පාසල් වෑන් රථයකින් ඇද වැටීමෙන් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට

පාසල් වෑන් රථයකින් ඇද වැටීමෙන් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට

*********************************************

පාසල් වෑන් රථයකින් ඇද වැටීමෙන් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට

(25.03.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය ඇල්ල මාර්ගයේ හුණුකැටිය හංදිය ප්‍රදේශයේ දී අද (25) දහවල් සිදු වූ රිය අනතුරකින් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ පරගහඅරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 5 ක් වන දරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

පෙර පාසල අවසන් වී නිවෙස් බලා යන ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයේ දොර හදිසියේ විවෘත වීමෙන් අනතුර සිදුවී ඇති බවටයි මූලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු හෙට (26) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

******************************************

(25.03.2021 – 15:06 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සිදුකරන ආකාරය සහ එහි වැඩපිළිවෙල පිළිබඳ වාර්තාවක් වරාය හා නාවික කටයුතු පිළීබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන බව විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී පැවති වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

වරායේ නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ඊට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම, බටහිර පර්යන්තයේ සංවර්ධනය පිළිබඳ වන වැඩපිළිවෙල කඩිනමින් සිදුකරන බව ද විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා ෴

******************************************

(25.03.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala)

තේ දළු නෙලීම ප්‍රධාන ජීවනෝපාය කරගත් රත්නපුර – කලවාන මැතිවරණ කොට්ඨාසයේ පොතුපිටිය -තේකොටුව ගම්මානයයි මේ පොතුපිටිය – තේකොටුව හරහා යා කෙරෙන රඹුක ගඟ හරහා පාලමක් නොමැති වීම හේතුවෙන් මේ වන විට පවුල් 200 ක පමණ ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.

ඒදණ්ඩක ආධාරයෙන් ගඟ තරණය කළ ගම්වැසියන් මෑතකදී තාවකාලික පාලමක් සකස් කරගෙන ඇත්තේ මෙලෙසයි.

තේ කොටුව, දුම්හේන, ඇල්ල ඇතුළු ගම්මාන රැසක ජනතාව මෙම තාවකාලික පාලම භාවිත කළත් වැසි දිනවලදී ග‍ඟේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ඔවුන් පත්වන්නේ දැඩි අපහසුතාවකටයි.

තමන් මුහුණ දී සිටින මෙම ගැටලුව ගැන කිහිපවිටකදී බලධාරීන් දැනුවත් කළද කිසිවෙකුගේ අවධානය යොමු වී නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

පොතුපිටිය – තේ කොටුව වැසියන්ට ආරක්ෂිතව ගමන් කිරීම සඳහා ස්ථිර පාලමක් ලැබෙනතෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

******************************************

(25.03.2021 – 16:55 +0530 – hirunews.lk/sinhala)

කොස්ගොඩ ප්‍රදේශයේදි චීනයේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, ජීව උණ්ඩ 5 ක් සහ ඇලුමිනියම් ආවරණ සහිත කඩු හතරක් (4) සමග සැකකරුවන් තිදෙනෙකු (3) අද (25) අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගොඩ යුධපිටිය අසල පදිංචි සහෝදරයින් දෙදෙනෙකු (2) සහ ඔවුන්ගේ සහෝදරියගේ සැමියා බවයි පොලිසිය සඳහන් කළේ.

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලැබුන තොරතුරක් අනුව කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

සැකකරුවන් හෙට (26) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි ෴

******************************************

(25.03.2021 – 18:50 +0530 – hirunews.lk/sinhala)

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ බඹර ප්‍රහාරයකින් පාසල් සිසු සිසුවියන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (25) පස්වරු 03:45 ට පමණ ඔවුන් බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ සිසු සිසුවියන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අසාධ්‍ය තත්වයේ පසුවූ සිසුවියක් (1) සහ සිසුන් දෙදෙනෙකු (2) දික්ඔය මූලික රෝහලට මාරුකර යවා ඇතැයි සඳහන්.

පාසල නිමවී නිවෙස් වෙත යමින් සිටි සිසු සිසුවියන් වෙත ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් ළමුන්ට දෂ්ඨ කර ඇති බවට අනාවරණ වී තිබෙනවා ෴

******************************************

(25.03.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් 01 සිට සුපිරි වෙළදසැල්, සතොස සහ සමූපකාර හරහා නාඩු සහල් රුපියල් 97 ටත්, සුදු හා රතු කැකුළු රුපියල් 95 ටත් අලෙවි කරන බව, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

******************************************

(25.03.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

වෙන්නප්පුව සහ දංකොටුව පොලිස් ස්ථාන අධීක්ෂණය කළ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා ප්‍රදේශයේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ බලපෑම මත ස්ථාන මාරු කළ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ ඊට අදාළව පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ෴

******************************************

(25.03.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය ඇතුළත් පොල්තෙල් කිලෝග්‍රෑම් 1,83,000 ක් අඩංගු බහාලුම් වහාම ආනයනය කළ රටවලටම ප්‍රතිඅපනයනය කරන ලෙසට රේගුව උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ මෙරටට ආනයන කල පොල්තෙල් තොගයක පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය ඇතුළත් වීම හේතුවෙන් ඒවා ප්‍රතිඅපනයනය කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ අංශය ලබාදුන් නිර්දේශ මතයි.

ඒ අනුව, පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් සමඟ එක්ව අදාළ පොල්තෙල් අඩංගු බහාලුම් පරීක්ෂා කොට ඒවා ප්‍රතිඅපනයනය කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ පොල්තෙල් තොගය රේගුවෙන් මුදා හැර ඒවා ගෙන්වූ සමාගම් සතු ගුදම් වෙත යොමුකළ බව ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ වරායට ගුදම් ගාස්තු ගෙවීම අධික වන බැවින් ඒවා අදාළ සමාගම්වල ගුදම් වෙත යොමුකළ බවයි.

එහෙත්, එලෙස ගුදම් වෙත යොමුකරන කන්ටේනර් විවෘත කිරීමේ හැකියාව පවතින්නේ රේගු දෙපාර්තමේන්තුවට පමණක් බව ද ඔහු ප්‍රකාශ කළා. එබැවින්, ඒවා වෙළඳපොලට නිකුත් කිරීමේ හැකියාවක් නැහැ.

ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13 ක ඇෆ්ලටොක්සීන්ස් නම් පිළිකා කාරකය අඩංගු බවට හෙළි කළේ පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයයි.

ඒවා මේ වනවිටත් වෙළඳපොලට නිකුත් කර ඇති බවටයි එම සංගමය ප්‍රකාශ කළේ.

පොල්තෙල්වල පිලිකා කාරක රසායනික ද්‍රව්‍ය ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා වෙළඳපොළෙන් ලබාගත් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා අද (25) ප්‍රකාශ කළා.

මේ අතර, පාරිභෝගික සේවා අධිකාරිය ද අද (25) සිට වෙළඳපොලෙන් පොල්තෙල් සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීම් ආරම්භ කළා.

******************************************

(25.03.2021 – 20:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට අභ්‍යන්තර කටයුතු සදහා පදනම් විරහිතව මැදිහත් වීමට මානව හිමිකම් කවුන්සිලය දරන උත්සහය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

ඒ, ජගත් මානව හිමිකම් කොමිසමේදි ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින්.

මේ අතර, පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයේ දෙවන (2) දිනටත් අද (25) පැවත්වුණා.

******************************************

(25.03.2021 – 20:33 +0530 – hirunews.lk/sinhala)

අපවත් වී වදාළ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (25) පස්වරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා.

රාජ්‍ය ගෞරව සහිතව පැවති ආදාහන පූජෝත්සවයට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්වූ අතර, ජනාධිපතිවරයාද ඊට සහභාගී වී සිටියා.

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරිතර මහ නායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය පස්වරු 01:30 වන තෙක් ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර තැබුණා.

මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහර නිදහස් චතුරස්‍ර පරිශ්‍රය දක්වා ගමන් ආරම්භ කළේ ඉන් අනතුරුවයි.

රිය පෙරහර ගාලු පාර ඔස්සේ බම්බලපිටිය වජිර පාර තෙක් පැමිණ එතැනින් හැව්ලොක් මාර්ගයට පිවිසුණා.

ඉන් අනතුරුව තුම්මුල්ල මංසන්ධියෙන් තර්ස්ටන් පාර ඔස්සේ පැමිණි රිය පෙරහැර ජාතික කෞතුකාගාරය ඉදිරිපිටින් ගමන් කර නන්දා මෝටර්ස් වට රවුමෙන් දකුණට හැරී නිදහස් මාවතට පිවිස නිදහස් චතුරස්‍රය වෙත ළඟා වුණා.

ඒ වන විටත් නිදහස් චතුරස්‍ර පරිශ්‍රය මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින් ඇතුළු විශාල පිරිසකගෙන් පිරීගොස් තිබුණා.

මහනාහිමියන්ගේ දේහය පීඨිකාවේ තැන්පත් කිරීමේ අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මහනාහිමියන්ගේ දේහයට අවසන් ගෞරවය පුද කළා.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ආශිර්වාදය යටතේ අධ්‍යාපනය ලබන මියන්මාරය, චීනය හා වියට්නාමයේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ මහනාහිමියන්ගේ දේහයට අවසන් ගෞරවය පුදකළේ ඉන් අනතුරුවයි.

******************************************

නව වාර්තාවක් තැබූ පැතුම් නිස්සංකගේ පුහුණුකරු කළ ඉල්ලීම

(25.03.2021 – 21:01 +0530 – hirunews.lk/sinhala)

කොදෙව් ක්‍රිකට් තරගාවලියේදී පරාජයේ රැල්ලකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉඩෝරයට දිය පොදක් ලෙසින් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී යන්තම් ඔළුව උස්සන්නට මේ වන විට හැකිවී තිබෙනවා.

ඒ, කාලයක් තිස්සේ මෙරට දේශීය ක්‍රිකට් පිටියේ දස්කම් දැක් වූ පැතුම් නිස්සංක ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිද්දී, අනෙකුත් ක්‍රීඩකයින්ගේ පිත්තටද කලකට පසු පණ ලැබීමත් සමගයි.

කෙසේ වෙතත්, පැතුම්ගේ පළමු පුහුණුකරු අප සමගින් පවසා සිටියේ කුසල් මෙන්ඩිස්ගේ ක්‍රිකට් දිවියට කළ හානිය පැතුම් නිස්සංකට සිදු නොකර රැක ගැනීම ක්‍රිකට් බලධාරීන්ගේ මෙන්ම මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ ද වගකීමක් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත්ව ගියේ දේශීය ක්‍රිකට් පිටියේ දස්කම් දැක් වූ යොවුන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම ජාතික කණ්ඩායමේ දොරගුළු විවර කරමින්.

ඒ අතරින් ගෙවුණු වසර කිහිපය තුළදීම දේශීය තරග බිමේ වැඩිම ලකුණු ලාභින් අතර පෙරමුණ ගත් 22 හැවිරිදි පැතුම් නිස්සංක කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණා.

ඔහු මේ වන විට ලොව එතෙක් මෙතෙක් ක්‍රිකට් ඉහිහාසයේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ ඉහළතම සාමන්‍ය රැකගත් ක්‍රීඩකයින් සිව්දෙනා අතර රැඳී ටින්නේ ලොව පහළ වූ විශ්ෂ්ටතම ක්‍රීඩකයා වන ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, විජේ මර්චන්ට් සහ ජෝර්ජ් හෙඩ්ලි සමගයි.

ඒ සියලු පුරෝකථනයන් සමග කොදෙව්වන්ට එරෙහිව ජගත් පන්දුවාර 20 වරම් දිනාගන්නා පැතුම් එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභින් අතර පෙරමුණ ගත්තා.

නමුත් සිතු තරම් කොදෙව් එක්දින තරගාවලියේදී නම් දස්කම් දක්වන්නට ඔහුට හැකි වුණේ නැහැ.

පැතුම් ගැන විශ්වාසය තැබූ ක්‍රිකට් කළමනාකාරීත්වය, පළමු ටෙස්ට් තරගයේදී ටෙස්ට් හිස් වැසුම ලබාදුන්නේ 155 වැනි ශ්‍රී ලංකේය ටෙස්ට් ක්‍රීඩකයා ලෙසින්.

පළමු ඉනිමේදීත් ඔහුට දැනෙන්නට යමක් කරන්නට නොහැකි වෙද්දී, දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම මොහොතේ ටෙස්ට් ශතයක වාර්තා කරන්නට පැතුම්ට හැකියාව ලැබුණේ ඔහුගේ ටෙස්ට් දිවියට ස්වර්ණමය මතකයක් එක් කර ගනිමින්.

දකුණතින් පිත්ත හසුරන මෙම හුරුබුහුටි ක්‍රීඩකයා වාර්තා පොත් අතරට එක් වුණේ එවැනි දස්කමක් විදෙස් රටකට දී දැක්වූ පළමු ශ්‍රී ලංකා පිතිකරු මෙන්ම සිව්වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසටයි.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි දස්කමක් දක්වා තිබුණේ බ්‍රෙන්ඩන් කුරුප්පු, රොමේෂ් කළුවිතාරණ සහ තිලාන් සමරවීර පමණයි.

පන්දු 253කට මුහුණ දුන් ඔහු හතරේ පහර 6ක් ද සමගින් ලකුණු 103ක් සිය නම ඉදිරියේ සනිටුහන් කර ගත්තා.

ගතේ සවියට වඩා හිතේ සවියෙන් ජීවිතය ජයගත් පැතුම් වෙනුවෙන් ඔහුගේ මව සහ පියා තමන් කළ කැපකිරීම් ගැන සිහි කරන්නේ මහත් සොම්නසින්.

දහසක් කම්කටොලු මැද වුවත් තමන් ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළටම ගිය පැතුම් නිස්සංක අද වන ,විට මුලු ලෝකයේම අවධානය දිනාගෙන අවසන්.

ඔහුව නිසි ලෙස රැකබලා ගනිමින් මෙරට ක්‍රිකට් හිනිපෙත්තටම ගෙනයන්නට අවැසි අත්වැල ලබාදීමේ වගකීම ක්‍රිකට් බලධාරීන් මෙන්ම ක්‍රිකට් ලෝලින්ගේත් වගකීමක්.

******************************************

(25.03.2021 – 22:31 +0530 – hirunews.lk/sinhala)

අද ‘හාඩ් ටෝක්’ විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගෙන්.

******************************************

(25.03.2021 – 22:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව තුළ තවමත් කෙ‍ණෙහිලිකම් පවතින බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (25) පස්වරුවේ පැවති එම පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වුණේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

@@@@@@@@@@@@@@@

(25.03.2021 – 15:42 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ පළමු පාසල් වාරය අප්‍රේල් 9 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එමෙන්ම දෙවන පාසල් වාරය අප්‍රේල් 19 වනදා ආරම්භ කෙරෙන බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

මේ අතර බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුලුව මෙතෙක් ආරම්භ නොකල අනෙක් ශ්‍රේණි ලබන සඳුදා (29) වන දින ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ යම් ප්‍රදේශයක් හුදෙකලා කළ හොත් අදාළ කාලසීමාව ඉකුත්වන තෙක් එම ප්‍රදේශයේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බවටයි.

ඉගැන්වීම් කටයුතු සඳහා පාසල් සූදානම් කිරීම වෙනුවෙන් හෙට (26) සිට 28 දක්වා දින 3 ක් වෙන්කර තිබෙනවා.

පාසල් ආරම්භ කළ වහාම විභාග කටයුතු සහ තරග සඳහා දරුවන් යොමු කිරීමට යෝග්‍ය නොවන බවටයි එහි අවධාරණය කර ඇත්තේ.

පාසල් පරිසරයට දරුවන් අනුගත කර ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ඔප්නැංවීමට සුදුසු ක්‍රියාකාරකම් කිරීමට මූලිකත්වය ලබාදිය යුතු බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයෙන් පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ද මාර්ගෝපදේශ සටහනක් ද චක්‍රලේඛයේ ඇතුලත්.

ඒ අනුව සිසුන් 15 දක්වා සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතුයි.

සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු වනවා.

සිසුන් 30 වැඩි වශයෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති පැවැත්විය යුතු බවටයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශකර ඇත්තේ.

අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල පාසලට කැඳවීම සම්බන්ධයෙන් එම චක්‍රලේඛයට අනුව ශිෂ්‍ය ඉගෙනුම් ක්‍රියාවලිය නැවත යථා පරිදි ආරම්භ වන බැවින් ඔවුන් සියලුදෙනා සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව සඳහන් ෴

++++++++++++++++

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 163 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

++++++++++++++++

(25.03.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහි ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 10 වනදා සිට ලබාදෙන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

පූනේ හි සීරම් ආයතනයේ නිෂ්පාදනය කරන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නත අපනයනය නතර කිරීමට තීරණය කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණ ද එය මෙරට තුල දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතුවලට බාධාවක් නොවන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, බෙන්තොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකුට යුද හමුදා නිලධාරියෙකු සිදුකළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් යුද හමුදා පොලීසිය සහ බෙන්තොට පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේ අදාල පුද්ගලයා බීමත්ව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් යම් සිදුවීමක් සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 251 දෙනෙකු අද (25) සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, සමස්ත සුවය ලැබූ ආසාදිත සංඛ්‍යාව 87,881 ක්.

+++++++++++++++++++

(25.03.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල – වීරකැටිය ප්‍රදේශයේ පාසල් ගුරුවරියක කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමත් සමඟ එම ප්‍රදේශයේ පාසල් 4 ක් අද (25) සහ හෙට (26) දෙදින වසා තැබීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

අදාළ ගුරුවරියගේ ආශ්‍රිතයන් 13 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති අතර, ඇගේ සැමියාට අයත් සුපිරි වෙළඳසැලක් ද වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ ෴

+++++++++++++++++++

(25.03.2021 – 21:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ තුනක් (3) අද (25) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 557 ක් දක්වා ඉහළ ගියා.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 88 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 91,377 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *