දුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය වර්ජනය අත්හිටුවයි

*********************************************

දුම්රිය වර්ජනය අත්හිටුවයි

(18.03.2021 – 12:10 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කර ඇති සංකේත වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ, දුම්රිය වෘත්තීය සමිති සහ විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අතර අද (18) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී පැමිණි එකඟතාවලට අනුවයි.

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකළ සංකේත වර්ජනය හේතුවෙන් අද (18) උදෑසන ධාවනය වූයේ කාර්යාල දුම්රිය 14 ක් පමණයි.

දුම්රිය අනතුරුවලදී සිදුවන අලාභය මෙහෙයුම් කාර්ය මණ්ඩලවලින් අය කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමිනුයි දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් එක්දින සංකේත වර්ජනයක් සිදු කරනු ලැබුවේ.

විෂය භාර අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සමඟ අද (18) දහවල් දුම්රිය වෘත්තීය සමිති සාකච්ජාවක් පැවැත්වූයේ ප්‍රවාහන අමාත්‍යාංශයේ දීයි.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේ සිය සංකේත වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි ෴

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වර්ජනය අත්හිටුවීමත් සමග සාමාන්‍ය පරිදි අද (18) පස්වරුවේ දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා ෴

******************************************

(18.03.2021 – 10:42 +0530 – hirunews.lk/sinhala)

බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළට පිවිසෙන මාර්ගයේ ඇති වසර විස්සකට (20) වඩා පැරණි කරඳ ගසක අතු ඊයේ රාත්‍රියේ (17) දා කපා දැමිමේ සිද්ධියක් හේතුවෙන් නගරයේ ව්‍යපාරිකයින්, ත්‍රිරෝද රථ හිමියන් සහ නගරවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුනා.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් වෙළෙඳ සංකිර්ණයේ කුලි පදනම මත වෙළඳසලක් පවත්වාගෙන යන ව්‍යපාරිකයෙකු විසින් එම කරඳ ගසේ අතු කපා දමා තිබෙනවා.

ඒ කරඳ ගසේ අතු හේතුවෙන් තමන්ගේ ව්‍යපාරික ස්ථානය වැසි ඇති බැවින් එය සිදුකර ඇති බවයි වාර්ථා වන්නේ.

බලන්ගොඩ නගරසභාව මගින් නගරයේ තැන තැන සිටුවා ඇති කරඳ ගස් කිහිපයක් අතරින් එක් ගසක අතු මොහු විසින් මෙලෙස කපා දමා තිබෙනවා.

මේ සිද්ධියත් සමග ඇති වු උණුසුම් තත්ත්වය පාලනය කිරිම සදහා බලන්ගොඩ පොලිසියේ නිළධාරින් මැදිහත් වූ අතර මේ පිලිබඳ වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරන බව බලන්ගොඩ පොලිසිය පවසනවා.

++++++++++++

******************************************

(18.03.2021 – 12:38 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (17) තණමල්විල ප්‍රදේශයේදී අක්කර 7 ක පමණ ප්‍රදේශයක් පුරා වගා කර තිබූ ගංජා හේනක් වටලා විනාශ කර තිබෙනවා.

මෙම වැටලීමේදී එහි තීබූ අඩි 10 කට වඩා උසට වැවී තිබූ ගංජා ගස් 7000 ට අධික ප්‍රමාණයක් විනාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා තණමල්විල පොලිසියට බාරදී තිබෙනවා ෴

******************************************

(18.03.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

පළමු මහ බැංකු බැදුම්කර වංචාවේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නීතිපතිවරයා තුන්වන (3) වරටත් යවන ලද ලේඛන සිංගප්පූරුවේ නීතිපතිවරයා සලකා බලමින් සිටින බවට වාර්තා වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද (18) අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, පළමු ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන විනිසුරුවරන්ගෙන් සැදුම්ලත් මඩුල්ලට මේ බව දැනුම් දුන්නේ අතිරේක සොලිසිටර් ජෙනරාල් පාලින්ද රණසිංහ විසින්.

2015 වසරේ පෙබරවාරි 27 වනදා සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී රුපියල් මිලියන 600 ක මුදලක් වංචා කර ඇති බවට අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු නඩුවේ විත්තිකරුවන් 10 දෙනාට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ වනවිට මලයාසියාවේ පදිංචිව සිටින බවට පැවසෙන 10 වන විත්තිකරු වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන අජාන් ගාර්දිය පුංචිහේවා මෙරටට ගෙන්වා ගැනීමට අදාළ සිතාසිය විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය හරහා මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දෙන ලෙසයි ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේ.

ඔහුට අමතරව නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, එහි ප්‍රධානී අර්ජුන් ඇලෝසියස්, ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ජෙෆ්රි ඇලෝසියස්, පුෂ්පමිත්‍ර ගුණවර්ධන, රංජන් හුළුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරියි.

නඩුව අද (18) කැදවූ අවස්ථාවේදී පුෂ්පමිත්‍ර ගුණවර්ධනය හා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි අධිකරණය හමුවේ පෙනී සිටි අතර සෙසු විත්තිකරුවන් දෙවන මහ බැංකු බැදුම්කර වංචාවට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බැවින් අධිකරණයට රැගෙනවිත් නොතිබූ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

ඊයේ (17) දෙවන මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා ෴

******************************************

(18.03.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන උත්සව සමයේදී ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, හිඟයකින් තොරව ගෑස් වෙළඳපොළට සැපයිය හැකි බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

වර්තමාන ආර්ථික තත්ත්වය සහ වෙළදපොළ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (17) පැවති සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

එහිදී සහල්, පොල්, කිරිපිටි, මස්, මාළු, බිත්තර, පරිප්පු සහ ලූණු අර්තාපල්, එළවළු, පළතුරු සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම කෙරෙහි අවදානය යොමු වී තිබෙනවා.

රේගුව මගින් සිය භාරයට ගනු ලැබූ සහල් මෙට්‍රික් ටොන් 3000 කට ආසන්න ප්‍රමාණයක් සතොස හරහා ජනතාවට බෙදා දෙන ලෙස ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ එහිදී උපදෙස් ලබා දුන්නා.

රට තුළ සහල් හිඟයක් නොමැති අතර, පරිභෝජනයට අවශ්‍ය සහල් රට තුළ නිපදවා ඇති බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම, සතොස හරහා එළඹෙන උත්සව සමයේදී අඩු මිලට පොල් අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ද සකස් කර ඇති බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මීට අමතරව වී අලෙවි මණ්ඩලය සතු සහල් සංචිත වෙළඳපොළට නිකුත් කිරීම සහ තවත් මෙට්‍රික් ටොන් 25,000 ක් දේශීය සහල් ව්‍යාපාරිකයින්ගෙන් මිලදී ගැනීමට ද කටයුතු කෙරෙනු ඇති.

මේ අතර, මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක වී සංචිතයක් පවත්වා ගැනීම රජයේ ඉලක්කය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

රජය විසින් ක්‍රියාත්මක වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතයේ තවත් අදියරකට මුලතිව් – ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ඊයේ (17) එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත්, මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වී මිලදී ගැනීමේ අපේක්ෂිත ඉලක්කයට යෑමට රජයට නොහැකි වී ඇති බවයි ෴

******************************************

(18.03.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ඩුබායිහිදී පසුගියදා මියගිය පාතාල කල්ලි නායකයෙකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘දිනුක මධුශාන්’ හෙවත් ‘කෙසෙල්වත්තේ දිනුක’ගේ දේහය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබෙනවා.

අද (18) පෙරවරුවේ දිවයිනට රැගෙන ආ දේහය ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් අනතුරුව ඥාතීන් වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

හෘදයාබාධයකින් මියයන විට දිනුක 34 හැවිරිදි වියේ පසුවුණා ෴

******************************************

(18.03.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය නම් කර ඇති නකල්ස් රක්ෂිතයේ මාතලේ – පුවක්පිටිය අධිසංවේදී පරිසර කලාපයේ දුනුමඩලා ඔය සමීපයේ පිහිටි වල්ලාපට්ටා ශාක විශාල සංඛ්‍යාවක් කපා දමා ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

වල්ලාපට්ටා ශාක කපා දමා ඒවායේ කොටස් රැගෙන යාමේ ජාවාරමක් ක්‍රියාත්මක බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

කෙසේ වෙතත්, බලධාරීන් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙලෙස නකල්ස් රක්ෂිතයේ වල්ලාපට්ටා ශාක විශාල වශයෙන් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මේ අතර, පරිසර වැරදි සම්බන්ධයෙන් දැනුම්දීමට ඉදිරියේදී විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම රටකට තිබිය යුතු අවම වනාන්තර වැස්මටත් වඩා අඩු අගයකට මෙරට වනාන්තර වැස්ම පහත වැටී ඇති බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා කියා සිටියේ ෴

******************************************

ජවිපෙ නායකයාට ඇමතිගෙන් පිළිතුරු

(18.03.2021 – 13:49 +0530 – sinhala.adaderana.lk)

තමා විසින් පසුගිය කාලයේ සිදුකළ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව නුදුරු අනාගතයේදී සනාථවනු ඇති බව ආචාර්ය සරත් වීරසේකර අමාත්‍යවරයා පවසයි.

පාස්කු ප්‍රහාරයට අනුබල දුන් ඊබ්‍රහිම් සහෝදරයින්ගේ පියා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට ද ප්‍රකාශ ලබාදීමට සිදුවනු ඇති බව හෙතෙම පවසයි.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සරත් වීරසේකර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“මා පසුගිය දිනවල කියපු සහ කරපු වැඩ පුස් වෙඩිල්ලක් බවට අනුර කුමාර මහතා කියලා තියෙනවා. ඒවා පුස් වෙඩි ද ජීව උණ්ඩ ද කියලා ඉතාම කෙඩි කාලයකදී අනුර කුමාරට දැනගන්න පුළුවන් වෙයි. පාස්කු ප්‍රහාරයේ දරුණුම අපරාධ කළ බෝම්බකරුවන් දෙදෙනා ගේ පියා තමයි ඊබ්‍රහිම්. ඔහු තමයි ලක්ෂ 300 ක් දුන්නෙ සහරාන්ට. මේ ප්‍රහාර කරන්න. ඊබ්‍රහිම් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සඳහන් වෙලා තිබ්බේ. අනුර කුමාරට ඒ සම්බන්ධයෙන් නුදුරු අනාගතයේදී පැහැදිලි කිරීමක් කරන්න වෙයි.”

******************************************

මේක බුදුන්ගේ දේශයයි. අසාධාරණය වුනේ සිංහලයන්ටයි. මානව හිමිකම් උල්ලංඝනය කලේ ත්‍රස්තවාදීන්. දෙමල වෛද්‍යවරයාගේ හෘද සාක්ෂිය

(18.03.2021 – colombotoday.com)

ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශය බවත් අසාධාරණය සිද්ධවුවේ සිංහලයන්ට බවත් අරුනළු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම් මහතා සඳහන් කර සිටිනවා.

Colombo Today වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව බවසූ අතර ඔහු දැක්වූ සම්පුර්ණ අදහස් :

@@@@@@@@@@@@@@@

(18.03.2021 – 11:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව තාවකාලිකව දින 10 ක කාලයක් සඳහා වසා දමා තිබෙනවා.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 4 දෙනෙකුට සහ ප්‍රාදේශීය සභාවේ පුස්තකාලාධිපතිනියට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට අදාළ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට, ඔහුගේ බිරිඳට, මවට සහ නිවසේ සේවකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු සිටින අතර ඔවුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවයි බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේ ෴

++++++++++++++++++++++++

(18.03.2021 – 11:27 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර වංචාවට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින රවී කරුණානායක, අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිසගේ PCR පරීක්ෂණ අද (18) සිදු කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසනවා.

මේ වන විට රවී කරුණානායක ඇතුළු මෙම පිරිස රඳවා ඇත්තේ බොරැල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ කාන්තා අංශයේයි.

එහි රඳවා සිටි කාන්ත රැඳවියන් බෝගම්බරට මාරු කර යවා ඇති අතර එම කොටස කොළඹ අවටින් රිමාන්ඩ් බන්ධනාගත කෙරෙන සිරකරුවන්ගේ නිරෝධායන කටයුතු සඳහා භාවිත කෙරෙනවා.

මේ අතර මෙම කොටසේම රඳවා ඇති ETI මුල්‍ය වංචාව සම්බන්ධව චෝදනා ලැබ, රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ජීවක එදිරිසිංහ ඇතුළු ETI අධ්‍යක්ෂ මණ්ඩල සමජිකයින්ගේද PCR පරීක්ෂණ අද සිදු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියා.

මෙම පරීක්ෂණ ප්‍රතිපල දින දෙකක් (2) තුළ බලාපොරොත්තු වන අතර ඉන් පසු ඔවුන් යොමු කෙරෙන රිමාන්ඩ් බන්ධනාගාර තීරණය කෙරෙයි.

කෙසේ වෙතත් PCR පරීක්ෂණ වලදී මේ කිසිවකුට හෝ කොවිඩ්-19 අසාදනය වී ඇති බවට තහවුරු වුව හොත් ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිතයි ෴

+++++++++++++++++++

(18.03.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය දීර්ඝ කාලයක් පැවතියහොත් එය ‘දේශගුණික බලපෑම මත වැළදෙන අනිවාර්ය රෝගයක්’ බවට පත් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

16 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි මේ බව අනාවරණ වී ඇත්තේ.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය කිසියම් කාල පරිච්ඡේදයකදී පමණක් පැමිණෙන වෛරසයක් බවට පත්ව ඇති අතර ඒ අනුව කොරෝනා වෛරසය ද එලෙස වැළදිය හැකි වෛරසයක් බවට පත්වනු ඇතැයි එම කමිටුව ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

(18.03.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත සමයේ රැකියා අහිමිවූ පෞද්ගලික අංශයේ සේවකයින් පිළිබඳ සංගණනයක් සිදුකිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

රැකියා අහිමිවූවන් සේවය කළ ස්ථානයේ තොරතුරු, සේවා කාලය සහ වැටුප් තොරතුරු ද සමගින් අප්‍රේල් පළමුවන දිනට පෙර ‘කම්කරු කොමසාරිස්, 11 වන මහල, කොළඹ 05’ යන ලිපිනයට ලිපි යොමුකරන ලෙසටයි කම්කරු දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරන්නේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011 236 8502 දුරකථනය ඔස්සේ ද ලබාගත හැකි බවයි කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ෴

+++++++++++++++++++

කොවිඩ් එන්නත් ආනයනයට පෞද්ගලික අංශයටත් අවසර දෙන්න – PHI සංගමය

(18.03.2021 – 009:33 +0530 – sinhala.adaderana.lk)

පවතින තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයට ද කොවිඩ් එන්නත් ආනයනය කිරීමට අවසර ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩකරන ආයතනවලින් කොවිඩ් ආසාදිතයෝ වැඩි ප්‍රමාණයක් දැනට වාර්තාවෙමින් ඇති බවත් එන්නත් ලබාදීම සඳහා මීළඟ ප්‍රමුඛතාව වියයුත්තේ වැඩකරන ජනතාව බවත් ඔහු පවසයි.

“ලංකාවේ කොවිඩ් ආසාදිතයෝ වැඩි ප්‍රමාණයක් කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩකරන ආයතනවල වාර්තා වෙනවා. විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව. එන්නත් ලබාදීම සඳහා අපේ මීළඟ ප්‍රමුඛතාව විය යුත්තේ වැඩකරන ජනතාව. ඒ අවශ්‍යතාව සැපයීම සඳහා රජයට මේ මොහොතේ ඉඩකඩ නැත්නම් මේ එන්නත් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවශ්‍ය අනුමැතිය ලබාදීම සිදුකළ යුතුයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව සෞඛ්‍ය අංශවලින් එන්නත් ලබාගන්නා පදනම මත ලංකාව තුළට පෞද්ගලික අංශයට එන්නත් ගෙන්වීමට අවසර ලබාදීමේ ගැටලුවක් නෑ.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *