රුපියල් කෝටි 5 ක කේරල ගංජා අනුරාධපුරයෙන් මතු වේ

රුපියල් කෝටි 5 ක කේරල ගංජා අනුරාධපුරයෙන් මතු වේ

*********************************************

රුපියල් කෝටි 5 ක කේරල ගංජා අනුරාධපුරයෙන් මතු වේ

(18.03.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සඟවා තිබූ රුපියල් කෝටි 5 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා පාර්සල් 200 කට අධික ප්‍රමාණයක් සොයා ගන්නට අනුරාධපුර කැකිරාව පොලිසිය සමත් වුණා.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමටත් පොලිසිය සමත්වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර නිවාඩු නිකේතනයේ හිමිකරු වන විශ්‍රාමික හමුදා සාමාජිකයෙකු සහ අදාල කේරල ගංජා තොගය ප්‍රවාහනය කළ බස් රථයේ රියැදුරු ද වනවා.

මෙම කේරළ ගංජා තොගය තණමල්විල ප්‍රදේශයේ සිට අනුරාධපුරයට ප්‍රවාහනය කර ඇති බවටයි මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

මේ මීට අමතරව කේරළ ගංජා පාර්සල් කිරීම සඳහා දේශීයව සැකසූ යන්ත්‍රයක් සහ ඉලෙක්ට්‍රොනික තරාදියක් ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලීසිය සදහන් කරන්නේ.

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+5%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B6%BD+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

******************************************

(18.03.2021 – 06:32 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය රියදුරන් සහ නියාමකයින් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අසාධාරණ විනය ක්‍රියාමාර්ග අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.

කෙසේ වෙතත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ කාර්යාල දුම්රිය කිහිපයක් පමණක් අද (18) උදෑසන ධාවනයේ යෙදෙන බවයි.

ඒ අනුව පිට පළාත්වල සිට දුම්රිය 16 ක් උදෑසන කොළඹ කොටුව දුම්රියපළ වෙත පැමිණීමට නියමිතයි.

දුම්රිය රියදුරන් සහ නියාමකයින් ඊයේ (17) දහවල් හදිසි වර්ජනය ආරම්භ කළ නමුත් ඔවුන් ඊට පැය කිහිපයකට පසු ප්‍රකාශ කළේ මධ්‍යම රාත්‍රිය දක්වා තාවකාලිකව මෙම වර්ජනය අත්හිටුවන බවයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමඟ ඊයේ (17) පස්වරුවේ සාකච්ජාවක් පැවැත්වූ නමුත් එය අසාර්ථක වූ බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියා සිටියේ ෴

******************************************

(18.03.2021 – 07:10 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පෙබරවාරි 24 වැනිදා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් හොරණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 45 ක් පමණ වූ හෙරොයින් තොගය සම්බන්ධයෙන් තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මෙම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් හමුදාවෙන් පලාගිය සෙබලා සහ හමුදා සේවයේ නිරත සෙබළාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

පොල්පිතිගම හත් පොකුණ ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයාද හමුදාවෙන් පලාගිය සෙබළකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම සිද්ධියට ආධාර දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතයි ෴

******************************************

(18.03.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

LTTE සංවිධානයේ ප්‍රභලයින් රැසක් යුධ සමයේ රැදී සිටියේ යැයි සැක කරන ස්ථාන දෙකක (2) ආයුධ හා LTTE සංවිධානයට අයත් රත්‍රන් වළදමා ඇති බවට වන තොරතුරක් මත ඊයේ (17) කිලිනොච්චියේ ස්ථාන දෙකක් (2) ආරක්ෂක අංශ කැනීම් කරනු ලැබුවා.

කිලිනොච්චි මහේස්ත්‍රාත් ටි. සරවනරාජා මහතාගේ අධීක්ෂණය යටතේ කිලිනොච්චිය භාරතිපුරම් විද්‍යාලය ආසන්නයේ ස්ථාන දෙකක් (2) එලෙස කැනීම් කර තිබෙනවා.

කිලිනොච්චිය පොලිස් නිළධාරීන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ අදාළ ස්ථාන කැනීම් සිදුකළ අතර පැය ගණනාවක් කැනීම් කළද අදාළ ස්ථාන තුළින් කිසිවක් හමු නොවු බව පොලිසිය සඳහන් කළා.

කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන් යුධ හමුදා නිළධාරීන් ග්‍රාම නිළධාරී ඇතුළු නිළධාරීන්ගේ නිරීක්ෂණය යටතේ මෙම කැනීම් කටයුතු සිදු කර තිබෙනවා.

මීට පෙරද ආරක්ෂක අංශ වෙත ලද තොරතුරු මත කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි ස්ථාන රැසක මෙලෙස කැනීම් සිදුකළද අදාළ ස්ථාන බහුතරයකින් කිසිවක් නොලැබුණ බව ආරක්ෂක අංශ සදහන් කළා ෴

******************************************

(18.03.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)

කැබිතිගොල්ලෑව, දුටුවැව, ප්‍රදේශයේ අක්කර එක හමාරක (1½) පමණ වනතීරයක් බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් හෙළි පෙහෙළි කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගන්න ගන්නට විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.

මේ පිරිස සමඟ වනාන්තරය හෙළි කිරීමට භාවිත කළ බැකෝ යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ.

මීට අමතරව බද්දේගම, දොරේගොඩ, පොලේගොඩ, කිඹිල්ල, වාරිමාර්ග රක්ෂිතයේ ගස් 32 ක් අනවසරයෙන් කැපූ පුද්ගලයෙකු සහ තවත් බැකෝ යන්ත්‍රයක් අත්අඩංගුවට ගන්නට ඊයේ (17) කැබිතිගොල්ලෑව පොලිසිය සමත්වුණා ෴

******************************************

(18.03.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවල කාර්යභාරය වඩාත් ඵලදායි ලෙස ඉටු කිරීම සඳහා ඒවායේ කටයුතු වඩාත් සංවාදශීලිව පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව, නීති සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී ඒ පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මෙන්ම, ඔවුන් සමග වඩාත් සංවාදශීලි හා ක්‍රියාකාරි ලෙස සම්බන්ධ වීමට මෙම උපදේශක කාරක සභා ක්‍රමය හරහා හැකියාව ලැබෙනු ඇති.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී ඒ පිළිබඳව සාකච්ඡා වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, ලබන 23 වනදා සිට 26 වනදා දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව ඊයේ (17) රැස්වූ අවස්ථාවේදීයී.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිළිබදව සභාව කල් තැබීමේ විවාදය සදහා ලබන 25 සහ 26 යන දෙදින වෙන් කිරීමටද එහිදී තීරණය කර තිබෙනවා ෴

******************************************

(18.03.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව 17 වන දින මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය 15 ක් හැරුණු විට සියලුම දුම්රිය ගමන් අද (18) අවලංගු කර තිබෙනවා.

දුම්රිය රියදුරන් සහ නියාමකයින් සංකේත වර්ජනයක් ආරම්භ කළ ද කාර්යාල දුම්රිය 14 ක් කොටුව දුම්රිය ස්ථානයට පැමිණි බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

ප්‍රධාන මාර්ගය, කැළණිවැලි මාර්ගය සහ මුහුදුබඩ මාර්ගය ඔස්සේ මෙම කාර්යාල දුම්රිය කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණ ඇති බව සඳහන්.

අසාධාරණ විනය ක්‍රියාමාර්ග අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම දුම්රිය වර්ජනය ක්‍රියාත්මකයි ෴

******************************************

(18.03.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සදහා නියෝග කෙරුණු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 08 දෙනා වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

මොවුන් මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඊයේ (17) නියෝග කළා.

ඒ, 2016 වසරේ මාර්තු මස 29 සහ 31 යන දිනවල සිදුවූ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98 ක බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේයී.

දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න, මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (17) මෙම නඩුව කැඳවනු ලැබුවා.

මෙහිදී විත්තිකරුවන් වෙත අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවූ අතර, රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාට අමතරව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු පිරිස අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ද වනවා.

ඊට අමතරව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, තිස්ස රන්ජන් හුළුගල්ලේ සහ මුතුරාජා සුරේන්ද්‍රන් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ සංගරපිල්ලේ පදුමනාදන්, සේවක අර්ථ සාධක අරමුදලේ විධායක නිලධාරියෙකු වූ ඉන්දික සමන් කුමාර ද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

මහ බැංකු බැඳුම්කර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂවරයෙකු වන අජාන් ගාර්දිය පුංචිහේවා අධිකරණ නියෝගයට අනුව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය මස 21 වනදා අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ ෴

******************************************

(18.03.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

ගාලු කොටුවේ ප්‍රධාන පිවිසුම ආශ්‍රිතව මේ දිනවල සිදු කෙරෙන කැනීම් වලදී 14 සහ 15 වන සියවස් වලට අයත් පුරාවස්තු රැසක් හමුවී තිබෙනවා.

ඒ තුලින් එම කාලය තුලදී ශ්‍රී ලංකාවේ පැවති සමාජ හා දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වන බවයි ගාලු කොටුව කැණීම් ව්‍යාපෘතියේ උපදේශක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුද වන ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේ ෴

******************************************

(18.03.2021 – 08:46 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම පාන්තිකයින්ට නිවාස 100 කින් යුත් මහල් නිවාස ඉදිකිරීමේ ‘සියපත නිවාස ව්‍යාපෘතිය’ ආරම්භ කිරීම සඳහා මේ වනවිට සියලු සැලසුම් සකස් කර ඇති බව ග්‍රාමීය නිවාස රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් කීර්ති රංජිත් මහතා කියා සිටියේ අඩු ආදායම්ලාභීන් සඳහා සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකටම එක් නිවසක් බැගින් ඉදිකිරීමේ වැඩසටහනද මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

සියපත නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන මහල් නිවාස සංකීර්ණයක කාමර 2 කින් සමන්විත වර්ග අඩි 650 කින් යුත් එක් නිවසක මිල රුපියල් මිලියන 6.9 ක් (69,00,000) පමණ වනවා.

ඇස්තමේන්තු කිරීම් වලට අනුව කාමර 3 කින් සමන්විත නිවසක මිල රුපියල් මිලියන 9 ක් (90,00,000).

ඉන් සියයට 24 ක මුදලක් පළමුව ගෙවා නිවාස වෙන් කරවා ගත හැකි අතර ඉතිරි මුදල වාරික ලෙස වසර 30 ක් දක්වා ගෙවීමට අවස්ථාව ලබා දෙනු ඇති.

ඒ සදහා සියයට 6.25 ක පොලී අනුපාතයක් යටතේ බැංකු ණයක් ලබා ගැනීමටද පහසුකම් ලබා දෙන බවයි ග්‍රාමීය නිවාස රාජ්‍ය අමාත්‍යංශය සදහන් කළේ ෴

******************************************

(18.03.2021 – 08:52 +0530 – hirunews.lk/sinhala)

මියන්මාර (මියන්මා) අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් පිරිස අතර සිටින තම පුතුන් දෙදෙනා (2) කඩිනමින් දිවයිනට ගෙන්වා දෙන ලෙස දෙබරවැව පදිංචි මවක් රජයෙන් ඉල්ලා සිටිනවා.

සාගර කුමාර – 04 යාත්‍රාව පසුගිය ජනවාරි 21 වනදා හලාවත, මාරවිල ධීවරයන් හත්දෙනෙකු (7) සමඟ සහ මයෝමි බහුදින යාත්‍රාව ධීවරයන් පස්දෙනෙකු (5) සමඟ මුහුදු ගොස් තිබුණේ පසුගිය ජනවාරි 27 වනදායි.

ත්‍රිකුණාමල වරායෙන් නික්මුණු මෙම ධීවර යාත්‍රා මියන්මාර මුහුදු සීමාවට ගොස් ඇත්තේ දිය රළකට හසුවී ගසාගෙන යාමෙන්.

මයෝමි ධීවර යාත්‍රාවේ සිටි දරුවන් දෙදෙනා මෙලෙස මියන්මාරයේ ආරක්ෂක අංශ භාරයට පත්වීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි මේ වනවිට අසනීප තත්ත්වයෙන් පසුවන 69 හැවිරිදි දෙබරවැව පදිංචි කේ. ජයසීලි මහත්මිය කියා සිටියේ ෴

******************************************

(18.03.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ප්‍රදේශයේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ණය ආධාරයක් ලබාදීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා.

අඩු පොලී සහනයක් යටතේ මෙම ණය මුදල ලබාදෙන බවයි මෙරට ප්‍රංශ තානාපති කාර්යාලය සඳහන් කළේ.

මහනුවර ප්‍රදේශයේ පවතින දැඩි රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ ෴

******************************************

(18.03.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (17) දින කොටහේන ප්‍රදේශයේ ඖෂධ ගබඩාවකින් ප්‍රතිජීවක ඖෂධ සොරකම් කළ තුන් දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ රුපියල් 7,48,440 ක ඖෂධ සොරාගෙන ඇති බවයි.

මොවුන් අවුරුදු 32, 35 සහ 43 යන වයස්වල පසුවන කොළඹ 13, ආදුරුප්පුවීථිය සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

@@@@@@@@@@@@@@@

(18.03.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහ නගර සභා සීමාවේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා එන්නත ලබාගන්නා ලෙස එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන නිසි ක්‍රමවේදයකින් යුතුව ක්‍රියාත්මක විය යුතු බවයි.

නව ආසාදිතයින් 338 දෙදෙනෙකු ඊයේ (17) හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 88,862 ක් දක්වා ඉහල ගියා.

නව ආසාදිතයින්ගෙන් 309 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් 13 දෙනෙකු ද හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම විදේශයන්හි සිට පැමිණි 16 දෙනෙකු ද ආසාදිතයින් ලෙස ඊයේ (17) හඳුනා ගැණුනා.

ඒ අනුව ආසාදිතයින් 2600 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 85,725 ක්.

එමෙන්ම නව මරණ 03 ක් ඊයේ (17) වාර්තා වීමත් මෙරට මරණ සංඛ්‍යාව 537 ක් දක්වා ඉහල ගියා.

මැදිරිගිරිය, පොල්ගස්ඕවිට සහ ආඬිගම ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *