අනුරපුර පූජා නගරයේ ඉදිකිරීම් ගැන, අටමස්ථානාධිපති හිමියන්ගෙන් චෝදනා

අනුරපුර පූජා නගරයේ ඉදිකිරීම් ගැන, අටමස්ථානාධිපති හිමියන්ගෙන් චෝදනා

*********************************************

අනුරපුර පූජා නගරයේ ඉදිකිරීම් ගැන, අටමස්ථානාධිපති හිමියන්ගෙන් චෝදනා

(21.03.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටු රැස්වීමේදී ගනු ලබන තීන්දු තීරණවලට පිටින් පූජා නගරයේ නොගැලපෙන දේ සිද්ධ වන බැවින් තවදුරටත් පූජා නගර සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වීමේ තේරුමක් තිබේදැයි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රශ්න කරනවා.

උන්වහන්සේලා පවසන කරුණුවල සත්‍යතාවයක් ඇති බව කියා සිටි උතුරුමැද ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා තවදුරටත් ප්‍රකාශ කළේ තමා අනුරාධපුර පූජා නගරයේ සංචාරය කළ අවස්ථාවන්හිදී අවිධිමත් බොහෝ දෑ දුටු බවයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි මෙම සාකච්ජාව පැවැත්වුණේ.

++++++++++++++

******************************************

(21.03.2021 – 20:20 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ ලබාදුන් ඇතැම් අධිකරණ තීන්දු දේශපාලනික උවමනාව මත ප්‍රකාශයට පත්කළ නඩු තීන්දු බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.

මේ අතර යහපාලන රජය සමයේ සිදුවූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

******************************************

(21.03.2021 – 23:12 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිදුවන පරිසර විනාශය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම මහා සංඝරත්නයද අදහස් පළ කළා.

******************************************

අමරපුර නිකායේ මහනායක, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් අපවත්වෙයි

(22.03.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී තිබෙනවා.

අපවත් වනවිට උන්වහන්සේ 88 හැවිරිදි වියේ පසු වුණා.

1933 වසරේ ජනවාරි 23 වනදා මිනුවන්ගොඩ, කොටුගොඩ ග්‍රාමයේදී උපත ලැබූ උන්වහන්සේ 1948 වසරේදී පැවිදි දිවියට ඇතුළත් වුණා ෴

******************************************

නිළධාරීන්ගේ වැරදි වලට අවසානයේදී ජනතාවගෙන් බැනුම් අසන්නේ දේශපාළකයින් – අමාත්‍ය ප්‍රසන්න රණතුංග; SC/FR/141/2015 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාදක කරගන්න – මධ්‍යස්ථ මතධාරීන්

(21.03.2021 – 14:33 +0530 – lankaleadnews.com)

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිළධාරීනී දේවානි ජයතිලක මහත්මිය අතර ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස් වූ අවස්ථාවේදී වන රක්ෂිතයක ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් සංවාදයේදී ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ අතීතයේ සිට මෙම තීන්දු ගෙන තිබෙන්නේ දේශපාළන නායකයින් නොවන බවත් තීන්දු ගෙන තිබෙන්නේ රාජ්‍ය නිළධාරීන් වූවද අවසානයේදී ජනතාවගෙන් බැනුම් අසන්නේ දේශපාළකයින් බවයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා :

නිළධාරින් තමයි අණ පණත් හදන්නෙත් ඒ පණත් සංශෝධනය කරන්නෙත්. නිළධාරීන්ම හදලා නිළධාරීන් ඒවායේ හිර වුණාම ඒකේ වැරැද්ද පටවන්නේ දේශපාලනඥයින්ට. දේශපාලනඥයෝ අවුරුදු 05 න් 05 ට යනවා. හැබැයි නිළධාරීන් ටයි පටි මාරු කරගෙන ඉන්නවා. ඒ නිසා නිළධාරීන් මේ ප්‍රශ්නය අපිට විසදලා දෙන්න. ගොඩක් දුරට නිළධාරි කරන වැරදි හින්දා තමයි මේ රට මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. ඔබතුමියලා තීන්දු කරලා කරන්න ඕන දේ අපිට කියන්න. අපි නෙමෙයිනේ මේවාට නිපුණතාවය තියෙන අය.

ගම්පහ වනගහණය වැඩි කරනවාට මම 1500% කින් එකඟයි. හැබැයි ඒකට ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙන්නේ ඕනැ. ඔබතුමිය හදුනාගෙන තියෙනවාද ගම්පහ වන වගාවන් සිදු විය යුතු ප්‍ර දේශ.

ජයතිලක මහත්මිය – ඒ ගැන කටයුතු කරමින් ඉන්නවා.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා – එහෙම හදුනාගෙන නැත්තම් ඉක්මණින් එවැනි වැඩ පිළිවෙලක් දිස්ත්‍රික් කමිටුවට ඉදිරිපත් කරන්න. අපි ඒකට අවශ්‍ය සහයෝගය දෙන්නම්.

ජයතිලක මහත්මිය – විද්‍යාත්මක දැනුමක් තියෙන අලුත් කමිටුවක් දාන්න.

විශේෂයෙන්ම පරිසර සහ ඉඩම් පිළිබඳව; කාළයක් තිස්සේ යම්, යම් නිළධාරීන් විසින් ඉතා කූඨ ලෙස, තමනට ලැබෙන පෞද්ගලික වාසි ද හමුවේ ගෙන ඇති අමනෝඥ්ඥ තීරණ මේ වනවිට රට හමුවේ ඉතා සංකීර්ණ ගැටළු නිර්මාණය කර ඇති බවක් පැහැදිළිවම නිරීක්ෂණය වන බව මේ පිළිබඳව අදහස් දක්වන මධ්‍යස්ථ මතධාරීන් පවසයි.

තවද පරිසරය සම්බන්ධව රට ඉදිරියේ නිර්මාණය වී ඇති බොහෝ ගැටළු වලට SC/FR/141/2015 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාදක කරගනිමින් විසඳුම් ලබාදීම මේ අවස්ථාවේදී වඩා ප්‍රඥාගෝචර බව ද ඔවුන් පෙන්වා දෙයි.

******************************************

(22.03.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු පැය 24 ක කාලය තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මීට අමතරව දිනකට රිය අනතුරුවලින් පුද්ගලයින් 30 ත් 40 ත් අතර ප්‍රමාණයක් තුවාල ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ මෙම අනතුරුවලට බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරී රිය ධාවනය සහ වාහනවල පවතින දෝෂ ප්‍රධාන හේතුවන බවයි.

මේ අතර ගෙවී ගිය ටයර භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන සහ වාහනවල පවතින දෝෂ පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (22) සිට දින 03 ක කාලයක් දිවයින පුරා සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

******************************************

(22.03.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට රට තුළ මුද්‍රණ කඩදාසි හිඟයක් පවතින බව ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ඩිලාන් සිල්වා මහතා සදහන් කළේ කඩදාසි සඳහා වැය වන මිල ගණන් ද සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

පවතින බහාලුම් හිඟය හමුවේ බහාලුම් මිල ගණන් ද ඉහළ ගොස් ඇති අතර, කඩදාසි ආනයනය අපනයන ක්‍රියාවලියේදී ද වැඩි වියදමක් දැරීමට සිදුව ඇති බව සදහන්.

චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ කොරියාව යන රටවලින් මෙරටට මුද්‍රණ කඩදාසි වැඩි වශයෙන් ආනයනය කරනු ලබන අතර, ඉන්දියාව තුළ ද මේ වන විට මුද්‍රණ කඩදාසි හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ ෴

******************************************

(22.03.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝග මත විනාශ කිරීම සඳහා කොච්චිකඩේ – ඕවිටියාවත්ත කසල අංගනය වෙත රැගෙන ගිය කසළ තේ තොගයක් යළිත් ජාවාරම්කරුවන් පිරිසක් අතට පත් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය ජනවාරි මස 14 වනදා කොටුගොඩ පිහිටි ගබඩාවක තිබී අපනයනය සඳහා සූදානම් කර තිබූ කසළ තේ කිලෝ ග්‍රෑම් 27,000 ක් සීදුව පොලිසිය විසින් සොයාගෙන තිබුණා.

පසුව ඊට අදාළ නඩුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති අතර එහිදී නියෝග කළේ කසළ තේ තොගය විනාශ කරන ලෙසටයි.

ඒ අනුව මාර්තු මස 03 වන දින විනාශ කිරීම සදහා අදාළ කසල තේ තොගය ලොරි රථ 05 කින් ඕවිටියාවත්ත කසල අංගනය වෙත ප්‍රවාහනය කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, වත්තල ප්‍රදේශයේ ගබඩාවක කසළ තේ තොගයක් ඇති බවට විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව පසුගිය දා වැටලීමක් සිදුකර ඇති අතර ඊට අදාළව සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ කසල තේ තොගය අධිකරණ නියෝග මත ඕවිටියාවත්ත කසළ අංගනයට විනාශ කිරීම සඳහා රැගෙන තේ වලින් කොටසක් බවටයි.

ඒ අනුව අදාළ කසළ තේ යළිත් වත්තල ප්‍රදේශයේ එම ගබඩාවට පැමිණියේ කෙසේ දැයි යන්න පිළිබදව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ෴

******************************************

(22.03.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ අන්තවාදය පැතිරවීමට උත්සාහ කිරීමේ චෝදනා මත වැලිගමදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ (21) අත්ඩංගුවට ගත් සැකකරු සතුව තිබී රුපියල් 27 ලක්ෂයක මුදලක් සොයාගෙන තිබෙනවා.

පසුගිය මාර්තු 12 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පිටුවහල් කළ මොහු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.

මෙරට තුළ අන්තවාදී මත පැතිරවීම, මුදල් සැපයීම, ආධාර එකතු කිරීම යන චෝදනා ඔහුට එරෙහිව පවතින අතර, සැකකරු ජමාතේ ඉස්ලාම් මත දරන්නෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා ෴

******************************************

පස්සර මාරක අනතුර ගැන බස් සංගම්වලින් පොලීසියට සහ මාර්ග සංවර්ධන අධිකාරියට චෝදනා

(22.03.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

14 දෙනෙකුට මරු කැදවමින් ලුණුගල – පස්සර මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් බස් සංගම් පොලීසියට සහ මාර්ග සංවර්ධන අධිකාරියට චෝදනා එල්ල කරනවා.

සිද්ධියට අදාළව ඊයේ (21) දිනයේදී බස් රථයේ රියදුරු සහ ටිපර් රථයේ රියදුරු මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ වන විට බස් රථයේ රියදුරු බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ටිපර් රථයේ රියදුරු සිද්ධියෙන් අනතුරුව පළා ගොස් සිටියදී අත්අඩංගුවට ගැනුණා.

එමෙන්ම, අනතුරට ලක්වූ බස් රථයේ රියදුරු අනතුර සිදුවන අවස්ථාවේදී බීමතින් සිට ඇත්ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (21) දිනයේදී බස් අනතුර සිදුවූ ලුණුගල – පස්සර මාර්ගයේ 13 කණුව ප්‍රදේශයෙන් ආරක්ෂක වැටක් ඉදිකිරීමට ද බලධාරීන් පියවර ගත් අතර, මාර්ගය අනතුරුදායක බව දැක්වෙන මාර්ග පුවරුද සවි කිරීමටයි මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබුණේ.

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුට පමණක් චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බවයි.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලීසිය ද ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බවටයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ෴

@@@@@@@@@@@@@@

(21.03.2021 – 21:07 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 165 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (21) දිනයේ මෙරටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 342 ක් ෴

++++++++++++++++++++

චීන එන්නත භාවිත කිරීමෙන් වලකින්න – විශේෂඥ කමිටුව

(22.03.2021 – aruna.lk)

කොවිඩ් වයිරසයට එරෙහිව චීනය නිපදවා ඇති එන්නතෙහි ප්‍රතිශක්තිකරණය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තීරණය කිරීම සඳහා චීනයේ එන්නත් නිෂ්පාදන ආයතනය ලබා දී ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන බවත් වැඩිදුර තොරතුරු ලැබෙන තුරු එන්නත භාවිත නොකරන ලෙසත් මෙම එන්නත පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත දැනුම් දී තිබේ.

අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා වෙත පසුගිය මාර්තු 17 වැනිදා අදාළ නිරීක්ෂණවල ප්‍රතිඵල සහිත වාර්තාවක් ඉදිරිපත් කරමින් විශේෂඥ කමිටුව මේ බව දැනුම්දී ඇත.

මෙම චීන එන්නත නිෂ්පාදනය කරන චීනයේ බීජිං ඉන්ස්ටිටියුට් ඔෆ් බයොලොජිකල් ප්‍රොඩක්ස් (Beijing Institute of Biological Products) සායනික දත්ත ලබාගැනීම සඳහා ප්‍රශ්න 11 ක් යොමුකර ඇත. මෙම එන්නත මගින් ප්‍රතිදේහ නිර්මාණය කරන්නේ කෙසේද, පසුගිය ඔක්තෝබර් 31 වැනිදායින් අනතුරුව එන්නත පිළිබඳ සායනික දත්ත? එන්නතේ කර්යක්ෂමතාව තහවුරු කර ගැනීම සඳහා නිරීක්ෂණ කළ කාලසීමාව සහ වයස අවුරුදු 60 ට ඉහළ වයස් කාණ්ඩය සඳහා එන්නතේ කාර්යක්ෂමතාව ඇතුළු මෙම ප්‍රශ්න 11 න් ප්‍රශ්න 10 කටම අදාළ නිෂ්පාදන ආයතනය පිළිතුරු ලබාදී නැත. එම නිසා එන්නත පිළිබඳ නිවැරැදිව තක්සේරු කිරීම සඳහා මෙම ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු ලබා ගැනීම වැදගත් බව ඖෂධ නියාමන අධිකාරිය පත් කළ කමිටුව විසින් මෙලෙස දැනුම් දී තිබේ.

මෙම අධ්‍යයන වාර්තාවට අදාළ කමිටුව නියෝජනය කරන වෛද්‍ය රජිව් ද සිල්වා, මහාචාර්ය නිලීකා මලවිගේ, මහාචාර්ය අරුණාසලම් පත්මේස්වරන්, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය කාන්ති නානායක්කාර, මහාචාර්ය චන්න රණසිංහ සහ වෛද්‍ය හසිත තිසේරා යන මහත්ම මහත්මීන් අත්සන් තබා ඇත ෴

++++++++++++++++++

(22.03.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (20) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 349 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව චීනයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව අභිබවා ගියා.

ලොව මුලින්ම කොරෝනා වෛරසය වාර්තා වුණේ චීනයෙන් වන අතර මේ වන විට එරට මුළු ආසාදිත සංඛ්‍යාව 90,099 ක් ලෙසයි දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 90,200 ක් ලෙස චීනය ද අභිබවා ලොව ආසාදිතයින් වාර්තා වීම පිළිබද දෛනික දත්ත සටහන් කරන ‘වර්ල්ඩ් මීටර්’ වෙබ් අඩවියට අනුව ආසාදිතයින් වාර්තා වීම අතින් 88 වන ස්ථානයේ පසුවනවා.

ඊයේ (21) එක් කොරෝනා මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 546 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර කොරෝනා වෛරස තත්වයත් සමඟ ශ්‍රී ජයවර්ධනපුර රෝහල තුළ රෝගීන්ට උපස්ථායක කාර්ය මණ්ඩලය විසින් නිසි සැලකිල්ලක් නොදක්වන බවට රෝගින් චෝදනා කරනවා.

මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි රෝගීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *