‘ජමාතේ ඉස්ලාමි’ සංවිධානයේ හිටපු සභාපති ‘හාජුල් අක්බාර්’ අත්අඩංගුවට

‘ජමාතේ ඉස්ලාමි’ සංවිධානයේ හිටපු සභාපති ‘හාජුල් අක්බාර්’ අත්අඩංගුවට

*********************************************

‘ජමාතේ ඉස්ලාමි’ සංවිධානයේ හිටපු සභාපති ‘හාජුල් අක්බාර්’ අත්අඩංගුවට

(13.03.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

‘ජමාත්-ඊ-ඉස්ලාම්’ සංවිධානයේ හිටපු ප්‍රධානී ‘රෂීඩ් හජ්ජුල් අක්බාර්’ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ, වහබ්වාදය ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

‘ජමාත්-ඊ-ඉස්ලාම්’ සංවිධානයේ හිටපු ප්‍රධානී ‘රෂීඩ් හජ්ජුල් අක්බාර් මවුලවි’ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේදීයි.

60 හැවිරිදි ‘රිෂාඩ් අක්බාර්’ වසර 24 කට අධික කාලයක් ‘ජමාතේ ඉස්ලාම්’ සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසුව 2019 වසරේ අගෝස්තු 25 වෙනිදි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ‘රිෂාඩ් අක්බාර්’ පළමු වරට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කළා.

ඒ, මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා (2) වූ සාදික් සහ ෂහීඩ් ‘ජමාත්-ඊ-ඉස්ලාම්’ සංවිධානයේ සාමාජිකයන් වීම හේතුවෙන්.

එමෙන්ම අක්බාර් මවුලවි, සාදික් සහ ෂහීඩ්ගේ පියාගේ සහෝදරයාද වනවා.

සහරාන් ඇතුලු අන්තවාදීන් පාස්කු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව සාදික් සහ ෂාහීඩ් මාවනැල්ල ප්‍රදේශයෙන් පලා ගොස් වෙළෙඳ සැලක් තුළ සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වූ අතර අදාළ වෙළඳසැලේ හිමිකරු අක්බාර් මවුලවිගේ ඥාතියෙකුගේ බවට ද පසුව අනාවරණ වුණා.

අත්අඩංගුවට පත් වූ රිෂාඩ් අක්බාර් මවුලවි මීට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි දීම සඳහාද කැඳවා තිබුණා.

++++++++++++++++

= අල් ඌරා අත්අඩංගුවට =

++++++++++++++++

(13.03.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

වහාබ් සහ ජිහාඩ් මතවාද පැතිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජමාත්-ඉ-ඉස්ලාමි සංවිධානයේ හිටපු සභාපති රෂීඩ් හාජුල් අක්බාර් රඳවාගෙන ප්‍රශ්න කරන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සඳහන් කළා.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි.

ජමාත්-ඉ-ඉස්ලාමි සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ‘අල් හසානා’ සඟරාවේ ලිපි පල කරමින් ඔහු විසින් වහබ් සහ ජිහාඩ් මතවාද පතුරුවා ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ගේ ඥාතියෙකු ලෙස ද මොහු හඳුනාගෙන ඇති බව සඳහන්.

++++++++++++

******************************************

(13.03.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala)

තරුණියන් ඕමානයට යවමින් මිනිස් ජාවාරමක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක් ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය තිරණය කර තිබෙනවා.

විදේශසේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව සැකකාර කාන්තාව ඕමානයේ සිට පැමිණ වවුනියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටියදී පූවරසන්කුලම පොලිසිය විසින් ඊයේ (12) අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

මෙම කාන්තාව මහියංගනය ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් තරුණියන් ඕමානයේ රැකියා ලබාදෙන බවට පවසා ඕමාන් සුල්තාන්වරුන් වෙත ලිංගික ශ්‍රමිකයින් ලෙස යොමුකොට ඇති බවටයි විදේශසේවා නියුක්ති කාර්යාල විමර්ශන නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වි ඇත්තේ ෴

******************************************

(13.03.2021 – 07:13 +0530 – hirunews.lk/sinhala)

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයකට (1) වැඩි ප්‍රමාණයක් සමඟ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ගෝනපල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි ෴

******************************************

(13.03.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

මාර්ග ආශ්‍රිතව අවිධිමත් ලෙස ස්ථාපිත කර ඇති විදුලි කණු ඉවත් කිරීමට සහ විදුලි පහන් කණුවල සුදු වර්ණය ආලේප කිරීමට කඩිනම් වැඩපිළිවලක් සකස් කරන්නැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති විදුලිබල අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම උපදෙස් ලබා දී ඇත්තේ විදුලි කණුවල ගැටී සිදු වන අනතුරු අවම කිරීමේ අරමුණින්.

මාර්ග පුළුල්කොට සංවර්ධනය කිරීමේදී පැරණි විදුලි කණු ඉවත් කිරීම ඇතැම් ප්‍රදේශවල නිවැරදිව සිදුවී නොමැති බව කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මාර්ග ආසන්නයේ පවතින විදුලි කණු සඳහා සුදු වර්ණය ආලේප කිරීම සෑම ප්‍රදේශයකම සිදු කිරීමේ අවශ්‍යතාවයද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව හැකි ඉක්මනින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කර මේ සදහා පිලියම් යොදන ලෙසටයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම රැස්වීමේදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ ෴

******************************************

(13.03.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

පාස්කු කොමිසමේ වාර්තාව විමර්ශණයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව, තම වාර්තාව ලබාදීම සදහා ජනාධිපතිවරයාගෙන් තවත් සති 2 ක් කල් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

එම අනු කමිටුවේ සාමාජික, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ ඒ අනුව ලබන 15 වනදා ලබා දීමට නියමිතව තිබු එම වාර්තාව ලබන 29 වනදා දක්වා කල් යනු ඇති බවයි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී එම කමිටුව ඊයේ (12) රැස්වුණා ෴

******************************************

(13.03.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘතිවල අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි හයක (6) පාඩුවක් සිදුව ඇති බව රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

ජී.අයි. පයිප්ප සහ උපාංග ගෙන්වීමේදී මෙලෙස සිදුව ඇති අක්‍රමිකතා නිසා රුපියල් හයකෝටි විසි හතරලක්ෂයකට (6,24,00,000) අධික මුදලක් වැඩිපුර ගෙවීමට රජයට සිදුව ඇති බව සඳහන්.

නැගෙනහිර පළාත්වල සංවර්ධන ව්‍යාපෘති සිදු කෙරුණේ ජයිකා ආයතනයේ ආධාර මතයි.

මහා භාණ්ඩාගාරය ඊට අවශ්‍ය ජී.අයි. පයිප්ප සහ උපාංග ගෙන්වීම, ජල සම්පාදන මණ්ඩලයට පවරා තිබුණා.

2013 වසරේ සිදුකළ ව්‍යාපෘතියට අනුව ඊට අදාළ කොන්ත්‍රාත්තුව පෞද්ගලික ආයතනයකට ලබාදී තිබූ අතර, ගුදමෙන් නිදහස් කරගැනීමේදී ව්‍යාජ තොරතුරු සටහන් කර මෙම අක්‍රමිකතාව සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

එමඟින් අදාළ ආයතනයට හිමිකර දී ඇති මුදල ඇමරිකානු ඩොලර් දොළොස් ලක්ෂයකට (12,00,000) අධිකයි.

එසේම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර තිබියදී අදාළ ආයතනය වරදක් නොකළ ලෙස සළකා රේගුව විමර්ශනය සිදුකර ඇති බවද ගිණුම් කාරක සභාවේදී හෙළිවුණා ෴

******************************************

(13.03.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

මාතර – දෙයියන්දර – දෙනගම ප්‍රදේශයෙන් සොයා ගත් රුපියල් කෝටි 70 කට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 74 කට ආසන්න හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් යුවල පිළිබඳ තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

විමර්ශනය මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඔවුන් GPS තාක්ෂණය ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවයි.

එහිදී මෙම යුවළ මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් තැරැව්කරුවන් බවට හදුනා ගනු ලැබුවා.

වැඩිදුර ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනා කිසියම් පුද්ගලයකු විසින් මෙහෙයවා ඇති බවයි.

කෙසේවෙතත් අදාල පුද්ගලයා කවුරුන්ද යන්න සොයා ගැනීම අපහසු වී ඇත්තේ ඔහු ඉමෝ මාධ්‍යය හරහා රහස්‍ය ලෙස මෙම යුවල සම්බන්ධ කර ගැනීම හේතුවෙන්.

අත්අඩංගුවට ගත් දෙදෙනා (2) සිටි බවට පැවසෙන මහනුවර සහ මීගමුව ප්‍රදේශවල නිවාස 7 ක් පසුගියදා පොලීසිය පරීක්ෂාවට ලක් කර ඇති නමුත් ඒවායේ තිබී කිසිවක් හමුවී නැහැ ෴

******************************************

(13.03.2021 – 09:11 +0530 – hirunews.lk/sinhala)

රටක සංකේතය වන එහි ජාතික ධජයට පූර්ණ ගෞරවය හිමි විය යුතු බව චීනයේ ස්ථාවරය බව කොළඹ මහජන චීන තානාපති කාර්යාලය අවධාරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ ජාතික ධජය පාපිස්සක් ලෙසින් දැක්වෙන වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන් මෙරට රජය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරණ ලෝකප්‍රකට වෙබ් අඩවියක ශ්‍රී ලාංකේය ජාතික ධජය පාපිසිවල හා පාවහන් යුගලවල මුද්‍රණය කර අලෙවියකට තබා ඇති ආකාරය පිළිබඳව මේ වන විට දැඩි කතා බහක් ඇති වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සිය ස්ථාවරය පිළිබඳව නිවේදනයක් නිකුත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර ඊට ප්‍රතිචාර දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කළා. සියළු වාතාවරණයන් යටතේ චීනය, සමීප සහකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවට ගෞරවය දක්වන අතර මෙරට සාමය, සශ්‍රීකත්වය සහ ගෞරවනීයත්වය උදෙසා ද්වීපාර්ශ්වික හෝ ජාත්‍යන්තර තලයේදී චීනය ශ්‍රී ලංකාවට සහය වන බවත් අදාළ නිවේදනයෙන් පෙන්වා දෙන්වා.

එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමටත් ඊට අදාළ පියවර ගැනීමටත් කටයුතු කරන අතර චීනයේ අලිබාබා ඊ වාණිජ වෙබ් අඩවිය හරහා මෙම ශ්‍රී ලාංකික ධජය සහිත පාපිස්නාව අළෙවි නොකරන බවත් චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සුරතල් සතුන් සඳහා භාවිත කරන ඇඳුම්වලට සහ කාන්තා ඇඳුම්වලටද මෙරට ජාතික ධජය මුද්‍රණය කර අලෙවි කිරීමට කටයුතු යොදා තිබූ ආකාරය කෙරෙහිද ශ්‍රී ලංකා රජය අවධානය යොමු කළ අතර පසුව අදාළ වෙබ් පිටුව අන්තර්ජාලයෙන්ද ඉවත්කර තිබුණා ෴

******************************************

(13.03.2021 – 10:59 +0530 – hirunews.lk/sinhala)

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පසුගියදා කළ ප්‍රකාශයට එරෙහිව අදත් (13) පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව මෙලෙස පැමිණිලි ඉදිරිපත් කරනු ලැබුවේ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ පූජ්‍ය අඟුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් සහ ජාතික පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින්.

අසාද් සාලි මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇත්තේ.

මේ අතර අසාද් සාලි අත්අඩංගුවට ගත යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

මාධ්‍යවේදීන් අද (13) නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@

(13.03.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ඔක්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වෛරස් එන්නත භාවිත කිරීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා.

එහි ප්‍රකාශිකා මාග්‍රට් හැරිස් ජිනීවා නුවර ඊයේ (12) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ඇස්ට්‍රා සෙනෙකා එන්නත ෆයිසර් හෝ මොඩර්නා වැනි අනෙක් කොරෝනා එන්නත් මෙන් විශිෂ්ඨ එන්නතක් බවයි.

ඔක්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් ලේ කැටි ඇතිවන බවට වාර්තා පළවීමත් සමඟ ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුලු යුරෝපා රටවල් කිහිපයක් එම එන්නත භාවිතය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් උපදේශක කමිටුව සිදුකළ දත්ත විශ්ලේෂණයේදී අනාවරණ වී ඇත්තේ එම ලේ කැටි ගැසීමේ සිද්ධීන් සහ එන්නත් කිරීම අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.

එමෙන්ම ඔක්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී මෙතෙක් කිසිවෙකු මියගොස් නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාව අවධාරණය කළා.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ඔක්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අඛණ්ඩව සිදුකරන බවයි.

මෙරටට එම එන්නත ලැබෙන්නේ ඉන්දියාවේ පූනේ හි සීරම් එන්නත් ආයතනයෙන්.

එමෙන්ම බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සඳහා කොරෝනා එන්නත්කරණය අද (13) සිට ආරම්භ වනවා. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා 2,64,000 ක් ලැබීමත් සමඟයි.

එහිදී කොළඹ නගර සභා සීමාවේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අවදානම් ප්‍රදේශවල වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය ආරම්භ වනු ඇති.

සීරම් ආයතනයෙන් ඇණවුම් කළ එන්නත් මිලියනයක් මෙතෙක් පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයන් සඳහා වෙන් කිරීමට සිදුවීම නිසා වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව නතර වනු ඇති.

දෙවන මාත්‍රාව ලබාදීම අප්‍රේල් 10 වනදා සිට ආරම්භවීමට නියමිතයි.

මේ වනවිට පුද්ගලයන් 7,60,000 කට ආසන්න පිරිසකට කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා.

එමෙන්ම මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 87,286 ක් ලෙස සටහන් වුණා. ඊයේ (12) දිනයේ කොරෝනා මරණ පහක් (5) වාර්තාවීමත් සමඟ මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 525 දක්වා ඉහළ ගියා.

මේ අතර, කටුනායක නිදහස් වෙළද කලාපයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (12) දිනයේදී කටුනායක නිදහස් වෙළදකලාපයේ 43 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හදුනා ගැනීමත් සමගයි.

මේ වන විටත් කටුනායක නිදහස් වෙළද කලාපයේ කර්මාන්ත ශාලා 50 කින් පමණ සේවකයින් 1,080 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබා ගෙන තිබුණා.

මේ අතර සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත දකුණු අප්‍රිකාවේ පැතිර යන ‘බී.වන්.351’ කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගෙන තිබුනා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානයක රැදී සිටි ආසාදිතයෙකු මෙලෙස හඳුනාගෙන ඇති බවයි ෴

සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා ෴

+++++++++++++++++++

(13.03.2021 – 09:40 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන උත්සව සමයේදී ජනතාව කොවිඩ් වසංගතයෙන් බේරාගැනීම සදහා රජයක් ලෙස නිසි ප්‍රතිපත්තිමය තීරණ ගෙන ක්‍රියා කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

එසේ නැතහොත් කොවිඩ් තුන්වන (2) රැල්ලක දැඩි අවදානමක් ඇති වන බවයි ඔහු සඳහන් කළේ.

ඉදිරියේදී එළඹෙන උත්සව සමයේදී ජනතාව මේ පිළිබඳව තේරුම් ගෙන හැකිතාත් සංචරණය සීමාකර කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

++++++++++++++++++++++

(13.03.2021 – 10:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තියත් සමඟ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 3,353 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අද (13) පෙරවරුව වනවිට තවත් පුද්ගලයන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට ගැනීමත් සමඟයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *