ලේ බැංකුව ලේ ඉල්ලයි

ලේ බැංකුව ලේ ඉල්ලයි

*********************************************

ලේ බැංකුව ලේ ඉල්ලයි

(20.03.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

රුධිර සංචිත අවප්‍රමාණය වීම නිසා රුධිරය පරිත්‍යාග කිරීම සදහා එක් වන්නැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය රුධිර දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා කියා සිටියේ කොරෝනා තත්වය හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට ජනතාව ඉදිරිපත් නොවීම තුල ගැටලුකාරී තත්වයක් උද්ගත වී ඇති බවයි ෴

******************************************

(20.03.2021 – 07:14 +0530 – hirunews.lk/sinhala)

බවුසර් මගින් දැවිතෙල් ප්‍රවාහනය කිරීම, ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ නියාමනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ නැව් මගින් බැහැර කරන දැවි තෙල් මෙරටට රැගෙනවිත් බවුසර් මගින් ප්‍රවාහනය කිරීමේදී ඇතැම් පුද්ගලයින් ඒවා ජලාශවලට මුදා හැරීම නිසා පරිසර හානියක් වන බවට තොරතුරු අනාවරණ වීම හේතුවෙන්.

මේ හේතුවෙන් දැවි තෙල් ප්‍රවාහනය විධිමත් පරිදි නියාමනය කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ, දැවි තෙල් ප්‍රවාහනය ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ නියාමනය කෙරෙනු ඇති.

මේ වනවිට දැවි තෙල් ප්‍රවාහනය කිරීම සඳහා ආයතන 23 කට බලපත්‍ර ලබාදී ඇති අතර, ආයතන දෙකක් (2) මගින් ගබඩා කර තබා ගැනීම සිදුකරනු ලබනවා.

සාමාන්‍යයෙන් වාර්ෂිකව නෞකා මගින් මෙරටට ගෙන එනු ලබන දැවි තෙල් ප්‍රමාණය කිලෝ ලීටර් 64,000 කට අධිකයි. කිසියම් බලපත්‍රලාභියෙක් ඒවා පරිසරයට මුදා හරින්නේ නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමටත්, බලපත්‍ර අහෝසි කිරීමටත් අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා තිබෙනවා.

දැවි තෙල් පරිසරයට මුදා හැරීම නිසා පිළිකා, චර්ම රෝග, ස්වශන රෝග වලට ජනතාව මුහුණදීමේ අවදානමක් පවතින බවට තොරතුරු අනාවරණ වී ඇති අතර, මෙමගින් විශාල ජාවාරමක් දක්වා වර්ධනය වී ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

ඒ හේතුවෙනුයි ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ නියාමනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම, දැවි තෙල් පිළිබඳ පැහැදිලි තොරතුරු සහිත වාර්තාවක් තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසට අමාත්‍යවරයා, මධ්‍යම පරිසර අධිකාරියට දැනුම්දී තිබෙනවා ෴

******************************************

(20.03.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)

රජය පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල නිර්ණායක සහ නීති සකස් කර දෙන්නේ නම් ඕනෑම මොහොතක මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ නිමල් පුංචිහේවා මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ අදාල නීති සකස් කර මාස දෙක හමාරක් (2½) වැනි කෙටි කාලයක් තුල මැතිවරණය පැවැත්විය හැකි බවයි.

ඉදිරි මාසය තුලදී පක්ෂ මහ ලේකම්වරුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා ෴

******************************************

(20.03.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

කොත්මලේ ඔයට ජලය ගලා බසින පූඩලු ඔය හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමේ කටයුතු සඳහා පැමිණි හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසකට, ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධය පල කර තිබෙනවා.

ඔවුන් කියා සිටියේ අදාල ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සදහා 2016 වසරේදී සැලසුම් සකස් කළද ඊට තමන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය මධ්‍යයේ එම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ නොකළ බවයි.

කෙසේවෙතත් එම කටයුතු යළි ආරම්භ කිරීම සඳහා හිටපු නාවික හමුදාපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් යළි උත්සහ දරමින් සිටින බවටද ප්‍රදේශවාසීන් චෝදනා කළා ෴

******************************************

(20.03.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

එක්සත් රාජධානිය, කැනඩාව හා ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන චෝදනා, සත්‍ය වසන් කර දේශපාලන අරමුණක් සදහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරයේ ඡන්ද විමසීම අනිද්දා (22) පැවැත්වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කලේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් චෝදනා කිරීම හෝ එම කරුණු සදහා ඡන්දය විමසීම ජාත්‍යන්තරය පිළිගත් මානව හිමිකම් කවුන්සිලයේ වගකීම නොවන බවයි.

පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනා යැයි කියමින් නොයෙක් චෝදනා ඉදිරිපත් කර අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානයෙන් කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යැයි විදේශ අමාත්‍යංශය සඳහන් කළා.

එසේම සාධනීය පියවර රැසක් අනුගමනය කරමින් වත්මන් රජය කටයුතු කරද්දි එය නොසලකා හැර යළි යළිත් ශ්‍රී ලංකාවට විවිධ චෝදනා ඉදිරිපත් කිරීම සාධාරණ නොවන බවයි දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට විරුද්ධව ඉදිරිපත් කරන අසත්‍ය චෝදනා පරාජය කිරීමට උත්සහ දරන බවත්, ඒ සඳහා මිත්‍ර රටවල් රැසක් ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බවත් අමාත්‍යවරයා කියා සිටියා. මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ මෙවර ශ්‍රී ලංකාවේ සහයට ඉන්දියාවත් ඉදිරිපත් වේ යැයි විශ්වාස කරන බවයි ෴

******************************************

(20.03.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය සහ විවිධ අපචාර සම්බන්ධව හඳුනාගත් ප්‍රදේශ කිහිපයක අද (20) උදෑසන සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ සංකල්පයකට අනුව මෙම මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සඳහා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාවේ හා නිල සුනඛ අංශයේ සහය ද ලැබී තිබෙනවා.

දින ගණනාවක් අඛණ්ඩව පැවැත්වෙන මෙම මෙහෙයුම් හඳුනාගත් ප්‍රදේශවල පැවැත්වෙන අතර පෙර දැනුම්දීමකින් තොරව එම ප්‍රදේශයන් පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි ෴

******************************************

පස්සර බස් අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ ගණන 14 ක් දක්වා ඉහළට

(20.03.2021 – 10:15 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – පස්සර – 13 කණුව ප්‍රදේශයේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් අද (20) උදෑසන සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඒ අතර බස් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු සහ කාන්තාවන් පස්දෙනෙකු (05) දෙනෙක් වනවා.

පුද්ගලයින් 32 දෙදෙනෙකු මෙම අනතුරෙන් තුවාල ලබා ඇති අතර රෝහල් ගතකර ඇති සංඛ්‍යාව 46 ක් බවයි වාර්තා වන්නේ.

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (20) උදෑසන 07:15 ට පමණ මෙලෙස අනතුරට ලක්වුණා.

බස් රථය අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

(හිරු CCTV අසම්පූර්ණයි ; දෙරණ CCTV බලන්න)

[ අනතුරට හේතු : ටිපර් (ඩම්පර්) රියදුරා බස් රථයේ මග අවහිර කිරීම – වංගුව දෙපස මාර්ග බාධක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය නොකිරීම – පාර අයින කැඩී තිබීම – බස් රථයේ අධික වේගය – පෙර කරනලද අකුසල කර්ම වල විපාක ] [ පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ – පිණ නම් නොපමාව ම කරගන්නේ ]

+++++++++++++++

බදුල්ල – පස්සර – 13 කණුව ප්‍රදේශයේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් අද (20) උදෑසන සිදුවූ අනතුරෙන් තුවාල ලැබුවන්ට ලේ අවශ්‍ය වී තිබෙනවා. බදුල්ල රෝහලේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සදහන් කළේ, රුධිරය ලබා දිය හැකි නම් බදුල්ල රෝහල හා සම්බන්ධ වන ලෙසයි ෴

(20.03.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

මොනරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදි බස් රථයක් අඩි 300 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු සහ කාන්තාවන් පස්දෙනෙකු (5) සිටින බවයි.

අනතුරෙන් බස් රථයේ රියදුරුද ජීවිතක්ෂයට පත්වුණා.

අද (20) උදෑසන 07:30 ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ වංගු සහිත ප්‍රදේශයකයි.

ඉදිරියෙන් පැමිණෙන ටිපර් රථයකට ඉඩ ලබාදෙමින් ඉදිරියට ගමන් කිරීමට යාමේදී මෙම බස් රථය ප්‍රපාතයට පෙරළෙන ආකාරය සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබෙනවා.

අනතුර සිදුවූ වහාම එම ස්ථානයට පැමිණි පොලීසිය සහ ප්‍රදේශවාසීන් ඉමහත් පරිශ්‍රමයක් දරා තුවාලකරුවන් සුන්බුන් අතරින් ඉවතට ගෙන පස්සර සහ බදුල්ල රෝහල් වෙත ඇතුළත් කර තිබුණා.

පොලීසියේ සහයට යුද හමුදා සාමාජිකයන් ද පැමිණ සිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

බේරා ගැනීමේ මෙහෙයුම් සිදුකරන අතරතුර ප්‍රපාතයේ ඉහළ ඇති ගලක් පෙරලීම හේතුවෙන් මුදා ගැනීමේ කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු ද බරපත තුවාල ලබා තිබෙනවා.

ලුණුගල සිට කොළඹ බලා මෙම පෞද්ගලික බස් රථය ධාවනය වූ බව සඳහන්.

මේ අතර, ඊයේ (19) දිනයේ පමණක් සිදුවූ රිය අනතුරු 10 කින් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මියගිය පුද්ගලයින් අතර පදිකයින් 6 දෙනෙකු ද සිටින බවයි.

+++++++++++++

(20.03.2021 – 15:37 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 14 දෙනෙකු මරණයට පත්කරමින් අද (20) උදෑසන සිදුවූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නැහැ.

අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් 13 දෙනෙකුගේ සිරුරු පස්සර රෝහලේත්, එක් (1) පුද්ගලයෙකුගේ මෘතදේහයක් බදුල්ල මහ රෝහලේත් තබා තිබෙනවා.

කොරෝනා පරීක්ෂණ සඳහා ඔවුන්ගෙන් සාම්පල ලබාගෙන ඇති අතර, ඒවායේ ප්‍රතිඵල කඩිනමින් ලබාගැනීමට නියමිත බවයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කියා සිටියේ.

එසේම, මේ වනවිට පස්සර රෝහලේ තිබෙන මෘතදේහ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල මහ රෝහලට රැගෙන යාමට කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළා.

මෙම අනතුරින් මියගිය පුද්ගලයන් වෙනුවෙන් මිනී පෙට්ටි සහ අවමංගල්‍ය වියදම් සඳහා රුපියල් තිස් දහස (30,000) බැගින් ලබාදීමට තීරණය වී තිබෙනවා.

ලුණුගල සහ පස්සර ප්‍රාදේශීය සභාව මිනී පෙට්ටි ලබාදෙන අතර ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් සහ ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් අවමංගල්‍ය වියදම් සඳහා රුපියල් තිස් දහස (30,000) බැගින් ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

මීට අමතරව එක් අයෙකුගේ අවමංගල්‍යයක් සඳහා රුපියල් 25,000 බැගින් ලබාදීමට ජාතික ගමනාගමන කොමිසම ද පියවර ගෙන තිබෙනවා.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණවලට එළඹී ඇත්තේ ෴

++++++++++++

(20.03.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

පස්සර ප්‍රදේශයේ සිදුවූ මාරක බස් රථ අනතුරින් එහි රියදුරා මියගොස් නොමැති බවට මේවනවිට අනාවරණ වී තිබෙනවා.

රියදුරා මේවන විට අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මීට පෙර ප්‍රකාශ කෙරුනේ මෙම අනතුරින් බස් රථයේ රියදුරා ද මියගිය බවටයි.

රියදුරු අසුනේ සිරවී සිටි පුද්ගලයෙකු පිටතට ගැනීමේදී ඔහු මියගොස් සිටි අතර එම පුද්ගලයා රියදුරා නොවන බව මේවන විට හෙළිවී තිබෙනවා.

බස් රථයේ රියදුරු ලුණුගල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක් වන අතර අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

මෙම අනතුරින් තුවාල ලැබූවන් පස්සර සහ ලුණුගල රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ ද්විත්ව වංගුවක් ඇති ස්ථානයක වන අතර මෙම ස්ථානයේ ඇති සාක්ෂි පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවට ද අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නා.

මෙම බස් රථය සම්බන්ධයෙන් මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් තාක්ෂණික පරීක්ෂාවක් සිදු කරන බව ද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් බස් රථය සම්පූර්ණයෙන් හානි වී ඇති බැවින් එම පරීක්ෂාව සිදු කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.

******************************************

(20.03.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

ලොව වඩාත්ම සතුටින් සිටින රටවල් දර්ශකයේ ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් සකස් කෙරෙන එම දර්ශකයේ ඉදිරියෙන්ම සිටින්නේ ෆින්ලන්තයයි.

පළමු ස්ථාන 10 න් 9 ක්ම යුරෝපා රටවලට හිමිව ඇති අතර, ඉන් පිටත ඊට ඇතුළත් වන එකම රට නවසීලන්තයයි.

ගැලුප් පර්යේෂණ ආයතනය මගින් ලොව රටවල් 149 ක සමාජ තත්වයන් පෞද්ගලික නිදහස, දළදේශීය නිෂ්පාදනය ආදී දත්ත සැළකිල්ලට ගෙන මෙම දර්ශකය සකසනු ලබනවා.

නවතම දර්ශකය සකසා ඇත්තේ 2018 වසරේ සිට 2020 දක්වා දත්ත සැළකිල්ලට ගනිමින්.

එහිදී රටවල් 22 ක තත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, සතුටින්ම සිටින රටවල් අතර, චීනයේ ස්ථානය 94 සිට 84 දක්වා ඉහළ යාම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවට පසුගිය ඇගයීමේදී එහි 130 වන ස්ථානය හිමිව ඇති අතර, මෙවර එය 129 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසියාතික රටවල් සැළකූ විට 32 වන ස්ථානයේ පසුවන සිංගප්පූරුව ඉදිරියෙන් සිටින අතර, වියට්නාමයට 79 වන ස්ථානයන්, මාලදිවයිනට 89 වන ස්ථානයත් හිමිව ඇති අතර, ඉන්දියාව නම් කර ඇත්තේ 139 වන ස්ථානයටයි.

දර්ශකයේ පහළින්ම පසුවන එනම්, අසතුටෙන්ම පසුවන රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, ලෙසතෝ, බොට්ස්වානා, රුවන්ඩා සහ සිම්බාබ්වේ රාජ්‍යයන් ෴

******************************************

(20.03.2021 – 09:19 +0530 – hirunews.lk/sinhala)

රිදිගම පොලිසියට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සිදු කළ දැනුම්දීමක් මත අග්‍රාමාත්‍ය කාර්යාල ලේකම්වරයෙකු ලෙස එම ප්‍රදේශයේ ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට රිදීගම පොලීසිය සමත් වී තිබෙනවා.

ඉංගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් ඔස්ට්‍රේලියාවට යවන බව පවසා රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසකට (11,50,000) අධික මුදලක් වංචා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (20) දින රම්බඩගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතයි ෴

@@@@@@@@@@@@@@

(20.03.2021 – 07:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් 322 කු ඊයේ (19) හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 89,497 ක්.

ඊයේ (19) දිනයේදීත් තවත් මරණ හයක් (6) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 544 ක් ලෙස ඉහළ ගියා.

මේ අතර සිංහල දමිළ අලුත් අවුරුදු සමය සමඟ කොරෝනා අවදානම ඉහළ යා හැකි බැවින් දිවයින පුරා වාණිජ නගර ආශ්‍රිතව අහඹු කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට පියවර ගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් තවදුරටත් සමාජය තුල සිටිය හැකි බවයි.

මේ අතර චීන සිනොෆාම් කොරෝනා වෛරස් එන්නත ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අනුමැතිය හිමිවී තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා අවසර ලබාදුන් බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවී ඇත්තේ ඔක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ රුසියානු ස්පුට්නික් එන්නත සඳහා පමණයි.

චීන සිනොෆාම් එන්නත සියයට 80 ඉක්මවන ශක්‍යතාවක් පෙන්නුම් කරන බව එය භාවිත කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දත්ත විශ්ලේෂණයෙන් තහවුරු වුණා.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා අටලක්ෂ විසි හතරදහස් පන්සිය විසි තුනක් (8,24,523) මෙරට තුළ ලබාදී තිබෙනවා.

මේ වනවිට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එම එන්නත් ලබාදීම සිදුකෙරෙනවා.

එමෙන්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 29 වනදා සිට ලබාදිය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *