අසාද් සාලි තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට අවසර

අසාද් සාලි තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට අවසර

*********************************************

අසාද් සාලි තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට අවසර

(17.03.2021 – 16:34 +0530 – hirunews.lk/sinhala)

නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එම ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර කොළොන්නාව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධයක් පැවතීම හේතුවෙන් බවයි.

******************************************

(17.03.2021 – 16:54 +0530 – hirunews.lk/sinhala)

මස්කෙළිය – බ්‍රවුන්ස්වික් වතුයාය ආසන්නයේ පිහිටි වතු නිවාස පෙළක අද (17) පස්වරුවේ හට ගත් ගින්නකින් නිවාස 20 ක් පමණ විනාශ වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

පුද්ගලයින් 60 දෙනෙකු පමණ මෙම සිද්ධියෙන් අවතැන් වී සිටිනවා.

******************************************

(17.03.2021 – 17:58 +0530 – hirunews.lk/sinhala)

කෝටි ගණනින් මුදල් වැයකොට ආරම්භ කෙරෙන සංවර්ධන ව්‍යාපෘති අතරමග ඇණහිටීම තුළින් මහජනතාවගේ බදු මුදල් අපතේ යාමක් සිදුවනවාසේම, ඉන් අපේක්ෂිත අරමුණුද ඉටුවන්නේ නැහැ.

මේ එලෙස මහජන මුදල් වැයකරමින් අතරමග නතරකර දැමූ වාරි ව්‍යාපෘතියක් පිළිබඳවයි.

ආණමඩුව – පල්ලම උස්සාන වාරිමාර්ග යෝජනා ක්‍රමය සඳහා වැඩකටයුතු ආරම්භ කර ඇත්තේ 2018 වසරේදී.

ඒ, වැසි ජලය සහ භූගත ජලය භාවිත කරමින් කුඹුරු අස්වැද්දවීම් කළ ගොවීන්ට නව බලාපොරොත්තුවක් ඇති කරමින්.

කොරලවිල වැව කුඹුරුයාය සහ ප්‍රදේශයේ තවත් කුඹුරුවලට ජලය සැපයීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වී තිබෙනවා.

උස්සාන වාරි ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 400 ක් පමණ වනවා.

ගොවීන් පවසන්නේ ඉන් රුපියල් ලක්ෂ 75 ක් පමණ වෙන්කර ඇත්තේ කුඹරු යායට ජලය ලබා ගැනීමට වෙන්කර ඇති පොම්පාගාරයට බවයි.

කෙසේ වෙතත්, ගොවීන් චෝදනා කරන්නේ මේවන විට ජල පොම්ප දෙක (2) ද වාරිමාර්ග නිලධාරීන් විසින් ගලවාගෙන ගොස් ඇති බවටයි.

කෝටි ගණනින් මහජන මුදල් මෙන්ම ගොවි ජනතාවගේද මුදල් වැය කරමින් ඉදිකරන්නට යෙදුණු උස්සාන වාරි යෝජනා ක්‍රමය කඩිනමින් අවසන් කර ගොවීන්ට ජලය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීම බලධාරීන් සතු වගකීමක් නොවේද..?

******************************************

(17.03.2021 – 18:06 +0530 – hirunews.lk/sinhala)

මාතර රත්මලේ තලහිටියාගොඩ පරාක්‍රම විද්‍යාලයේ කඩා වැටීමට ආසන්න අබලන් වූ ගොඩනැගිල්ලක් පිළිබඳව ‘හිරු රතු මිනිත්තුවෙන්’ පළමුවරට අනාවරණ කළේ පසුගිය වසරේ (2020) සැප්තැම්බර් 04 වැනිදායි.

ජීවිත අවදානම මැද දරුවන් අකුරු කරන අයුරු අප එමගින් පෙන්වා දුන්නා.

‘රතු මිනිත්තුවෙන්’ බලධාරීන්ගේ ඇස් ඇරවීමට අප ගත් උත්සාහය හමුවේ බලධාරීන්ගේ දෙනෙත් පියාගෙන සිටීමේ ප්‍රතිඵලය මේ වන විට ලැබී තිබෙනවා.

නව පාසල් වාරයේ ආරම්භක දිනයේදීම අදාළ අබලන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී තිබෙනවා.

හැටතුන් (63) වසරක ඉතිහාසයකට හිමිකම් කියන පරාක්‍රම විද්‍යාලය දරුවන් දහස් ගණනකගේ නැණස පාදන්නට කටයුතු කරණ තක්සලාවක්.

පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා දරුවන් සිප් සතර හදාරන මෙම පාසලේ දරු දැරියන්ගේ ජීවිත අවදානම තවමත් පහව ගොස් නැහැ.

දරුවන්ගේ ආරක්ෂාවට ඇති හොඳම තැන නිවසට පසුව පාසල යැයි කීවත් මෙවැනි සිදුවීම් ඔස්සේ ප්‍රශ්න කිරීමට සිදුවන්නේ දරුවන්ගේ ජීවිතවල අවදානම් සහගත තැනක් බවට පාසල පත්වෙමින් තිබේද යන්නයි.

‘රතු මිනිත්තුවේ’ මේ මතක් කිරීම බලධාරීන්ගේ ඇස් නැවතත් ඇරවීමටයි.

******************************************

2016 බැඳුම්කර වංචාවට, රවී කරුණානායක ඇතුළු 8 ක් රිමාන්ඩ්

(17.03.2021 – 18:13 +0530 – hirunews.lk/sinhala)

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 08 දෙනා මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (17) නියෝග කළා.

ඒ, 2016 වසරේ මාර්තු මස 29 සහ 31 යන දිනවල සිදුවූ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98 ක බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේයී.

දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න, මොහොමඩ් ඉසුර්දීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (17) මෙම නඩුව කැඳවනු ලැබුවා.

මෙහිදී විත්තිකරුවන් වෙත අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවූ අතර, රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාට අමතරව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යි.

ඊට අමතරව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, තිස්ස රන්ජන් හුළුගල්ලේ සහ මුතුරාජා සුරේන්ද්‍රන් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ සංගරපිල්ලේ පදුමනාදන්, සේවක අර්ථ සාධක අරමුදලේ විධායක නිලධාරියෙකු වූ ඉන්දික සමන් කුමාරද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

මහ බැංකු බැඳුම්කර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂවරයෙකු වන අජාන් ගාර්දිය පුංචිහේවා අධිකරණ නියෝගයට අනුව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය මස 21 වන දා අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ.

මේ අතර, මුදල් විශුද්ධිකරණ චෝදනාව මත අත්අඩංගුවට ගත් ස්වර්ණමහල් පෞද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අද (17) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිපතිවරයාගේ උපදෙස් අනුවයි.

(17.03.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් අටදෙනා (8) වැලිකඩ බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

බැඳුම්කර වංචාවට අදාළ නඩුව අද (17) කැඳවූ අවස්ථාවේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය නියෝග කළේ රවී කරුණානායක ඇතුළු සැකකරුවන් පිරිස ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

2016 වසරේ මාර්තු මස 29 සහ 31 යන දිනවල සිදුවූ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98 ක බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.

එහි චූදිතයින් වන්නේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන හා එම සමාගමේ අධ්‍යක්ෂවරුන්වන චිත්ත රන්ජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, අජාන් ගාර්දිය පුංචිහේවා මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ විධායක නිධාරියෙකු ලෙස කටයුතු කළ සංගරපිල්ලේ පදුමනාදන් සහ සේවක අර්ථ සාධක අරමුදලේ විධායක නිලධාරියෙකු වූ ඉන්දික සමන් කුමාර යන පිරිසයි.

කෙසේ වෙතත්, අදාළ නඩුවේ තුන්වැනි (3) විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ 9 වැනි විත්තිකරු වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන අජාන් ගාර්දිය පුංචිහේවා අද (17) අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබුණේ එම විත්තිකරුවන් දෙදෙනාම (2) විදේශගතව සිටින අතර ඔවුන්ට සිතාසි බාර දීමට නොහැකි වූ බවයි.

දමිත් තොටවත්තල, මංජුල තිලකරත්න, මොහොමඩ් ඉසුර්දීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද (17) නඩුව කැඳවූ අවස්ථාවේ චූදිතයින්ට එරෙහිව අධිචෝදනා නීතිපතිවරයා විසින් භාර දෙනු ලැබුවා.

එහිදි නඩුවේ දෙවන (2) විත්තිකරු ලෙස නම් කර සිටි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුට ලබාදී ඇති චෝදනා පත්‍රය සමඟ ඇමුණුම් නිසි පරිදි ලබා දී නොමැති හෙයින් එය අසම්පූර්ණ චෝදනා පත්‍රයක් වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලා සිටියා.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 (6) වගන්තිය යටතේ මෙවැනි නඩුවක දී විත්තිකරුවන්ට ඇප ලබාදීම සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය අත්‍යවශ්‍ය බව මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

මෙම නඩුවට පාදක වන අපරාධය තුළින් මෙරට ජාතික ආර්ථිකයට මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට දැඩි අගතියක් සිදු වූ බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය මෙම නඩුවේ දෙවන විත්තිකරු මෙම අපරාධය සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා බවත් තුන්වන (3) විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ බවත් පැවසුවා.

මෙම විත්තිකරුවන් දෙදෙනා (2) ආර්ථිකය පරිපාලනය කරන ප්‍රධාන පුද්ගලයින් දෙදෙනෙකු (2) වන අතර ඔවුන් මහජන විශ්වාසය උපරිමයෙන් දිනාගෙන කටයුතු කළ යුතු අයවලුන් බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සදහන් කළේ.

එහෙත් ඔවුන් මෙම අපරාධයට දායක වී තිබෙන ආකාරය පිරික්සීමේ දී ඔවුන් මහජන විශ්වාසය අපගමනය වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි ද ඇය චෝදනා කර සිටියා.

මෙම විත්තිකරුවන් ඇප මත මුදා හරිනු ලැබූවොත් ඔවුන් අධිකරණයට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතු විය හැකි බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ.

මෙම නීති කෘත්‍යය ආරම්භ වීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම නඩුවේ විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ ද එම වරෙන්තුව නිකුත් වී දින හතක් (7) යනතුරු ඔවුන් සැඟවී සිටි බවත් පසුව අභියාචනාධිකරණයට ගොස් ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රිට් නියෝගයක් ලබාගත් බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවා.

මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබෙන්නේ පොදු දේපළ පනත යටතේ හෙයින් සුවිශේෂී කරුණු නොමැතිව ඔවුන්ට ඇප ප්‍රදානය කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවද නියෝජ්‍ය සොලිසිර් ජනරාල්වරිය පෙන්වා දුන්නා.

දීර්ඝ කරුණු අධ්‍යනයකින් පසුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේ රවි කරුණානායක ඇතුළු සැකකරුවන් 8 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

රවී කරුණානායක ඇතුළු සැකකරුවන් පිරිස රැගෙන එනු ලැබුවේ වැලිකඩ බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානය වෙතයි.

******************************************

(17.03.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

දශක දෙකකට (අවු. 20) පසු නව පරිසර පනතක් හඳුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

වන විනාශය සම්බන්ධයෙන් පරිසර සංවිධාන සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සංවාදයක් පවතින අවස්ථාවකයි අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකළේ.

මේ අතර, සිංහරාජ රක්ෂිතයේ සිදුවන බවට පැවසෙන වන විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිංහල රාවය, සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඇතුළු පිරිසක් අද (17) එහි පැමිණියා.

එහිදී උන්වහන්සේ ඇතුළු එම පිරිසට එම ස්ථානයට යාමේදී ආරක්ෂක නිලධාරින් ඊට බාධා එල්ල කර ඇති අතර එහිදී උණුසුම් තත්ත්වයක්ද හට ගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ සිංහරාජ රක්ෂිතයේ ඉදිකිරීම් කටයුත්තක් සිදුකිරීම සඳහා අවසර ලබා ගැනීමක් හෝ අවසර ලබාදීමක් සිදුකර නොමැති බවයි.

කෙසේ වෙතත්, වනජිවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සඳහන් කළේ මෙරට වන විනාශයක් සිදුවී නොමැති බවයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ සිදුවන වන විනාශයන් නතර කිරීම සඳහා ගත හැකි නීතිමය පියවර ඇතුළත් නව පරිසර පනතක් ඉදිරියේදී ගෙන ඒමට කටයුතු කරන බවයි.

******************************************

(17.03.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

සමීප ආශ්‍රයන් වලදී ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට කළ තර්ජනයකින් පසු තරුණියක දිවි නසා ගැනීමේ සිද්ධියකට අදාළව 50 හැවිරිදි ඇයගේ පෙම්වතා මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙදරු පියෙකු වන ඔහු මීගමුව – කුඩාපාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වයස අවුරුදු 14 සිට තමන්ට සැකකරු බලපෑම් කළ බවත්, වසර 10 ක් පමණ සමීප ඇසුරක් පැවති බවත් මියයාමට පෙර අදාළ තරුණිය ලිපියක සටහන් කර තිබුණා.

එහි වැඩිදුරටත් දක්වා තිබුණේ තමන්ගෙන් ප්‍රයෝජන ලබාගෙන විවිධ පොරොන්දු ලබාදෙමින් ඔහු තමන් කොටුකරගෙන සිටින බවයි ෴

******************************************

(17.03.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

අසාධාරණ විනය ක්‍රියාමාර්ග අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන දුම්රිය රියදුරන් සහ නියාමකයින් අද (17) දහවල් ආරම්භ කළ හදිසි වර්ජනය මධ්‍යම රාත්‍රිය දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එතෙක් කාර්යාල දුම්රිය පමණක් ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බවයි.

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කළා.

වර්ජනය ආරම්භ කල වෘත්තීය සමිති සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අතර සාකච්ඡාවක් අද (17) පස්වරුවේ පැවති අතර දුම්රිය වෘත්තීය සමිති සඳහන් කලේ එම සාකච්ඡාවද අසාර්ථක බවයි.

මේ අතර, වෛද්‍ය සේවා පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වැඩවර්ජනයකට යොමු නොවන ලෙස රෝහල් පරිපාලකයින්ගේ සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කරනවා.

එසේම, දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය ලබන 22 වනදා දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත්තේ , එම්.බී.බී.එස්. වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට අදාළ කැබිනට් පත්‍රිකාවට ඔවුන් ඇතුළත් නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

මහියංගනයේ පවතින වන අලි ගැටළුවට විසදුම් ඉල්ලා ගොවි සංවිධාන කිහිපයක නියෝජිතයින් අද (17) මහියංගනය නගරයේ සත්‍යාග්‍රහයක් ආරම්භ කලා.

මේ අතර, යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා සූරියවැව වල්සපුගල ගොවීන් ආරම්භ කල සත්‍යග්‍රහයට අදට මාස දෙකක්.

ශ්‍රී ලංකා රජයේ ගුරුවන්ගේ සංගමය ද අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණ තිබුනා.

එමෙන්ම, යාපනය විශ්ව විද්‍යාලීය සිසුන් පිරිසක් හා සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් යාපනය නල්ලූර් ප්‍රදේශයේදි ආරම්භ කර ඇති උපවාසයට සහාය පලකරමින් අද (17) යාපනයේ විරෝධාතාවක් ද පැවත්වුණා ෴

******************************************

(17.03.2021 – 20:15 +0530 – hirunews.lk/sinhala)

ජගත් මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර ඉදිරිපත් කර ඇති යෝජනාව හරහා අවදානම් තත්ත්වයක් උද්ගත වී ඇති බව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළා.

ජිනීවා යෝජනාව, මානව හිමිකම් සහ භූ දේශපාලන බලහත්කාරකම් යන මැයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අද (17) පැවති සංවාදයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙම සංවාදයට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ මොහාන් සමරනායක මහතා ද එක්ව සිටි අතර, ඔහු කියා සිටියේ මෙරට පාලකයින් හෝ හමුදා ප්‍රධානීන් විදුලි පුටුවට ගෙන යා හැකි බවට වන මතය මිත්‍යාවක් බවයි ෴

******************************************

(17.03.2021 – 20:44 +0530 – hirunews.lk/sinhala)

ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන පිරිස ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළා.

ඔවුන් ඊයේ (16) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේයි.

ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කළ ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අද (17) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත බී වාර්තාවක් ඉදිරිපත් කළ අතර, එමගින් ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ් සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ කෙරුණා.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය බී වාර්තාවද පදනම් කරගනිමින් සඳහන් කළේ, ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ් විසින් තැන්පතු ලෙස මුදල් භාර ගැනීම නිතත්‍යානුකූල නොවන ලෙස සිදුකර ඇතැයි මහබැංකුව විසින් 2010 වසරේදී අනාවරණ කරගෙන ඇති බවයි.

ඒ අනුව 2011 වසරේදී මූල්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ස්වර්ණමල් ජුවලර්ස් වෙත නියෝග කර ඇත්තේ තවදුරටත් තැන්පතු භාර නොගන්නා ලෙස සහ මාස 18 ක් ඇතුළත සියලු තැන්පතු නිදහස් කරන ලෙසයි.

එවන් නියෝගයක් කර ඇති පසුබිමක 2010 වසරේදී රුපියල් මිලියන 583 ක තැන්පතු වගකීමක් පැවතුණු ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ් ආයතනයල 2011 – 2012 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 4.9 ක තැන්පතු වගකීමක් දක්වාත් 2011 සැප්තැම්බර් වන විට එය රුපියල් බිලියන 7.2 ක් දක්වා වර්ධනය කරගනිමින් තවදුරටත් තැන්පතු භාරගෙන ඇති බව ජ්‍යෙස්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට අනාවරණය කළා.

ඇය එහිදී සඳහන් කළේ මෙම කරුණු අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම සැකකරුවන් වරදක් කර ඇති බවට ජනපති කොමිසමද නිගමනය කර තිබූ බවයි.

මෙම සැකකරුවන්ට ඇප ලබාදීමෙන් ඔවුන් සතුව ඇති නඩු භාණ්ඩ හා ලේඛන විනාශ කිරීමට හැකියාවක් පවතින බවත්, සමාගමේ සේවකයින්ගෙන් ඉදිරි විමර්ශන සඳහා ලබා ගැනීමට නියමිත ප්‍රකාශ සඳහා ඔවුන් බලපෑම් කළ හැකි නිසාත් ඇප ලබා නොදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.

ඒ අනුව, ඇප ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා මෙම නඩුව මේ මස 30 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා.

ඒ අනුව ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ්හි හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා (4) එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

අනතුරුව ඔවුන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආවා.

******************************************

(17.03.2021 – 20:43 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ රාජකාරියක් සඳහා යොමු කළ එම දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරීන් පිරිසක් සිය රාජකාරිය අතරතුර අපූරු විගණනයක යෙදී තිබෙනවා.

ඒ, අනුරාධපුර – ජයන්ති මාවත ප්‍රදේශයේ පිහිටි අවන්හලක් තුලදී.

අද (17) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

******************************************

(17.03.2021 – 22:39 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් කර තිබූ ප්‍රකාශයකට එරෙහිව ‘සිංහලේ අපි’ ජාතික සංවිධානය නීතිපති දෙපාර්තමේන්තුවට අද (17) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

******************************************

(17.03.2021 – 22:59 +0530 – hirunews.lk/sinhala)

‘කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි’ ශාස්ත්‍රීය ග්‍රන්ථය අද (17) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගීත්වයෙන් පැවති උත්සවයකදී ජනගත කෙරුණා.

ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී.

‘කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි’ පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ අමරපුර සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ නා හිමියන් විසින්.

ඉන්දියාවේ කපිලවස්තුපුර සිට වැඩමකර දැනට වස්කඩුවේ ශ්‍රී සුභූති විහාරයේ වැඩසිටින නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පිළිබඳව මෙම ග්‍රන්ථයේ සඳහන් වනවා.

මෙහිදී ජනාධිපතිවරයාට, අතිපූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ නා හිමියන් විසින් එම ග්‍රන්ථය පිළිගැන්වුවා.

රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ නිල වෙබ් අඩෙවියද මෙහිදී ජනාධිපතිවරයා අතින් එළි දැක්වුණා.

මෙම අවස්ථාවට රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමි, මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් ඇතුළු මහා සංඝ රත්නය සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මෙහිදී සඳහන් කළේ ඉන්දියාව සහ මෙරට අතර බෞද්ධ සම්බන්ධතා වඩා ශක්තිමත් කිරීමට ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක මුදලක් පරිත්‍යාග කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇති බවයි.

@@@@@@@@@@@@@@@@@

(17.03.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

අද මේ දක්වා තවත් ආසාදිතයින් 182 දෙනෙකු හදුනා ගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා.

එසේම තවත් කොරෝනා ආසාදිතයන් 354 දෙනෙකු අද (17) සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 85,725 දක්වා ඉහළ ගියා.

මේ අතර, කොරෝනා අවදානම හේතුවෙන් දැනට වසා දමා ඇති විශ්වවිද්‍යාල යළි විවෘත කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක ද අද (17) නිරත වුණා ෴

අද (17) තවත් ආසාදිතයින් 140 දෙනෙකු හදුනා ගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 03 ක් අද (17) වාර්තාවී තිබෙනවා. මෙම මරණ 03 ත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 537 ක් දක්වා ඉහළ ගියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *