හිරු සී.අයි.ඒ. : මත්පැන් සාදයක් පැවැත් වු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩ වරදී

හිරු සී.අයි.ඒ. : මත්පැන් සාදයක් පැවැත් වු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩ වරදී

*********************************************

හිරු සී.අයි.ඒ. : මත්පැන් සාදයක් පැවැත් වු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩ වරදී

(18.03.2021 – 20:33 +0530 – hirunews.lk/sinhala)

රාජකාරී වේලාව තුල මත්පැන් සාදයක් පැවැත් වු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

‘හිරු සී.අයි.ඒ.’ හරහා සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ඇතැම් නිලධාරීන්ට අල්ලස් ලබාදෙමින් සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවගෙන් අයථා ලෙස වැඩි මුදල් ඉල්ලා සිටීමේ පුද්ගලයෙකු සොයා ‘හිරු සී.අයි.ඒ.’ එම ප්‍රදේශයට ලගා වුණා.

එහිදී ඔහු ප්‍රකාශ කලේ අනුරාධපුර කාර්යාලයේ විගනන කටයුතු කිරීම සදහා කොළඹින් පැමිණි එම දෙපාර්තමේන්තුවේම නිලධාරීන්ට ඊයේ (17) දිනයේ හෝටලයක් වෙන් කර අනුරාධපුර සහකාර මෝටර් රථ කොමසාරිස්වරයා විසින් මත්පැන් සාදයක් පවත්වන බවයි.

අනුරාධපුර – ජයන්ති මාවත ප්‍රදේශයේ අවන්හලක් තුල එම මත්පැන් සාදය සංවිධානය කර තිබු අතර, ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම එහි පැමිණ ඇති බව දැනගත් නිලධාරීන් කලබලයට පත් වී සාදය නවතා දමා ඉතිරිව තිබු මත්පැන් ඔවුන් පැමිණි රථයට යළි රැගෙන ආවා.

පසුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට දුරකථන ඇමතුමක් දුන් අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා තමන් කළ වරද සාධාරණීකරණය කිරීමට උත්සාහ ගත්තා.

විගණන කටයුතු සදහා නිලධාරින් කොළඹ කාර්යාලයේ සිට පැමිණි වාහනය වන්නේ WP – NB1407 දරණ රථයයි.

මෙම රථය පිළිබදව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකොන් මහතා ගෙන් අප විමසා සිටියා.

“අර පෙන්නුවෙ අපේ වෑන් එක; ඔයා නම්බර් එක කියලා පෙන්වන්නේ අපේ වෑන් එක”

ආණ්ඩුවේ වාහනවල පැමිණ නැති බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මෙම නිලධාරීන්ට දැන් කීමට ඇත්තේ කුමක් ද?

මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කිලිනොච්චියේ අද (18) පැවති උත්සවයකින් අනතුරුව අදහස් පළ කළා.

******************************************

(18.03.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ පෙර දැනුම් දීමකින් තොරව රට පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

විවිධ ගණයේ අපරාධකරුවන් විවිධ ස්ථානවල සැඟවී සිටින නිසා පෙර දැනුම් දීමකින් තොරව මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

මෙම මෙහෙයුම් අඛණ්ඩව දින ගණනාවක් පුරා දිවා රාත්‍රියේ පැවැත්වෙන බවත් එය සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය ද ඉතා අගය කරන බවත්, ජනතාව දන්නා තොරතුරු අදාළ නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් සරත් වීරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

******************************************

(18.03.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රිය් සිට ආරම්භ කළ වර්ජනය අද (18) දහවල් අවසන් කළත් පස්වරුවේ නියමිත පරිදි දුම්රිය ධාවනය නොවීම නිසා මගීන් දැඩි අපහසුතාවකට පත්වුණා.

දුම්රිය අනතුරුවලදී සිදුවන අලාභයන් කාර්ය මණ්ඩලවලින් අය කර ගැනීමට පාලන අධිකාරිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් මෙම වර්ජනය ආරම්භ කළා.

ඔවුන් එය අවසන් කළේ විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමග අද (18) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඔවුන් වර්ජනය අවසන් කළත් අද (18) පස්වරුවේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වූයේ නැහැ. දුම්රිය ගමන්වාර 17 ක් පමණක් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

කෙසේ වෙතත්, රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල ධාවනය කරන අතර, හෙට (19) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට හැකිවන බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ. මේ අතර, නියමිත පරිදි දුම්රිය ධාවනය නොවීමත් සමඟ මගීන් අපහසුතාවට පත්ව සිටියා ෴

******************************************

(18.03.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික තරුණයෙකු වූ පෙම්වතා සමඟ දිවයිනට පැමිණි ජපාන ජාතික පෙම්වතිය සහ පසුව ඔවුන් මුහුණදුන් ගැටලු පිලිබඳ පුවත, පසුගියදා මෙරට සමාජයේ දැඩි අවධානයට ලක් වුණා.

කෙසේ වෙතත්, පරිවාසභාරයේ සිටි එම තරුණියට තවත් සහනයක් අද (18) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන්නා.

‘සොරා ඔටාකි’ නමැති මෙම තරුණිය අප්‍රේල් දෙවන සතියේ දරු ප්‍රසූතිය සඳහා සූදානම් වනවා.

පරිවාසභාරයේ සිටිමින් එම කටයුතු සිදුකර ගැනීමට ඇයට යහපත් මානසිකත්වයක් නොමැති බවට, විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අද (18) අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මෙහිදී පැමිණිල්ලේ නීතිඥවරුන් ද සඳහන් කළේ දරුවාගේ අනාගතය පිළිබඳ සලකා බලා ශ්‍රී ලාංකික තරුණයාට දියණිය විවාහ කර දීමට, තරුණියගේ මව කැමැත්ත පළ කර ඇති බවයි.

පරිවාස වාර්තා සහ දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත බැඳුම්කරයක් මත මෙම තරුණිය තරුණයාගේ ලොකු අම්මා වෙත භාරදීමට නියෝග කළා.

තරුණයාගේ මව නඩුවේ විත්තිකාරියක් වීම නිසා ඇයට තරුණිය භාරදීමට හැකියාවක් නොමැතිවීම ඊට හේතුවයි.

එසේම, මෙම යුවලගේ විවාහය ජපන් තානාපති කාර්යාලයේදී සිදුකළ හැකිදැයි විමසීමට, එහි නිලධාරියෙකු, මීළඟ නඩු දිනයේ කැඳවන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නොතීසි නිකුත් කළා ෴

******************************************

(18.03.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

සීනි බදු වංචාව සම්බන්ධයෙන් සමගි ජනබලවේගය අද (18) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, හර්ෂණ රාජකරුණා ඇතුලු පිරිසක් ඒ සඳහා පැමිණ සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

******************************************

(18.03.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

කතරගම – ලුණුගම්වෙහෙර ප්‍රධාන මාර්ගයට මුහුණ ලා ඇති තම්මැන්නාව වැව් රක්ෂිතය ආශ්‍රිතව සිදු කෙරෙන ඉඩම් ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ චෝදනාවකට අදාළව නිලධාරීන් අද (18) කළ නිරීක්ෂණයක් අතරතුරදී උණුසුම් තත්ත්වයක් මතුවුණා.

කෙසේ වෙතත්, විසඳුම් ලබාදෙන බවට ලිඛිතව පොරොන්දුවක් ලබාදී අදාළ නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම පෞද්ගලික ඉඩම්වල ඇති වනාන්තර කොටස් පවා ඒවායේ හිමිකරුවන්ට අවශ්‍ය පරිදි හෙලිපෙහෙලි කිරීමට මෙරට නීතියෙන් ඉඩක් නොමැති බව පරිසරවේදී, නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

සිංහරාජ රක්ෂිත සීමාවට අයත් හඳපාන්ඇල්ල – බෝධියතැන්න ප්‍රදේශයේ සිදුකරන ඉදිකිරීම් සම්බන්ධයෙන් පැහැදිලි කරමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

වනඅලි ගැවසෙන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති එම භූමිය හරස් වන ආකාරයට කම්බි වැටක්ද ඉදිකර ඇති අතර, ස්වභාවික ජල පහරක් හරස් කරමින් නාන තටාකයක්ද ඉදිකර ඇති බව දක්නට ලැබෙනවා.

එය සිංහරාජ රක්ෂිතයේ පිහිටි හඳපාන් ඇල්ලේ ජලය ගලා බසින සන්නස් දොළේ ශාඛාවක්. මෙම ජලය පහළ ගම්මාන රැසක ජනතාව පරම්පරා ගණනාවක සිට දෛනික අවශ්‍යතා සඳහා යොදා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වනවිට එම දියපහර හරස්කර ජල තටාකයක් ඉදිකර ඇති බව පසුගියදා එහි සංවාරයක නිරත වූ ‘සිංහල රාවය’ සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප්‍රකාශ කළා.

මෙරට නීතිය අනුව, ස්වභාවික ජල මාර්ගයක් පොදු දේපලක් වන අතර එවැන්නක් හරස් කර සිදුකෙරෙන ඕනෑම ඉදිකිරීමක් නීති විරෝධී වනවා.

කෙසේ වෙතත්, කලවාන ප්‍රාදේශිය සභාවේ සභාපති චන්දන ඉන්ද්‍රප්‍රිය පසුගියදා පැවසුවේ පෞද්ගලික ඉඩමක මෙම ඉදිකිරීම් සිදුවන බවයි.

පෞද්ගලික ඉඩමක පවතින වනාන්තර කොටස් වූවද, ඒවායේ හිමිකරුවන්ට අභිමතය පරිදි හෙලි කිරීමට නීතියෙන් ප්‍රතිපාදන නොමැති බවයි පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා කියා සිටියේ.

මේ අතර, පොතුවිල් – කරන්කෝව – සෙංගමුව රක්ෂිතයේ ගස් කපා දමමින් අනවසරයෙන් පවත්වාගෙන ගිය ගව ගාල් ඉවත් කිරීමට ‘සිංහලේ අපි ජාතික සංවිධානය’ අද කටයුතු කළා ෴

******************************************

(18.03.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

මාස 6 කට අවශ්‍ය සහල් රට තුළ පවතින බවත්, මෝල් හිමියන් විසින් සහල් සඟවා ඇති බවත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (18) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

******************************************

(18.03.2021 – 06:50 +0530 – hirunews.lk/sinhala)

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍යවරයා අද (18) අලුයම බංග්ලාදේශය බලා නික්මුණු බව හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළා.

ඒ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාගේ ආරාධනයකට අනුවයි.

බංග්ලාදේශ ජන රජයේ ජාතියේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ජන්ම ශත සංවත්සරය සහ එරට නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීවයි අග්‍රාමාත්‍යවරයාගේ මෙම දෙදින සංචාරය සිදු වන්නේ.

බංගලාදේශයේ ස්වර්ණජයන්තිය සැමරීම සදහා ප්‍රකාශයට පත් කරන ලද මුජිබ් වර්ෂය නිමිත්තෙන් අද (19) පැවැත්වෙන උත්සවයකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ දේශනයක් පැවැත්වීමටද නියමිතයි.

මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා, ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ්, විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා සමඟ ඉහළ මට්ටමේ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති.

කොරෝනා මාර්ගෝපදේශයන්ට අනුකූලව ජෛව සුරක්ෂිත සංචාරක බුබුළක් ලෙස සෞඛ්‍යාරක්ෂිත පූර්වෝපායන් අනුගමනය කරමින් මෙම සංචාරය සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

මේ අතර රේගු වෘත්තීය සමිති සන්ධානය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (18) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

එහිදී රේගුවේ පවතින වෘත්තීය සමිති ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර ඒවා සඳහා විසදුම් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා එහිදී මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා වෙත උපදෙස් ලබා දී තිබෙනවා ෴

අග්‍රාමාත්‍යවරයා මෙරටින් පිටව ගිය අවස්ථාවේ ඡායාරූප පහතින් :

(19.03.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

සිය දෙදින බංග්ලාදේශ සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඩකා අගනුවරට ළගා වී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා ඩකා නුවර හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළගා වූ අවස්ථාවේ අගමැතිනි ෂීක් හසීනා ඇතුළු බංග්ලාදේශ රජයේ ඉහළ පෙලේ නිලධාරින් විසින් පිළිගනු ලැබුවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 189 දරණ යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස අද උදෑසන බංග්ලාදේශය බලා නික්මුණා.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ සහජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පිළිගනු ලැබුවේ එරට අග්‍රාමාත්‍ය ෂයික් හසීනා විසින්. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාට හමුදා උත්තමාචාරයක්ද පිරිනැමුණා.

බංග්ලාදේශ සංචාරයේ පළමු දින වන අද අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා සහ එරට මහා බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එරට නිදහස් ස්වර්ණ ජයන්තිය සහ බංග්ලාදේශ ජන රජයේ ජාතියේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ජන්ම ශත සංවත්සර සැමරුම් උළෙලට ද අග්‍රාමාත්‍යවරයා එක්වීමට නියමිතයි.

+++++++++++

******************************************

(19.03.2021 – 07:17 +0530 – hirunews.lk/sinhala)

කහතුඩුව, රිලාවල මංසන්ධිය පිළිබඳව පසුගිය දිනවල හිරු පුවත් ඔස්සේ අනාවරණ කළේ එහි සිදුවන බහුල රිය අනතුරු හේතුවෙන්.

කෙසේ වෙතත් බලධාරීන් විසින් තාවකාලික පියවරක් ලෙස එම මංසන්ධියේ හොරණ-කොළඹ ප්‍රධාන මාර්ගය හරහා ගමන් කිරීමට නොහැකි වන ලෙස මාර්ග බාධකයක් යොදා තිබුනා.

නමුත් කෙටි කලකට පසුව එම බාධකය තිබුනද එම ස්ථානයෙන් මාර්ගය හරහා ගමන්කිරීමට හැකි අයුරින් සකස් වී තිබෙනවා.

එවැනි පසුබිමක එම ස්ථානයේ සිදුවූ තවත් රිය අනතුරක් පිළිබඳව මේ වනවිට කතාබහක් ඇතිව තිබෙනවා.

එහිදී සිදුවන්නේ හොරණ දෙසට ධාවනය වන යතුරුපැදියක් ට්‍රක් රථයක ගැටීමෙන්.

දිනෙන් දින අනතුරු බහුල වන මෙම රිලාවල මංසන්ධිය පිළිබඳව කඩිනමින් බලධාරීන්ගේ නෙත් යොමුවිය යුතු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

රිලාවල මංසන්ධියේ සිදුවූ එම යතුරුපැදි අනතුර CCTV කැමරාවේ සටහන් වූයේ මෙලෙසින්.

******************************************

(19.03.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (18) දින තංගල්ල කොට්ඨාස අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරක් මත කතරගම ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ගංජා කිලෝග්‍රෑම් 29 යි ග්‍රෑම් 329 කට අධික ප්‍රමාණයක් සොයා ගන්නට සමත් වුණා.

මේ සමග සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා.

මීට අමතරව අම්පාර මධ්‍යම කඳවුර ප්‍රදේශයේ පොලීසිය විසින් සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 327 ක් ළඟ තබාගෙන සිටි තරුණයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය ෴

******************************************

(19.03.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (18) දහවල් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දෙදෙනකු (2) අතර ඇතිවූ ගැටුමකදී සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරන ලද වැඩිදුර වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අදාළ පුද්ගලයින් දෙදෙනා (2) අයිස් නැමති මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් මෙම ගැටුම ඇතිවූ බවයි.

මේ ගැටුමෙන් මිය ගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේම පදිංචි හතළිස් එක් (41) හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති මහතා සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@@@

(18.03.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 219 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 85,944 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිත එක් (1) මරණයක් අද (18) වාර්තාවී තිබෙනවා. මෙම මරණයත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 538 දක්වා ඉහළ ගියා ෴

අද (18) දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 140 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව අද (18) දිනයේ වාර්තා වු සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 302 ක් ෴

+++++++++++++++++++

(19.03.2021 – 06:25 +0530 – hirunews.lk/sinhala)

යුරෝපා සංගමයේ ඖෂධ නියාමනය විසින් ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා – සෙනෙකා’ කොරෝනා වෛරස් එන්නත ආරක්ෂිත සහ ක්‍රියාකාරී එන්නතක් බවට සහතික කර තිබෙනවා.

ඒ, එන්නත ලබාදුන් පුද්ගලයන්ට ලේ කැටිති ඇතිවන බවට පළවූ වාර්තාවලින් පසු සිදුකළ ඇගයීමකින් අනතුරුවයි.

මේ හේතුවෙන් යුරෝපා සංගමයේ රටවල් 13 ක් ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ලබාදීම අත්හිටුවා තිබුණා.

කෙසේ නමුත් යුරෝපා සංගමයේ ඖෂධ නියාමනය සිදුකළ නව ඇගයීමේදී අනාවරණ වී ඇත්තේ ඔක්ස්ෆර්ඩ් එන්නත ලබාදීමෙන් එලෙස අනතුරුදායක ලේ කැටිති ඇතිවන්නේ යැයි සාක්ෂි නොමැති බවයි.

ඒ අනුව ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිතය අත්හිටවූ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, සහ ස්පාඤ්ඤය ආදී යුරෝපා රටවල් එම එන්නත කඩිනමින් යළි භාවිත කිරීමට කටයුතු කරනු ඇති.

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා’ එන්නත භාවිතය නතර නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයද ඊට පෙර සියලු රටවලින් ඉල්ලීමක් කළා.

එමගින් සිදුකළ ඇගයීමේ වාර්තාවද අද (19) නිකුත් කිරීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *