ගුවන් හමුදා පැරෂුට් පුහුණුවීමක් අතරතුර සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට

ගුවන් හමුදා පැරෂුට් පුහුණුවීමක් අතරතුර සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට

*********************************************

ගුවන් හමුදා පැරෂුට් පුහුණුවීමක් අතරතුර සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට

(20.03.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala)

අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ පැරිෂුට් පුහුණුවක් අතරතුර සිදුවූ අනතුරකින් ගුවන් හමුදාවේ බලඝන නායක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ රත්මලාන ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ මහනුවර – පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්.

අනතුරින් තවත් ගුවන් හමුදා සැරයන්වරයෙකු තුවාල ලබා අම්පාර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔහුගේ දෙපාවලට බරපතල තුවාල සිදුව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

අඩි 3500 ක් පමණ ඉහළ අහසේ සිට පැන අඩි 50 පමණ සීමාවේදි නිලධාරින් දෙදෙනාගේ (2) පැරිෂුට් එකිනෙක පැටලීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අදාළ නිලධාරීන්ගේ මූලික පුහුණුවෙන් අනතුරුව සිදුකළ පළමු පැනීම මෙය වන අතර, බිමට පතිතවීමට අඩි 40 ක් තිබියදියි පැරිෂුට් එකිනෙක පැටලීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් ගුවන් හමුදාව මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළා ෴

******************************************

(20.03.2021 – 11:04 +0530 – hirunews.lk/sinhala)

අකුරැස්ස – කැටන්විල – නෙරළුව ප්‍රදේශයේදී දෙදෙනෙකු යටකර පලාගිය කුඩා ලොරි රථයක රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (19) රාත්‍රි 11 ට පමණ මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අනතුරට ලක් කරමින් මෙම පුද්ගලයා අදාළ කුඩා ලොරි රථය ධාවනය කර ඇති බවයි.

අනතුරින් අදාළ කාන්තාව සහ පිරිමි පුද්ගලයා බරපතල තුවාල ලබා මාර්ගයේ වැටී සිටි බව සඳහන්.

පසුව ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් අකුරැස්ස රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එහිදී කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බරපතල තත්වයෙන් පසුවන පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරුකර යැවූ අතර, ඔහුද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තාවන්නේ.

පසුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී කුඩා ලොරි රථය ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවක් තුළ නවතා තිබියදී සොයාගෙන තිබුණා ෴

******************************************

(20.03.2021 – 09:25 +0530 – hirunews.lk/sinhala)

අතුරුදන් වූ බව කියන බම්බලපිටිය – ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සිසුවා සොයා පොලිස් කණ්ඩායම් හතරක් (4) විමර්ශන ආරම්භ කර තිබෙනවා.

රත්මලාන – දහම් මාවතේ පදිංචි ‘ඇල්ඩන් ඩෙවොන් කෙනී’ නැමැති 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා පෙරේදා පෙරවරුවේ නිවසින් පිටව ගොස් ඇති අතර, මේ වනතුරුත් නිවසට පැමිණ නැහැ.

එම සිසුවා එදින පෙරවරු 06:30 ට පමණ මොරටුව දෙසට ගමන් කරන අයුරුද සී.සී.ටී.වී. දර්ශනයක සටහන්ව තිබුණා.

මෙම සිසුවා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් 077 377 9850 දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි ඔහුගේ පවුලේ සාමාජිකයින් ඉල්ලා සිටින්නේ.

(20.03.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

රත්මලාන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවා අතුරුදන්ව මේ වනවිට දින දෙකක් ඉක්මවා ගොස් ඇතත් ඔහු පිලිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

පොලීසිය පැවසුවේ ඉලෙක්ට්‍රොනික දත්ත හා සී.සී.ටී.වී. කැමරා දත්ත විශ්ලේෂණය කරමින් මේ වනවිටත් විශේෂ විමර්ශන ක්‍රියාත්මක බවයි.

ඒ සඳහා පොලිස් කණ්ඩායම් 4ක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ‘ඇල්ඩන් ඩෙවෝන් කෙනී’ නමැති මෙම සිසුවා නිවසින් අතුරුදන්ව තිබුණේ පෙරේදා පෙරවරුවේ සිටයි.

පසුව එම සිසුවා ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ මොරටුව දෙසට ගමන් කරන ආකාරය එදින පෙරවරුවේ සී.සී.ටී.වි කැමරාවක සටහන්ව තිබුණා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ තම නැගනියගේ දරුවා බව ‘රංගන ශිල්පී සේනක විජේසිංහ මහතා’ සඳහන් කළා.

අතුරුදන්ව ඇති ඩෙවෝන්ගේ පියා විදෙස්ගතව සිටින අතර ඔහුගේ මව සඳහන් කළේ තම පුතු නිවසින් පිටව යාමට හේතුවක් නොදන්නා බවයි.

සිසුවා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 077 377 9850 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස සිසුවාගේ මව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, අසත්‍යයක් බවට වාර්තා වූ වෙබ් මාධ්‍යවේදියෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අද යළි පැහැදිලි කිරීමක් කළා.

ඒ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදාළ පුද්ගලයා සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කරුණු විමසූ අවස්ථාවේදීයි ෴

+++++++++

+++++++++++++++++

අතුරුදන්ව සිටි සිසුවා හමුවෙයි

(21.03.2021 – 06:24 +0530 – hirunews.lk/sinhala)

රත්මලාන ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 16 හැවිරිදි පාසල් සිසුවා හමුවී තිබෙනවා. එම සිසුවාගේ මව ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රී 10 ට පමණ ඔහු නිවසට පැමිණි බවයි.

තමාට තනිව සිටීමට අවශ්‍ය බවට සිතුවිල්ලක් පහල වීම හේතුවෙන් නිවසින් පිටව ගිය බව නිවසට පැමිණි පසු ඔහු ප්‍රකාශකර ඇතැයි සඳහන්.

නිවස අවට ප්‍රදේශයේම මෙම දින කිහිපය ඔහු ගතකර ඇති අතර මව ප්‍රකාශ කලේ සිසුවාට කිසිදු අනතුරක් සිදුවී නොමැති බවයි.

පොලීසිය ඉලෙක්ට්‍රොනික දත්ත හා සී.සී.ටී.වී. කැමරා දත්ත විශ්ලේෂණය කරමින් මෙම සිසුවා සොයා පොලිස් කණ්ඩායම් 4 ක් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කරනු ලැබුවා.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇල්ඩන් ඩෙවෝන් කෙනී නමැති මෙම සිසුවා නිවසින් අතුරුදන්ව තිබුණේ පෙරේදා (19) පෙරවරුවේ සිටයි.

පසුව ඔහු ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ මොරටුව දෙසට ගමන් කරන ආකාරය එදින පෙරවරුවේ සී.සී.ටී.වි. කැමරාවක සටහන්ව තිබුණා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ තම නැගනියගේ දරුවා බව රංගන ශිල්පී සේනක විජේසිංහ මහතා සඳහන් කළා.

අතුරුදන්ව ඇති ඩෙවෝන්ගේ පියා විදෙස්ගතව සිටින අතර ඔහුගේ මව සඳහන් කළේ තම පුතු නිවසින් පිටව යාමට හේතුවක් නොදන්නා බවයි.

මෙම සිසුවාගේ අතුරුදන්වීම පිළිබඳ ගල්කිස්ස පොලිසිය විසින් තවදුරටත් සොයා බැලීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ ෴

******************************************

(20.03.2021 – 09:29 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකුවේ බැදුම්කර සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රවී කරුණානායක ඇතුළු 08 දෙනාගේ PCR පරික්ෂණ වාර්තා ලැබී තිබෙනවා.

ඒම PCR පරික්ෂණ වාර්තාව අනුව මෙම සැකකරුවන් 08 දෙනා කොවිඩ් ආසාදිතයින් නොවන බවට තවවුරු වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් රැඳවිය යුතු බන්ධනාගාරය වන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරට මාරුකර යවා ඇති බවයි බන්ධනාගාරය මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ෴

******************************************

(20.03.2021 – 11:35 +0530 – hirunews.lk/sinhala)

බංග්ලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) පෙරවරුවේ එරට අගමැතිනි ෂීක් හසීනා මහත්මිය සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවුණා.

එසේම අග්‍රාමාත්‍යවරයා සහ බංග්ලාදේශ ජනාධිපතිවරයා අතර හමුව අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශය බලා පිටත්ව ගියේ ඊයේ (19) පෙරවරුවේයි.

බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙස සැළකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහමන්ගේ ජන්ම ශත සංවත්සරයට සහ එරට නිදහස් ස්වර්ණ ජයන්ති ජාතික උත්සවයටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) පස්වරුවේ එක්වුණා ෴

(20.03.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) බංග්ලාදේශ අගමැතිනි ෂික් හසීනා මහත්මිය සහ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා එක්වුණා.

අනතුරුව, දෙරට අතර අවබෝධතා ගිවිසුම් 6 කටද අත්සන් තබා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දිගුකාලීන රාජතාන්ත්‍රික සහ වෙළඳ සබඳතා, කෙරෙහි මෙහිදී අවධානය යොමුවූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

සෘජු ගුවන් ගමන් සේවා පුළුල් කිරීම මඟින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් මෙන්ම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සහ මිනිස් ජාවාරම් මැඩලීමට අවශ්‍ය ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීම කෙරෙහිද දෙරටේ අග්‍රාමාත්‍යවරුන් මෙහිදී සාකච්ඡාකර තිබෙනවා.

ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට ගෙන ඇති පියවර මෙහිදී බංග්ලාදේශ අගමැතිනි ෂික් හසීනා මහත්මිය ප්‍රශංසාවටද ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

නිල සංචාරයක් සඳහා එළඹෙන වසරේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී බංග්ලාදේශ අගමැතිනියට ආරාධනා කර තිබුණා.

අනතුරුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා හමුවුණා ෴

******************************************

(20.03.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවන ගම සමඟ පිළිසඳර 15 වන වැඩසටහන, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වළපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යොඹුවැල්තැන්න ග්‍රාමයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

******************************************

(20.03.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

වාන්ඇල විහාරගල රක්ෂිතයේ ඉඩම් කැබලි කිරීමේ සිද්ධියකට අදාළව කන්තලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඊයේ (19) අත්අඩංගුවට ගත් බවයි ෴

******************************************

(20.03.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස පුද්ගලයින් ගස් කැපීම් සිදුකර වනාන්තර විනාශ කරන්නේ නම් ඊට එරෙහිව සියලු පියවර ගැනීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා.

ඊයේ (19) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මිහින්තලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

අනුරාධපුර අඩවි වන නිලධාරී සුමිත් සුවාරිස් මහතා ප්‍රදේශයේ සිදුවන වන විනාශය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැහැදිළි කිරීමක් සිදුකළා ෴

******************************************

(20.03.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

ඔරුගොඩවත්ත රේගු ගමන්බඩු ගබඩාවෙන් ජපානයේ සිට එවා තිබූ බෑගයක තිබී රිවෝල්වරයක් සහ උණ්ඩ 6 ක් රේගු නිලධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.

රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කළේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා දෙමටගොඩ පොලීසියට භාර දුන් බවයි ෴

ඔරුගොඩවත්ත රේගු ගමන්බඩු ගබඩාවෙන් ජපානයේ සිට එවා තිබූ බෑගයක තිබී රිවෝල්වරයක් සහ උණ්ඩ 6 ක් සොයා ගත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴

******************************************

(20.03.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (19) විදේශ අමාත්‍යාංශයේදි සිදුවුණා.

එහිදී දෙරටේ කොරෝනා වසංගත මර්දන කටයුතු සහ ඒ සඳහා නිෂ්පාදිත ඉන්දියානු එන්නත දෙරටේ ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ.

විශේෂයෙන් ද්වීපාර්ශවික සබඳතා සම්බන්ධයෙන් ද මෙම හමුවේදී දෙපාර්ශයම වැඩි අවධානයක් යොමුකර තිබෙනවා ෴

******************************************

(20.03.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

බීමත්ව සහ අපරීක්ෂාකාරිව රිය පදවන පුද්ගලයින් සොයා අද (20) සිට මාසයක කාලයක් දිවයින පුරා විශේෂ වැටලීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම, බදුල්ල, පස්සර මාර්ගයේදී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් ද අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෝටර් වාහන පරීක්ෂකවරුන් ලවා අදාළ බස් රථයේ තාක්ෂණික පරීක්ෂණ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

******************************************

(20.03.2021 – 17:22 +0530 – hirunews.lk/sinhala)

පූඩලුඔය කුඹල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කසල තේ සැකසුම් මධ්‍යස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉතා රහසිගතව යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් කසල තේ යොදා ගනිමින් තේ කුඩු සකස් කරන ස්ථානයකුයි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙලෙස වැටලීම සිදුකර ඇත්තේ.

මෙම තේ සැකසුම් මධ්‍යස්ථානයේ තේ කුඩු සැකසීමට ගබඩා කර තිබු කසල තේ කිලෝ 4195 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලපත්‍ර නොමැතිව කසල තේ යොදා ගනිමින් ඒවා පිරිසිදු තේ කුඩු ලෙසට සකස් කර අලෙවිය සඳහා වෙළඳපොලට නිකුත් කර ඇතැයි හෙළිකරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කසල තේ නීතිමය කටයුතු පූඩලුඔය පොලිසියට භාරදීමට පියවර ගෙන තිබෙනවා.

******************************************

හෙට (21) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15 ක ජල කප්පාදුවක්

(20.03.2021 – 18:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ 01, 03, 09, 14 සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශවලට පැය 15 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

හෙට (21) පෙරවරු 9 සිට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පවසන්නේ.

එමෙන්ම කොළඹ 02, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු වනු ඇති ෴

******************************************

(20.03.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

ඝාතනය කර, කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේදී ගමන් බෑගයක දමා තිබූ තරුණියගේ මළසිරුරේ හිස කොටස සොයා ගැනීමේ සිද්ධියට අදාළ නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව පොලිසීය ප්‍රකාශ කළා.

අද (20) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම සිද්ධියේ ඝාතකයා ජිවිතක්ෂයට පත්ව තිබීම හේතුවෙන් මෙම නඩු කටයුත්ත අවසන් වන බවයි ෴

******************************************

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට ඇමති විමල් යළි පණ දෙයි !

(20.03.2021 – 15:51 +0530 – lankaleadnews.com)

1994 සිට ක්‍රියාත්මක නොවූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම, ජල්තර පිහිටි වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වසර 27 කට පසු යළි වැඩ අරඹා ඇති අතර එම කර්මාන්ත ශාලාව ඊයෙ (19) දින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ කොටස් හිමිකාරීත්වය බෙදී ඇත්තේ ඉන්දියාවට 28% ක් සහ ශ්‍රී ලංකාවට 72% ක් ලෙස ය. ඉන් 30% ක් දේශීය කොටස් හිමිකරුවන් සතුව පවතින අතර කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින ලංකා ලේලන්ඩ් රාජ්‍ය සමාගමට ඉතිරි 42% හිමිව තිබේ. 1994 දක්වා බස්, ලොරි ඇතුළු වාහන මෙරට තුළදී එකලස් කිරීම සිදු කෙරුණු අතර මෙරට තුළදී එකලස් කිරීමට වඩා ඉන්දියාවෙන් සම්පූර්ණයෙන් අශෝක් ලේලන්ඩ් වාහන ආනයනය කිරීම ලාභදායක වන තත්වයක් නිර්මාණය වී තිබුණු හෙයින් එම සමාගම 1994 දී සිය වාහන එකලස් කිරීමේ කටයුතු නවතා තිබිණි.

පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙරට වාහන නිපදවීම, වාහන එකලස් කිරීම හා වාහන අමතර උපාංග නිපදවීමේ කර්මාන්තයන් පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP – Standard Operating Procedure) ජනගත කිරීමත් සමග මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයට දේශීය අගය එකතු කිරීමේ (Value Addition) ප්‍රතිශතයට සාපේක්ෂව බදු සහන ලැබෙන බවත් එමගින් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට වාහන ආනයනය සීමා කොට සිය වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කර මෙරට තුළ වාහන ලාභදායීව එකලස් කිරීමේ ඉඩකඩ නිර්මාණය වී ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

ඉහත කී සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) තුළින් වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිපදවීමේ කර්මාන්තයන් සඳහා ලබා දී ඇති බදු සහන සහ වෙළඳපොළ අවස්ථා යොදා ගනිමින් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම ඉදිරි වසර කිහිපය තුළ මෙරට තාක්ෂණ හා ඉංජිනේරු ක්ෂේත්‍රයේ උපාධිධාරීන්ට නව රැකියා අවස්ථාවන් උදාකර දෙන, වාහන දහස් ගණනින් මෙරට තුළදීම එකලස් කරන හා වාහන අමතර කොටස් ද මෙරට තුළදීම නිපදවනු ලබන තත්වයට ඔසවා තැබීම තම අපේක්ෂාව බව ද අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී සඳහන් කළේය. එසේ ම දකුණු ආසියානු කලාපයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් උපයෝගී කොටගෙන වාහන අපනයනය වෙත ද පිවිසීමටත් පාරිභෝගික අවශ්‍යතා මත සාමාන්‍ය බස්, ලොරි පමණක් නොව කසළ ලොරි, වතුර බවුසර, කොන්ක්‍රීට් මිශ්‍රණ ප්‍රවාහනය කෙරෙන ට්‍රක් රථ ආදී ලෙසින් විශේෂීකරණය කළ රථ වාහන ද මෙරට වෙළඳපොළට නිකුත් කිරීමේ අවකාශය දැන් නිර්මාණය වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

එම නිරීක්ෂණ චාරිකාව සඳහා ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ සභාපති ශාන්ත ජයසේන හා කළමනාකාර අධ්‍යක්ෂ උමේෂ් ගෞතම් යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය
2021.03.19

******************************************

(19.03.2021 – 06:48 +0530 – lankaleadnews.com)

මෙරට වෙළෙඳපොලේ ටයර්වල හිඟයක් පවතින බව ටයර් අළෙවිකරුවෝ සහ වාහන හිමිකරුවෝ පවසති.

තිබෙන ටයර්වල මිළ ද විශාල ලෙස ඉහළ යෑමෙන් තවත් අපහසුතාවට පත්ව සිටින බව ද ඔවුහු පෙන්වා දෙති.

ටයර් මිළ සියයට 10 කට අසන්න සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බවත් ඇතැම් ටයර්වල මිළ රුපියල් 1000 සිට 2000 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාහන හිමියෝ පවසති.

වෙළෙඳපොළේ ඇතැම් ටයර් වර්ග ඉහළ මිළට හෝ මිළදී ගැනීමට නොමැති වීමෙන් මෝටර් රථ හිමියෝ වඩාත් අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.

මහා පරිමාණ ටයර් අළෙවිකරුවන් පවසන්නේ රජය ටයර් ආනයනය අත්හිටුවීම සහ ශ්‍රී ලංකාවේ ටයර් නිෂ්පාදනය ඉල්ලුමට ප්‍රමාණවත් නොවීම මෙම හිඟයට හේතුව බවයි.

(ලංකාදීප පුවත්)

@@@@@@@@@@@@@@@

(20.03.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අනුමැතිය හිමිවූ චීන සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් (6) ප්‍රදානයක් ලෙස නුදුරේදීම මෙරටට ලැබීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ (19) හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 322 අතුරෙන් වැඩිම පිරිස වන 66 දෙනෙකු වාර්තාවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 39 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 36 ක් ඊයේ (19) වාර්තාවූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

ඊයේ (19) වාර්තාවූ අනෙක් ආසාදිතයන් 157 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තාවී ඇති අතර, මේ වනවිට මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 89,497 ක්. ඊයේ (19) දිනයේදීත් තවත් මරණ 6 ක් වාර්තාවූ අතර, ඒ සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 544 ක් ලෙසටයි.

මේ අතර මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුලු අටදෙනාට (8) වෛරසය ආසාදිත නොවන බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් රැඳවිය යුතු බන්ධනාගාරය වන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරුකර යවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

++++++++++++++++++++

(20.03.2021 – 15:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 239 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 86,466 ක් ලෙසටයි ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 158 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 89,655 ක් ලෙසටයි ෴

++++++++++++++++++++

(20.03.2021 – 15:47 +0530 – hirunews.lk/sinhala)

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

මෙය පකිස්ථාන අගමැතිවරයාගේ කාර්යාලය ද තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අගමැතිවරයා පසුගියදා කොරෝනා වෛරසයට එන්නත් මාත්‍රාවක් ද ලබාගත් බව අගමැතිවරයාගේ කාර්යාලය ප්‍රකාශකර තිබෙනවා.

ඔහු මේ වනවිට ස්වයං නිරෝධායනයේ පසුවන බවට අග්‍රාමාත්‍යවරයාගේ ජාතික සෞඛ්‍ය සේවා, නියාමන හා සම්බන්ධීකරණ විශේෂ සහකාර වෛද්‍ය ෆයිසාල් සුල්තාන් ට්විටර් සටහනක් තබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ආසාදිත බවට තහවුරු වී ඇත්තේ කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගෙන දින දෙකකට පසුවයි.

පසුගිය පෙබරවාරි 23 වනදා පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට ද එක්වුනා ෴

+++++++++++++++++++

(20.03.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිවූ චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නතේ පළමු එන්නත් මාත්‍රා තොගය ලබන සතිය ඇතුළත දිවයිනට ලැබෙන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව, චීන රජය මෙරටට එම එන්නත් ලබාදීමට කඩිනමින් පියවර ගත් බවයි.

මීට සති 6 කට පමණ පෙර සිනොෆාම් එන්නත ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කර තිබූ අතර, ඒ සඳහා මේ වනවිට අනුමැතිය ලබාදී ඇති බවයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත්, අද (20) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රශ්න කර සිටියේ චීන එන්නතට අනුමැතිය ලබාදී ඇත්තේ තාක්ෂණික කමිටුවල එකඟතාවය සහිතව ද යන්න පිළිබඳ වහා හෙළිදරව් කළ යුතු බවයි.

මේ අතර අද (20) දිනයේත් මේ දක්වා කාලය තුල කොරෝනා ආසාදිතයන් 158 දෙනෙකු අලුතින් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 89,655 ක් ලෙසයි.

තවත් කොරෝනා ආසාදිතයන් 239 දෙනෙකු අද (20) සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 86,466 දක්වා ඉහළ ගියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *