සහාරන්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන්ට ප්‍රතිකාර කල පුද්ගලයා TID අත්අඩංගුවට

සහාරන්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන්ට ප්‍රතිකාර කල පුද්ගලයා TID අත්අඩංගුවට

*********************************************

සහාරන්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන්ට ප්‍රතිකාර කල පුද්ගලයා TID අත්අඩංගුවට

(21.03.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන ‘සහරාන් හෂීම්’ගේ සහෝදරයා වූ ‘රිල්වාන් හෂීම්’ට සහය දුන් පුද්ගලයෙකු සහ අන්තවාදී මතවාද ප්‍රචාරය කළ පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘රිල්වාන් හෂීම්’ට සහය දුන් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි රැඳවුම් නියෝගයක් මත ප්‍රශ්න කිරීමට සිය භාරයට ගෙන ඇත්තේ.

ඔහු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.

සැකකරු මඩකලපුව පොලිසිය සිදුකළ පරීක්ෂණ කිහිපයකින් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මෙම සැකකරු අන්තවාදී මත දරමින් විවිධ ක්‍රියාකාරකම්වල නිරතවී ඇතැයි හෙළිවී තිබෙනවා.

‘සහරාන්’ගේ සහෝදරයා වන ‘රිල්වාන්’ 2018 වසරේදී බෝම්බ පිපිරවීම් අත්හදා බැලීමකට ගොස් තුවාල ලබා සිටියදී ප්‍රතිකාර කර ඇත්තේ ඊයේ (20) අත්අඩංගුවට ගත් මෙම සැකකරු බව සඳහන්.

කෙසේවෙතත් ‘මොහොමඩ් රිල්වාන්’ සයින්දමරුදු පිපිරීමේදී ජීවිතක්ෂයට පත්වුනා.

2018 වසරේ බෝම්බ අත්හදා බැලීමේදී තුවාල ලැබූ ‘රිල්වාන් හෂීම්’ කොළඹට රැගෙන විත් ප්‍රතිකාර ලබාදීම ඇතුලු කටයුතු සිදුකර ඇත්තේ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය භාරයට ගත් පුද්ගලයා බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේදී වන අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි 44 හැවිරිදි අයෙක්.

ඔහු 2020 දෙසැම්බර් 5 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කර ඇති අයෙක් බවට අනාවරණ කරගෙන තිබෙනවා.

සැකකරු ‘ජමාතේ ඉස්ලාම්’ මතවාදය දරමින් විවිධ අන්තවාදී ප්‍රචාරක කටයුතුවල ද නිරතවන බවට හෙළිවී තිබු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

සැකකරු භාවිත කළ ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී ද විවිධ අන්තවාදී මතවාද දරමින් මුදල් එක් රැස් කර ඇතැයි ද සඳහන්.

සැකකරු රඳවා තබාගැනීමේ නියෝගයක් ලබාගෙන පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි පොලිසිය කියාසිටියේ ෴

******************************************

(21.03.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

උපයා ගත් ආකාරය අනාවරණ කළ නොහැකි රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් සමග ත්‍රී රෝද රථයකින් යමින් සිටි කාන්තාවක් පැල්මඩුල්ල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැල්මඩුල්ල පොලිසියට ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ (20) මෙම වැටලීම සිදුකර ඇත්තේ.

සැකකාරිය ඕපනායක ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක්.

මෙම කාන්තාවගේ බෑගයක තිබී රුපියල් අසුලක්ෂ තිස් එක් දහසක (80,31,000) මුදලක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මෙම මුදල් ලැබුණු ආකාරය ප්‍රකාශ කිරීමට ඇයට හැකියාවක් ලැබී නැහැ.

අදාළ මුදල් කිසියම් අපරාධයකින් උපයාගත් මුදල් ද එසේත් නොමැති නම් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදල් ද නැතහොත් වෙනත් පාර්ශවයකින් ඇයට ලබාදෙන මුදලක් ද යන්න විමර්ශණ ක්‍රියාත්මකයි ෴

******************************************

(21.03.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘ජෙරම් කෝලිත’ නැමැත්තාගේ සමීපතමයෙකු මීගොඩ – පනාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (20) සිදුකළ වැටලීමකදියි.

මොහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ද හමුවී ඇති අතර, සැකකරු අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර සේරුනුවර – ලංකාපටුන – සීනන්වේලි ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබූ ටී.එන්.ටී පුපුරණ ද්‍රව්‍ය පාර්සල් දෙකක් (2) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

******************************************

(21.03.2021 – 10:37 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදියක ඉන්ධන ටැංකියේ පියන ඉවත් කර සුවඳ බැලීමට ගිය කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (20) පස්වරුවේ මෙම සිදුවීම වාර්තාවී ඇත්තේ දඹුල්ල වැලමිටියාව ප්‍රදේශයෙන්.

මෙම දරුවා තම මිත්තණියගේ නිවසට පැමිණ නිවස ඉදිරිපිට නතර කර තිබූ ඥාතියෙකුට අයත් යතුරුපැදියක් මතට නැග එහි පියන ඉවත් කර පෙට්‍රල්වල සුවඳ ආඝ්‍රහණය කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි ඥාතීන් ප්‍රකාශකර ඇත්තේ.

මියගොස් ඇත්තේ වැලමිටියාව ප්‍රදේශයේම පදිංචි අවුරුදු 7 ක පිරිමි දරුවෙක්.

යතුරුපැදිය මතම වැටී සිටි දරුවා ප්‍රදේශවාසීන්ගේ සහයෙන් ගලේවෙල රෝහලට ඇතුලත් කරන විට ද මියගොස් සිටි බව සඳහන්.

දරුවාගේ පියා ප්‍රකාශකර ඇත්තේ තමා ඊයේ (20) පස්වරුවේ නිවසට පැමිණි අවස්ථාවේදී දරුවා යතුරුපැදිය මත සිහිසුන්ව සිටින බවට දැනගැනීමත් සමග එම ස්ථානයට පැමිණි බවයි.

මෙම දරුවාගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) දඹුල්ල මහ රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

******************************************

(21.03.2021 – 10:54 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ හතරකට (4) ආසන්න හෙරොයින් සමඟ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට.

යාපනය බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් ග්‍රෑම් 45 ක් සමඟ යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව යාපනය සුරාබදු ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

වයස අවුරුදු 36 ක් වන යාපනය – නවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

බන්ධනාගාරගත රැඳවියන්ට ලබාදීම සඳහා මෙම හෙරොයින් රැගෙන යන්නට ඇතැයි සැක පළ කෙරෙන අතර, එම හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් 360,000 ක් ෴

******************************************

(21.03.2021 – 12:00 +0530 – hirunews.lk/sinhala)

පකිස්තාන ජාතික දිනය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වීමට ශ්‍රී ලංකා යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ආරාධනා ලැබී තිබෙනවා.

පකිස්තාන ජාතික දිනය සඳහා ආරාධනා ලැබූ පළමු හමුදා නිලධාරියා වන්නේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වීම විශේෂත්වයක්.

81 වන පකිස්තාන ජාතික දින උත්සවය මාර්තු 23 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ දිනවල පකිස්තානයේ සංචාරයක නිරතව සිටින අතර එරට ජනාධිපති අරීෆ් අල්වි මහතා ද පසුගියදා හමුවූණා.

එහිදී අරීෆ් අල්වි මහතා ප්‍රකාශ කර ඇත්තේ ජිනීවා යෝජනාවලට එරෙහිව පකිස්තානයේ සහය ශ්‍රී ලංකාවට හිමිවන බවයි.

[ සේයාරූ ]

******************************************

(21.03.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් වී ඇති ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව හෙට (22) විවාදයට ගැනෙන අතර, ඡන්ද විමසීමද බොහෝදුරට හෙට (22) දිනයේදීම සිදුකරනු ඇතැයි අපේක්ෂිතයි.

ශ්‍රී ලංකාවේ වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම යන තේමාවෙන් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි රාජ්‍යයන් විසින්.

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ විවාදය අතරතුර ඇතැම් රටවල් මැදිහත්වීම් කිරීමට අපේක්ෂා කරන නිසා ඇතැම් විට ඡන්ද විමසීම අඟහරුවාදා දක්වා කල් යා හැකි බවයි.

එමෙන්ම අදාළ යෝජනාව ශ්‍රී ලංකාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන අතර, මිතුරු රටවල්ද එම ස්ථාවරය දරණ බවයි ඔහු අවධාරණය කළේ.

සාමාජිකයන් 47 දෙනෙකුගන් සමන්විත ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාවට මිතුරු රටවල් අදාළ යෝජනාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

විශේෂයෙන් ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය ආදී කලාපීය රටවල සහයෝගය මෙහිදී අපේක්ෂා කරන බව සඳහන්.

ඉන්දියාව මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කර නැති නමුදු බොහෝදුරට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

චීනය, රුසියාව, පිලිපීනය සහ පාකිස්ථානය මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව දැනටමත් විවේචනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සකසා ඇත්තේ අදාළ වාර්තාව පදනම් කරගනිමින්.

මේ අතර පාකිස්ථාන ද නිවුස් ඉන්ටර්නැෂනල් පුවත්පත සඳහන් කළේ පාකිස්ථානය මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට සහය පළ කිරීමට තීරණය කර ඇති බවයි. එමෙන්ම අදාළ චෝදනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමටද පාකිස්ථානය තීරණය කර ඇති බව සඳහන්.

මානව හිමිකම් මණ්ඩලයට පාකිස්ථානය පසුගිය ජනවාරි මාසයේ යළි පත් කරගැනුනේ වසර තුනක (3) කාලසීමාවක් සඳහායි.

ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ඉදිරිපත්වූ යෝජනාවලදීද පාකිස්ථානය ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළා ෴

@@@@@@@@@@@@@@@@

(21.03.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

දැනට පවතින කොරෝනා පරීක්ෂණ මගින් පවා හඳුනාගත නොහැකි නව වෛරස ප්‍රභේද හටගෙන ඇති බැවින් කොරෝනා පරීක්ෂණ නවීකරණය කල යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

එහි සභාපති රවී කුමුදේෂ් මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ වෛරසයේ නව ප්‍රභේද පරීක්ෂා කිරීම සදහා රට තුල ප්‍රමාණවත් පහසුකම් නොමැති බවයි.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයන් 349 ක් ඊයේ (20) හඳුනා ගැනීමත් සමග මෙරට සමසතථ ආසාදිතයන් සංඛ්‍යාව 89,846 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (20) තවත් කොරෝනා ආසාදිත මරණයක් (1) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 545 දක්වා ඉහළ යනවා ෴

+++++++++++++++++++++++

(21.03.2021 – 09:29 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (20) දිනයේදී මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 349 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ආසාදිතයන් 3 දෛනකු විදේශගතව සිට මෙරටට පැමිණි අය වන අතර ඉතිරි පිරිස දේශීයව හඳුනාගත් අය වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඊයේ (20) හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර ඉන් 193 දෙනෙකුම සපුගස්කන්ද ප්‍රදේශයෙන් වාර්තාවීම විශේෂත්වයක්.

ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් 20 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් 19 ක් වාර්තාවී තිබෙනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තාවූ ආසාදිත සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව 85,790 ක්.

ඉන් 85,066 දෙනෙකු මේවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැර ගොස් තිබෙනවා.

අද (21) උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 89,845 ක් වාර්තාවී තිබෙනවා.

ඉන් 86,465 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිව ගොස් ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2835 ක්.

ඊයේ (20) දිනයේදී මෙරටින් එක් (1) මරණයක් වාර්තාවී ඇති අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 545 ක් දක්වා ඉහළ ගියා.

අද (21) දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථාන 99 ක් තුළ පුද්ගලයන් 9881 ක් නිරෝධායනය වෙමින් සිටිනවා.

ඊයේ (20) දිනයේ සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 7246 ක් ෴

+++++++++++++++++++

(21.03.2021 – 11:14 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල ආරම්භය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශ සමඟ සාකච්ඡා ලබන සතියේ මුල් දින කිහිපයේදී ආරම්භ කිරීමට සූදානම් වන බව විශ්ව විද්‍යාල කොමිසන් සභාව ප්‍රකාශ කළා.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ කොරෝනා වසංගතයත් සමඟ සිසුන්ගේ නේවාසිකාගාර පහසුකම් භාවිතය, සෞඛ්‍ය ආරක්ෂාව මෙන්ම ආචාර්යවරුන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි.

ඒ අනුව කඩිනම් තීරණයක් ලබාදීමට නියමිත බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ ෴

+++++++++++++++++

(21.03.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොරෝනා එන්නත මෙරට සිටින චීන ජාතිකයන්ට භාවිත කිරීම සඳහා අනුමැතිය ලබාදුන් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකික ජනතාවට අදාළ එන්නත ලබාදීම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව සළකා බලමින් සිටින බවයි එම අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ මහතා සඳහන් කළේ.

එමෙන්ම සිනොෆාම් එන්නතේ මාත්‍රා හයලක්ෂයක් (6,00,000) ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිත අතර, එය ගෙන්වීම සඳහාද ඖෂධ නියාමන අධිකාරිය අවසර ලබාදී තිබෙනවා.

තුන්වන (3) අදියරයේ සායනික පරීක්ෂණ වාර්තාද ලැබී ඇති අතර, එය මේ වනවිට පවතින්නේ එන්නත්කරණ විශේෂඥ කමිටුවේ අධීක්ෂණය යටතේයි.

ඒ අනුව සිනොෆාම් එන්නත මෙරට ජනතාවට ලබාදීම පිළිබඳ තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇති.

මේ වනවිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා – සෙනෙකා එන්නතට සහ රුසියානු ස්පුට්නික් එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පූර්ණ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර ඊයේ (20) දිනයේ ආසාදිතයන් 349 දෙනෙකු වාර්තාවී ඇති අතර, ඉන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 229 ක්. එලෙස වාර්තාවූ 229 න් 193 දෙනෙකුම සපුගස්කන්දෙන් වාර්තාවන බව සඳහන්.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් විස්සක් (20) සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් අසාදිතයන් 19 ක්ද ඊයේ (20) දිනයේ වාර්තාවී තිබෙනවා.

සෙසු ආසාදිතයන් 78 දෙනා අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තාවන අතර, මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 89,845 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර විශ්වවිද්‍යාල ආරම්භය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශ සමඟ සාකච්ඡා ලබන සතියේ මුල් දින කිහිපයේදී ආරම්භ කිරීමට සූදානම් වන බව විශ්ව විද්‍යාල කොමිසන් සභාව ප්‍රකාශ කළා.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ කොරෝනා වසංගතයත් සමඟ සිසුන්ගේ නේවාසිකාගාර පහසුකම් භාවිතය, සෞඛ්‍ය ආරක්ෂාව මෙන්ම ආචාර්යවරුන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි.

ඒ අනුව කඩිනම් තීරණයක් ලබාදීමට නියමිත බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ ෴

@@@@@@@@@@@@@@

ගෝඨාභයගෙ ප්‍රොජෙක්ට් එකක්ද? නාමල් නේද බැක් කරන්නෙ? – කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අරුන් සිද්ධාර්ත්ගේ පිළිතුර (20.03.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *