පිළිකා කාරක සහිත බවට අනාවරණය වූ පොල්තෙල් ගැන CIDයට පැමිණිල්ලක්

පිළිකා කාරක සහිත බවට අනාවරණය වූ පොල්තෙල් ගැන CIDයට පැමිණිල්ලක්

*********************************************

පිළිකා කාරක සහිත බවට අනාවරණය වූ පොල්තෙල් ගැන CIDයට පැමිණිල්ලක්

(25.03.2021 – 19:41 +0530 – sinhala.adaderana.lk)

පිළිකා කාරක සහිත බවට අනාවරණය වූ පොල්තෙල් බහාලුම් පෞද්ගලික සමාගම්වල ගුදම් වෙත නිදහස් කිරීමෙන් පසු යම් වංචාවක් සිදුවී ඇත්දැයි විමර්ශනයකරන ලෙස ඉල්ලමින් මහජන යුතුකම් කේන්ද්‍රය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (25) පැමිණිල්ලක් ගොනු කළේය.

මේ අතර, ආනයනික තෙල් පිරිපහදු කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳව ගැටලුවක් ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

පොල්තෙල් සහ වෙනත් ආදේශක තෙල් මෙරටට ආනයනය කිරීමේදී පිරිපහදු නොකළ තෙල් තොග පෞද්ගලික සමාගම් ගෙන්වනු ලබයි.

ඒවායේ තත්ත්ව පරීක්ෂාව සිදුකරන්නේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් විසිනි.

පෞද්ගලික සමාගම් දෙකක් (2) ගෙන්වූ පිරිපහදු නොකළ පොල්තෙල් බහාලුම් 13 ක “ඇෆලටොක්සින්” නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට හඳුනාගනු ලබන්නේ මෙම අවස්ථාවේදීය.

එහිදී ආහාර ආරක්ෂණ ඒකකය මෙන්ම ප්‍රමිති ආයතනය ද මෙම තොල් තොග තත්ත්ව පරීක්ෂාවෙන් අසමත් බවට වාර්තා ලබාදීම විශේෂත්වයකි.

ඒ අනුව එම තෙල් තොග වහාම ප්‍රතිඅපනයනය කරන ලෙසට ආහාර ආරක්ෂණ ඒකකය දැනුම් දී තිබියදී එම තෙල් පිරිපහදු කිරීමෙන් පසු තත්ත්ව වාර්තාවක් ලබාගැනීමට ප්‍රමිති ආයතනය අවසර ලබා දෙයි.

තත්ත්ව වාර්තා නිල වශයෙන් ලැබෙන තුරු රේගුව විසින් වරාය පරිශ්‍රයෙන් පිටත පිහිටි පෞද්ගලික සමාගම්වලට අයත් ගබඩාවලට එම බහාලුම් නිදහස් කර තිබුණේ ඒ අනුවය.

පිරිපහදු කිරීමෙන් පසු සිදුකළ තත්ත්ව පරීක්ෂාවේදී එම තෙල් තොගවල ඇෆලටොක්සින් අඩංගු නොමැති බැවින් තත්ත්ව පරික්ෂාවෙන් සමත් බවට ප්‍රමිති ආයතනය ඉන් පසු දැනුම් දී තිබුණි.

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකරුවන් චෝදනා කරන්නේ පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් තොරව සිදුව ඇති බවය.

******************************************

ඉන්ධන බවුසරයක් පෙරළෙයි – පෙට්‍රල් එකතු කිරීමට ජනතාව රැස්වෙයි

(25.03.2021 – 15:36 +0530 – sinhala.adaderana.lk)

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් මාර්ගයේ ලිස්සා යෑමෙන් අද (25) අලුයම පෙරළීගොස් තිබුණි.

හබරණ – ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබුණි.

පෙට්‍රල් ඉන්ධන එහි ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර බවුසරය පෙරළී යෑමත් සමග අවට ජනතාව පැවැති අවදානමද නොතකා ඉන්ධන එක්රැස් කරමින් සිටි බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

අනතුරට ලක් වූ ඉන්ධන බවුසරය අසළ පොලිස් නිලධාරීන් ද සිටින අයුරු දැකගත හැකි විය.

(පෙට්‍රල් වහා ගිණි ඇවිලෙන සුළුයි !)

******************************************

දරුවන්ට කොහොම හරි උගන්වනවා – පස්සර අනතුරෙන් දෙමාපියන් අහිමි වූ දරු තිදෙනාගේ මිත්තණිය

(25.03.2021 – 15:14 +0530 – sinhala.adaderana.lk)

පස්සර 13 කණුව ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ මාරක බස් රථ අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකුට දිවි අහිමි විය.

එලෙස දිවි අහිමි වූ පුද්ගලයින් අතරින් කිහිපදෙනෙකුගේම පවුල් මේ වනවිට දැඩි අසරණභාවයට පත්ව සිටින්නේ ඔවුනට තිබූ එකම සහ ප්‍රධාන ආදායම් මාර්ගය මෙන්ම රැකවරණය අහිමි වී යෑම හේතුවෙනි.

එවැනි පවුල් කිහිපයක් පිළිබඳව ‘අද දෙරණ’ සොයා බැලීමක් සිදු කළේය.

ශල්‍යකර්මයක් සඳහා කොළඹට පැමිණෙමින් සිටි අන්තෝනි නෝවා සහ බෙනඩික් මොරෝනාට පසුගියදා පස්සර 13 කණුව ප්‍රදේශය් සිදුවූ රිය අනතුරින් සිය දිවි අහිමි වුණි.

එදිනෙදා සිදුකළ කුලී වැඩවලින් දිවි සරිගත් ඔවුන් දෙපළට දරුවන් තිදෙනෙකු (3) සිටී. ඒ අතර වයස අවුරුදු 3 දියණියක් ද වේ.

බස් රථ අනතුරින් මාපිය සෙනෙහස අහිමි වූ එම දරුවන් තිදෙනාට (3) අද හිමිව ඇත්තේ සිය 70 හැවිරිදි වියේ පසුවන මිත්තණියගේ රැකවරණය පමණකි.

මියගිය එම දෙපළගේ දේහයන් තැන්පත්කර තැබීමට තරම්වත් ඔවුන්ගේ නිවසේ ප්‍රමාණවත් ඉඩක් නොතිබූ හෙයින් එම දේහයන් ඥාති නිවසක තැන්පත් කිරීමට සිදුවී තිබේ.

“අම්මා තාත්තා නැති වුණාට මම මේ දරුවන්ට කොහොම හරි උගන්වනවා. මට ඒ දේ කරන්න, පුළුවන් නම් උදව් කරන්න,” යනුවෙන් මිත්තණිය පවසා සිටියාය.

ලුණුගල යකම්ම ප්‍රදේශයේ පෙදෙරේරුවෙක් ලෙස කටයුතු කළ අශෝක පද්මකුමාරට ද එම මාරක බස් අනතුරෙන් දිවි අහිවි විය. ඔහුට ද කුඩා දියණියන් දෙදෙනෙකු (2) සිටී. පියාගේ මරණයත් සමග ඔවුන් ද අසරණව සිටී.

එම නිවසේ ද ඔහුගේ දේහය තැන්පත් කිරීමට තරම් ඉඩ පහසුකම් නොමැත. මියගිය අශෝකගේ දේහය ද තැන්පත්කර තිබුණේ ඔවුන්ගේ ඥාති නිවසකය.

“කවුද දැන් ඉන්නේ හයියට. බලාපොරොත්තු ගොඩක් තිබුණා. ඔක්කොම ඉවරයි. කවුරුත් නෑ අපි ගැන බලන්න. අපි අසරණ වුණා,” යනුවෙන් මියගිය අශෝකගේ බිරිඳ ජානකී මංගලිකා පවසන්නීය.

******************************************

ටොන් එක ඩොලර් 20 ක් අඩුවෙන් ඉල්ලුම් කළ සමාගමට ඛණිජ වැලි අපනයන ටෙන්ඩරය දීලා

(25.03.2021 – 13:58 +0530 – sinhala.adaderana.lk)

ඛණිජ වැලි මෙට්‍රික්ටොන් 85,000 ක් අපනයනය කිරීමේදී වැඩිම ටෙන්ඩරයට ලබා නොදී ටොන් එකක් ඩොලර් 20 ක් අඩුවෙන් ඉල්ලුම් කළ සමාගමකට එය ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතුකර ඇති බවට ඊයේ (24) රැස්වූ කෝප් කමිටුවේදී අනාවරණය විය.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයකර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස එහිදී කොප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දුනි.

ඒ අනුව පළමු ගැණුම්කරු ටොන් එකක් සඳහා අමෙරිකානූ ඩොලර් 165 ක මිලකුත්, දෙවැනි ගැණුම්කරු අමෙරිකානූ ඩොලර් 163 ක මිලකුත්, තෙවැනි ගැණුම්කරු අමෙරිකානූ ඩොලර් 146 ක මිලකුත් සහ සිව්වැනි ගැණුම්කරු අමෙරිකානු ඩොලර් 130 ක මිලකුත් ඉදිරිපත්කර තිබුණි.

නමුත් කැබිනට් මණ්ඩලය තුන්වැනි (3) ගැණුම්කරුට ටෙන්ඩරය ලබාදීමට ගනු ලැබූ තීරණයක් හේතුවෙන් රජයට අමෙරිකානූ ඩොලර් මිලියන 1.5 ක පාඩුවක් සිදුව ඇති බවට ඊයේ (24) රැස්වූ කෝප් කමිටුවේදී අනාවරණය වුණි ෴

******************************************

කසළ තේ ජාවාරමේ තවත් තොරතුරු හෙළිවේ

(25.03.2021 – 07:55 +0530 – sinhala.adaderana.lk)

කසළ තේ අපනයනය කිරීමේ ජාවාරම සඳහා උන්ඩියල් ක්‍රමයට මෙරටට මුදල් ගෙන්වාගෙන ඇති බව රේගුව සිදුකළ මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

කසළ තේ මෙට්‍රික්ටොන් 450 කට අධික ප්‍රමාණයක් ඉරාකයට අපනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ජාවාරමේ ප්‍රධාන සැකකරු පසුගියදා රේගු අවදානම් කළමනාකරණ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවටගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ ජාවාරම සඳහා කෝටි හයාමාරකට (6½) අධික මුදලක් උන්ඩියල් ක්‍රමය යටතේ මෙරටට ගෙන්වාගෙන ඇති බවය.

ඒ අනුව රේගු අවදානම් කළමනාකරණ ඒකකය මෙම නීති විරෝධී ක්‍රමය මගින් මුදල් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බව සහකාර රේගු අධිකාරී කැලුම් තුෂාර මහතා අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.

එම නිසා මෙම කසළ තේ ජාවාරමේ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රේගුව අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම සලකාබැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය නියෝගකර ඇත්තේ සැකකරු අප්‍රේල් මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

මෙම සැකකරු විසින් ඉරාකයට “පියෝ සිලෝන් බ්ලැක් ටී” නමින් කසළ තේ බහලුම් 27 ක් අපනයනයකර ඇති අතර ඉන් හතරක් (4) පසුගියදා ඩුබාහි හි සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබීය.

අදාළ බහලුම් මේ වනවිටත් කොළඹ වරාය වෙත රැගෙන ඒමට කටයුතුකර ඇති අතර එම බහලුම් කඩිනමින් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව රේගු අවදානම් කළමනාකරණ ඒකකය අධිකරණයට දැනුම් දී ඇත ෴

******************************************

පිළිකා කාරක පොල්තෙල් මුදාහැරීමට හේතුව රේගු ප්‍රධානියා පහදයි

(24.03.2021 – 19:06 +0530 – sinhala.adaderana.lk)

පිළිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් නිදහස් කෙරුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එහි කිසිදු ගැටලුවක් නොමැති බවට තහවුරු කිරීමෙන් පසුව බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් එය නිරාකරණය කරගත යුත්තේ ප්‍රමිති ආයතනය හා ආහාර ආරක්ෂණ ඒකකය බවය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“සමාගම් දෙකක් (2) පොල්තෙල් කිලෝග්‍රෑම් 183,055 ක් ආනයනය කරලා තියෙනවා පසුගිය දිනවල. ආනයනය කරන ලද පොල්තෙල් සාමාන්‍යයෙන් අපේ යාඩ්වල තියා ගන්නේ නෑ. මොකද නියාමන අධිකාරීය දවස් ගානක් ගන්නවා මේවාගේ තත්ත්වය පරීක්ෂා කිරීමට. සාමාන්‍ය ක්‍රමය වන්නේ, ආනයනය කරන ලද පොල්තෙල් ඔවුන්ගේ යාඩ් සඳහා නිකුත් කරනවා. පසුගිය මාර්තු 4 වන දින අපට දන්වා සිටියා මේ සමාගම් දෙකෙන් ආනයනය කරන ලද පොල්තෙල් ප්‍රමාණයන්වල ‘ඇෆ්ලටොක්සින්’ කියන රසායන ද්‍රව්‍ය අඩංගුයි කියලා. ඒ අනුව එදිනම අපි ලිඛිතව ඒ සමාගම් දෙකට කරුණු ඉදිරිපත් කළා වහාම ප්‍රතිඅපනයනය කරන ලෙස.”

සමාගම් හතරක් (4) විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13 ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ‘ඇෆ්ලටොක්සින්’ නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.

එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇතැයි අනාවරණ වුණේ ඊයේ (23) දිනයේදීය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා සඳහන් කළේ මතභේදයට තුඩුදුන් එම තෙල් තොගවල සාම්පල තම ආයතනය හරහා පරික්ෂා කළ අවස්ථාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බවය.

එම තෙල් තොගය සහිත බහාලුම් නිදහස් කළ හැකි බවට රේගුව වෙත දැනුම් දුන්නේ ඒ අනුව බව ඔහු සඳහන් කළේය.

පිළිකා කාරක පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් වීම සම්බන්ධයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී වෙළෙඳ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරුණි.

මේ අතර වෙළෙඳපොළේ අහිතකර පොල්තෙල් ඇත්නම් පාරිභෝගිකයින්ට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය ෴

+++++++++++++

නුෂාඩ් පෙරේරා සභාපති වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිළිකා කාරක අඩංගු පොල්තෙල් මුදාහැරීමට නිර්දේශ දීලා

(26.03.2021 – 05:47 +0530 – lankaleadnews.com)

මෙරටට ආනයනය කරන ලද මෙට්ට්‍රික් ටොන් 8,000 කට වැඩි පිරිපහදු කරන ලද පොල් තෙල් තොගයක් පසුගිය 23 වැනිදා නිෂ්කාෂණය කර ඇති බවත් මෙම තෙල් තොගය ගෙන්වා ඇත්තේ සීනි බදු වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සමාගම විසින්ම බවත් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරයි.

ලංකාවේ ආනයනික පොල්තෙල් අවශ්‍යතාවෙන් 60% කට වඩා ප්‍රමාණයක් ආනයනය කරන්නේ එම සමාගම බවද ඒ මහතා පවසයි.

පිළිකාකාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබූ එම පොල්තෙල් තොගය මුදාහැරියේ එහි කිසිදු ගැටළුවක් නොමැති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිර්දේශ කිරීමෙන් අනතුරුව බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය පවසන අතර ප්‍රමිති ආයතනයේ වත්මන් සභාපති වන්නේ සීනි බදු වංචාවට බරපතළ චෝදනා එල්ලවන සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරාය.

මේ අතර මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා සමග ඊයේ (25) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් මේ පිළිබඳව පැමිණිළි කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය ආයතන දෙකක් (2) විද්‍යාත්මක පරීක්ෂණ වලින් පසුව එකම කරුණක් සම්බන්ධයෙන් ආකාර දෙකක නිගමන ඉදිරිපත් කර තිබීම ගැටළු සහගත බවයි.

******************************************

මෙහෙම ගියොත් අපිට ඉතුරුවෙන්නේ කාන්තාරයක් …

(24.03.2021 – 15:19 +0530 – sinhala.adaderana.lk)

දැරණියගල, දෙල්ඔළුව ප්‍රදේශයේ පස්කැපීම නතර කරන ලෙස අධිකරණ නියෝගයක් ලබා දී ඇති ඉඩමක පස්කැපීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව විරෝධය පළ කර තිබේ.

පස්කැපීම සඳහා පැමිණ තිබු ටිපර් රථය මාර්ගය හරහා නතර මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධය පළ කිරීමත් සමග එම ස්ථානයට දැරණියගල පොලීසිය පැමිණ ඇත.

පසුව පස්කැපීම සිදුකළ පුද්ගලයින්ගෙන් ඒ සඳහා අවසරය තිබේ දැයි විමසීමේ දී ඔවුන්ට කිසිදු අවසර පත්‍රයක් නොමැති බව අනාවරණය වීමත් සමග ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අනවරසරයෙන් පස්කැපීමට විරෝධය පළ කරමින් ඊයේ (23) දිනයේ දීත් දැරණියගල, කඳුමැද නුවර තරුණ එකමුතුව විසින් උද්ඝෝෂණයක් ද පැවැත්විය.

පසුව ඔවුන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත කරුණු කියා පෑමෙන් අනතුරුව විසිර ගියහ.

එහි දී උද්ඝෝෂණයට සහභාගී වී සිටි කඳුමැද නුවර තරුණ එකමුතුවේ සාමාජිකයෙක් මෙලෙස පැවසීය.

“අපිට දැන ගන්න ලැබුණා මේ වෙනකොට තවත් 18 ක් පස් බලපත්‍ර ඉල්ලනවා භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන්. ඒ කියන්නේ මේ තුන (3) ගත්තෙත් බිම් මට්ටමේ තියෙන ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බයිපාස් කරලා නම් ඉතුරු 18 ත් යන්නේ ඒ පාරේමයි. දැරණියගල ඉස්සරහට පස් බිඳක් නැති කළුගල් ටිකක් ඉතුරු වෙයි. අවුරුදු දෙක තුනකින් කළුගල් කඩන්න පටන් අරන් හැම තැනම දැරණියගල ගල්කොරි තියෙයි. අඩු තරමේ අපේ අනාගත පරපුරට ගහක් කොළක් නැති එකම කාන්තාරයක් බවට මෙච්චර ජෛව විවිධත්වයක් තියෙන දැරණියගල පත්වෙයි.“

******************************************

වෙන්නප්පුවේ ජාවාරම් මඩින ඒකකයත් විසුරුවයි – මාරු කළ උණුසුම ගියේවත් නෑ – නිලධාරීනුත් සීසීකඩ මාරු කරලා

(25.03.2021 – divaina.com)

වෙන්නප්පුව ප‍්‍රදේශයේ නීති විරෝධී ජාවාරම් මර්දනය කිරීම නිසා එක්තරා රාජ්‍ය ඇමැතිවරයකුගේ උදහසට ලක්වී මාරුකර යැවූ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා මෙම ජාවාරම් මර්දනයට යොදාගත් විශේෂ පොලිස් ඒකකයද වහා ක‍්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර එම ඒකකයේ නිලධාරීන්ද මාරු කර යවා ඇත.

එම විශේෂ පොලිස් ඒකකයේ රාජකාරි කළ පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනෙකු (2) ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනකු (5) වහාම ක‍්‍රියාත්මක වන පරිදි සාලියවැව, වව්නියාව, මුලතිව්, මාදම්පේ පොලිස් ස්ථානවලට මාරුකර යවා තිබේ.

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වූ මෙම විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් වෙන්නප්පුව මාදම්පේ ඇතුළු ප‍්‍රදේශ ගණනාවක කාලයක් තිස්සේ නීති විරෝධීව කරගෙන ගිය මත්පැන්, හෙරොයින්, ගංජා ජාවාරම් මර්දනය කර වැලි සහ මැටි කැපීමේ ජාවාරම්ද පාලනය කිරීමට කටයුතු කර තිබිණි.

මෙහිදී අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් වැඩි දෙනෙක් ප‍්‍රදේශය නියෝජනය කරන එක්තරා රාජ්‍ය ඇමැතිවරයෙකුගේ ගෝලයෝය. මෙම ජාවාරම්කරුවන් මුදවා ගැනීමට අවස්ථා රැසකදීම අදාළ දේශපාලනඥයයා සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාට දැඩි බලපෑම් එල්ල කර තිබිණි.

එහෙත් එම බලපෑම්වලට යටත් නොවූ සහකාර පොලිස් අධිකාරිවරයා මෙම මෙහෙයුම් නොනවත්වා කරගෙන ගොස් තිබිණි.

පසුව එම දේශපාලඥයා ‘රජයේ ඉහළම දේශපාලනඥයකු’ට ආයාචනා කර සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා සහ ඒ මහතා යටතේ තිබූ විශේෂ ඒකකයේ නිලධාරීන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීමට කටයුතු කළේය.

එරික් පෙරේරා මහතා මෙසේ මාරුකර යැවීම සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ ජනතාව දැඩි අප‍්‍රසාදය පළකර සිටින අතර ඉදිරි දිනවලදී ඊට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමට ද කටයුතු කරමින් සිටිති.

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ දීර්ඝ කාලයක් රාජකාරි කළ දක්‍ෂ කාර්යශූර නිලධාරියෙකි.

නැගෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් සමග වසර ගණනක් සිදුකළ සටන්වල පුරෝගාමීවව කටයුතු කර ඇති එරික් පෙරේරා ත‍්‍රස්තවාදින්ගේ ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටි නිලධාරියෙකි.

2001 වර්ෂයේ රජය සහ එල්.ටී.ටී.ඊ. ය අතර සාකච්ඡා ආරම්භ වීමෙන් පසු කාංචනකුඩා විශේෂ කාර්ය බලකා කඳවුරට පහරදීමට පැමිණි ත‍්‍රස්තවාදීන්ට දරුණු ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ එම කඳවුර භාරව කටයුතු කරමින් සිටි එරික් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් විසින්ය.

එම සිද්ධියෙන් පසු එවකට රජය විසින් එරික් පෙරේරා ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ද කටයුතු කර තිබිණි.

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තයන්ගේ මරණ ලැයිස්තුවට එරික් පෙරේරා මහතාගේ නම ඇතුළත් වූයේ මෙම සිද්ධියෙන් පසුවය.

හේමන්ත රන්දුණු

වෙන්නප්පුව විශේෂ ඒකකය යළි පිහිටුවයි… ඒ.එස්.පී. ගැනත් විමර්ශනයක් – ඇමැති සරත් වීරසේකර

(26.03.2021 – divaina.com)

වෙන්නප්පුවේ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා මාරු කිරීමට තුඩුදුන් චෝදනා ගැන විමර්ශනය කරන බව ද මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (25 දා) පැවසීය.

ඔහු මාරුකර ඇත්තේ පොලිස් මූලස්ථානයට බව ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර මාරුවීම් ලත් සහකාර පොලිස් නිලධාරියා දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ රැස්වීම් හතරකට (4) පැමිණ නැතැයි ද වාර්තා වී ඇත.

ඔහුට එරෙහිව රාජ්‍ය අමාත්‍යවරයකු ඇතුළු 6 දෙනකු චෝදනා එල්ල කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පළ කළේය.

මේ අතර වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා යටතේ පිහිටුවා තිබූ විශේෂ පොලිස් ඒකකය ඊයේ (25 වැනිදා) සිට නැවත පිහිටවූ බව ඇමැති සරත් වීරසේකර මහතා කීවේය.

එම ඒකකය කටයුතු කළ නිලධාරීන් ‘සිය කැමැත්ත මත එම ඒකකයෙන් ඉවත් වීමට කර තිබූ ඉල්ලීම්’ වලට අනුව ඔවුන්ට ස්ථාන මාරු ලබා දී ඇති බවත් එහෙත් මෙම මාරු කිරීම් පිටුපස දේශපාලන මැදිහත්වීමක් ඇතැයි යනුවෙන් පළවන ප‍්‍රචාර හේතුවෙන් එම මාරුවීම් අවලංගු කර එම ඒකකය නැවත පිහිටවූ බවත් ඇමැති සරත් වීරසේක්ර මහතා කීවේය.

කීර්ති වර්ණකුලසූරිය, සිරිමන්ත රත්නසේකර

ඒ. එස්. පී. එරික් මාරු කළ පසු ‘ඕලුමරා’ ඇප අරන් එයි

(26.03.2021 – divaina.com)

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරුකර යවා පැය 48 ක් ගතවන්නටත් පෙර වෙන්නප්පුවේ වධකාගාර පවත්වාගෙන ගිය ‘ඕලුමරා’ නමැති පාතාල නායකයා ඇප ලබාගෙන වෙන්නප්පුවට පැමිණ ඇත.

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා ගෙනගිය දැඩි නීති රීති නිසා ඊට බියෙන් ‘ඕලුමරා’ නමැති පාතාල නායකයා අධිකරණය ඇප ලබා දුන්නද ඇප ලබා නොගෙන බන්ධනාගාරයට වී සිට ඇති බව පොලිස් ආරංචිමාර්ග පැවසීය.

එහෙත් එරික් පෙරේරා මහතා මාරුකර යවා ඔහු යටතේ තිබූ විශේෂ එකකයද විසුරුවා හැරීමෙන් පසු පෙරේදා (24 වැනිදා) ‘ඕලුමරා’ හලාවත අධිකරණය වෙත ඇප අයැදුම් පතක් ඉදිරිපත් කර ඇප ලබාගෙන තිබේ.

වෙන්නප්පුව ප‍්‍රදේශයේ තරුණයන් පැහැරගෙන ගොස් වධකාගාරවල සිරකරගෙන වධබන්ධනයන්ට ලක් කිරීම, මහා පාරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් ‘ඕලුමරා’ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබුණේ එරික් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් විසින්ය.

‘ඕලුමරා’ නමැති පාතාල නායකයා පුත්තලම දිස්ත‍්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ සමීපතමයකු බවද වාර්තා වෙයි.

එරික් පෙරේරා මහතා මාරුකර යවා විශේෂ ඒකකය විසුරුවා දැමීමට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේද මෙම රාජ්‍ය ඇමැතිවරයා විසින් බව ද වාර්තා වෙයි.

හේමන්ත රන්දුණු

******************************************

කොළඹ ආකේඩ් සාප්පු සංකීර්ණය බදු දීමට ටෙන්ඩර් කැඳවූවාද?

(26.03.2021 – divaina.com)

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා (ජාජබ) – 24 දා පාර්ලිමේන්තුව

පසුගිය කාලයේ කොළඹ ලස්සන කරන ව්‍යාපෘතියක් කළා. කොළඹ ආකේඩ් සාප්පු සංකීර්ණයක් හැදුවා. රුපියල් මිලියන 700 කට වඩා නාගරික සංවර්ධන අධිකාරිය ජනතාවගේ මුදල් වැය කළා. කොළඹ ලස්සන කරන්න කටයුතු කළා කියලා ජනාධිපති කිව්වා. මේ සාප්පු සංකීර්ණය දරන්න බැරි ලෙස පාඩු වුණා. දැන් පෞද්ගලික ආයතනයට අවුරුදු 10 කට බදු දීලා. මේක රජයේ දේපළක්. ආණ්ඩුව ආවේ රජයේ දේපළ ආරක්‍ෂා කරනවා කියලා. විවෘත ටෙන්ඩර් ක‍්‍රමයක් අනුගමනය කළ යුතුයි. විවෘත ටෙන්ඩර් කැඳවූවාද කවුද ඉදිරිපත් වුණේ කියා වහාම පාර්ලිමේන්තුවට කියන්න. යටි ගනුදෙනු සඳහා බදු දීමට තීරණය කළේ කවුද? රජයේ දේපළ මෙහෙම බදු දෙන්න පුළුවන්ද. බදු ගිවිසුම කුමක්ද ?

******************************************

සිරකරුවාගේ ඉඩම හෝටල් හිමියා අල්ලා ගත්තා…. සහෝදරියගෙන් කිළිනොච්චිය දිසාපතිට පැමිණිලි

(26.03.2021 – divaina.com)

දෙමළ දේශපාලන සිරකරුවකු වශයෙන් වසර ගණනාවක් බන්ධනාගාරයේ සිටින කිළිනොච්චියේ ආනන්ද සුදාකරන් නමැති සිරකරුවාගේ අක්කර හයක (6) ඉඩමක් පළාතේ හෝටල් හිමියකු විසින් ව්‍යාජ ලිපි ලේඛන සකසා අත්පත් කරගෙන ඇති බවට සිරකරුවාගේ සහෝදරියක් කිළිනොච්චිය දිසාපති කාර්යාලයට පැමිණිලි කොට තිබේ.

එම ඉඩම කිළිනොච්චිය භරතපුරම් ප‍්‍රදේශයේ පිහිටා ඇති බවත්, සුදාකරන්ට එම ඉඩම සම්බන්ධයෙන් ඔප්පුවක් ඇති බවත් පවසන සහෝදරිය ඉඩමේ අයිතිය ගැන ප‍්‍රකාශ කිරීමට ඔප්පුවද රැගෙන හෝටල් හිමියා හමුවීමට ගිය අවස්ථාවේදී ඔහුද ඔප්පුවක් පෙන්වා තමන්ට පහරදීමට තැත්කළ බවද පැමිණිල්ලේ සටහන් කොට තිබේ.

තම සහෝදරයාට අයත් ඉඩම කිළිනොච්චියේ ඉඩම් නිලධාරීන්ගේද සහාය ඇතිව හෝටල් හිමියා අත්පත් කරගෙන ඇති බැවින් වහාම ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඉඩම නිදහස් කරදෙන ලෙස සිරකරුවාගේ සහෝදරිය ඉල්ලා තිබේ.

දිනසේන රතුගමගේ

******************************************

අන්තවාදී ක්‍රියා වලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

(26.03.2021 – 08:44 +0530 – lankaleadnews.com)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ අන්තවාදී මත පැතිරවීම සහ ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (25) පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවටගෙන ඇති බවයි.

එක් පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු 46 හැවිරිදි වියේ පසුවන්නෙකි.ඔහු පසුගිය දෙසැම්බර් 5 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවන ලද පුද්ගලයෙකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහු විදේශගතව සිටියදී අන්තර්ජාලය හරහා විවිධ දේශන පවත්වමින් ශ්‍රී ලංකාව තුළ අන්තවාදී සහ විවිධ ආකාරයේ මතවාද ප්‍රචාරය කිරීමට කටයුතුකර තිබෙන අයෙකු බවද අනාවරණය කළ අතර ඔහු ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ මුදල් එකතු කිරීමටද කටයුතුකර තිබෙන අයෙකි.

ඊයේ (25) දිනයේදී මඩකලපුව කාත්තාන්කුඩි ප්‍රදේශයේදී මඩකලපුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන ඇති 49 හැවිරිදි පුද්ගලයා සමාජ මාධ්‍ය ජාල හරහා පාස්කු ප්‍රහාරය සාධාරණීයකරණය කරමින් මත ඉදිරිපත්කර තිබූ පුද්ගලයෙකු වන අතර පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවෙකු වන සහරාන්ගේ සමීපතමයෙකු බවට ද ඔහුව හඳුනාගෙන ඇති බව අජිත් රෝහණ මහතා පවසා සිටියේය.

එම සැකකරුව කොළඹට රැගෙනවිත් වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනාවරණය කළේය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එහිදී පවසා සිටියේ අන්තවාදය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී විවිධ කරුණු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බවත්ය ෴

******************************************

ආචාර්ය පන්ඩුල ඇඳගම මහතා අභාවප්‍රාප්ත වේ!

(25.03.2021 – 21:04 +0530 – lankaleadnews.com)

නූතන ජාතික නිදහස් සටනේ පුරෝගාමි මෙහෙවරක් ඉටුකල ආචාර්ය පන්ඩුල ඇඳගම මහතා අද (25) අභාවප්‍රාප්ත විය. දේහය එතුමාගේ නිවස වන අංක 4සී, 7 වන පටුමග, පාගොඩ පාර, නුගේගොඩ යන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති බවත් අවමංගල්‍යය කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ලබන බවත් එතුමාගේ ඥාතිහු දන්වා සිටිති. ‘ලංකා ලීඩ්’ පුවත් වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලය එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *