පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගිය වරෙන්තුකරුවෙකු යළි අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගිය වරෙන්තුකරුවෙකු යළි අත්අඩංගුවට

*********************************************

පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගිය වරෙන්තුකරුවෙකු යළි අත්අඩංගුවට

(22.03.2021 – 09:13 +0530 – hirunews.lk/sinhala)

කිරුලපන – නාගස්වත්ත ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර පලාගිය සැකකරුවෙකු යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) ගොස් ඇති අතර, එහිදී මෙම සිද්ධිය වාර්තාවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

******************************************

(22.03.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් වී ඇති ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව අද (22) විවාදයට ගැනෙනවා.

එම යෝජනාවට අදාළ ඡන්ද විමසීමද බොහෝදුරට අද (22) දිනයේදීම සිදුකරනු ඇතැයි අපේක්ෂිතයි.

කෙසේ වෙතත්, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ විවාදය අතරතුර ඇතැම් රටවල් මැදිහත්වීම් කිරීමට අපේක්ෂා කරන බැවින් ඇතැම් විට ඡන්ද විමසීම හෙට (23) දිනය තෙක් කල් යා හැකි බවයි.

එමෙන්ම අදාළ යෝජනාව ශ්‍රී ලංකාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන අතර, මිතුරු රටවල්ද එම ස්ථාවරය දරණ බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ශ්‍රී ලංකාවේ වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම යන තේමාවෙන් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි රාජ්‍යයන් විසින්.

සාමාජිකයන් 47 දෙනෙකුගෙන් සමන්විත ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාවට මිතුරු රටවල් අදාළ යෝජනාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය ආදී කලාපීය රටවල සහයෝගය මෙහිදී අපේක්ෂා කරනවා.

ඉන්දියාව මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කර නැති නමුත් බොහෝදුරට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

චීනය, රුසියාව, පිලිපීනය සහ පාකිස්ථානය මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව දැනටමත් විවේචනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සකසා ඇත්තේ අදාළ වාර්තාව පදනම් කරගනිමින්.

මේ අතර පාකිස්ථාන ද නිවුස් ඉන්ටර්නැෂනල් පුවත්පත සඳහන් කළේ පාකිස්ථානය මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට සහය පළ කිරීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම අදාළ චෝදනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමටද පාකිස්ථානය තීරණය කර ඇති බව සඳහන්.

මානව හිමිකම් මණ්ඩලයට පාකිස්ථානය පසුගිය ජනවාරි මාසයේ යළි පත් කරගැනුනේ වසර තුනක (3) කාලසීමාවක් සඳහායි.

ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ඉදිරිපත්වූ යෝජනාවලදීද පාකිස්ථානය ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළා ෴

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීම හෙට (23) දිනට කල්තබා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බිඳ වැටීම සම්බන්ධයෙන් වන 46/එල් 01 යෝජනාව අද (22) ඡන්ද විමසීම සඳහා නියම වී තිබුණා.

මෙම යෝජනාව දිනයකින් කල් දැමීමට හේතු වී ඇත්තේ එය පෙලගැස්වීමේදී මතු වූ ගැටළුවක් හේතුවන් බවයි ජිනීවා මානව හිමිකම් කාර්යාල වාර්තා සඳහන් කරන්නේ.

අදාළ යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබද අධීක්ෂණය සහ වාර්තාකරණය ඉහළ නංවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙතින් ඉල්ලා සිටිනවා.

එමෙන්ම, මෙරට සංහිදියාව සහ වගවීම සම්බන්ධයෙන් ලබන ප්‍රගතිය මානව හිමිකම් මණ්ඩලයේ ඉදිරි සැසි වාරයන් සදහා ඉදිරිපත් කර යුතු බව ද එම යෝජනාවේ සදහන් ෴

******************************************

(22.03.2021 – 08:54 +0530 – hirunews.lk/sinhala)

තමන් පැයක පමණ කාලයක් මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ කාමරයක අගුළු දමා සිරකර තිබූ බව එහි සේවය කරන හෙදියන් දෙදෙනෙකු (2) මහරගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෙම පැමිණිල්ල හරහා මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන විකිරණ ශිල්පීන් දෙදෙනෙකු (2) ට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් අතරින් එක් අයෙකු ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනෙක් විකිරණ ශිල්පියා සොයා පොලිස් පරීක්ෂණ වැඩිදුරටත් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(22.03.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

අදට (22) යෙදී ඇති ලෝක ජල දිනය රටක් ලෙස අප සමරන්නේ ස්වභාවික ජල මූලාශ්‍ර සහ වනාන්තර විනාශයන් සම්බන්ධයෙන් දැඩි ලෙස කතාබහක් මතුව ඇති මොහොතකයි.

1922 වසරේ බ්‍රසීලයේ – රියෝදජැනයිරෝ නුවර පැවති එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරිසර හා ප්‍රවර්ධන පිළිබඳ සම්මේලනයේ දී ලෝක ජල දිනයට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

ලෝක ජල දිනයට සමගාමීව ලෝකයේ මෙන්ම මෙරට තුළදී ද විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

******************************************

(22.03.2021 – 09:43 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 20 ක් සමඟ සැකකරුවෙකු වාලච්චේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

27 හැවිරිදි සැකකරු වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(22.03.2021 – 10:07 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට වරායේ එල්.එන්.ජී. බලාගාර ව්‍යාපෘතියක් දියත් කිරීමට අපේක්ෂා කරන බව අසර්බයිජාන රජය ප්‍රකාශ කර තිබෙනවා.

එරට ඛනිජ තෙල් සංස්ථාව මීට පෙර මෝල්ටා රාජ්‍යයේ මෙවැනිම ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක කළ අතර, එහි ඊළඟ අදියර ලෙසයි ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ.

මෙම එල්.එන්.ජී. බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් ෴

******************************************

(22.03.2021 – 10:49 +0530 – hirunews.lk/sinhala)

‘සුරකිමු ගංඟා’ ජාතික පාරිසරික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ආරම්භ වුණා. ඒ කතරගම මැණික් නදිය අසලදියි.

ශ්‍රී ලංකාවේ පිහිටි ගංඟා ද්‍රෝණි 103 ම පුනරුත්ථාපනය කර ආරක්ෂා කිරීම මෙම වැඩසටහනේ අරමුණ වනවා.

අදට (22) යෙදී ඇති ලෝක ජල දිනයට සමගාමීව ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු පළාත්වල ගංඟා සංරක්ෂණ කටයුතුද ඊට සමගාමීව ආරම්භ කෙරෙනවා ෴

******************************************

(22.03.2021 – 11:20 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම හෙවත් එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීන්දු කර ඇතැයි නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට ශ්‍රී ලංකා රජය එළඹීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු පාර්ශව කිහිපයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදියි.

ප්‍රීති පද්මන්සූරසේන, ගාමිණී අමරසේකර සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවනු ලැබුවා.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ඇමරිකාව සමඟ සෝෆා ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන්ද රජය මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි.

ඒ අනුව මීට අදාළ පෙත්සම් ජූලි මස 12 වනදා යළි කැඳවීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට මේ සම්බන්ධයෙන් ලිඛිතව අධිකරණයට කරුණු දක්වන ලෙස දැනුම් දුන්නා ෴

******************************************

(22.03.2021 – 11:32 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යවේදියෙකු පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න අද (22) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණියා.

ඔවුන්ගෙන් මේ වනවිටත් ප්‍රකාශ ලබාගනිමින් සිටින බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

කිසියම් පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් අඩම්තේට්ටම් කළ බවට සඳහන් කරමින් මාධ්‍යවේදියෙකු වන සුජීව ගමගේ නැමති 62 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 10 වනදා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව රෝහල් පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා.

කෙසේ වෙතත් පසුව පොලිසිය සඳහන් කළේ අදාළ සිද්ධිය නිර්මාණය කළ සිද්ධියක් බවයි.

******************************************

(22.03.2021 – 12:04 +0530 – hirunews.lk/sinhala)

පොලිස් ස්ථානයක් තුළ දී සැමියා විසින් එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාවක් ගාල්ල – කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ගාල්ල – උඩුගම පොලිස් ස්ථානය තුළ අදාල පුද්ගලයා විසින් ඊයේ (21) උදෑසන මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

පවුල් ආරවුලක් හේතුවෙන් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් දෙදෙනාට කළ කැඳවීමක දී මෙම සිද්ධිය සිදුව ඇති බව සඳහන්.

මොවුන් දෙදෙනාට (2) දරුවන් තිදෙනෙකු (3) ද සිටින අතර බිරිද 28 හැවිරිදි වියේ සහ සැමියා 32 හැවිරිදි වියේ පසුවන්නන්.

ඇසිඩ් ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු ද පිළිස්සුම් තුවාල ලබා ඇති අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව උඩුගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිසිය සඳහන් කළේ.

දෙදෙනා (2) අතර කලක සිට පැවති පවුල් ආරවුලක් හේතුවෙන් කාන්තාව නිවසෙන් පිටව ගොස් වෙනත් පුද්ගලයෙකු සමඟ රැඳී සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් සැමියා විසින් උඩුගම පොලිසියට පෙරේදා (20) පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව අදාල බිරිඳ එදින පස්වරුවේ පොලිසියට පැමිණ කට උත්තරයක් ලබාදී ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේදී අදාල පැමිණිල්ල විභාගයට ගැනීමට පසු දින (ඊයේ 21) උදෑසන පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.

ඒ අනුව අදාල සැමියා සහ බිරිඳ ඊයේ (21) උදෑසන උඩුගම පොලිසියට පැමිණ ඇති අතර එම අවස්ථාවේ ඇසිඩ් බෝතලයක් සඟවාගෙන ආ සැමියා බිරිඳට ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

(22.03.2021 – 12:37 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායකට ලබාදුන් සිර දඬුවම නැවත සළකා බලන ලෙස ගොනුකළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ රන්ජන් රාමනායකගේ නීතීඥයින් විසින් අදාළ පෙත්සම ගොනුකර තිබූ බවයි ෴

******************************************

(22.03.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ජලයට ආදරය කරන සියලුදෙනා ගස් කොළන් සිටුවා වනාන්තර ඇති කළ යුතු බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

කටාන ජල ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

******************************************

පස්සරදී අනතුරට ලක්වූ බස් රථය මාර්ගයට ගැනීමේ කටයුතු තවදුරටත්

(22.03.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

පස්සර – 13 කණුව ආසන්නයේදී ප්‍රපාතයට පෙරලුණූ පෞද්ගලික බස් රථය මාර්ගයට ගැනීමේ කටයුතු අද (22) පෙරවරු 07:30 ට ආරම්භ කළද එය ඉහළට ගැනීමට මේ දක්වා හැකි වී නැහැ.

ප්‍රපාතයේ බෑවුම දරුණු වීම සහ ගල් පර අතර බස් රථය සිරවීම ඊට හේතුව බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය සෙනසුරාදා පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු තුවාල ලැබුවා.

මේ අතර ගෙවී ගිය ටයර භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (22) සිට ආරම්භ කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ දින 3 ක කාලයක් මෙම මෙහෙයුම දියත් කරන බවයි.

මේ අතර ගත වු පැය 24 ක කාළය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා.

දිනකදී පුද්ගලයින් 9 ත් 10 ත් අතර ප්‍රමාණයක් මිය යන බවත් පුද්ගලයින් 30 ත් 40 ත් අතර ප්‍රමාණයක් තුවාල ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

@@@@@@@@@@@@@

(22.03.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින් අතර කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පංච (5) පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

තෙල් පිරිපහදුවේ සේවකයන් 474 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවටයි මේ වනවිට හඳුනාගෙන ඇත්තේ.

බලශක්ති අමාත්‍ය කාර්යාලය අද (22) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දිකා ඇතුගල මහත්මියගේ සභාපතිත්වයෙන් මෙම පංච පුද්ගල කමිටුව පත් කර ඇති බවයි.

වසර තුනකට (3) වරක් සිදු කෙරෙන පිරිපහදුවේ නඩත්තු කටයුතු ඉකුත් දිනවලදි සිදු කෙරුණු අතර, ඒ සඳහා වෙනත් දිනවලට සාපේක්ෂව වැඩි සේවක සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.

ඒ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොවීමක් හෝ කළමනාකාරීත්වයේ අතපසුවීමක් හෝ වෙනයම් හේතුවක් මෙලෙස කොරෝනා ව්‍යාප්තියට බලපා ඇත්ද යන්න සොයාබැලීම මෙම පංච පුද්ගල කමිටුවට පැවරී තිබෙනවා.

ඊයේ (21) දිනයේ මෙරටින් අලුතින් හඳුනාගැනුනු ආසාදිතයන් 354 දෙනා අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම්, 197 දෙනෙකු වාර්තාවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

කෙසේ වෙතත් පසුගිය දිනවල ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කයෙන්

ඊයේ (21) දිනයේ වාර්තාවී ඇත්තේ ආසාදිතයන් 58 ක් පමණයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *