විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට යයි

විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට යයි

*********************************************

විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට යයි

(17.03.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

මෙරට සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන්ද විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ (16) පස්වරුවේ රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාවක නිරතවුණේ කඩිනමින් දිවයිනේ සියලු විශ්වවිද්‍යාල විවෘත කරන ලෙස බල කරමින්.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මෙම විරෝධතාවයේදී කියා සිටියේ කඩිනමින් විශ්වවිද්‍යාල විවෘත කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා පවත්වන බවයි.

මේ වනවිටත් විශ්වවිද්‍යාල තුළ විභාග කටයුතු සිදුවන බවද ඔහු සඳහන් කළා.

මේ අතර කොළඹ ඊයේ (16) පැවති උත්සවයකින් අනතුරුව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ නිරෝධායන කාලසීමාව අඩුකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවයි.

ඊයේ (16) නව ආසාදිතයින් 286 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 88,524 ක් දක්වා ඉහල ගියා.

නව ආසාදිතයින්ගෙන් 250 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් 24 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා. විදේශයන්හි සිට පැමිණි 12 දෙනෙකු ද කොරෝනා රෝගීන් ලෙස තහවුරු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.

ඒ අනුව තවදුරටත් රෝගීන් 2619 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 85,371 ක්.

මේ අතර, ඊයේ (16) තවත් කොරෝනා මරණ දෙකක් (2) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 534 දක්වා ඉහළ ගියා.

මෙම මරණ දෙක (2) මහනුවර සහ මීගමුව ප්‍රදේශවලින් වාර්තා වන අතර මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 75 ක් වයසැති කාන්තාවක් සහ 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ෴

******************************************

(17.03.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

කඩදාසි ආනයන කරන බව පවසා චීනයේ සිට දිවයිනට රැගෙන ආ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා සුවඳ විලවුන් තොගයක් රැගත් බහලුමක් රේගු භාරයට ගෙන තිබෙනවා.

පානදුර ප්‍රදේශයේ ලියාපදිංචි කර ඇති සමාගමක් විසින් තම කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන කඩදාසි ගෙන්වන බව පවසමිනුයි පසුගිය 12 වනදා මෙම සුවඳ විලවුන් තොගය කොළඹ වරාය වෙත ගෙන්වා ඇත්තේ.

රේගු නිලධාරීන්ට අදාළ බහලුම සම්බන්ධයෙන් සැකසිතී සිදුකළ පරීක්ෂාවේදී එහි සූක්ෂම ලෙස සඟවා තිබූ මෙට්‍රික් ටොන් 3 ක් පමණ බරැති මෙම සුවඳ විලවුන් තොගය සොයාගෙන තිබෙනවා.

රජය විසින් ලබාදී ඇති බදු සහනය අවභාවිත කරමින් මෙම ආනයනය සිදුකර ඇති බවයි රේගුව සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මෙවැනි සුවඳ විලවුන් ආනයනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරය ලබාගත යුතු බවයි රේගුවේ කර්මාන්ත සහ සේවා අංශය පෙන්වා දෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කර්මාන්තශාලාවේ නිලධාරීන් කිහිපදෙනෙකු සහ වාප්පු ලිපිකරුවන් කිහිපදෙනෙකු රේගුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා ෴

******************************************

(17.03.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

සිංහරාජ වන රක්ෂිත සීමාවට අයත් මාණික්කාවත්ත බෝටියතැන්න ප්‍රදේශයේ ඉදිකිරීම් සඳහා ලබාදුන් අවසරය පිළිබඳ නැවත සලකා බලන බව කලවාන ප්‍රාදේශිය සභාව පවසනවා.

අදාල අවසරය ලබාදී තිබුණේ නිවාස ඉදිකිරීම සඳහා පමණක් බවත් හෝටලයක් ඉදිකිරීමට ක්‍රියාකරන්නේ නම් එම අවසරය අවලංගු කරන බවත් ප්‍රාදේශිය සභාවේ සභාපති චමින්ද ඉන්ද්‍රප්‍රිය හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා.

******************************************

(17.03.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සමග ලබන මස පළමු වනදා (01) සාකච්ඡාවක් ලබා දෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වාචිකව දැනුම් දී ඇති බව සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයකයින්ගේ සංගමය පවසනවා.

එහි ලේකම්වරයා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුලු සෞඛ්‍ය බලධාරීන් සමග පසුගියදා පැවති සාකච්ඡාවේදීද සිය ගැටළුවලට විසදුමක් නොලැබුණු බවයි.

ඒ අනුව සියලු ඩෙංගු මර්ධන සහයකයින්ගේ රැකියා සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පමණක් ස්ථීර කරන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ඩෙංගු මර්ධන සහයකයින්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණ සදහා වෙන් කර ඇති භූමියේ ඊයේ (16) 2 වන දිනටත් විරෝධතාවයේ නිරත වුණා.

කෙසේ වෙතත් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂකවරයා සඳහන් කලේ ඩෙංගු මර්දන සහයකයින් සෞඛ්‍ය අමාත්‍යංශයේ රාජකාරීවලින් ඉවත් කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි ෴

******************************************

(17.03.2021 – 08:53 +0530 – hirunews.lk/sinhala)

අවසරයකින් තොරව පොල් ගස් කැපීම නතර කිරීම සදහා ඉදිරියේදි නව නීති හදුන්වාදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

පසුගියදා පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴

******************************************

(17.03.2021 – 09:33 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන උත්සව සමය සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ වැඩි අවදානමක් පවතින බැවින්, ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

ඒ, රුපියල් 5000 සහ දහසේ (1000) ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇති බවට ලද තොරතුරු මතයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටියේ මෙම සිද්ධීන් සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ෴

******************************************

(17.03.2021 – 09:56 +0530 – hirunews.lk/sinhala)

කොහුවල නගරයේ වාහන අලුත්වැඩියා කරනු ලබන ස්ථානයක ඇති වූ ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.

ඊයේ (16) රාත්‍රියේ මෙම ගින්න හටගෙන තිබූ අතර දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එක්වූ එය නිවා දැමීමට එක්වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ගින්නෙන් එහි ගාල් කර තිබූ වාහන 3 කට හානි සිදුව තිබෙනවා ෴

******************************************

(17.03.2021 – 09:59 +0530 – hirunews.lk/sinhala)

කුවේට් රාජ්‍යයට ගොස් විවිධ වධ හිංසාවලට ලක්ව මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ ඊයේ (16) රාත්‍රියේ මෙම පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණි බවයි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් වනවා ෴

******************************************

(17.03.2021 – 10:29 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් එහි විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න ප්‍රකාශ කළා.

2016 වසරේ මාර්තු මස 29 සහ 31 යන දිනයන් හිදී සිදුවූ මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළවයි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ මීට අදාළ නඩුව විභාග වන්නේ.

මහ බැංකු බැඳුම්කර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂවරයෙකු වන අජාන් ගාර්දිය පුංචිහේවා අධිකරණ නියෝගයට අනුව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවට නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය මස 21 වන දා අධිකරණයට දැනුම් දී තිබුණා ෴

******************************************

(17.03.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (16) දිනයේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී ලෙස මැණික් ගැරූ පුද්ගලයින් සිව් දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සසමඟ මැණික් ගැරීම සඳහා භාවිත කළ උපකරණ රත්නපුර කිරිඇල්ල පොලිසියට භාරදී ඇති අතර ඒ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු විශේෂ කාර්ය බළකාය සහ කිරිඇල්ල පොලිසිය එක්ව සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(17.03.2021 – 11:19 +0530 – hirunews.lk/sinhala)

එම්.බී.බී.එස්. වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට අදාළ කැබිනට් පත්‍රිකාවට දන්ත වෛද්‍යවරු ඇතුළත් නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 22 වනදා දීප ව්‍යාප්ත වර්ජනයක නිරතවන බව දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා කියා සිටියේ එදින සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්ද සංවිධාන කර ඇති බවයි ෴

******************************************

(17.03.2021 – 11:29 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 3110 ළඟ තබා ගත් රෝහල් උපස්ථායකයෙකු ඇතුළු සිව්දෙනෙකු (4) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් රෝහල් උපස්ථායකයා ගාල්ල – කොට්ටව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු මත්කුඩු ජාවාරම් කිරීමට සූදානම් වෙමින් සිටින අතරතුරදී, ලද තොරතුරක් මත පොලීසිය මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් අනෙක් තුන්දෙනා (3) අතර ගංජා මිලිග්‍රෑම් 655 ක් ළග තබාගෙන සිටි අයෙකු, පහරදීමකට සම්බන්ධ සැකකරුවෙකු සහ අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවෙකු ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ ෴

******************************************

(17.03.2021 – 11:52 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකරන රන් ආභරණ පැහැර ගැනීම් ඉහල ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

ඊයේ (16) දිනයේ ඇහැලියගොඩ රන් භාණ්ඩ අලෙවි සැලක මෙවැනි සොරකමක් සිදු වුණා.

මෙම අලෙවි සැලට පැමිණි පුද්ගලයෙකු එහි සේවකයකුට පවසා ඇත්තේ තමන්ට රන් මාලයක් මිළදී ගැනීමට අවශ්‍ය බවයි.

එහිදී එම අලෙවිසැලේ සේවකයකු විසින් අදාළ පුද්ගලයාට රන් මාල තුනක් (3) පෙන්වා තිබෙනවා.

අදාළ පුද්ගලයා එම රන් මාල පරීක්ෂා කරන මුවාවෙන් ඒවා රැගෙන වෙළඳසැලෙන් පලා ගිය බවයි වාර්තා වන්නේ.

මෙලෙස රැගෙන ගිය රන් මාල තුනේ (3) වටිනාකම රුපියල් ලක්ෂ 25 කට අධිකයි.

දිනෙන් දින ගෙල බැඳි රන් මාල සහ මෙවැනි සොරකම් සිදුවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බැවින් රන් ආභරණ පැළඳ මගතොට සැරිසරද්දී ඒ පිළිබඳව විශේෂයෙන් විමසිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ඉල්ලා සිටිනවා ෴

******************************************

(17.03.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

රන්ජන් රාමනායක රදවා සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරිය අසළින් ජංගම දුරකථනයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කළේ අදාළ ජංගම දුරකථනය සිරගතව සිටි රන්ජන් රාමනායකට ලබාදීම සඳහා රැගෙන විත් ඇති බවට සැක කරන බවයි.

අධිකරණයට අපහාස කිරීමේ වරදට බරපතල වැඩ සහිතව වසර 4 ක සිර දඩුවම් විදින රන්ජන් රාමනායකගේ සිර කුටිය ආසන්නයේදී වළ දමා තිබියදී ජංගම දුරකථනයක් සොයා ගනු ලැබුවේ පසුගිය 15 වන දායි.

අදාළ ජංගම දුරකථනය ඊෂි කෑෂ් ඔස්සේ රුපියල් ලක්ෂ 5 ක මුදලක් ගෙවා ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

කෙසේ වෙතත්, බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බවයි.

බන්ධනාගාරය තුළ දී සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමේ සම්බන්ධයෙන් ද රන්ජන් රාමනායකට චෝදනා එල්ල වූ අතර ඒ හේතුවෙන් ඔහුට සති දෙකක කාලයක් අමුත්තන් බැලීම තාවකාලිකව තහනම් කරනු ලැබුවා.

එමෙන්ම ඔහුට ලබාදී තිබූ දුරකථන පහසුකම් ද අත්හිටුවීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවේ.

******************************************

(17.03.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

අසාධාරණ විනය ක්‍රියාමාර්ගවලට එරෙහිව දුම්රිය රියදුරන් සහ නියාමකයින් ආරම්භ කර ඇති හදිසි වර්ජනයක් හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ෂා ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වර්ජනයට අදාළව මේ වනවිට වෘත්තීය සමිති සහ දුම්රිය බලධාරින් අතර සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත්, මෙම වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපති සංගමය සහය පළ කර නැහැ ෴

අසාධාරණ විනය ක්‍රියාමාර්ග අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන දුම්රිය රියදුරන් සහ නියාමකයින් පිරිසක් ආරම්භ කළ හදිසි වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, අද (17) මධ්‍යම රාත්‍රිය දක්වා කාර්යාල දුම්රිය පමණක් ධාවනය කරවීමට දැනට කටයුතු යොදා ඇති බව ද ඔහු සඳහන් කළා ෴

******************************************

(17.03.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

සහල් මාෆියාව පාලනය කිරීමට නම් සහල් ආනයනය අනිවාර්යයෙන් සිදු කළ යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (17) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

@@@@@@@@@@@@@@

(17.03.2021 – 10:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය පැතිර යාම හේතුවෙන් පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරට සාපේක්ෂව සියයට 3.6 කින් පහත වැටී තිබෙනවා.

කෙසේ වෙතත්, මහබැංකුව සඳහන් කළේ 2019 වසරේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 2.3 ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *