දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි

දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි

*********************************************

දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි

(18.03.2021 – colombotoday.com)

කල්පිටිය ප්‍රදේශයේ වේලක්කන්නි දේවමාතාවගේ පිළිරුව සහිත සුරුවමක් විනාශ කල පුද්ගලයකු ගම්මුන් විසින් පොලිසියට හසුකර දී තිබේ.

මුස්ලිම් ජාතික 26 හැවිරිදි පුද්ගලයකුවන ඔහු සුරුවම් කූඩුවේ වීදුරුවට පහරදී පසුව පිළිරුව පොළවේ ගසා පැන යන අවස්ථාවේ ගම්මුන් විසින් අල්ලා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වනු ලබන අතර සැකකරු හෙට (19) දක්වා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අනුමැතිය ලබාදී තිබේ ෴

++++++++++++

දේව ප්‍රතිමාව පොළොවේ ගැසූ තරුණයා සහරාන් කල්ලියේ ‘ගෝලයෙක්’ලු

(18.03.2021 – gossiplankanews.com)

කල්පිටිය, ඒත්තුකාල ජනපදයේ ප්‍රධාන මංසන්ධියේ වේලක්කන්නි දේවමාතා ප්‍රතිමාව තැත්පත් කර තිබූ වීදුරු කුටිය කඩා දේව ප්‍රතිමාව පොළොවේ ගැසු බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික තරුණයා දැඩි අන්තවාදී මත දරන අයකු බව පරික්ෂණවලදී හෙළි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (17) පැවසීය. ප්‍රතිමා වන්දනාව ප්‍රතිකේෂ්ප කරන නිසාත් මූලධර්මවාදී මුස්ලිම් ආගම පමණක් ලෝකයේ තිබිය යුතු බව විශ්වාස කරන නිසාත් මෙවැන්නක් කළ බවට ප්‍රශ්න කිරීමේදී සැකකරු පැවසී යැයි පොලිසිය කියයි.

මෙම සැකකරු දැනට තහනම්කර ඇති ‘ජවුහිත් ජමාතේ’ නමැති අන්තවාදී මුස්ලිම් සංවිධානයේ ක්‍රියාකාරිකයකු බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

කල්පිටිය ප්‍රදේශයේ මද්‍රසා පාසලකින් මෙම සැකකාර තරුණයා ඉගෙනුම ලබා ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයා කීය. අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි වියේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහකයෙකි. සැකකරුගේ පියා සිංහල ජාතික කතෝලිකයකු බව පොලිසිය කියයි. සැකකරුගේ පියා මුස්ලිම් කාන්තාවක සමග විවාහවීමෙන් පසු මුස්ලිම් දහම වැළඳගෙනම ඇති අතර මේ වන විට පියා මියගොස් ඇති බවද සඳහන් වේ.

දින 03 ක කාලයක් රැඳවුම් බාරයේ තබා ගැනීමට රැඳවුම් නියෝග ලබාගෙන ඇති සැකකරුගෙන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මේ තොරතුරු හෙළිවිණි යැයි පොලිසිය කීය. වයඹ හා උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණ සිදුකරගෙන යන බව කල්පිටිය පොලිසිය කියයි. දේව ප්‍රතිමාවට හානි කළ බව කියන මෙම සැකකරු කල්පිටිය පොලිසිය මගින් ඉකුත් 15 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණ.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

++++++++++++

******************************************

පිටු හයසීයේ සාක්ෂිය අතහැර ඔත්තුකාරයා වරදකරු කිරීම

(16.03.2021 – divaina.com)

පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව පෙබරවාරි 01 වැනිදා එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විණිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය. පාස්කු කොමිසම දින 214 කාලයක් මුළුල්ලේ පුද්ගලයන් 457 දෙනකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර එහි වාර්තාව පිටු 472 කින්, ඇමුණුම් 215 කින් සහ වෙළුම් 06 කින් සමන්විත වේ. මේ සාක්ෂිකරුවන් අතරට යහපාලන රජයේ ප‍්‍රධානීන් වූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාත් සිටි බව ප‍්‍රකට කරුණකි. සාක්ෂිකරුවන්ගේ සටහන් පමණක් පිටු 37,314 පමණ තිබෙන බව මේ වාර්තාවේ සඳහන් කර ඇත. එම සටහන් මේ වන විට පොත් 206 ලෙසින් සංරක්ෂණය කර ඇති බව ද මේ අවසන් වාර්තාවේ කොමසාරිස්වරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන්ව ඇත. දැන් අවසන් වාර්තාව ලෙසින් ඉදිරිපත් වී ඇති වෙලුමේ ඇත්තේ මේ කියූ සියලූ කොටස්වල එකතුවක් ලෙසින් ඉදිරිපත් වන සාරාංශගත කරුණු සම්පිණ්ඩනයක්ය. ජනාධිපති කොමිසම පත් කරනු ලැබුවේ 2019 සැප්තැම්බර් 21 වැනි දින එවකට සිටි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්ය. ඒ පත් කිරීම වෙනුවෙන් නිකුත් කළ ගැසට් පත‍්‍රයේ සඳහන් පරමාර්ථ 13 ක් තිබූ අතර ඒ පරමාර්ථ සියල්ල ප‍්‍රධාන කරුණු දෙකක් මත පදනම් වූ බව පෙනී ගියේය. ඒ ප‍්‍රධාන කරුණු දෙක වන්නේ මේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකියන අය කවුරුන් ද යන වගත් ඒ බෝම්බ ප‍්‍රහාරය සිදුවන තැනට රටේ පාලනය අකර්මණ්‍ය කර තිබුණේ ද යන වගත් සොයා බැලීමය. මේ කොමිසම පත් කරමින් නිකුත් කළ විශේෂ ජනාධිපති නියෝග ගැසට් පත‍්‍රය අත්සන් කර තිබුණේ එවක ජනාධිපති ලේකම්වරයා වූ උදය ආර්. සෙනෙවිරත්න මහතා විසිනි.

එහෙත් මේ නිකුත්වූ අවසන් වාර්තාව පාස්කු කොමිසම පත් කළ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රීලනිපයත් ඒ කොමිසම පත්කළ ආණ්ඩුව හා යහපාලන අරමුණු නියෝජනය කරන සමගි ජනබලවේගයේ වත්මන් නායකයා වූ සජිත් පේ‍්‍රමදාස මහතාත් විසින් ප‍්‍රතික්ෂේප වී ඇත. හිටපු ජනපතිවරයා මෙය ප‍්‍රතික්ෂේප කරන්නේ එහි නිර්දේශවල මුලින්ම පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණුවලට අදාළව ඔහු ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලීමට නිර්දේශ කර තිබීම නිසාය. එසේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකාබැලිය යුතු බවට කොමිසම නිර්දේශ කර ඇත. හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2019 අපේ‍්‍රල් මස 16 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවට හා සිංගප්පූරුවට යන අවස්ථාවේ දී ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබා නොදීම හා ප‍්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම කටයුතු සිදුකිරීම තුළින් චේතනාන්විතවම සහරාන්ගේ ප‍්‍රහාරවලට මඟපෑදූ බවත් ඉන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් කොමිසම ප‍්‍රකාශ කර තිබේ. මෙය බරපතළ චෝදනාවකි.

පාස්කු කොමිසන් අවසන් වාර්තාවේ වඩා විවාදාත්මක නිර්දේශය වූයේ බෞද්ධ සහ වෙනත් ආගමික සංවිධාන පිළිබඳ සිදුකළ අධ්‍යයනයට අනුව බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට යෝජනා කිරීමයි. එසේනම් බෝම්බ ගැහුවේ සහරාන්ද, ඉල්හාම් සහෝදරවරුද? තව්හීඩ් ජමාත්වරුද? නැත්නම් ඥානසාර හිමියන්ද යන ප‍්‍රශ්නය බරපතළ ලෙස පැන නැඟිණි. සාරා ජෙස්මින් මුස්ලිම් ආගමට ගියෙත් බොදු බල සේනාව නිසාදැයි සමහරු ප‍්‍රශ්න කර සිටියහ. සාරා ඉන්දියාවට ගිය බෝට්ටුව රැගෙන ගිය පුද්ගලයාද අතුරුදන්වී ඇති බව විශ්ලේෂකයන් සොයා ගෙන ඇත. නමුත් මෙය අතුරු කතාවකි. නැවත බොදු බලයට එරෙහිව නඟන චෝදනා ගැන කිවහොත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත ප‍්‍රකාරව අපරාධ නඩු පැවරිය හැකි ද යන්න සලකාබැලීම සඳහා උන්වහන්සේ විසින් 2013 හා 2014 වසරවල මහරගම හා අළුත්ගම යන ප‍්‍රදේශවල සිදුකළ කතා නීතිපතිවරයා විසින් සලකාබැලිය යුතු බවත් කොමිසම නිර්දේශ කර ඇත. ඥානසාර හිමියන් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට සාක්ෂි දීම සඳහා දින අටක් පමණ ගොස් ඇති අතර කොමිසමේ සාමාජිකයන් ඉදිරියේ සාක්ෂි දීමට දින හයක් ගොස් ඇත. උන්වහන්සේගේ සාක්ෂි පිටු හයසීයක පොතකි. ඇත්තෙන්ම පාස්කු කොමිසමේ සාක්ෂි අතර උන්වහන්සේගේ සාක්ෂිය ඉතා වැදගත් බව සටහන් කළ යුතුය. ඥානසාර හිමියන්, මෙරට අන්තවාදය පැතිරවීමට කටයුතු කරන සංවිධාන ලෙස හෙළි කළ මුස්ලිම් සංවිධාන මේ අවසන් වාර්තාව මගින් තහනම් සංවිධාන කළ යුතු බවට නිර්දේශ කර තිබීමට එම සාක්ෂියේ වැදගත් බවට හොඳම උදාහරණයක් සපයයි. ඇත්තෙන්ම මෙරට අන්තවාදය ගැන ඉතාම හොඳ තොරතුරු රාශියක් බොදු බල සේනාව සතුවිය.

සහරාන් හෂීම් නැමැත්තා 2009 වසර සිටම සිය දේශන හරහා අනුගාමිකයන් රැස්කර ඇති බව පාස්කු කොමිසම් වාර්තාව කියන අතර අන්තවාදය පෝෂණයවීමට බොදු බල සේනාවද හේතුවූ බව කියයි. ඇත්තෙන්ම සහරාන් අන්තාවාදී අදහස් ප‍්‍රකාශ කිරීමට පටන්ගෙන වසර කිහිපයකට පසුව බොදු බල සේනාව කරලියට පැමිණියේය. එසේනම් සහරාන් වහාබ් කල්ලි ඇති කළේ ඉදිරියේදී ඇතිවන බොදු බල සේනාවට එරෙහිවද? මෙය හාස්‍යයට කරුණකි.

2007 දීත් සහරාන් සංවිධානාත්මකව සම්ප‍්‍රදායික මුස්ලිම් පල්ලිවලට ප‍්‍රහාර එල්ල කර ඇත. දීර්ඝ කාලයක් පුරා ඉස්ලාම් වහාබ් මූලධර්මවාදියකු ලෙස කටයුතු කළ සහරාන්ට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් සඳහා මෙහෙය වීමට තවත් පුද්ගලයකු අවශ්‍යයද? බටහිර ලෝකයේ තනිවම සන්නද්ධ වූ මුස්ලිම් අන්තවාදී ප‍්‍රහාරකයන් නොහොත් තනි වෘක ප‍්‍රහාර ඇති වූයේත් බොදු බල සේනාව නිසාද? එසේනම් අයිසිස් බිහිවීමට හේතුවත් බොදු බල සේනාවම විය හැකිය. අයිසිස් සංවිධානය බිහිවූයේද 2014 වසරේ මුල් කාලයේදීය. සහරාන් සිරියාවේ ප‍්‍රහාර දැක වඩා ප‍්‍රමුදිත වූ බව නම් පැහැදිලිය. මීට වසර පහකට පෙර 2016 ජුලි 01 වැනිදා රාත‍්‍රියේ ඩකා අගනුවර අවන්හලකට එනම් Holey Artisan Bakery වෙත එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 29 දෙනකු මරණයට පත් විය. මෙහිදී විදේශිකයන් 18 දෙනකු මරණයට පත්වීම විශේෂය. මෙම ප‍්‍රහාරය එල්ල කිරීමට පැමිණි අයිසිස් සාමාජිකයන් හයදෙනාද හමුදා හා පොලිස් ප‍්‍රහාර හමුවේ මරණයට පත්විය. මේ ප‍්‍රහාරයෙන් පසුව අයිසිස් සංවිධානය නිවේදනය කළේ තම සාමාජිකයන් විසින් බංගලාදේශ අගනුවරදී මිථ්‍යාදෘෂ්ටිකයන් 22 ක් මරා දැමූ බවයි. හෝලි ආටිසන් බේකරි අවන්හලට පහරදීමට පැමිණි ත‍්‍රස්තයන් හයදෙනාගෙන් දෙදෙනකුද තමන් සකීර් නායික්ගේ අනුගාමිකයන් බව හෙළිකර තිබිණි. සකීර් නායික් යනු වහාබ්වාදය පතුරවන මුස්ලිම් ආගමික දේශකයෙකි. මොහුගේ රූපවාහිනි චැනලය එනම් පීස් ටීවී පාස්කු ප‍්‍රහාරයෙන් පසුව මෙරට විකාශය තහනම් විය. වර්තමානයේ ආගමික ත‍්‍රස්තයන් බිහිවීමට වෙන රටකට හෝ වෙන ප‍්‍රදේශයකට පළාගොස් දැනුම හෝ ආයුධ පුහුණුව ලැබිය යුතු නැත. තම කාමරයේ ඇඳ මත වැතිර සිටම ජංගම දුරකථනය හෝ සිය පුද්ගලික පරිගණකය හරහා සති කිහිපයකින්ම අන්තවාදියකු විය හැකිය. ඒ තරමටම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුස්ලිම් අන්තවාදය වැපිරේ. මෙරට පාස්කු ප‍්‍රහාරකයන් බෝම්බ සකස් කර තිබුණේද අයිසිස් වෙබ් අඩවි හරහා ලබාගත් දැනුම ඔස්සේය. එනිසාම ත‍්‍රස්තයන් සිරියාවෙන් හෝ කාබුල් නුවරින් පැමිණෙන්නේ නැත. එනිසා පාස්කු කොමිසම සියලු කුණු බොදු බල සේනාවට බැර කිරීම සැබවින්ම ඔවුන්ට විමසීමට භාරදුන් අරමුණු අයාලේ යැවීමක් ලෙස හැඳින්විය හැක. ඇත්තෙන්ම පාස්කු කොමිසම සිදු කර ඇත්තේ ඔත්තුකරු අපරාධකරුවකු කිරීම පමණි. පාස්කු කොමිසමේ එක සාක්ෂිකරුවකු වූ මම තොරතුරු සහිතව වහාබ් අන්තවාදය ගැන එහි පොලිස් ඒකකයට පැය කිහිපයක සාක්ෂියක්ද ලබා දුන්නෙමි. එවිටද සකීර් නායික් අන්තවාදී දේශනා ගැන කරුණු හෙළි කර සිටියෙමි. එලෙසම අයිසිස් අන්තවාදය ගැන රචනා කරනු ලැබූ ‘අන්තවාදයේ භීෂණය’ ග‍්‍රන්ථයේ පිටපතක්ද ලබා දුනිමි.

මීට දින කිහිපයකට පෙර මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ද හැඟුම්බරව අදහස් දක්වමින් පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ දැඩිව විවේචනය කර තිබිණි. “මේ වාර්තාවේ 411 වෙනි පිටුවෙ ලියැවිලා තියෙනවා අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ක‍්‍රියාව, දිගනේ තෙල්දෙණියේ සිද්ධියටත් වෙනමම කොමිසමක් පත්කරන්නට ඕනෙ කියලා. මෙතන නුවර යන්නෙ මම මගේ ඥාතියකුගේ මළගෙදර. දෙයිහාමුදුරුවනේ දැන් මේකට ගියා කියලා මෙහෙම නීති පනවනවා නම් අර බෝම්බ ගහන්න ආපු අය කෝ? දෙයිහාමුදුරුවනේ මං බණ කියන එක වැරදිද? මොන කුණුහරුපයක්ද මේ? මම තිස් අවුරුද්දක් යුද්දෙට මුහුණ දීපු භික්ෂුවක් හැටියට මම වගකීමෙන් කියනවා මේ අහිංසක ජනතාවට, මේ පාස්කු ප‍්‍රහාරයට මුහුණ දුන්න අහිංසක කතෝලික ජනතාවට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පමණයි ස්වර්ගය පමණයි. ඊට වඩා දෙයක් ඉතුරු වෙන්නේ නෑ. මේ කෙහෙම්මල් පාස්කු වාර්තාව ඒ පත් කරපු මිනිස්සුත් වැරදිකාරයෝ කරලා තියෙනවා නම් අපි වගේ කැලේ ඉන්න අහිංසක මිනිස්සු වැරදිකාරයෝ කරලා හෙට අනිද්දාට හිරගත කළාට පස්සෙද මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිවෙන්නෙ. හැමදාමත් අපි කතා කළේ අපට වෙන අසාධාරණය පිළිබඳවමයි, ඉදිරියටත් වන්නේ ඒකම නම් මීට වඩා හොඳයි කොරෝනා හැදෙනවා නම් කියන එක තමයි කියන්න තියෙන්නෙ”

පාස්කු කොමිසමේ සියලු නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම අපහසු බව රජය දැනටමත් ප‍්‍රකාශ කර ඇත. එය ඉතා වැදගත්ය. බොදු බල සේනාව තහනම් කිරීමට රජය කටයුතු නොකරන බවද පැහැදිලිව සඳහන් කර ඇත. බෞද්ධයන් මෙරට අන්තවාදී ක‍්‍රියාවල යෙදී නැත. සිදු කර ඇත්තේ අන්තවාදය හෙළි කර දීම පමණකි. මෙරට සැමට වඩා හොඳ සහෝදරකමකින් ජීවත්වීමට හැකියාව උදාවී ඇත්තේ බහුතර බෞද්ධ සමාජයේ මෛත‍්‍රී ගුණය නිසාය. නමුත් එය වටහා නොගත් බටහිර මාධ්‍ය හා මෙරට සමහර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් බොදුබල සේනාව හරහා මෙරට බෞද්ධ අන්තවාදයක් පැතිරෙන බව කියමින් සිටියදීම පාස්කු ප‍්‍රහාරය එල්ල වීම සැබවින්ම අභාවාචක සිදුවීමකි.

චතුර පමුණුව

******************************************

“කට වහගෙන රටේ නීතියට ගරු කරන්න” – මන්ත්‍රී මුජිබර් ඉදිරියේ අජිත් රෝහණ කී කතාව

(18.03.2021 – am.lk)

බුර්කාව මුස්ලිම් අය ඉලක්ක කර ගෙන සිදු කිරීමට වැරදි බවත් එලෙස නීතියක් ක්‍රියාත්මක වෙනවානම් එය පොදු නීතියක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවත් එය ජනවර්ගයකට සීමා නොවිය යුතු බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ “එක රටක් එක නීතියක්” මැයෙන් ඊයේ (17) රාත්‍රී ‘දෙරණ’ නාලිකාවේ පැවැති ‘අලුත් පාර්ලිමේන්තුව’ සංවාදයකට එක්වෙමිනි.

එම වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා මුස්ලිම් නීතිය, උඩරට නීතිය, තේසවලාමේ නීතිය සම්බන්ධයෙන් විග්‍රහයක් ඉදිරිපත් කළේය.

ප්ලේටෝ නම් දාර්ශනිකයා විසින් රචිත ‘ෆිලෝසොෆි කිං’ ග්‍රන්ථයේ කරුණක් ගෙනහැර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම ග්‍රන්ථයෙහි ප්ලේටෝ විසින් නීතිය පිලිබඳව ලියනලද කාරණා තුනක් (3) පිළිබඳවයි.

‘මේ කියන කාරණයට මෙතුමා එකඟ වෙයි / නොවෙයි; මෙතුමිය එකඟ වෙයි / නොවෙයි; ඔබ එකඟ වෙයි / නොවෙයි’ කියා අජිත් රෝහණ මහතා අදහස් දැක්වීය.

  1. ඔබ යම්කිසි රටක පවතින නීතියට අකමැතිනම් ඔබ කළ යුත්තේ එම නීතිය වෙනස් කිරීමට සටන් කිරීමයි.
  2. ඔබ එසේ සටන් කිරීමෙන් එම නීතිය වෙනස් කිරීමට නොහැකි නම් ඔබ කළයුත්තේ ඔබ කැමති නීතියක් තිබෙන රටකට ගොස් ජීවත් වීමයි.
  3. මුලින් සඳහන් කළ කාරණා දෙකම සපුරා ගැනීමට ඔබ අසමත් වේ නම්, තම රටෙහි පවතින නීතිය පිළිගෙන එයට අනුගතවී ජීවත් වීමයි.

එම වීඩියෝව පහතින් :

+++++++++++++++

******************************************

රත්‍රං බඩු කඩේට ආ තරුණයා රන් මාල පෙට්ටියක් රැගෙන පළායයි – CCTV දර්ශන සහිතයි

(18.03.2021 – 12:52 +0530 – sinhala.adaderana.lk)

ඇහැලියගොඩ ස්වර්ණාභරණ අලෙවිසැළක රන් භාණ්ඩ කොල්ලකෑ සිද්ධියේ සැකකරුවන් සොයා තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් ස්වර්ණාභරණ අලෙවිසැළකට පැමිණි එක් අයෙකු රන් මාල සහිත පෙට්ටියක් රැගෙන එකවරම දිවගොස් යතුරුපැදියක් සහිතව සිටි තවත් පුද්ගලයෙකු සමග පළාගොස් තිබුණි.

කොල්ලය සිදුකරන ආකාරය වෙළෙඳසැළ තුළ සහ පිටත සවිකර තිබූ CCTV කැමරාවල සටහන්ව තිබුණි.

එලෙස කොල්ලකා ඇති රන් මාලවල වටිනාකම රුපියල් ලක්ෂ 25 කට අධික බව වාර්තා වේ.

******************************************

එළවළු නරක්වීම හා පලතුරු ඉදීම ප්‍රමාද කරන්න නැනෝ විසඳුමක්

(18.03.2021 – aruna.lk)

මෙරටින් අපනයනය කරන හා මෙරට අලෙවි කෙරෙන එළවළු නරක්වීමත් පලතුරු ඉදීම ප්‍රමාද කිරීමත් සඳහා වන නව රසායන නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වාදීමට නියමිත බව ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ වාණිජකරණ අංශ ප්‍රධානී රංගික ද සිල්වා මහතා පැවැසීය.

අවිධිමත් ප්‍රවාහනය හා ගබඩාකරණය හේතුවෙන් අපතේ යන එළවළු හා පලතුරු ප්‍රමාණය මෙයින් අඩු කරගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මෙම ක්‍රමවේදයේදී හඳුන්වාදෙන රසායන පැකට්ටුව මගින් පලතුරු, එළවළු ඉදීමට හේතුවන ඒවායේ ස්වභාවිකව නිපදවෙන එතිලීන් උරාගෙන ඉදීමේ කාලය දින හතරකින් (4) පමණ ප්‍රමාද කිරීමේ හැකියාව පවතී.

මෙය ඕනෑම එළවළුවක්, පලතුරක් සඳහා සුදුසු බව හා එක් සැෂේ පැකට්ටුවක් පලතුරු කිලෝ හතකට (7kg) පමණ සෑහෙන බවද කියැවේ.

මෙම සැෂේ පැකට්ටුව පළමුව මෙරට සුපිරි වෙළෙඳසල් සඳහා හඳුන්වාදී මාස දෙකක් (2) තුළදී ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා නැව්ගත කරනා එළවළු, පලතුරු සඳහාද නිකුත් කිරීමට නියමිතය.

එරංදි කෞශල්‍යා

******************************************

භාග්‍යා අබේරත්න – TALK WITH SUDATHTHA – මාව අනිත්පැත්තට හංවඩු ගහල තියෙන්නේ (17.03.2021)

+++++++++++++

අන්දෝලනාත්මක සිංහරාජ ඉඩම ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හෙළිදරව්ව… (18.03.2021)

+++++++++++++

‘සිංහ රාජිණිය – භාග්‍යා අබේරත්න’ගේ අරගළය ජය ගනී?

(18.03.2021 – 11:21 +0530 – lankaleadnews.com)

සිංහරාජ වන රක්ෂිතය ආශ්‍රිත මාණික්කවත්ත – බෝටියතැන්න ප්‍රදේශයේ අවසර දී ඇත්තේ නිවාස ඉදි කිරීම සඳහා පමණක් බවත් එම ප්‍රදේශයේ හෝටල් ඉදිකිරීමට කටයුතු කළහොත් එහි ඉදිකිරීම් සඳහා ලබා දී ඇති අවසරය අත්හිටුවීමට පියවර ගන්නා බවත් කලාවන ප්‍රදේශිය සභාවේ සභාපති චමින්ද ඉන්ද්‍රප්‍රිය මහතා සඳහන් කර සිටියි.

ඒ අනුව භාග්‍යා අබේරත්න තරුණිය විසින් හෙළිදරව් කරන ලද සිංහරාජ වන විනාශයට හේතුවූ හෝටලයේ ඉදි කිරීම් වහාම අත්හිටුවන ලෙස කලවාන ප්‍රාදේශිය සභාව දැනුම් දී තිබේ.

මේ අතර සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ ආරක්ෂාව තහවුරු කරමින් වනාන්තරය අවට ඇති ඉඩම් හෙක්ටෙයාර් 400 ක් කඩිනමින් පවරා ගැනීමට තීන්දු කළ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත එදිරිසිංහ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

මෙම ඉඩම්වල වන ගහනය පැවතිය ද ඒවා පෞද්ගලික ඉඩම් හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනත අනුව ඒවායේ සිදුවන වන විනාශයන් වැළැක්වීමට දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.

මීට පෙර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් පවසා සිටියේ 2004 වසරේ සිට මෙම ඉඩම් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් ඉදිරිපත්ව තිබුණත් පහළ මට්ටමේ සිටින නිලධාරීන් නිසා එම සීමා නිර්ණය ක්‍රියාවලිය මන්දගාමීව තිබූ බවයි ෴

+++++++++++++

හෙළි කරන ඉඩම සිංහරාජයට පවර ගන්න අවධානය

(18.03.2021 – ada.lk)

සිංහරාජ වනාන්තරයට අයත් අක්කර 07 ක ඉඩමක් හෙළි පෙහෙළී කර එහි හෝටලයක් සෑදීමේ උත්සාහයක් ඇතැයි සඳහන් කරමින් පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධව පරිසර අමත්‍යාංශය පූර්ණ අවධානය යොමු කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම කාරණය සම්බන්ධව සොයා බැලීමේ දී මෙම ඉඩමේ අයිතිය පිළිබඳව නිරවද්‍යතාවය සොයා බැලීමට පූර්ණ විමර්ශණයක් සිදු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ද අමාත්‍යවරයා කීය.

එමෙන්ම මෙම ඉඩමේ වටිනා ගස් තිබුනි නම් ඒවා කපා දැමීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගෙන නොමැති බව තහවුරු වී තිබේ. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ඒ සඳහා අනුමැතියක් ලබා නොදුන් බව ඔවුන් ද තහවුරු කර තිබේ. මෙවැනි සිදුවීමක් වන තුරු තම රාජකාරිය ඉටු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හා ග්‍රාම නිලධාරියාත් වගකිව යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

“මෙම ඉඩම අයිතිය ප්‍රකාශ කරන තැනැත්තන් සඳහන් කරන්නේ ඔවුන් විසින් මෙහි නිවාස ඉදි කරන බවයි. තමන්ට අයත් ඉඩමක නිවාස ඉදි කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියක් අවශ්‍ය නොවේ. නමුත් පෙනී යන කරුණු අනුව සංචාරක හෝටලයක් ඉදි කිරීම සඳහා මෙම ඉඩම හෙළිපෙහෙළි කරන බව වාර්තා වේ. එසේනම් නිවාස ඉදි කිරීමට යැයි සඳහන් කරමින් නීතිය නොසළකා හැර අවසානයේ හෝටලයක් ඉදි කිරීම යනු නිලධාරින් හා වගකිව යුත් ආයතන නොමග යැවීමකි. එය බරපතළ වැරැද්දකි.

කෙසේ වුවද මෙම ඉඩම සම්බන්ධව රජයේ වර්තමාන ස්ථාවරය වන්නේ මෙම ඉඩම කඩිනමින් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීමයි. ඊට මෙම අක්කර 07 ක් ඉඩම මෙන්ම තවත් අක්කර 1500 ක් පමණ බිම් ප්‍රමාණයක් පවරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. දැනට එම ඉඩම් තුළ පවුල් 135 ක් පදිංචිව සිටින බැවින් ඔවුන් කෙරෙහි ද අවධානය යොමු කිරීමට රජයට සිදු වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.කෙසේ වුවද ලබන සතිය වනවිට මෙම සිද්ධිය සම්බන්ධව අවසන් තීරණයකට ඒමට රජය කටයුතු කරනවා” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ඉඩම සම්බන්ධව දැනට අයිතිය පළ කරන පුද්ගලයින් කිසියම් අනීතික ක්‍රියාවන් සිදු කර ඇත්නම් ඔවුන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම ඉඩමට අයත් වටිනා ගස් කපා ඉවත් කිරීම සම්බන්ධව පරීක්ෂණයක් සිදු කරන බවත්, මොවුන් නිසි අවසරයකින් තොරව වටිනා ගස් කපා ඉවත් කර ඇත්නම් ඒ සඳහා ඊට එරෙහිව තමන් නඩු පැවරීමේ වගකීම බාර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

අද (18) දින භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට වසර 118 ක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද සංවත්සරික උත්සවය එහි ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විනි. එහිදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය ෴

+++++++++++++

සංවර්ධනයට මුවාවී සිදුවන පරිසර විනාශය – අද දෙරණ BIG FOCUS (18.03.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *