පිළිකා කාරක සහිත පොල්තෙල් රට පුරා

පිළිකා කාරක සහිත පොල්තෙල් රට පුරා

*********************************************

පිළිකා කාරක සහිත පොල්තෙල් රට පුරා

(23.03.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයට පෙර වෙළදපළේ සහ රේගුවේ පවතින ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් සහ ෆාම් තෙල් මිනිස් පරිභෝජනයට සුදුසු ද නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර කරුණු හෙළි කරන ලෙස මෙරට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

දඹුල්ලේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා සිටියේ රේගුවේදී බහාලුම් 13 ක පැවති පොල්තෙල්වල පිළිකා කාරක පවතින බවට අනාවරණ වී ඇති බවයි.

කෙසේ වෙතත්, ඊට අදාළ වාර්තා ලැබෙන විට එම පොල්තෙල් තොග රට පුරා බෙදා හැර ඇති බව ඔහු එහිදී සඳහන් කළා ෴

******************************************

(23.03.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරිතර මහ නායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේ වනවිටත් පැමිණෙමින් සිටිනවා.

ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 25 වනදා නිදහස් චතුරස්‍රයේදි සිදු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරිතර මහ නායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් ඊයේ (22) අලුයම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වන විට 88 වන වියේ පසු වුණා.

රිය පෙරහරකින් ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට වැඩම කරවූ උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේ වනවිටත් පැමිණෙමින් සිටිනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටියා.

******************************************

(23.03.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

රඳවා තබාගෙන ප්‍රශ්න කරන හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් සමඟ සමීප සබඳතා පවත්වමින් එම ත්‍රස්ත ක්‍රියා සඳහා ආධාර අනුබල දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

මේ බව අනාවරණය වුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට ඉදිරිපත් කළ බී වාර්තාවකට අනුවයි.

මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට අදාළව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ පසුගිය 16 වැනිදායි.

විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කළා.

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට ආධාර අනුබලදීමෙන් අසාද් සාලි ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන කුමන්ත්‍රණය කිරීමේ වැරදි සිදුකර ඇතැයි නිරීක්ෂණය වන බව එම බී වාර්තාවේ සඳහන්.

සැකකරු ශ්‍රී ලංකා ජනරජයේ ස්වාධිපත්‍යයට හානි වන අන්දමින් මහජනයා අතර අනාදරය ඇති කිරීම සහ කණ්ඩායම් වශයෙන් රජයට එරෙහිව යුද්ධ කිරීම සහ අන්තවාදීට අනුබලදීම යන වැරදි සිදුකර ඇති බවට කරුණු හෙළිවී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් බලපෑමක් සිදුකර ඇති බවත් ඔහු එහිදී ක්‍රියාකර ඇති ආකාරය අනුව අන්තවාදීන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බවට හැඟී යන බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ද සඳහන් වන බව එම බී වාර්තාව මගින් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

මුස්ලිම් නීතිය පිළිනොගන්නා බවට සැකකරු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිදුකළ ප්‍රකාශය හරහා රටේ ජනතාව ප්‍රචණ්ඩත්වයට පොළඹවා පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි සිද්ධියක් ඇති කිරීමටත් අන්තවාදය ඇතිවීමට සෘජු උත්තේජනයක් ලබා දී ඇති බවත් බී වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

සිද්ධියට අදාළ විමර්ශනවල උදෘත නීතිපතිවරයා වෙත යොමු කළ බවත්ල දණ්ඩනීති සංග්‍රහය ත්‍රස්තවාදය වැළෑක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර් ජාතික සම්මුති පනත යටතේ ගැනෙන වැරදි අසාද් සාලි සිදුකර ඇති බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා.

ඔවුන් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ ඒ අනුව සැකකාර අසාද් සාලි තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න බවයි.

******************************************

(23.03.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

පස්සර – 13 කණුව ප්‍රදේශයේ පසුගිය දා සිදුවූ මාරාන්තික රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ 14 දෙනාගේ මෘත දේහ පිළිබද අවසන් කටයුතු ඊයේ (22) දිනය වන විට සිදුකර අවසන් කර තිබෙනවා.

ඇසක ආබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට බදුල්ල රෝහල වෙත යමින් සිටි අඹු – සැමි යුවළක් මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ අතර මේ වන විට ඔවුන්ගේ දරුවන් 3 දෙනා රැක බලා ගැනීමට සිදුව ඇත්තේ මිත්තණියටයි.

ලුණුගල – අඩාවත්ත ප්‍රදේශයේ පදිංචි එම අඹු සැමි යුවළට ලුණුගල දී බස් රථය මග හැරී ඇති අතර පසුව ඔවුන් ත්‍රිරෝද රථයකින් එය පසුපස හඹා ගොස් අතරමගදී ඊට ගොඩ වී තිබෙනවා.

ඉන් අනතුරුව ඔවුන් මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ ෴

******************************************

(23.03.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව පරිසරය දඩයම් කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ කොළඹදී පැවති නිහඬ විරෝධතාවයකට එක් වෙමින්.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය අසලදී නිහඬ විරෝධතාවයක් පැවැත්වූවා. ඒ දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවන පරිසර විනාශයට විරෝධය දැක්වීම සඳහායි.

******************************************

(23.03.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

වසරේ ගත වූ දින 81 තුළ දී රිය අනතුරුවලින් පුද්ගලයින් 508 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ මාරක අනතුරු 483 කින් මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඊට අමතරව බරපතල අනතුරු 1054 ක් සිදුව ඇති අතර, සුළු තුවාල ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2488 ක්.

එසේම රිය අනතුරුවලින් දේපළ අලාභ 1284 ක් සිදුව තිබෙනවා ෴

******************************************

(23.03.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහල අසල සිට මුදල් අමාත්‍යාංශය දක්වා වෘත්තීය සමිති කිහිපයක් මේ වනවිට විරෝධතා පාගමනක නිරත වනවා.

ඒ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් 15,000 කින් වැඩි කිරීම හා පෞද්ගලික අංශයේ අවම මූලික වැටුප රුපියල් 25,000 ක් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

විරෝධතාවය හේතුවෙන් මේ වනවිට කොළඹ පුරහල අවට රථවාහන තදබදයක් ද හටගෙන ඇති බව එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළා ෴

******************************************

(23.03.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

සිංහරාජ රක්ෂිතයේ ඉදිකිරීමක් සිදුකරන්නේ නම් ඒ සඳහා යුනිසේකෝ සංවිධානයේ අවසරය ලබා ගන්නා බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

සිංහරාජ රක්ෂිතයේ වැව් දෙකක් (2) ඉදිකිරීම සම්බන්ධයෙන් විපක්ෂය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

පෙරේදා හම්බන්තොට – වීරකැටිය ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ පවතින ජල හිඟයට පියවරක් ලෙස සිංහරාජය තුළ වැව් දෙකක් (2) ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට සමාජ මාධ්‍ය තුළ විරෝධයක් මතු වී තිබෙනවා.

ඒ සමග වාරිමාර්ග අමාත්‍යාංශය විසින් අද (23) ඊට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කළා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ද අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර විෂය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ ඊට යළි ප්‍රතිචාර දක්වා සිටියා.

මේ අතර, සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ පේරක කලාපයට අයත් බවට පැවසෙන ලංකාපුර – වේරෝඩයාය ප්‍රදේශයේ කුඹුක් ගස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ගොවීන් චෝදනා කරනවා.

මේ අතර, වව්නියාව – කල්ලිකුලම් ප්‍රදේශයේ පරිසරයට හානි වන අයුරින් සිදුවන බොරළු සහ පස් කැපීමේ ජාවාරමක් පිළිබඳව සොයා බැලීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (22) එහි සංචාරයක නිරත වුණා.

එමෙන්ම, බද්දේගම – තිඹිල්ල රක්ෂිතය හෙළිපෙහෙලි කරමින් වන විනාශයක් සිදුකළ බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර, පරිසර විනාශයට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තු වට රවුම ආසන්නයේ විරෝධතාවක නිරත වුණා.

******************************************

(23.03.2021 – 14:34 +0530 – hirunews.lk/sinhala)

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසි වාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම තවත් පැය දෙකකින් (2) කල් දමා තිබෙනවා.

සාමාජිකයන් 47 දෙනෙකුගෙන් සමන්විත ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ඒ පිළිබද ඡන්ද විමසීම ඊයේ (22) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ නමුත්, යෝජනා රැසක් න්‍යාය පත්‍රවලට ඇතුළත් කිරීමේ ගැටළු හේතුවෙන් එය අද දක්වා කල් දමනු ලැබුවා.

ඒ අනුව මානව හිමිකම් මණ්ඩලයේ 46 එල් – 1 දරණ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ජිනිවා වේලාවෙන් අද (23) පෙරවරු 9 ට පළමු යෝජනාව ලෙස සලකා බැලීමටයි සැලසුම් කර තිබුණේ.

එහෙත් එය තවත් පැය 2 කින් කල් දැමීමට පසුව තීරණය කෙරුණා. ඒ අනුව එම යෝජනාවට අදාළ ඡන්ද විමසීම ශ්‍රී ලංකා වේලාවෙන් අද (23) පස්වරු 03:30 ට පමණ පැවැත්වෙනු ඇති.

******************************************

(23.03.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාත්මක කර ඇති විරෝධතා පාගමන හමුවේ ගාලු මුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් 15,000 කින් වැඩි කිරීම හා පෞද්ගලික අංශයේ අවම මූලික වැටුප රුපියල් 25,000 ක් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් අද මෙම විරෝධතාව ආරම්භ කළේ කොළඹ ජාතික රෝහල අසළින්.

ඒ හේතුවෙන් පුරහල අවට මෙන්ම පිටකොටුව අවට මාර්ගවල රථවාහන තදබදයක්ද හටගත්තා ෴

******************************************

(23.03.2021 – 15:31 +0530 – hirunews.lk/sinhala)

බද්දේගම වන රක්ෂිතයක ගස් කපා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

මේ අතර දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක සිදුවන පරිසර විනාශයන් පිළිබඳවද අපට වාර්තා වුණා.

බද්දේගම ප්‍රාදේශීය සභාවේ බුවනෙක නානායක්කාර නම් මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් මෙලෙස ගස් කපා දමා ඇත්තේ බද්දේගම කිඹිල්ල රක්ෂිතයේයි.

පොලීසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

+++++++++++++

******************************************

(23.03.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කම්කරු අරගල මධ්‍යස්ථානය ආරම්භ කර ඇති විරෝධතා පා ගමන මේ වනවිට මුදල් අමාත්‍යාංශය අසළට පැමිණ තිබෙනවා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් 15,000 කින් වැඩි කිරීම හා පෞද්ගලික අංශයේ අවම මූලික වැටුප රුපියල් 25,000 ක් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් අද මෙම විරෝධතාව ආරම්භ කළේ කොළඹ ජාතික රෝහල අසළින්.

ඒ හේතුවෙන් පුරහල අවට මෙන්ම පිටකොටුව අවට මාර්ගවල රථවාහන තදබදයක්ද හටගත්තා.

මේ වනවිට වෘත්තිය සමිති නියෝජිතයින් කිහිපදෙනෙකු සාකච්ඡාවක් සඳහා මුදල් අමාත්‍යාංශය වෙත කැඳවාගෙන ගොස් තිබෙනවා ෴

******************************************

(23.03.2021 – 15:45 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘රසික රුවන් කුමාර විජේතුංග’ හෙවත් ‘නේවි රුවන්’ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහය දැක්වූ පොලිස් කොස්තාපල්වරයෙකු වැලිසර ළය රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා සපුගස්කන්ද පොලිසියට අනුයුක්තව වැලිසර ළය රෝහලේ පොලිස් මුරපලේ රාජකාරියේ නිරත අයෙක්.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (22) රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වෙනත් පාර්ශවයකට ලබාදීම සඳහා රැගෙන විත් තිබූ හෙරොයින් ග්‍රෑම් 107 යි මිලිග්‍රෑම් 290 ක් සොයාගෙන තිබුණා.

පසුව මුල්ලේරියාව – ජයන්ති මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 286 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

සොයාගත් මෙම හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 40 කට ආසන්න බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴

******************************************

(23.03.2021 – 16:11 +0530 – hirunews.lk/sinhala)

යාපනය මහ නගර සභා නාගරික මන්ත්‍රීවරයකු සහ උපවාසකරුවන් පිරිසක් අතර ඊයේ (22) යාපනය නල්ලූර්හිදී ගැටුමක් ඇතිවුනා.

යාපනය නල්ලූර් ප්‍රදේශයේ යාපනය මහ නගර සභාවට අයත් ඉඩමක එල්.ටී.ටී.ඊ. සහ උතුරේ ක්‍රියාත්මක වූ සන්නද්ධ කණඩායම් හමුවේ පීඩාවට ලක්වූ පිරිසක් ඊයේ (22) උදැසන උපවාසයක් ආරම්භ කළා.

කෙසේ වෙතත් යාපනය නගර සභා බලධාරීන් චෝදනා කරන්නේ අදාල විරෝධතා කරුවන් පිරිස මෙම ඉඩම තුල මෙලෙස වේදිකාවක් තැනීමට නිසි අවසරයක් ගෙන නොමැති බවයි.

පොලිසියේ හෝ නගර සභාවේ අවසරයක් නොමැතිව වේදිකාවක් සැකසීම සම්බන්දයෙන් යාපනයේ නගරාධිපතිවරයා සිය විරෝධතාව නාගරික මන්ත්‍රී වරයකු හරහා ඉදිරිපත් කල මොහොතේ එතැන උණුසුම් තත්ත්වයක් මතු වුනා.

මෙහිදී විරෝධතාකරුවන් රැදී සිටි වේදිකාව මත ජාතික ධජය බිම දමා තිබු අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ සැරිසරනවා.

පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ දෙපාර්ශ්වයම සමතයකට පත් කළ අතර අධිකරණ නියෝගයක් ලබාගෙන ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස නගර සභා බලධාරීන්ට දැනුම් දුන්නා ෴

@@@@@@@@@@@@@@

(23.03.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – ෆයිව් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 6.5 ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඇණවුම් කිරීමට සැරසෙනවා.

ඒ, එම එන්නතෙහි හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබීමෙන් අනතුරුවයි.

කොරෝනා එන්නත් ලබා ගත යුතු මිල සම්බන්ධයෙන් තීරණය කිරීමට පත් කළ කමිටුව ස්පුට්නික් එන්නත නිෂ්පාදනය කරන රුසියානු ‘ගමාලෙයා’ ආයතනය සමග සාකච්ඡා කිරීමෙන් පසු ඒ පිළිබඳ තීරණයකට ද එළඹුණා.

ඒ අනුව, එම එන්නත් මාත්‍රාවක් මිලදී ගනු ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 9.95 ක මිලකටයි.

කෙසේ නමුත්, චීන සිනොෆාම් කොරෝනා එන්නත ඇණවුම් කිරීම සදහා ඖෂධ නීතිගත සංස්ථාවට මෙතෙක් ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවී නැහැ.

එමගින් එන්නතෙහි හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබුණහොත් එම එන්නත ද ඇණවුම් කිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක මහතා සඳහන් කළේ.

ඊයේ (22) වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් 314 දෙනා අතරින් 52 නෙකු වාර්තා වී ඇත්තේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන්.

කළුතරින් ආසාදිතයින් 30 දෙනෙකු සහ ගම්පහින් ආසාදිතයින් 29 දෙනෙකු වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 දෙනෙකු අලුතෙන් සොයා ගත් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

++++++++++++++++

(23.03.2021 – 15:28 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ පූනේහි සීරම් ආයතනය නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් කොරෝනා එන්නතෙන් ලේ කැටිති ඇති වීමේ අවදානමක් මතු නොවන බව ඉන්දීය රජයේ ඉහළ පෙලේ කමිටුවක් මගින් ප්‍රකාශ කළා.

විශේෂයෙන් යුරෝපා රටවල ඒ පිළිබඳ සැකයක් මතුවීමෙන් අනතුරුවයි ඉන්දියාව ඒ පිළිබඳ ස්වයං ඇගයීමක් සිදු කිරීමට තීරණය කළේ.

ඒ අනුව, එන්නත්කරණයෙන් පසු ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල පිලිබඳ ඉන්දීය රජයේ ජාතික උපදේශක කමිටුව අදාළ ඇගයීම සිදුකරනු ලැබුවා.

එහි ප්‍රතිඵලය අද ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඒ අනුව, ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත හෝ කොවැක්සීන් එන්නත මගින් ලේ කැටිති ඇතිවීමේ අවදානමක් මතු නොවන බව තහවුරු කරනවා.

කෙසේ නමුත් ඉන්දීය රජය විසින් තත්ත්වය අඛන්ඩව අධීක්ෂණය කරනු ලබන බවයි එමගින් අවධාරණය කළේ ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 248 දෙනෙකු අද (23) දිනයේදී සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 85,306 ක් ලෙසයි.

ආසාදිතයන් 2,657 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *