සමයේ ජනතා ඒකරාශී වීම් හේතුවෙන් රට තුල කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ යා හැකි බවයි.

මේ අතර කොරෝනා අවදානම හේතුවෙන් අත්හිටුවා ඇති සංගීත ප්‍රසංග යළි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව කඩිනමින් ආරම්භ කරන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඊට අනුමැතිය ලබා ගැනීම සදහා වන සාකච්ඡාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග පැවැත්වූ බවයි.

එසේම ඊයේ (27) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 278 ක් අලුතින් හඳුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වන මුලු ආසාදිතයන් සංඛ්‍යාව 91,839 දක්වා ඉහළ ගියා.

එමෙන්ම ඊයේ (27) වාර්තාවූ තවත් කොරෝනා මරණයක් සමඟින් මෙරට කොරෝනා මරණ සංඛ්‍යාවද 559 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

++++++++++++++++++

(28.03.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ පාසල් වල මෙතෙක් ආරම්භ කර නොමැති ශ්‍රේණි හෙට (29) සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව එම කටයුතු සිදු කෙරෙන බවයි.

කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කියා සිටියේ පාසල් විවෘත කිරීම, විධිමත් ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක නොවන බවයි.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව සියලු ‘සිසු සැරිය බස් රථ’ හෙට (29) සිට ධාවනයේ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළා.

පාසල් සම්පූර්ණ ලෙස ආරම්භ කිරීම පිළිබඳව අදහස් දක්වමින් සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කලේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව තදබදයකින් තොරව සිසුන් ප්‍රවාහනය සදහා ධාවන කාලසටහන් සංශෝධනය කිරීමට බලධාරීන් විසින් පියවර ගත යුතු බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *