ගුරු සංගම් දෙකක්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ගැටෙයි

ගුරු සංගම් දෙකක්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ගැටෙයි

*********************************************

ගුරු සංගම් දෙකක්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ගැටෙයි

(19.03.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විදුහල්පති සේවයට බඳවා ගැනීමට කටයුතු කෙරෙන කැබිනට් පත්‍රය අහෝසි කරන ලෙස ඉල්ලමින් ‘අධ්‍යාපනය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව’ අද (19) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

ඒ අතරතුර ‘ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය’ ද එම ස්ථානයේ විරෝධතාවයක් සංවිධාන කර තිබූ අතර, ඔවුන් ප්‍රකාශ කළේ කැබිනට් තීන්දුව පරිදි කඩිනමින් විදුහල්පති සේවයට බඳවා ගැනීම් සිදුකරන ලෙසටයි.

පසුව වෘත්තීය සමිති අතර උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

පසුගිය 01 වන දින නිකුත් කෙරුණු කැබිනට් තීරණයේ සඳහන් වූයේ තරග විභාග පැවැත්වීමකින් තොරව විදුහල්පති සේවයට 4600 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන බවටයි.

කොරෝනා වෛරස තත්ත්වය හමුවේ පවතින අයහපත් පරිසරය ඊට හේතුව ලෙස දක්වා තිබුණා.

කෙසේ වෙතත්, ‘අධ්‍යාපනය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව’ ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කොරෝනා වෛරස තත්ත්වය හමුවේ පැවැත්වීමට කටයුතු කළ බවයි.

දෙපාර්ශවය අතර ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර එක් අයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

සිද්ධිය පාලනය කිරීම සඳහා පොලීසිය ද කැඳවා තිබූ අතර විරෝධතාවය නිසා ඉසුරුපාය අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ද හට ගත්තා.

******************************************

ශාන්ත පීතර විද්‍යාලයේ අතුරුදන් වූ සිසුවා සොයා දෙන්නැයි මව ඉල්ලයි

(19.03.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

බම්බලපිටිය – ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 16 ක සිසුවෙකු නිවසින් අතුරුදන්ව ඇතැයි ඔහුගේ මව පවසනවා.

රත්මලාන – දහම් මාවතේ පදිංචි ඇල්ඩන් ඩෙවොන් කෙනී නැමැති 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවා ඊයේ (18) පෙරවරුවේ නිවසින් පිටව ගොස් ඇති අතර, මේ වනතුරුත් නිවසට පැමිණ නැහැ.

එම සිසුවා සාමාන්‍ය ඇඳුමකින් සැරසී පෙරවරු 06:30 ට පමණ මොරටුව දෙසට ගමන් කරන අයුරු සී.සී.ටී.වී. දර්ශනයක දැක්වෙනවා.

මෙම සිසුවා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් 077 377 9850 දුරකතන අංකයට දැනුම්දිය හැකියි.

******************************************

(19.03.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සීමාව ඉක්මවා වැලි ගොඩදැමීම හේතුවෙන් මහියංගනය වේරගංතොට පාලම ගිලා බැසීමේ දැඩි අවධානමකට ලක්ව තිබූ පුවතක් ‘හිරු සී.අයි.ඒ.’ හරහා රටට හෙළි කළේ 2016 වසරේදී.

ඒ අනුව පාලම ප්‍රතිසංස්කරණය කිරිමට රජයට රුපියල් කෝටි 3 කට අධික මුදලක්ද වැය වුණා.

පසුව පාලමේ ආරක්ෂාව සදහා පියවර කිහිපයක්ම ගැනුණු අතර පාලමේ සිට කිලෝමීටරයක දුරක වැලි කැණීම සදහා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලද්දේ ඒ අනුවයි.

ඉන් උරණ වු වැලි ව්‍යාපාරිකයෙකු හිරු මාධ්‍යවේදියාට පහරදුන්නා.

මෙම ප්‍රහාරය එල්ල කළ තිලක් විදානගමගේ නම් පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කළා.

ඔහු පසුගියදා හිරු මාධ්‍යවේදියාගේ නිවසට පැමිණ මෙලෙස ඉල්ලීමක් කළේ තර්ජන වලින් ‘හිරු සී.අයි.ඒ.’ හඬ නිහඬ කිරීම නිශ්ඵල බව වටහා ගනිමින්.

******************************************

(19.03.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන ‘ගම සමග පිළිසඳර’ 15 වැනි වැඩසටහන හෙට (20) නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යොඹුවැල්තැන්න ග්‍රාමයේ දී හෙට (20) පැවැත්වෙනවා.

උදේ 10:00 ට ඇරඹෙන සංවාදයට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයන් අමාත්‍යාංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් එක්වීමට නියමිතයි.

ජනාධිපතිවරයා ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන සැලසුම් කරනු ලැබුවේදේශපාලන බලධාරීන් හා නිලධාරීන් කැටුව තමාම ගමට ගොස් ගැමි ජනතාව පෙළන ආර්ථික සමාජ ගැටළු සියැසින් දැක ඒවාට සවන් දී කඩිනම් විසඳුම් දීමෙන් ග්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය සැලසීමේ අරමුණ ඇතිව බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

2020 සැප්තැම්බර් 25 වනදා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන ආරම්භ වූ අතර මාතලේ, රත්නපුර, අනුරාධපුර, අම්පාර, පොළොන්නරුව, කලුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරුණා ෴

******************************************

(19.03.2021 – 21:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ දිනවල පකිස්ථානයේ නිල සංචාරයක නිරතවනවා.

ඒ පකිස්ථාන හමුදාපති ජෙනරාල් කමාර් ජාවේඩ් බජ්වා මහතා ගේ ආරාධනයකට අනුවයි.

අද (19) උදෑසන ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාට පකිස්ථාන යුද හමුදා ගෞරව උත්තමාචාරයක් ද පිරිනැමුනා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා පකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි මහතා මුණගැසී තිබෙනවා.

එහිදී දෙරටේ සුහදතාවය වර්ධනය කර ගැනීම සහ හමුදා පුහුණුව මෙන්ම තාක්ෂණය හුවමාරු කර ගැනීම පිළිබඳවයි සාකච්ඡා වී ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා යුධ හමුදාව සහ පාකිස්ථාන යුද හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ ආරම්භ කළ යුද අභ්‍යාස පුහුණු පාඨමාලාව මේ මස 31 වනදා දක්වා පැවැත් වීමට නියමිතයි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව පැවැත්වෙන මෙම යුද අභ්‍යාස පුහුණුව සඳහා පාකිස්ථාන යුද හමුදා නිලධාරීන් 6 දෙනෙකු සහ සෙසු නිලයන් 35 ක් මෙන්ම මෙරට යුද හමුදා නිලධාරීන් 4 ක් සහ සෙසු නිලයන් හතළිස් දෙනෙකු (40) සහභාගී වී සිටිනවා.

******************************************

(19.03.2021 – 21:36 +0530 – hirunews.lk/sinhala)

බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකතන දෙමින් දුර්මත පතුරවන අය ගැන සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.

බෞද්ධ උපදේශක සභාව අද (19) පස්වරුවේ 09 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙසයි කමිටුව කඩිනමින් ස්ථාපනයට තීරණය වී ඇත්තේ.

පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද, විද්‍යෝදය පරිවේනාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද, රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී, රජ රට විශ්ව විද්‍යාලයේ කුලපති මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි යන ස්වාමින් වහන්සේ එහි සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා.

“ශ්‍රී ලංකාව ථෙරවාදී බෞද්ධ මූලස්ථානයයි. බෞද්ධ ප්‍රතිරූපකයෝ සහ වංචනික භික්ෂු ප්‍රතිරූපකයෝ බෞද්ධ මූලික ඉගැන්වීම් විකෘති කිරීමේ උත්සාහයක නිරතව සිටිති. පිරිසිදු ථෙරවාදී බුදුදහම විනාශ කර දැමීමේ සැලසුම්සහගත කුමන්ත්‍රණය වැළැක්වීමට රජය කඩිනමින් මැදිහත් විය යුතුය. දුර්මතධාරින් ශාස්ත්‍රීයව පරාජය කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යය යි” යනුවෙන් මහා සංඝරත්නය මෙහිදී අවධාරණය කලා.

සම්බුද්ධ ශාසනය සහ ත්‍රිපිටකය රැක ගැනීමේ මෙහෙවරේ නිරත භික්ෂුන් වහන්සේට මෙම දුර්මතධාරීහු සංවිධානාත්මකව නින්දා අපහාස එල්ල කරමින් සිටින අතර ඒ පිළිබඳව කණගාටුව පළ කළ මහා සංඝරත්නය සමාජ මාධ්‍ය ජාල හරහා ගෙන යන මෙම වැඩපිළි‍වෙළ කෙරෙහි ද කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඇදහිලි හා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ස්ථාන නියාමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා වී තිබෙනවා.

ත්‍රිපිටකය රැක ගනිමින් සංරක්ෂණය කිරීම යනු බෞද්ධ උරුමයත්, සංස්කෘතියත් ආරක්ෂා කිරීම වන අතර ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමෙන් පමණක් එය සුරක්ෂිත නොවන බවයි මහා සංඝරත්නය පෙන්වා දී ඇත්තේ.

ත්‍රිපිටක සංරක්ෂණ පනත කඩිනමින් කෙටුම්පත් කිරීමේ අවශ්‍යතාව ද උන්වහන්සේලා අවධාරණය කර තිබෙනවා.

2600 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් යෝජනා කෙරුණු බෞද්ධ ග්‍රන්ථ නියාමන පනත සවිබල ගැන්වීම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

කෙටුම්පත මහා නායක ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කර මාසයක් තුළ සංශෝධන සහ යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි තීරණය වී ඇත්තේ.

පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට කටයුතු කෙරුණු අතර එහි ප්‍රගතිය ද සමාලෝචනය කෙරුනා.

බොහෝ පුරාවිද්‍යා ස්මාරක යනු බෞද්ධ උරුමයක් වන අතර පුරාවිද්‍යාත්මකව කාසියක් හෝ පෞරාණික භාණ්ඩයක් දෙස හෝ බලන අයුරින් පමණක් ඒ දෙස බැලීම සුදුසු නොවන බව මහා සංඝරත්නය පෙන්වා දී තිබෙනවා.

තීරණ ගැනීමේ දී අදාළ නිකාය මූලස්ථානවල අදහස් හා යෝජනා අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පැහැදිළි කර තිබෙනවා.

ආරණ්‍ය සේනාසන පවත්වාගෙන යාමේ දී භික්ෂුන් වහන්සේට රාජ්‍ය නිලධාරීන්ගෙන් එල්ල වී ඇති ගැහැට පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ මහා සංඝරත්නය උන්වහන්සේට නිදහස්ව ආරණ්‍ය සේනාසනවලට වැඩවිසීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙස ඉල්ලීමක් කළා.

පරිසරය සහ සතා සීපාවා රැක ගැනීමට අතීතයේ පටන් මහා සංඝරත්නය සුවිශාල කැපවීමක් කළ අතර භික්ෂුන් වහන්සේගෙන් කිසිදා පරිසරයට හානියක් නොවන බව අවධාරණය කෙරුණා.

කිසිවෙකුට පරිසරයට හානි කිරීමට උන්වහන්සේලාගෙන් ඉඩක් නොලැබෙන බව ද මෙහිදී පෙන්වා දුන්නා.

තවමත් රටේ ජනගහණයෙන් 75% ක් පමණ වන ග්‍රාමීය ජනතාව දිගුකලක සිට විවිධ වූ ආර්ථික, සමාජ ගැටළු සමුදායකින් පීඩා විඳිනවා.

ඔවුන්ගේ ගැටලු සොයා බැලීමට ගමින් ගමට යමින් ජනාධිපතිවරයා දෙන ආදර්ශය අගය කළ මහා සංඝරත්නය ඊට ද එරෙහිව ඇතැම් පිරිස් ගෙන යන සාවද්‍ය ප්‍රචාර නිසා ගමට යාම නතර නොකරන ලෙසට ඉල්ලා තිබෙනවා.

වත්මන් රජය බලයට පත් කිරීමට අතිබහුතර ජනතාවක් කැපවීමෙන් ක්‍රියා කළ අතර ජනතාව අනුමත කළ එම ප්‍රතිපත්ති මාලාව සැමදා ආරක්ෂා කළ යුතු බව ජනාධිපතිවරයා කියසිටියා.

අවශ්‍ය වන්නේ තමා ආරක්ෂා කිරීම නොව ජනතාව අනුමත කළ ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම බවයි ඔහු අවධාරණය කළේ.

රජයට එරෙහි විවිධ මඩ ප්‍රහාර ක්‍රියාත්මක වී ඇත්තේ මෙම ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ සඳහා ඇතැම් පිරිස් විශාල මුදලක් වැය කරමින් සිටින අතර මෙම කුමන්ත්‍රණ කඩිනමින් ජනතාවට හෙළි කළ යුතු බව ද කියා සිටියා ෴

******************************************

(19.03.2021 – 22:41 +0530 – hirunews.lk/sinhala)

හන්තාන ප්‍රදේශයේ වනාන්තර එළිපෙහෙළි කිරීමක් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳව මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණියගෙන් අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රශ්න කළා.

******************************************

(19.03.2021 – 22:59 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු නායකයාටද ඉදිරියේදී ප්‍රකාශයක් ලබාදීමට සිදුවනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා කළ ප්‍රකාශයකට අද (19) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක ප්‍රතිචාර දැක්වුවා.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (18) අදාළ කරුණ සඳහන් කළේ අනුර දිසානායක මින් පෙර කර තිබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

******************************************

(20.03.2021 – 06:43 +0530 – hirunews.lk/sinhala)

එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ, ඔහුට විරුද්ධව වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී තිබූ තීන්දුව නිෂ්ප්‍රභ කරමින්.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය උපදේශක තනතුරක් දැරූ මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු 2018 වසරේ පෙබරවාරි 04 වනදා ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දිනය සමරණ අවස්ථාවේ ඇතිවූ සිද්ධියක් පදනම් කරගනිමින් ඔහුට එරෙහිව අදාළ තීන්දුව ලබාදී තිබුණා ෴

@@@@@@@@@@@@@@@@

(19.03.2021 – 20:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 144 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 86,227 ක් ලෙසටයි.

ඉන් 2732 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාවය 86,227 ක්.

මෙරටින් කොරෝනා මරණ 538 ක් ද වාර්තාවුනා.

මේ අතර පසුගිය ජනවාරි මස 29 වනදා සිට මේ දක්වා මෙරට පුද්ගලයන් 81,5585 දෙනෙකුට කොරෝනා එන්නත ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ගතවූ පැය 24 ක කාලය තුල පමණක් එන්නත ලබාදී ඇති සමස්ත සංඛ්‍යාව 9136 ක් ෴

+++++++++++++++++++

(19.03.2021 – 22:44 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 6 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 544 ක්.

චීනයේ සිනෝෆාම් එන්නත ශ්‍රී ලංකාව තුල හදිසි භාවිතයට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් අනුමැතිය ලබාදී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *