ඖෂධ අධිකාරියේ ස්ථාන මාරුවක් ගැන වෘත්තියවේදීන්ට සැකයක්

ඖෂධ අධිකාරියේ ස්ථාන මාරුවක් ගැන වෘත්තියවේදීන්ට සැකයක්

*********************************************

ඖෂධ අධිකාරියේ ස්ථාන මාරුවක් ගැන වෘත්තියවේදීන්ට සැකයක්

(19.03.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ නියාමන අධිකාරියේ තනතුරු මාරුව කොවිෂීල්ඩ් එන්නත වෙනුවට චීනයේ නිෂ්පාදිත කොරෝනා එන්නත භාවිතයට ගැනීමේ ව්‍යාපාරික අරමුණක්දැයි සැක මතු වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

එහි සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

රවී කුමුදේශ් මහතා

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා වෙනුවට වැඩ බලන සභාපතිවරයා ලෙස මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා පත් කිරීමටත්, එහි අධ්‍යක්ෂ මණ්ඩලයට නව සාමාජිකයින් 6 දෙනෙකු පත් කිරීමටත් පියවර ගෙන තිබුණා.

ඒ ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ නිර්දේශ මත සෞඛ්‍ය අමාත්‍යවරිය විසින්.

කෙසේවෙතත් සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙම පත් කිරීම් චීන එන්නතට ලියාපදිංචිය ලබා ගැනීම සඳහා ගත් දේශපාලනික උත්සාහයක් බවයි.

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නතේ 3 වන අදියරේ පරීක්ෂණ වාර්තා මේ වන විට ඖෂධ නියාමන අධිකාරිය වෙත ලැබී ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එම එන්නත මෙරට භාවිතයට අවසර ලබා දීම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව මගින් මේ වන විට සලකා බලමින් සිටින බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් මෙරට තුල හදිසි භාවිතය සඳහා මේ දක්වා අනුමත කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීමට ලක්වූ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නත සහ රුසියාවේ ‘ස්පුට්නික්’ එන්නත පමණයි.

මේ අතර ඊයේ (18) දිනයේදීත් මෙරටින් තවත් කොරෝනා මරණයක් (1) වාර්තා වීමත් සමග සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 538 දක්වා ඉහළ ගියා. එමෙන්ම තවත් කොරෝනා ආසාදිතයින් 313 දෙනෙකු ඊයේ (18) දිනයේදී වාර්තා වුණා.

දැනට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 89,175 ක් ෴

++++++++++++++++++++

(19.03.2021 – 12:49 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන අලුත් අවුරුදු සමයේදී නිරෝධායන නීති කඩකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

සාප්පු සංකීර්ණවලට භාණ්ඩ මිලදී ගැනීමට ගමන් කිරීමේ දී ප්‍රථමයෙන් නිරෝධායන රීතින්වලට මුල්තැන දී කටයුතු කළයුතු බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර අවුරුදු සමය සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා වෙමින් පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ සෞඛ්‍ය ආරක්ෂණ විදි අනුව කටයුතු කළ යුතු අයුරු පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි ෴

@@@@@@@@@@@@@@@@

(19.03.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා යුධ හමුදාව සහ පාකිස්ථාන යුධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘ෂේක් හෑන්ඩ්ස් වන්’ යුධ අභ්‍යාසය සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එය මාර්තු 31 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා පාකිස්ථාන යුධ හමුදාවේ නිලධාරීන් 6 දෙනෙකු සහ සෙසු නිලයන් 35 ක් මෙන්ම යුධ හමුදා නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයන් හතලිස් දෙනෙකු (40) සහභාගී වනවා.

යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයක් සහ මග පෙන්වීම මතයි දෙරට අතර මෙම යුධ අභ්‍යාසය ආරම්භ කර ඇත්තේ ෴

******************************************

(19.03.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ඉදිකිරීමක් සිදුකෙරෙන සිංහරාජයේ හඳපාන්ඇල්ල, බෝධියතැන්න, අලිමංකඩ ආශ්‍රිත භූමිය සහ ඒ ආශ්‍රිත කලාපය සිංහරාජයට පවරා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ 118 වන සංවත්සරයට ඊයේ (18) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙරට වටිනාම ස්වභාවික සම්පත් අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා සිංහරාජ ලෝක උරුමයට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව පසුගිය කාලය පුරාම වාර්තා වුණා.

ඒ අතුරින් සිංහරාජයේ හඳපාන්ඇල්ල, බෝධියතැන්න, අලිමංකඩ ආශ්‍රිත අක්කර 08 ක භූමියක පරිසරය වනසමින් සිදු කෙරෙන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ මතුව තිබෙන්නේ දැඩි කතාබහක්.

වනඅලි ගැවසෙන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති එම භූමිය හරස් වන ආකාරයට කම්බි වැටක්ද ඉදිකර ඇති අතර, ස්වභාවික ජල පහරක් හරස් කරමින් තටාකයක්ද ඉදිකර ඇති බව දක්නට ලැබෙනවා.

සිංහරාජ රක්ෂිතයට ආසන්න වනාන්තර ඉඩම් සිංහරාජ රක්ෂිතයට එක්කරමින් 2004 හා 2019 වසරවලදී ගැසට් නිවේදන නිකුත් කෙරුණා.

නමුත් එම ඉඩම් පවරා ගැනීමේ නෛතික කටයුතු මෙතෙක් අවසන් නොවීම තුළ නීතියෙන් රිංගා ගොස් ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, මේ දිනවල සිංහරාජයේ සිදුකෙරෙන ඉදිකිරීම සම්බන්ධයෙන් මේ වනවිට පූර්ණ වාර්තාවක් කැඳවා ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ ගැටළුව සම්බන්ධයෙන් ලබන සතිය තුළ යම් නිගමනයකට එළැඹිය හැකි වනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කළා ෴

******************************************

(19.03.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වර්ජනයෙන් අඩාල වූ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්ව තිබෙනවා.

දුම්රිය අනතුරුවලදී සිදුවන අලාභයන් කාර්ය මණ්ඩලවලින් අය කර ගැනීමට පාලන අධිකාරිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වර්ජනයක් ආරම්භ කළ අතර, පසුව විෂය භාර අමාත්‍යවරයා සමඟ ඊයේ (18) පැවති සාකච්ඡාවකින් අනතුරුව එය අත්හිටුවනු ලැබුවා.

කෙසේ වෙතත්, වර්ජනය අවසන් කළත් ඊයේ (18) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වූයේ නැහැ.

එහිදී දුම්රිය ගමන්වාර 17 ක් පමණක් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ෴

******************************************

(19.03.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානතම මග නිෂ්පාදනය සහ ආදායම වැඩි කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ආනයනය කරන භාණ්ඩ මිල තීරණය වන්නේ ලෝක වෙළඳපොලේ බලවේගවලට අනුව බවත්, ඒවායෙහි මිල පාලනය කළ හැක්කේ බදු අඩු කිරීමෙන් බවත්, ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුවකට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (18) එක්වෙමිනුයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ.

රට තුළ වගා කළ හැකි බෝග ද්‍රව්‍ය 17 ක් හඳුනා ගනිමින් ආනයනය සීමා කර ඇති අතර, ඒ තුළින් එම බෝග රට තුළ වගා කිරීමට ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රුපියල් තිස් දෙකක් (32) වූ වී කිලෝවකට ගෙවන මුදල අද වනවිට රුපියල් පනහ (50) දක්වා වැඩි කිරීම තුළින් පසු නිෂ්පාදනය සේම ගොවීන්ගේ ආදායමද ඉහළ යාම සැළකිල්ලට ගතයුතු කරුණක්.

වී මිල වැඩි කිරීමේ වාසිය එක් ප්‍රදේශයකට නොව මුලතිව්, කිලිනොච්චි, යාපනය දිස්ත්‍රික්කවල ජනතාවටද හිමිව තිබෙනවා.

මානව හිමිකම් ගැන කතා කරන පිරිස් ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ ගැන කිසිවක් නොකියන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ.

එමෙන්ම, ජනතාවගේ ප්‍රශ්න හඳුනාගත් විට රජයට නිහඬව සිටීමට නොහැකි බවත්, සතුරු බලවේගවලට සත්‍ය යටපත් කිරීමට අවස්ථාවක් නොමැති බවත්, ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

රජය කිසිවිටෙකත් වනාන්තර කපා දැමීමට අනුබල ලබාදී නොමැති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

******************************************

(19.03.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහ නගර සභාව විසින් සියයට 10 ක වට්ටම් සහිතව වරිපනම් බදු ගෙවිය හැකි කාලසීමාව මාර්තු මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අදාළ වට්ටම හිමිවන්නේ මෙම වර්ෂයේ කාර්තු හතර (4) සඳහා එකවර වරිපනම් බදු ගෙවීමේදියි.

එමෙන්ම මේ වසරේ ජනවාරි 31 වනදායින් පසු මේ දක්වා, කාර්තු හතර (4) සඳහා එකවර වරිපනම් බදු ගෙවා ඇති සියලු දේපළ සඳහා සියයට 10 ක වට්ටම් ඇතුළත් කෙරෙනු ඇති.

අදාළ ගිණුම් නිවැරදි කිරීම ඉදිරියේදී සිදුකරන බවයි කොළඹ මහ නගර සභාව නිවේදනය කළේ.

******************************************

සීමා මායිම් නැති අන්තර්ජාල පහසුකම් අපටත්

(19.03.2021 – 11:36 +0530 – hirunews.lk/sinhala)

මෙරට සෑම පුද්ගලයෙකුටම සීමා රහිත අන්තර්ජාල පහසුකම් ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැරසෙනවා.

මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ සේවා සපයන සියලු ආයතනවලින් පසුගිය මාර්තු පළවනදා වනවිට ඊට අදාළ වන පැකේජ පිළිබඳව වාර්තාවක් ඉල්ලා තිබෙනවා.

මේ දිනවල එසේ ලැබුණු පැකේජ නැවත සමීක්ෂණය කරමින් සිටින බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

සීමා රහිත අන්තර්ජාල පහසුකම් පිළිබඳව පැකේජ සහ මිලගණන් තීරණය කිරීමෙන් අනතුරුව අප්‍රේල් මුල් සතියේ එහි පළමු වටයේ නිකුත් කිරීම් සිදුකිරීමට හැකිවනු ඇති බවටයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විශ්වාසය පළකරන්නේ ෴

******************************************

(19.03.2021 – 11:58 +0530 – hirunews.lk/sinhala)

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ගුරුසංගම් 02 ක් විසින් කරන ලද විරෝධතාවයක් හේතුවෙන් පැලවත්ත නගරයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා ෴

******************************************

ඩුබායිහිදි මියගිය කෙසෙල්වත්තේ දිනුකගේ පැටිකිරිය

(18.03.2021 – 19:04 +0530 – sinhala.adaderana.lk)

පසුගියදා ඩුබායි හීදි මියගොස් ඇති පාතාල සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන රාජපක්ෂ ආරච්චිලාගේ දිනුක මධුශාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුකගේ අපරාධ පිළිබඳ තොරතුරු මේ වනවිට හෙළිවෙමින් පවතී.

ඔහු කොළඹ ප්‍රදේශයේ සිදුකළ ඝාතන කිහිපයක ප්‍රධාන සැකකරුවෙකි.

ඔහු පිළිබඳ විස්තර සැකෙවින්,

කොළඹ කෙසෙල්වත්ත සහ අලුත්කඩේ ප්‍රදේශ ආශ්‍රිතව 2000 – 2012 අතර කාලය තුළ අපරාධ රැසක් සිදුකළ රාජපක්ෂ ආරච්චිලාගේ දිනුක මධුශාන් නැමැත්තා ඉන් පසුව අතුරුදහන්ව තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව, ඩුබායි හිදී මිය ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ යැයි සැකකෙරෙන මෘතශරීරයක් අද (18) ගුවන් මගින් මෙරටට රැගෙන එනු ලැබීය.

කෙසේ වෙතත් එය කෙසෙල්වත්තේ දිනුකගේම මෘතශරීරය දැයි තහවුරු කරගැනීම සඳහා DNA සහ ඇඟිලි සලකුණු පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

35 හැවිරිදි රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුශාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුක පුද්ගල ඝාතන හතරක් (4) , මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි අයෙකි.

ඔහු ඩුබායි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ මාකදුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයෙකු ලෙසද සැලකේ.

ඔහු, 2012 වසරේදී කසුන් මධුරංග රාජපක්ෂ යන ව්‍යාජ අනන්‍යතාවයක් දැක්වෙන ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් ඩුබායි වෙත පිටවගොස් තිබූ අතර කොළඹ අපරාධ කොට්ඨාසය 2018 වසරේදී ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක්ද ලබාගෙන තිබුණි.

මේ වනවිට පොලීසිය අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව ඔහු විදේශගතවී තිබෙන්නේ 2012 ජූනි මාසයේ 19 වනදා ශ්‍රී ලන්කන් ගුවන් යානයකිනි.

2018 වසරේ ජූලි මස 18 වනදා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වූ රතු නිවේදනය නිකුත් වී තිබුණි.

කෙසෙල්වත්තේ දිනුකගේ යැයි පැවසෙන මෘතදේහය අද (18) උදෑසන ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යානයකින් ඩුබායි සිට රැගෙනවිත් තිබුණි.

එහෙත් මෘතදේහයේ අනන්‍යතාව සඳහන්ව ඇත්තේ කසුන් මධුරංග රාජපක්ෂ ලෙසය.

දිනුකගේ මව දේහය භාරගැනීම සඳහා පැමිණ සිටි නමුත් දේහයේ අනන්‍යතාව සහ ඇය ඉදිරිපත් කළ නාමය අතර පැවති පරස්පරතාව හේතුවෙන් මෘතදේහය ඇයට භාරනොදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම දේහය ලංකාවේ දී භාර ගැනීම සඳහා එම්.ඒ. රේණුකා නැමැති කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඉදිරිපත්ව සිටි අතර එහිදී ඇය ප්‍රථමයෙන් සඳහන්කර තිබුණේ තම පුතාගේ දේහය භාර ගැනීමට පැමිණි බවය.

නමුත් මළ සිරුරේ සඳහන් නම පරීක්ෂා කිරීමේදී එහි සඳහන් නමට පුත්‍රයෙකු ඇයට නොමැති බව අනාවරණය වූ බවද අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අතර කෙසෙල්වත්තේ දිනුකගේ යැයි පැවසෙන නිවස ද අවමංගල්‍ය කටයුතු සඳහා අද සැරසිලිකර තිබුණි.

ඔහු සිදුකර තිබූ ප්‍රථම අපරාධය ලෙස පොලිස් වාර්තාවල සඳහන්ව ඇත්තේ, අපරාධයක් සිදුකළ පුද්ගලයෙකුට පිහියකින් ඇන 2004 වසරේදී සිදුකළ සිද්ධියකි.

පසුව, 2010 වසරේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත්කරන කෙසෙල්වත්තේ දිනුක එම වර්ෂයේදීම මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තිබුණි.

ඉන් පසුව අපරාධ කල්ලි සමග සම්බන්ධවන දිනුක කොල්ලකෑම් ආදී අපරාධ ගණනාවක සැකකරුවෙකු වී තිබේ.

ඒත් සමගම ඔහු අපරාධ රැසකට පොලීසියට අවශ්‍ය කරන සැකකරුවෙකු බවට පත්විය.

******************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *