පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනය කළ ගබඩා 03 කට මුද්‍රා තැබේ

පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනය කළ ගබඩා 03 කට මුද්‍රා තැබේ

*********************************************

පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනය කළ ගබඩා 03 කට මුද්‍රා තැබේ

(27.03.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වූ පොල්තෙල් ආනයනය කළ ආයතන 3 කට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

අදාළ පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරු වීමෙන් පසුව එය ප්‍රතිඅපනයනය කෙරෙන තෙක් එම ආයතන 3 ට මුද්‍රා තැබූ බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ.

ආනයනය කළ පොල්තෙල් බහලුම් 13 ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් තහවුරු කර තිබියදී එය අදාළ ආයතන වෙත මුදා හැර ඇති බවට සමස්ථ ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පසුගිය දා චෝදනා කළා.

කෙසේ වෙතත්, අදාළ පොල්තෙල් වෙළදපොළට නිකුත් වී නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඊයේ (26) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

එහෙත් වෙළදපොළට පරිභෝජනයට නුසුදුසු පිළිකා කාර අඩංගු පොල්තෙල් නිකුත් වී ඇති බවට එල්ල වන චෝදනා හමුවේ එය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා දිවයින පුරා වෙළදසැල්වල පොල්තෙල් සාම්පල ලබා ගැනීම ඊයේ (26) සිට ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළා.

මේ අතර, අදාළ පොල්තෙල් වල අඩංගු බව කියන ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරකය ශරීරගත වුවහොත් ඉන් සිදුවන බලපෑම කුමක්ද යන්න සම්බන්ධයෙන් අප ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකී විදානපතිරණ මහත්මිය ගෙන් විමසීමක් කළා.

ඇය කියා සිටියේ දීර්ඝ කාලීනව සහ කෙටිකාලීනව ඉන් බලපෑම් ඇතිවිය හැකි බවයි.

******************************************

(27.03.2021 – 11:47 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් අවසන් තීරණයක් අනිද්දා (29) රැස්වන කැබිනට් මණ්ඩලයේ දී ගැනීමට නියමිතයි.

එය පැරණි මනාප ක්‍රමයට පවත්වන්නේ ද, නැතහොත් නව කොට්ඨාස ක්‍රමයට පවත්වන්නේ ද යන්න පිළිබඳව එහිදී තීරණය කෙරෙනු ඇති.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විකල්ප යෝජනා 2 ක් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් පසුගිය සතියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට අවශ්‍ය බවට අමාත්‍යවරුන් පිරිසක් ප්‍රකාශ කිරීම නිසා එය සාකච්ඡාවට ගැනීම සතියකින් පමණ කල් දැමුණු අතර, එම කැබිනට් පත්‍රිකාව අනිද්දා (29) යළි සාකච්ඡාවට ගැනෙනවා.

මැතිවරණය පැරණි ක්‍රමයට පත්වන්නේ නම් පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නව පනත් අහෝසි කර පැරණි පනත බලාත්මක කල යුතු බව ඉන් එක් යෝජනාවක්.

මැතිවරණය අනුපාත හා කොට්ඨාශ මිශ්‍ර ක්‍රමයට පවත්වන්නේ නම් කොට්ඨාශ මට්ටමෙන් සියයට 70 ක්ද අනුපාත ක්‍රමය යටතේ සියයට 30 ක් වශයෙන් මන්ත්‍රීවරුන් පත් කරන ලෙස නව පනත සංශෝධනය කිරීම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති දෙවන යෝජනාවයි.

මේ අතර, පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරන පක්ෂයට පළාතෙන් හිමි වන ප්‍රසාද මන්ත්‍රී ආසන 02 වෙනුවට දිස්ත්‍රික් මට්ටමින් ප්‍රසාද මන්ත්‍රීවරුන් දෙදෙනෙකු (2) බැගින් පත් කිරීමට මෙම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික් 02 ක් අයත් වන පළාත් සභාවකට මන්ත්‍රී ආසන 04 ක්ද, දිස්ත්‍රික් 03 ක් අයත් වන පළාත් සභාවකට මන්ත්‍රී ආසන 06 ක්ද, හිමි වන ලෙස මැතිවරණ පනත සංශෝධන වනු ඇති.

සඳුදා කැබිනට් මණ්ඩලයේදී මෙහි අවසන් තීරණයක් ගනු ඇති බවට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ද හිරු ප්‍රවෘත්තී අංශයට අදහස් දක්වමින් සඳහන් කළා ෴

******************************************

(27.03.2021 – 12:40 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටුව වෙත ලබාදුන්නා.

එහිදී බලය විමධ්‍යගත කිරීම පිළිබඳ සංකල්පයට නිදහස් පක්ෂය සිය එකඟතාවය පළකර තිබෙනවා.

******************************************

(27.03.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි, එහෙත් ගෙවීම් හැකියාවක් නොමැති දිවයිනට පැමිණීමට අපේක්ෂිත සියළු ශ්‍රමිකයින් මෙරට පැමිණි පසු නොමිළේ නිරෝධායනය කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ සඳහා කාර්යාංශය විසින් මුදල් ගෙවා හෝටල් 14 ක් වෙන් කරගෙන ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

මේ යටතේ මැදපෙරදිග ඇතුළු විවිධ රටවල ගිවිසුම් අවසන් වූ හා සේවා ස්ථාන අහිමිවූ ශ්‍රමිකයින් ප්‍රමුඛතාව මත ගෙන්වාගෙන මෙලෙස නිරෝධායනයට පියවර ගැනෙනු ඇති ෴

******************************************

(27.03.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

අර්තාපල් වගාවට වැළදී ඇති හිටුමැරීමේ රෝගයක් හේතුවෙන් නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසක අල ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් බලධාරින්ගේ අවධානය මෙතෙක් යොමුවී නොමැති බවයි.

නුවරඑළිය, මීපිලිමාන, කඳපොල, පළල්පතන, රත්නායකපතන, මන්ත්‍රීතැන්න, රාගල ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන් මෙවර මහ කන්නය සඳහා පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසවල අර්තාපල් වගාවේ නිරත වුණා.

මෙවර ඔවුන් විදේශයන්හි සිට ආනයනය කර ඇති බීජ අර්තාපල් වගා කර ඇති අතර එම බීජ අර්තාපල් කිලෝ 50 ක් රුපියල් 18,500 ත් 22,500 ත් අතර වන බවයි ගොවීන් පවසන්නේ.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් ප්‍රදේශයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමේදී එහි නිලධාරින් ගොවීන්ට පවසා ඇත්තේ අදාළ බීජ ආනයනය කළ ආයතනයෙන් ඒ පිළිබඳව කරුණු විමසන ලෙසටයි.

එමෙන්ම, තවත් ප්‍රදේශ කිහිපයක අර්තාපල් ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින්නේ අස්වැන්න සඳහා නිසි මිලක් නොමැතිවීම හේතුවෙන්.

හාලිඇල, වැලිමඩ සහ බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවල අර්තාපල් අස්වැන්න නෙලීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වුවත්, ගොවීන් පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් මිලකට අස්වනු අලෙවි කරගත නොහැකි බවයි.

මේ අතර, මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනය යටතේ බඩඉරිඟු වගා කිරීම සඳහා ලබාදුන් ඉඩම්වලින් තමන්ට ඉවත්වන ලෙසට මහවැලි බළධාරින් විසින් දැනුම් දී ඇති බවට එම ගොවීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ සිය වගා භූමි උක් වගා කිරීම සඳහා සමාගම් වලට ලබාදීමට සූදානම් වීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට ඇති බවයි.

******************************************

(27.03.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

සූවස් ඇළේ බහලුම් නෞකාවක් සිරවීමේ සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයුම් පිළිබද කිසිදු බලපෑමක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට සති දෙකකට (2) ප්‍රමාණවත් ඉන්ධන ශ්‍රී ලංකාව සතුව පවතින බවයි.

මේ අතර, මෙතෙක් ලෝකයේ නිෂ්පාදිත විශාලතම බහලුම් නෞකාවක් වන ‘එවර් ගිවන්’ සූවස් ඇළ මාර්ගයේ සිර වීමෙන් මුහුදු කොල්ලකෑම් ඉහළ යාමේ අවදානමක් මතු වී තිබෙනවා.

මේ වන විට සූවස් ඇළ දකුණු අන්තයේ නෞකා 200 කට වැඩි සංඛ්‍යාවක් සිර වී ඇති අතර, ඒවායේ නවතම මෝටර් රථ, මත්පැන්, ගවයන් ඇතුළු සජීවි සතුන් මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා බොරතෙල් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඩොලර් බිලියන 12 කට අධික භාණ්ඩ රැගත් එම නෞකා විකල්ප මුහුදු මාර්ග සොයමින් සිටින්නේ සිර වූ නෞකාව ඉවත් කිරීම තවදුරටත් පමාවීම හේතුවෙන්.

යුරෝපයට ළඟාවීම සදහා ඔවුන්ට පවතින විකල්පය වන්නේ දකුණු අප්‍රිකානු සුබ ප්‍රාර්ථනා තුඩුව හරහා ගමන් කිරීමයි.

එලෙස නෞකා රැසක් නැගෙනහිර අප්‍රිකානු මුහුදට පිවිසීම මුහුදු කොල්ල ඉහළ යාමේ අවදානම ඉහළ නංවන බව නාවික විශේෂඥයන් පෙන්වා දෙනවා.

එලෙස ඇති විය හැකි අවදානම් වැළැක්වීමේ සහය සඳහා නෞකා සමාගම් රැසක් තමන් ඇමතූ බව බහරේනයේ කේන්ද්‍ර ගත ඇමරිකානු නාවික හමුදාවේ 05 වන බලකායේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

මේ අතර, සූවස් ඇළේ නෞකාවක් සිරවීමේ සිද්ධියත් සමග ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සියයට 4 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 64 ඉක්මවා ඇති අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 61 කට ආසන්න වුණා.

******************************************

(27.03.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

‘මොහොමඩ් හස්තුන්’ගේ බිරිඳ ලෙස සැලකෙන ‘පුලස්තිනී රාජේන්ද්‍රන්’ හෙවත් ‘සාරා’ මිය ගියා ද යන්න තහවුරු කිරීම සඳහා නැවතත් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදුකෙරෙනවා.

ඒ සඳහා සයින්දමරදු පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් නැවත ගොඩගැනීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කියා සිටියේ සාරාගේ බවට සැක කෙරෙන ඩී.එන්.ඒ. සහ ඇගේ මවගේ ඩී.එන්.ඒ. මීට පෙර පරීක්ෂාවට ලක් කළ ද ඒවා සැසදී නොතිබූ බවයි.

ඒ හේතුවෙනුයි සහරාන් හෂීම්ගේ පවුලේ අය මිය ගිය සයින්දමරදු හි මිහිදන් කර ඇති ඔවුන්ගේ සිරුරු කොටස් යළි ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට තීරණය වී ඇත්තේ.

මේ අතර, පුත්තලම – මද්‍රසා පාසලේ සිසුන්ට අවි පුහුණුව ලබාදුන් බවට අත්අඩංගුවට ගත් එම පාසලේ ගුරුවරුන් දෙදෙනා (2) ගෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (26) මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

අවුරුදු 26 සහ 27 යන වයස්වල පසුවන ඔවුන් හලාවත සහ මදුරන්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

(27.03.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අටහවුල්හේන ගම්මානයට පිවිසීමට තිබෙන ජනසවි ගම මාර්ගය අබලන්වීම හේතුවෙන් එහි ජනතාව දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා.

මෙම ගම්මානයට පිවිසීම සඳහා මාර්ග කිහිපයක් තිබුණ ද ඒ සෑම මාර්ගයක්ම වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණයට ලක් වෙලා නැහැ.

මෙම තත්වය හේතුවෙන් ගම්වාසීන්ගේ දෛනික කටයුතුවලට මෙන්ම කුඩා දරුවන්ට පාසල වෙත යාමට ද සිදුව ඇත්තේ මෙම මාර්ගය හරහා ගලා බසිනා සේන දොළ තරණය කරමින්.

වර්ෂාව නොමැති කාලවල දී එය යම් තාක් දුරට විසදුමක් වුව ද වර්ෂා කාලයට දොලේ දිය පහර ඉහළ යාම හේතුවෙන් ගම්වාසීන්ට අනතුරුදායක අභියෝගයකට මුහුණ දීමටයි සිදුව ඇත්තේ.

සියයකට අධික පවුල් සංඛ්‍යාවක් ජීවත් වන මෙම ගම්මානයේ පවතින අක්‍රමවත් මාර්ග පද්ධතිය හේතුවෙන් ජනතාව හදිසි අවස්ථාවවල දී දැඩි අපහසුතාවයට පත් වෙනවා.

මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දීම පාලින්දනුවර ප්‍රාදේශීය සභාව මෙන්ම දේශපාලනඥයින් දැනුවත් කළ ද ඒ කිසිවෙක් මෙම ගැටළුවට කන්දීමක් සිදුකර නැහැ.

තම දෛනික කටයුතු සඳහා භාවිත කිරීමට ක්‍රමවත් මාර්ග පද්ධතියක් පමණක් ඉල්ලා සිටින මෙම ජනතාවගේ හඬට කන්දීම බලධාරීන්ගේ වගකීමක් නොවන්නේද මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වන තුරු ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

******************************************

(27.03.2021 – 14:12 +0530 – hirunews.lk/sinhala)

අද (27) පෙරවරු 9 ට පමණ මිනුවන්ගොඩ – හූරිගහ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

දෙදෙනෙකු (2) ගමන්කළ යතුරුපැදියක් පාර හරහා මාරුවීමට තැත්කළ පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුරුව පෙරලීගොස් නිරෝධායන රාජකාරී සඳහා ගමන් කරමින් සිටි හමුදා නිලධාරීන් රැගත් බස් රථයක ගැටී තිබෙනවා.

මෙහිදී යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරින් පසු එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

අදාළ බස් රථය නිරෝධායන රාජකාරී සඳහා කුලී පදනම යටතේ ලබාගෙන ඇති පෞද්ගලික බස් රථයක් බවයි වාර්තා වන්නේ.

******************************************

(27.03.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ලෙස ධීවර කටයුතුවල නිරතව සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 54 දෙනා අතුරින් ඉතිරිව සිටි අනෙකුත් ධීවරයින් 14 දෙනා ද අද (27) නිදහස් කර තිබෙනවා.

නාවික හමුදාව ප්‍රකාශ කළේ ඔවුන් සතුව තිබූ ධීවර ආම්පන්න සහ යාත්‍රා ද සමග මෙලෙස නිදහස් කළ බවයි.

පසුගිය 25 වනදා මෙම ඉන්දීය ධීවරයින් 54 දෙනා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්තේ යාත්‍රා 5 ක් සමගයි.

අත්අඩංගුවට පත්වූ ධීවරයින් 54 දෙනාගෙන් පසුගිය සිකුරාදා ධීවරයින් 40 දෙනෙකු නිදහස් කළ අතර, ඉතිරිව සිටි ධීවරයින් 14 දෙනායි මෙලෙස අද (27) දිනයේ නිදහස් කර ඇත්තේ ෴

******************************************

(27.03.2021 – 17:29 +0530 – hirunews.lk/sinhala)

බකමූණ ප්‍රදේශයේ සිට අනුරාධපුරය දක්වා වන්දනා ගමනක නිතර වී සිටි වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්වුණා. තවත් 15 දෙනෙකු එහිදී තුවාල ලබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි. රියදුරුට වෑන් රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී මෙම අනතුර සිදුව තිබුණා.

***************************************

(27.03.2021 – 17:40 +0530 – hirunews.lk/sinhala)

වව්නියාව වෛරවපුලියන්කුලම වැවේ ගිලීමෙන් පාසල් ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (27) උදෑසන කෝවිලේ මල් නෙලීමට ගොස් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔහු වව්නියාව දෙමළ මහා විද්‍යාලයේ සේවය කළ 32 හැවිරිදි අයෙක්.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සිරුර සොයාගෙන තිබෙනවා.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකර ඇති අතර සිද්ධිය පිළිබඳ වව්නියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

@@@@@@@@@@@@@@@

(27.03.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයත් සමඟ අහඹු කොරෝනා පරීක්ෂණ සිදුකරන බව වසංගත විද්‍යා ඒකකය පවසනවා.

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද (27) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ සාප්පු සවාරි යාමේදී නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි.

මේ අතර, ඊයේ (26) හඳුනා ගත් නව ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස වන 55 දෙනෙකු වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 දෙනෙක් වාර්තා වනවා.

මෙරට මුළු ආසාදිතයින් 91,561 වන අතර, ඉන් සුවය ලැබු ආසාදිතයින් ගණන 88,145 ක්.

උතුරු පළාතෙන් ඊයේ (26) දිනයේ කොරෝනා ආසාදිතයින් 80 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් යාපනය නගරයේ ඇතැම් ප්‍රදේශවල සංචරණය සීමා කිරීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කළා.

ඊයේ (26) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 271 දෙනා අතරින් 77 ක් වූ වැඩිම සංඛ්‍යාව වාර්තා වී තිබුණේ යාපනය නගර සීමාවෙන්.

එසේම තිස්සමහාරාම පොලිස් ස්ථානයේ නිළධාරින් 08 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (26) හඳුනා ගැනුණා.

එසේම මෙරට පුද්ගලයින් 884, 164 දෙනෙකුට කොවිෂිල්ඩ් එන්නත ලබාදී තිබෙනවා.

එමෙන්ම, ලබන 01 වන දා සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව සතියකට වරක් මොස්කව් සිට කොළඹ දක්වා ගුවන් ගමන් සිදුකරනු ඇති.

මේ අතර, ඉන්දියාවේ ප්‍රවීන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ තමාට සුළු රෝග ලක්ෂණ මතු වී ඇති අතර, පවුලේ අන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවයි.

තමන් මේ වන විට නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වන බවත් වෛද්‍ය උපදෙස් අනුව අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින බවත් තෙන්ඩුල්කාර් වැඩිදුරටත් කියා සිටියා.

පසුගිය දා පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය පිළ ජයග්‍රහණය සඳහා මෙහෙය වූයේ තෙන්ඩුල්කාර් විසින්.

අවසන් තරඟයේදී ඔවුන් මුහුණ දුන්නේ ටී.එම්. ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළටයි.

මේ අතර, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ 62,000 කින් ඉහළ ගොස් ඇති අතර එය මාස 5 කින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවයි.

ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි දහනව ලක්ෂය (1,19,00,000) ඉක්මවා ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 1,61,000 කට අධිකයි.

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 243 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිත සංඛ්‍යාව 88,388 ක් ලෙසයි දැක්වෙන්නේ.

කොරෝනා ආසාදිතයින් 2615 දෙනෙකු මේ වනවිට තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. මෙරට කොරෝනා ආසාදිතයින් මුළු සංඛ්‍යාව 91,561 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 163 ක් වාර්තාවී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *