සිංහරාජ වන විනාශය ගැන පරිසර ඇමති කතා කරයි

සිංහරාජ වන විනාශය ගැන පරිසර ඇමති කතා කරයි

*********************************************

සිංහරාජ වන විනාශය ගැන පරිසර ඇමති කතා කරයි

(19.03.2021 – 18:33 +0530 – hirunews.lk/sinhala)

පරිසරයට හානි කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගැනීමට ජනාධිපතිවරයා දැඩි මතයක සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඇත්ත දේශපාලන සංවාදය සමග එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේ සිංහරාජය සහ වන විනාශයන් පිළිබඳ විමසූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින්.

ඔහු මෙහිදී කියාසිටියේ කතාබහට ලක්ව ඇති සිංහරාජ වන රක්ෂිත ප්‍රදේශයේ මීට පෙර ජලය බෝතල් කිරීමේ කම්හලක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

******************************************

(19.03.2021 – 14:31 +0530 – hirunews.lk/sinhala)

පාසැලක් වැසීම යනු සිර ගෙවල් දහසක් විවෘතවනවා යන්න සමාජයේ පවතින මතයයි.

නමුත්, වසර ගණනාවක්ම වසා දමා තිබෙන පාසලක් පිළිබඳව කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

******************************************

(19.03.2021 – 14:33 +0530 – hirunews.lk/sinhala)

අහසින් වැටෙන එක ජල බිඳුවක්වත් අපතේ නොයවා රට බත බුලතින් ස්වයංපෝෂිත කරවූ ඉතිහාසයක් අප සතුයි.

නමුත්, වර්තමානයේ ඇතැම් වැව් අභාවයට යාම හේතුවෙන් ගොවිතැන ජීවනෝපාය කරගත් මිනිසුන්ට එල්ල වූ බලපෑම් සුළුපටු නැහැ.

මේ එලෙස විනාශ වෙමින් පවතින වැවක් පිළිබඳවයි.

******************************************

(19.03.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

කොටි සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා තිබෙනවා.

අදාල නඩුව අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදීයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇත්තේ.

ඊට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර, සිද්ධියට අදාළ පරීක්ෂණවල ප්‍රගති වාර්තාවක් ලබන 10 වනදා නැවත නඩුව කැඳවන අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ ෴

******************************************

(19.03.2021 – 15:04 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය පතන ‘ෆොරොස්ට් ක්‍රික්’ වතුයායේ කාන්තාවන් තුන් දෙනෙකු (3) අතර අද (19) පෙරවරුවේ ඇතිවූ ගැටුමකින් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කලේ මියගිය කාන්තාවගේ සැමියාගේ පළමු විවාහයේ බිරිඳ සහ දියණිය කොළඹ සිට ‘ෆොරස්ට් ක්‍රික්’ වතු යායේ පිහිටි නිවසට පැමිණි අවස්ථාවේදී මෙම ගැටුම සිදුව ඇති බවයි.

එහිදී ඔවුන් දෙදෙනා මියගිය කාන්තාව, තල්ලු කර ඇති අතර බිම ඇද වැටී බරපතළ තුවාල ලබා කොටගල දිසා රෝහලට ඇතුළත් කරනවිටත් ඇය ජිවිතක්ෂයට පත්ව තිබුණා.

සැකකාර කාන්තාවන් දෙදෙනා (2) මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

[ සේයාරූ ]

******************************************

(19.03.2021 – 15:22 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමා සම්බන්ධයෙන් අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ සිදු කළ බවට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඔහු ඊයේ (18) දිනයේදී නීතිඥයෙකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිත පැමිණිල්ලක් යොමුකර තිබු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

අද (19) දිනයේදී බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

පසුගිය 17 වනදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලෙයි මහතා සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදුකළා.

නලින් බණ්ඩාර අදාළ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළ කරුණු හේතුවෙන් ද්වේශය සහ වෛරය ඇතිවන අතර එමෙන්ම මැලේ ජාතිකයෙකු වන තමාගේ මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවටයි සුරේෂ් සලෙයි මහතා සඳහන් කර ඇත්තේ.

එමෙන්ම රටේ ආරක්ෂාවට සහ බුද්ධි සේවයේ ප්‍රතිරූපයට ද මෙමගින් හානියක් සිදුවිය හැකි බවට ඔහු සිය පැමිණිල්ල මගින් පෙන්වාදී තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන සහරාන් හෂීම් මැලේසියාවේදී සුරේෂ් සලෙයි මහතා හමුවී ඇති බව සහරාන් හෂීම්ට මැලේසියාවට ඉන්දුනීසියාවට සහ ඉන්දියාවට යාමට සුරේෂ් සලෙයි මහතා විසින් පහසුකම් සැපයූ බවට සහ ඉන්දියාවේ පුහුණුවකට ගොස් අර්ධ වශයෙන් එම පුහුණුව නිම කර ශ්‍රී ලංකාවට පැමිණි බවට මන්ත්‍රී නලින් බණ්ඩාර අදාළ මාධ්‍ය හමුවේදී චෝදනා කර තිබුණා.

මෙම සියලු කරුණු සහ සහරාන් පිළිබඳ සුරේෂ් සලෙයි මහතා සතුව දැනුමක් තිබුණ ද කිසිදු අවස්ථාවක ඔහු පාස්කු කොමිසමට නොකැඳවූ බවටයි මන්ත්‍රීවරයා ප්‍රකාශකර තිබුණේ.

මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා සිදු කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ මෙම සියලු කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවටයි.

තමාට කිසිදු අවස්ථාවකදී සහරාන් හමුවී නොමැති අතර ඔහුට කිසිදු පහසුකමක් ලබා නොදුන් බව ද මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා පැමිණිල්ල මගින් ප්‍රකාශකර තිබෙනවා.

එමෙන්ම තමා අවස්ථා 3 කදී පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් බව ද ඔහු සඳහන් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පූර්ණ විමර්ශණයක් සිදුකරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

******************************************

(19.03.2021 – 16:46 +0530 – hirunews.lk/sinhala)

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට දර සපය ලොරි රථය උපයෝගී කරගෙන තහනම් ද්‍රව්‍ය ඇතුලු කිරීමට ගත් උත්සාහයක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අද (19) අනාවරණ කර ගත්තා.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බන්ධනාගාර නිලධාරීන් සමග එක්ව අද (19) පස්වරු 03:30 ට පමණයි මෙහෙයුම සිදුකර ඇත්තේ.

එහිදී බන්ධනාගාරයට දර සපයන ලොරියේ ඇතුලත තිබූ විශේෂයෙන් සකස් කරන ලද කොටයක් තුල සගවා තිබු සුරුට්ටු 570 ක්, ජංගම දුරකථන 7 ක්, චාජර් 3 ක් සහ ඩේටා කේබල් 3 ක් සොයාගත්තා.

බන්ධනාගාර ඉතිහාසය තුල මේ ආකාරයට බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය ගෙනයාමට දැරූ පළමු උත්සාහය ලෙසටයි මෙය වාර්තා වන්නේ.

ලොරියේ රියදුරා අඟුණකොලපැලැස්ස පොලිසියට භාරදී තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ අඟුණකොලපැලැස්ස පොලිසිය විසිනුයි සිදුකරනු ලබන්නේ.

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ද යොදා ඇති බන්ධනාගාරයක්.

******************************************

(19.03.2021 – 18:00 +0530 – hirunews.lk/sinhala)

තවත් බැඳුම්කර නඩුවකට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකු ලබන 25 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (19) නියෝග කළා.

2016 වසරේ මාර්තු 31 වනදා පැවති බැඳුම්කර වෙන්දේසි දෙකකදී (2) රජයට අයත් රුපියල් බිලියන 15 ක මුදලක් සාවද්‍ය සපරාධි පරිහරණය ඇතුළු අධිචෝදනා 22 ක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.

මෙම නඩුවෙන් චෝදනා ලබා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මෙන්ම, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන විත්තිකරුවන් අද (19) බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළා ෴

******************************************

(19.03.2021 – 18:27 +0530 – hirunews.lk/sinhala)

මහනුවර බෝගම්බර බස් නැවතුම්පොලේ අද (19) දහවල් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ මෘත දේහයක් හමුවූ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදුකරන බව මහනුවර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බස් නැවතුම්පොලේ මහජනතාවගෙන් ලැබුණ තොරතුරක් මත ගොස් පරික්ෂා කිරීම සිදු කළ අතර වර්තමාන කොරෝනා තත්ත්වය මත මෙම මළ සිරුර පිළිබඳව වෛද්‍යය උපදෙස් අනුව ඉදිරි කටයුතු සිදු කරන බවයි.

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් පැමිණ පපුව රිදෙන බව ප්‍රකාශ කරමින් එම ස්ථානයෙහි අසුන්ගත් බව මෙම ස්ථානයේ සිටි පිරිස අය සඳහන් කර තිබෙනවා.

අනතුරුව මේ පිළිබඳ තමන් මහනුවර පොලිසිය දැනුවත් කළ බව ඔවුන් ප්‍රකාශ කළා.

අපවත්වී ඇති ස්වාමීන් වහන්සේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ.

මහනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.

******************************************

(19.03.2021 – 18:45 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකාශයක් ලබාදීමට අද (19) කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවා තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබෙනවා.

වෙබ් මාධ්‍යවේදියෙකු විසින් තමන් පැහැර ගත් බවට සිදුකළ අසත්‍ය පැමිණිල්ලට අදාළවයි ඔවුන් එහි කැඳවා තිබුණේ.

අසත්‍ය පැමිණිල්ල සිදුකල අදාල පුද්ගලයා සිද්ධිය සිදුවූ දින චතුර සේනාරත්නගේ කාර්යාලයට පැමිණ, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සමඟ සාකච්ඡා කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා ලබන සඳුදා පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දුන් බව කොළඹ අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

පසුව අත්අඩංගුවට ගැණුනු පැහැර ගැනීමට ලක්වූයේ යැයි පැවසූ වෙබ් මාධ්‍යවේදියෙකු බව කියන පුද්ගලයා ඇප මත මුදා හැරුණු අතර, ඔහු අද (19) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

පසුගිය ජනාධිපතිවරණ සමයේදි පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ද රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වූ අතර, විමර්ශනවලින් හෙළිවුණේ එහිදී හෙළි කළ කරුණු අසත්‍ය බවටයි.

******************************************

(19.03.2021 – 18:49 +0530 – hirunews.lk/sinhala)

සහල් මිල පාලනය කිරීමට රජය අපොහොසත් වීමට හේතුව, වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය අසාර්ථක වීම බව ජාතික ගොවිජන එකමුතුව ප්‍රකාශ කළා.

එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජා-ඇල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සතොස හරහා කිසිදු හිඟයකින් තොරව සහල් ලබාදීමට කටයුතු කරන බවයි.

******************************************

(19.03.2021 – 18:51 +0530 – hirunews.lk/sinhala)

බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මන්ගේ ජන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්ති ජාතික උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) පස්වරුවේ එක්වුණා.

ඒ ඩකා අගනුවර පැවති එම උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙසයි.

උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ අසල්වැසියෙකු හා සමීප මිතුරෙකු ලෙස වැඩි නිදහසක් සහ සමෘද්ධියක් අත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ එක්ව සිටින බවයි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ බංග්ලාදේශය ලබා ඇති විශාල දියුණුව ශ්‍රී ලංකාවේ දැඩි අවධානයට ලක්ව ඇති බව මෙහිදි අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මහත්මියගේ ආරාධනයක් අනුවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා අද (19) දිවයිනෙන් පිටත්ව ගියේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) පස්වරුවේ එරට විදේශ අමාත්‍යවරයා හමුවුණා.

@@@@@@@@@@@@@@

(19.03.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 283 දෙනෙකු අද (19) සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 86,227 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ ෴

++++++++++++++++++++

(19.03.2021 – 17:19 +0530 – hirunews.lk/sinhala)

අද (19) දිනයේදී කොරෝනා ආසාදිතයින් 154 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 89,329 ක්.

එසේම, තවත් කොරෝනා ආසාදිතයන් 283 දෙනෙකු අද (19) සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 86,227 ක් ලෙසින්.

මේ අතර ත්‍රිකුණාමලය නගරයෙන් කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනා ගැනීමත් සමඟ නගරයේ කඩසාප්පු වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

පසුගිය දින 04 ක කාලය තුළ ත්‍රිකුණාමලය නගරයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 68 ක්.

මේ අතර, පිලිකා, වකුගඩු රෝග මෙන්ම නිධන්ගත රෝගවලින් පෙලෙන සියලු දෙනාටම කොවිෂීල්ඩ් එන්නත ලබාගත හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

******************************************

(20.03.2021 – 07:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් 322 කු ඊයේ (19) හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 89,497 ක්.

ඊයේ (19) දිනයේදීත් තවත් මරණ හයක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 544 ක් ලෙස ඉහළ ගියා.

මේ අතර සිංහල දමිළ අලුත් අවුරුදු සමය සමඟ කොරෝනා අවදානම ඉහළ යා හැකි බැවින් දිවයින පුරා වාණිජ නගර ආශ්‍රිතව අහඹු කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට පියවර ගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් තවදුරටත් සමාජය තුල සිටිය හැකි බවයි.

මේ අතර චීන සිනොෆාම් කොරෝනා වෛරස් එන්නත ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අනුමැතිය හිමිවී තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා අවසර ලබාදුන් බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවී ඇත්තේ ඔක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ රුසියානු ස්පුට්නික් එන්නත සඳහා පමණයි.

චීන සිනොෆාම් එන්නත සියයට 80 ඉක්මවන ශක්‍යතාවක් පෙන්නුම් කරන බව එය භාවිත කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දත්ත විශ්ලේෂණයෙන් තහවුරු වුණා.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා අටලක්ෂ විසි හතරදහස් පන්සිය විසි තුනක් (8,24,523) මෙරට තුළ ලබාදී තිබෙනවා.

මේ වනවිට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එම එන්නත් ලබාදීම සිදුකෙරෙනවා.

එමෙන්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 29 වනදා සිට ලබාදිය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *