පොල්තෙල් සාම්පල තමන්ට ලැබී නොමැති බව කාර්මික තාක්ෂණ ආයතනය කියයි

පොල්තෙල් සාම්පල තමන්ට ලැබී නොමැති බව කාර්මික තාක්ෂණ ආයතනය කියයි

*********************************************

පොල්තෙල් සාම්පල තමන්ට ලැබී නොමැති බව කාර්මික තාක්ෂණ ආයතනය කියයි

(26.03.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

පොල්තෙල් සාම්පල මේ දක්වා කාර්මික තාක්ෂණ ආයතනය වෙත ලැබී නොමැති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රාධිකා සමරසේකර මහත්මිය ප්‍රකාශ කළා.

ඇය කියා සිටියේ අදාළ පොල්තෙල් ආනයනය කළ සමාගම, පාරිභෝගික අධිකාරිය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම සාම්පල යොමුකළහොත් ඒ පිලිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමට කාර්මික තාක්ෂණික ආයතනයට හැකියාවක් පවතින බවයි.

කෙසේ වෙතත්, වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ වෙළදපොළෙන් ලබා ගත් පොල්තෙල් සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමු කළ බවයි.

පිළිකාකාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කළ පොල් තෙල් කිසිදු අයුරකින් වෙළෙදපොලට නිකුත් වී නොමැති බවට තහවුරු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සදහන් කළා.

ඒ, පිළිකා කාරක ඇතුළත් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් වෙළදපොළට නිකුත් වී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මෙරට පරිභෝජනය සඳහා පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුල රුපියල් බිලියන 10 කට වැඩි ප්‍රමාණයක් වැය කර පොල්තෙල් මෙට්‍රික් ටොන් 37,000 ක් බදු සහන යටතේ ආනයනය කර තිබෙනවා.

එලෙස ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13 ක ‘ඇෆ්ලටොක්සීන්’ නම් පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් රේගුවට දැනුම් දී තිබුණේ මේ මස 4 වනදායි.

එවැනි පසුබිමක් තුල එම පොල්තෙල් වෙළඳපොලට මුදා හැර ඇති බවට පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකරුවන්ගේ සංගමය චෝදනා කළා.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන අද (26) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍යයට අහිතකර පොල්තෙල් ආනයනය කළ ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්.

මේ අතර, අද (26) ප්‍රමිති ආයතනය වෙත ගිය සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර, ආචාර්ය හර්ෂ ද සිල්වා, සහ ජේ.සී.අලවතුවල පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් වෙළඳපොලේ පවතින බවට චෝදනා කර සිටියා.

මේ අතර, විෂදියර ගබඩා කිරීමට භාවිත කළ බැරල් තුල පොල්තෙල් සහ පාම් ඔයිල් අසුරා බෙදා හැරි බවට වරද පිළිගත් ව්‍යාපාරියෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 60,000 ක දඩයක් නියම කළා.

ව්‍යාපාරිකයා සමඟ අත්අඩංගුවට ගත් අදාළ පොල්තෙල් තොගය විනාශ කරන ලෙසයි කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අධිකරණය නියෝග කළේ.

මෙලෙස දඩ නියම කෙරුණේ කොළඹ 13 ආදුරුප්පු වීදියේ පදිංචි ව්‍යාපාරිකයෙකුටයි.

සැකකරු අඛන්ඩව එම වරද සිදුකරන්නේ නම් යළි අත්අඩංගුවට ගෙන තමා හමුවටම ඉදිරිපත් කරන ලෙස ද මාලිගාකන්ද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කළා.

******************************************

(26.03.2021 – 18:19 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන ගම සමග පිළිසඳර 16 වන වැඩසටහන හෙට (27) පිටබැද්දර කිරිවැල්කැලේ උතුර 03 පියවර ප්‍රදේශයේදී පැවැත්වෙනවා.

දෑරංගල මහා විද්‍යාලයේදී හෙට (27) උදෑසන 10 ට ආරම්භ වන සංවාදයට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් ප්‍රමුඛ මහජන නියෝජිතයන් අමාත්‍යංශ ලේකම්වරුන් සහ විවිධ ආයතන ප්‍රධානීන් මෙන්ම නිලධාරීන් එක්වීමට නියමිතයි.

මෙය දකුණු පළාතේ පැවැත්වෙන දෙවන (2) ගම සමග පිළිසඳර වැඩසටහනයි.

1958 ස්ථාපිත උස්බිම් ජනපදයක් වන කිරිවැල්කැලේ ග්‍රාමසේවා වසම පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් දුෂ්කරතම ගම්මානයයි.

පවුල් 622 ක් ජීවත්වන ග්‍රාමසේවා වසමේ ජනගහණය 2990 ක්.

2020 සැප්තැම්බර් මස 25 වනදා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ගම සමග පිළිසඳර වැඩසටහන ආරම්භ වූ අතර මාතලේ, රත්නපුර, අනුරාධපුර, අම්පාර, පොළොන්නරුව, කලුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික් ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් පැවැත්වුනා ෴

******************************************

(26.03.2021 – 19:03 +0530 – hirunews.lk/sinhala)

සූවස් ඇලේ සිරවී ඇති පාපන්දු ක්‍රීඩාංගණ 4 ක දිගට සමාන විශාල බහාලුම් නෞකාව කඩිනමින් ඉවත් කිරීමට නොහැකි වුවහොත්, එය මෙරට ආර්ථිකයට බලපෑම් කරනු ඇතැයි විද්වතුන් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් දැනටමත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති අතර, ලෝක ආර්ථිකයට ද බලපෑම් එල්ල වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දිගින් මීටර් 400 ක් සහ මීටර් 59 ක පළලින් යුත් මෙම නෞකාව පසුගිය අඟහරුවාදා චීනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය දක්වා ගමන් කරමින් සිටියදී සූවස් ඇලේ ඉවුරු දෙක අතර, සිරවුණේ පැවති සුළං තත්ත්වය හේතුවෙන්.

තායිවානයේ ‘එවර්ග්‍රීන් මැරයින් සමාගම’ට අයත් ‘එම්.වී. එවර් ගිවන්’ නමැති මෙම නෞකාවේ ඒ වනවිට බහාලුම් 20,000 ක් පමණ තිබූ අතර, නෞකාවේ බර ටොන් ලක්ෂ 2 ක්.

ලෝකයේ බහාලුම් වලින් සියයට 30 ක් ප්‍රවාහනය කරන මීටර 193 ක දිගින් සූවස් ඇල සැලකෙන්නේ ලොව වඩාත්ම කාර්ය බහුල නාවික වෙළඳ මාර්ගය ලෙසයි. මිනිස් නිර්මාණයක් වන එහි ඉදිකිරීම් 1859 දී ආරම්භ කෙරුණු අතර 1869 වසරේදී ඇළ මාර්ගය විවෘත කෙරුණා.

ආසියාවේ සිට යුරෝපයට සහ ඇමෙරිකාව දක්වා යාත්‍රා කරන නෞකා වල ගමන් මාර්ගය කෙටි කිරීමේ අරමුණින් මෙය ඉදිවුණා.

එය සකස් නොකළේ නම් නෞකා දකුණු අප්‍රිකාව හරහා ගමන් කළ යුතු අතර ඒ සඳහා අමතර, දින 12 ක් මෙන්ම, කිලෝමීටර් 9000 ක දුරක් ගමන් කිරීමට සිදුවනවා.

කෙසේ වෙතත්, මෙම නෞකාව ඇළ මාර්ගයේ සිරවීම හේතුවෙන් නෞකා 200 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට සිරවී ඇති අතර, මහා සාගරයේ මෑතකදී ඇති වූ විශාලම නෞකා තදබදය මෙය බවට සැලකෙනවා.

නෞකාව ඉවත් කිරීමට ඊජිප්තු බලධාරින් විශාල ප්‍රයත්නයක් දරන නමුත් එය මේ දක්වා සාර්ථක වී නැහැ.

මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ලංකා නැව් ඒජන්තවරුන්ගේ සංගමයේ සභාපති ඉක්‍රම් කටිලාන් මහතා සඳහන් කළේ.

මෙරට අපනයනවලින් බහුතරයක් යුරෝපයට සිදුකරන නිසා නෞකාව කඩිනමින් ඉවත් නොකළහොත් මෙරට අපනයන ක්ෂේත්‍රයටද බලපෑම් එල්ල කළ හැකි බව කොළඹ නැව්ගත කරන්නන්ගේ ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ මහතා ප්‍රකාශ කළා.

******************************************

(26.03.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකළ යුත්තේ අනාගත පරපුරේ අවශ්‍යතාව අරමුණු කරගෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, අරලියගහ මන්දිරයේ අද (26) පැවති යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජනතාවගේ අදහස් ලබාගැනීම සඳහා වන ‘ඩිජිටල් වේදිකාව’ දියත් කිරීමේ උත්සවයට එක්වෙමින්.

******************************************

(26.03.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala)

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබුණත්, එම මිල ඉක්මවා සහල් අලෙවි කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් මේ වනවිට පත්ව ඇත්තේ ඉතා අසීරු තත්ත්වයකටයි.

කෙසේ වෙතත්, අලු‍ත් අවුරුදු සමයේදී හිඟයකින් තොරව පාලන මිලට පාරිභෝගිකයන්ට සහල් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව අප කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ නාඩු සහල් කිලෝවක් රුපියල් 97 කට සහ රතු හෝ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 93 කටත් ලබාදීමට තීරණය කර ඇති බවයි.

******************************************

(26.03.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 54 දෙනා අතුරින් 40 ක් නිදහස් කර තිබෙනවා.

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් මරමින් සිටියදීයි ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු සහ යාත්‍රා 5 ක් සමග නාවික හමුදා අත්අඩංගුවට ගැනුණේ.

නාවික හමුදා දකුණු විධානයෙන් එක් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර නාවික හමුදා නැගෙනහිර විධානයෙන් මුලතිවු මුහුදු සීමාවේදී තවත් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගත්තා.

මන්නාරම මුහුදු තීරයේදී තවත් ඉන්දීය ධීවර යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගැනුනේ ශ්‍රී ලංකා නාවික හමුදා මධ්‍යම විධානය විසින් ෴

******************************************

(27.03.2021 – 06:50 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරු හේතුවෙන් ඊයේ (26) දිනයේදී පමණක් පුද්ගලයින් දහතුන්දෙනකු (13) මියගොස් ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙනවා.

මේ අතරින් කිලිනොච්චිය, පලෙයි, ඉත්තදවිල් ප්‍රදේශයේ දී ඊයේ (26) රාත්‍රී 09:15 ට පමණ ටිපර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් පියා (1) සහ පුතුන් දෙදෙනා (2) මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පලෙයි ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 14 හැවිරිදි සහ 11 හැවිරිදි පුතුන් දෙදෙනායි.

අනතුරෙන් පසු අදාල ටිපර් රථයේ රියැදුරු ප්‍රදේශයන් පලා ගොස් ඇති අතර පලෙයි පොලිසිය විශේෂ කණ්ඩායමක් යොදවා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණය සිදුකරනවා.

විශේෂයෙන්ම උත්සව සමයේ මෙවැනි මාරක රිය අනතුරු සිදුවීමේ ප්‍රවණතාව තවත් ඉහළ යා හැකි බැවින් මඟතොට ගමන් කිරීමේදී සහ රථවාහන ධාවනය දී ඉතාම පරීක්ෂාවෙන් කටයුතු කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටින්නේ ෴

******************************************

(27.03.2021 – 07:17 +0530 – hirunews.lk/sinhala)

රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම පිණිස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් පාලන නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කළා.

බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ ඊයේ (26) පස්වරුවේ පැවති පළාත් පාලන නියෝජිත හමුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලින් පැමිණි පළාත් පාලන නියෝජිතයින් මෙම හමුවට එක්ව සිටියා.

මේ අතර මෙම හමුවට එක්වූ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කළේ ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ‘පුරනැඟුම’ 03 වන අදියර නුදුරේදීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

පළාත් පාලන ආයතනවල බොහෝ අඩුපාඩුකම් සපුරාලීමට එමඟින් හැකිවනු ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(27.03.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා 2019 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් කෝටි 49 ක් වැය කර ඇති බව රජයේ ගිණුම්කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස රුපියල් කෝටි 49 ක මුදලක් වියදම් කලද අලි මිනිස් ගැටුම අවම වී නොමැති බවටයි එහිදී අනාවරණය වී ඇත්තේ.

2019 වසරේ අලි වැට ඉදිකිරීමට වැය කරන ලද මුළු වියදම රුපියල් 27,54,47,639 ක්.

එමෙන්ම, 2020 වසරේ ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 22 කට අධිකයි.

මෙම මුදල් වැය කොට ඉදිකරන ලද විදුලි වැටේ සම්පූර්ණ දිග වන්නේ කිලෝමීටර 4,756 ක්.

මෙසේ විශාල මුදලක් වැය කර තිබුණද මේ වසරේ ගතවූ කාල සීමාව තුල පුද්ගලයින් 28 දෙනෙකු සහ වන අලි මරණ 83 ක්ද වාර්තා වී ඇති බව රජයේ ගිණුම්කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා ෴

******************************************

(27.03.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීමේ ගිනස් වාර්තාව තැබීම සඳහා සිටි පිහිණුම් ක්‍රීඩකයින්ට අද (27) ඒ සඳහා අවස්ථාව නොලැබී තිබෙනවා.

ඒ, ඉන්දියාව සමඟ ජාත්‍යන්තර මට්ටමින් ඇති කර ගන්නා ලද එකඟතාවලට අවශ්‍ය ලිපි ලේඛනවල අඩුවක් හේතුවෙන්.

අද (27) අලුයම මොවුන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට සිටි අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කටයුතු සිදුකරනු ලැබුවා.

කෙසේ වෙතත්, පසුව ඔවුන්ට දන්වා ඇත්තේ ලිපි ලේඛනවල අඩුවක් හේතුවෙන් මෙය ප්‍රමාද වන බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොෂාන් අබේසුන්දර, පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට සිටි අතර තලෙයි මන්නාරමේ සිට ඉන්දියාවේ දනුෂ්කොඩි වෙරළ දක්වා පිහිණීමට සිටියේ මාතර සුජාතා විද්‍යාලයේ කේ.ඩබ්ලිව්. විහංගා නිල්මිණී, රාහුල විද්‍යාලයේ අභිමන් වෙල්ලප්පිලි සහ ෂෙශාන් අස්ලිම් ඉන්ජාඩ් යන සිසු සිසුවියන් ෴

******************************************

(27.03.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් කියා සිටියේ අදාල ගැසට් නිවේදනයට එරෙහිව වතු හාම්පුතුන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ වැටුප් වැඩි කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමේ අරමුණින් බවයි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩි කිරීමට වතු සමාගම් මගින් පියවර ගත යුතු බව පඩිපාලක සභාව මගින් පසුගියදා තීරණය කළා.

කෙසේ වෙතත් එම තීරණය සහ ගැසට් නිවේදනය නැවත සලකා බලන ලෙස ඉල්ලමින් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමටයි වතු හාම්පුතුන්ගේ සංගමය කටයුතු කළේ.

ඒ අනුව අදාල නඩුව ලබන 30 වනදා යළි කැදවීමට නියමිතව තිබෙනවා ෴

******************************************

(27.03.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ආනයනික පොල්තෙල් බහාලුම් 13 ක පිළිකා කාරක අඩංගු බවට වන හෙළිදරව්ව සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ පරීක්ෂණ වාර්තාව ලබන සතියේ මැද වන විට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දිවයින පුරා වෙළඳසැල් රැසකින් ඊට අදාල සාම්පල ලබා ගැනීම මේ දිනවල සිදුකෙරෙන බවයි.

මේ සම්බන්ධයෙන් තවත් පාර්ශව කිහිපයක් විසින් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ආනයනය කළ පොල්තෙල් බහලුම් 13 ක ‘ඇෆ්ලටොක්සීන්’ නම් පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් මීට පෙර රේගුවට දැනුම් දී තිබුණා.

එය මුල්වරට හෙළිදරව් කල සමස්ථ ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා සිටියේ අදාල පොල් තෙල් බහලුම් සියල්ල විනාශ කිරීමට වහා කටයුතු කළ යුතු බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *