පාස්කු වාර්තාවේ සංවේදී කරුණු ඇතුළත් වෙළුම් 22 ත් නීතිපතිට

පාස්කු වාර්තාවේ සංවේදී කරුණු ඇතුළත් වෙළුම් 22 ත් නීතිපතිට

*********************************************

පාස්කු වාර්තාවේ සංවේදී කරුණු ඇතුළත් වෙළුම් 22 ත් නීතිපතිට

(12.03.2021 – 20:21 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ සංවේදී කරුණු ඇතුලත් වෙළුම් 22 ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා විසින් අද (12) නීතිපතිවරයා වෙත භාර දුන්නා.

අදාළ වෙළුම් මුල් වාර්තාව සමඟම නීතිපතිවරයාට ලබා දීමට නොහැකි වූ හේතුවද එහිදී පැහැදිලි කෙරුණා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ මුල් කොටස මීට පෙර නීතිපතිවරයා වෙත භාර දුන් අතර එහි ඉතිරි වෙළුම් 22 අද නීතිපතිවරයාට භාරදෙනු ලැබුවේ ජනාධිපතිවරායගේ නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා විසින්.

කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් පුද්ගලයින්ගේ සියලු සාක්ෂි සටහන් පිටු 37,000 ට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙම වෙළුම් විසිදෙකෙහි ඇතුලත් බවයි නීති අධ්‍යක්ෂ ජනරාල් වරයා සඳහන් කළේ.

මේ අතර පාස්කු කොමිෂන් වාර්තාව පිළිබඳව කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්‍ය අනුකමිටුවද අද පස්වරුවේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වුණා.

මේ අතර ආගමික අන්තවාදී දේශන පැවැත්වූ බවට චෝදනා එල්ල වන නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ අල් සුහාරියා මද්‍රසා පාසැලේ විදුහල්පති වූ සලීම්ඛාන්මොහමඩ් ශාකීර් යන පුද්ගලයින්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුත්තලම මහාධිකරණයට අධි චෝදනා භාර දී තිබෙනවා.

******************************************

(12.03.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය – ඉලුක්තැන්න – මඩුගොල්ල මාර්ගය ප්‍රදේශවාසීන්ට සිය දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා වැල්ලවාය සහ පැල්වත්ත නගර වෙත ගමන් ගැනීමට ඇති ආසන්නතම මාර්ගයයි.

මෙම මාර්ගයේ ඇති දැඩි අබලන් තත්ත්වය හේතුවෙන් කිලෝමීටර් 6 කට වැඩි මෙම ගමන ඉතා දුෂ්කර වී තිබෙනවා.

මේ නිසා රබර් සහ ගම්මිරිස් වැනි බෝග වගා කරමින් ජීවිකාව සරිකරගන්නා මේ මිනිසුන්ට අස්වැන්න සිය කර මතින් හෝ තවලම් මගින් ගෙන යාමට සිදුව තිබෙනවා.

පාසල් දරු දැරියන්ට ද දවසේ වැඩි කාලයක් මහ මඟ ගත කරන්නට සිදුව ඇත්තේ ද පාසලට යාමට ඇත්තේ ද මෙම මාර්ගයම වීම හේතුවෙන්.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වසර කිහිපයකට පෙර රුපියල් කෝටි 13 කට වැඩි ප්‍රතිපාදන වෙන් කරමින් මෙම මාර්ගය ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කළ ද එම මුදල් ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් ප්‍රදේශයේ වෙනත් මාර්ගයක් සංවර්ධනය කෙරෙන බවටයි.

ගොවිතැන ජීවිකාව කරගත් ඉලුක්තැන්න – මඩුගොල්ල ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සපුරා ගත හැකි පරිදි මාර්ගය සංවර්ධනය කර දෙන තෙක් ‘රතු මිනිතුතව’ අවධානයෙන්.

******************************************

(12.03.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබාගැනීම ඉදිරි සති කිහිපය තුළ සිදුකෙරෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සැකසීම වෙනුවෙන් විද්වත් කමිටුවක් පත් කර ඇති බවයි වෙළඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

සමූපකාර ක්‍ෂේත්‍රයේ පවතින අඩුපාඩු මඟ හරවා ගැනීම සඳහා සමූපකාර ප්‍රතිපත්තියක් සැකසෙන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම සතොස වෙළඳසැල් අලුතින් ආරම්භ කිරීමේදී ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමේ අවශ්‍යතාවද මෙම උපදේශක කාරක සභාවේදී මතුවී ඇති බව සඳහන්.

මීට අමතරව සිදුව ඇති දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන ලෙසටයි එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත්තේ ෴

******************************************

(12.03.2021 – 15:22 +0530 – hirunews.lk/sinhala)

ලබන ඉරිදා රාත්‍රී 08:30 දක්වා පුත්තලම දුම්රිය මාර්ගයේ කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථානය අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරනවා.

පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ සහ මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුතු ඊට හේතුවයි.

ඒ අනුව ඊයේ (11) පෙරවරු 08:00 සිට ලබන ඉරිදා (14) රාත්‍රී 08:30 දක්වා මෙම කොටස වසා තැබෙනු ඇති.

මෙම කාලසීමාව තුළ කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොකරන බැවින් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සිදුකරනු ලබන්නේ කොළඹ කොටුව සහ කටුනායක දුම්රිය ස්ථාන අතර පමණක් බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළා.

ලබන ඉරිදා (14) රාත්‍රී 08:30 සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු කෙරෙන බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴

******************************************

(12.03.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

දේශගුණික සාධක තුලින් විදුලි ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ මෙරට මාලදිවයින් මහ කොමසාරිස් ඕමාර් ඒ රසාක් මහතා අතරයි.

මෙහිදී වියළි දේශගුණික තත්ත්වයන් ඉලක්ක කර ගනිමින් සූර්ය බලය මෙන්ම, සුළං බලය ද යොදා ගනිමින් විදුලිය නිපදවීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබුණා ෴

******************************************

(12.03.2021 – 18:40 +0530 – hirunews.lk/sinhala)

ඕපනායක සිසුවෙකු අපයෝජනයට ලක් කළ බව කියන විදුහල්පතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා එම පාසලේ දෙමව්පියන් පිරිසක් අද (12) පස්වරුවේ විරෝධතාවයක නිරත වුණා.

සාධාරණ පරික්ෂණයක් සිදුකර චෝදනාවට ලක්ව සිටින විදුහල්පතිවරයාට විනය පියවර ගන්නා ලෙසයි විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ.

පසුගියදා (09) ඕපනායක ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවකුට අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවක් මත එම සිසුවා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා ඕපනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ පාසල් කාලයෙන් පසු පාසල තුළදී මෙම සිසුවා අතවරයට ලක් කිරීමට තැත් කළේ යැයි එම සිසුවාගේ පියා ඕපනායක පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි ෴

******************************************

(12.03.2021 – 18:41 +0530 – hirunews.lk/sinhala)

හිලෑ අලි ඇතුන්ගේ හිඟය හේතුවෙන් පෙරහර මංගල්‍ය පැවැත්වීමේ දී මතුව ඇති ගැටළු ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකරන මහා සංඝරත්නය ගැටළුව විසඳීමට කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බව අවධාරණය කරනවා.

පෙරහර මංගල්‍ය අතීතයේ සිට පැවත එන දේශීය ආගමික හා සංස්කෘතික උරුමයක්.

බෞද්ධ සංස්කෘතිකාංග සුරැකීමට මහා සංඝරත්නය සේම රජය ද බැඳී සිටින බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

පෙරහර මංගල්‍ය සදහා හීලෑ අලි ඇතුන්ගේ හිඟයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීයිමේ බව සඳහන් කෙරුණේ.

මහා සංඝරත්නය සහ හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයෝ ඊට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය ඇතුළු සෙසු ඓතිහාසික පෙරහර මංගල්‍ය සඳහා අවශ්‍ය හිලෑ අලි ඇතුන් සොයා ගැනීමට නොහැකිවීමෙන් මතුව ඇති ගැටළු දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

80 දශකය වන විට ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 300 ත් 350 අතර පැවතුණු අතර මේ වනවිට එය 107 ක්.

ඉන් 80 ක් පමණ දැන් වයස අවුරුදු 50 ඉක්මවා සිටින අතර පෙරහර සඳහා අලි ඇතුන්ගේ විශාල අඩුවක් පවතින බව මෙම සාකච්ඡාවේදී අනාවරණය කෙරුණා.

පෙරහර චාරිකාවට සුදුසු අලියෙකු හෝ ඇතෙකු පුහුණු කිරීමට වසර 3 ක පමණ කාලයක් ගතවන බවයි හීලෑ අලි ඇතුන් හිමිකරුවන් පෙන්වා දුන්නේ.

අතීතයේ සිට සෑම රාජ්‍ය නායකයෙකුම වෙහෙර විහාරස්ථාන සඳහා අලි ඇතුන් පූජා කර තිබෙනවා.

මියන්මාරය, බුරුමය, තායිලන්තය වැනි රටවලින්ද රාජ්‍ය තාන්ත්‍රික පදනමින් විහාරස්ථාන සඳහා අලි ඇතුන් තෑගි කිරීම සාම්ප්‍රදායක්ව පවතින බව මහා සංඝරත්නය සඳහන් කර තිබෙනවා.

අලි ඇතුන් නඩත්තුව සහ රැකබලා ගැනීම මනාව කළයුතු අතර ඔවුන් මියගිය පසු පාංශකූලය දීම, පින් අනුමෝදන් කිරීම වැනි සම්ප්‍රදායන් වර්තමානය දක්වාම පවතින බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

පෙරහැර කලාව සහ සංස්කෘතිය වෙනුවෙන් හීලෑ අලි ඇතුන් ගහණයක් රටට අවශ්‍ය බව තමා ද දැඩි සේ විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළා.

හීලෑ අලි ඇතුන් නියාමනය සහ සංරක්ෂණය පිළිබඳ කොන්දේසී සැකසීමේදී හිමිකරුවන් සමඟද සාකච්ඡා කරන ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ෴

******************************************

(12.03.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පෙරේදා දිනයේදී පිරිස අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළ බවයි.

එම අවස්ථාවට පසුපෙල මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණ එක්ව සිටි බව ඔහු සඳහන් කළා.

මෙහිදී ආණ්ඩුව තුල සිටින ඇතැම් අමාත්‍යවරුන් සිදුකරන විවේචන සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බව ඔහු සඳහන් කළා.

එමෙන්ම, ඊයේ (11) දිනයේදී ජනාධිපතිවරයා හමුවීමට පසුපෙළ මන්ත්‍රීවරුන් ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් 20 ක් පමණ සහභාගි වී තිබෙනවා.

එහිදි මීළග ජනාධිපතිවරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන බවට පළ වන මත සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් විමසා තිබුණා ෴

******************************************

(12.03.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවියක්, ශ්‍රී ලංකා ජාතික ධජය මුද්‍රිත පාපිස්නා සහ පාවහන් අලෙවි කිරිම සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකරන ලෙසට වොෂින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් ලබාදී ඇති බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ උපදෙස් තානාපති කාර්යාලය වෙත ලබාදි ඇති බවයි.

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රකට වෙබි අඩවියක් හරහා මෙරට ජාතික කොඩිය පාපිස්නා සහ පාවහන් වලට යොදා ගෙන අලෙවි කිරිම දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

ඇමෙරිකාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම වෙබ් අඩවිය හරහා ලොව පුරා වෙසෙන ඕනෑම පුද්ගලයෙකුට ඔන් ලයින් තාක්ෂණයෙන් භාණ්ඩ මිලදී ගත හැකියි.

ඒ අනුව, මෙරට ජාතික කොඩිය දැක්වෙන පාපිස්නාව ඇමෙරිකානු ඩොලර් 12 කට මිල නියම කර ඇති අතර, චීන සමාගමක් එය නිෂ්පාදනය කර ඇති බවටයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙරට ජාතික කොඩිය භාවිතය සම්බන්ධයෙන් 1987 වසරේ සම්මත කළ රීති මාලාවක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මේ පිළිබඳව නිවේදයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යංශය සඳහන් කරන්නේ අදාළ වෙළඳ දැන්විම සම්බන්ධයෙන් චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නා ලෙසට බිජිං හි ශ්‍රි ලංකා තනාපති කාර්යාලය වෙත දැනුම් දි ඇති බවයි.

එමෙන්ම විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් මෙරට පිහිටි චීන තනාපති කාර්යාලයට ද ඒ පිළිබඳව දැනුම් දි තිබෙනවා.

******************************************

(12.03.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා සිදුකළ ප්‍රකාශය තුලින් යම් වරදක් සිදුවූයේ නම් තමන් සමාව අයැද සිටින බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පවසනවා.

ඒ මුස්ලිම් නීතිය පිළිබඳව ඔහු සිදුකළ ප්‍රකාශය පිලිබඳව අදහස් පළ කරමින්.

මෙම ප්‍රකාශයට විරෝධය පළ කරමින් පාර්ශව කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (12) පැමිණිලි ඉදිරිපත් කළා.

ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, මේ ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම එකමුතුවේ සම්බන්ධීකාරක පූජ්‍ය පස්සරමුල්ලේ පඤ්ඤාජෝති හිමියන්.

මේ අතර, අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් මහතා ද අද (12) අසාද් සාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

******************************************

සීනි බද්දෙන් රජයට පාඩුවක් නැතැයි මුදල් අමාත්‍යාංශය කියයි

(12.03.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala)

ආනයනික සීනී සදහා බදු අඩු කිරීම තුලින් රජයට පාඩුවක් සිදුව ඇති බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව මුදල් අමාත්‍යංශය පවසනවා.

අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල පෙන්වා දුන්නේ අදාල බදු සංශෝධනය තුලින් රජයට රුපියල් බිලියන 15.9ක ආදායම් අහිමිවීමක් සිදුව නොමැති බවයි.

කෙසේ වෙතත්, සීනි ආනයනය සදහා පනවා තිබූ බදු අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9ක අලාභයක් සිදුව ඇතැයි පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කලා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුලු පිරිසක් නම්කර තිබෙනවා.

වෙළදපොලේ සුදු සීනි කිලෝග්‍රෑමයක් මේ වන විට රුපියල් 130 ක පමණ මිලක පවතිනවා.

කෙසේවෙතත් ආනයනකරුවන් පවසන පරිදි සිනී කිලෝවක් මෙරටට ආනයනය කිරීම සදහා වැයවන්නේ රුපියල් 93 ක පමණ මුදලක්.

ආනයනික බදු සංශෝධනය මගින් ජනතාවට ලැබිය යුතු වාසිය ජනතාවට හිමි නොවී රජයට හිතවාදී ආනයනකරුවන් කිහිපදෙනෙකු අතර පමණක් එය බෙදී ගොස් ඇති බවටයි මේ වන විට චෝදනා එල්ල වී ඇත්තේ.

******************************************

(12.03.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

මව්පියන්ගේ එකම සිහිනය තම දරුවන් නීතිගරුක මෙන්ම අනාගතයේදී ලොවට වැඩදායී පුද්ගලයන් වනු දැකීමයි එවන් දෙමාපියන් අතර දරුවන් තම දෑස් මානයේම තබාගෙන මුදලට සුදු ක්‍රීඩාවේ නිරතවන මව්පියන් ඇතුළු වැඩිහිටියන් පිරිසක් පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු වාර්තා වුණා.

මෙරට නීතිය අනුව මුදලට සුදු ක්‍රීඩාවේ යෙදීම තහනම් වුවත් දිනපතා සවස් භාගයේදී මෙන්ම සති අන්ත දිනවල දවස පුරාම මෙම සුදු පිටිය ක්‍රියාත්මක වන්නේ කඩුවෙල වැලිවිට ප්‍රදේශයේයි.

මෙහි ඇති පුදුම සහගත කරුණ වන්නේ මෙම ස්ථානයට පොලිසියෙන් පැමිණේදැයි බැලීම සදහා ඔත්තු බැලීමට යොදවන්නේ ද පාසැල් වයසේ දරුවන් වීමයි.

******************************************

(12.03.2021 – 22:51 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර සෙසු සියල්ල ජනතාව හමුවේ තැබූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් සභා සංසදය සමඟ අද (12) පස්වරුවේ පැවති හමුවකදී ජනාධිපතිතුමන් අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී ඇත්තේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසයි.

@@@@@@@@@@@@@@@

(12.03.2021 – 15:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතවූවන් 397 දෙනෙකු අද (12) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 83,958 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 115 ක් වාර්තා වී තිබෙනවා. මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,989 ක් ෴

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 525 ක් දක්වා අද (12) ඉහළ ගියා. ඒ අද (12) දිනයේ අලුතින් වාර්තා වූ මරණ පහත් (5) සමඟයි.

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 176 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 291 ක් ෴

+++++++++++++++++

(12.03.2021 – 15:43 +0530 – hirunews.lk/sinhala)

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත දකුණු අප්‍රිකාවේ පැතිර යන ‘බී.වන්.351’ කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානයක රැදී සිටි ආසාදිතයෙකු මෙලෙස හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම, රාජගිරියේ පිහිටි වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන්ට කොරෝනා එන්නත් ලබාදීම අද (12) සිදුකෙරුණා.

එම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එක්ව සිටියා.

එහිදී මාධ්‍යවේදීන් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ කොවිෂීල්ඩ් එන්නත ලබා ගත් පුද්ගලයින්ගේ රුධිරය කැටි ගැසීමේ රෝග ලක්ෂණ හේතුවෙන් ඩෙන්මාර්කය, අයිස්ලන්තය සහ නෝර්වේ රාජ්‍ය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක එම එන්නත භාවිතය අත්හිටුවීම මෙරටට බලපාන්නේ කෙසේ ද යන්නයි. මේ ඊට පිලිතුරු ලබාදුන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා :

++++++++++++++++++++

(12.03.2021 – 16:59 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුළ ගුවන් යානා 16 ක මෙහෙයුම් කටයුතු සිදුකරමින් ගුවන් මගීන් 1503 දෙනෙකු සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මගින් ගුවන් පහසුකම් ලබාදී තිබෙනවා.

ඒ අනුව ගුවන් මගීන් 645 දෙනෙකු ගුවන් යානා 11 කින් දිවයිනට පැමිණ ඇති බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී දිවයිනෙන් පිටත්ව ගිය මගීන් සංඛ්‍යාව 858 ක් ෴

++++++++++++++++++++++

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිත කිරීම අත්හිටුවීමේ කිසිඳු තීරණයක් ගෙන නොමැති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *