සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා ආසාදනය ගැන අවධානය යොමු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා ආසාදනය ගැන අවධානය යොමු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක්

*********************************************

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා ආසාදනය ගැන අවධානය යොමු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක්

(21.03.2021 – 14:46 +0530 – hirunews.lk/sinhala)

සපුගස්ගන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා ආසාදිතයින් වාර්තාවීම සීග්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් සියළු ආයතනවල අවධානය යොමු විය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට තෙල් පිරිපහදුවෙන් ආසාදිතයින් 474 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

******************************************

(21.03.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන කටාරයේ එම ක්‍රීඩාංගන ඉදිකිරීමේදී විදේශ ශ්‍රමිකයන් විශාල පිරිසක් අනතුරට ලක්වී ඇති බව අනාවරණ වනවා.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ ගතවූ දස වසරක (10) කාලය තුළ අදාළ ඉදිකිරීම්වලදී විදේශ ශ්‍රමිකයන් 6,000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ශ්‍රී ලාංකිකයන් 557 දෙනෙකුද ඒ අතර වන බවයි.

මෙම ශ්‍රමිකයන් අධික උෂ්ණත්වය සහිත පරිසරයක උස් ස්ථානවල කටයුතු කරද්දී ඇද වැටී මියයාමේ සිද්ධින්ද වාර්තාවී තිබෙනවා.

තවත් ශ්‍රමිකයන් අනතුරට ලක්වී ඇත්තේ ඊට සම්බන්ධ සංකූලතා හේතුවෙන්.

කෙසේ නමුත් මෙම මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ බොහෝ අවස්ථාවලදී සිදුකර නොමැති බව සඳහන්.

එමෙන්ම ඒවා ස්වභාවික මරණ ලෙසයි නිශ්චය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා කියා සිටියේ අදාළ වාර්තා සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම කඩිනමින් ඒ පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදෙන බවද ඔහු සඳහන් කළා.

******************************************

(21.03.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පෙබරවාරි මාසයේ මෙරට තේ නිෂ්පාදනය සියයට 23 කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පෙබරවාරි මාසයේ මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 22.3 ක් ලෙස සටහන් වන අතර, පසුගිය වසරේ වාර්තාවූයේ කිලෝග්‍රෑම් මිලියන 18.2 ක නිෂ්පාදනයක්.

ජනවාරි සහ පෙබරවාරි මාස දෙක සැළකූ විට ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 44 ක් පමණ අපනයනය කර තිබෙනවා.

එමෙන්ම පළමු මාස දෙක (2) තුළ තේ අපනයන ආදායමද රුපියල් බිලියන 41 ඉක්මවා ඇත්තේ පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 3.36 ක වර්ධනයක් සමඟින්.

එමෙන්ම පෙබරවාරි මාසයේ තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිලද රුපියල් 940 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මෙතෙක් වාර්තාගත ඉහළම මිලයි ෴

******************************************

(21.03.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

වැඩිම අපරාධ වාර්තා වන ගල්කිස්ස හා නුගේගොඩ කොට්ඨාසය අශ්‍රිතව අද (21) සිට සතියක කාලයක් විශේෂ මෙහෙයුමක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

පොලිස් නිලධාරීන්ට අමතරව මේ සඳහා සිවිල් ආරක්ෂක බලකාය, විශේෂ කාර්ය බලකාය හා අනෙකුත් බුද්ධි අංශ නිලධාරීන්ද සහභාගි වනු ඇති.

අපරාධකරුවන්, වරෙන්තුකරුවන්, කප්පම්කරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් වැටලීම මෙහි මූලික අරමුණයි ෴

******************************************

(21.03.2021 – 14:51 +0530 – hirunews.lk/sinhala)

ලෝක වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට (21) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ ‘වනාන්තර ප්‍රතිෂ්ඨාපනය – සුවය සහ යහපැවැත්ම සඳහා මාවතක්’ යන්නයි.

මාර්තු 21 වැනිදා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2012 වර්ෂයේදී ප්‍රකාශයට පත් කිරීමත් සමග 2013 වසරේ සිට සෑම වර්ෂයකම ලෝක වනාන්තර දිනය සමරනවා.

ශ්‍රී ලංකාව ලෝක වනාන්තර දිනය සමරන්නේ 2014 වසරේ සිටයි.

සංවර්ධිත රටවල්වල සිට තුන්වන ලෝකයේ රටවල්වල සුවිසල් නගර දක්වා සිය පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේ මූලාශ්‍ර ලෙස වානාන්තරවලින් ලැබෙන්නේ මනා පිටුවහලක්.

දිනෙන් දින නාගරීකරණය හා ජනගහනය වර්ධනය වීම සිදුවුවද ඊට සාපේක්ෂව ජලමූලාශ්‍ර රැඳී වාන්නාතර ප්‍රදේශ වර්ධනය නොවීම සලකා බැලිය යුතු කරුණක්.

මෙරට සුවිශේෂී වනාන්තර වන සිංහරාජ වනාන්තරය, නකල්ස් වනාන්තරය, හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය සහ සමනළ අඩවියට අයත් කලාප ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණද මිනිසාගේ අවශ්‍යතා මත දිනෙන් දිනම සිදුවන වන සංහාරයන් හේතුවෙන් මෙරට පවතින වන ඝණත්වය මේවන විට පහළ යමින් පවතිනවා.

මෙරට සිදුවන වන සංහාරයන් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවුණා.

******************************************

(21.03.2021 – 15:00 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ ලබාදුන් ඇතැම් අධිකරණ තීන්දු දේශපාලනික වුවමණාව මත ප්‍රකාශයට පත්කළ නඩු තීන්දු බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

මේ අතර යහපාලන රජය සමයේ සිදුවූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

******************************************

පස්සර මාරක රිය අනතුරෙන් පසු, 13 කණුවට ආරක්ෂක වැටක්

(21.03.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු 14 දෙනෙකුට මරු කැදවමින් බස් අනතුර සිදුවූ ලුණුගල – පස්සර මාර්ගයේ 13 කණුව ප්‍රදේශයෙන් ආරක්ෂක වැටක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවල වේගය පාලනය කිරීමට බාධක හෙවත් බම්පර් යෙදීමක් ද සිදුකරමින් පවතින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මාර්ගයේ ඉදිකළ සමාගම විසින් අද (21) උදෑසන යකඩ බට යොදා ගනිමින් අනතුර සිදුවූ ස්ථානයේ ආරක්ෂක වැට ඉදිකර තිබෙනවා.

කෙසේ වෙතත්, මාර්ගය අවහිර වන අයුරින් කඩා වැටී තිබූ ගල මෙතෙක් ඉවත් කිරීමට පියවර ගෙන නොමැති බව ද හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.

+++++++++++++++++

පස්සර මාරක අනතුරේ බස් රථ රියදුරා සහ ටිපර් රථ රියදුරා රිමාන්ඩ්

(21.03.2021 – 15:39 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයන් 14 දෙනෙකුට මරු කැඳවමින් පස්සර ප්‍රදේශයේ සිදුවූ අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

බස් රියදුරා අත්අඩංගුවට ගනු ලැබුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඊට අමතරව බස් රථ අනතුරින් පසු පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා ද ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඊයේ (20) සිදුවූ මෙම අනතුරට අදාළව විමර්ශණ තවදුරටත් ක්‍රියාත්මකයි.

පළාගොස් සිටි ටිපර් රථ රියදුරා 45 හැවිරිදි අයෙක් වන අතර ඔහු පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ප්‍රදේශයේදීයි.

එම ටිපර් රථය එම ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක් බවට ද හෙළිවී තිබෙනවා.

අදාළ අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයේ රියදුරා සිද්ධියෙන් පසු පලා ගොස් තිබුණා.

බස් රථ ප්‍රපාතයට පෙරලීමට පෙර මාර්ගයේ පටු ස්ථානයේ අදාළ ටිපර් රථය නවතාගෙන සිටින අයුරු සී.සී.ටී.වී. දර්ශනවල සඳහන්.

බස් රථයේ රියදුරු ලුණුගල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක්.

අනතුර සිදුවී ඇත්තේ ද්විත්ව වංගුවක් ඇති ස්ථානයක වන අතර මෙම ස්ථානයේ ඇති සාක්ෂි පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවට ද අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නා.

මෙම බස් රථය සම්බන්ධයෙන් මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් තාක්ෂණික පරීක්ෂාවක් සිදු කරන බව ද ඔහු සඳහන් කළා ෴

++++++++++++++++

පස්සර බස් අනතුරින් 05 ක් දැඩිසත්කාරයේ – මියගිය අයගේ සිරුරු ඥාතීන්ට භාරදෙයි

(21.03.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (20) සිදුවූ පස්සර බස් රථ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් පස්දෙනෙකු (5) මේ වනවිට බදුල්ල මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉන් රෝගීන් දෙදෙනෙකුගේ (2) තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු ඥාතීන් වෙත මේ වනවිටත් භාරදී අවසන් බවයි වාර්තා වන්නේ.

+++++++++++++++++

+++++++++++++++++

පස්සර මාරක බස් අනතුර සිදුවූ මාර්ගයේ ප්‍රමිතිය පිළිබඳව එල්ලවන චෝදනා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

(21.03.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු 14 දෙනෙකුට මරු කැදවමින් ලුණුගල – පස්සර මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරට අදාළව බස් රථයේ සහ ටිපර් රථයේ රියදුරන් මේ මස 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හමුවේ අද (21) කැදවූ අවස්ථාවේදියී.

බස් රථයේ රියදුරු මේ වන විට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ටිපර් රථයේ රියදුරු සිද්ධියෙන් අනතුරුව පළා ගොස් සිටියදී අද (21) අත්අඩංගුවට ගැනුණා.

එමෙන්ම, අනතුරට ලක්වූ බස් රථයේ රියදුරු අනතුර සිදුවන අවස්ථාවේදී බීමතින් සිට ඇත්ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (20) සිදුවූ මෙම අනතුරින් තුවාලලැබූවන් 30 දෙනකු තවදුරටත් බදුල්ල පළාත්බඳ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එහි ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

මොවුන්ගෙන් 05 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ඔහු කියා සිටියා.

අනතුරෙන් මිය ගිය පුද්ගලයන්ගේ දේහ අද (21) නිවෙස්වෙත රැගෙනවිත් තිබුණා.

එමෙන්ම, අනතුරට ලක්වූ බස් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මේ අතර, බස් අනතුර සිදුවූ ලුණුගල – පස්සර මාර්ගයේ 13 කණුව ප්‍රදේශයෙන් ආරක්ෂක වැටක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

මාර්ගය අනතුරුදායක බව දැක්වෙන මාර්ග පුවරුද සවි කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බවයි ප්‍රදේශයේ අප වාර්තාකරු කියා සිටියේ.

මීට අමතරව මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවල වේගය පාලනය කිරීම සඳහා මාර්ගය හරහා බාධක යෙදීමේ කටයුතු ද ආරම්භ කර තිබෙනවා.

මාරක රිය අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයට වැටී තිබූ ගල ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මාර්ගය අවහිර වන අයුරින් වැටී තිබූ ගල මෙතෙක් ඉවත් කිරීමට පියවර ගෙන නොමැති බව ද හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.

මේ අතර පස්සර මාරක බස් අනතුර සිදුවූ මාර්ගයේ ප්‍රමිතිය පිළිබඳව එල්ලවන චෝදනා විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කර ඇති අතර ඔවුන් අද (21) දිනයේදී එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.

මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්. පේමසිරි මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම කමිටුවට එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු (2) සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ද ඇතුළත්.

එමෙන්ම දිගින් දිගටම සිදුවන බස් රථ අනතුරු සැලකිල්ලට ගෙන බර වාහන රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමෙන් පමණක් ඉදිරියේදී මගී ප්‍රවාහන බස්රථ ධාවන කළ නොහැකි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

******************************************

(21.03.2021 – 16:32 +0530 – hirunews.lk/sinhala)

මාතර, මිරිස්ස ප්‍රදේශයේ පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා විදේශීය මත්පැන් මිලි ලීටර් 57,250 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම සාදය සංවිධානය කළ පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කලේ.

ඊයේ (20) සුරාබදු දෙපාර්තමේන්තුවේ 1913 හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය මඟින් එම වැටලීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

එම ෆේස්බුක් සාදය සඳහා කොළඹ ප්‍රදේශයේ වයස අවුරුදු 20-25 වයසේ පසුවන තරුණ තරුණියන් සීයක් (100) පමණ සහභාගී වී සිටි බවයි දකුණු පළාත් විශේෂ සුරාබදු මෙහෙයුම් කාර්යාංශය සඳහන් කලේ ෴

++++++++++++++

******************************************

(21.03.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – බෝ ඇල්ලේ දිය නෑමට ගිය පිරිසක් අතරින් දෙදෙනෙකු (2) දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (21) දහවල් සිදු වූ මෙම අනතුනේ මිය ගිය දෙදෙනා (2) මාකෙහෙල්වල සහ පිළිමතලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

++++++++++++++

******************************************

(21.03.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල – හෙට්ටිමුල්ල – බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ශ්‍රමදානයක් අතරතුර සිසුවෙකුගේ පියෙකු තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අදාළ විදුහලේ ගොඩනැගිල්ලක් කාලයක සිට අබලන් වී තිබීම හේතුවෙන් අලුත්වැඩියා කිරීම සඳහා අද (21) දින දෙමව්පියන් ශ්‍රමදානයක් සංවිධාන කර තිබූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ගොඩනැගිල්ලෙන් ඇද වැටී හිසට බරපතල තුවාල සිදුවීම හේතුවෙන් මියගොස් තිබුණේ හෙට්ටිමුල්ල ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි තිදරු පියෙක් ෴

******************************************

(21.03.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

මුහුණු පොත ඔස්සේ සංවිධාන වී නිරෝධායන නීති උල්ලංඝනය කරමින්, මත්ද්‍රව්‍ය භාවිතා කරමින් පැවති පිළියන්දල – මඩපාත ප්‍රදේශයේ පැවති සාදයක් වටලා 34 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවන් ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(21.03.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala)

ඉඩම් ජාවාරම සහ වන විනාශය නතර කිරීම සඳහා රහස් පොලීසිය හෝ යොදා ගත යුතු බවට තමා යෝජනා කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඒ, අදට (21) යෙදී තිබෙන ලෝක වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ දින උත්සවයට හම්බන්තොට දී අද එක්වෙමින්.

මෙවර එහි තේමාව වන්නේ ‘වනාන්තර ප්‍රතිෂ්ඨාපනය තුළින් සුවදායී දිවියට මාවතක්’ යන්නයි.

සිංහරාජය, නකල්ස් රක්ෂිතය, හෝර්ටන්තැන්න සහ සමනළ අඩවියට අයත් කලාප ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණ ද මිනිසාගේ අවශ්‍යතා මත දිනෙන් දිනම සිදුවන වන සංහාරයන් හේතුවෙන් මෙරට පවතින වන ඝණත්වය මේවන විට පහළ යමින් පවතිනවා.

ලොවපුරා පැතිරී ඇති වනාන්තර ප්‍රතිශතය දළ වශයෙන් 30% ක් ලෙස හඳුනාගෙන ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රතිශතය 29.2% ක මට්ටමක පවතින බව පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

@@@@@@@@@@@@@@@

(21.03.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 293 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 86,743 ක් ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 177 දෙනෙකු වාර්තාවී තිබෙනවා ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිත එක් (1) මරණයක් අද (21) වාර්තාවී තිබෙනවා.

මෙම මරණයත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 546 දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++

(21.03.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

අද (21) දිනයේ නව ආසාදිතයින් 177 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගියා. එය දැක්වුණේ 90,023 ක් ලෙසයි.

ආසාදිතයින් 293 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 86,759 ක් දක්වා ඉහල ගියා.

ඒ අනුව ආසාදිතයින් 2719 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇති.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 474 ක් දක්වා ඉහල ගොස් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියා.

කෙසේ වෙතත්, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නියෝජ්‍ය කළමනාකරු කේ.ජී.එස්. කෝදාගොඩ මහතා ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ආසාදිතයින් වාර්තා වූ පළමු අවස්ථාවේ සිටම සෞඛ්‍ය අංශවල නිසි උපදෙස් ලබා ගනිමින් කටයුතු කළ බවයි.

පෙරේදා (19) දිනයේ තෙල් පිරිපහදුවේ සියළු සේවකයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකළ බවයි ඔහු කියා සිටියේ.

මෙරට තෙල් පිරිපහදු කිරීම් සිදුකරන එකම ස්ථානය සපුගස්කන්ද තෙල් පිරිපහදුව වන අතර, වසර 3 කට වරක් සිදුකරන නඩත්තු කටයුතු හේතුවෙන් පිරිපහදු කටයුතු පසුගිය 15 වන දා නතර කෙරුණා.

කෙසේ වෙතත්, ආසාදිතයින් වාර්තා වන තත්ත්වයක් යටතේ වුවද පිරිපහදු කටයුතු හෙට (22) සිට ජෛව බුබුළකට යටත්ව යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නියෝජ්‍ය කළමනාකරු කේ.ජී.එස්. කෝදාගොඩ මහතා සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *