පස්සර අනතුරේ බස් රථ රියදුරාගේ දුරකථන දත්ත ලබාගැනීමේ සූදානමක්

පස්සර අනතුරේ බස් රථ රියදුරාගේ දුරකථන දත්ත ලබාගැනීමේ සූදානමක්

*********************************************

පස්සර අනතුරේ බස් රථ රියදුරාගේ දුරකථන දත්ත ලබාගැනීමේ සූදානමක්

(24.03.2021 – 08:50 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවමින් ලු‍නුගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේ සිදුවූ අනතුරේ බසය පැදවූ රියදුරාගේ දුරකථනයේ දත්ත වාර්තා අදාළ සමාගම් වෙතින් ලබාගැනීමට සූදානම් වනවා.

අනතුර සම්බන්ධයෙන් විමර්ශනය මෙහෙය වන උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ රියදුරා විසින් බස් රථය ධාවනය කරන අවස්ථාවේ දුරකථනය භාවිත කළ බවට බස් රථයේ සිටි කිහිපදෙනෙකු සඳහන් කර ඇති බවයි.

කෙසේ වෙතත් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන රියදුරුගෙන් පොලීසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර, ඔහු සඳහන් කර ඇත්තේ තමන් එම අවස්ථාවේ දුරකථනය භාවිත නොකළ බවයි.

තමන් තිරිංග ක්‍රියාත්මක කළ බවත්, බස් රථයේ තිරිංග ඒ මොහොතේ ක්‍රියාත්මක නොවූ බවත් ඔහු පවසා තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූවන් 28 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මියගිය 14 දෙනාගේ අවසන් කටයුතු පෙරේදා (22) වනවිට අවසන් කෙරුණා.

මේ අතර, රාජගිරිය පාර්ලිමේන්තු පාරේදී මාරක රිය අනතුරක් සිදුකර රථවාහන රාජකාරියේ යෙදී සිටි කොළඹ හදිසි ඇමතුම් අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කළැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත් වෑන් රථ රියදුරු මේ මස 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ මාදිවෙල – තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ෴

******************************************

(24.03.2021 – 09:19 +0530 – hirunews.lk/sinhala)

වාහනවල අංක තහඩුවේ පළාත හැඳින්වෙන ඉංග්‍රීසි අක්ෂර ඉවත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට හිමිව ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ තවත් මාස දෙකක් (2) ඇතුළත මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිය හැකි බවයි ෴

******************************************

(24.03.2021 – 09:41 +0530 – hirunews.lk/sinhala)

ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇති සෙරමික් නිෂ්පාදන දින 180 ක ණය පදනම මත ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

එසේම, බතික් හා අත්යන්ත්‍ර මගින් වියන ලද ඇඟලුම් හා රෙදිපිළි හැර වෙනත් සාරි වර්ග දින 90 ක ණය පදනම මත ආනයනය කිරීමට ද අවසර ලබාදීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ ෴

******************************************

(24.03.2021 – 09:52 +0530 – hirunews.lk/sinhala)

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහයට, ජනපති, අගමැති අවසන් ගෞරව දක්වයි.

අපවත්වී වදාල ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට දිනය (25), ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවිසැල් සහ සුරාසැල් හා මත්පැන් අලෙවි මධ්‍යස්ථාන හෙට (25) දිනයේ වසා තැබිය යුතු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ද ඊයේ (23) අනුමැතිය හිමි වුණා.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහය උන්වහන්සේ වැඩවිසූ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර, දේහය පිළිබද ආදාහන පූජෝත්සවය හෙට (25) නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (24) පෙරවරුවේ මහනාහිමියන්ගේ දේහය අවසන් ගෞරව දක්වනු ලැබුවා.

ඊයේ (23) දිනයේදීත් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවසන් ගෞරව දැක්වූවා.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහනාහිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ භික්ෂුවක තුළ තිබිය යුතු ව්‍යක්ත බව, විනීත බව සහ විශාරද බව මෙන්ම ධම්මානුධම්ම පටිපන්න බව මහනාහිමියන් තුළින් නිරන්තරයෙන් විද්‍යමාන වූ බවයි.

******************************************

(24.03.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

පොලිසියට කළ පැමිණිල්ලක් පක්ෂග්‍රාහී ලෙස විභාග කිරීම සම්බන්ධයෙන් උරණ වූ පිරිසක් ඊයේ (23) පානදුර උතුර පොලිස් ස්ථානය ඉදිරිපිට දී එහි වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාට සිය විරෝධය පළකලා.

එහිදී ඔවුන් චෝදනා කළේ නිසි පැමිණිලි විභාගයකින් තොරව පොලිසිය විසින් පහරදීමේ සිද්ධියට සැකකරුවන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවටයි.

මෙම පහරදීමේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල රෝහලේ වාට්ටු අංක 25 ප්‍රතිකාර ලබන අතර ඔහුගේ හිසට මැහුම් 15 ක් ද දමා ඇති බවටයි විරෝධතාකරුවන් කියා සිටියේ.

එම අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්වය පහතින් :

******************************************

(24.03.2021 – 11:19 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝගය අවම කර ගැනීමේ අරමුණින්, වන්ධ්‍යකරණය කරන ලද පිරිමි මදුරුවන් පරිසරයට මුදා හැරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, නියමු ව්‍යාපෘතියක් ලෙසින් ලබන 29 වනදා ප්‍රථම වතාවට ගම්පහ – කිඩගම්මුල්ල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි කැළණිය විශ්වවිද්‍යාලයේ, අණුක වෛද්‍ය විද්‍යා ඒකකයේ මහාචාර්ය මේනකා හපුගොඩ මහත්මිය කියා සිටියේ ෴

******************************************

(24.03.2021 – 11:22 +0530 – hirunews.lk/sinhala)

මැණික්‌ හා ස්වර්ණාභාරණ අධිකාරියේ මැදිහත්වීමෙන්‌ ලග්ගල දඹදෙණිය ප්‍රදේශයේ පරිසරයට හානි කරමින්‌ සිදුකරගෙන ගිය මහා පරිමාන අනවසර මැණික් ගැරීමේ ජාවාරමක්‌ ආනාවරණය කර ගැනීමට හැකි වුණා.

මෙහිදී මෙම අනවසර පතල්‌ ජාවාරම සඳහා යොදාගත්‌ බැකො යන්ත්‍ර, ඇතුලු යන්ත්‍රොපකරණ සියල්ල මැණික්‌ හා ස්වර්ණාභරණ අධිකාරියේ භාරයට ගැනුනා.

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයා මේ වන විට හදුනා ගෙන ඇති අතර ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්දයෙන් අදහස් දැක්වූ මැණික්‌ හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාන්‍ය ලොහාන්‌ රත්වත්තේ මහතා කියා සිටියේ පරිසරයට හානි කරමින්‌ සිදු කෙරෙන මැණික්‌ ජාවරම්වල නිරන වන්නන් පිලිබඳ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කර උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

******************************************

(24.03.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala)

ධාවනය වෙමින් තිබූ බස් රථයක පිටුපස දොරටුවෙන් විසි වී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියකට අදාළව බස් කොස්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ පානදුර – කළුතර බස් රථයක කොන්දොස්තරවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, අත්අඩංගුවට ගත් 60 හැවිරිදි කොන්දොස්තරවරයා ඊයේ (23) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (24) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම කොන්දොස්තරවයාගේ වගකීම වන බැවින් ඊට අදාළවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

******************************************

(24.03.2021 – 12:02 +0530 – hirunews.lk/sinhala)

ලබන 29 වනදා සඳුදා සිට බස්නාහිර පලාතේ පෙර පාසල් සහ පාසල්වල මෙතෙක් ආරම්භ නොකළ ශ්‍රේණි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව පාසල් පැවැත්වීම සඳහා කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් මහතා ප්‍රකාශ කළේ.

******************************************

(24.03.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)

රථ වාහනවල ටයර් පරීක්ෂා කිරිමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කළා.

අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මාධ්‍යවේදිනියක නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

පස්සර සිදුවූ බස් රථ අනතුරෙන් අනතුරුව මෙලෙස රථ වාහනවල ටයර් දින 3 ක් පරීක්ෂා කිරීමට පොලීසිය පියවර ගත් අතර, හෙට (25) දිනයේදී එම කටයුතු අවසන් වීමටයි නියමිතව තිබුණේ ෴

******************************************

(24.03.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය දා පස්සර ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් සිදුකළ විමර්ශනයේ වාර්තාව අද (24) ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදීමට නියමිතයි.

******************************************

(24.03.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

නව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ සේවාව සඳහා දිනයක් සහ වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් නිවේදනය කර තිබෙනවා.

ඒ සඳහා පහත දුරකථන අංක භාවිත කර, දිනයක් සහ වෙලාවක් වෙන් කර ගන්නා ලෙසටයි කොමසාරිස්වරයා වැඩි දුරටත් නිවේදනය කර ඇත්තේ.

එම දුරකථන අංක වන්නේ, 011 522 6126 / 011 522 6100.

******************************************

(24.03.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

විවාදයට තුඩු දී ඇති සිංහරාජය ආසන්නයේ ඇති ඉඩම සිංහරාජ රක්ෂිතයට අදාළව ගැසට් කර ඇති භූමියට අයත් නොවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

දැන් මැති සබය විශේෂාංගය.

@@@@@@@@@@@@@

(24.03.2021 – 08:58 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයින් 251 දෙනෙකු ඊයේ (23) හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90,765 දක්වා ඉහළ ගියා.

වාර්තා වූ ආසාදිතයින්ගෙන් 203 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් 23 දෙනෙකු ද වෙනවා.

එමෙන්ම විදේශයන් හි සිට පැමිණි 25 දෙනෙකු ද නව ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව ආසාදිතයින් 2907 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 87,306 ක්.

එමෙන්ම, නව මරණයක් (1) ඊයේ (23) වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 552 ක් දක්වා ඉහළ ගියා.

යාපනය – නල්ලූර් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

කොරෝනා පරීක්ෂණ පහත දැමීම තුළින් ඉදිරි දිනවල අනිසි ප්‍රතිඵල ලැබීමට ඉඩ ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අගවනවා ෴

+++++++++++++++++++

(24.03.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 රෝග මර්දනය සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – ෆයිව් එන්නතේ මාත්‍රා මිලියන හතක් (7) ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයට ඊයේ (23) ඉදිරිපත් කල යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා.

මේ සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 69.65 ක්, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 1.39 ක්

කොවිඩ්-19 එන්නත් කරන වැඩපිළිවෙලේ යටතේ, මෙරට මිලියන 14 ක ජනතාවට කොවිඩ් ප්‍රතිශක්ති කරන එන්නත් ලබා දීමට නියමිතයි.

මේ වන විටත් එම වැඩපිළිවෙලේ පළමු මිලියන පහක (5) එන්නත් කරන ක්‍රියාත්මකයි ෴

+++++++++++++++++++

(24.03.2021 – 10:42 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 වනදා සඳුදා සිට ආරම්භ කිරීමට අදාළ සෞඛ්‍ය අමාත්‍යංශ නිර්දේශ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා වෙත මේ වන විටත් භාර දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

එම නිර්දේශයන්ට අනුව බස්නාහිර පළාතේ මෙතෙක් වසා දමා තිබූ පෙර පාසැල්ද ආරම්භ කිරීමට අවසර ලැබෙනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වරයා වැඩි දුරටත් සඳහන් කලේ බස්නාහිර පළාතේ පාසැල්වල, සියලු ශ්‍රේණි විවෘත කිරීම සඳහා වන අවසන් තීරණය ගත යුතුව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් බවයි.

ඒ අනුව අදාළ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ වන දිනය සම්බන්ධයෙන් අද (24) දිනයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ.

මීට පෙර බස්නාහිර පළාතේ රජයේ පාසැල්වල 05, 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඉකුත් 15 වනදා ආරම්භ කෙරුණු අතර සෙසු ශ්‍රේණි ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 19 වනදායි ෴

++++++++++++++++++++

(24.03.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

චීනයේ නිෂ්පාදිත කොවැක්සීන් එන්නත ලබා ගැනීමට බිය නොවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

ඊයේ (23) දිනයේදීත් ආසාදිතයින් 251 දෙනෙකු මෙරටින් වාර්තා වු අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 66 ක්.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 48 ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 20 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, කන්දකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව් (4) දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත්, පොලිස් ස්ථානයේ දෛනික කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ bus accident, foolish driver complains that his brakes did not work. How would the brakes work when when all the wheels on the left side of the bus were in mid air, and the wheels on the right side were at an angle and were hardly touching solid ground. Greed to collect money, unjustified rush and arrogant and egoistic driving are the causes of this dreadful culpable accident. He did not bother to slow down at all as the bus was approaching the narrow section of the road, just carried on the same speed as his approach speed. It is all to be seen in the video. No need to try to split hair.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *